එදා ගුවන් විදුලියේ ගායකයකු ගායිකාවක වෙන එක ලේසි පහසු කාරියක් නම් නෙවි. සල්ලි තියෙනව නම් අද ඕන කෙනකුට ගායකයකු හෝ ගායිකාවක් වෙන්න පුළුවන් වුණාට එදා හඬ පරීක්ෂණ පවා නූලටම තියෙන්න ඕනා..”
එදා ගුවන් විදුලි ශ්‍රාවක සිත්සතන් සිය ළයාන්විත මෝහණීය කටහඬින් ඇදබැඳ තබාගන්නට සමත් වූ ඇයට එදා ගීතලෝලීන්ගෙන් හිමි වූ ආදරය අපට තවමත් මතකය. ප්‍රසංග වේදිකාව ද ගීතයෙන් රසවත් කරමින් ඇය ගැයූ ආකර්ෂණීය ගීත අතරින් වඩාත් ජනප්‍රිය වූ “සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා..
මතු සක්විති රජෙක් වගේ උකුලේ නිදනවා…” ගීතය සේම අපේ අබේවර්ධන බාලසූරිය ශූරීන් සමඟ ගැයූ “රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ…” යන යුග ගීතයද තවමත් අපේ ගීත ලෝලීනට අමතකව නැතැයි නොඅනුමානය .
ඕ තොමෝ දැන් මා සමීපයේය. එදා විකසිත මුව සිනහවද තවමත් එලෙසමය. හැට..හැත්තෑව දශකයේදී ඇය ප්‍රසංග වේදිකාව ගීයෙන් රසවත් කළ අයුරු දැනුදු සිහිපත් වෙයි. ඈ මා හා මුව පිරුණු සිනාවෙනි.
මේ එදා අතීත ගුවන් විදුලියේ “ඒ” ශ්‍රේණියේ ගායිකාවක ලෙසින් ගුවන් විදුලිය , රූපවාහිනිය මෙන්ම ප්‍රසංග වේදිකාවද තම ගායන සිරිතෙන් ඔපකළා වූ අපේ ත්‍යාගා එන්. එඩ්වඩ් නම් ගායන ශිල්පිනියය. නොඑසේනම් නානායක්කාර මද්දුම වෙල්ලාලගේ ත්‍යාගවතී මහත්මිය ය.
පානදුර , වලානේ ඉඳුරුවගේ මර්තිනා තේස්ව සහ මාතර , දෙවුන්දර ප්‍රකට ඡායාරූප ශිල්පියකු වූ නානායක්කාර මද්දුම වෙල්ලාලගේ පුංචි අප්පුහාමි යන මවුපිය දෙපළගේ දූ පුතුන් පස්දෙනා අතරින් පවුලේ එකම දියණිය ලෙසින් උපන්නේ මේ අපේ ආදරණීය කතා නායිකාව ය.. ඇයගේ එකම අයියා චන්ද්‍රසිරි නානායක්කාර ය. අපේ ආදරණීය ත්‍යාගා දෙවැන්නිය ය. ඇයට බාල සහෝදරයන් තිදෙනකුද වන අතර ලොකු මල්ලී ප්‍රකට තබ්ලා වාද්‍ය ශිල්පියකු වන ප්‍රේමසිරි නානායක්කාර ය. ඊළඟ මල්ලී සෞම්‍යසිරි නානායක්කාර ය. බාලම සොහොයුරා ඉන්ද්‍රසිරි නානායක්කාර ය.
අපේ ආදරණීය කතා නායිකාව මුලින්ම අධ්‍යාපන යට පිවිසියේ මාතර , මෙතෝදිස්ත විදුහලෙනි. අනතුරුව තල්පාවිල විදුහලේද ඉගෙනුම ලැබූ ඈ පසුව පානදුර , වලානේ මහානාම විදුහලේ ඉගෙනුම ලැබුවාය..
” මගෙ තාත්තා නැතිවෙන කොට මට වයස අවුරුදු එකොලහයි. අපට එකම සවිය වුණේ අපෙ තාත්තා විතරයි. ඉන් පස්සෙ අපි අසරණ වුණා.”
වියපත් වුවද ඇයගේ මතකය නම් තවමත් තුරුණු ය. සිය සැමියාගේ වියෝවෙන් අන්ත අසරණ වූ විට ඇයගේ අම්මාගේ කොළඹ වෙසෙන වැඩිමල් සහෝදරයා පිළිසරණය වෙමින් මුළු පවුලම පානදුරේට කැඳවා පදිංචි කරවූයේය. එහිදීය අපේ ත්‍යාගා වලානේ මහානාම විදුහලට ඇතුළත් වූයේ. පාසලේ කලා කටයුතු වලදී මෙන්ම ගායනයේදීද නමක් දිනූ ඕ සංගීතය සමඟ නැටුම ද හදාරන්නට වූවාය. ඇයගේ දස්කම් දුටු පාසලේ ජෝතිරත්න ගුරු මහතා ත්‍යාගා ශිෂ්‍යාවට දියහැකි හැම සහයක්ම ලබා දුන්නේය..
තම ගායන දිවියේ ඇරඹුම පිළිබඳව ද මතකය අවදි කළ ඇය මෙසේ පැවසුවාය.
” ඒ කාලෙ පානදුරේ අවුරුද්දකට සැරයක් වෙසක් බැති ගී ප්‍රසංගයක් තිබුණා. ඒ ප්‍රසංගයේදී ගායනයෙන් වැඩිම ලකුණු ගත්ත මම පළමුවැනියා වුණා. එහිදී පුන්සිරි සොයිසා, නීලා වික්‍රමසිංහ , අයත් ගායනා ඉදිරිපත් කළා මට මතකයි.”
පාසල් අධ්‍යාපනයෙන් පසුව ඕ රජයේ ලලිත කලායතනයට ඇතුළත් වූවාය. ඒ 1961 දීය. පියාද අහිමි අපේ ආදරණීය ත්‍යාගාට සවිය වූයේම අම්මා ය. ඈ තම දියණියගේ සෙවණැල්ල බඳු වූවාය.
ලලිත කලායතනයේ සංගීතය හදාරන අපේ ආදරණීය ත්‍යාගා ට සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ආදීහුද සමීපතම මිතුරු මිතුරියන් වූහ. ඇයට වඩාත් ළෙන්ගතු වූ අපේ සුජාතා අත්තනායක මහත්මිය අපේ ත්‍යාගාගේ ගමන් වෙහෙස හා ආරක්ෂාව ගැන සිතා කොළඹට නුදුරු ඈ වෙසෙන කැලණිය නිවසේ නවාතැන් දුන්නාය. දැන් ලලිත කලායතනයට ත්‍යාගා යන්නේ සුජාතාගේ නිවසේ සිටය.
අපේ වික්ටර් රත්නායකයන් දිනෙක සිය මිතුරිය ත්‍යාගාට සුභ ආරංචියක් රැගෙන ආවේය.
“ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයක් තියෙනවා. ත්‍යාගා ඒකට ඉදිරිපත් වෙන්න”
තවමත් අපේ කතා නායිකාව ත්‍යාගා සිනාවතිනි.
“අනේ ඉතිං..මම ඒක අහල ගොඩක් සතුටු වුණා. මම ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා කියමුකෝ. මම “ඒ”සාමර්ථ්‍යය ලබා ගත්තා. “ඇයගේ පළමු ගීතය වූයේ “වෙහෙර බලා යමුද නගෝ …
නිවන සොයා යමුද නගෝ..” ගීතයය.
ගුවන් විදුලියේ නියමයන්ට අනුව යමින් ඕ මාස හතරෙන් හතරට ගීත 4 බැගින් ඉදිරිපත් කරමින් එහි විවිධ වැඩසටහන් වලට ද එක්වූවාය.
” ජී.එස්.බී රාණි මහත්මිය කළ රන් ගීත තරංගනී වැඩසටහනින් එතුමිය මට ගොඩක් අත දුන්නා. දයාරත්න රණතුංග, සෝමදාස ඇල්විටිගල, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහත්වරුත් මට අතහිත දුන්නා.ඉන් පස්සෙ තමයි මම ප්‍රසංග වේදිකාවට ආවේ. මට එදා ප්‍රසංග වේදිකාවෙ හොඳ ඉල්ලුමක් තිබුණා. අදත් ඒ ගැන හිත හිත සතුටු වෙනවා..”
තේ බන්දේසියක්ද අතැතිව සිනාපිරි මුහුණින් යුතුව අප අතරට පැමිණියේ රුවැත්තියක වන අපේ ආදරණීය ත්‍යාගාගේ ලොකු දුව කෞෂාණි ය.
” මං පාසල් යන කාලෙ අපෙ අම්මා ගෙදර ඇත්තේම නැහැ. ගෙදර එන්නෙත් රෑ ජාමේ. තාත්තායි ආච්චියි තමයි අපිව බලාගත්තෙ. අපෙ අම්මාට කාර්ය බහුලයිනෙ. හැමදාම වගෙ සංගීත ප්‍රසංග. නැතිනම් ගුවන් විදුලියේ ..නැතිනම් රූපවාහිනියේ…අපෙ අම්මා
ගැන මිනිස්සු කතා වෙනව ඇහුණාම ලොකු ආඩම්බරයක් එදා අපට දැනුණා”
ඒ ටික කීවේ ඇයගේ දියණිය කෞෂාණිය. මහගෙදරට වී කෞෂාණි තම මව රැකබලාගෙන හිඳී.
මේ වනවිට අපේ සොඳුරු කතා නායිකාව ජනප්‍රිය ගායිකාවක ලෙසින් රටතොටම දැන හිඳීති. කොටින්ම ඇය කාර්ය බහුල ගායිකාවකි.
අපේ ත්‍යාගා ගුවන් විදුලියේ සේම රූපවාහිනියේද ගායනා වැඩසටහන් කරමින් ඒක පුද්ගල ගායනා ප්‍රසංගද රටපුරා ගෙන ගියාය.
මේ අතරේදී ගම්පොළ, ප්‍රදේශයේ ගඟ මැද “දියකිඳුරී”නමින් සංගීත සන්දර්ශනයක් පැවැත්විණි . ඊට ආරාධනා ලැබ පැමිණි අපේ කතා නායිකාවට එදින නවාතැන් පහසුකම් ලැබුණේ එහි ප්‍රධාන සංවිධායක ඇල්ෆ්‍රඩ් ක්‍රිස්ටෝපර් මහතාගේ නිවසේය. ඔහු වෘත්තීයෙන් යුද හමුදා රෝහලේ හෙද නිලධාරියෙකි.
අපේ ත්‍යාගා සමඟින් සුහද වූ හෙතෙම කෙටි කලකින් ඇයගේ හොඳම විශ්වාසවන්තයා වූයේය. සුහදතාවය තිර ආදරයකට පෙරැළී එඩ්වඩ් – ත්‍යාගා අතිනත ගත්තේ 1965ක්වූ දෙසැම්බර් මස 06 වනදාය.
“අපෙ විවාහයෙන් මට දරුවන් තුන්දෙනයි. (කෞෂාණිව පෙන්වමින් ) මේ මා ළඟම ඉන්න මගෙ ලොකු දුව. දෙවැනි දුව නිරෝෂා ශශිකාන්ති , තුන්වැනියා මගෙ එකම පුතා චමින්ද නිරෝෂන්. ඉතිං ..මං හරිම සතුටින් ඉන්නවා.”
සිනාවෙන්ම සංලාපයේ යෙදුණු අපේ ත්‍යාගාගේ මුහුණ අඳුරු වූවාසේය. ඕ බිම බලාගත්වනමය .
“මගෙ රත්තරන් මහත්තයා එඩ්වඩ් අපිව දාලා යන්නම ගියා. මගෙ කලා ජීවිතයට එයා මට උදව් කළ හැටි කියන්න මට වචන මදි. මට ආරක්ෂාව දුන්නා. හැමදෙයකදිම එයාමයි මට සවිය වුණේ.”
ත්‍යාගාගේ කටහඬ බිඳුණු ස්වරයකි.
දියණිය කෞෂාණි තම කටහඬ අවදි කරන්නීය.
“අපේ තාත්තා ගොඩක් වටින කෙනෙක්. අම්මාව කඩේකටවත් යවලා නැහැ. හැමදේම තාත්තාමයි කළේ. අම්මා සින්දු කියන්න යද්දිත් අපෙ තාත්තා තමයි අම්මාගෙ ළඟම හිටියේ…”
ඔහු පිළිබඳව ද ඔබට කිවයුතු යැයි හැඟේ. ගායකයකු නොවූවද සංගීතයට ළැදි හේ සංගීත ප්‍රසංග සංවිධායකයෙකි. ඒ නිසාම ගායන ලොවේ ඔහු නොදන්නා කෙනකු නැති තරමි. කතෝලිකයකු වූ හෙතෙම ත්‍යාගාගේ හමුවීමෙන් පසුව බුදු දහමට භක්තිමත්ව කැපව කටයුතු කළේය.
“අපෙ තාත්තා පාන්දර 4ට නැගිටල මල් කඩල දන්න හඳුනන ගෙවල් වලට මල් බෙදල පාන්දරින් බුදුන් වඳීනවා. අපට ලොකු ආදරයක් තිබුණා ..” කෞෂාණි කියන්නීය.
ඔහු ක්ෂණයකින් බිම ඇද වැටුණේය. ඔහුගේ බිරිඳ ත්‍යාගා ඒ දැක මහහඬින් කෑ ගැසුවාය. වහා රෝහලට ඇතුළත් කෙරිණි. ඒ වනවිට ද ඔහු කොහේදෝ රහසේම නික්ම ගොස් සිටියේය. ත්‍යාගා මිහිකත බදාගත්වනම වැලපෙන්නට වූවාය. හිසේ නහරයක් පුපුරායාමෙන් ඔහුගේ මරණය සිදුවී තිබිණි . ඒ වනවිට ඔහුට වයසින් අවුරුදු 77කි.
ඔහු බිරිඳ ත්‍යාගාට නිතර “ළමයා” යැයි ආමන්ත්‍රණය කළ අතර ඇය සිය හිමි ඇමතුවේ “එඩී” යන ආදරණීය නමිනි.
“මගෙ චමින්ද පුතා සංගීතය හදාරා ගුවන් විදුලියේ ළමා ගී වැඩ සටහන් වලටත් සම්බන්ධ වූ ගායකයෙක්. දැන් එයා ඉන්නෙ පිටරට.”
අපේ ආදරණීය ත්‍යාගාගේ වඩාත්ම සතුටු වූ දවස විමසූ විටදී ඈ සිනාසී
” මගෙ ලොකු දුව කෞෂාණිගේ දියණිය දෙව්මී දිසානායක විවාහ වූදා යැයි කියන්නීය.
දෙව්මී ගුවන් විදුලියේ ගායන ශිල්පිනියක් සේම හඬ කැවීම් අංශයේද කටයුතු කරන්නියකි.
මා ඇයගෙන් විමසූ තවත් පැනයකදී ඈ කීවේ තම සැමියා මියයාම තමන්ට ජීවිතයේ දරාගන්නට අපහසු වූ ලොකුම වේදනාව බවය.
අපේ සොඳුරු කතා නායිකාව ත්‍යාගා දැන් පසුවන්නේ 80 වන වියේය.
1943ක්වූ ජූනි මස 12 වනදා ඇයගේ ජන්ම දිනයය. එදා තුරුණු වියෙහි අප දුටු ඇයගේ රූපත් බව තවමත් එතරම් වියැකී ගොස් නැතැයි ඈ දකින කවරකුට හෝ නිතැතින් හැඟේ.
“අපෙ අම්මා නපුරු නැහැ. ඒත් අපෙ අම්මා ට වැරදි වැඩ වලදි නම් හරියට තරහා යනවා. ”
කෞෂාණි මව දෙසද බලා එසේ කියන්නීය.
අපේ ආදරණීය ත්‍යාගා තවමත් ගායනයට , ප්‍රසංග වේදිකාවට ආදරය කරන්නීය. මේ ළඟදී ඕ “සඳ රූ සුයාමය ” නමින් ගීත ඇල්බමයක්ද නිකුත් කළාය.
ඕ සුසුමක් හෙළුවාය..
“මගෙ ජීවිතය ගැන මට සතුටක් තියෙනවා. මට හොඳ දරුවන් ඉන්නවා. තවමත් මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඉතිං..කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි මගේ කැමැත්ත …මං ගොඩක් සතුටින් .”
මා ඇයගෙන් සමුගන්නට සැරසෙන විට සරසවියට යළි කෘතවේදී වූ ඈ මවෙත දයාබර බැල්මෙන් බලා සිටියාය…
ත්‍යාගා මැතිනියනි ! ඔබට චිර ජීවනයම වේවා …!!