Home » කුලුඳුල් රංගනයෙන්ම සම්මානනීය වූ කලණ ගුණසේකර

කුලුඳුල් රංගනයෙන්ම සම්මානනීය වූ කලණ ගුණසේකර

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

කළුආරච්චිගේ කලණ ගුණසේකර, කලා කේෂ්ත්‍රයේ ප්‍රකට වී ඇත්තේ කලණ ගුණසේකර නමිනි. 2024 වසරේදී පැවැත්වූ 35 වැනි සරසවිය සම්මාන උලෙළේදී 2020 වසරේ ජනප්‍රිය නළුවා ලෙසින් සම්මානනීය වූයේ ඔහුය. ඔහු වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙකි. තිර රචකයෙකි. පිළියන්දල අංක එක කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික සිප් සතර හැදෑරූ ඔහු පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පිය නඟන්නේ සිය ද්වීතික අධ්‍යාපනය සඳහාය. ඔහුගේ රංගන ජීවිතයේ මූලාරම්භය සනිටුහන් වන්නේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පා තැබූ පසුවය.

කුඩා කල සිට රංගනයට පෙම්බැඳී කලණ රංගනය පිළිබද හදාරන්නේ පාසලේ නට්‍ය හා රංගකලාව භාර ආචාර්ය නාට්‍යවේදී ප්‍රේමකුමාර කරුණාරත්න ගෙනි.

ඔහු තම කුලුඳුල් රංගනය ඉදිරිපත් කළේ දාස මල්ලීගේ බංගලාව වේදිකා නාට්‍යයෙනි. පාසල් වේදිකාවෙන් පසු තවත් වේදිකා නාට්‍ය කිහිපයක තම හැකියාව විදහා දැක්වුයේය.

මං දියවෙලා, ඊගෝ නගරය, ග්ලැඩියේටර් ප්‍රේමය, ලේ නෑයා, මිස්ටර් ප්‍රසිඩන්ට් ඉන් කිහිපයකි. වේදිකාවේ දැක්වූ දස්කම් වෙනුවෙන් යෞවන නාට්‍ය උලෙළේදී ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයත්, ඊගෝ නගරය වේදිකා නාට්‍යය සඳහා හොඳම නළුවාට හිමි සම්මානයත් ඔහුට හිමිවිය. වේදිකා රංගනයෙන් ලැබූ පන්නරයත් සමඟ ඔහු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිය නැඟුවේය. පොදු, කූඹියෝ, ත්‍රියිලෝක, ගිනි අවි සහ ගිනි කෙළි, අක්ෂි, අඩෝ, වන්වේ, සීසෝ, අමුතු දොස්තර, රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍ය ඔස්සේ ඔහුගේ රඟපෑම් ප්‍රේක්ෂක හදවත් තුළ තැන්පත් විය.

ටෙලිනාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලිනාට්‍යයේ කැපී පෙනෙන චරිතයක් කලණට හිමිවීම ඔහුගේ රංගන ජීවිතයේ සංධිස්ථානයක් වුයේය.

විවිධ දේශපාලන හැල හැප්පීම්වලට ලක්වන තරුණයෙකු වන ප්‍රියන්තගේ චරිතයට පණ පොවමින් කලණ ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත්වුයේය. කූඹියෝ ටෙලිනාට්‍යයේ ඔහු ඉදිරිපත් කළ රංගනය උදෙසා සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන සහ රාජ්‍ය ටෙලි සම්මාන උලෙළ වලදී හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ඔහුට හැකිවිය.

සිනමාවේදී, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්හී කලාත්මක හෝ වාණිජ වේවා ඕනෑම ධාරාවක චිත්‍රපටවල රඟපෑමේ හැකියාව ඔහු සතුය.

කලණ සිනමා රංගන ශිල්පියෙක් බවට අත්පොත් තැබුවේ තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන සමීර නාඔටුන්නගේ ‘ මෝටර් බයිසිකල් චිත්‍රපටයෙනි. ඔහුගේ කුලුදුල් රංගනයෙන්ම සම්මානයක් ලබා ගැනීමට ඔහු සමත් විය. රාජ්‍ය සිනමා සම්මාන උලළේදී මෝටර් බයිසිකල් චිත්‍රපටයේ කළ චරිත නිරූපණය වෙනුවෙන් කුසලතා සම්මානයක් ඔහුට හිමිවිය. සිනමාවේ ඔහුට වැඩි වශයෙන් නිරූපණය කරන්නට ලැබෙන්නේ ක්‍රියාදාම චරිතය. එහෙත් 2024 සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ සිහින නෙළුම් මල් චිත්‍රපටයේ අල්විස්ගේ චරිතය වෙනස් හැඩයක් ගත් චරිතයක් විය.

සුපර්ණා, ගාඩි, වෙඩි නොවදින ළමයි, රහස් කියන කඳු , නයිට් රයිඩර්, පියාඹන්න ආයෙත්, විය සිදුර, සූස්ති සහ සිහින නෙළුම් මල් වැනි චිත්‍රපට කලණගේ චරිත නිරූපණයේ විවිධ හැඩයන් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට හැකිවූ චිත්‍රපට වේ. මගේ සිම්බා, සීගිරි, බහුචිතවාදියා, ඉක්කා, මන්කි මෑන්, මැරීන් ඩ්‍රයිව්, තම්බපණ්ණි, දිගුදුර මිසයිල, රූම් නම්බර් 106, මදර් ලංකා චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිත ඔහු රඟපෑ චිත්‍රපටයි.

කලණ රංගනයට පමණක් නොව තිර රචනයටද දක්ෂයෙකි. 2020 වසරේදී තිරගත වූ සූස්ති චිත්‍රපටයේත් 2025 වසරේ තිරගතවීම ඇරඹි අයිස්ක්‍රීම් චිත්‍රපටයේත්, ඉදිරියේදී තිරගත වීමට නියමිත ඉක්කා, මන්කිමෑන්, තම්බපණ්ණි ආදී චිත්‍රපටවල තිර රචකයා වන්නේද ඔහුය. ඉක්කා චිත්‍රපටය වෙනුවෙන් දෙරණ සිනමා සම්මාන උලෙළේ මතු බලාපොරොත්තු තබා ගතහැකි රංගන ශිල්පියාට හිමි සම්මානය කලණ සතුවිය.

 

සේයාරුව නිශ්ශංක විජේරත්න

නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT