Home » චරිතාංග රූපණයේ විවිධ රූ මැවූ මනමේ කුමරු

චරිතාංග රූපණයේ විවිධ රූ මැවූ මනමේ කුමරු

විජය නන්දසිරි

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

විජය නන්දසිරි වේදිකාවෙන් සිනමාවට පිවිසි නළුවෙකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ ⁣වේදිකා නාට්‍යයේ මනමේ කුමාරයාගේ වේශයෙන් කලා ලොවට පිවිසියේය. ඉන් අනතුරුව ඔහු සිංහබාහු, සුබ සහ යස, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, එලොව ගිහින් මෙලොව ආවා වැනි අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක තම රංග ප්‍රතිභාව විදහා පෑවේය. වර්ෂ 1979 දී ටවර් හෝල් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාව, බල්ගේරියාව, යුගොස්ලොවියාව යන රටවල්වලින් නාට්‍යකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘මාතර ආචිචි’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසීමට වරම් ලද විජය නන්දසිරි ඉන් අනතුරුව කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘නෑදැයෝ’ සිනමාපටයේ මහින්ද නමැති අහිංසක අන්ධ ගැමි තරුණයාගේ චරිතය හරහා ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිනමාවේ වඩාත් අවධානය දිනාගන්නට සමත් විය.

ඔහුගේ රංග ප්‍රතිභාව දුටු සිනමා අධ්‍යක්ෂවරුන් ඔහුට ප්‍රධාන චරිත ලෙස බොහෝ සිනමාපට සඳහා සම්බන්ධ කර ගත්හ. ‘සිරි පතුල’, ‘සසර’, ‘මගේ අම්මා’, ‘රන්මලීගේ වාසනාව‘, ‘ඇය වැරදිද ඔබ කියන්න’, ‘සුදු මාමා’, ‘දූ දරුවෝ’ වැනි චිත්‍රපටවල විජය නන්දසිරි රඟපෑවේය. කේ. ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘බංගලි වළලු’ චිත්‍රපටයේ දුෂ්ට ගතිගුණවලින් හෙබි කපිල නමැති වළලු වෙළෙන්දාගේ චරිතය විජය නන්දසිරි රඟපෑ සංකීර්ණ චරිතයක් විය. ඔහු සංකීර්ණ චරිතවලින් විතැන්ව ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගත්තේය. ඔහු රංගනයෙන් දායක වූ ගිරිරාජ් කෞශල්‍යය අධ්‍යක්ෂණය කළ ‘සිකුරු හතේ’ චිත්‍රපටයේ ‘මංගල ජය කපු මහතාගේ’ චරිතය එතෙක් මෙතෙක් සිනමාව තුළ නිර්මාණය වූ උපාහසය දනවන සුවිශේෂි රංගනයක් ප්‍රකට කළ චරිතයකි. ‘සිකුරු හතේ’ ආදායම් වාර්තා තබමින් තිරගත විය.

අනතුරුව ඔහු රඟපෑ ‘කිං හන්තර්’ චිත්‍රපටයේ විකට රජකුගේ ප්‍රධාන චරිතය හරහා නැවත වරක් ප්‍රේක්ෂකයාව සිනා සයුරේ ගිල්වීමට හැකි විය. විජය නන්දසිරි⁣ ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස සිනමාව තුළ වඩාත් කැපී පෙනෙන්නට ‘සිකුරු හතේ’ සහ ‘කිං හන්තර්’ චිත්‍රපට ⁣ද්විත්වය හරහා සමත් වීම මඟින් ප්‍රහසන සිනමාවට නැතුවම බැරි නළුවෙකු විය. ‘සුහද කොකා’ චිත්‍රපටය ද එහි දිගුවකි. ‘නෝනාවරුනි මහත්වරුනි’, ‘යර්ස් බොස්’, ‘එතුමා’ වැනි Black – Comedy ශානරයේ ටෙලිනාට්‍ය හරහා ඔහු සිනහා රසය ආලින්දය වෙත ගෙන ආවේය. විජය නන්දසිරිගේ රංගන ශෛලිය හා මෑත කාලයේ දී සිදු කළ රංගනයන් ආකර්ෂණීය විය. ඔහු රඟපෑ රවීන්ද්‍ර ආරියරත්න⁣ගේ ‘බල්ලොත් එක්ක බෑ’ වැඩිම වාරයක් වේදිකාගත වූ නාට්‍ය අතරට අයත් වේ. 2016 අගෝස්තු 08 වැනි දින විජය නන්දසිරි නම් තම දිවි රඟ මඬලින් බැස ගියේ සිනමාව, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍යට විශාල රික්තයක් ඇති කරමින්.

2010 වසරේ පැවැති 32 වැනි සරසවිය සම්මාන උලෙළෙදී 2007 වසර සඳහා ජනපි‍්‍රය නළුවා සම්මානය හිමි කර ගැනීමට විජය නන්දසිරි සමත් විය.

ඔහු විවාහ වූයේ ප්‍රකට ටෙලි නාට්‍ය නිළියක වූ දේවිකා මිහිරාණි සමඟිනි. විජය නන්දසිරි නමැති ප්‍රතිභාපූර්ණ රංගනවේදියා තමන්ට ලැබුණු සියලු චරිතවලට උපරිම සාධාරණයක් කළ රූපණවේදියෙකි. එම නිසාම ප්‍රේක්ෂක සිත්වල සදාකාලිකව තැන්පත් වුණු කලාකරුවෙකි. ප්‍රධාන කලා මාධ්‍යයන් ති‍්‍රත්වයම ජයගත් කලාකරුවන් සිටින්නේ අතළොස්සකි. මන්ද යත් එය එතරම්ම අසීරු කාර්යයක් බැවිනි. නමුත් ඔහු වේදිකාව, සිනමාව, සහ ටෙලි නාට්‍ය යන මාධ්‍යයන් තුනෙහිම සාර්ථක නළුවෙක් බවට පත් විය. ඒ අන් කිසිවක් නිසා නොව විජය නන්දසිරි නම් වූ රූපණවේදියා තුළ වූ ප්‍රතිභාපූර්ණ බව නිසාමයි.

 

සේයාරුව ටෙනිසන් එදිරිසිංහ

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT