Home » ක්ලැරන්ස්ගේ ජීවිත කතාවේ සත්‍යය චිත්‍රපටයේ හරියටම දකින්න නෑ

ක්ලැරන්ස්ගේ ජීවිත කතාවේ සත්‍යය චිත්‍රපටයේ හරියටම දකින්න නෑ

ක්ලැරන්ස් සංගීත ලෝකයට හඳුන්වා දුන් ශ්‍රී සඟබෝ කොරයා

by Thanushika
July 24, 2025 9:30 am 0 comment

දිල්හානි දුවනි
නාඩා නිදියන්නී
නිවසට සුරතල් ආලෝකය දී
නාඩා නිදියන්නී

එදා මෙදා තුර මේ ගීතයට ලැබුණේ කොයිතරම් ජනප්‍රියත්වයක්ද කියලා කාටවත් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. පරම්පරා ගණනාවක් තිස්සේ මේ ගීතය අදත් මේ මොහොතේත් වගේම හෙටත් දනන් තුඩතුඩ රැව් දේවි. මේ ගීතයට වයස කොපමණ වෙයි කියලද ඔබ සිතන්නේ?

ඇත්තටම කිව්වොත් මේ ගීතයට වයස අවුරුදු හැටක් වෙනවා. මේ දවස් වල මේ ගීතය ගැන සහ ගීතය නිර්මාණය කළ සංගීතඥ ගායක ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන මතක අලුත් කරනවා. ඒකට ප්‍රධාන හේතුව මේ දිනවල තිරගතවන ක්ලැරන්ස්ගේ ජීවන වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වුණු රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටය. මේ මතකයන් අතරින් අපේ හදවතට සමීප වුණු ක්ලැරන්ස් ගේ ජීවන වෘත්තාන්තය සහ සමීපව බැඳුණු පුද්ගල චරිත දෙකක් පසුගියදාක අපට හමුවුණා. ඉන් එක් අයෙක් වන්නේ ක්ලැරන්ස් විජේවර්ධනව සංගීත ක්ෂේත්‍රයට රැගෙන ආපු මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නට පුරෝගාමී දායකත්වයක් පිරිනැමූ ශ්‍රී සඟබෝ කොරයාය. අනිත් තැනැත්තිය වූයේ ක්ලැරන්ස් අතින් නිර්මාණය වූ දිල්හානි දුවනී ගීතයේ නියම හිමිකාරිය වූ ශ්‍රී සඟබෝ කොරයාගේ ආදරණීය දියණිය වූ දිල්හානි කොරයාය.

අපේ මේ හමුවීමද හරිම අහම්බයකින් සිදු වූවකි මුහුණු පොතේ උඩට පල්ලෙහාට යමින් සිටියදී දිල්හානි සිය පියා සමඟ සිටිනා ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබෙනු මගේ නෙත ගැටුණා. නිකමට මෙන් මැසේන්ජර් හරහා ඇයට පණිවිඩයක් තැබුවේ කතා කරාවි යන විශ්වාසයකින් නොවේ. එහෙත් පැයක් දෙකක් ඇතුළත ඇය මගේ පණිවිඩයට පිළිතුරු දුන්නා. ඒ පණිවිඩ හුවමාරුවේ ප්‍රතිඵලය වූයේ මේ අපේ හමුවීමයි. දැනට ඩුබායි රාජ්‍යයේ ගුරුවරියක වශයෙන් සේවය කරන ඇය අපේ හමුවට හොඳම වෙලාව සොයා ගනිමින් ලංකාවට පැමිණියා.

අපි හමුවුණේ ශ්‍රී සඟබෝ කොරයා නිදහසේ සිය සැදෑ සමය ගෙවන රාජගිරිය නිවහනේ. ඔහුත් ඇයත් අප පිළිගත්තේ මහත් වූ ආදර භක්තියකින් යුතු ආගන්තුක සත්කාර සමඟ.

ඉතින් අපි කතා කළා බොහෝ දේ. සඟබෝ කොරයා අප රැගෙන ගියා අතීත මතකයන් රැසක් වෙත. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවන වෘත්තාන්තයේ ඔහු සමඟ ගත කළ පිටු ඔහු එකින් එක දිග හැරියා අප සමඟ. ඊට සාක්ෂි සපයන්නට අපි ළඟින්ම හිටියේ දිල්හානි දුවනිය. ඇය ඇගේ මතකයත් එකතු කළා මේ කතාවට.

ක්ලැරන්ස් මට මුණගැහෙන්නේ රත්නපුරයේදී. මම ඒ වෙනකොට රාජකාරී කලේ (ලීවර් බ්‍රදර්ස්) යුනිලීවර්ස් ආයතනයේ. හදිසියේම මාව රත්නපුරයට මාරු කරනවා. ඉතින් මම ගිහින් රත්නපුරයේ සේවය කරමින් ඉන්නවා. ක්ලැරන්ස් හරියට සංගීතයට කැමති කෙනෙක්. එයා නිතරම සිංදු හද හද තමයි ඉඳලා තියෙන්නේ. මම එහෙට යනකොටත් ක්ලැරන්ස් සින්දු හදලා තිබිලා තියෙන්නේ.

හැබැයි මෙයාට රැකියාවක් තිබුණේ නෑ. රත්නපුරයේ ඉන්නේ ඔක්කොම මැණික්කාරයෝනේ. ක්ලැරන්ස් ඒ කාලයේ ඔක්කොම ව්‍යාපාරිකයෝ ළඟට ගිහින් මේ ගීත ටික එළි දක්වා ගන්න උදව් කරන්න කියලා ඉල්ලලා තිබුණා. නමුත් කාගෙන්වත් සහයෝගයක් ලැබිලා තිබුණේ නෑ.

ශ්‍රී සඟබෝ කොරයා අතීතයට යයි. මේ යුගයේ ක්ලැරන්ස්ගේ මවද ක්ලැරන්ස්ට බල කර ඇත්තේ සින්දු හද හදා නොසිට රැකියාවක් සොයාගන්නා ලෙසටයි. එහෙත් එවන් අවස්ථාවක් ද මේ වනතුරු ක්ලැරන්ස්ට ලැබී නොමැත. දිනක් රත්නපුර නගරයේ මිතුරෙක් මුණගැසී කතාබහ කරමින් සිටි ක්ලැරන්ස්ට මිතුරා පවසා ඇත්තේ ඒ මොහොතේ එතනින් ගිය කොරයා දෙස බලන ලෙසය.

“අන්න අර කාරෙකින් යන කෙනාට කිව්වොත් නම් ක්ලැරන්ස්ට උදව් කරයි”.

මිතුරා ක්ලැරන්ස්ට පැවසුවේය.

“එයාගේ නම ශ්‍රී සඟබෝ කොරයා. එයාට ලොකු ශක්තියක් තියෙනවා ඔය වගේ වැඩ කරන්න. පසුගිය කාලේ ඡන්ද වැඩ වලටත් ලොකු සහයෝගයක් දුන්නා.”

ක්ලැරන්ස්ගේ මිතුරා මා පිළිබඳ ක්ලැරන්ස්ට කියා එවකට මා පදිංචිව සිටි රත්නපුරේ රෙස්ට් හවුස් පාරේ ලිපිනයද ඔහුට පවසා තිබුණා. ඊට පස්සේ ක්ලැරන්ස් බොහෝ තැන්වලට ගිහින් තිබුණා ශ්‍රී සඟබෝ කොරයා දන්නවද කියලා අහන්න. හැම කෙනෙක්ම කියලා තිබුණේ “නෑ අපි දන්නේ නෑ, අපිට හම්බවෙලා නෑ කියලා. මේ 1965 වර්ෂයේදී. ඔය අතරේ දවසක් මට දත් දොස්තර කෙනෙක් මුණගැහෙනවා. ඔහු ළඟ තිබෙනවා මියුසික් රෙකෝඩ් ගොඩක්. ඔහු මට කියනවා ‘මිස්ටර් කොරයා සංගීතයට ආසයි නේ. මගේ ළඟ රෙකෝඩ්ස් ගොඩක් තියෙනවා. වෙලාවක එන්න රෙකෝඩ් කරගෙන යන්න’ කියලා. මම මගේ ටේප් රෙකෝඩරයත් අරගෙන සෙනසුරාදා දවසක හැන්දෑවක ගියා. මම කැමති දේවල් රෙකෝඩ් කරගෙන රෑ එකොළහට විතර යන්න කාර් එකට නැග්ග විතරයි. මම දැක්කා තරුණ කොල්ලෙක් එතන වාඩිවෙලා ඉන්නවා. මම යන්න බැස්සා විතරයි ඔහු මගේ ළඟට ආවා.

“මිස්ට කොරයා… මට මිස්ට කොරයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ඇහුවා.

මම කිව්වා ඇයි බැරි කියලා.

එතකොට ක්ලැරන්ස් කියනවා,

“මගේ නම ක්ලැරන්ස් විජේවර්ධන මම සංගීතයට හුඟක් කැමති කෙනෙක් සින්දු විස්සක් විතර මම හදලා තියෙනවා. මට ඕන වේදිකාවට නැගලා මේවා ගායනා කරන්න ඔබතුමාට පුළුවන්ද මට උදව් කරන්න. කියලා ඇහුවා.

ඒ වෙලාවේ හැබැයි මම කිව්වා රත්නපුරේ ඉන්නේ ඔක්කොම පෝසත් මිනිස්සුනේ. මැණික්කාරයොනේ කියලා.

ක්ලැරන්ස් කියනවා, මම ඒ හැම කෙනාම ළඟට ගියා නමුත් කවුරුත් උදව් කරන්නේ නෑ කියලා.

මම ඒ වෙලාවේ කිව්වා මට පොරොන්දු වෙන්න බෑ. ඔයාගේ සංගීතය අහන්නේ නැතුව. ඒ නිසා ඔඩිෂන් එකකට එන්න කියලා දිනයක් දුන්නා.

අදාළ දවසේ ක්ලැරන්ස් ආවා තවත් එක්කෙනෙක් එක්ක. ක්ලැරන්ස් ඔඩිෂන් එකට කිව්වේ සී.ටී. ප්‍රනාන්දුගේ ගීතයක්. මම ක්ලැරන්ස්ටර් කිව්වා ඔයා මට කිව්වේ ඕක නෙවෙයිනේ. ඔයාගේ අලුත් ගීත හදලා තියෙනවා කියලානේ කියලා.

ඊට පස්සේ තමයි අලුත් ගීත ටික කියන්න පටන් ගත්තේ. ක්ලැරන්ස් එක්ක තව අත්තනායක කියලා කෙනෙකුත් ඇවිත් හිටියා.

ක්ලැරන්ස්ගේ හඬ පෞරුෂය ඇසීමෙන් පසු ඔහුට උදව් කිරීමට ශ්‍රී සඟබෝ කොරයාට දෙසැරයක් සිතන්නට වුවමනා නොවන්නට ඇත. මේ මොහොතේ ක්ලැරන්ස්ව පැත්තකට අඬ ගසා ඔහුගේ මිතුරා මේ වැඩේට නොගැළපෙන බැව් පවසා ඔහුගේ සිත නොරිදෙන අන්දමින් මින් ඉවත් කරන්නට උපදෙස් දුන්නේය. සවස් භාගයේ ක්ලැරන්ස් තනිවම ශ්‍රී සඟබෝ කොරයා හමුවීමට පැමිණියේය. ඒ මොහොතේ ඔහු ක්ලැරන්ස්ට උපදෙස් දෙනුයේ වෙනත් කෙනෙකු සොයාගෙන එන ලෙසය.

ක්ලැරන්ස් ඊට පස්සේ හොයාගෙන ආපු කෙනා තමයි ඇනස්ලි මාලේවන. ඇනස්ලි මේ වැඩේට හොඳට කැපුණා. මම දැනගත්තා මෙයා තමයි මනුස්සයා කියලා. ඊට පස්සේ දිගටම මම ඔවුන්ට උපදෙස් දුන්නේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න කියලාය.

දවස් තුනකින් මාව හම්බවෙන්න කියලත් කිව්වා. මම මුදල් දෙන්නම් කියලා කිව්වා. මම ඉල්ලපු එකම ඉල්ලීම වුණේ ඔවුන්ගේ ගුණ ගරුක බව මහත්මා ගතිගුණ ප්‍රගුණ කළ යුතු බවයි.

මෙම අවධිය වන විට ශ්‍රී සඟබෝ කොරයාට සිඟිති දියණියන් දෙදෙනෙකු විය. වැඩිමලා රමණීට වයස අවුරුදු හතරක් පමණ විය. දිල්හානි ඉපදී සති දෙක තුනකි. ක්ලැරන්ස් සහ ඇනස්ලිට් දවසින් දවසට ඔවුන්ගේ සාමාජිකයින් වැඩි කරගන්නා සේම සංගීත භාණ්ඩ ද තම කණ්ඩායමට එකතු කරගත්තේය. සියලුම පුහුණුවීම් සිදුකරනු ලබන්නේ ශ්‍රී සඟබෝ කොරයාගේ නිවසේදීය. ක්ලැරන්ස්ට ශ්‍රී සඟබෝ කොරයා පොරොන්දුවක් දුන්නේය. ඔහු කියන ආකාරයට වැඩ කළොත් කෙදිනක හෝ ඔවුන් මේ රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායම බවට පත්කරන බවය. ක්ලැරන්ස්ලා ද විශ්වාසයෙන් යුතුව ඔහු සෙවණේ පුහුණුවීම් කළහ. මේ කාලය ඇතුළත කෑම බීම ඉඳුම් හිටුම් ආදිය ද ක්ලැරන්ස්ලාට නොමිලේම ලැබුණේ සඟබෝ කොරයාගෙනි.

ක්ලැරන්ස්ලා හොඳට ප්‍රැක්ටිස් කලාට පස්සේ සංගීත කණ්ඩායමට නමක් යොදන්න ඕන වුණා. මම කිව්වා. ක්ලැරන්ස්ලාටම නමක් හොයාගෙන එන්න කියලා. එයාලා ගෙනත් තිබුණ නම උණේ ක්ලැරීඩියන්ස් කියන නම. මට තේරුණා ඒ නම නම් ගැළපෙන්නේ නෑ කියලා. මම යෝජනා කළා වූන්ස්ටෝන් කියලා. ක්ලැරන්ස්ලත් සතුටු වෙලා ඒ නමට කැමති වුණා. ඒ විදිහට තමයි මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම හැදුනේ. දැන් ඉතින් තියෙන්නේ මේ කණ්ඩායම සංගීත ලෝකෙට හඳුන්වා දෙන එක. මගේ නෑදෑයෙක් හිටියා වර්නන් කොරයා කියලා. එයා කොමර්ෂල්ස් පැත්තේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක්. මම වර්නන්ට කිව්වා සංගීත කණ්ඩායමක් ඉන්නවා. මම ඒ අයව හොඳට පුහුණු කරලා ඉන්නේ. දැන් ඒ අයව සංගීත ලෝකෙට හඳුන්වා දෙන්න ඕන කියල. ඒ ගමන තමයි වර්නන් ගුවන් විදුලියේ ‘සැටඩේ ස්ටාර්ස්’ වැඩසටහනට මූන්ස්ටෝන් හඳුන්වා දුන්නේ. විජය කොරයාට තමයි ඒක බාර දෙන්නේ. ඒ විදිහට තමයි ක්ලැරන්ස්ලා සංගීත ලෝකයට එන්නේ.

සැටඩේ ස්ටාර්ස් වලින් මූන්ස්ටෝන් හඳුන්වා දුන් දිනයට පසු දාම ඔවුනට කැන්ඩි ලේක් ක්ලබ් හි ගීත ගායනා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේය. එතැන් සිට දිනෙන් දින ම ඔවුනට සංගීත ලෝකයේ දිගු ගමනකට අවස්ථාව උදාවිය. පසු කලෙක සඟබෝ කොරයා විසින්ම ලීවර් බ්‍රදර්ස් අනුග්‍රහයෙන් පටන්ගත්  school boy cricketer වැඩසටහනේ සංදර්ශන සඳහා යොදා ගන්නේ ටූන්ස්ටෝන්ය.

දිල්හානි දුවණි… ගීතයත් ලැරන්ස් අතින් ලියවෙන්නේද ඔවුන් පුහුණුවීම් කරන අතරතුරය. මේ කාලයේ ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත වෙන්නේ සඟබෝ කොරයාගේ නිවසේය. ඔහු ඔහුගේ නිවසේ ඉදිරිපස කොටස කැලරන්ස්ලාගේ පුහුණුවීම් වෙනුවෙන් වෙන් කර දී තිබුණි. මේ කාලයේ සති ගණනක සිඟිත්තියක වූ දිල්හානිද කොට් එකේ සිට මේ අයගේ ගීත වලට ඇහුම්කන් දෙමින් සිඟිති අත් පා සොලවමින් සිටි.

දිනක් ක්ලැරන්ස් පුහුණුවීම් නිමකර රාත්‍රියේ නිවසට ගිය විට කල්පනා වූයේ සඟබෝ කොරයා ඔවුන් වෙනුවෙන් මොනතරම් කැප කිරීමක් කරනවාද යන්න ගැනය. ඔහු ගිටාරයද රැගෙන සියුම් තත් පිරිමදිමින් ගීතයකට තනුවක් දමන්නටත් වචන ලියන්නටත් පටන් ගත්තේය. පසුවදා දහවල් ඔහු නැවතත් සඟබෝ කොරයාගේ ගෙදරට පැමිණියේය.

ක්ලැරන්ස් ඇවිත් මට කිව්වා මිස්ටර් කොරයා. මම සින්දුවක් හැදුවා. ඒක අහන්න මිසිස් කොරයත් එක්ක එන්න කියලා. අපි දෙන්නම ඇවිත් වාඩි වුණාට පස්සේ ක්ලැරන්ස් බොක්ස් ගිටාර් එක වයමින් ඒ ගීතය කිව්වා.

පුදුම ලස්සන සින්දුවක්. එච්චර ලස්සන සින්දුවක් මම අද වෙනතුරු අහල නෑ. ඒ ගීතය තමයි දිල්හානි දුවනී ගීතය. හැබැයි ඒ ගීතය අහලා මම යෝජනා කළා ඔය ගීතය ගායනා කරන්න ඕන ගැහැනු කටහඬකින් කියලා. මේ අතරේ ක්ලැරන්ස්ලා letter head වගයක් ගහලා මගෙන් අහන්නෙත් නැතුව මම මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමේ මැනේජර් කරලා. මම කිව්වා දැන් කතෝලික ඉස්කෝල වල පල්ලියේ ගීතිකා කියන තැන් වලට ගිහින් බලන්න සින්දු කියන ගෑනු ළමයි ඉන්නවා කියලා. නමුත් ඒකට ඔවුන් ටිකක් කම්මැළි කලා. පස්සේ දවසක ඇනස්ලි මාලේවන කිව්වා හොඳ කටහඬක් තිබෙන ගැහැනු ළමයෙක් ඉන්නවා කියලා. එයා ඒ ගෑනු ළමයා අපට මුණ ගැස්සුවා. එයා තමයි ඉන්ද්‍රානි පෙරේරා. මේ ගීතය ඇත්තටම ක්ලැරන්ස් හැදුවේ මම කරන දේවල් වලට කෘතවේදීත්වය දක්වන්න. එහෙම මිසක් මම කවදාවත් කියලා නෑ මගේ දුවලට සින්දු හදල දෙන්න කියලා. කොහොම නමුත් මේ චිත්‍රපටයේ ක්ලැරන්ස්ගේ ජීවන වෘත්තාන්තයේ ඇත්ත දේවල් හරියට ඇවිත් නෑ.

ක්ලැරන්ස් වැනි සංගීතඥයෙකු මේ රටට හඳුන්වා දීමේ පූර්ණ ගෞරවය හිමිවන්නේ ශ්‍රී සඟබෝ කොරයාටය. වර්තමානයේ ඔහු අනූ එක් වියැතිව නිරෝගී සම්පන්නව දිවි ගෙවයි. ඔහු විශ්වාස කරන අන්දමට මිනිසත් භාවයක් ලබා මෙලොවට අප පා තබන්නේ මිනිසුන් වෙනුවෙන් සේවයක් කිරීමටය. ඔහුට ඔහුගේ පියා කියා දුන් ආකාරයටම මිනිසුන්ට සේවය කිරීම උතුම් බව අවබෝධ කරගත් ඔහු වර්තමානයේ ඒ සියල්ල ගැන සිතමින් නිරාමිස සුවයක් විඳී.

ඔහුගේ පියා හලාවත ප්‍රදේශයේ සිටි ප්‍රකට අධිනීතීඥවරයෙකු වූ වික්ටර් කොරයාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පසු කලෙක ලීවර් බ්‍රදර්ස් සමාගමට සම්බන්ධ වී කටයුතු කළේය.

දිල්හානි කොරයාද ඇගේ මතකය අවදි කරන්නට අපත් සමඟ එකතු විය.

කාලයකදී මූන්ස්ටෝන් එකෙන් ක්ලැරන්ස් අන්කල් අයින් වෙනවා. ඊට පස්සේ එයා ගෝල්ඩන් චයිම්ස් හදනවා. එදා ඉන්ද්‍රානි ආන්ටිව ගෙනාවේ දිල්හානි දුවනී ගීතය ගායනා කරන්න විතරයි. කොහොම වුණත් අද මට ලොකු සතුටක් තිබෙනවා මම වෙනුවෙන් ලියවුණුු ගීතය අවුරුදු හැටක් ගියත් අදටත් හැම කෙනාගේ අතරම ජනප්‍රියත්වයේ ඉහළින්ම තිබෙන එක ගැන. මට තාමත් මතකයි මම ඉස්කෝලේ යන කාලේ අන්කල් ක්ලැරන්ස්ටත් අම්මි දෙන කෑම අරගෙන ගිය හැටි. ඒ කාලේ අපි දෙගොල්ලොම හිටියේ එකම ලේන් එකේ. ඒ යන හැම වෙලේකමත් අංකල් ක්ලැරන්ස් හිටියේ සින්දු හදමින්. මම සමහර වෙලාවට අන්කල් ක්ලැරන්ස්ගේ සින්දු කොපි කරලත් දීලා තියෙනවා. මගේ අත් අකුරු ලස්සන නිසා.

කෙසේ වෙතත් අද දිල්හානි ඩුබායි රාජ්‍යයේ ගුරුවරියක ලෙසින් සේවය කරන අතර ඇය දියණියන් දෙදෙනෙකුගේ ආදරබර මවකි.

පුරා වසර හැටක් තිස්සේ තමන්ගේ නමින් යුතු ගීතයක් එකම ජනප්‍රියත්වයකින් අසන්නට තරම් ඇය වාසනාවන්තය. ඉදිරියටත් පරම්පරා ගණනාවක් ගියද දිල්හානි දුවනී ගීතය මෙරට රසික ජනතාවගේ හදවතින් කිසිදින මැකී නොයනු ඇත. ක්ලැරන්ස් මූන්ස්ටෝන්, ඉන්ද්‍රානි, සඟබෝ වගේම ගීතයේ හිමිකාරිය වන දිල්හානිද තවත් චිරාත් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම බැබළෙනු ඇත.

හේමාලි විජේරත්න

සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT