සිනමාපටයක සහය අධ්‍යක්ෂවරයා යනු එම නිර්මාණයේ මුල්ගලක් වැනිය. ඔහුගේ අතින් නිර්මාණයට ඉටුවන මෙහෙය මහ මෙරක් සේය. සිනමාපටයක් තැනීමේ ආරම්භයේ සිට අවසානය තෙක් නිර්මාණය සමඟ රැඳී සිටින චරිතයක් වන්නේ සහය අධ්‍යක්ෂවරයාය. 2025 වසර යනු සිනමාවට වසන්තය උදාවූ වසරකි. වෙනදාට නැති ප්‍රේක්ෂකාගාරයක් 2025 වසරේ දැක ගැනීමට හැකිවිය. එය සිංහල සිනමාවට සුබ නිමිත්තකි. මෙම වසරේ තිරගතවූ චිත්‍රපට අතරින් කිහිපයක්ම ජනාකර්ෂණයට ලක්වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ අතරින් මේ දිනවල අතිසාර්ථකව තිරගත වන චිත්‍රපට වන්නේ ‘ ක්ලැරන්ස් Rhythm of the Guitar, සූර්යා සහ Mother Lanka චිත්‍රපට ත්‍රිත්වයයි. එම චිත්‍රපට ත්‍රිත්වයෙහිම සහය අධ්‍යක්ෂවරා වූයේ එකම චරිතයකි. ඔහු නිරෝෂන් එදිරිමාන්න. නම කියූ සැණින් සිනමා ක්ෂේත්‍රයේ ඔහුව නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඉහත දැක්වූ චිත්‍රපට තුනට අමතරව ප්‍රේක්ෂකයන් අතර අතිශයින් කතා බහට ලක්වූ, ප්‍රේක්ෂක හදවත් දිනා ගත් රානි සහ නෙළුම් කුලුන චිත්‍රපට ද්විත්වයේ සහය අධ්‍යක්ෂවරයා වන්නේද නිරෝෂන් එදිරිමාන්නය. ඒ අනුව 2025 වසරේ මෙතෙක් තිරගත වූ අතිසාර්ථක චිත්‍රපට පහකටම සහය අධ්‍යක්ෂවරයා වීමට ඔහුට අවස්ථාව ලැබීම විශේෂත්වයකි. කෙතරම් දැවැන්ත සිනමා නිර්මාණවලට සම්බන්ධ වුවත් නිරෝෂන් ඒ පිළිබඳ උද්දාමයට පත් නොවූ නිහඬ චරිතයකි. ඔහු ප්‍රසිද්ධියට අකමැතිය. ඕනෑම වෙලාවක ඕනෑම තරාතිරමක කෙනෙකුට උදව් කිරීමට ඔහු සැඳී පැහැදී සිටින චරිතයකි. නිරෝෂන් සරසවියට මුණගැසුණේ පසුගිය 36 වැනි සරසවිය සම්මාන උලෙළෙට සමගාමීව පැවති සිනමා දැක්මේදීය.
ඔහු අමුතුම චරිතයකි. සිනමා, ටෙලි ක්ෂේත්‍රයේ භාවිතා වන වචන වලින් හැඳීන්වුවහොත් ඔහු ‘වැඩ්ඩෙකි’. ඔහුට අවශ්‍ය තමා පිළිබඳ කතා කිරීමට වඩා තමා සම්බන්ධ වූ නිර්මාණ පිළිබඳ කතා කිරීමටය. සහය අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඉතා වගකීම් සහගත වුවත් එය ඇඟයීමට ලක්වන්නේ සුළු වශයෙනි. එහෙත් පසුගිය 36 වැනි සරසවිය සම්මාන උලළෙදී සහය අධ්‍යක්ෂවරයාව පළමු වතාවට ඇඟයීමට ලක් කළේය.
එසේම සිංහල සිනමාව ඉදිරියට ගෙන යාමට තිරය පිටුපස සිට සවියක් වන තරුණ සහය අධ්‍යක්ෂවරුන් ගැනද කතාකළ යුතුය. සිනමාවට සවිය සපයන ඔවුන් ගැන වචනයක් හෝ ලිවීම, සරසවියට සවියක් වන අපගේ යුතුකමකි. තරුණ සහය අධ්‍යක්ෂවරයෙකු වන නිරෝෂන් එදිරිමාන්න සරසවිය කතා බහට හවුල් කරගත්තේ ඒ නිසාමය. මෙය ඔහුගේ පළමු පුවත්පත් සාකඡාව වීමද විශේෂත්වයකි.
මම දැනට ක්ෂේත්‍රයේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. පාසල් කාලයේ මම කලා කටයුතු වලට එතරම් සම්බන්ධ වුණේ නැහැ. පාසල් කාලයේ සිට සංගීතය විෂය හොඳීන් ප්‍රගුණ කළා. මගේ මුල්ම ගුරුවරයා විශාරද ආනන්ද කුමාර. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ විසාලා සංගීත පාසලේ මම සංගීතය හැදෑරුවා. ඉන්දියානු සංගීත විභාගවලින් සමත් වුණා. මම සංගීත ඩිප්ලෝමාධාරියෙක්. පසුව මම අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වන මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට සම්බන්ධ වුණා. එහිදී මට එකල සහය අධ්‍යක්ෂවරයෙකු වූ වාසල බණ්ඩාරව මුණ ගැසුණා. ඔහු සමඟ තවත් සහය අධ්‍යක්ෂවරයෙකු වූ ඉන්දික ධර්මතිලකගේත් එකතුවෙන් සිනමාව පිළිබඳ විශේෂ පාඨමාලාවක් සැලසුම් කර තිබුණා. එම පාඨමාලාව රංගනය ගැන පමණක් නෙවෙයි. සිනමාවේ සියලු පැතිකඩ ගැන අධ්‍යනයක් දෙන පාඨමාලාවක් නිසා මමත් ඒ සඳහා ඉල්ලුම් කළා. එතන තමයි සිනමා ගමනේ ආරම්භය ඇතිවුණේ. ඔවුන් මාව සහය අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වූ ඩොනල්ඩ් ජයන්තට හඳුන්වා දුන්නා. ඔහු හඳුනාගැනීමෙන් සිනමාවට අවතීර්ණ වීමට හැකිවුණා. ඔහු මාව ලංකාවේ සිටින දක්ෂ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පී, ශිල්පිනියන්ට හඳුන්වලා දුන්නා. ඒ කාලේ මට කොළඹ නවතින්න තැනක් තිබුණේ නැහැ. ඩොනල්ඩ් අයියා මට එයාගේ ගෙදර නවාතැන් පහසුකම් දුන්නා. ඔහුගේ බිරිඳ මංගලිකා. ඇයත් මට හොඳීන් සැලකුවා. ලංකාවේ සිටින තවත් දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වූ ජනක චාමරගෙනුත් මම දැනුම ලබා ගත්තා.
සිනමාපටයක් නිර්මාණය කිරීමේදී එහි දැවැන්ත කාර්ය භාරයක් උසුලන්නේ සහය අධ්‍යක්ෂවරයා. පිටපත අතට ලැබුණ මොහොතේ සිට චිත්‍රපටය මුදාහරින තෙක් තිබෙන කාර්‍ය පුළුල් පරාසයකට විහිදෙනවා. චිත්‍රපටයට රංගන ශිල්පී ශිල්පිනියන් තෝරාගත් මොහොතේ සිට සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, රූගත කිරීමේ සැලැස්ම සැකසීම, කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය, වේශ නිරූපණ කටයුතු සොයා බැලීම ඇතුළු තවත් බොහෝ දේ සහය අධ්‍යක්ෂවරයාට බාරයි.
මම සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ පළමු චිත්‍රපටය වුණේ මගෝ ඩිගෝ ඩයි චිත්‍රපටය.එය ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයක්. මම එයට සම්බන්ධ වුණේ පාසල් යන කාලයේ. ඒ චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වූ පසුව මම නැවතත් ඉගෙනීම් කටයුතු වල නිරත වුණා.
මේ වනවිට මම සහය අධ්‍යක්ෂවරයෙකු සහ දෙවන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් චිත්‍රපට 38 ක් පමණ කරල තියෙනවා. දේශීය මෙන්ම විදේශීය චිත්‍රපටත් ඒ අතරට ඇතුළත්. සහය අධ්‍යක්ෂවරු කෙතරම් සේවයක් කළත් ඔවුන්ව ඇගැයීමට ලක් නොවන තරම්. චිත්‍රපටයේ වැඩි වැඩ කොටසක් පැටවෙන්නේ සහය අධ්‍යක්ෂවරුන්ගේ කරමතට. එහෙත් සහය අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදන කළමණාකරුවන් ගැන අවධානයක් යොමු වන්නේ නැහැ. චිත්‍රපටයක් නිමවී තිරගත වූ පසු එහි රඟපාන රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ගැන කතා කෙරෙනවා. එහි වරදක් මා දකින්නේ නැහැ. එහෙත් තිරය පිටිපස බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් ගැනත් සුළු වශයෙන් හෝ කතා කෙරෙනවා නම් හොඳයි. ඇතැම් මංගල දර්ශන වලදී අපවත් ඇඟයීමට ලක් කරන අවස්ථා තිබෙනවා.
පසුගිය 36 වැනි සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවති විශේෂ සිනමා දැක්මේදී නළු නිළියන් වගේම අපවද ඇඟයීමට ලක් කිරීම පිළිබඳ සරසවියට මා ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සරසවිය සම්මාන උලෙළෙදී ප්‍රවීණ සහය අධ්‍යක්ෂවරයෙකු වූ උපාලි පෙරේරා මහතාව ඇගැයීමට ලක් කිරීමත් මා ඉතා අගය කොට සළකනවා.
සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිටින බොහෝ අය මා සමඟ හිතවත්. ඔවුන් ජ්‍යේෂ්ඨද, ආධුනිකද යන වග මට අදාළ නැහැ. කා සමඟත් මම සුහදව වැඩ කරනවා. ගරු කළයුතු අයට ගරුබුහුමන් දෙනවා. මගේ වයසේ පසුවන අය මා සමඟ වැඩ කරන්නේ හරිම සහෝදරත්වයෙන්. මම ඔවුන් සමඟ කතා කරන විලාසය, ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්නා ආකාරය, රූගත කිරීම් සැලසුම් කරන ආකාරය ගැන ඔවුන් පිළිබඳ පැහැදීමෙන් ඉන්නේ. ඒ නිසා හැම ශිල්පියෙක්ම මා සමඟ බැඳීයාවක් තිබෙනවා.
මම සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ චිත්‍රපට පහක් 2025 වසරේ මේ වනවිට තිරගත වෙලා තිබෙනවා. රාණි, නෙළුම් කුලුන, ක්ලැරන්ස්, සූර්යා සහ මදර් ලංකා. ඒ චිත්‍රපට පහම අතිශයින්ම ජනාකර්ෂණයට ලක්වුණා. මේ දිනවල ක්ලැරන්ස් Rhythm of the Guitar, සූර්යා සහ මදර් ලංකා අතිසාර්ථකව තිරගත වෙනවා.
ක්ලැරන්ස් චිත්‍රපටය ගැන කතාකළ යුතු විශේෂ කාරණයක් තිබෙනවා. ඒ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයා ගැන. ඔහු ඉතාමත් ආකර්ෂණීය ලෙස ක්ලැරන්ස් චිත්‍රපටය නිර්මාණය කළා. එහෙත් රූගත කිරීම් අතරතුර ඔහු රෝගී තත්ත්වයට පත්වෙලා අපෙන් සමුගත්තා. චිත්‍රපටයෙ සුළු වැඩ කොටසක් ඉතිරි වෙලා තිබුණත් අපි කණ්ඩායමක් විදිහට එකමුතුවෙන් චිත්‍රපටය නිමකළා. ඔහු රෝගීව සිටින කාලේ අපි ඔහුගේ නිවසට ගිහින් ඒ කටයුතු ගැන ඔහුව දැනුම්වත් කළා. ඔහු ඒ ගැන සතුටු වුණා.
ක්ලැරන්ස් චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන්ගෙන් හොඳ සහයක් ලැබුණා. විශේෂයෙන් නිහාරි, දමිත්, ඉශංකි නවකයන් වුවත් ඔවුන් වෘත්තීය මට්ටමේ ශිල්පින් විදිහටම වැඩ කළා. සමහර දවස්වල රූගත කිරීම් තිබුණේ හන්තාන වැනි ප්‍රදේශ වල. එහිදී වේශ නිරූපණ කටයුතු කරන්න තැනක් තිබුණේ නැහැ. අපි නවාතැන් ගෙන සිටි තැන ඉදලත් එතනට යාමට පැය දෙක තුනක් ගතවෙනවා. ඒ නිසා පාන්දර දෙකේ පමණ සිට මේකඅප් කරන්න සිදුවුණා. එය දුෂ්කර වුවත් කවුරුත් එයට විරුද්ධ වුණේ නැහැ. ඔවුන් උපරිම සහයක් ඒ සඳහා ලබා දුන්නා. කෙතරම් රෑ බෝ වුණත් පසුවදා කෙරෙන රූගත කිරීම් ගැන, දෙබස් පිළිබඳ ඔවුන් නිරන්තරයෙන් සැලකිලිමත් වුණා. හදිසියේ හෝ ඒ ගැන ඔවුන්ව දැනුම්වත් කිරීමට නොහැකි වූ අවස්ථාවල ඔවුන් මගෙන් ඒ ගැන විමසුවා. එවැනි නිහතමානී ගතිගුණ ඔවුන් තුළ තිබුණා. ඒ වගේම තමයි සාරංග අයියා සහ දිනක්ෂි අක්කා මට ශක්තියක් වුණා. එක්තරා අවස්ථාවක දී මට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලුවක් මතුවුණා. ඒ වෙලාවේ සාරංග අයියා සහ දිනක්ෂි අක්කා ඒ ගැටලුව විසඳුවා. සාරංග අයියා එයාගේ වාහනයෙන් දමිත්ව, නිහාරිව එක්කගෙන ආවා. ඉඳුම් හිටුම් ගැනත් ඒ අය එතරම් තැකීමක් කළේ නැහැ. “පහසු විදිහට කරන්න මල්ලී” එහෙම තමයි සාරංග අයියා දෙන පිළිතුර. ඒ මුළු කණ්ඩායමෙන්ම ලැබුණ සහයෝගය නිසා තමයි ක්ලැරන්ස් චිත්‍රපටය සාර්ථක වුණේ.
මහේෂ් මුණසිංහ ගේ සූර්යා’ චිත්‍රපටයේත් මම සහය අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ කරද්දී මට සෑම දෙනාම උපරිමයෙන් සහය ලබා දුන්නා. මහේෂ් අයියා ඉතා කැපවීමෙන් වැඩකළා. නිතරම මා ගැන සොයා බැලුවා. එහි නිෂ්පාදකවරයා වන දිනේෂ් මුතුගල සර් වගේම සූර්යා කණ්ඩායමෙන් ලැබුණ සහයත් අගය කළ යුතුයි.
මා සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ Mother Lanka චිත්‍රපටයත් මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙනවා. එය ඉතා හොඳ චිත්‍රපටයක්. අනූෂ සංජීව එදිරිමුනිගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. එතනදීත් මට හොඳ කණ්ඩායමක් හමුවුණා. නිෂ්පාදන කණ්ඩායමේත්, රංගන ශිල්පීන්ගේ එකමුතුව නිසාත් අඩුකාලයකින් Mother Lanka චිත්‍රපටයේ වැඩ කටයුතු නිම කිරීමට හැකිවුණා.
සිනමා නිර්මාණයක් කරගෙන යාමේදී සහය අධ්‍යක්ෂවරයා සිටින්නේ අතිශය කාර්‍ය බහුල තත්වයක. දවසේ වැඩ නිමවූවත් අපට වැඩ ඉවර වෙන්නේ නැහැ. අපි රෑ නොනිදා හෝ ඊළඟ දිනයට තිබෙන වැඩ සැලසුම් කරන්න ඕන. ඒ අතර රසබර සිදුවීම් එහෙමත් තිබෙනවා.
මේ සිද්ධිය වුණේ ‘ ප්‍රවේගය’ චිත්‍රපටය රූගත කරන කාලේ. එදා රූගත කිරීම් තිබුණේ මොරටුව බෞද්ධ මන්දීරයේ. අවට පිරිසත් රැස්වෙලා හිටියා. එදා ඒ කටයුතු අවසන් කරලා, පසුවදා වියයුතු කටයුතු ගැන මම සැලසුම් කරමින් සිටියා. එදා හේමාල් රණසිංහ හිටියා රූගත කිරීම් වලට ඇවිත්. මම එක පාරටම දැක්කා හේමාල් පොල්ලකුත් අරගෙන කෑගසා ගෙන පිරිස අතරින් දුවගෙන එනවා. මම හිතුවේ හේමාල්ට කවුරු හරි ගහන්න එනවා කියලා. මම මගේ වැඩේ දාලා ළඟ තිබුණ ලීයක් අතට අරගෙන ගිහින් හේමාල් වටේ හිටපු ඔක්කෝටම ගැහුවා. හැබැයි පස්සේ තමයි දැන ගත්තේ ඇත්ත විස්තරේ. හේමාල්ට ගහන්න කවුරුත් ඇවිත් නැහැ. එයත් වෙන කාගෙද රණ්ඩුවක් බේරන්න ඇවිත්. මම ගහල තියෙන්නේ ඒ අවට ගැවසුණ අයට. හේමාල් ඔය සිද්ධිය මතක් කරන හැම වෙලාවකම කියන්නේ නිරෝෂන්ගේ තරමේ හැටියට නෙවෙයි නේ වැඩ කියලා. එවැනි රසකතා තව බොහෝමයක් තියෙනවා. ඒ රසකතා අතරේ මට පැවරී තිබෙන වැඩ කොටස මා අකුරටම ඉටුකරනවා. සිනමාව මගේ ජීවිතයේ කොටසක් වෙලා. සහය අධ්‍යක්ෂවරයෙකු විදිහට මම බොහෝම තෘප්තිමත්ව වැඩ කරනවා. අපි මහන්සි වෙලා කරන නිර්මාණ තිරයේ දකින විට ලබන සතුට කියා නිම කරන්න බැහැ.
ක්ෂේත්‍රයේ සහ පිටතින් ඉන්න අයත් මගෙන් නිතර විමසන කාරණයක් තිබෙනවා. සහය අධ්‍යක්ෂවරයෙකු විදිහට වැඩ කරන මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ කවදාද කියන ප්‍රශ්නය. එයට දැන්ම පිළිතුරක් දිය නොහැකියි. එයට ගැළපෙන වටපිටාවක් සකස් විය යුතුයි. ඉන් පසුව මම ඒ ගැන කල්පනා කරනවා.
සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙතෙක් පැමිණි ගමනේදී මට ගුරුහරුකම් ලබාදුන් , මට ශක්තියක් වූ චරිත ගැන මතක් කළ යුතුයි. විශාරද ආනන්ද කුමාර, ඩොනල්ඩ් ජයන්ත, වාසල බණ්ඩාර, ජනක චාමර, සුදත් රෝහණ, මංජුල අයගම යන කලාකරුවන්ට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම සිනමා, ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සියලුම අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ රංගන ශිල්පී ශිල්පිනියන්, කාර්මික ශිල්පීන් ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන් මාව කලාවට යොමු කළ අම්මාට, තාත්තාට මගේ ගෞරවය පිරිනමනවා.
ඉදිරියේදීත් මා සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න නියමිතයි. සාරංග දිසාසේකරගේ චිත්‍රපටයකත්, පුබුදු චතුරංගගේ කුණා චිත්‍රපටයෙත් ගීත කෝකිලාව ලතා වල්පොල ගැන නිර්මාණය වූ චිත්‍රටපටයේත් සහාය අධ්‍යක්ෂවරයා මම.
මම සිනමාවට ආදරෙයි. තිරය පිටුපස සිට දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කරන අප වැනි පිරිස ඇගැයීමට ලක් කිරීම පිලිබඳ සරසවිය පුවත්පතට ස්තූතිවන්ත වෙනවා. පසුගිය 36 වැනි සරසවිය සම්මාන උලෙළෙදී ආරම්භ වූ ඒ අගනා කටයුත්ත අඛණ්ඩව ක්‍රියාත්මක වේවියැයි මා විශ්වාස කරනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය