හැටේ දශකයේ ජනපි‍්‍රය සිනමාවේ සුපිරි තරුවක් වූ ජීවරාණි කුරුකුලසුරිය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරමින් සිනමාවට පිවිසුණාය. ඇය මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපානු ලැබුවේ සිනමාස්ගේ වීර විජය චිත්‍රපටයේය. මෙරට ප්‍රථම මී.මී 35 වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදුව හි කුමාරි ලෙස ප්‍රධාන චරිතය රඟමින් ඇය පේ‍්‍රක්ෂක හදවත්වල දැඩිව ලැඟුම් ගත්තාය.
රන්මුතු දුව චිත්‍රපටයේ රංගනයත් සමඟ සිනමාවේ මුදුන් පෙත්තටම පැමිණි ජීවරාණි හැටේ දශකයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබු හතර මහා නිධානය, සැනසුම කොතැනද සොරුන්ගෙත් සොරු ආදී චිත්‍රපට රැසක රඟපෑවාය.
ජනපි‍්‍රය සිනමාවේ ගාමිණී – ජීවරාණි යුගයක් ද සනිටුහන් කළ ඇය රන්මුතුදුව, අදට වැඩිය හෙට හොඳයි, යටගිය දවස, සැනසුම කොතැනද, ඔබ දුටු දා, සැනසිලි සුවය, ඉපදුණේ ඇයි, ඔක්කොම හරි, සොරුන්ගෙත් සොරු, සසරක හැටි, දෙලොවක් අතර, සෙනෙහස වැනි චිත්‍රපට ඔස්සේ ජනපි‍්‍රයත්වයෙන් ඔබ්බට යමින් තම රංග කුසලතාවයන් පළ කළාය. ඩික්ඩයස්ගේ මහහේනේ ඊරියකා වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟමින් කලාවට පිවිසි ජීවරාණි අලුත්ගමදී උපත ලැබීය. පාණදුරේ යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබු ඈ පාසලේ විවිධ ප්‍රසංගවලට සහභාගි වෙමින් කුඩා කල සිහින මැවුවේ ගුරුවරියක හා ගායිකාවක වීමටය. ප්‍රවීණ නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේනයන්ගෙන් නර්තනය ප්‍රගුණ කළ ඈ ප්‍රකට ගායකයකු වූ තිලකසිරි ප්‍රනාන්දුගෙන් ගීත ගායනය ප්‍රගුණ කළාය.
කරුණාරත්න අබේසේකරයන්ගේ මඟපෙන්වීමෙන් කුඩා අවධියේ ගුවන් විදුලියේ ළමා පිටියෙහි ගී ගැයූ ඈ නාරද දිසාසේකර සමඟ හතර මහ නිධානය චිත්‍රපටයට ලස්සන හැමදේ මොහොතක සුවඳේ” නැමැති ගීතය ගායනා කළාය.
බයිසිකල් හොරා, සීතාදේවි, ගොපලුහඬ, සුමුදු භාර්යා, බඩුත් එක්ක හොරු, ඉදුනිල, සිඟිති සුරතල්, හතර කේන්දරේ, කපටිකම, සාරවිට, සුජාගේ රහස, සසරක හැටි, උඩරට මැණිකේ ආදී චිත්‍රපට වල ද ජිවා සිය රංගනයන් ඉදිරිපත් කළාය. 1966 පැවති තුන්වැනි සරසවිය සම්මාන උලෙළත් සමඟ පාඨකයන්ට පි‍්‍රයතම නළුවා නිළිය තේරීමේ භාග්‍ය උදාවීමත් සමඟ මුල්වරට ප්‍රියතම නිළිය ලෙසින් ජනතා සම්මානය දිනාගනු ලැබුවේත් ජීවරාණිය. 1966 වර්ෂයේ පැවැති තෙවැනි සරසවිය සම්මාන උලෙළේදී 1965 වර්ෂයේ ජනපි‍්‍රය නිළිය ලෙස ඇය එහිදී සම්මාන ලැබුවාය. 1967 වසරේ පැවති සිව්වන සරසවිය සම්මාන ප්‍රදානෝත්සවයේදී 1966 වර්ෂය සඳහා ජීවරාණි දෙවැනි වරටත් ජනප්‍රිය නිළිය ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වුවාය. මේ අනුව පිට පිට දෙවරක් ඇය ජනප්‍රිය නිළි කිරුළ පැලඳියාය. එදා මෙදා තුර සරසවිය සම්මාන උලෙළේ ප්‍රථමවරට ජනපි‍්‍රය නිළිය වීමේ කිරුළට හිමිකම් කියනු ලැබුවේද ජීවරාණිය. ඇය 1964 වර්ෂයේ සසරක හැටි 1966 ඔබ දුටු දා 1969 සෙනෙහස චිත්‍රපටවල රංගනය උදෙසා තෙවරක් සරසවිය කුසලතා සම්මානය දිනාගැනීමට ද සමත් වුවාය. ජිවරාණි තම සැමියා වූ වෛද්‍ය ලංකා විජේසේන සමඟ ශීලා චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක් රඟ පෑ අතර විවාහයත් සමඟ සිනමාවෙන් සමුගත් ඈ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියාය. ඇගේ සොහොයුරියන් වූ ශිරාණි, ජානකී මැණික් පසුකලෙක සිනමාවට එක්ව ජනපි‍්‍රය ධාරාවේ රංග ශිල්පිනියන් අතරට එක් වූහ.
සේයාරුව මාලන් කරුණාරත්න
චන්දන දයාසිරිවර්ධන