නිවස විදෙස් සිනමා කොලිවුඩය කලඹන මහරාජා

කොලිවුඩය කලඹන මහරාජා

by Thanushika
July 25, 2024 9:51 am 0 comment

2024 වසරේදී ඉන්දියානු සිනමාවට එකතු වූ නවතම කොලිවුඩ් සිනමාපටය තමයි මහරාජා කියන්නේ. නිතිලන් ස්වාමිනාදන්ගේ අධ්‍යක්‍ෂණයෙන් හැඩවෙන මහරාජා ඇක්ෂන් ත්‍රිලර් ගණයට අයත්වන චිත්‍රපටයක්. රාම් මුරලි විසින් තිර රචනය ලියා ඇති මහරාජා, ද රවුට්, තින්ක් ස්ටුටියෝ සහ ෆැෂන් ස්ටුඩියෝ විසින් හවුල් නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වා තිබෙනවා. මෙම වසරේදී දකුණු ඉන්දීය සිනමාව තුළ නිර්මාණය කරන ලද අති සාර්ථක නිර්මාණයක් ලෙස මෙය පෙන්වාදිය හැකිය. විජය සේතුපති සමඟ අනිරුද් කාශ්‍යප් චරිත මවන මෙහි සච්නා නිම්දාස්, මම්තා මෝහන්දාස්, නටරාජන් සුබ්‍රමනියම්, අබිරාමී, අරුල්දෝස් මුනිෂ්කාන්ත්, මනිකන්ඩන්, සිංගම්පුලි සහ භාරතීරාජා විසින් චරිත නිරූපණය කරනු ලබනවා. බී. අජනීෂ් ලෝක්නාත් විසින් සංගීත අධ්‍යක්‍ෂණය කරතිබෙන මෙම චිත්‍රපටයෙහි සමස්ත පිරිවැය ලෙස සටහන් වෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 20ක්.

2024 ජුනි 14 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙය තවමත් ඉන්දියාව තුළ අති සාර්ථක අයුරින් තිරගතවනවා. මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 113ක ආදායමක් උපයා ඇති මහරාජා ඉතා ඉක්මනින්ම කෝටි 150 සීමාව ඉක්මවා යනු ඇතැයි බොහෝ විචාරකයින් පවසනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී වී.ජී.එස් 50 ලෙස නම් කර තිබූ මෙය විජය සේතුපතිගේ 50 වැනි සිනමාපටය ලෙසයි සිනමාශාලා වෙත නිකුත්කරනු ලැබූවේ. 50 වන නිර්මාණයෙන් කොලිවුඩය කලඹන්නට සමත්වී තිබෙන විජය සේතුපති පිළිබඳව බොහෝ දෙනා මේ දවස්වල කතාබහ වනවා. විශේෂයෙන්ම මෙම රංගනය මෙවර සිනමා සම්මාන උළෙලවලදී හොඳම නළුවා ලෙස නිර්දේශවීමට තරම් උසස් මට්ටමක පවතින බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. ඒ වගේම මහරාජා හොඳම චිත්‍රපටය වීම කිසිවෙකුට නතර කළ නොහැකිවනු ඇතැයිද ඔවුන් පවසනවා.

මහරාජා තිරගත වෙන්නේම ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර මතයි. එය ඉන්දියානු දමිළ සිනමාපටයක් ආරම්භක සතිය තුළ උපයන ලද ඉහළම ආදායම උපයන්න සමත් වෙන්නේ කවුරුත් පුදුම කරමින්. ඒ වගේම මේ වසරේදී ඉන්දියානු සිනමාව තුළ වැඩිම ආදායම උපයාගන්නත් මහරාජා සමත්වෙනවා. අතීත වර්තමාන කාල කිහිපයක් පුරා දිවෙන මහරාජාහි විජය සේතුපති රඟපාන්නේ බාබර සාප්පු හිමිකරුවෙකුගේ චරිතයක්. එක් දිනක් ඔහුගේ නිවස හොරුන් විසින් කොල්ලකනවා. ඔහුට අනුව නැතිවී තිබෙන්නේ ඉතා වටිනාම සම්පතක්. ඒ තමයි ඔහුගේ කුණුබක්කිය. ඒක ටිකක් අමුතු විදිහේ කතාවක් නේද? ඒත් මේක නරඹලාම තමයි චිත්‍රපටය කොයිවගේ එකක්ද කියලා අදහසක් ගන්න වෙන්නේ.

සමහර වෙලාවල්වලට අපි චිත්‍රපටියක් බලනකොට ඇස්බැන්දුම්වලට ලක්වෙනවා. ඒ හරියට කතාව සහ අන්තර්ගතය තේරුම් ගන්න බැරි වුනාම. ඒ වුණත් මහරාජා කියන්නේ ප්‍රේක්ෂකයින් කතාව තුළ රඳවාගනිමින් ඔවුන්ගේ ඇස් රවට්ටන ඇස්බැන්දුමක්. ඒක වෙනමම රහක් නිසා තමයි ප්‍රේක්‍ෂකයින් චිත්‍රපටයට මේ තරම් කැමැත්තක් දක්වන්නේ. විජය සේතුපති මේ චිත්‍රපටය එන්න කලින්ම කියලා තිබුණා තමන්ගේ 50වන සිනමාපටයෙන් පස්සේ කිසිම දවසක චිත්‍රපටවල ආරාධිත රංගනයන් සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ චිත්‍රපටය අති සාර්ථක වෙනවා කියලත් ඔහු කියලා තිබුණා. ඉතින් මේ වෙනකොට ඒ කාරණය සනාථ වෙලා තියෙනවා. වැඩි දවසක් යන්න කලින්ම මහරාජා වාර්තා පිට වාර්තා තියයි කියලා තමයි ගොඩක් අය කියන්නේ.

ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂක කුතුහලය නොබිදෙන විදිහට සිනමාපටයේ තිරනාටකය සකස් වෙලා තියෙනවා. ඒ වගේම චිත්‍රපටයේ අවසාන ජවනිකාව සිනමාවට ආදරේ කරන කිසි කෙනෙකුට අමතක වෙන එකක් නම් නැහැ. සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටයේ ඉඳන්ම ප්‍රේක්‍ෂකයින් ගොඩක් ආසාවෙන් තමයි හිටියේ මේ චිත්‍රපටය එනකල්. සිනමාපටයේ චරිත ගොඩනඟල තියෙන විදිහ සහ ඒවා එකිනෙකට සම්බන්ධ කරන විදිහ හිතාගන්නත් අමාරුයි. සාමාන්‍ය ප්‍රේක්‍ෂකාගාරයට තේරුම්ගන්න අමාරු සිනමාත්මක රූපක රැසක්ම මහරාජා ඇතුළේ හැංගිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි චිත්‍රපටය මේ තරම් සුවිශේෂ වෙන්නේ.

සිනමාපටයේ සංගීතය ගැන කතා නොකරම බැහැ. ඒක වෙනමම ලෙවල් එකක්. චිත්‍රපටයේ ප්ලොට් එක දියුණු කරන්න සංගීතයෙන් ලැබෙන සහයෝගය කියල වැඩක් නැහැ. ඒක ඒ තරමටම සාර්ථකයි. සාමාන්‍යයෙන් විජය සේතුපති චිත්‍රපටි තෝරාගන්නකොට වැඩිය හිතල බලන කෙනෙක් නෙවෙයි. ඔහු සාර්ථක එක් චිත්‍රපටයක් කළොත් අසාර්ථක චිත්‍රපටි පහක්වත් කරනවා. හැබැයි මේ චිත්‍රපටයෙන් පස්සේ ඔහු සිනමාපට තෝරාගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙනවා කියලත් මාධ්‍යයට කියලා තිබුණා. මේ හැමදේමත් එක්කම ඔබ මේ වසරේ මග නොහැර බලන්නම ඕනි සිනමාපටයක් විදිහට අපි මහරාජාව හඳුන්වා දෙනවා. ඒ අත්දැකීම ඔබ සිනමා ශාලාවකින් ලබන්නම ඕනි එකක්. එහෙම නැතිවුණොත් ඔබ ඒ ගැන ගොඩක් පසුතැවිලි වෙයි.

[email protected]

අමිල නුවන් මධුසංඛ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT