Home » චිත්‍ර සහ මූර්ති කලාව තරුණ පිරිස අතර ප්‍රචලිත කළ යුතුයි

චිත්‍ර සහ මූර්ති කලාව තරුණ පිරිස අතර ප්‍රචලිත කළ යුතුයි

රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

යම් රටක සංස්කෘතික උරුමයේ වැදගත්ම අංගයක් ලෙස එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වන්නට පුළුවන. ලෝකයේ සෑම රටකම ඔවුන්ට ආවේණික වූ කලා මාධ්‍යයන් පවතී. එයට දිගු ඉතිහාසයක් ද ඇත.

ලෝකයේ සංස්කෘතික උරුමයන් අතරින් ලංකාවට ආවේණික කලා උරුමයන් ඉහළින් ඔසවා තැබිය හැකිය.ශ්‍රී ලංකාව සතුව විශ්මය දනවන අගනා කලා නිර්මාණ තිබූ බව අනුරාධපුරය, පොළොන්නරුව සහ නුවර යුගයන්හී සිතුවම්, මූර්ති, ලී කැටයම්, ලෝහ කලාව, ගල් කැටයම් ආදිය සාක්ෂි දරනු ඇත.

මේ පුංචි දිවයිනට විශිෂ්ට කලා උරුමයන් හිමිවී තිබීම ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් අභිමානයකි.

ලංකාවේ කලා ශිල්ප ශීඝ්‍ර දියුණුවකට පත්වන්නේ මිහිඳු හිමියන් සහ සංඝමිත්තා තෙරණියගේ ආගමනය නිසා බව ලොකු කුඩා කවුරුත් දන්නා කරුණකි. ඉන්පසුව බෞද්ධ සංස්කෘතිය මෙරටෙහි ව්‍යාප්ත වනවිට ඒ අනුව හැඩගැසුණු බෞද්ධ ශිෂ්ටාචාරය ඔස්සේ සාහිත්‍යය භාෂාව, ගෘහ නිර්මාණ, කැටයම්, චිත්‍ර සහ මූර්ති ඇතුලු සියලු කලා මාධ්‍යයන් ශීඝ්‍ර ලෙස දියුණුවකට ලක් වූ ආකාරය පිළිබඳ ලිඛිත සාක්ෂි ඇත. ඒවා අතර මහාවංශය, සමන්තපාසාදිකාව, බෝධිවංශය, ථූපවංශය වැනි මූලාශ්‍ර ගෙනහැර දැක්විය හැකිය. එමෙන්ම ලෙන්ලිපි, සෙල්ලිපි ආදියෙන් ද ඒ බව ඔප්පු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට උරුම වූ, ආවේණික වූ කලාවන් අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් මේ දක්වා පවතී.

ශ්‍රී ලංකාවේ සියලු කලාවන් ආවරණය වන පරිදි 1952 අංක 18 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ශ්‍රී ලංකා කලා මණ්ඩලය ස්ථාපිත කරන ලදි. ලලිත් කලාවන් පිළිබඳ මනා දැනුමක්, අවබෝධයක් සහ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම, ජනතාව අතරට කලා කටයුතු ගෙනයෑම, ශ්‍රී ලංකාවට ආවේණික කලාවන් සහ ඒ ආශ්‍රිත කර්මාන්තයන්හි සංවර්ධනය තහවුරු කිරීම, දිරිගැන්වීම උනන්දු කිරීම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ අරමුණ සහ කාර්යයන් ලෙස පෙන්වා දී ඇත. ඉහත සඳහන් කුමන හෝ කරුණකදී ඊට අදාළවන රජයේ දෙපාර්තමේන්තු , ප්‍රාදේශීය බල මණ්ඩල සහ අනෙකුත් ආයතනවලට උපදෙස් දීම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ තවත් කාර්යයකි. සාහිත්‍යය, නාට්‍යය, නර්තන, සංගීතය, දෘශ්‍ය කලා, රූපවාහිනී, අස්පර්ෂණීය උරුමයන් සංරක්ෂණය, ගුවන් විදුලි, පුවත්පත් සමාජ මාධ්‍ය සහ සිනමා යන උපදේශක සභාවන් පවතින්නේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේයි.

මේ පිළිබඳ සවිස්තරාත්මකව කතා කිරීමට හේතුවක් ඇත. පසුගිය දා පැවති රාජ්‍ය චිත්‍ර සහ මූර්ති උලෙළ එයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය.

ඒ වෙනුවෙන් කතාබහ කිරීම සඳහා සරසවිය සමඟ එක්වූයේ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි පෙරේරාය.

මම සභාපති ධූරය දරන රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව කලින් පැවතියේ චිත්‍ර මූර්ති අනුමණ්ඩලය නමින්. මෙය අයිති වන්නේ ජාතික කලා මණ්ඩලයට. අපි මෙවර චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය අතිසාර්ථක ලෙස පැවැත්වූවා. මෙවර ප්‍රදර්ශනය පැවැත්වූයේ කොළඹ 07 ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයේ.

2005 දී තමයි මම සම්බන්ධ වුණේ සාමාජිකයෙක් විදිහට. ඒ කාලේ සභාපති වෙලා හිටියෙ ජගත් රවීන්ද්‍ර මහතා. ඉන්පසුව 2017 දී තමයි මම සභාපති ලෙස පත්වුණේ.මම ඒ වෙලාවේ කොන්දේසියක් ඇතිව තමයි පත්වුණේ. මම කිව්වා සභාපතිකම භාර ගන්නම් හැබැයි තරුණ පිරිස වෙනුවෙන් අපි මේ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පවත්වමු කියල. නමුත් එය කිරීමට නොහැකි වුණා. අපේ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

2017 දී මම සභාපති ධුරයට පත්වූ පසුව 2017, 2018, 2019 වසර තුනේදී නොකඩවා චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පැවැත්වූවා.

චිත්‍ර ප්‍රදර්ශන අපට බොහෝ විට දක්නට ලැබෙන්නේ කුඩා ළමුන් සඳහා සිදුකරන ලබන අවස්ථා. ඇතැම් පෞද්ගලික ආයතන, බැංකු ආදියෙන් ළමුන් සඳහා චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වෙනවා.

එය සත්‍යයකි. පාසැල් මට්ටමින්, සමස්ත ලංකා මට්ටමින්, ආයතන මඟින්, බැංකු ආයතන මඟින් නිතර චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලැබේ. 2019 දී පැවති චිත්‍ර ප්‍රදර්ශනය තරමක් වෙනස් ආකාරයකින් සංවිධානය කෙරුණු බවයි සභාපතිතුමා සරසවිය සමඟ පැවසුවේ.

2019 වසර විශේෂයි. ඊට හේතුව කලින් සංවිධාන වූ විදිහට නෙවෙයි අපි 2019 දී සංවිධාන කළේ. අපි මෙහිදී කලින් ප්‍රදර්ශනවලදී ජයග්‍රහණ ලබාගත් ළමුන් හොඳීන් පුහුණු වෙනවාද කියා සොයා බැලුවා. සෑම වසරකම පළවෙනි, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා ජයග්‍රාහකයන් තෝරනව. ඒ තේරුණ පිරිස ඉන්පසුව පුහුණුවීම් සිදුකරල නැති බවක් අපට පෙනෙන්නට තිබුණා. එසේ නොවිය යුතුය. ජයග්‍රහණය පමණක් ලබාගෙන ඉන්පසුව ඒ සඳහා යොමුවෙන්නේ නැත්නම් යාවත්කාලීන වෙන්න බැහැ. දරුවන් හරිම නිර්මාණශීලියි. ඒත් දෙමව්පියන්, ගුරුවරු, ටියුෂන් ගුරුවරුන්ගේ මැදිහත් වීම නිසා ඔවුන්ගේ නිර්මාණශීලීභාවය පහත වැටිලා.

ඒ නිසා අපි ඔවුන්ව දිරිගැන්වීමක් කරනව ජයග්‍රහණ වලින් පසුවත් චිත්‍ර අඳීන කටයුතුවල නිරතවන ලෙස. හරි පරිස්සමෙන් තමයි දරුවන්ගේ නිර්මාණවලට අත ගසන්න ඕන. අපි දරුවන්ට උපදෙස් දුන්නා. තරඟයක් නැහැ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරල කිසියම් ප්‍රසාදයක් දිනා ගන්න කියල.

ඔවුන් ජයග්‍රහණය කළ සැණින් හිතන්නේ ආටිස්ට්ලා කියල. ඒත් එහෙම වෙන්නේ නැහැ. හොඳ ශිල්පියෙක් වෙන්න නම් නිතර චිත්‍ර කලාවේ නි‍රත වෙන්න අවශ්‍යයි.

පසුගිය කාලයේ ලොවම වෙලාගත් කොවිඩ් වසංගත තත්වය සෑම කටයුත්තකටම බලපෑම් ඇති කරන ලදි. රටේ පවත්වන්නට තිබූ කටයුතුවලට නැවතීමේ තිත තබන්නට සිදුවිය. ඒ හේතුවෙන් 2019 ට පසු චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයටත් විරාමයක් ගැනීමට සිදුවිය.

මේ ඒ පිළිබඳ සභාපතිතුමා දැක්වූ අදහස්ය.

2019 කොවිඩ් වසංගතය හේතුවෙන් සියලු දේ නවත්වන්නට සිදුවුණා. 2019 වසරෙන් පසු 2022 දී පරිපාලනය වෙනස් වුණා. 2023 දී අපි නැවතත් පත්වුණා. ඒ අවස්ථාවේ තීරණය කළා නැවතත් චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පවත්වන්න. අනුමණ්ඩලයේ සාමාජිකයන් සමඟත් කතා කරල තමයි අපි තීරණය ගත්තේ. අපි ඉල්ලුම්පත් කැඳවීමක් සිදුකළා. ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් ලැබුණා. අපි ඔවුන්ගේ නිර්මාණ බලල තමයි ප්‍රදර්ශනය සඳහා තැබීමට අවසර ලබාදුන්නේ. ප්‍රදර්ශනයකට නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එහි වටිනාබවක්, ප්‍රමිතියක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඒ අනුව තෝරාගත් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. සිසුන් විසින් සිතුවම් වගේම මූර්ති නිර්මාණත් ඒ සඳහා ඉදිරිපත් කර තිබුණා.

ප්‍රදර්ශනය දින පහක් පවත්වමු කියන තීරණයේ තමයි අපි සිටියේ. එහෙත් විවිධ හේතූන් මත එය දවස් තුනකට සීමාවුණා. රටපුරා විසිරී සිටින දරුවන්ටත් බලන්න පුළුවන් විදිහට දින ගණන පහක් කළ යුතුයි යන මතයේ තමයි අපි හිටියේ. යාපනයේ, මඩකලපුවේ දරුවන්ටත් බලන්න අවස්ථාව ලබා දිය යුතුයි. එත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.

සභාපතිතුමා සඳහන් කළාක් මෙන් චිත්‍ර සහ මූර්ති කලාව නිතර හොඳීන් පුහුණු විය යුතුය. දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුහුණු කටයුතු ගැනද මෙසේ ඔහු කරුණු දැක්වූයේය.

අපි ළමුන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරල තියෙනවා. ඔවුන්ට චිත්‍ර සහ මූර්ති කලාව පිළිබඳ දැනුමත් කිරීම් කරනවා. ඉදිරියේදී වැඩිහිටියන් වෙනුවෙනුත් දැනුම්වත් කිරීම පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

චිත්‍ර සහ මූර්ති දෙඅංශය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිල අධිකය. වර්ණ, කැන්වස්, රාමුකිරීම, පින්සල්, ඇතුළු තවත් බොහෝ දේ මිලෙන් අධිකය.

මූර්ති සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල මිල ද එසේමය. ඒ හේතුවෙන් නිර්මාණකරුවන්ට නිර්මාණ කිරීමේදී එය බාධාවක් වී ඇත. මේ පිළිබඳ සරත් මහතාගේ අදහස් මෙසේ ගෙනහැර දැක්වූයේය.

චිත්‍ර, මූර්ති මේ කලාවන් දෙකටම අවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළයි. නිර්මාණකරුවන් සඳහා අනුග්‍රාහකත්වයක්ද නැහැ. වෘත්තියක් ලෙස මේ කලාවේ නියැළී සිටින අයට තමයි මෙය දැඩි ලෙස බලපාන්නේ.

අතීතයේ චිත්‍ර සහ මූර්ති කලාව එක්තරා පැලැන්තියකට තමයි සීමාවෙලා තිබුණේ. කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය ආශ්‍රිතව පදිංචි වෙලා සිටි අය.ඔවුන් චිත්‍ර, මූර්ති කලාව කළේ විනෝදාංශයක් විදිහට. වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වෙලා. රට පුරා විසිරී සිටිනවා චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්. මූර්ති සහ චිත්‍රවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ගීකරණය වෙලා තිබුණේ සුඛෝපභෝගී භාණ්ඩ විදිහට.

නිර්මාණකරුවන්ට සහනයක් සලසන්නට නොහැකි වෙලා තියෙන්නේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා. අමුද්‍රව්‍ය සපයාගැනීමේ ප්‍රශ්නය තමයි ශිල්පීන්ට බලපාන ප්‍රධාන ගැටලුව.

රටපුරා විසිරී සිටින චිත්‍ර සහ මූර්ති ශිල්පීන් විවිධ වැඩසටහන් සඳහා දැනුම්වත් කිරීම සහ ඒකරාශී කරගන්නා අන්දම ගැනද සභාපතිතුමා කරුණු පැහැදිලි කළේය.

චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක් තියෙන අවස්ථාවල සහ වැඩමුළු තියෙන වෙලාවට මුළු රටේම ඉන්න නිර්මාණකරුවන් දැනුමත් කරනවා. ප්‍රාදේශීය මට්ටමින් මධ්‍යස්ථාන තියෙනවා. ඒ මඟිනුත් අපි නිර්මාණකරුවන් ඒකරාශි කරගන්නව. සමාජ මාධ්‍ය හරහා දැනුම්වත් කරනවා. ප්‍රදර්ශනයකදී ඒ අය අතරින් ප්‍රමිතියෙන් උසස් නිර්මාණ කරන අය එකතු කරගන්නවා. එයට හේතුව විදිහට අදහස් කරන්නේ මේ නිර්මාණ අපි ලෝකයට ගෙන යා යුතුයි. ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේදී නිර්මාණවල ප්‍රමිතිය උසස්වීම අනිවාර්යයි. වැඩිහිටි පිරිස තමයි ඒ සඳහා ඉලක්ක කරන්නේ.

මෙහිදී මට විශේෂ සිද්ධියක් මතක් කරන්න තියෙනවා. අපි මේ ප්‍රදර්ශනය සඳහා යාපනයේ, මඩකලපුවේ දරුවන් පවා සහභාගී කරගන්නවා. ලංකාවේ යුද වාතාවරණය නිමවූ සැණින් යාපනයේ ළමුන් සඳහා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. ඔවුන් ඉල්ලීමක් කළා අපෙන්. කොහොම හරි එන්න කියල. ඒ නිසා අපි ඒ දරුවන් වෙනුවෙන් යාපනයේ ප්‍රදර්ශනය සංවිධාන කළේ. ඉතාමත් දක්ෂ ළමයින් සිටියා. ඔවුන්ගේ තිබූ කැපවීම ඉතා ඉහළයි.

ඒ කාලේ හිටියා ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක්. රාසයියා නමින්. ඔහු රජයේ කලායතනයේ ඉගෙන ගත්තේ. පසුව කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට සේවය කළා. ඒත් අසූ තුනේදී රටේ පැවතුණ වාතාවරණය හේතුවෙන් ඔහු කොළඹින් පිටවුණා. අපි යාපනයේ ගිය වෙලාවේ ඔහු අපිට නැවතත් හමුවුණා.

රාසයියා මහතා අති දක්ෂයෙක්. එකල මුද්දර පවා නිර්මාණය වුණා ඔහු අතින්. පොන්නම්බලම් රාමනාදන්, අරුනාචලම්, සර් ජෝන් කොතලාවල වැනි ශ්‍රේෂ්ඨ චරිත ඔහු අතින් මුද්දර සඳහා සිතුවම් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ කලා නිර්මාණවලට හිමිවන්නේ ඉහළ වටිනාකමකි. ජාත්‍යන්තර වෙළෙඳ පොළේදී අපේ සිතුවම්, මූර්තිවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. වෙස් මුහුණු, පිත්තල භාණ්ඩ, ලී කැටයම්, පන් ආශ්‍රිත නිර්මාණ, රන්රිදී ආභරණ ඇතුළු තවත් බොහෝ කලාවන් අප සතුව ඇත. ඒ අතරින් චිත්‍ර සහ මූර්තිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලාංකේය ප්‍රවීණ සිත්තරුන්ගේ සුරතින් සිත්තම් කරන ලද සිතුවම් ලොවපුරා දැනටත් අලෙවි වෙමින් පවතී. ජාත්‍යන්තරයට නිර්මාණ අලෙවිකරණ විට එම නිර්මාණ උසස් ප්‍රමිතියකින් තිබිය යුතුයි. අපේ රටේ ශිල්පීන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට අලෙවි කිරීම සිදුවෙන ආකාරය පිළිබඳ තොරතුරු සරත් ගුණසිරි මහතා මෙසේ හෙළිකළේය.

අපේ ශිල්පීන්ගේ නිර්මාණ අලෙවි කරගන්න විශේෂ අලෙවිසැලක් දෘශ්‍ය කලා උපදේශක සභාව සතුව තවම නැහැ. එහෙත් විවිධ ක්‍රමවලින් නිර්මාණ අලෙවි කරන පිරිසක් ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් අන්තර්ජාල පහසුකම් නිසා බොහෝම පහසුවෙන් ඉක්මනින් ඒ දේ කරන්න පුළුවන්. එත් විදේශීයට අලෙවිකරණ සෑම නිර්මාණයක්ම ප්‍රමිතියෙන් උසස් තත්වයෙන් තියෙනවා නම් හොඳයි. මෙයට විසඳුමක් විදිහට මම හිතනවා සංස්කෘතික අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය එකට එකතු වෙලා වැඩ කළොත් අපේ ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණ විදේශයන්ට අලෙවි කරගන්න යම් සහනයක් වෙන්න පුළුවන්. අපි මේ සඳහා ඉදිරියේදී ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසුව විදේශිකයන් නැවතත් ලංකාවේ සිරි නැරඹීමට පැමිණෙමින් සිටිති. ශ්‍රී ලාංකීය කලා උරුමයන් කෙරෙහි ඔවුහු මහත් ඇල්මක් දක්වති. කොළඹ ජාතික කලාගාරය විදේශිකයන්ගේ ඇස ගැටුණු ස්ථානයකි. ජාතික කලාගාරයේ වත්මන් තත්වය පිළිබඳ තොරතුරු මෙසේ ඉදිරිපත් කළේය.

අප සතුව වටිනා සම්පතක් තමයි ජාතික කලාගාරය. ඒත් දැන් එහි වැඩක් කෙරෙන්නේ නැහැ 2011 සිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනවා. තාමත් නිවැරදි තැනකට ඇවිත් නැහැ. විදේශිකයන් වඩාත් ප්‍රිය කරන, ඇවිත් නරඹන්න ආස තැනක් ජාතික කලාගාරය. ඒ ස්ථානයේ වැඩක් කෙරෙන්නේ නැති එක විශාල පාඩුවක්. ඒ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

වර්තමානය වනවිට චිත්‍ර මෙන්ම මූර්ති කලාව ගැනද වැඩිහිටියන් සහ පාසැල් සිසුන්ගේ නැඹුරුවක් පවතී. අතීතයේ පාසැල් විෂය නිර්දේශයටද මූර්ති කලාව ඇතුළත් වී තිබුණි. එකල එය හැඳීන්වූයේ මැටිවැඩ නමින්ය. මූර්ති කලාව වර්තමානයේ විවිධ වෙනස්වීම් වලට භාජනය වී ඇති අන්දම ගැන සභාපතිතුමා මෙසේ පැහැදිලි කළේය.

මූර්ති කලාවේ අංශ ගණනාවක් තියෙනවා. වර්තමානයේ බහුලව කෙරෙන දෙයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් සෙරමික් කලාව. විශ්වවිද්‍යාලයේත් සෙරමික් කලාව උගන්වනවා. සෙරමික් කලා අධ්‍යයන අංශය නමින් අංශයක් විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙනවා. ජපානයේ සිට පැමිණ සිටින උපදේශකවරියක් එහි ඉගැන්වීම් කටයුතු කරනවා. ජපානය වැනි රටවල ප්‍රධාන තැනක් දීලා තියෙනවා සෙරමික් කලාවට.

දෘශ්‍ය කලා උපදේශක සභාව මෙවර සංවිධාන කළ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයේ අත්‍යාවශ්‍යම අංගය ගැන මෙහි අනිවාර්යයෙන් සඳහන් කළ යුතුය. චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයේදී ජයගත් ජයග්‍රාහාකයන් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය පසුගිය දෙසැම්බර් 6 දා අරලියගහ මන්දීරයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මැතිතුමාය. මේ අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි පෙරේරා, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ. එම්. පී. එම්. බී.අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යේෂ්ඨතම මෙන්ම විශිෂ්ට චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක් වූ කලාශූරී එස්.එච්. සරත් මහතාට චිත්‍ර කලා අභිමානී සම්මානය පුද කරමින් චිත්‍ර සහ මූර්ති සම්මාන ප්‍රධානෝත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණ. මෙම යාවජීව සම්මානය එතුමාට පිරිනැමුවේ එතුමන් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් චිත්‍ර සහ මූර්ති කලාවට කළාවූ අද්විතීය මෙහෙම වෙනුවෙන්ය.

මෙහිදී ජයගත් නිර්මාණකරුවන් සඳහා විශේෂ මුදල් ත්‍යාග, සම්මාන සහ සහතික පතක් පිරිනැමිණ. සහභාගී වූ සියලු නිර්මාණකරුවන් වෙනුවෙන් සහතික පතක් පිරිනැමුණු අතර ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් සමරු කලාපයක් ද පිරිනැමිණ.

වර්තමානයේ මෙවැනි සම්මාන ප්‍රදානයන්, ඇගැයුම් මඟින් කලා ශිල්පීන් දිරිමත් කිරීම පැසසිය යුතුය. ඔවුන් ජාතියේ පිනට පහළ වූ වටිනා සම්පත්‍ ලෙස හැඳීන්විය හැකිය. අපේ දේශීය කලා උරුමයන් අනාගත පරපුරට දායාද කිරීමට ඔවුන් දරන උත්සාහය අතිමහත්ය.

රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාවේ සියලුම නිලධාරීන්ට සහ සාමාජිකයන්ද කරනා මෙහෙය අගය කළ යුතුය. හෙළ කලා උරුමයන්ට නැවත පණ දෙන්නට ප්‍රයත්න දරණ දෘශ්‍ය කලා උපදේශක සරත් ගුණසිරි ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යවරයා මෙම මහඟු කාර්යයේ පෙරමඟ කියන්නාය. එදා ඒ මහතා සම්මාන ප්‍රධානෝත්සවය අමතමින් චිත්‍ර සහ මූර්ති කලාවට ලැබී ඇති පිළිගැනීම ගැනද ශිල්පීන් වෙනුවෙන් කළ හැකි ඉදිරි කටයුතු ගැන ඉදිරිපත් කළ අදහස් නැවත මේ අයුරින් සිහිපත් කළේය.

එදා ඉතාමත් ගරුගාම්භීත්වයෙන් සම්මාන ප්‍රදානෝත්සවය සිදුකළා. 1952 අංක 18 පාර්ලිමේන්තු පනතකින් තමයි ශ්‍රී ලංකා කලා මණ්ඩලය ඇතිකළේ. මේ දක්වා ආ ගමන් මඟේ අපි යායුතු තැනට ගිහින් තියෙනවා ද කියන කාරණය ගැනත් එදා මම කතා කළා. අපි ජාත්‍යන්තරයට යා යුතුයි. අපේ ඇමැතිතුමා එදා විශේෂ ආරාධිත අමුත්තා විදිහට සහභාගී වුණා. මම එතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළා.

“ඔබතුමාලා මැදිහත් වෙලා මේ නිර්මාණකරුවන් රැකගන්න සහයෝගය ලබා දෙන්න. මේ වටිනා ශිල්පීන් රටේ සම්පතක්. ඔවුන්ට සහයෝගය ලබා දීම රට වෙනුවෙන් කරන යුතුකමක්”. මම ඒ කාරණා කිහිපය ගැන තමයි විශේෂයෙන් එතුමන්ලාගේ අවදානය යොමුකළේ.

මෙම කතාබහ අවසන්වීමට මත්තෙන් ඔහු තවත් අපූරු සිද්ධියක් හෙළිදරව් කළේය. හෙළ සිනමාවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රජයේ කලායතනයේ (අතීතයේ හැඳීවූ පරිදි) ඉගෙන ගෙන ඇති අතර මහගමසේකරයන් එහි විදුහල්පති ධුරයද දැරූ බව සභාපතිතුමා කියා සිටියේය.

අපේ රටේ කලා කෙත පෝෂණය කළ එවැනි විශිෂ්ට චරිත තව කෙතරම් නම් මේ ලක්ධරණි තලයේ සිටින්නට ඇත්ද?

තවත් එවැනිම අගනා පරපුරක් බිහි කිරීම රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාවේ එකම අරමුණ ලෙස දැක්විය හැකිය.

චිත්‍ර සහ මූර්ති කලාව ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීම සඳහා මේ ගන්නා උත්සාහයට එහි වත්මන් සභාපතිතුමා ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය සරත් ගුණසිරි පෙරේරා ඇතුළු නිලධාරීන් සියලු දෙනාට ස්තුතිය පුද කළ යුතුය. යළි පිබිදෙන චිත්‍ර සහ මූර්ති නිර්මාණකරුවනි ඔබගේ ගමන් මඟ සාර්ථක වේවා.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT