Home » කොහා මල්ලි චරිතය මට ලැබුණේ අහම්බයෙන්

කොහා මල්ලි චරිතය මට ලැබුණේ අහම්බයෙන්

-ළමා රංගන ශිල්පී රුසිරු විදුනිත

by Thanushika
May 1, 2025 12:30 am 0 comment

ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාවක වූ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වූ කපුටු කොහෝ මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සිනමාශාලා වල ප්‍රදර්ශනය වනුයේ ලොකු කුඩා කාගෙත් උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය. කවදත් පුංචි දරුවන්ට සිනමා අත්දැකීමක් විඳගන්නට අපූර්වතම සිනමා නිර්මාණයන් නිෂ්පාදනය කරන රේණුකා බාලසූරිය මෙවර ප්‍රකට සිනමාවේදියකු වූ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් පුංචි දරුවන්ට වැඩිහිටියන්ට සමාජ ශෝධන පණිවිඩයක් ද රැගෙන එන චිත්‍රපටයක් නිර්මාණය කොට ඇත. කපුටු කොහෝ අපේ සිනමා පේ‍්‍රක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් වීමද සුවිශේෂි ගණයේලා සැලකිය හැකිය. මේ අපූර්වතම සිනමා නිර්මාණයේ කොහා මල්ලි කොහා නංගි කපුටු අයියා කපුටු අක්කා. කපුටු තාත්තා කපුටු අම්මා කොහා අම්මා කොහා තාත්තට මේ දවස්වල රටවටා ප්‍රේක්ෂක ප්‍රතිචාර කපුටු කොහෝ පවුලට මේ දවස්වල යන යන තැන ලැබෙන ප්‍රේක්ෂක ආදරය මධ්‍යයේ අපිට හමුවුණා. කොහා මල්ලිට රඟපාන රුසිරු විදුනිත ඉතිං අපි කතා කරමු රුසිරු පුතත් සමඟ.

රුසිරු කොහොමද ගම් පළාත එහෙම?

මගෙ ගම නාගොඩ 1119/ බී සදහම් මාවත, නාගොඩ, දොඩම්ගොඩ ලිපිනයේ තමයි මම පදිංචි වෙලා ඉන්නේ.

මේ වෙනකොට කීවෙනි ශ්‍රේණියේද පුතා ඉගෙන ගන්නේ?

මතුගම ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍යමහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

කපුටු කොහෝ චිත්‍රපටය හැරුණු කොට වෙනත් නිර්මාණ වෙනුවෙන් පුතා දායක වෙලා තියනවද?

මේ මගේ පළමු චිත්‍රපටය. මීට කලින් මම මීඩියා පැත්තෙන් උත්සාහයක් ගත්තා සිරස ආයතනයෙන් කළ පුංචි පැංචි ළමා වැඩසටහනට සම්බන්ධ වෙන්න. අයදුම්පතක් ඉදිරිපත් කරල මම ඒ වැඩසටහනට සහභාගි වුණා. පාසලේ මම නැටුම් වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. කපුටු කොහෝ රඟපාන කොට මම හිටියේ පාසලේ හයවැනි ශ්‍රේණියේ.

රුසිරු පුතා මේ වනවිට නර්තන ශිල්පියෙක්?

මම කුඩාම අවධියේ ඉඳලම නැටුම්වලට ගොඩක් ආශා කළා. මතුගම තාල් ගංගාශ්‍රමයේ ශාන් කරන්නාගොඩ නර්තන ආචාර්යතුමන් යටතේ මම නර්තය හැදෑරිමට අත්පොත් තැබුවා. එතුමන්ගෙන් නර්තනය පිළිබඳ මූලික දැනුම ලබාගත්තා. ඊට පස්සේ මම නර්තනයේ වැඩිදුර ගමනක් යෑම සඳහා ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ ගුරුතුමන් ළඟට පැමිණියේ එතුමන් ළඟට මම නර්තනය හදාරන්න එනකොට පාසලේ පස්වැනි ශ්‍රේණියේ මම ඉගෙනුම ලබමින් හිටියේ.

සෝමරත්න දිසානායක වැනි සිනමාවේදියකුගේ සිනමා නිර්මාණයක් සඳහා දායකවන්නට ඔබට මාර්ගය සැකසෙන්නේ කොහොමද?

මේ කපුටු කොහෝ චිත්‍රපටයේ නර්තන නිර්මාණයේ අධ්‍යක්ෂවරයා චන්දන වික්‍රමසිංහ සර් මම සහභාගි වූ විවිධ ප්‍රසංගයක් පැවැත්වුණ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ මේ රට මගෙ රට ගීතයට මට තිබුණා නර්තන අංගයක් ඉදිරිපත් කරන්න. මේ නර්තනය සඳහා දවසක් සර් අපේ කළුතර පුහුණු පාසලට ඇවිත් තෝරාගැනීමක් සිද්ධ කළා. ඒ අවස්ථාවේදී මාව අනික් ළමයි අබිබවා ඉස්මතු වුණා. මගේ හැකියාව මත ඒක සර්ට හොඳ මතකයක් ඇති කළා මා ගැන. මගේ නර්තන හැඩ තල දැකල සර් කොන්සට් එකේදී ගොඩක් සතුටින් කතා කළා. මාසයට වතාවක් විතර සර් අපේ පුහුණු පාසලට ආවා මගේ නර්තනයන් ගැන පැහැදීමකින් කතා කළා. මම අලුත් දේවල් ඉගෙන්වීම කළා. ඒ පුහුණුවීම් වලදී සර්ට මා ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගිල තිබුණා කියල මට හැගුණා. කොළඹ කොන්සට් එක ඉවර කළා. සාමාන්‍ය පරිදි දවස් ගෙවී ගියා. කොහොම හරි ඔය කාලයේ කපුටු කොහෝ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරල සියලු නළු නිළියන් සොයාගෙන අවසන් කරල තිබිල තියෙන කොට මම රඟපෑ කොහා මල්ලී චරිතයට වෙනත් දරුවෙක් තෝරාගෙනත් ඉඳල තියනවා. එයාගෙ නම ගිගුම් මම එයාව දැකලත් නෑ. මට දැනගන්න ලැබුණ විධියට එයාගේ කකුලේ ආබාධයක් ඇතිවෙලා ෂූටින් වලට එන්න බැරි වීමක් නිසාවෙන් එයාව චිත්‍රපටයෙන් අයින් කරන්න සිදුවෙලා තියනවා. ඒ වෙලාවේ සෝමරත්න සර් චන්දන සර්ගෙන් අහල තියනවා මොනවද දැන් අපි කරන්නේ කියලා. අන්න එතකොට තමයි චන්දන සර්ට මාව මතක් වෙලා තියෙන්නේ. මේකට හොඳම කෙනා මම කියලා.

අපිට ආරංචි හැටියට රුසිරු පුතා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කොළඹට ඇවිත් තියෙන්නේ නොසිතූ මොහොතක කියලයි?

ඔව් ඒක ඇත්ත. මම එදා ඉස්කොලේ ගිහින් පන්තියේ ගණිතය පිරියඩ් එකේදී අපේ පාසලේ අනධ්‍යය කාර්ය මණ්ඩලයේ වැඩ කරන මට ඥාතිවන නැන්දා කෙනෙක් ඇවිත් මාව එක්ක ගියා පුතා තාත්තා ඇවිත් ඉන්නවා එන්න කියලා. මගේ තාත්තා ස්කූල්හයර් සර්විස් එකක් කරනවා. ඒ නැන්දා මාව තාත්තාගේ බස් එක ළඟට එක්ක ගියා. ඒ ගමන් තාත්තා කිව්වා චන්දන වික්‍රමසිංහ සර්ගෙන් කෝල් එකක් ආවා පුතාව ඉක්මනින් කොළඹට ගේන්න කියලා. විශේෂ වැඩක් තියනවා කියලා තාත්තාටත් මාව එක්ක යන්න ඒ වෙලාවේ බෑ. ස්කූල් හයර් සර්විස් එක නිසා. අම්මාත් ගෙදර නෑ. රැකියාවට කොළඹ ගිහින්. කොහොමහරි වාසනාවට මට ළඟින්ම ඥාතිවන අක්කල දෙන්නෙක් මතුගමට ඇවිත් හිටියා. එයාලගේ ලැප්ටොප් එක අලුත් වැඩියාවක් කරගැනීමට. තාත්තා පාසලෙන් අවසරය අරන් ඒ අක්කලා දෙන්නත් එක්ක මාව චන්දන සර් කියල තිබුණ තැනට කොළඹට එන්න බස් එකක නග්ගල පිටත් කළා.

පුතා එනකොටත් ෂුටින් පටන් අරන්ද?

චන්දන සර් මට එන්න කියල තිබුණේ චිත්‍රපටය රූපගත කළ දෙහිවල එස්.එස්. ජයසිංහ ශාලාවට. මම එදා එනකොට එතැන චන්දන සර් හිටියා. හැබැයි චිත්‍රපටයේ රඟ පෑ අනික් යාළුවන් රදීන්, සනුලි, සිහෙලි කවුරුවත් හිටියේ නෑ. හැබැයි චිත්‍රපටයේ මුල් කොටස් ටික ෂූට් කරමින් හිටියා. චන්දන සර් චිත්‍රපටයේ අපිට නැටුම් පුහුණු කළ සපන් සර්ට කිව්වා ළමයින්ට තියන කොටස කරල පෙන්වන්න කියලා. ඊට පස්සේ මම ඒ විධියට මට පුළුවන් විධියට ඒ දේ කරල පෙන්නුවා. ඊට පස්සේ සෝමරත්න දිසානායක සර් මට කාමරයකට එන්න කියල මට භූමිකාවක් රඟපාන්න දුන්නා. ඒ දේ මම කරන හැටි සෝමරත්න සර් බලන් හිටියා. ඊට පස්සේ චන්දන සර් ළඟට ගිය සෝමරත්න සර් මෙහෙම කිව්වා. කොල්ලව මට හදල ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ අපිට මේ චිත්‍රපටයේ නර්තනයන් පුුහුණු කළ සපන් සර් මාව එළියට එක්ක ඇවිත් මේ චිත්‍රපටයේ තියන පළවෙනි සින්දුවේ පළවෙනි රඟපෑම මට පුරුදු කළා. මේ හිරු සඳු… කියන ගීතයේ රඟපෑම. ඒක බලන් හිටිය සෝමරත්න සර් මට කිව්වා මේ චිත්‍රපටයේ නම මේකැයි මේ වගේ කතාවක් මේ තුළ තියෙන්නේ කියල චිත්‍රපටයේ කතාව මට විස්තර කළා. ඊට පස්සේ සෝමරත්න සර් තාත්තට කෝල් එකක් අරන් කිව්වා පුතාව හැමදාම අපිට ෂූටින් වලට එවන්න සිදුවෙනවා දිනපතා ඒම අපහසුනම් කොළඹ නවතින්නත් පුළුවන් කියල තාත්තා සමඟ විස්තර කතා කළා.

නර්තනය හදාරා තිබුණත් රංගනය ගැන තිගැස්මක් ඔබතුළ ඇති වුණේ නැද්ද?

නර්තනය මට හුරුයි. ඒක මගේ ඇගේම තියෙන දෙයක්. දෙබස් නම් පැටලුණා. මගේ දෙබස්වලට මම තමයි හඬ කැව්වෙත්. සින්දු වලට නම් වෙන අය හඬ මුසු කළා.

ෂුටින් කාලය හරිම සුන්දරයි කිව්වේ?

අපි ටික් ටොක් කළා මම නම් එච්චර ඒකට ආශා නෑ. සනුලි, සිහෙලි තමයි වැඩිපුර ටික්ටොක් කළේ. රදීන් ඒවාට යම් තරමක් දායක වුණා. හෝල් එකේ ඒසී වැඩි නිසා අපි කළේ හෝල් එකේ උඩම සීට් යටට ගිහින් කළුවරේ හොල්මන් චිත්‍රපට බැලුවා ෆෝන් එකෙන්.

සෝමරත්න දිසානායක කියන මේ සිනමාවේදියා ගැන රුසිරු පුතාට මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ?

එතුමන් හරි සංකීර්ණ චරිතයක් හරිම ආදරණීයයි. බොහොම සරලයි, සර්ට හොඳ හැකියාවක් තියනවා ළමයි එක්ක වැඩ කිරීම පිළිබඳවත් ළමයින් සමඟ නිර්මාණක් කිරීම පිළිබඳවත් සර්ට තියෙන්නේ මනා හැකියාවක්.

රේණු නැන්දා එහෙමත් පුතාලට ගොඩක් ආදරේ ඇති?

රේණු නැන්දා නම් වැඩිපුර හිටියේම මේකප් කාමරයේ බොහෝ විට රේණු නැන්දා අපිට දකින්න හම්බ වුණේ කෑම කන්න ගියහම. ඇයත් බොහොම ආදරණීය චරිතයක්. අපි වගේ ළමයි හසුරවගන්න නැන්දා ගන්නේ පුදුම වෙහෙසක්. අපි මොනවාද ඕනෙ කියන්නේ රේණු නැන්දා කරදිය වළල්ලෙන් එහාට ගිහින් හරි ඒ දේ අපිට ගෙනත් දෙයි. ඒ තරම් ආදරණීය අම්ම කෙනෙක් රේණු නැන්දා.

කපුටු කොහෝ නරඹපු තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරු පුතාට ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් ආරාධනා කළොත්? රඟපාන්න පුතා භාර ගන්නවද?

ඔව්. අනිවාර්යෙන්ම මම කැමතියි තව තව නිර්මාණවල රඟපාන්න. මේ චිත්‍රපටයේ රඟපෑමත් එක්ක මගේ හිතේ පොඩි ආශාවක් තියනවා නළුවෙක් වෙන්න. ඊට අමතරව ඩාන්ස කෙනෙක් වෙන්නත් කැමතියි.

රුසිරු කොහොමද පවුලේ තොරතුරු?

මගේ අම්මා කුමාරි දීප්තිකා කොළඹ හැටන් නැෂනල් බැංකු මූලස්ථානයේ වැඩ කරනවා. තාත්තා රුවන් තුෂාර ද අල්විස් මට අයියලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අයියා දිනිරු නිමන්ත මතුගම ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා දැන් මැරීන් ඉංජිනියරින් පාඨමාලාවක් හදාරනවා. පොඩි අයියා ලිවිරු යුත්මික හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මම පවුලේ බාලයා.

ටෙලි නාට්‍ය රංගනයට ඔබට ආරාධනා ලැබුණොත්?

රඟපාන්න ආශාව තියනවා. අධ්‍යාපනයට මුල් තැන දීල ලැබෙන ආරාධනයක් පුළුවන් හැටියට කරනවා. හොය හොයා නම් රඟපාන්න යන්න කැමැත්තක් නෑ.

සෝමරත්න යන්ගේ කපුටු කොහෝ සිනමා අධ්‍යක්ෂණයට ඔබව දායක කරගන්න හේතුව ලෙස ඔබ දකින රහස මොකක්ද?

මම හිතන්නේම මට ගායන හැකියාව නැතිවුණත් මගේ තිබුණු නර්තන හැකියාව නිසාම තමයි මට මේ සඳහා දායක වෙන්න තිබුණු ප්‍රධාන සුදුසුකම කියලා. ඒ වගේම පෙර වාසනාවත් මට තියෙන්න ඇති. මෙතුමාගේ නිර්මාණයට දායක වෙන්න. කොහොම හරි මේ චිත්‍රපටය ආරම්භය සිටම අවසානය දක්වාම මට සර්ප්‍රයිස් එකක්.

 

[email protected]

සේයාරූ –  නිශ්ශංක විජේරත්න

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT