නිවස ලාංකිය සිනමාව ගමට ආ අමුත්තා

ගමට ආ අමුත්තා

අද සිට රිද්මා මණ්ඩලය ඇතුළු දිවයින පුරා තිරගතවීම ඇරැඹේ

by Mahesh
June 20, 2024 12:30 am 0 comment

ගම්මුන් විසින් ආදරයට සුදු අප්පච්චි නමින් හඳුන්වනු ලබන 70 හැවිරිදි වියේ පසුවන ඔහු හා බිරිඳ පදිංචිව සිටිනුයේ, ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ අති දුෂ්කර වූ ගමකය. ඔවුන්ගේ මුනුබුරා වන අවිශ් ද ඔවුන් සමඟ වාසය කරනුයේ, අවිශ්ගේ පියා සහ මව ඉතාලියේ රැකියාවක් සඳහා නික්ම ගොස් ඇති බැවිනි. සුදු අප්පච්චි සහ බිරිඳ සිය ගෙවත්තේම කිරි ගොවිපළක් පවත්වාගෙන යමින් සරල දිවි පෙවතක් ගත කරති. ගමේ පාසලට කොළඹ සිට උපාධිධාරී තරුණ ගුරුවරයකු පැමිණෙන අතර, ඔහු ගමේ දුවා දරුවනට නාට්‍ය හා රංග කලාව උගන්වනු ලබයි. මේ අතරතුරදී ගමට පැමිණෙන අද්භූත පුද්ගලයෙකු නිසා ගම්මු කැලඹීමට පත්වෙයි. එය ගමට පැමිණි අමනුෂ්‍ය බලවේගයක් බවත් එය රැගෙන එන්නට ඇත්තේ නාට්‍ය ගුරුවරයා බවටත් සැක කරන ගම්මුන්ගේ තාඩන පීඩනවලට නතු වීමට ගුරුවරයාට සිදුවේ. සුදු අප්පොච්චි සහ බිරිඳ ද මෙම අවතාරය දකී. බිය වූ සිය ආච්චි රෝගාතුර වීම හේතුවෙන් අවිශ් ද අසරණ වෙයි. අවසානයේ අවිශ්ව සිය මව්පියන් හමුවට යැවීමට තීරණය කරයි. මෙම කතාව දිගහැරෙන්නේ ශීත සෘතුවේ ඉතාලියේ එක්තරා නගරයක ගමට වඩා පහසුකම් අත්විඳීමින් වැඩී ගැටවර වියට පා තබන අවිශ්ගේ අතීතාවර්ජනයක් ලෙසිනි. මිනිස් සිත් වලට කිඳා බැස ඇති හොල්මන් අවතාර පිළිබඳ සංකල්පය කොතරම් දුරට සාමාන්‍ය ජන සමාජය අවුල් කරන්නේද යන්න මෙයින් පෙන්වා දෙන අතර, හොල්මන් අවතාර පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටියකින් බලන්නට නව ලෝකය සොයා යන අනාගත පරපුරේ සිතුම් පැතුම්ද මෙයින් විග්‍රහයට පාත්‍ර වෙයි.

සුදු අප්පච්චි තිරයට රැගෙන එන රොඩ්නි විදානපතිරණ පාඨකයා විසින් හඳුනා ගනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදයෙකු ලෙසිනි. සලරුව, සිත්සර, විසිතුර වැනි එකල පළවූ පුවත්පත් කිහිපයකම මාධ්‍යවේදියෙකු සහ කතුවරයකු ලෙසින් ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, දශක තුනකට ආසන්න කාලයක් තරුණයා පුවත්පතෙහි කතුවරයා විය. චංචල රේඛා සහ වැල්ලේ තැනූ මාලිගා චිත්‍රපට තුළින් සහය අධ්‍යක්ෂවරයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, ශිල්ප දෙනු මැන නමින් සිනමා පටයක් අධ්‍යක්ෂණය කිරීමට යොමු වන අතර, එහි නිමාවක් දැක තිරගත කිරීමට ඔහුට නොහැකි විය. සාගර තරංගා නමින් ඇරඹූ සිය දෙවන නිර්මාණයද, අතරමග නතර විය. එම චිත්‍රපට ද්විත්වය සඳහා පටිගත කළ ගීත, අදටත් ජනප්‍රිය ගීත අතර වේ. ඉන් අනතුරුව ඉර සේවය (2015) සහ හිම තාරකා (2017) යන චිත්‍රපට නිර්මාණය කර තිරගත කරවන ලදී. තිර පිටපත් රචකයෙකු, ජනප්‍රිය ගීත රචකයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු ද වන ඔහු විසින් නිර්මාණය කරන ලද ටෙලි නාට්‍ය අතර, උඩ වැඩියා මල්, සාප නොකරව් දරුවනේ, හතේ වසම, වන පස මල්, හේමන්තයේ වසන්තයක්, රිදී තාරකා ඇතුළු ටෙලි නාට්‍ය 10ක් පමණ විය. චාරුමතී, ලන්ඩන් උණුසුම, දිය ඇලි චාරිකා, ව

න්දනා චාරිකා සහ සංචාරක සටහන් යන කෘති පෙළ ඔහු විසින් ලියා පළ කළ කෘති අතර වේ. සාගර තරංගා (ජගත් වික්‍රමසිංහ), කරඹයායේ (විජය කුමාරතුංග), පෙම් සිහිනේ (නාමල් උඩුගම) ප්‍රේම මායාදැලේ (නිමල් ගුණසේකර) සියොතුන් ඉගළ ගියා, සඳ රාජිනී ඔහු ලියූ ජනප්‍රිය ගීත කිහිපයකි.

රංගන දායකත්වය

ගාමිණි සමරකෝන් (සුදු අප්පච්චි), ඉෂාර වික්‍රමසිංහ (නාට්‍ය ගුරුවරයා), රූපා පතිරණ (අත්තම්මා), ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න (ගැමියා), රංජිත් රණසිංහ (යකදුරා), කැලුම් ධර්මදාස (අද්භූත පුද්ගලයා), මාලන් විදානපතිරණ (පුවත්පත් වාර්තාකරු)
ළමා නළු නිළියන්
අරෝෂ විජේරත්න, අවිශ්ක විජේරත්න,
නිෂේධ ජයසිංහ

කාර්මික දායකත්වය

තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය – රොඩ්නි විදානපතිරණ
නිෂ්පාදනය – ඩබ්.ආර්. ප්‍රඩක්ෂන්
දෙබස් සහ සහය අධ්‍යක්ෂණය – මාලන් විදානපතිරණ
කැමරා අධ්‍යක්ෂණය – මහේන්ද්‍ර සේනාරත්න
සංස්කරණය සහ සජීවීකරණය – පසත් සමරවීර
අතිරේක කැමරාකරණය – සඳුන් හේවගේ (ඉතාලි), චමින්ද දිසානායක, රංග කාරියවසම්
ආලෝකකරණ සහය, දෙබස් පටිගත කිරීම – ගීතාංජන රණවක
ශබ්ද පරිපාලනය – විරංග කැටපේආරච්චි
කලා අධ්‍යක්ෂණය සහ අංගරචනය – රංජිත් රණසිංහ
පසුබිම් කථනය – ආකාශ් විදානපතිරණ
ඉසව් සම්බන්ධීකරණය – කැලුම් ධර්මදාස
සංගීත අධ්‍යක්ෂණය – විශාරද මනෝජ් පීරිස්
ගීත ගායනය – කීර්ති පැස්කුවල්
සහය ගායනය – සදෙව් සත්තුල, තරුදිනි මෙත් සයුරි, තේනුක අලගියවන්න, කිත්මිණි කුලතුංග

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT