සුන්දර හදවතක් ඇති නිර්මාණශීලී මිනිසෙකුට තම නිර්මාණය තුළින් ජන හදවත් සුවපත් කිරීමට හැකිනම් ඔහු අනර්ඝ නිර්මාණකරුවකු ලෙස හැඳීන්විය හැකිය. හදවතකට දැනෙන පරිදි හදවත සියුම්ව ස්පර්ශ කළ හැකි පරිදි නිර්මාණ කිරීමට සෑම නිර්මාණකරුවකුටම සමත් වන්නේද නැත. එවන් නිර්මාණ කළ හැක්කේ නිරවුල් මනසක් ඇති, සුන්දර හදවතක් උරුම වූ මිනිසෙකුටම පමණි.
එවැනි සුන්දර මිනිසෙකු කලා ලෝකයෙන් ඉක්මනින් සමුගැනීමද කිසිදා පුරවාලිය නොහැකි හිඩැසකි. ඉහළ ජනාකර්ෂණයට ලක්වූ ආශාවරී සහ මේ දිනවල අති සාර්ථකව තිරගත වන Rythem of the Guitar – ක්ලැරන්ස් චිත්‍රපටය එවන් අති සුන්දර නිර්මාණ කරුවෙකු අතින් බිහිවූවකි. ඔහු කවුරුත් දන්නා හඳුනන තේජා ඉද්දමල්ගොඩය. වෙළඳ දැන්වීම් ලෝකයේ ඔහු තේජස විහිදුවා ලූ දැවැන්තයෙකි. ඔහු ගේය පද රචකයෙකි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. තනු නිර්මාණ කරුවෙකි. චිත්‍ර ශිල්පියෙකි. අංශ ගණනාවක දස්කම් පෑ ඔහු වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වෙළඳ නාමයන් ඉහළටම ඔසවා තැබීමට ප්‍රබල ශක්‍තියක් ලබාදුන් නිර්මාණ කරුවෙකි.
ස්පත ස්වරයෙන් දෙසවන් මන්මත් වන ගීත නාදයෙන් රසික දෙසවන් සනහා ලූ ක්ලැරන්ස් විජයවර්ධනයන් සිනමා තිරය මත ජීවමාන කළේ තේජා ඉද්දමල්ගොඩය. ඔහු ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ රසිකයෙකි. ඉතා සමීපව ඇසුරු කළ මිතුරෙකි.ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ සමු ගැනීමත් සමඟ කවදා හෝ ඔහුව සිනමා තිරය මත ජීවමාන කිරීම , තේජාගේ එකම අභිප්‍රාය සහ ආශාව වන්නට ඇත.
කිසිදු කලබලයක් නොමැතිව තම එකම සිහිනය කල් යල් බලා සැබෑ කර ගැනීමට ඉද්දමල්ගොඩ මහතා අපමණ වෙහෙසක් දරා ඇති බව පැහැදිලිය. පියවරෙන් පියවර තම දෑස ඉදිරියේ තම බලාපොරොත්තුව මල්ඵල දරන විට ඔහු සිහින ලොවක අතරමං වන්නට ඇත.
මින් පෙර ඔහුගේ අතින් බිහිවූ ආකර්ෂණීය සිනමා සිත්තමක් වූ ‘ ආශාවරී’ අතිශයින් ජනාදරයට පත්විය. ආශාවරී සහ ක්ලැරන්ස් සිනමා ද්විත්වය ඔහුගේ අතින් සිනමා ලොවට දායාද කර දරුවන් දෙදෙනෙක් වැනිය. ආශාවරී බිහි කිරීමෙන් පසුව ක්ලැරන්ස් Rythem of the Guitar චිත්‍රපටයේ උරුමක්කාරයා වන්නට ඔහු සමත් වූයේය. එහෙත් තම උරුමය වූ ඒ සුන්දර සිනමා සිත්තම සිනමා තිරය මත දිග හැරෙන අන්දම තම දෑසින් දැක බලාගැනීමට ඔහුට නොහැකි විය. ඒ ඔහු තම ජීවිත ගීතයෙන් නොසිතූ අවස්ථාවක සමුගත් නිසාය. එහෙත් ඔහුගේ අතින් බිහිවූ නිර්මාණ, ඔහුගේ නාමය කිසිවිටෙකත් අමතක කළ නොහැකිය. ඒ සුන්දර අගනා නිර්මාණ වලට අන් අයෙකුට අයිතිවාසිකම් කීමටද නොහැක. තේජා ඉද්දමල්ගොඩ නම් වූ ඒ කලාකරුවාණන් පිළිබඳ කලා ලෝකයේ ඔහුව ඉතා සමීපව ඇසුරු කළ ශිල්පීන් කිහිපදෙනෙක් සරසවිය හමුවේ මෙසේ අදහස් දැක්වූහ.
ඔහු නොමැතිව පාළුයි
ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි මාලේවන
තේජාව මම දන්නේ අවුරුදු ගණනාවකට කලින්. ඔහු මගෙයි , ක්ලැරන්ස්ගෙයි හොඳ රසිකයෙක්. ඔහු හරිම ආශා කළා අපේ ගීත වලට. ඒ රිද්මයට. දිනක් මට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා.
” මම ඔබට ලස්සන සිංදුවක් කළා. අපි ඒක රෙකෝඩ් කරමු”.
අපි එය පටිගත කරන්න හමු වූ අවස්ථාවේ ඔහු මට පරණ ගීත දාල දුන්නා අහන්න. ඔහු ක්ලැරන්ස්ගේ ගීත වලට දැඩි ලෙස පෙම්බැඳී කෙනෙක්. ඔහුගේ හීනයක් තිබුණා ක්ලැරන්ස් ගැන චිත්‍රපටයක් කරන්න. අවුරුදු දෙක තුනකට පසුව ඔහු මාව අමතා නැවතත් ඒ පිළිබඳ මතකය අවදි කළා. ඔහු මා හමුවී ක්ලැරන්ස් පිළිබඳ සියලු තොරතුරු සාකච්ඡා කළා. ඔහුගේ මුවින් පිට වූයේ මෙවන් දෙයක්.
” මම මේක කොහොම හරි කරනවා”.
ඒ වගේම ඔහු එයට අඩිතාලම දැම්මා. මටත් රඟපාන්න ආරාධනා කළා.
චිත්‍රපටයේ රූගත කිරීම් කළේ නුවර පළාතේ. ඒ කාලය හරිම විනෝදයෙන් ගතකළා. අපි හවසට එකතු වෙලා සිංදු කිව්වා.
මට ඒ දවස්වලම හිතුණා මේ චිත්‍රපටය හිට් වෙයි කියලා. අවාසනාවකට තේජාට තමාගේ හීනය නිමවන තුරු ජීවත් වෙන්නට නොහැකි වුණා. තේජාට තිබුණේ ක්ලැරන්ස්ගේ සංගීත රිද්මයමයි. ශිහාන් මිහිරංගට නිර්මාණය කළ ” මිහිරාවියේ ” ගීතය හැමදාම රස විදිය හැකි ගීතයක්.
ඔහු තුළ තිබුණේ පුදුම දක්ෂතාවයක්. ඔහු දක්ෂ සිත්තරෙක්. මගේ උපන්දිනයට මගේ රුව සිතුවම් කරලා මට තිළිණ කරන්නට ඔහු අමතක කළේ නැහැ.
මගේ දුව කවදාවත්ම සිංහල චිත්‍රපට බලපු කෙනෙක් නෙවෙයි. ඒත් ‘ක්ලැරන්ස් ‘ බලල ඇය මවිතයට පත්වුණා.
ඇත්තටම තේජා ඉද්දමල්ගොඩ හරිම ආදරණීය චරිතයක්. ඔහු නැති පාඩුව, පාළුව වැඩිපුර දැනෙන්නේ හැට හැත්තෑවේ දශකයේ අපි වැනි කලාකරුවන්ටයි.
ඔහුගේ ආත්ම ගීතයේ තනුව ක්ලැරන්ස්ගේ
රංගන ශිල්පී හේමාල් රණසිංහ
තේජා ඉද්දමල්ගොඩට හරි ලස්සන සිහිනයක් තිබුණා. ඔහු ඉතා ආසාවෙන් සිටියා ඔහුගේ ජීවිත කාලයේදී ඒ සිහිනය සැබෑ කරගන්න. ඒ තමයි අපේ රටේ සංගීතයේ නොමියෙන පුරාවෘත ගායක ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ ජීවිත කතාව පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීම. ක්ලැරන්ස්ගේ සංගීතයත් එක්ක ගතකළ , ක්ලැරන්ස්ගේ සංගීතය ඔහුගෙන්ම ඉගෙන ගත් නිර්මාණශීලී තේජාටම මේ අදහස ඇති වෙන්න හේතු තිබෙන්නට ඇති. තේජා ඉද්දමල්ගොඩ කියන්නේ හුදෙක් චිත්‍රපට දෙකක් පමණක් අධ්‍යක්ෂණය කළ කෙනෙක් නෙවෙයි. ඔහු බොහෝම කීර්තිමත් ඉතිහාසයක් සමඟ ඉදිරියට ගමන් කරපු පළපුරුදු පුවත්පත් කලාවේදියෙක්. මේ රටේ මුද්‍රිත මාධ්‍යයේ වෙනසක් ඇති කළ චිත්‍ර ශිල්පියෙක්. ඒ පරිචය ඇසුරෙන් තමයි 1970 දශකය සුන්දර ලෙස ප්‍රති නිර්මාණය කරමින් ඔහු මේ සිහිනය මීට වසර කිහිපයකට කලින් රූපගත කරන්න පටන් ගත්තේ. චිත්‍රපටය තිරගත වීමට පෙර තේජා අපෙන් වියෝ වුණා. මේ ඔහුගේ නිර්මාණයයි. ඔහු සැබෑ කරගත් සිහිනයයි. ක්ලැරන්ස් විජයවර්ධනයන්ට ඔහුගේ කෘත ගුණ සැලකීමයි. තේජාගේ ආත්මය ගීතයක් නම්, ඒ ගීතයේ තනුව නිර්මාණය කර තිබුණේ ක්ලැරන්ස්.
එපමණටම ඔහු ක්ලැරන්ස් හා බැඳී සිටියා. තේජා සංගීතය අධ්‍යක්ෂණය කරමින් ඔහුම ගීත වීඩියෝවද නිර්මාණය කළ ශිහාන් මිහිරංග ගැයූ මිහිරාවියේ සිහින කුමරි ගීතය ඔබට මතක ඇති. එහි තේජා ක්ලැරන්ස්ගෙන් ලැබූ ගීතවත් ආලෝකය ඔබට දකින්නට පුළුවන්. තේජා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එවන් ක්ලැරන්ස්මය පරිචයකින්. එසේ නොවන්නට චිත්‍රපටය මෙතරම් සාර්ථක නොවන්නට ඉඩ තිබුණා. එය පිටපතෙන් පමණක් නොව අපි පොදු සමාජයේදී කියනවා වගේ ක්ලැරන්ස්ව ‘ ඇඟෙන් එන්න ඕන’ කෙනෙක් කරන්න ඕන වැඩක්. තේජා චිත්‍රපටය ජය ගන්නේ එහෙමයි. ක්ලැරන්ස් නම් වූ පෞරුෂය ගැයුමෙන් තනුවෙන් සහ වැයුමෙන් නිර්මිත සංගීත කෘතියක්. එමෙන්ම සංස්කෘතියක්. අන්න ඒ ක්ලැරන්ස් නම් වූ සංස්කෘතියට ශ්‍රව්‍ය දෘශ්‍යව ආදරේ කරවන්නට මතු පරම්පරාවට ඉඩ හදා දුන් අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ සහ නිෂ්පාදකවරයාට මේ රටේ ජනතාවගේ ආදරය සහ ගෞරවය හිමි වන බවට සැකයක් නැහැ. එය අනාගතයේදී කාටවත් බලෙන් පැහැර ගන්නට නොහැකි වේවි.
දුක සැප එකට බෙදාගත්තා
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා
තේජා ඉද්දමල්ගොඩ මා හඳුනන්නේ අවුරුදු ගණනාවක සිට. ඔහුයි මායි මුල් වරට හමුවූයේ දෙරණ ගේම් ඵඩධඹ වැඩසටහනින්. එදා සිට අපි සමීප මිතුරන් බවට පත්වුණා. ඔහුගේ ඇතුළාන්තය මම හොඳීන් දැන සිටියා. සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු ගීපද රචකයෙක්. ගී තනු නිර්මාණකරුවෙක්.
මුල් කාලයේ මම ඔහුගේ මීඩියා විෂන් කියන වෙළඳ දැන්වීම් ආයතනයත් සමඟ සම්බන්ධ වී කටයුතු කළා. අපි දෙදෙනා සමීප මිතුරන් වගේම අපේ පවුල් අතරත් ඒ මිතුදම ගොඩ නැඟුණා. ඔහු තුළ තිබු මනුස්සකම කියන ගුණාංගය අගය කළ යුතුයි. කාට හෝ ප්‍රශ්නයක් පැන නැඟුණහොත් එය විසඳෙන තෙක් පිටුපස සිට ශක්තියක් දෙන කෙනෙක්. අපි දෙදෙනා සහෝදරයෝ වගේ. දුක සැප බෙදා ගත්තේ එකට. අපි දෙදෙනා ගහ ගත්තේ නැති ටික විතරයි.
ඔහු ආදරණීය තාත්තා කෙනෙක්. දුවලාට දැඩිව ආදරය කළා. මගේ දුවටත් එසේමයි. තේජා මා වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කළා. ඔහු තුළ සුවිශේෂී දක්ෂතාවය වන්නේ හරිදේට හරි ශිල්පියාව තෝරා ගැනීම. එයා දකින කෝණය වෙනස්.
ඔහු අධ්‍යක්ෂණය කළ ආශාවරී චිත්‍රපටයට ඔහු එයටම ගැළපෙන ශිල්පිනියක් තෝරා ගෙන තිබුණා.
ඒ වගේම තමයි ‘ ක්ලැරන්ස් ‘ චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෝරාගෙන තිබූ ප්‍රධාන ශිල්පීන් දෙපළ . තේජාගේ ඒ දැක්ම ඉතා විශිෂ්ටයි.
‘ක්ලැරන්ස්’ චිත්‍රපටයේ බොහෝ දේ මටයි මගේ බිරිඳටයි පෙන්නුවා. ඔහු එය අපූරුවට අධ්‍යක්ෂණය කර තිබුණා. ඇතැම් දෙනා කියනවා. ඇතැම් අය කියනවා එහි එන සමහර චරිත සැබෑ චරිත සමඟ නොගැළපෙන බව. එය මා එතරම් විශ්වාස කරන්නේ නැහැ. මන්ද ක්ලැරන්ස්ගේ රුව සහ අනෙක් අයගේ රුව කාබන් කොපියක් වගේ අපේ සිත්තුළ රැඳීලා තියෙනවා. ඔහු එය ලස්සනට නිර්මාණය කර තිබෙනවා. එය තේජාගේ අධ්‍යක්ෂණයේ දක්ෂතාවය.
ඔහුගේ වියෝව මට දැඩි කම්පනයක් ඇතිකළා. මා නම් විශ්වාස කළේ නැහැ එතරම් ඉක්මනින් ඔහුගේ සමුගැනීම සිදුවෙයි කියා. ඔහු සැපේදී පමණක් නෙවෙයි. දුකේදීත් මා සමඟ සහ අපේ සංගීත කණ්ඩායම සමඟ සිටි සුන්දර මිතුරෙක්.
අලුත් අත්හදාබැලීම් කළා
රංගන ශිල්පී බිමල් ජයකොඩි
තේජා ඉද්දමල්ගොඩ නාමය අපට කිසිදා අමතක කළ නොහැකියි. ඔහු ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක්. අපි ඔහු ගැන කතා කරනවා නම් අපි කතා කළ යුත්තේ ඔහුගේ කලා භාවිතය ගැන.
තේජා ඉද්දමල්ගොඩ සිනමාවට නෑකම් කියන පවුල් පසුබිමකින් පැවත එන නිර්මාණකරුවෙක්. ඔහු නම් දරාපු චිත්‍ර ශිල්පියෙක්. මම ඔහු යටතේ මෙහෙයවුණු රංගන ශිල්පියෙක්.
ඔහු වාණිජ සිනමාව පිළිබඳ සිහින දැකපු කෙනෙක්. එය සනාථ කරන්න පුළුවන් කදිම සාධකය ලෙස ඔහු අතින් බිහිවූ ‘ ආශාවරි’ චිත්‍රපටය සහ මේ දිනවල තිරගත වන ක්ලැරන්ස් චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු වාණිජ චිත්‍රපටවල තිබිය යුතු ගුණාත්මකභාවය පිළිබඳ නිතර කල්පනාකාරී වුණා. වාණිජ චිත්‍රපටයක තිබිය යුතු වෙළඳ වටිනාකම, රූපරාමු, ප්‍රේක්ෂකයන් ඇද බැද තබා ගැනීමේ හැකියාව, අධ්‍යක්ෂණය, මෙහෙයවීම ගැන සැලකිලිමත් වුණා.
තේජා ඉද්දමල්ගොඩ නිතර කටයුතු කළේ තරුණ පරපුර සමඟ. වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඔහු ඉහළින් නම රඳවා ගෙන සිටි නිර්මාණ ශිල්පියෙක්. නිතර නිතර අලුත් අත්හදා බැලීම් කරන්න තේජා පුරුදු වෙලා සිටියා.
අධ්‍යක්ෂණය පැත්තෙන් ගතහොත් නිර්මාණයක කලාත්මක භාවිතය පිළිබඳ විශ්වාසය තැබුවා. සිංහල සිනමාවේ තිබෙන හිස්තැන් පුරවන්න ඔහු තුළ තිබුණේ දැඩි උවමනාවක්. ආදරය, හාස්‍ය, සංගීතය, ප්‍රවර්ධනය වැනි අංශවල ඇතිව තිබූ හිඩැස පුරවාලන්නට ඔහුට දැඩි උවමනාවක් තිබුණා. සිනමාව කර්මාන්තයක් විදිහට දකින්න හීන මැව්වා.
ඔහු හැත්තෑව දශකයේ බිහිවූ, සංගීතය පිළිබඳ අධ්‍යයනය කළ කෙනෙක්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි තේජා විසින් ක්ලැරන්ස් – අඩරබඩථ ධට ට්භඪබචප බිහිවන්නේ. ඔහුගේ අතින් සිංහල සිනමාවට නවක නළු නිළියන් හඳුන්වාදීම විශේෂයෙන් අගය කළ යුතුයි.
සිංහල සිනමාවට ඔහුගේ වියෝව තදින් දැනෙයි. තව අති සුන්දර චිත්‍රපට ගණනාවක් ඔහුගේ අතින් නිර්මාණය වන්නට ඉඩ තිබුණා.
තේජා……..
ඔබ ජීවමානව නැති වුවත්, සුන්දර නිර්මාණයන් සදා මතකයේ තබා ඔබ නික්ම ගියා.
මාව හඳුන්වාදුන්නේ සර්
රංගන ශිල්පිනී නිහාරි පෙරේරා
තේජා ඉද්දමල්ගොඩ සර් ගැන වචනයෙන් කියල විස්තර කරන්න බැහැ. මාව සිංහල සිනමාවට හඳුන්වා දුන්නේ තේජා සර්. මුල සිටම ඔහු මා ගැන සොයා බැලුවා. මට තේජා සර්ව මුලින්ම මුණගැසුණේ වෙළඳ දැන්වීමක් රූගත කරද්දී. එදා සර් කිව්වා මම ඔයාව කවදා හරි චිත්‍රපටයකට ගන්නවා කියලා.
ඉන් වසර දෙකකට පමණ පසු මට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒ වෙලාවේ මම හිටියේ පිටරට. ඒ අවස්ථාවේ මම කෙතරම් කාර්ය බහුල වී සිටියත් ඒ ඇමතුම මම ගත්තා. එහා පැත්තෙන් කතා කළේ තේජා ඉද්දමල්ගොඩ මහතා. සර් කිව්වා ඔහුගේ චිත්‍රපටයට මාව තෝරා ගත්තා ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා. මම පිටරට ඉදන් ආපු ගමන් පහුවදාම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. දින දෙකකට පසුව සර් කිව්වා මාව තෝරා ගත් බව. ඒ ක්ලැරන්ස් චිත්‍රපටයට. එදා ඉදන් සර් මාව ‘ ශීලා’ කියන චරිතයට හැඩගැස්සූවා. ශීලා මහත්මියට දුරකථන ඇමතුමක් අරගෙන දීලා එතුමිය සමඟ කතා කරන්න අවස්ථාව දුන්නා. මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ක්ලාස් වලට මාව යොමු කළා රංගනය හදාරන්න.
තේජා සර් අපිව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. රූගත කිරීම් වලදී අපිට තාත්තා කෙනෙක් වගේ සැලකුවා. සීන් එකෙන් සීන් එකට අපව පුහුණු කළා. ක්ලැරන්ස් චිත්‍රපටය වෙනුවෙන් සර් ලොකු කැපකිරීමක් කළා. ෆිල්ම් එකේ ගොඩාක් වැඩ කටයුතු තේජා සර් ඉවර කරල තිබුණේ. ඒ අතරේ සර් අසනීප වුණා. ඒ නිසා ඇතිවුණේ ලොකු පාඩුවක්. තේජා සර්ගෙන් අපි හැමෝටම ලොකු සහයෝගයක් ලැබුණා. අද මම මේ තැන ඉන්නේ තේජා සර් නිසා.
ක්ලැරන්ස් වගේ ලස්සන නිර්මාණයක් බිහි කරපු තේජා සර්ට ලැබිය යුතු ඇගැයීම ලැබුණේ නැහැ. ඔහු ගැන කතා කෙරෙනවා අඩුයි. ඔහුගේ දක්ෂතාවය තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නේ.
තේජා සර් කියපු වචනය ඒ විදිහටම ඉටු කළ කෙනෙක්. මට වුණු පොරොන්දුව තේජා සර් කඩ කළේ නැහැ. සර් මා ගැන විශ්වාසයක් තියලා මාව රංගන ශිල්පිනියක් කළ නිසා තමයි වෙනත් අධ්‍යක්ෂවරුන් මාව ඔවුන්ගේ නිර්මාණ සඳහා යොදා ගත්තේ. මාව රංගන ශිල්පිනියක් ලෙස මාව ඉහළට ගෙනියන්න සර්ට අවශ්‍යතාවයක් තිබුණා.
තේජා ඉද්දමල්ගොඩ සර්ගේ ඒ සිහිනය සැබෑ කරන්නටත් සර්ගේ ගෞරවය රැක ගෙන ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා.
තේජා සර් වැනි කෙනෙක් සිනමාවට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක්.
සුන්දර හදවතක් තිබුණා
චිත්‍රපට සහය අධ්‍යක්ෂ නිරෝෂන් එදිරිමාන්න
මාව තේජා ඉද්දමල්ගොඩ මහතාට හඳුන්වා දුන්නේ ජනක රත්නායක කියන රේඛීය නිෂ්පාදකවරයා. මීට ටික කලකට පෙර. මුලින්ම ඔහු මගෙන් ජීව දත්ත පත්‍රයක් ඉල්ලා සිටියා. මේ කලා ක්ෂේත්‍රයේ මා දන්නා තරමින් වෙන් කවුරුවත් එසේ ඉල්ලා නැහැ. ඉන්පසු මගේ සියලුම තොරතුරු තේජා ඉද්දමල්ගොඩ මහතා වෙත ලබා දුන්නා. ඔහු එහි විස්තර හොඳීන් අධ්‍යයනය කර ඔහු මට කතා කළා.
ඔබට උපාධියක් තිබෙන නිසා මේ පිළිබඳ අවබෝධයක් හා සංයමයක් ඇත කියා විශ්වාස කරනවා. පිටපතට වඩා දෙයක් අපට කරන්න වෙනවා. ඒ නිසා අපි එකතු වෙලා වැඩ කරමු. ඒ වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇත්තටම තේජා ඉද්දමල්ගොඩ මහතා වැනි හොඳ හදවතක් තිබෙන පුද්ගලයෙක් සමඟ වැඩ කරන්න ලැබීම සතුටක්.
‘ක්ලැරන්ස්’ කණ්ඩායමේ අයත් මා ගැන කලින් ඔහුට කියා තිබුණා. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ආශාවරි චිත්‍රපටයත් ඉතා හොඳ නිර්මාණයක්. එයට සම්බන්ධ වෙන්න කියල මට ප්‍රවීණ සහය අධ්‍යක්ෂකවරයෙක් වූ දමින්ද මඩවල මහතා මට ආරාධනා කළා. ඔහු අසනීප තත්වයෙන් පසු වූ නිසා ආශාවරී හි ඔහු කළ වැඩ කටයුතු මට පවරන්න සූදානම් වුණා. එහෙත් මම ඒ වෙලාවේ වෙනත් නිර්මාණයක නිරත වී සිටි නිසා ඒ වටිනා අවස්ථාව මට මඟ හැරී ගියා.
තේජා ඉද්දමල්ගොඩ අති දක්ෂ චිත්‍ර හා සංගීත ශිල්පියෙක්. ඔහුට ඒ හැකියාව මනාව පිහිටා තිබුණා. ඔහු සමඟ වැඩ කිරීම පහසුයි. සෑම කෙනා සමඟම සුහදව කටයුතු කරන්න ඔහුට හැකියාව තිබුණා.
අපි සෙට් එකේ රූගත කිරීම් කරද්දී අපි කෑවද බිව්වද කියා සොයා බලනවා. එතරම්ම මනුස්සකමින් පිරි හදවතක් තිබුණ පුද්ගලයෙක්.
ඔහුත් එක්ක වැඩකළ සෑම තප්පරයක්ම හරිම රසවත්. රූගත කිරීම් වලදී අපි සියල්ල සූදානම් කර බලාගෙන ඉද්දී ඔහු එතන තිබෙන සංගීත භාණ්ඩයක් වාදනය කරමින් සිංදු කියනවා. ඔහු හරිම විනෝදකාමීයි.
ක්ලැරන්ස් චිත්‍රපටය රූගත කිරීම් අවසන් භාගයේ පමණ ඔහු රෝගාතුර වුණා. ඒ නිසා චිත්‍රපටයේ ඉතිරි කටයුතු මගේ කරමත පැවරුණා. විශේෂයෙන් අවසන් රූගත කිරීම් අවසන් කිරීම සඳහා නිතර නිතර ඔහුගේ නිවසට යාමට ඒමට සිදුවුණා. ඊට අමතරව මුලින් රූගත කිරීම් කළ දර්ශන කිහිපයක් සංශෝධනය කිරීමට අවශ්‍ය වුණා. ඔහු ඒ සඳහා අවසර දුන්නා. උපදෙස් දුන්නා.
‘ නිරෝෂන් ඔයා ඒ වැඩටික කරගෙන යන්න’. එසේ කියමින් ඔහු මට උපදෙස් දුන්නා. මම මුල සිටම ක්ලැරන්ස් චිත්‍රපටය සමඟ සම්බන්ධ වී සිටි නිසා මම ඔහු දුන් උපදෙස් අනුව වැඩකළා. කෙසේ හෝ ඔහුට අවශ්‍ය ආකාරයට සිතේ තිබුණ රූප චිත්‍රපටයේ පෙළගැසුණ නිසා ඒ සතුට මට තියෙනවා.
‘ ක්ලැරන්ස් ‘ කණ්ඩායමේ සියලු දෙනා තුළ වෘත්තීමය භාවය තිබුණ ශිල්පීන්.
තේජා මහතා අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා ඉතිරිව තිබූ දර්ශන කිහිපයක් අපි ශූට් කළා. අපේ සංස්කරණ ශිල්පියා ඔහුට ඒ දර්ශන පෙන්නුවා. ඔහු ඒවා දැකලා සතුටු වුණා මට තාමත් මතකයි.
තේජා ඉද්දමල්ගොඩ මහතාගේ හිතේ තව නිර්මාණයක් කිරීමේ අදහසක් තිබුණා. ඒකත් හරිම ලස්සන කතාවක්. ඒත් අපි කාගේත් අවාසනාවට ඔහු අපෙන් ඉක්මණින් වෙන්වෙලා ගියා. අපේ සිනමාවට එය විශාල පාඩුවක්. ඔහු සිටියා නම් අපේ සිංහල සිනමාව අති සුන්දර නිර්මාණ වලින් හැඩවන බව සත්තයි. ඔහු පිළිබඳ කෙටියෙන් කියා නිම කරන්න අමාරුයි.
ඔහු සුන්දර මනුස්සයෙක්.
ආදරණීය චරිතයක්.
නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක්.
නයනාංජලි දෙහිපිටිය