ආනන්ද මහා විද්‍යාලයේ සිරිකහවල නමින් පුවත්පත් ලේඛන කලාවට ප්‍රවිෂ්ට වූ ඔහු පසුකලෙක සිරිකහවල නමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලැබුවේ කලාකරුවන්ගේ ආදරය දිනාගත් ආදරණීය මිතුරකු ලෙසිනි. සිංහල සිනමාවේ නළු නිළි දත්ත ගබඩාව ලෙසින් බොහෝ දෙනා හඳුනන සිරිකහවලයන් මෙම මස 16 වැනිදාට සිය ජීවන ගමනේ 83 වැනි වියට පා තබයි. ඒ නිමිත්තෙන් මෙම මස 20 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ සවස 6.00ට සිරි අසිරි භක්ති ප්‍රණාම උපහාර උලෙළක් පැවැත්වීමට නිදහස් කලා සංධානය කටයුතු සූදානම් කොට ඇත. නැටුම් ගැයුම් වැයුම් වලින් සපිරි ප්‍රාසංගික අංගයන්ගෙන් හැඩවැඩවෙන මෙම උපහාර උලෙළේ දී සිරිකහවලයන්ගේ ජීවන තොරතුරු අල්ලා නිර්මාණය කළ වාර්තා වැඩසටහනක් ද ඔහුගේ ජීවන තොරතුරු ඇතුළත් සමරු ග්‍රන්ථයක් ද එම උත්සව සභාවේදී එළි දැක්වෙන අතර සිරිකහවලයන් පිළිබඳ මුඛ්‍යදේශනය සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් අතින් සිදුකිරිමට නියමිතය.
මෙම මස 16 වැනිදාට 83 වැනි වියට පා තබන සිරිකහවලයන් 1942 පෙබරවාරි 16 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ අරකාගොඩ ග්‍රාමයේ උපත ලැබීය.
මිල්ලෙනිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, හොරණ තක්ෂිලාව, පානදුර ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සිරිකහවලයන් කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් ද වේ. කවදා හෝ දිනක පුවත්පත් කලා වේදියකුවීමේ දැඩි ආශාවකින් පසු වූ සිරිකහවල පාසල් අවධියේ පටන් පුවත්පත් කලාවට පෙම්බැන්දේය. වයස අවුරුදු දොළහේ පටන් දේශපාලනයට අසීමිත කැමැත්තක් දැක් වූ ඔහු පාසල් ශිෂ්‍යයකුව සිටිනා අවධියේම ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ විශ්ව විද්‍යාලය ඇතුලතත් ඉන් පිටතත් ශිෂ්‍ය ව්‍යපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ සිරිකහවල මහජන එක්සත් පෙරමුණේ ඉදිරි ක්‍රියාකාරි කටයුතු වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කරනු ලැබීය. මහජන එක්සත් පෙරමුණ පුවත්පතේ සෝදු පත් බලන්නකු ලෙසින් කටයුතු කරනු ලැබු සිරිකහවලයන් 1962 දී ආතර් යු අමරසේන මහතා සංස්කරණය කරන ලද චිත්‍රවාහිනී සඟරාවට මුල් වරට සිනමා ලිපියක් සම්පාදනය කරනු ලැබීය. ඒ වනවිට ආනන්ද විද්‍යාලයේ පාසල් ශිෂ්‍යයකුව සිටි ඔහු එය චිත්‍රාවාහිනී සඟරාවට රචනා කරනු ලැබුවේ තම පාසල් නාමයත් තම නමට ඈදමින් ආනන්ද විද්‍යාලයේ සිරිකහවල ලෙසිනි. හින්දි චිත්‍රපට නාමාවලියේ සිංහල තේරුම් අඩංගු ලිපියක් ඔහුගේ ප්‍රථම සිනමා ලිපිය විය.
චිත්‍රවාහිනී සඟරාවට මුල්ම ලිපිය ඒ අයුරින් ලියන ඔහු විවිධ මාතෘකා ඔස්සේ කලා සඟරාව, සිසු පෙරමුණ, සතිය, මේලා, මනහර, සරසවිය, දීපශිකා, සුරතුර ඇතුළු තවත් සඟරා වගේම පුවත්පත් සදහාත් ලිපි සම්පාදනය කරනු ලැබීය.
හින්දි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ගුරුවරයකු වූ සිරිකහවල මහතා හින්දි භාෂාව ගැන ලියන ලද පොතපත පරිශිලනයෙන් බඹරැන්දේ සිරිසීවලී හිමියන් ලියූ හින්දි භාෂා පොත අධ්‍යයනයෙන් චිත්‍රා විද්‍යාලයේ හය මාසික තැපැල් මාර්ගික හින්දි පාඨමාලාව අධ්‍යයනයෙන් හින්දි භාෂාව පිළිබඳ බොහෝ කරුණු කාරණා ඉගෙනීමෙන් අනතුරුව 1965 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් හින්දි භාෂා විශේෂවේදී උපාධිය ද හදරනු ලැබීය. චන්ද්‍රසිරි පල්ලියගුරු, රවිලාල් විමලධර්ම සිරිකහවලයන්ගේ හින්දි භාෂා ගුරුවරුන්විය. විටෙක සිරිකහවලයන්ගේ හින්දි භාෂා දැනුම මැන බැලු රවිලාල් විමලධර්ම ඇදුරුතුමන් තම ගෝලයා ගේ දැනුම පිළිබඳ පැහැදී ඔහුට හින්දි ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයක් පරිත්‍යාග කරනු ලැබීය. 1973 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරකු ලෙස කටයුතු කළ සිරිකහවල චිත්‍රසේන ආයතනයේ හින්දි ගුරුවරයෙක් ලෙසින් ද කටයුතු කරනු ලැබීය. බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හින්දි භාෂා බාහිර කථිකාචාර්යවරයකු ලෙසින් ද කටයුතු කළේය. සමහර නළු නිළියන් සිරිකහවලයන්ගෙන් හින්දි භාෂාව ඉගෙන ගැනිමක් සිදුකළ අතරම ගාමිණි ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු මෙරට ප්‍රවීණ නළු නිළියන්ගෙන් ද සිරිකහවලයන්ට යෝජනා පැමිණියේ තමන්ටද හැකියාවක් තිබේ නම් හින්දි භාෂාව උගන්වන ලෙසය. හින්දි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා සිටි සිරි මොහොමඩ් රාෆි, මහේන්ද්‍ර කපුුර් ලංකාවට පැමිණි කළ ඔවුන්ට සිංහල ගීත ඉගැන්වීම ද සිදුකරනු ලැබීය. 1992 දී ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ හින්දි චිත්‍රපට විකාශයේ සිංහල උප සිරැසි යෙදීමේ කාර්ය භාර වුයේද සිරිකහවලයන්ටය. එම කාර්යේදී හින්දි චිත්‍රපට දෙසීයකට ආසන්න ප්‍රමාණයක සිංහල උපසිරැසි යොදනු ලැබුවේ සිරිකහවලයන්ය.
ඔහු හින්දි භාෂාව ප්‍රගුණ කරන්නට පෙලෙඹෙන්නේද අපූර්වතම සිද්ධි මාලාවක් සමඟිිනි. ඒ වනවිට වයස අවුරුදු 16 වැනි වියේ පසුවූ සිරි 1958 දී සිංහල දෙබස් කවා තිරගත වූ ශෝභා හින්දි චිත්‍රපටය නැරඹීමත් සමඟ එම චිත්‍රපටයේ රඟපෑ වෛජයන්ති මාලාට සිතින් ප්‍රේම කරන්නට විය. සිතතුළ හටගත් ප්‍රේමනීය සිතුවිල්ල නිසාම ඇය කෙරෙහි දිනෙන් දින වැඩිවන ප්‍රේමණීය බව නිසාම හින්දි භාෂාව ඉගෙන ගැනීමේ ආශාවක් ඔහු තුළ ඇතිවීමය.
සමාජයේ විවිධ පුද්ගලයන්ට විවිධ විමෝදාංශයන් කොතෙකුත් තිබුණ ද ඒ අතරින් සුවිශේෂි විනෝදාංශයක් හා එක් වූ පුද්ගලයකු වන්නේ සිරිකහවලයන්ය. වසරේ තුන්සිය හැටපස් දවස පුරා අරුණෝදයේම උපන්දින සුබ පැතුම් එක්කරන ඔහු ගැන කලා ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. දවසේ හිරු උදාවත් සමඟ උපන්දින සුබ පැතුම් එක්කර දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරන සිරි කලා ක්ෂේත්‍රයේ එක්තරා අන්දමක නිල නොලත් විවාහ උපත්, මරණ රෙජිස්්ට්‍රාර්වරයාය. කිසියම් හෝ කලා කරුවකුගේ කලා කාරිනියකගේ තොරතුරක් දැනගන්නට කවුරුන් හෝ කතා කරන්න ලැබුවේත් ඔහුටය. කලා ක්ෂේත්‍රයේ කිසියම් හෝ අයකුගේ ලිපිනයක්, දුරකතන අංකයක් පහසුවෙන් ලබාගැනීමට අමතන්නේද මොහුටය. නිරන්තරයෙන් කලා සාමාජිකයන්ගේ තොරතුරු යාවත්කාලීන වන්නේ ද සිරිගේ සුරතින්වීම විශේෂත්වයකි. මේ අපුර්වතම විනෝදාංශය සමඟ කලා ක්ෂේත්‍රයේ යාවත්කාලීන වන සිරි වත්මන් අවධියේ ස්මාට් ෆෝන් එක පැමිණීමත් සමඟ තමන්ගේ වටිනාකමේ අඩුවක් ඇති වී තිබෙන බවද නිරහංකාරව පවසා සිටී. දිනෙන් දින තැනෙන ටෙලි නාට්‍ය නිර්මාණත් සමඟ දවස ගාණේ ක්ෂේත්‍රයට එන නවක පිරිස් පිළිබඳ තොරතුරු එකතුවක් තමන් තුළ නොමැතිවීම ගැන ද සිරි තුළ අද ඇත්තේ කනගාටුවක් පමණි.
සිනමා කලා ශිල්පීන් වෙනුවෙන් අනගි මෙහෙවරක නියැළෙන සිරිකහවලයන් කවදත් මෙරට කලා කරුවන්ගේ කලාකාරිනියන්ගේ උපන්දිනයට හා පුරා කියා අරුමැක්කේම සුබ පැතුම් එක් කරන්නේ තමන්ට රාජකාරිමය ලෙස ලැබුණු නියමයක් පරිද්දෙනි. එපමණ ආදරණීය ළෙන්ගතුකමකින් කලාකරුවන්ට ආමන්ත්‍රණය කරන සිරි උපන්දින සුබ පැතුම් සඳහා මුලපුරන්නේ 1980 දශකයේ ආතර් යු අමරසේන මහතා සංස්කරණය කළ සිත්සර පුවත්පත් සමඟිනි.
සිරිගේ මේ අපුරු විනෝදාංශයේ ඇරඹුම ගැන වරක් ඔහු පවසා සිටියේ මෙපරිද්දෙනි. මාදූරී නමින් හින්දි සඟරාවක් තිබුණා. ඒ සඟරාව ඇතුලේ පිටුවක මෙහෙම සඳහනක් තිබුණා. ජියෝ හසාරෝ සාල් (අවුරුදු දහසක් ජීවත් වේවා) කියලා හින්දි කලාකරුවන්ගේ උපන්දිනය, ලිපිනය සමඟ ඔවුන්ගේ පින්තූරය පළ කර තිබුණා. මේක දැක්කම මටත් අදහසක් ආවා අපේ කලාකරුවන් ගැනත් මෙවැන්නක් කරන්න තියනවා නම් හොඳයි කියලා.
මගේ ජීවිත කාලයේ බෝඩින් තිහක විතර මම නැවතී සිටියා. 1954 සිට 1984 දක්වා කාලය මම ගත කරනු ලැබුවේ බෝඩින් ජීවිතයක්. 1977 දී මම නැවතිලා හිටියේ සනත් නන්දසිරි මහතාගේ නුගේගොඩ ගෙදර එහෙට නිනර නිතර කලාකරුවන් ගායක ගායිකාවන් ආවගිය නිසා ඔවුන් බොහොමයකගේ උපන්දින තොරතුරු සොයාගැනීම මට පහසුවක් වුණා.
මගේ පුරුද්දක් තිබුණා. විශේෂිත පුද්ගලයන්ගේ මියගිය දිනය විවාහ වූ දිනය උපන්දිනයත් එකතු කිරිමේ පුරුද්දක් අදටත් මම මේ කටයුත්ත සිද්ධ කරනවා. මගේ මේ කටුයත්ත නිසාම නිල නොලත් විවාහ උපන් මරණ රෙජිස්ටාර් කෙනෙක් කියලත් කාල ක්ෂේත්‍රයේ අය මාව හඳුන්නනවා.
ටවර්හෝල් රඟහල පදනමේ මම උපදේශකවරයෙක් ලෙස 2006 වසරේ සිට 2013 වසර දක්වා කටයුතු කළා. ඒ අවධියේ ආයතනය සැලසුම් කළා. කලාකරුවන්ගේ උපන්දිනයට සුබපැතුම්පතක් අරින්න. ඒ කටයුත්ත මගේ අධීක්ෂණය යටතේ සිද්ධ වුණා. මගේ සේවා කලායෙන් පස්සේ මගේ වියදමින් කාඩ් පතක් මුද්‍රණය කර ඔවුන්ගේ උපන්දිනය දවසට ඒ හැම කෙනෙක්ගේම ගෙදරට සුබ පැතුම් කාඩ්පතක් ඇරියා. තැපැල් ගාස්තු වැඩිවීමත් සමඟ මම එය මේ වනවිට නතර කරල ඒ හැම කෙනාටම දුරකතනයෙන් සුබ පැතීම සිද්ධ කරනවා.
සිරිගේ අක්කා වූ දයාකහවල දක්ෂ කෙටි කතාකාරියක් වූවාය. ඇය ඔහුගේ පිටුපස සිටි සෙවණැල්ල වුවාය. ඇය ලිවීමට දැක් වූ හැකියාව නිරායයෙන්ම සිරිකහවලයන්වත් ලිවීමට පොලඹවනු ලැබීය. ඔහුගේ නංගී යස කහවල ද දක්ෂ කෙටි කතාකාරිනියක් වුවාය. සාහිත්‍ය පොතපතට බොහොම ළැදි පවුල් පසුබිමක හැදී වැඩුණු සිරි කහවලයන් කවදා හෝ පත්තර කාරයෙක් වීමේ ආශාවෙන් පසුවිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ මිත්‍රයකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ මාර්ගයෙන් ලේක්හවුස් ආයතනයට එක්වන සිරිකහවලයන් නිදහස් ලේඛයකු ලෙසින් 1965 වසරේ පටන් සරසවිය පුවත්පත හා අත්වැල් බැදගනු ලැබීය. සරසවිය පුවත්පතේ දීර්ඝ කාලයක් විශේෂාංග ලේඛකයකු ලෙසින් කටයුතු කරනු ලැබීය. චිත්‍රපට රූපගත කිරිම් දර්ශන තලවල රසවත් සිදුවීම් රසාලිප්තව මුල්වරට සරසවියට ලියනු ලැබීය. 1969 වසරේ සිරි සරසවිය පුවත්පතට ලියන ලද නළු නිළි පුරයේ සවාරියක් ලිපි පෙළ එවක පාඨකයන් අතර ඉමහත් ජනපි‍්‍රයත්වයක් ලැබීය.
කිංස්ලි රාජපක්ෂගේ ඉඳුනිල චිත්‍රපටයෙන් දර්ශන තලවල රසවත් සිදුවීම් සරසවියට ලියන්නට ඇරඹුමක් ගත් සිරිකහවලයන් කර්තෘ මණ්ඩලයෙන් ලැබූ ආරාධනයන් නිසාවෙන් ගොලු හදවත, හන්තානේ කතාව, බක්මහ දීගේ, හතර දෙනාම සූරයෝ, නිධානය, පරා වළලු, සහනය, නාරිලතා ආදී චිත්‍රපට රැසක් පිළිබඳ තිරය පිටුපස රසකතා සරසවියට ගෙන එනු ලැබීය.
1971 දී පොහොර සංස්ථාවේ ගබඩා පරිපාලන තනතුරක රැකියාවක් ලැබීමත් සමඟ තාවකාලිකව පුවත්පත් කලාවෙන් ඈත්වන සිරි මුලින්ම සේවය සඳහා අනුරාධපුරයට යන අතර පසුව හම්බන්තොට, බදුල්ල, අම්පාර ප්‍රදේශවල පොහොර සංස්ථා ප්‍රාදේශීය අලෙවි සම්බන්ධතා නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ 1992 දී සේවයෙන් විශ්‍රාමගනු ලැබීය.
1977 දී කෙටි නිහඬතාවයකින් පසු යළිත් සරසවිය පුවත්පතට ලිවීම අරඹන සිරිකහවලයන් රසික නම් වූ ආරූඪ නාමයකින් සිළුමිණ, නවයුගය පුවත්පත් සඳහා වසර පහක කාලයක් විහිළු රචනා කරනු ලැබීය. සුසිල් ගුණරත්න මහතා සරසවිය ප්‍රධාන කර්තෘ ධුරය හොබවන අවධියේ සිරිකහවලයන් සරසවියට ලියනු ලැබු උපන්දින සුබ පැතුම් වසර ගනණක් පුරා සරසවිය පුවත්පතේ පල කරනු ලැබීය. එය හුදෙක් කලාකරුවන් අතර සේම සරසවිය පාඨකයන් අතර ද ඉමහත් ජනපි‍්‍රය ලිපි මාලාවක් විය. 2004 වසරේ දිනකර පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වූ සිරි කහවල මහතා එම පුවත්පත සඳහා මතක තියන අතීතයක් මැයෙන් මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසකගේ තොරතුරු ඇතුළත්ව ලියන ලද ලිපි මාලාව ද පාඨකයන් අතර ජනපි‍්‍රය විය.
චිත්‍රපට දෙබස් රචකයකු වූ සිරිකහවල යසපාලිත නානායක්කාරගේ නැවත හමුවෙමු චිත්‍රපටයේ දෙබස් රචනා කරමින් චිත්‍රපට දෙබස් රචනයට මුල පිරීය. ඉන්පසු රෝසි, සුරනිමල, රන්දම් වැල්, චිත්‍රපට සඳහා ද දෙබස් රචනා කරනු ලැබිය.
2006 වසරේ පටන් රැගුම්පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසින් කටයුතු කළ සිරිකහවලයන් ටෙලි බදු කොමිටියේ සාමාජිකයෙක් ද විය.
වයස අවුරුදු දාසයේදී දූපතේ මාරකය නමින් මුල්ම නවකතාව රචනා කළ සිරි ගයිඩ් නමින් හින්දි පරිවර්තනයක් සිදුකරනු ලැබුව ද එය ග්‍රන්ථයක් වශයෙන් එළි දැක්වීමක් සිදුනොවීය. 1973 දී ඔබේ ගීත මගේ කඳුළු නමින් සිරි තම පළමු කවිපොත එළිදක්වනු ලැබීය.
සිරි කහවලයන් සම්මාන රැසකින් ඇගැයුමට ලක් වූ කලාකරුවෙක් ද වේ. 2024 වර්ෂයේ පැවැති තිස්පස් වැනි සරසවිය සම්මාන උලෙළේදී 2019 වසර වෙනුවෙන් රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානයෙන් ඇගැයුමට පාත්‍ර වන්නට සිරි කහවලයින් භාග්‍යවන්ත විය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 2019 දී පිරිනැමු කලා භූෂණ සම්මානය, 2016 වසරේ සුවඳ පත්ම රජත උපහාර සම්මානය, සිල්වර් ස්කී‍්‍රන් උපහාර සම්මානය, බස්නාහිර පළාත් සභාව පිරිනැමු විශ්ව අභිනන්දන සම්මානය අගනුවර තරුණ කවි සමාජය 2018 දී පිරිනැමු සන්නිවේදන සාහිත්‍ය ශූරි සම්මානය, 2024 පීනකල් යාවජීව සම්මානය, 2016 ජනතා කලා අභිනන්දන උපහාර සම්මානය 2007 කලා ලංකා උපහාර සම්මානය ඇතුළු සම්මාන රැසකින් මේ වන විට සිරිකහවලයන් සම්මානයට උපහාරයට පාත්‍ර වී ඇත.
කලා ක්ෂේත්‍රයේ ඕනෑම තරාතිරමක පුද්ගලයන් වගේම සමාජයේ ඉහළ තනාන්තර දරන්නන් අතරේ මිත්‍රශීලිභාවයෙන් සිරි කහවලයන් කටයුතු කරන නිසාවෙන් කලා ක්ෂේත්‍රයට එක්වන්නට පෙරුම් පිරූ ආධුනිකයන්ට කලා නිර්මාණයන්හි රංගනයට දොරටු විවර කර දෙන්නට ද සමහර ලේඛයන්ට තමන්ගේ පොත පත මුදාණය කර ගැනීමට සඳහා මුද්‍රණ ශිල්පීන් හඳුනාගැනීමට ද සිරි කහවලයන් අතදිගුකර ඒ අවස්ථාවන් ඔවුනට උදාකරදෙනු ලැබුවේ කිසිදු වරප්‍රසාද තුටු පඬුරු කිසිවක් නොගෙනය. කලා ක්ෂේත්‍රයේ කලාකරුවන්ගේ යම් යම් ක්‍රියාපිළිවෙත් නිසාවෙන් ඔවුන් ගැන කලකිරී ඔවුන් පිළිබඳ ලිපි ලිවීම පවා කලක් අතහැර දමා සිටි සිරි කහවලයන් මානව හිතවාදීයකු වූ විජය කුමාරතුංගයන් මුණ ගැසීමත් සමඟ තමන් එතෙක් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තිය ඉවත දමා නැවතත් කලාකරුවන් පිළිබඳ පුවත්පත් සඳහා ලිපි සම්පාදනයට පෙලඹුණේය.
1967 දි හන්තානේ කතාව චිත්‍රපට දර්ශන තලයේදී විජයකුමාරතුංගයන් හා සිරි කහවලයන් අතර ඇති වූ මිත්‍රකම විජය මියෙන තුරාවට නොවෙනස්ව පැවතීම ද විශේෂත්වයක් විය. මොවුන් දෙපළ අතර පැවැති මිත්‍රත්වය කොතරම් ද කිවහොත් විජයගේ ශ්‍රේෂ්ඨ මනුසත්භාවය නිසාම සිරිකහවලයන් තම ඉඩකඩම් පවා විකුණා විජයකුමාරතුංගයන් දේශපාලනය සඳහා ද උදව් කරනු ලැබිය. විජය මිය ගිය ද සිරිකහවලයන් තම සිත්ගත් ඒ ශ්‍රේෂ්ඨ මිනිසා වෙනුවෙන් ඔහු මිය ගිය පෙබරවාරි 16 වැනිදා සිහිපත් කර සෑම මාසයකම දාසය වෙනිදාට දානමය පුණ්‍යකර්මයක් සිදුකිරිම සිරිකහවලයන්ගේ සිරිතක් වී තිබේ. විජය කුමාරතුංගයන් මියගිය වසරේ පටන් අඛණ්ඩව මේතාක් සෑම මාසයකම 16 වැනිදාට ඔහුව සිහිපත් කර දානයක් දීම සිරිකහවලයන්ගේ ජීවිතයේ කොටසක් වී හමාරය. තමන් මහත්සේ ආදරය කරන මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ මරණය තමන් උපන් මාසයේම තමන්ගේ උපන්දිනයේම සිදුවීම පිළිබඳ සිරි කහවලයන් අදත් පසුවන්නේ මහත් වූ කනගාටුවෙනි.
සිරිකහවලයන් අතින් බොහෝවිට ලිපි ලියවූණේ හින්දි නළු නිළියන් ගැන වීම විශේෂත්වයක් විය. මෙයට හේතුව ඇයි ද යන්න සිරිකහවලයන් ගෙන් වරක් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවකදී ඔහු ඒ සඳහා ලබා දී තිබුණේ මෙවැනි පිළිතුරක් විය.
ඒකට හේතුවක් තිබුණා මම අපේ කලාකරුවන් ගැන ලිපි ලිව්වා. නමුත් එක්තරා සිද්ධියකින් පසු මට ඒ දේ එපා වුණා. ජයවිලාල් විලේගොඩගේ මරණයත් සමඟ අපේ කලා කරුවන් පිළිබඳ ලිපි ලියන එක මට එපාවුණා. ජයවිලාල් විලේගොඩ කියන්නේ අපේ සිනමාවේ නැගී සිටීමට සුවිශාල සේවයක් කළ නළු නිළියන්ගේ දක්ෂතා අගයපු සිනමා ලේඛයෙක් වගේම අපේ නළු නිළියන් වෙනුවෙන් අභීතව පෑන මෙහෙය වූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්. නමුත් එතුමාගේ මරණයට සහභාගි වෙන්න කොහුවල කනත්තට ආවේ කේ. ඩබ්ලිව් පෙරේරා, ටයිටස් තොටවත්ත, අනුලා කරුණතිලක වගේ කීප දෙනෙක් විතරයි. එදා මම හිතාගත්තා කෙළෙහි ගුණවත් නොදන්න අපේ කලාකරුවන් කලාකාරියන් ගැන මම ලියන්නේ නෑ කියලා.
අපේ රටේි කෙළෙහි ගුණ දන්නා කලාකරුවන් ඉන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්. බොහෝ අවස්ථාවාදී පුද්ගලයෝ ඒ දේට ගැහැනු පිරිමි කියල භේදයක් නෑ. කවුරුත් එකයි. තමන්ගේ වැඩේ කරගන්නකන් තමයි ඔක්කොම කුහකකම් ඊර්ෂ්‍යාවන්ගෙන් පිරුණු එකිනෙකා විවේචනය කරගන්නා වටපිටාවක් තමයි අපේ කලා ක්ෂේත්‍රය තුළ වුණත් දකින්න තියෙන්නේ. එවැනි වටපිටාවක් තුළ රංග ශිල්පින් නොවුණු ලේඛකයන් වූ අපි ගැන කවර කතා ද අද වගේ සමාජ මාධ්‍ය නොතිබූ යුගයක කලා ශිල්පීනියකගේ ශිල්පියෙකුගේ තොරතුරක් සමාජගත වුණේ අපි වැනි ලේඛකයන් හරහා. අපි ඔවුන් ගැන ලියන ලිපියකින් තමයි ඒ අය තමන්ගේ රසික ප්‍රජාව හා සමීප වුණේ. පත්තරයක තමන් ගැන ලිපියක් යනවා කියන්නේම කලා ශිල්පියෙකුට මහා ලොකු දෙයක්.
කලා ශිල්පීන්ට නිරතරයෙන්ම උපන්දින සුබ පැතුම් එක්කරන සිරිකහවලයන් මේ සඳහා කොතරම් කැපකිරීමක් සිදුකරන්නේද යන්න තම මව මිය ගියදා දේහය නිවසේ තිබියදී එදිනට උපන් දිනය සෑමරූ සැමට උපන්දින සුබ පැතුම් එක්කරන්නට පවා සිරිකහවලන් පෙලඹීම ද එයට කදිම උදාහරණයකි. කලා කාරයෙක් හෝ කලාකාරිනියක් පිළිබඳ තොරතුරක් දැනගැනීමට මාධ්‍ය ආයතනයක් වුවත් පළමුව කතා කරනුයේ සිරි කහවලටය. තොරතුරේ සත්‍ය අසත්‍යතාවය හරියටම දැනගෙන වැඩි විස්තරයක් සමඟ අදාළ කටයුත්තට මුල පුරන්නේද සිරිගේ තොරතුරු සම්පාදනයන් සමඟ වීම ද විශේෂත්වයකි.
රත්මලාන සිරිමල් උයනේ බිරිය මල්ලිකාත් සමඟ දිවිගෙවන සිරිකහවලයන්ට චිරං ජයතු! ආයුබොහෝ වේවා!
සේයාරූ – මාලන් කරුණාරත්න
නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන