Home » ජනශ්‍රැති හා සංස්කෘතික අධ්‍යයනය නව පරම්පරාවට ලබා දීම ඉතා වැදගත්

ජනශ්‍රැති හා සංස්කෘතික අධ්‍යයනය නව පරම්පරාවට ලබා දීම ඉතා වැදගත්

- ප්‍රකට ලේඛක මහානාම දුනුමාල

by Thanushika
June 12, 2025 1:11 pm 0 comment

මහානාම දුනුමාල තුන් කෝරළය ප්‍රදේශය නියෝජනය කරන ලාංකේය සාහිත්‍යය ක්ෂේත්‍රයෙහි පාඨකයන් අතර සම්භාවනාවට පාත්‍ර වූ ලේඛකයෙකි. නවකතාව, කෙටිකතාව, කවි සහ ශාස්ත්‍රීය යනාදී වශයෙන් ශානරයන් බොහෝමයක නිරත වූ මහානාම දුනුමාල විසින් රචනා කළ නවතම කෘතිය වන ‘තුන් කෝරළයේ නවදැලිහේන සහ ජනශ්‍රැති සම්ප්‍රදා’ කෘතිය මේ වසරේ ප්‍රකාශයට පත් කෙරිණ. මෙවර සරසව්ය හරහා අවකාශය වෙන්වන්නේ ලේඛක මහානාම දුනුමාල සමඟ සිදු කළ සාහිත්‍යමය කතාචබහ සමඟිනි.

ඔබගේ අලුත් කෘතියවන තුන් කෝරළයේ නවදැලිහේන සහ ජනශ්‍රැති සම්ප්‍රදා කෘතිය පිළිබඳ කතා කරමු.

‘ තුන් කෝරළයේ නවදැලිහේන සහ ජනශ්‍රැති සම්ප්‍රදා ‘ මා ලියා ප්‍රකාශනයට පත් වූ දහසයවන කෘතියයි. මෙවැන්නකට ඇවැසි තොරතුරු සපයා ගැනීම්වල 2018 පමණ සිට යම් ප්‍රමාණයක නිරත වුව ද ඒ වෙනත් ලේඛනමය කටයුත්තක නිරතවන අතර. 2020 වන විට කොරෝනා උවදුර ලොව පුරා ව්‍යාප්ත වුණා. රට ආර්ථික කටයුතු , පරිපාලන කටයුතු ආදී සියල්ලකටම වසා දැමුණා. ගමනාගමනය ඇන හිටියා. තොරතුරු සොයන්න යන්න බැහැ. මම අන්තර්ජාලයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් අඩවි පිරික්සා ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන්ගේ දුරකථන අංක ලබා ගත්තා. ඔවුන් වෙතින් ගම්වල පැරණි තොරතුරු දන්නා අයගේ නම් හා දුරකතන අංක ලබා ගත්තා. ඒ අය කිසිදු මැළිවීමකින් තොරව මට අවශ්‍ය තොරතුරු ලබාදුන්නා. ඒ ග්‍රාම නිලධාරි ප්‍රජාවට හා තොරතුරු දත් සත්කාරක ප්‍රජාවට මා අතිශයින් ස්තුතිවන්ත වෙනවා.

ඔබ වඩාත් සමීපවෙන්නේ ඉතිහාසය සහ ජනශ්‍රැති සමිප්‍රදාය කියන විෂයන් දෙකට. ඊට හේතුව මොකක්ද?

කුඩා කාලයේ සිටම මා නැඹුරු වූයේ සාහිත්‍යයට. කාලයෙන් කාලයට එය නියෝජනය කරන විවිධ ශානර කෙරෙහි මා උනන්දු වෙනවා. කවියට, කෙටිකතාවට, නවකතාවට, නාට්‍යයට, සිනමාවට ආදි වශයෙන්. ඉතිහාසය මා කවදාවත් ඉගෙන ගත් විෂයයක් නෙවෙයි. 6 වන ශ්‍රේණියේ දී (1972) අලුත් විෂය නිර්දේශය යටතේ අපට ඉතිහාසය වෙනුවට ඉගෙනගන්නට වෙන්නෙ සමාජ අධ්‍යයනය. අනතුරුව පැමිණි අධ්‍යාපන කඩයිම්වලදී ඉතිහාසය හැදෑරීම අවස්ථාව ලැබුණේ නැහැ. කුඩා අවධියේ සිට ඉතිහාසය කියවීමට මා දැඩි සේ පෙලඹුණා. 1990 දශකයේ සිට අප උපන් ගම්බිම් අයත් වන සීතාවක රාජධානියේ විවිධ මූලාශ්‍ර ඔස්සේ ඇතිවන ගැටලු හා මූලාශ්‍ර මඟින් කියවෙන කරුණුවල පරස්පරතා කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. විවිධ ලිපි මා අතින් ලියවෙනවා. මේ පිළිබඳව හැදෑරීම් හා කියැවීම්වල ප්‍රතිඵලයක් තමයි 2008 දී ලියැවී ප්‍රකාශයට පත්වෙන ‘සීතාවක රාජසිංහ රජ දවස’ කෘතිය. ඉන්පසුවත් ඉතිහාසය අරභයා මා ලියූ කෘති පළවෙනවා . පුවත්පත් ආදියේ ලිපි පළ වූ ජනශ්‍රැතියට මා ළමා වියේ සිට ම ඇලුම් කළා. වැඩිහිටියන් (විශේෂයෙන් අපට ආතා, අත්තම්මා වන අය) ඔවුන්ගේ කතා විලාස, ඒවා පළාතෙන් පළාතට , අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වන ආකාරය මා කුඩා වියේ සිට නිරීක්ෂණය කළා. පුවත්පත් කවි පිටු ආදියට කවි, කෙටිකතා, කුඩාලිපි ආදිය ලියමින් සිටි මගෙන් මුලින් ම ලියැවුණේ ජනකතා පොතක්. (තුන් කෝරලයේ ජනකතා) එහෙත් මම නවකතා හත‍රක්, කාව්‍ය කෘතියක්, සාහිත්‍යය විමර්ශන කෘති දෙකක් ලියා තිබෙනවා. ඉතින් අංක එකට වැටෙන්නේ සාහිත්‍යය.

ඔබ මීට පෙර රචනා කළ ‘රජ මාවත’ ලංකාවෙි එක් නිශ්චිත වූ මාර්ග ඉතිහාසයක් සමිබන්ධයෙන් ලිය වු වැදගත් කෘතියක්. මෙම කෘතිය රචනා කිරීමෙිදී ඔබ ලැබූ අත්දැකීම් පිළිබඳ කියන්න පුළුවන් ද?

මා මුලින් ම බලාපොරොත්තු වුණේ පැරණි මාර්ග කීපයක තොරතුරු ඇතුළත් මාර්ග ඉතිහාස පොතක් කරන්න. ඊට අදාළ තොරතුරු සෙවුම් බැලුම් සිදුවුණා. කොළඹ නැත්නම් කෝට්ටේ සිට දකුණට (මාතර, ගාල්ල දක්වා ) , කොළඹ සිට මහනුවරට , කොළඹ සිට රත්නපුර මෙවැනි මාර්ග වලට අදාළව තොරතුරු සෙවීම් කළා. සන්දේශ කාව්‍ය, විදේශීය ජාතිකයන් ලියූ පොත පත, ඇතැම් තැන්වල දී විශ්ව කෝෂ මෙන් ම අන්තර්ජාලයත් ඇසුරු කළා. මෙසේ සෙවුම් බැලුම් කරන විට මට අදහසක් ඇතිවුණා ‘කොළඹ – නුවර පැරණි පාර’ පිළිබඳව පමණක් පොතක් කළ හැකියි නේද කියා. මට මේ පාරෙන් අඩක් කවියෙන් කියැවෙන මායාදුන්නේ පියරජුට එරෙහිව සටන් වදින්නට සේනා රැගෙන නුවර සිට එන මාර්ගය ඇතුළත් සීතාවක හටන, විදේශිකයන් පැරණි කොළඹ නුවර පාර පිළිබඳව සටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ආර්. රේවන් හාට් රජ මාවත ඔස්සේ ගමන් කළ ලන්දේසි දූතයන් අසූ දෙනෙකුගේ පමණ හා ඉංග්‍රීසි දූතයන් කීප දෙනෙකුගේ වාර්තා ඇසුරින් සකස් කළ ‘ඊඩඥ ට්පඥචබ අධචඤ’ නම් ජර්නලය කෞතුකාගාර පුස්තකාලයෙන් ලබාගතිමි. එසේම රේවන්හාට් ජර්මන් බසින් ඉංගිරිසියට පරිවර්තනය කළ රජමාවතට අදාළ කෘතිවලින් ද තොරතුරු ලබාගතිමි. තානාපතිවරුන් වෙනුවෙන් සැපයූ තානායම්, මගීන් වෙනුවෙන් තැනුණු අම්බලම්, තානාපතීන් රජුට ගෙනගිය තුටුපඬුරු හා තානාපති චාරිකාවේ උත්සවශ්‍රීය පිළිබඳව කියැවෙන පරිච්ඡේදවලින් පසු රජ මාවතේ මඟ සලකුණු පිළිවෙළින් දැක්වේ. මෙහිදී මඟ සලකුණු දැක්වෙන ගම් නියම්ගම්වල ගමේ නම හැඳුණු හැටි, ගම ගැන කියැවෙන ජනකවි, ජනකතා එකතුකිරීමෙන් කෘතියේ ඉතිහාසමය මුහුණුවරට ජනශ්‍රැතිමය මුහුණුවරක් ද එක්වී ඇත.

ඔබ කවියට පෙමි බඳීන ලේඛයෙක්. ‘සුළඟ වෙතටයි’ නමින් කවි පොතක් ඔබ 2010 වසරේදී ප්‍රකාශයට පත් කරනවා. දැන් ඔබ කවි ලිවිමෙන් ඈත් වෙලාද?

කවිය ඇසුරු කරන්නට පටන් ගන්නේ පාසල් අවධියේ සිට. එකල තිබුණු දැනුම් තේරුම් අනුව විවිධ ආකෘතීන් අනුව කවි ලියවෙනවා. කියැවීම්, හැදෑරීම් අනුව අනුභූතීන් , කාව්‍යමය භාෂාව ආදිය වර්ධනය වෙනවා. 1984 පමණ වන විට මගේ කවිය පුවත්පත් පිටු අතරට යනවා.ඉරිදා දිවයින සංග්‍රහයේ ‘කව් මුතු’ , නවලියේ කවි කවුළුව මගේ කවි පළකරනවා. 90 දශකය උදා වූ පසු රාවය පුවත්පතේ පද්ම තටාකය තීරයේ මගේ කවියට අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව ලක්මිණ, ලක්දිව , ලක්බිම වැනි විවිධ පුවත්පත්වල මගේ කවි පළවූවා. සුළඟ වෙතටයි. මා අතින් පළ වූ එකම කාව්‍ය කෘතිය. ඉදිරියේ දී මා නැවත කවි ලිවිය යුතුයි. කවිය තමයි ප්‍රබලතම ප්‍රකාශන මාධ්‍යය.

ඔබෙි සාහිත්‍ය වපසරිය තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් තමයි. ඔබ වාසය කරන තුන් කෝරළය අවකාශයේ ඉතිහාසය, වැඩිමනක් ඔබෙි කෘතිවලට වස්තු විෂය වීම. මීට හේතුව මොකක්ද?

ලාංකික ලේඛකයන් බොහෝ දෙනෙකුගේ සාහිත්‍යමය කෘතීන් සඳහා වස්තු විෂය සැපයෙන්නේ ඔවුන්ගේ උපන් ගම්බිම්වල අත්දැකීම් තුළින්. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතාදියට ඔහු උපන් කොග්ගල මලලගම පරිසරය පසුබිම් වෙනවා. කේ. ජයතිලකගේ නිර්මාණවලට ඔහු උපන් කන්නිමහර, රදාවාන වැනි ප්‍රදේශ පසුබිම් වෙනවා. මහගම සේකර ලියූ නවකතා දෙකට ම පසුබිම් කරගත්තේ රදාවාන ගම. වැවදෙණියේ එල්. ඩී. මැන්දිස් ලේඛකයාගේ සියලු ම කෘති සඳහා පාදක වූයේ ඔහුගේ ගම වැවදෙණිය. නිශ්ශංක විජේමාන්න ඔහුගේ කෙටිකතා හා නවකතා සඳහා පසුබිම් කරගන්නේ මහියංගණයේ මාපාකඩවැව හා ආශ්‍රිත ප්‍රදේශ. ගාර්ෂියා මාකේෂ් වැනි ලෝක ප්‍රකට ලේඛකයෝ පවා සිය දේශයේ ජන නිමිති ආදී ජනශ්‍රැති නිර්මාණකරණයේදී ප්‍රබලව යොදා ගන්නවා.

නවකතාව සහ පරිවර්තන ලංකාවෙි පාඨකයන් අතර ජනප්‍රිය සාහිත්‍ය ශානර දෙක. ශාස්ත්‍රිය කෘති ලංකාවෙි බොහෝ පාඨකයන් අතර දැඩි අවධානයක් ලක් නොවුණ සාහිත්‍ය ශානරයක්. ඒ ඇයි?

නවකතාව කොහොමත් ජනප්‍රිය සාහිත්‍යය ශානරයක්. ඒ ජනප්‍රියත්වය හා අවධානය ලංකාවේ දී නම් කෙටිකතා, කාව්‍ය ආදියට ලැබෙන්නේ නැහැ. ශාස්ත්‍රීය කෘති ගවේෂණාත්මක කාරණා කියවන සහ අධ්‍යයනයන්හි යෙදෙන පිරිස් අතරයි භාවිතා වෙන්නෙ. අපේ රටේ වුවත් තමන් ප්‍රියකරන කාරණා යටතේ ශාස්ත්‍රීය කියවීම් සඳහා උනන්දු පාඨක පිරිස් සිටිනවා.

සංස්කෘතියේ සෝදාපාළුවත් වත්මන් සමාජ අර්බුදවලට හේතුවක්ද?

සමහරු එහෙම කියනවා. එහෙත් මේ කාරණා නොවෙනස් ව පවතින දෑ නොවෙයි. සංස්කෘතිය හා ඊට අදාළ සංකල්ප විටින් විට වෙනස් වෙනවා. ඒ එහි ස්වභාවය. පරිණාමයට සියල්ල යටත්. සියලු වෙනස්වීම් සෝදාපාළු යයි හැඳීන්වීම නිවැරැදි නොවේ.

ජනශ්‍රැතිය සහ සංස්කෘතිය අධ්‍යයනයේ වැදගත්කම පිළිබඳ අලුත් පරම්පරාවට කියන්න තියෙන දේ මොකක්ද?

ජනශ්‍රැති හා සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය ඉතා වැදගත් වූවක්. ජන සමාජයේ සංවේදීතා, කාලගුණය හා දේශගුණය, ගංවතුර ගලන රටා, විවිධ පෙදෙස්වලට ආවේණික සිරිත් විරිත් රටා පිළිබඳ අවබෝධය ගම් නියම්ගම් ආශ්‍රිතව රාජකාරි කරන පරිපාලන නිලධාරින්, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන් වැනි අයට කෙතරම් වැදගත්ද? මේ අවබෝධය නව පරම්පරාවට ලබා දීම ඉතා වැදගත්.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT