Home » කිසිවක්ම ආපසු නොපතා සංගීත ඥානය බෙදාදෙන සොඳුරු ගාන්ධර්වයා

කිසිවක්ම ආපසු නොපතා සංගීත ඥානය බෙදාදෙන සොඳුරු ගාන්ධර්වයා

සංගීතවේදී - ශිරාන් පුෂ්පකුමාර

by Thanushika
April 24, 2025 1:52 pm 0 comment

” ඇතුළට එන්න..පළමුවෙන් තේ මේසයට ඉඳගන්න..ඉන්පස්සේ අපේ සර් එක්කල කතා කරමු. ”

පෙර දැනුම්දීමකින් ද තොරව ලද තොරතුරු මත ඒ සුවිසල් නිවහනට යනවිට ද විවිධ වයසෙහි පසුවන දූ දරුවන් ද එම දරුවන්ගේ මවුපියවරුන් ඇතුළු පනහකට ආසන්න පිරිසක් විසල් බරාඳයේ සුවපහසුව සිටියහ..තවත් පිරිසක් විසල් බරාඳයේ කෙලවර මහමේසය උදෑසන ආහාරයට ගැළපෙන කෑම වර්ග රැසකින් පිරී තිබිණි ..මේසය වටා අසුන්ගත් මවුපියන් තම දරුවනට ද අහර කවමින් තමන්ද අනුභව කරති..අහර බෙදා දෙන්නෝද නැති..

අහර අනුභවයෙන් පසුව මවුපියෝ ගෙමිදුලෙහි අසුන්වලට බරදී සතුටු සාමීචියේ සිටියහ..ඔවුන් සමීපයේ හුන් දරුවන් සියලුදෙනා නිවසෙහි ඉහළ මාලයේ සරස්වතී දේව මන්දිරයකට සමාන විසිතුරු කළ සරසවි පායේ කවාකාරව හිඳසිටි දූ දරුවෝ පාඩම් පොත් අත තබාගෙන එකවර ස්වර සිරිත හඬ නඟා ලතාවකට ගායනා කරති.

එහි මැද මා බැහැදැකුමට පැමිණි මෙම අසපුවේ නිර්මාතෘ සංගීත ආචාර්යවරයා සර්පිනාව වයමින් හඬ නඟා ” දරුවනේ මා සමඟම ගයන්නැයි කියා” සස..රිරි.ගග..මම..” ආදී ලෙසින් ස්වරයෙහි පිහිටුවති..නොඑසේනම් ගැයුමට හුරු කරයි.

සංගීත ගුරුපියාණන් සමීපයේම හිඳ දරුවන් නිරීක්ෂණය කරන්නේ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ගායන ශිල්පිනි නන්දා පතිරණ මහත්මියය ..

කඩවසම් රුවකට හිමිකම් කියනා තාරුණ්‍යයේ පසුවන මහරගම, වත්තේගෙදර පාරේ..පුරාණ මාවතේ, මන්දාරා උයනේ, ඉර්‍ථම් ගී නද කලා සංගීත ආශ්‍රමයේ නිර්මාතෘ හා ප්‍රධාන සංගීත ආචාර්යවරයා දරුවනට පැයකට වෙන්කළ දිවා ආහාරයට දරුවන් හා මවුපියන් යොමු කරවා මා සමීපයේ අසුනකට බරදුන්නේ ප්‍රියමනාප බැල්මකිනි..

විශ්‍රාමික සංගීත ආචාර්යවරියක වන ගැයුමෙහිද සමත් ශීලා පෙරේරා..ව්‍යාපාරික හේමදාස පෙරේරා දම්පතීන්ගේ දියණියන් පස්දෙනකු අතර තෙවැනියාව උපන් පතිරණගේ ශිරාන් පුෂ්පකුමාරයන් එම පවුලේ එකම පිරිමි දරුවාය…ඔහුගේ උපන්ගම කඩවතය…

මේ වනවිට වෘත්තීයෙන් ප්‍රකට ව්‍යාපාරයකුසේම දානපතියකු ලෙසින්ද ප්‍රකට හෙතෙම සංගීතයට යොමු වීම පිළිබඳව සරසවියට කීයේ ඔහු සමීපයේම පසුවන මව ශීලා පෙරේරා ගුරු මහත්මියය.

” මම ඒ කාලෙ පාසල් ගණනාවක සංගීත ගුරුවරියක් හැටියට කටයුතු කළා..තාත්තා ව්‍යාපාරිකයෙක්..මං මගෙ අනික් දරුවන්ට අඩුවක් කරන්නෙ නැහැ ..ආදරෙයි.. ඒත් ඒ මගෙ දූලත් හරි මේ මගෙ පුතත් හරි..”

ඕ දයාභරිතව පුතු දෙසම බලා එසේ කියන්නීය.

ගීත අසන්නට…ගයන්නට..කොටින්ම සංගීතයට ඇති ඇල්ම තම එකම පුතු කෙරෙන් කුඩා අවධියේදීම දැකගත් අම්මා නිවසේදී තම පුතුද ශිෂ්‍යයකු කරගත් බැවින් පුතුට සංගීතයට අතපොත් තැබුවේ අම්මා ය. ආදරය වැඩිකම පුතු දන්නා නිසාදෝ උනන්දුව ඇතත් පුතු අභ්‍යාස මඟහරින බව දත් අම්මා තම ඥාති ප්‍රවීණ සංගීතඥ අමරසිරි පීරිස් මහතාගේ බාප්පා වූ සංගීතඥ වින්සන්ට් පීරිස් මහතාට, සංගීතය ඉගෙනුම පිණිස සිය පුතු යොමු කළාය..

කඩවත මධ්‍ය මහා විද්‍යාලයෙන්ද පසුව ජනාධිපති විද්‍යාලයෙන්ද ඉගෙනුම ලද ශිරාන් පුෂ්පකුමාර ඒ අතරේදීම ගායනයද..වාදනයද මැනවින් ප්‍රගුණ කළේය..

භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයීය ශාරදා කලායතනයේ විදුහල්පති සංගීතඥ අනිල් මිහිරිපැන්න යටතේ ගැයුමද වයලීනය වැයුමද හදාළේය.. එතැනින් සංගීතඥ ගුණපාල පෙරේරා සූරීන් යටතේ ගායනයද අනතුරුව සංගීතඥ ධර්මසිරි පෙරේරා වෙතින් සිතාරය වාදනය ද මැනවින් උගත්තේය..පසුව මහාචාර්ය සනත් නන්දසිරි වෙතින් තබ්ලාවද..ගායනයද තවදුරටත් උගත්තේය..

” මගේ සංගීත ජීවිතයේ මුල්ම ගුරුතුමිය මගේ

අම්මා …”

ශිරාන් පුෂ්පකුමාර මව දෙසද බලා සතුටින් කියන්නේය.

මේ වනවිට සර්පිනාව, වයලීනය, සිතාරය, තබ්ලාව, ඇතුළු තවත් වාද්‍ය භාණ්ඩ කිහිපයකම වාදනයේ සමත්කම් පානා හේ සිය ඉර්‍ථම් ගී නද සංගීත ආශ්‍රමයේ වැඩිහිටියනට හා දූ පුතුනට ශිල්ප ඥානය ලබා දෙන්නේය.

හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ ද ක්‍රියාකාරියකු වන ඔහුගේ ගායන වාදන සමත්කම් දැකබලා පැහැදී ඔහු නමින් 2015 දී ශිෂ්‍යත්වයක්ද සම්පාදනය කළ භාරතයේ සංගීතඥ

මහාචාර්ය ක්‍රිෂ්ණ කුමාර් කපූර්ගේ ආමන්ත්‍රණයට ඔහු බඳුන් වූයේ ” සිලෝන් ” යන නාමයෙනි. භාරතීය සංගීතඥ ශර්මා මනෝරංජනගේ ගුරු ඇසුර ද ඔහුගේ සංගීත දිවියට සවියක්ම වූයේය..

ගායන හා වාද්‍ය විශාරද උපාධියෙන් පිදුම්ලත් ශිරාන් පුෂ්පකුමාර ලබා ඇති සම්මානයන්ද රැසකි.

තම ඉර්‍ථම් ගී නද සංගීත ආශ්‍රමය පිළිබඳ ද හෙතෙම කතාකරන්නට වූයේ ඉමහත් සතුටකිනි.

” මම සාර්ථක ව්‍යාපාරිකයෙක්…මගෙ මවගේ ආභාසයෙන් හෝ පෙර සසර පුරුද්දට හෝ මට සංගීතය ගැන කුඩාවියේ පටන් තියෙන්නෙ මහා භක්තියක්. ගෞරවයක්…සංගීතයට ලැදි දූ පුතුන් වගේම විවිධ වයස් කාණ්ඩවල අයත් ඉන්නවා..මුදල් හදල් නැතිකමින් දරුවන් ට සංගීතය උගන්වන්න බැරිව දුප්පත් මවුපියන් දුක කියනවා මට ඇහිලා තියෙනවා.”

” අනාගතයේදී අප රටේ හරවත් ආකාරයේ සංගීතයක් පිළිබඳ රික්තයකුත් ඇතිවන්නට පුළුවන්..දක්ෂතා ඇති දරුවන් රටට බිහිවිය යුතුයි..දරුවන් ට නැතිබැරිකම නිසාම එය මගහැරී යන හැටිත් මම දැක තිබෙනවා. ඒ නිසාමයි මම මේ සංගීත ආශ්‍රමය ආරම්භ කළේ..දරුවන් ට වගේම ගායනයට සමත්කම් ඇති වැඩිහිටි අයද ප්‍රවීණ සංගීතඥයන් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉදිරියේ පරීක්ෂණයකින් තෝරාගෙන ගායනයට වාදනයට අවස්ථාව ලබාදෙනවා..මේ කිසිම දෙයක් වෙනුවෙන් අප සතපහක මුදලක් අය කරන්නෙ නම් නැහැ..ආහාරපාන වගේම සියලු පහසුකම් අප විසින්ම ලබාදෙනවා..”

සංගීත ආචාර්ය ශිරාන් පුෂ්පකුමාරයන් කියන්නේය.

මෙහි පැමිණෙන දූ දරුවන් හා වැඩිහිටි අය වෙනුවෙන් සතියේ දවස් වෙන්කොට ඇති අතර ගුවන් විදුලියේ ජ්‍යේෂ්ඨ ගායක ගායිකාවෝද එක්ව මෙහි උපදේශකත්වයේ පසුවෙති.

එදින අපට හමුවූ නන්දා පතිරණ මහත්මිය කීවේ මේ ටිකය..

” සංගීතයට කැමති අයට මේ තැන වටිනා තැනක්. තමන්ගෙ අතින් කෑම බීම නවාතැන් සපයලා දීලා තාත්තෙක් වගෙ මේ සත්කාර කරන්නෙ වෙන කොහේද ..මමත් සහයට එනවා..අපේ සමකාලීන තවත් අයත් මෙහි එනවා..”

ගාල්ල, මාතර, නුවර ආදී දුර පළාත්වල හා කොළඹ අවට ප්‍රදේශවලද දූ දරුවන් මවුපියන් සමඟ මෙහි එති..උගනිති..රාත්‍රියට ආපසු යෑමේ පහසුකම් නැති අය වෙනුවෙන් අපේ සංගීත ආචාර්යවරයාණෝ ” පික් – මි ” වාහන පහසුකම් තම වියදමින් සපයා දී පිටත් කරවති. ගැහැනු දරුවනට පිටත්ව යෑමට විශේෂයෙන් පහසුකම් සපයන හේ කැමැත්තේ නම් පිරිමි දරුවන් සමඟ මවුපියන්ටද නවාතැන් පහසුකම් ලබා දෙති.

මෙම පරෝපකාර සංගීත ආශ්‍රමයේ සත්කාරයන් පිළිබඳ සරසවියට තතු පැවසූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය හා විනෝද ක්‍රීඩා සභාවේ ජ්‍යෙෂ්ඨ නිවේදිකා සහ ගායන ශිල්පිනී රේණු ද සිල්වා මහත්මිය මෙලෙසින් පැවසුවාය.

” මේ ආශ්‍රමයෙ වැඩිහිටි ගායන පිරිසට එක්වන මම තවත් කෙනෙක්..තමන්ගෙ ගායන කුසලතා ඔප්නංවා ගන්නට හා ඉගෙනුමට දරුවන් වගේම බොහෝ වැඩිහිටියන්ද සහභාගි වෙනවා.. මෙතැනින් ලබාදුන් ගායන අභ්‍යාසවල යෙදී රූපවාහිනී මාධ්‍යවල පැවැති ගායනා තරඟාදියෙන් ජයග්‍රහණය ලද වැඩිහිටියන් පවා මෙහි ඉන්නවා..”

“මෙහි විශේෂත්වය මේ සත්කාර කිසිවක් වෙනුවෙන් සතපහක ලාබයක් වාසියක් අය කිරීමක් ආශ්‍රමය බලාපොරොත්තු වන්නේ නැහැ ..තමන්ගෙ දරුවන් සංගීතයට ලැදිනම් ඒ මවුපියන්ට දරුවන් මේ ආශ්‍රමයට සහභාගි කරවිය හැකියි..දරුවන් ට අතදෙන්න මුදල් නැහැ කියා ඉන්නට එපා ” යි ඇය කියන්නීය..

මෙම සංගීත ආශ්‍රමයේ ප්‍රචාරක, විනය කටයුතු, පිළිබඳ ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරී කැලුම් කුරුවිට ආරච්චි මහතා..

” අපේ ශිරාන් මහත්මයා සමග මා ඇතුළු උපාධිලත් කණ්ඩායමක් එකතුව මේ ආශ්‍රමය බිහිකළේ…එතුමාට ඇවැසි විදිහට සරසවි පාය සහ ඊට සමගාමී අනෙකුත් ආම්පන්න පහසුකම් නිර්මාණය කළේ අප පිරිසයි..මෙම ආශ්‍රමය මෙහෙයවන කණ්ඩායම හැමවිටම පැමිණෙන අයගේ පහසුකම් සොයා බලනවා..මෙහි එන කාටත් කෑම මේසය විවෘතයි..කෑම නොකා ඉන්නත් බැහැ..කෑම නොකා යන්නත් බැහැ..එය අපේ නිර්මාතෘවරයාගෙ උපදේශයක්..ආසාවක්..සත්කාරයක්..එන මවුපියන්ගෙ පිළිවෙළකට ඇඳුම තිබිය යුතුයි. අනවශ්‍ය කතාබහ හැසිරීම් එපා කියා අප මුලින්ම දැනුම්වත් කරනවා..හෙට දවසට හොඳ පරපුරක් බිහිකිරීමයි අපේ එකම අරමුණ . ඒ හැර නායකතුමාගේ හෝ අප කිසිවකුගේ වෙනත් කිසිදු බලාපොරොත්තුවක් හෝ කාරණාවක් නැහැ.. ”

තම තෙවැනි දියණිය කැඳවා පැමිණි නුවර ප්‍රදේශයේ මිනෝදිකා ධනංජනී මව මෙසේ කීවාය.

” මේ ආශ්‍රමයට දුව එක්ක ආපු මේ කෙටි කලට දුව බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා. අපෙන් සතපහක වියදමක් නැහැ. හැමදේම අපට මෙහෙන් සපයනවා..මේ වටිනා වැඩ සටහන ගැන දරුවන් වෙනුවෙන් අප පින්දෙනවා.”

” මේ ආශ්‍රමයට දුර පළාත්වල අයත් එනවා. ගුරු පඬුරක් පවා නැතිව හැමදේම සපයාදෙමින් සංගීත ඥානය දරුවන්ට ලබාදීම ගැන අගය වචනයෙන් කිවනොහැකියි”

ඒ ටික කීවේ ආශා ප්‍රනාන්දු නමැති මවකි.

ආධුනිකයකුට ගීතයක් වේදිකාවක් මත ගයන්නට නම් ගීත එකක් හෝ දෙකක් වෙනුවෙන් රු. 5000., 6000 ක මුදලක් අය කැරෙන තැන් ගැන දිනෙන් දින අසන්නට ලැබෙයි.. ගැයුමෙහි වගවීම තමන් සතු විනා ගැයුමට ඔවාදෙන කිසිවකුද නැතත් වේදිකාවෙන් බැස යන තැනැත්තාට ඉන්පසු හිමිවන මාවතක්ද නැත

” මට කිසිම අඩුපාඩුවක් නැත්තේ මගෙ පෙර පිනකට වෙන්නැති. මගෙ ව්‍යාපාර මට හොඳටම ඇති..ලබන උපතකදීත් මම මේ කරන උතුම් සද්කාර්ය වෙනුවෙන් බොහෝ දේ ලැබේවි…සංගීතයට භක්තිමත් මගේ එකම සතුට මා උපයාගත් දැනුම ගුරු මුෂ්ටියක් හෝ නැතිව සංගීතයට භක්තිමත් අය අතර කිසිම ලාභයක් නොපතා බෙදාහදා දෙන්නටයි. වෙනත් අරමුණු කිසිවක් මා තුළ නැහැ ”

ගීත රචකයකුද වන ඔහුගේ නිර්මාණයන් ” හිට් ” කරදෙන්නම් යැයි පවසමින් ඇතැම් රූපවාහිනී නාලිකා ඔහුගේ නිර්මාණ ඉල්ලා ඇතත් එය ඔහු ප්‍රතික්ෂේප කර ඇත්තේය…

විවිධ නාලිකාවල ආධුනික ගීත ගායනා වැඩසටහන් වලට ඉල්ලුම් කළ වැඩිහිටියන් තමන්ගේ හඬ උගුර ගායනයට හදා දෙන්නැයි කියමින් දිව එන බවද පැවසූ හෙතෙම ඔවුනට තමන් වෙතින් මෙහෙවර ඉටුකර දී පිටත් කරවන බවද ඔහු කීයේ සිනාපිරි මුවිනි.

ඔහුගේ ගී පද රචනාවනට ඊට සංගීතයද තනා ගැයුමෙහි සමත්කම් පානා වැඩිහිටියනට ඔහු අතින්ම එම ගීත නිර්මාණ නොමිලේ ප්‍රදානය කෙරෙන බවද දැනගන්නට ලැබිණි.

රටපුරා වෙසෙන මවුපියවරුනට විවෘත ආරාධනයක්ද කළ ශිරාන් පුෂ්පකුමාර කීයේ ඔබගේ දරුවාටද මෙහි සියක් දරුවන් අතරේ ඉඩක් ඇතිබවය…

මේ සඳහා 0112089877 අංකයෙන් හා යූ ටියුබ් හි ඉර්‍ථම් ගී නද පිරික්සීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකි බවය.

ඔහුගෙන් සමුගෙන පිටත්ව එන අතරේදී සවනතට ඇසුණේ ඉහළ මාලයේ සරසවි පායේ නිදහසේ ගැයුම් සිරිතෙහි ඇලී ගයනා දූ පුතුන්ගේ හුරුබුහුටි හඬ සිරිතය.

සේයාරූ – රේණු ද සිල්වා

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT