ආදරය අහිමි පොළොවට ආදරය අරන් ආවා වූද, වස විස නැති රන් පොළොවක සිහිනය ම දුටුවා වූද .. අපේ පොළොවේ අව්‍යාජ ගොවි තාත්තලාගේ ධෛර්යවත් කතාව වියමන් කරන චිත්‍රපටය ‘ගොවි තාත්තා’ මේ දිනවල ප්‍රේක්ෂක අවධානය ලබමින් තිරගත වේ. මෙරට ගොවි සංස්කෘතිය හා බැඳුණු පොහොසත් මානව පැවැත්මේ ගති ලක්ෂණ හා එය බිඳවැටෙමින් මතු වුණාවූ සමාජ ආර්ථික විපර්යාස පිළිබඳ අවධානය යොමු කරන චිත්‍රපටයක් ලෙස ගොවි තාත්තා ප්‍රේක්ෂකයන් හමුවට ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් එදා සිට අද දක්වා විවිධාකාර ගැටලු හමුවේ තවදුරටත් මහපොළොව සමඟ ගැටී වැඩ කරන ගොවි තාත්තලාගේ ජීවිතය මේ මොහොතේ හෝ හරියාකාර නිරීක්ෂණයකට ලක් වීම අතිශයින් වැදගත් බව ගොවි තාත්තා නරඹන ප්‍රේක්ෂකයාට ලැබෙන වැදගත් ම පණිවිඩය යි. ඒ පණිවිඩය නිර්මාණශීලීව වියමන් කරමින් ඉදිරිපත් කරන්නේ සම්මානනීය සංගීතවේදියකු හා නිර්මාණකරුවකු වන දර්ශන රුවන් දිසානායකය. මේ ඔහුගේ කුලුඳුල් චිත්‍රපටය ද වේ.
‘ගොවි තාත්තා’ චිත්‍රපටයේ අවධානය යොමු වන චරිතයක් වන්නේ ‘ලොකු පුතා’ ලෙස ප්‍රේක්ෂකයා හමුවේ දිගහැරෙන චරිතයයි. එය විශේෂත්ව ගණනාවකින් සමන්විත වන සේ නිර්මාණකරුවා ගොවි තාත්තා ගේ කතාවේ වියමන් කොට ඇත. මේ චරිතයට පණ පොවන්නේ නූතන රූපණවේදීන් අතර සුවිශේෂ හැඩයක් එක්කළ ශිල්පියකු වූ සූර්යා දයාරුවන් ය. ගවේෂණශීලී රූපණවේදියකුගේ හැඩ මතු කරන ඔහු සිය නිමාණ දායකත්වය වෙනුවෙන් අවස්ථා ගණනකදී ඇගැයුමට පාත්‍ර වී ඇති රංගන ශිල්පියෙකි. හැකියාපූර්ණ ගායන ශිල්පියකු ද වන ඔහු නිවේදකයකු, හඬ කැවීම් ශිල්පියකු ලෙස ද කටයුතු කරයි. සංගීතය පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන ඔහු එහි වැඩිදුර අධ්‍යයනයේ යෙදීමට අපේක්ෂාවෙන් සිටියි. එහිදී ‘ගොවි තාත්තා ‘ සිය රංගන ජීවිතයට කෙසේ වැදගත් වූයේද යන්න සාකච්ඡා කළේ මේ අයුරිනි.
ගොවි තාත්තා චිත්‍රපටයේ චරිතය ඇත්තෙන්ම අභියෝගයක් විදියටයි මම ගත්තෙ. මොකද චිත්‍රපට අධ්යක්ෂවරයාගේම භූමිකාවම තමයි මට නිරූපණය කරන්න තිබුණේ. එක් පැත්තකින් අධ්යක්ෂවරයා කැමරාවෙන් මගේ නිරූපණය හසුකර ගනිමින් සිටින අවස්ථාවක් වගේම අනෙක් අතින් මේ නිරූපණය කරමින් සිටින්නෙ ඔහුගේම කථාව. මේ සියලු කාරණා එක් වූ පසු මට ඒ අවස්ථාව අභියෝගාත්මක එකක් විදියට දැනුණත් ඊට හොඳීන් මුහුණ දෙන්න පුළුවන් වුණා කියල විශ්වාස කරනවා. මොකද මේ නිරූපණයට ප්‍රවේශ වෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්න ප්‍රමාණවත් සාධක සහිත වටපිටාවකමයි මාත් ගැවසුණේ. උදාහරණයක් ලෙස කිව්වොත් දර්ශන රුවන් දිසානායක සර්ගෙ සංගීත පන්තිවල මම ඉඳීද්දි ලැබුණ ඇසුර. ඒ වගේම ඒ වටපිටාව ගැන මට තිබුණ අවබෝධය. මොකද මමත් පොළොන්නරුවේ ගොවි තාත්තා කෙනකුගේ ම පුතකු වීම සුවිශේෂ වුණා. මේ කාරණා නිසා මට අපහසු වුණේ නෑ ‘ගොවි තාත්තා’ ව අවබෝධ කරගන්න.
කොහොමද ඔබ මීට ප්‍රවේශයක් ගත්තේ ?
ඔව්. අපි පෙර කතා කළා වගෙම මා හැදුණ වැඩුණ පරිසරයේම සාධකවලින් සමන්විත පිටපතක්නෙ. ඒ මමත් ඉපදිච්ච පරිසරය. ඒ ගොවි තාත්තා මටත් සමීපයි. ගොවි තැන මගෙ ජීවිතයේත් කොටසක්.ඒ නිසා හරිම කැමැත්තෙන් ආදරයෙන් මේ රංගනයට ප්‍රවේශ වුණේ.
මහ පොළොවට හෙළන වස විස ගැන කතා කරද්දී රජරට පළාතේ වකුගඩු රෝගය ගැනත් අමතක කරන්න බැහැ නේද ?
ඒක ඉතා සංවේදී කාරණයක්. වකුගඩු රෝගය මේ පළාත්වල ගොවිපවුල්වලට දැඩි බලපෑමක් ඇති කරන ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ අවිනිශ්චිතභාවය අපි ඔක්කොටම තියෙනවා. නමුත් පවතින වටපිටාවේ මුහුණ දෙන්න වෙලා තිබෙන සමාජ ආර්ථික දේශපාලනික කාරණා හමුවේ ම සිය අනන්‍යතාව අත් නොහරිමින් කටයුතු කරන ගොවි ප්‍රජාවේ කතාව තමයි මේ කියන්නේ. ඒ වස්තු බීජය ඉස්මතු කර ගැනීමම සුවිශේෂ කාරණයක් විදියටයි මම දකින්නෙ. මුදල් පසුපස හඹා යන පරිසරයේ සමතුලිතතාව අමතක කර දැමූ, මිනිස් ජීවිතයක අගය මායිම් නොකොට මනුස්සකම පසෙකලා කටයුතු කරන්න පෙළ ගැසී ක්‍රියා කළ සමාජ ක්‍රමයක් තුළ තවදුරටත් ගැටෙමින් කටයුතු කරන මේ මිනිස්සු කොච්චර සුන්දර පිරිසක් ද කියන කාරණය තමයි අධ්යක්ෂවරයා මේ උත්සාහය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නේ. ගොවියා ඒ තරමට මේ සොබාදහමට ගොවිතැනට ආදරෙයි. මිනිසුන්ට ආදරෙයි සතා සීපාවට ආදරෙයි. ඊට ඉහළම වටිනාකමක් දෙන්න ඔවුන් පොඩ්ඩක්වත් පැකිළෙන්නෙ නෑ. ඔවුන් ජීවිතයේ අනේක දුෂ්කරතා විඳගනිමිනුයි ඔවුන් ගොවිතැන එක්ක ඔට්ටු වෙන්නේ. ඒක බැඳීමක්. භක්තියක්. එවැනි හැඟීමක් එක්ක ජීවත් වන ගොවියා කුමන ගැටලුවක ගැඹුරු අසනීපයක සිටියද කුඹුරට යෑම අත් හරින්නේ නැහැ. ඉතින් මේ සංවේදී කාරණා ගොවි තාත්තා චිත්‍රපටයේ මැනවින් දක්වන්න එහි අධ්යක්ෂවරයා කටයුතු කර තිබෙනවා. දර්ශන රුවන් දිසානායක කියන අධ්යක්ෂවරයා ඔහුගේ මේ කුලුඳුල් නිර්මාණයේ මේ කාරණා මතු කරන්න උත්සාහ කරන ආකාරය වැදගත්. ඒවගේම මෙවැනි දෙයක් මතු කරන්න ප්‍රවේශයක් ගෙන දුන් මේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමාවත් අගැයීමට ලක්විය යුතුමයි.
දර්ශන රුවන් දිසානායක සංගීතවේදියකු විදියට ඔහුගේ කුලුඳුල් චිත්‍රපටයේ ප්රස්තුතය තීව්ර කරන්න සංගීතය මෙහෙයවන ආකාරය ඔබ දුටුවේ කොහොම ද ?
ඇත්තෙන්ම මෑත කාලයේ චිත්‍රපටවලට අවධානය යොමු කළොත් තාක්ෂණික කාරණා ඔස්සේ සංගීතයට උපරිම වටිනාකමක් එකතු කර නිමවා ඇති චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය ගැන කතා කරන්න පුළුවන් කියල මම විස්වාස කරනවා. විශේෂයෙන් සංගීතය සමඟ කටයුතු කරන කෙනෙක් විදීයට, ඒ පිළිබඳ විවිධ අත්හදා බැලීම් කරන කෙනෙක් විදියට, ඒ සියල්ලටම වඩා සංගීතය විඳීන කෙනෙක් විදියට මට එය දැනෙනවා. මොකද ගහක කොළයක් වැටී ගැටෙන හඬක් පවා, වතුර බිඳුවක් වැටෙන ශබ්දයේ සිට හුස්මක ශබ්දයක් දක්වා අපට විඳීන්න සංගීතය ඔස්සේ දී ඇති දායකත්වය විශිෂ්ට යි. කොහොමද නාදය හා ශබ්ද නිර්මාණයකට ඇතුළු කරගන්නෙ කියන එකට මෙය හොඳ උදාහරණයක්. සංගීතය කොහොමද චිත්‍රපටයකට යොදා ගන්නේ කියල සොයන කෙනකුට මෙය අධ්‍යයන කරන්න පුළුවන්. මම මේ චිත්‍රපටය වාර ගණනාවක් නැරැඹුවා. ඒ හැම වාරෙකම මගෙ ඇහැට කඳුළක් ඉනුවා. මා මෙහි කළේ අධ්යක්ෂවරයාගේම කුඩා අවධියේ නිරූපණයක්. ගොවි තාත්තා ඔහුගේ පියාගේ කතාව. ඒ වගේම හැම ගොවි තාත්තා කෙනකුටම කතා කරන කතාව. නිරූපණ ශිල්පියකු විදියට මගේ ඇසට ඉනූ කඳුළ මට දැනුණා. මේ නිර්මාණකරුවා අධ්යක්ෂවරයා ලෙස ඔහුගේ ම පියාගේ කතාව දකින හැම වාරයක කොහොමද දරා ගත්තේ කියා මා හිතනවා. ඔහු ඉතා ම සියුම් ව මේ චිත්‍රපටය පුරා එකතු කර තිබෙන සංගීතාංගයන් එතරම් විශේෂිත යි. මොකද මට ඇහැට කඳුළක් උනන්න රංගනය ම නෙවේ ඒ වයලීන් වාදනයේ කොටසක් බටනළා හඬේ වැයුමක් පවා හේතු වුණා කියල මම විස්වාස කරනවා. එතරම් සියුම්ව ඔහු මේ චිත්‍රපටය ට සංගීතය එකතු කර තිබුණේ. ඒ තමයි ඔහුගේ හැකියාව. ඔහුගේ සංගීත දැනුම මේ චිත්‍රපටයේ අලංකාරය ගොඩ නැගීමට යොදා ගත් විදිය. ඒක සුවිශේෂ අවස්ථාවක්. චිත්‍රපටයක අධ්යක්ෂවරයකු එහි සංගීතය මෙහෙය වීම යනු විශේෂ අවස්ථාවක්. මොකද එය පහසු දෙයක් නොවන නිසා. නිර්මාණකරුවෙක් එය කළ යුත්තේ පරිස්සමින්. එනිසා චිත්‍රපට අධ්යක්ෂවරයකු වගේම එහි සංගීත අධ්යක්ෂවරයා වශයෙන් ඔහු තැබූ මේ පියවර ඉතාම සුවිශේෂ අවස්ථාවක් වේවි. එසේ වුණත් කිසිදු අවස්ථාවක සංගීත අධ්යක්ෂවරයකු වශයෙන් වූ ඔහුගේ අනන්‍යතාව මේ චිත්‍රපටයට වැඩි ආලෝකයක් එකතු කර තිබෙනවා හැරෙන්න එය අබිබවා ගොස් ඇති බවක් නිරීක්ෂණය වන්නේ නෑ.
මේ චිත්‍රපටයේ ‘ලොකු පුතා’ කියන චරිතය කොහොම ද ඔබේ නිරීක්ෂණයට හසුකර ගත්තේ ?
මේ චරිතයේ පිටපත මගෙ අතට ලැබෙද්දි මම බොහෝ කාරණා පිළිබඳ අවධානය යොමු කළා. මොකද මේ චරිතය ඉතා සංවේදී කාරණා එක්ක ගොඩ නැඟෙන චරිතයක්. ‘ ලොකු පුතා’ කුඩා අවධියේ සිට ගොඩ නැඟෙන විදිය ගැන මට හිතන්න බොහෝ දේවල් තිබුණා. එක් පැත්තකින් එය අභියෝගාත්මක වූ අතරෙම තවත් පැත්තකින් මට ආධාර වුණේ මේ පරිසරය, මේ මිනිසුන් ඔවුන්ගේ ජීවන පැවැත්ම ගැන මට තිබුණු වැටහීමයි. එසේම ‘ ගොවි තාත්තා’ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වූ දර්ශන රුවන් දිසානායක කියන නිර්මාණකරුවා පිළිබඳ තිබුණු අවබෝධයයි. ගුරුවරයකු ලෙස කුඩා කල සිට ඔහු සමඟ තිබුණු බැඳීම හා අවබෝධය ඔහුගෙ ජීවන තොරතුරු පිළිබඳ අවබෝධය මේ චිත්‍රපටයේ ‘ලොකු පුතා’ කියන චරිතයට හොඳීන් ප්‍රවේශ වෙන්න උපකාර වුණා.
ඔබ ගායන ශිල්පියකු විදියට ගොඩනඟාගෙන තිබෙන අනන්‍යතාව පිළිබඳත් කතා කරමු
ගායන ශිල්පියකු විදියට මේ වන විට තිබෙන පසුබිම ගැන සතුටුයි. විශේෂයෙන් මෙවර රයිගම් ටෙලීස් උලෙළේ හොඳම ගායකයා නිර්දේශ අතරට එන්න ලැබීම විශේෂ යි. මේ වනවිට මගේම ගීත අනූවක් පමණ තිබෙනවා. ඒ අතරට චිත්‍රපට තේමා ගීත පහළොවක් හා ටෙලිනාට්‍ය තේමා ගීත පහළොවක් පමණ ඇතුළත්.
නිර්මාණ දිවියේ මේතාක් ගමන පෙළගැස්වූවොත් ?
ඇත්තෙන්ම සමනල සංධ්වනිය චිත්‍රපටයෙන් ආරම්භ කළ ගමනේ චිත්‍රපට පහළොවකට පමණ මේ වන විට සම්බන්ධ වෙන්න හැකිවී තිබෙනවා. රංගන ශිල්පියකු විදියට. එළැඹෙන අප්‍රේල් මාසයේ තවත් අලුත් චිත්‍රපටයක වැඩකටයුතුත් ආරම්භ වීමට නියමිත යි. මේවන විට ගොවි තාත්තා චිත්‍රපටයට වාගේම මා රංගනයෙන් දායක වූ බුද්ධ මාතා චිත්‍රපටයේ චන්න ඇමැතිවරයාගේ චරිතයටත් මේ දිනවල ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මා රංගනයෙන් දායක වූ චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිත යි.
ඔබේ ටෙලි නිර්මාණ දායකත්වය ගැනත් කතා කරමු
ටෙලි නිර්මාණ හතළිස් හයක් තිබෙනවා. එයින් අටක් පමණ ඉදිරියේදී දකින්න පුළුවන් . අවසන් වරට දායක වුණේ ‘ දිවිතුරා’ ටෙලිනාට්‍යයට.
මේ වන විට ඔබේ නිර්මාණ දායකත්වය කුමන ක්ෂේත්‍ර ඔස්සේ දකින්න පුළුවන් ද ?
රංගනය හා සංගීත කටයුතුවලට පරිබාහිරව මේ වනවිට බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද විශ්වවිද්‍යාල කීපයකට සම්බන්ධ වී කටයුතු කරනවා. ඒ සංගීතය කලාව රසවින්දනය වැනි විෂයන් ඔස්සේ.
ඒ අතරෙ මගෙ ලොකුම හීනය වන්නේ අධ්‍යාපන කටයුතු ඔස්සේ ඉදිරියට යෑම. ආචාර්ය උපාධිය දක්වා. ඔපෙරා සංගීතය මූලික කරගෙන අධ්‍යයන කටයුතු කරන්නයි කැමැත්තෙන් ඉන්නේ.
සමුද්‍රිකා වර්ණකුල