“කොළඹ කමත උලෙළ” නම්න් අපූරු වේදිකා නාට්‍ය උලෙළක් මාර්තු 27 සිට 30 වැනි දා දක්වා කොළඹ කමත හෙවත් BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. දවස් හතරක් පුරා වේදිකා නාට්‍ය 22ක් සහ වැඩමුළු ගණනාවක් මෙම උලෙළ හරහා ප්‍රේක්ෂකයාට දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. සම්පූර්ණයෙන්ම පාහේ වේදිකා නාට්‍ය වෙනුවෙන් වෙන් වූ මෙම උළෙල හරහා නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නාට්‍යලෝලීන් වෙනුවෙන් සිදු කරන වැදගත් කර්තව්‍යයකි. ‘කොළඹ කමත’ නාට්‍ය උළෙලෙහි සංවිධායක කමිටුව වෙනුවෙන් Festival Curator වන බිම්සරා ප්‍රේමරත්න සමඟ උළෙල පිළිබඳ මෙි අයුරින් කතාබහක යෙදුණා.
‘කොළඹ කමත’ කියන්නේ මොකක්ද? අපි ඒ ගැන කතා කරමු..
කොළඹ කමත කියලා කියන්නේ 2022 ආරම්භ කෙරුණු, කලා සහ සංස්කෘතික කටයුතු සඳහාම වෙන්වුණු අවකාශයක්. මෙය පිහිටලා තියෙන්නේ කොළඹ 7, BMICH පරිශ්‍රය තුළමයි. විවිධ ආකාරයේ කලා කටයුතුවල නියැළෙන්න හැකි වන ලෙසට නිර්මාණය කෙරුණු අවකාශ කිහිපයක්ම කොළඹ කමත ඇතුළත තිබෙනවා. එළිමහන් රඟහලක් (Open Air Theatre),, පුහුණු ශාලාවක් (Studio), කලාකරුවන්ටම වෙන් කෙරුණු සමාජ ශාලා අවකාශයක් (Artists’ Club), සහ තවත් විවිධාකාරයේ ශාලා කිහිපයක් මේ පරිශ්‍රයට ඇතුළත් වෙනවා. ඒ වගේම අලුතින් ඉදි කෙරෙන නවතම පරිපූර්ණ (ගෘහස්ථ) රංග ශාලාවකුත් (New Theatre) මීට එකතු වෙනවා. ඉතින් මේ අවකාශයන් ජනගත කරන්න, ඒ වගේම තවදුරටත් කලාකරුවන් අතර ප්‍රචලිත කරන්න, අලුත් ප්‍රේක්ෂකාගාරයක් මේ ස්ථානයට ආකර්ෂණය කර ගන්න, යන අරමුණු මූලික කරගෙන, කොළඹ කමත පරිශ්‍රයේ “කොළඹ කමත උළෙල” නම් වූ වේදිකා නාට්‍ය උළෙල මේ මස මාර්තු 27 ඉදන් 30 වැනි දා දක්වා කොළඹ කමත පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
“කොළඹ කමත උළෙල” හරහා වර්තමාන වේදිකා නාට්‍ය කලාවට ලැබෙන දායකත්වය මොන වගේද?
ශ්‍රී ලංකාවට ඉතාම විචිත්‍ර, වර්ණවත්, දීර්ඝ නාට්‍ය කලා ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම වර්තමානයේත් ලංකාවේ ඉතාම විශිෂ්ට ගණයේ, ලෝකයේ විශිෂ්ටතම ලෙස සැලකෙන වේදිකා නාට්‍ය හා කරට කර පවතින්න පුළුවන් විදිහේ, වේදිකා නාට්‍ය ගණනාවක්, සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් නිර්මාණය වෙනවා. නමුත් නාට්‍ය කලාව සඳහා ඇති ප්‍රේක්ෂකාගාරය ක්‍රමයෙන් කුඩා වෙන බව අපි දකිනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේත් අපි දකින ප්‍රවණතාවයක්. ඉතින් මේ ප්‍රවණතාවයට යම් මට්ටමකට මුහුණ දෙන්න, වේදිකාවට නැවතත් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න මොන වගේ දේවල්ද? කරන්න ඕනේ කියලා අපි නිතරම වේදිකාවට සම්බන්ධ කලාකරුවෝ විදිහට කල්පනා කරනවා. “කොළඹ කමත උළෙල” ඊට පිළිතුරක් හැටියට සංවිධානය කරපු වැදගත් අත්දැකීමක්. නාට්‍යකරුවන් හැටියට එකිනෙකා හා තරඟ වදිනවාට වඩා, එකිනෙකාගේ තියෙන දක්ෂතාවන් සහ නිර්මාණ අගය කරන්න පුළුවන්, ඒවාට තවදුරටත් අනුග්‍රහ දක්වන්න පුළුවන් පරිසරයක්, කොළඹ කමත උළෙල හරහා නිර්මාණය වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයාටත් මුළු දවස පුරාම නාට්‍ය බලන්න, නාට්‍ය ගැන කතාබහ කරන්න, ඒ නාට්‍ය වලට සම්බන්ධ නිර්මාණකරුවන් මුණගැහෙන්න, ආශ්‍රය කරන්න අවස්ථාවක්, කොළඹ කමත උළෙල හරහා ලැබෙනවා.
ඉතින් මෙමඟින් මේ නිර්මාණකරුවන්ටත්, සමස්ත ලාංකීය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටත් නව පණක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තවදුරටත් නිර්මාණකරණයේ යෙදෙන්න යම්කිසි උත්තේජනයක් ඒ නිර්මාණකරුවන්ට ලැබේවි කියලා අපි අපේක්ෂා කරනවා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයටත් වේදිකා නාට්‍ය කලාවට පෙර තිබුණු ඇල්ම උනන්දුව නැවත වතාවක් ඇති කරන්න, අලුත් නිර්මාණකරුවන්, නැඟී එන නිර්මාණකරුවන්, තරුණ නිර්මාණකරුවන් හඳුන්වා දෙන්න, මේ නාට්‍ය උළෙල හරහා අපි උත්සාහ කරනවා.
කමත පැවැත්වෙන දිනවල සිද්ධ වෙන වැඩ මොනවද? කියලා කියුවොත්.
කොළඹ කමත උළෙල ආරම්භ වෙන්නේ ලෝක නාට්‍ය දිනය හෙවත් මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා. එදිනට යෙදිලා තියෙන්නේ උළෙලේ සමාරම්භක උත්සවය පමණයි. එය විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් කෙරෙන උත්සව අංගයක්. කොළඹ කමත උළෙල මහජනයාට විවෘත වෙන්නේ 28 වෙනිදා සිකුරාදා සිට. එදින දහවල් වරුවේ සිට නොයෙකුත් නාට්‍ය දර්ශන සහ වැඩමුළු, කොළඹ කමත පරිශ්‍රයේ විවිධ අවකාශවල එක වෙලාවේ පැවැත්වෙනවා. ඒ වගේම 29 සහ 30 සෙනසුරාදා සහ ඉරිදා දෙදින, උදේ 9 සිට රෑ 10-11 පමණ දක්වා, මේ ආකාරයෙන් විවිධ නාට්‍ය දර්ශන සහ වැඩමුළු / සාකච්ඡා, කොළඹ කමත පරිශ්‍රයේ විවිධ අවකාශයන්හි එක මොහොතේ පැවැත්වෙනවා. නාට්‍ය 22 සහ වැඩමුළු / සාකච්ඡා 7ක් වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා. එනිසා අනිවාර්යයෙන්ම උළෙලේ වැඩසටහන් පත්‍රය සම්පූර්ණයෙන්ම කියවා බලා, අවශ්‍ය පරිදි ප්‍රවේශ පත්‍ර කලින්ම ලබාගන්න. තමන් කැමති ඕනෑම නාට්‍ය / වැඩමුළු ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න පුළුවන්. සිසු ප්‍රවේශපත්‍රය ලබාගත් අය විද්‍යාල/විශ්වවිද්‍යාල හැඳුනුම්පතක් නාට්‍ය ශාලාවට ඇතුල් වන විට ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
කමත කියන්නේ අපුරු වැඩ බිමක් වගේම නාට්‍යලෝලීන්ට, විද්‍යාර්ථයන්ට කදිම අවකාශයක්. කමත උළෙලින් වේදිකා නාට්‍ය ලෝලීන්ට සහ වේදිකා නාට්‍ය විෂයක් විදියට හදාරන අයට ලැබෙන වැදගත්කම මොකක්ද?
වේදිකා නාට්‍ය කලාව විෂයක් විදියට හදාරන අයටත් ඒ වගේම නාට්‍ය ලෝලීන්ටත් මේක වැදගත් විශේෂ අවස්ථාවක් වේවි. ලංකාවේ නාට්‍ය උළෙල සාමාන්‍යයෙන් නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ එක දවසකට එක නාට්‍යයක් හෝ එක නාට්‍යයක දර්ශන වාර කීපයක් යන ආකාරයට. නමුත් මෙහිදී අපි සූදානම් කරලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේEdinburgh Festival වැනි ලෝක ප්‍රසිද්ධ නාට්‍ය සැණකෙළියක ආකෘතිය – එක දවසක එකම වෙලාවේ එකිනෙකට ආසන්නයේ පිහිටි විවිධ අවකාශ වල විවිධාකාරයේ නාට්‍ය දර්ශන සහ නාට්‍යානුසාරී විවිධ අංග පැවැත්වෙන විදිහට. එතකොට තමන්ට තමන්ගේ රුචි අරුචිකම් අනුව ගැළපෙන යම් වැඩසටහනක් අනිවාර්යනේම හොයාගන්න පුළුවන්. ඒ වගේම නිතර නරඹන්නට ලැබෙන්නේ නැති නාට්‍ය ගණනාවක් මේ නාට්‍ය උළෙලට එකතු කරලා තියෙනවා. එනිසා දවසම ගත කරමින් නාට්‍ය රසවිඳීන්න, ඒ නාට්‍ය ගැන කතාබහ කරන්න, ඒ නාට්‍යවලට සම්බන්ධ ශිල්පීන් සමඟ කතාබහේ යෙදෙන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය ගැන විශේෂ දැනුමක් නොමැති නාට්‍ය ලෝලී සාමාන්‍ය ජනතාවට වුණත් කෑම බිම් පහසුකම් සමඟ, සැණකෙළියක ආකාරයෙන් සංවිධානය කරපු නොයෙකුත් සංස්කෘතිකාංග විශේෂ ක්‍රියාකාරකම් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට දවස ගත කරන්න විනෝද වෙන්න විනෝදාස්වාදය පිරුණු, මනසත් අවදි කරගන්න පුළුවන්, හිතන්න යමකුත් ඉතුරු කරන, ආශ්වාදජනක වැඩසටහනක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. එනිසා හැමෝටම ඉතාම ආදරෙන් විවෘතව ආරාධනා කරනවා කොළඹ කමත උළෙලට අනිවාර්යනේම සහභාගී වෙන්න ඒ නාට්‍ය රස විඳීන්න ඒ ගැන කතාබහ කරන්න. ඔබට www.kolambakamatha.com කියන වෙබ් අඩවියෙන් සියලු විස්තර සහ ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්. ඔබට වඩා පහසු නම්, කොළඹ කමත පරිශ්‍රයට පැමිණ එහි කාර්යාලයෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නත් පුළුවන්.
‘කමත’ හරහා ඉදිරියේදී සිදු කරන්නට නියමිත කලා කටයුතු මොනවද?
වාර්ෂිකව මෙවැනි උළෙලක් සංවිධානය කරන්නත්, විවිධ කලා මාධ්‍ය පුහුණු වීමට සහ ප්‍රගුණ කිරීමට හැකි වැඩසටහන් මාලාවක් පැවැත්වීමටත්, විදේශීය ශිල්පීන් හා කලා ආයතන සමඟ සහසම්බන්ධ වී ලාංකික කලා ක්ෂේත්‍රයට නව මංපෙත් විවර කරන්නටත්, කමත කලා කේන්ද්‍රය හරහා බලාපොරොත්තු වෙනවා.
මලින්ත විතානගේ