මංජු නැදගමුව ලාංකේය සාහිත්‍ය ක්ෂෙත්‍රය තුළ මුලින්ම අත්පොත් තබන්නේ කවියෙකු ලෙසිනි. ඔහු කුලුඳුලේම රචනා කරන ‘වෙඩි උණ්ඩ සහ පිනි බිංඳු’ කවි පොත හරහා පාඨකයා වෙත විවෘත වන්නේ කවිය පිළිබඳ ස්වකිය අනන්‍ය වූ හැඩයක් සහිතව ය. ඔහු කවියෙන් නොනැවති ඉන් අනතුරුව ‘අන්තස්සර’ නවකතාව සහ ‘ඒ මිනිහා’ නමින් කෙටිකතාවක් ද රචනා කර තිබෙනවා. මෙවර සරසවිය තුළ අවකාශය වෙන්වන්නේ මංජු නැදගමුව සමඟ සිදුකළ සාහිත්‍යමය කතාබහ සමඟයි.
මංජු නැදගමුව කියන ලේඛකයාට ලිවීමෙි ආශාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද?
ලිවීමේ හැකියාවක් යම්තාක් දුරට තිබෙන බව මට පාසල් කාලයේදීම ගුරුවරුන්ගේ ඇගයීම්වලින් අවබෝධවෙලා තිබුණා. ගද්‍ය රචනා ඉතාම නිර්මාණාත්මක ලියපු කීපදෙනා අතර මමත් කෙනෙක් වුණා. ඒක තමයි මම හිතන්නේ මගේ ලිවීම ආරම්භ වූ තැන. කවියෙක් වුණේ ගෙදරින්. මොකද මගේ අයියා එවකට කාව්‍ය නිර්මාණකරණයේ යෙදුණු කෙනෙක්. ඔහු ලාල් නැදගමුව. කවිය පමණක් නොවේ ඔහු ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මම පාසල් කාලයේදී ඔහු ගුවන් විදුලි කාව්‍ය සඟරාවක් වූ “මධු මාධවී”යට කවි ලිව්වා. සතිපතා ඔහුගේ නම කියැවුණා. ඒ උත්තේජනය මාව කවියෙක් කළා කිව්වොත් නිවැරදියි. ඉතිං මම කවිය පටන් ගත්තෙ ගෙදරින්. අයියා පමණක් නොවෙයි මගේ එක් සහෝදරියකුත් කවි ගීත රචනාවේ නියැළෙනවා.
ඔබ රචනා කරපු පළමු කෘතිය විදියට, ‘වෙඩි උණ්ඩ සහ පිනි බිංඳු’ කවි පොත ලියවෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම වුණේ?
ඔව් මීට වසර අටකට පෙර තමයි මුල්ම කාව්‍ය සංග්‍රහය නිකුත්වුණේ. එවකට ඉතාම ආධුනික මට්ටමේ කවියෙක් ලෙස සමාජ මාධ්‍ය තුළ කුඩා පිරිසක් මාව හඳුනාගෙන තිබුණා. අපි කවියට ළැදි බොහෝ දෙනා සමාජ මාධ්‍යය විශේෂයෙන් මුහුණු පොත අපේ නිර්මාණ සඳහා වේදිකාවක් කරගෙන තිබුණා. “වෙඩි උණ්ඩි සහ පිනි බිංඳු” කාව්‍ය සංග්‍රහය ලියැවුණේ ඒ වකවානුවේ. එතෙක් ලියා රැස්කර තිබුණු කාව්‍ය නිර්මාණ කීපයක් තමයි එයට අන්තර්ගත වුණේ. කාව්‍ය කෘතිවට පසුබිම සැකසුණේ මුහුණු පොත මඟින් මා දැන හදුනාගත් මිතුරු මිතුරියක් පිරිසක් තමයි. ඔවුන් තමයි මා දිරිමත් කළේ නිර්මාණ එකතුවක් සඳහා. ඒ දිරිමත් කිරීම යථාර්ථයක් බවට පත්වුණේ මා මිත්‍ර කාංචනා කරුණාරත්න නම් යෙහෙළියයි. ඇය ආරම්භ කළ ප්‍රකාශන ආයතනයේ මුලින්ම මුද්‍රණය කළේ මගේ මුල්ම කාව්‍ය සංග්‍රහය.
ලේඛකයෙක් විදියට ඔබ එක සාහිත්‍ය ශානරයකට රාමුගත වෙන්නේ නෑ. කවිය, කෙටිකතාව, චරිතාපදාන සහ නවකතාව යන අංශ හතරෙන්ම ඔබ නිර්මාණකරණයේ යෙදෙනවා. මෙහි විශේෂත්වය මොකක්ද?
මම කවදත් එකම දෙයකට රාමු වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. අදත් එහෙමයි. පාසල් කාලයේ විවිධ අවස්ථාවන්වලදී කෙටි කතා ලිව්වා. ඒවා පාසල් මට්ටමේ සාහිත්‍ය තරඟවලදී ජයග්‍රහණයන් ලබා තිබෙනවා. ඉතිං කවිය කෙටි කතාව මට පාසල් කාලේ සිටම හරිම ළඟ සාහිත්‍යාංග දෙකක්. චරිතාපදාන ලියන්න මූලික වුණේ මුහුණු පොත හරහා හඳුන්වා දුන් ලිපි පෙළක් හේතුකොට ගෙනයි. නවකතාවට මම කවදත් කැමතියි. බොහෝ නවකතා කියවද්දි මම හිතුණ දෙයක් තමයි කවදාක හෝ මමත් නවකතාවක් ලියන්න ඕනේ කියන සිතිවිල්ල. ඒ නිසා මම යට කී සියළු සාහිත්‍යංග සුළු වශයෙන් ස්පර්ශ කරමින් තාම ඒ පිළිබඳව යම් හැදෑරීමක් කරමින් හෙමින් යන ගමනක් මේ.
‘අන්තස්සර’ කියන්නේ ඔබෙි කුලුඳුල් නවකතාව.’ නවකතාව ඇතුළේ සිදු කරන්නේ මානව සමිබන්ධතාවල තියෙන අති සංකීර්ණබව නිරූපණය කිරීම. ‘අන්තස්සර’ හරහා ඔබ කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද? ඊට ලැබෙන ප්‍රවේශය කොහොමද?
මුලින්ම කියන්න ඕනෙ අන්තස්සර කියන්නේ මම පමණක් ලියූ නවකතාවක් නොවන බව. මේක ද්වී කර්තෘක නවකතාවක්. ලියන්ගහවෙල පඤ්ඤාසේකර හාමුදුරුවෝත් මමත් එකතුවෙලා මේ නවකතාව රචනා කරන්නේ. අන්තස්සර නවකතාවෙන් අපි සාකච්ඡා කරන්න උත්සහ කළේ අපේ රටේ උඩරට වතු ආශ්‍රිත බංගලාවක වර්තමාන ඛේදවාචකයක් කිව්වොත් නිවැරැදියි. ධනය, බලය, සිවිල් බලය ආදියෙන් ආඪ්‍යවූ වතු අධිකාරිවරයෙක් හා ඔහුගේ පුතුන් තිදෙනෙකු ගේ ජීවන රටාවන් ගැන කියැවෙන කතාවක් අන්තස්සර තුළින් අපි පාඨයන් වෙත ගෙනෙන්නට උත්සහ කළා. කතුවරුන් දෙදෙනෙක් විසින් රචනා, වුවද එම කතාව ලේඛන රටාව නොවෙනස්ව පවත්වාගෙන යන්න අපි දැරූ උත්සාහය සාර්ථක වුණා කියා අපි විස්වාස කරනවා සහ නවකතාව කියවූ බොහෝ දෙනා ඒ බැවි අපට දන්වා සිටියා.
මේ කතා තේමාවන් හිතට එන විදිහ ගැන යමක් කියන්න පුළුවන්ද?
යම්කිසි නිර්මාණයක් කරනකොට ඊට අදාළ අනුභූතීන් බොහෝ දුරට එම ලේඛකයාගේ අත්දැකීම් වෙන අවස්ථා තියෙනවා. ඔහුගේම නොවුණත් ඔහුට සමීප කෙනෙකුගේ අත්දැකීම් එකතුකර ගොඩනගන තේමාවක් වෙන්න පුළුවන්. මගේ නිර්මාණවලත් බොහෝවිට එවැනි මා අතිවිඳී අත්දැකීම් එකතු කර තිබෙනවා. එවැනි අත්දැකීම් සිදුවීම් චින්තාභ්‍යන්තරයේ ගබඩා වී යම් දිනෙක නිර්මාණයක් තුළින් මතුවන අවස්ථා තිබෙනවා.
ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?
මම වඩාත් ම කැමති නවකතා කියවන්න. එහි කර්තෘ කවුරුන්ද කියා මට වැදගත් නෑ. හොඳ කතාවක් නම් එක හුස්මට කියවන අවස්ථා තිබෙනවා. එහෙම නවකතා රචකයින් බොහෝ දෙනෙක් අපේ සාහිත්‍ය තුළ දක්නට ලැබීමත්. ඔවුන් ඇසුරු කරන්නට ලැබීමත් මට මහත් සතුටක්. කාව්‍ය නිර්මාණ රසවිඳීන්න මම හුඟක් කැමතියි. ඉතා උසස් මට්ටමේ කවි ලියන ආධුනික කවි කිවිඳීයන් රැසක් මම හදුනාගෙන තිබෙනවා.මම ඒ අයගේ නිර්මාණත් ප්‍රවීණ කවි කිවිඳීයන්ගේ කාව්‍ය නිර්මාණත් රසවිඳීන්නට කැමතියි.
ඔබගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?
එහෙම විශේෂ හැසිරීමක් නෑ. මගෙ හිතට යම් නිර්මාණයක් පිළිබඳව අදහසක් අනුභූතියක් ආවම මම ඒක සටහන් කරගන්නවා.ඒ අවස්ථාවේ හැටියට. එහෙම නැතුව මම විවේකීව ඉන්න වෙලාවකනම් ඒ නිර්මාණය කරන්න පෙලඹෙනවා. විශේෂයෙන්ම කාව්‍ය අනුභූතීයක් හිතට ආ විට නිර්මාණය කරන්න මම ඒ වෙලාවම යොදා ගන්නවා. නවකතා දෙකක් මේ වෙනකොට ලියා අවසන් අදියරේ තියෙන්නේ. බොහෝ වෙලාවට උදෑසන කාලය තමයි මම ඒ සඳහා යොදා ගන්නා. පරිසරය නිහඬව පවතින මොහොත නිර්මාණාවේශයට හොඳ උත්තේජනයක් සපයනවා. කවියක් හෝ කතාවක් ලියන්න ඕනෙ මෙි මොහොතේ කියලා පුටුවක වාඩිවෙලා යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා වගේ කරන්න බෑ.ඒක වෙන්නෙ නිතැතින්මයි.
ලංකාවේ කවිය, කෙටිකතාව, නවකතාව කියවන පාඨකයා සමිබන්ධයෙන් සමහරුන්ගේ අදහස් තියෙන්නේ එතරමි සුබවාදී තැනක නෙමෙයි. සබුද්ධික කියවීමක් නෑ. විශ්ලේෂණාත්මක කියවීමක් නැ කියන එක තමා විවෙිචනය. ඔබේ අදහස මොකක්ද මේ ගැන?
ඇත්තටම කවිය ගැන මට ඇත්තේ සුබවාදී කියවීමක් නෙමෙයි. අද කවිය කෝ, කියන තැන මම ඉන්නේ. අද කවියට මොකද වුණේ කියන ප්‍රශ්නාර්ථයක් කව්වට අවංකවම ළැදි අයට තියෙනවා. ඉතාම හොඳ කාව්‍ය නිර්මාණ බිහි නොවනවා නොවෙයි ඉන් මා අදහස් කරන්නේ. එවන් හොඳ කවි යටපත් වෙලා වෙනත් අරසුන් දේ තමයි අද කවිය කියා ඉස්මතු කරන්න යම් පිරිසක් උත්සාහ කරන්නේ. සමහර අවස්ථාවන්වලදී අපි දකිනව යම් කිසි ඍජු ප්‍රකාශන ඉංග්‍රීසි බසින් අපි කියන්නේ ඉබචබඥථඥදබඵ කියලා අන්න ඒවා තමයි අද කවිය කියා ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා කවිය පිළිබඳ මගේ කියවීමත් සුබවාදී තැනක නෑ. කෙටි කතාව සහ නවකතාව යම් සුබවාදී තැනක තියෙනවා කියා මට හිතෙනවා. ඉතාම හොඳ කෙටිකතා ,නවකතා ලියවෙනවා අපේ ලේඛක ලේඛිකාවන් අතින්. බොහෝ අවස්ථාවන්වලදී එවැනි හොඳ කෘති මෙරට සාහිත්‍ය සම්මාන උලෙළෙවල්වලදී යටපත් වෙනවා. නමුත් ඉතිං සාහිත්‍යය විනිශ්චය කරන්න කාටවත් බෑ කියන මතයේ සිට මම ඒ ගැන කම්පා නොවී හොඳ කෙටිකතා නවකතා කියවනව රසවිඳීනවා. එනිසා කෙටිකතාව සහ නවකතාව ගැන මම යහපත් තැනක ඉන්නවා.
මංජු නැදගමුව කියන ලේඛකයාගේ කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවේණික වුණු එකක්. ඔබේ සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?
මුලින්ම කියන්න ඕනෙ. මම දෙයක් ලියන්නේ බොහෝ දෙනාට පහසුවෙන් කියවා රසවිඳීන්න පුළුවන් දෙයක් විදියට. ඒ නිර්මාණ හුදෙක් අපේ රටේ සාහිත්‍ය සමාජයට ලිවිය යුතුයි. අතළොස්සක් දෙනාට කියවා තේරුම් ගන්නට පුළුවන් මහා අපබ්‍රංස ලියන්න මම පෙලඹෙන්නෙ නෑ. මම විශ්වාස කරන්නේ සාහිත්‍ය නිර්මාණයක් බොහෝ දෙනාට කියවා රසවිඳීය හැකි සරල බසින් ලියන දෙයක් විය යුතුයි. අපි දකිනව සමහර කෘති කියවා තේරුම් ගන්න වෙනම භාෂාව පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි. මගේ සාහිත්‍ය කටයුතුවලට බලපාන පුද්ගලයින් ගැන පවසනවනම් මට කියන්න තියෙන්නේ ඒ මට පෙර පරම්පරාවේ ලේඛක පරපුර ගැනයි. ඔවුන්ගේ සාහිත්‍ය කෘති තමයි මට සාහිත්‍ය පිළිබඳව උනන්දුවක් ඇති කළේ. මට මතක මම මුලින්ම කියවූ කෘතිය ඉලංගරත්න සූරීන්ගේ අඹ යාළුවෝ. එතැන් පටන් කියවීමේ රුචිය වර්ධනය වුණා. ඒ පෙර පරම්පරාවේ ලේඛක ලේඛිකාවන්ගේ සාහිත්‍ය ඇසුර තමයි අද මාව ලියන්නෙක් බවට පත්කර තිබෙන්නේ.
ඔබ වැඩිමනක් මුහුණුපොත (ජ්චජඥඡධධඬ) තුළත් ලේඛනය යෙදෙනවා. අලුත් පරපුර, මනුසඳ සැරිය වගේ මුහුණුපොත හරහා සිදු කළ ලේඛන අවකාශයන් හරහා යොවුන් ලේඛකයන් පිළිබඳ හදුන්වාදීමි කරනවා. මෙය ලංකාවෙි මුහුණුපොත හරහා කවුරුත් සිදු නොකරන දෙයක්. මේ මුහුණුපොත තුළ ඔබේ ලිවීම ගැන කියන්න තියෙන්නේ මොකක්ද?
ඔව්. මම මුහුණු පොතේ ගිණුමක් ආරම්භ කරන්නෙ 2012 වසරේ. මුලදි මම මගේ කාව්‍ය නිර්මාණ මුහුණු පොතේ පළකරන්න වැඩි අවකාශයක් ලබා ගන්නවා. ඉන් පසු කලෙක මට හිතුණ වෙනස් දෙයක් කරන්න ඕනෙ කියල. ඒ නිසා මම මුලින්ම කළේ වියත් කවි සභාව කියල ලිපි පෙළක් රචනා කිරීම. ඒ ලිපි ලියන්නේ අපේ රටේ ජීවත්ව සිටි ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගේ ජීවන හා සාහිත්‍ය තොරතුරු. ආනන්ද රාජකරුණා සූරීන්ගෙන් පටන් ගත් ඒ ලිපි පෙළ ලිපි හැත්තෑ පහක් දක්වා ලියැවුණා. ඉන්පසුව තමයි මනුසඳ සැරිය ලිපි පෙළ ලියන්න පටන් ගත්තේ එය මෙරට සුජීවත්ව සිටින ප්‍රවිණ ලේඛක පරපුර ගැන ලියවුණ ලිපි පෙළක් මේ දක්වා එය ලිපි දෙසිය පණහක් ලියවුණා. අලුත් පරපුර ලියන්න පටන් ගත්තෙ 2021 වසරේ ඒ මෙරට ලේඛන ක්ෂේත්‍රයේ සිටින අලුත් ලේඛක ලේඛිකාවන් ගැන එම ලිපි පෙළත් දෙසිය පනහක් මේ වන කොට ලියල අවසන්. මේ සියලුම ලිපි වලින් මම අදහස් කළේ කිසිම කල්ලියක්, කුලකයක් නැතිව පොදුවේ ලේඛනයට යොමුව සිටින අය සමාජ මාධ්‍ය වෙත හදුන්වාදීමටයි. ඉන් පරිබාහිර කිසිම දෙයක් නෑ.
ඉමල්ක විතානගේ