නිවස සංවාද කවියේ දියුණුවට සාපේක්ෂව විචාර කලාව දියුණු නැහැ

කවියේ දියුණුවට සාපේක්ෂව විචාර කලාව දියුණු නැහැ

ලේඛක අශෝක කුලතුංග

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

මේ වනවිට කාව්‍යකරණයේ නියැළෙන ප්‍රතිභාපූර්ණ ලේඛකයකු ලෙස අශෝක කුලතුංග හඳුනාගත හැකි වනුයේ ඒ ප්‍රභාෂ්වර ලකුණු මැනැවින් පෙන්වන ඔහුගේ කාව්‍ය හා විචාර කෘති ඔස්සේය.

කවියට හා විචාරයට වැඩි නැඹුරුවකින් කටයුතු කරන අශෝක, අප අතර සිටි ප්‍රකට ගායන ශිල්පී එම්. එස්. ප්‍රනාන්දු ගායනවේදියාණන් පිළිබඳ ලියූ නවතම චරිතාපදාන කෘතිය THE Magnificent Samson සමඟ අප හමුවට පැමිණ සිටී. මේ ඒ පිළිබඳ කළ හඳුනාගැනීමකි.

කාව්‍යකරණයෙන් ඉදිරියට එන්නේ බලපෑ වටපිටාව මොකක්ද?

2017 වර්ෂයේ ගොඩගේ කාව්‍ය අත් පිටපත් තරගයේ හොඳම කාව්‍ය අත්පිටපත් හය අතරට මගෙ ‘ඉගිල්ළෙන කරදහි කුරුල්ලා’ කියන අත්පිටපත තේරෙන අතර 2018 වසරේ එය මුද්‍රණය වෙනවා. එය මගේ පළමු කෘතිය

ඒ වගේම පන්හිඳක අසිරිය කියන අත්පිටපත් තරගයෙන් 2019 කළුතර දිස්ත්‍රික්කයේ හොඳම කාව්‍ය අත්පිටපත ලෙස තේරී පත්වන්නෙ ‘දුරක හිඳ සිඹිමි’ කියන මගෙ කාව්‍ය අත්පිටපත. එය සන්ථව ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රණයට පත්වෙනවා. මගෙ තුන්වැනි කෘතිය වන්නේ කවියක වරුණ කිය කාව්‍ය විචාර කෘතිය. එහි කාව්‍ය විසි එකක් පිළිබඳ විචාර අඩංග කෘතියක්.

නවකතාවට ඔබ ප්‍රවිෂ්ට වෙන්නෙ කොහොමද?

‘කොළඹ හය’ කියන යොවුන් සාහිත්‍ය කෘතියෙන්. ගිය වසරේ එය නිකුත් වුණේ. ඉන් අනතුරුව තමයි මගේ නවතම කෘතිය එම්. එස්. ප්‍රනාන්දු චරිතාපදාන කෘතිය නිකුත් වෙන්නෙ.

මේ කෘතිය ගැන ඔබේ පැහැදිලි කිරීම මොකක්ද?

නව ගීත වංශ කතාවක පෙර ගමන්කරු විදිහට තමයි මම මේ කෘතිය හඳුන්වාදී තියෙන්නෙ. වසර තුනහමාරක පමණ තොරතුරු ගවේෂණයකින් අනතුරුව කළ කෘතියක්. එතැනදි සම්පුර්ණයෙන්ම එම්.එස්. ප්‍රනාන්දු මහත්මයගෙ දූ දරුවන්ගෙන් ලබාගත් තොරතුරු මේ කෘතියට ඇතුළත් වන්නෙ. විශේෂයෙන්ම අන් තැනක සොයාගත නොහැකි දුර්ලභ ඡායාරූප එතුමාගේ නිර්මාණ හා ගීත භාවිතය පිළිබඳ ලියැවුණු ශාස්ත්‍රිය ලිපි හයක් පමණ මේ කෘතියේ අඩංගුයි. ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ඒ ලිපි සම්පාදනය කර තිබෙන්නේ. එම්.එස්. ප්‍රනාන්දු යනු ගායනය, වාදනය, ගීත ද රචනය තනු නිර්මාණය ඒ වගේම චිත්‍රපට පසුබිම් ගායනය රංගනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කළ ලංකාවේ සිටි විශිෂ්ට ම ගායනවේදියකු විදියට හඳුනාගන්න පුළුවන්. එතුමන්ගේ ජනපි‍්‍රයත්වය එදා මෙන්ම අදටත් බොහෝ සෙයින් වලංගුයි. එතුමාගේ පද රචනාවල තිබුණු විශේෂත්වයක් ලෙස මා දකින්නේ ඔහු නිර්මාණකරුවකු ලෙස ගීතය හරහා සමාජගත කළ පණිවිඩ බොහෝ සරලව එසේම, උපහාසත්මක රසයකින් යුක්තව සෑම විටම ඔහු ඉදිරිපත් කොට තිබුණු බව.

ඒ විදිහේ විෂය කරුණු අටක් යටතේ එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පද රචනා නිර්මාණ මා මෙහි විචාරය කොට තියනවා. උදාහරණයක් විදිහට ඔහු සමාජ පුද්ගල භාවිතය කොහොමද ගීත රචනා තුළ අන්තර්ගත කළේ. ඊළඟට ඔහුගේ භාෂා භාවිතය එසේම ප්‍රේමය හෝ අන් විෂයක් පිළිබඳ ඔහු කොහොමද දුටුවේ මේ ආදී පැතිකඩ අටක් ඔස්සේ ඔහු ගැන මේ කෘතිය කතා කෙරෙනවා. ඊළඟට ගුවන් විදුලි සංස්ථාවේ තැටි පුස්තකාලයෙන් ලබාගත් එහි දැනට ඇති ගීත නාමාවලියක් ඇතුළු ගීත නාමාවලියක් මෙහි අඩංගුයි. ඊට අමතරව ඔහුගේ ගීත පද රචනා එකසිය අනූ හයක් ද මෙහි ඇතුළත්. සියල්ලම පාහේ ගත්තොත් ගීත හාරසිය ගණනක පමණ නාමාවලියකුත් මෙහි ඇතුළත් ඊට අමරතරව ඔහු හා සමකාලීනව කටයුතු කළ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් ක්ලැරන්ස් විජේවර්ධනයන් ආදීන් මෙන්ම මෑත කාලය තෙක් ඔහු පිළිබඳ අදහස් ඉදිරිපත් කළ නිර්මාණවේදින්ගේ අදහස් මෙහි ඇතුළත්.

අගෝස්තු මාසයේදී ඒ කෘතියත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ඊළඟ කෘතිය ගැන මොන වගේ සූදානමක් ද තිබෙන්නේ ?

මෙවැනි ම තවත් ප්‍රසිද්ධ චරිතයක් පිළිබඳ මම මේ දිනවල තොරතුරු අධ්‍යයනය කරමින් ඉන්නවා. වසර දෙකක පමණ සිට ඒ කටයුතු සිදුවන්නේ. ඒ කටයුතු නිම වීමට තවත් වසරක පමණ කාලයක් ගත වේවි. එයට අමතරව තවත් කාව්‍ය විචාර කෘතියකුත් සම්පාදනය කරමින් සිටිනවා.ඒ දෙදහස් විසි තුන හා විසි හතර වර්ෂවල ලියැවුණු කාව්‍ය කෘති පිළිබඳ. ලබන වසරේ එයත් එළිදකීවි

කවියට ඔබ නෑඹුරු වෙන්නෙ අහම්බෙන් ?

ඒක හරි ගොඩක් දුරට. කොළඹ තමයි මගෙ උපන් ගම. දෙදහස් දහ තුන වසරේදී මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලැබෙනවා, මතුගම අගලවත්ත ප්‍රදේශයට. ඒ අවදියේ හුදෙකලාව බෝඩිං ජීවිතයක් ගත කරන අතරේ තමයි මම කියවන්න නැඹුරු වෙන්නෙ. ඊට පස්සෙ ලිවීමට නැඹුරු වෙන්නෙ.ඒ ඔස්සේ තමයි දෙදහස් දහ හත වර්ෂයේ මගෙ පළමු කාව්‍ය කෘතිය එළියට එන්නෙ. ඒ ඇරැඹුමෙන් පසු මේ තාක් අඛණ්ඩව ලිවීමේ නියැළෙනවා.

ලංකාවේ නූතන කවි භාවිතාව හා කාව්‍ය විචාරය ගැන මොකක්ද ඔබේ අදහස ?

ඇත්තටම කවිවලට සාපේක්ෂව ලංකාවේ කාව්‍ය විචාර කලාව දියුණු නැහැ.

සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂිකව කාව්‍ය කෘති දෙසිය පනහකට අධික ප්‍රමාණයක් මුද්‍රණය වෙනවා. එයින් ගම්‍ය වෙන්නෙ කවි නිර්මාණ වීම වගේම ඒ කවි වටා රසික පිරිසක් ඉන්නවා කියන එක. ඒ සමඟ කවිය මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රිය මාධ්‍යයක් විදියට හඳුනගන්න පුළුවන්. නමුත් යම් නිර්මාණකරුවන් විනෝදාංශයක් ලෙස පමණයි කවි ලියන්නෙ. කවිය ගැන ඔවුන්ගේ අධ්‍යයනය අඩුයි. මුහුණු පොතත් කවිය ප්‍රවර්ධනයට බෙහෙවින් යොදා ගැනෙන තැනක්. කවිය පිළිබඳ ලොකු සෙවීමකින් කාව්‍යකරණයේ නියැළෙන පිරිසකුත් සිටිනවා. කෙසේ වෙතත් මේවාට සාපේක්ෂව විචාර කලාව දියුණු වී නැහැ. ඊට ප්‍රවිෂ්ට වන පිරිසත් අඩුයි. ඒ අතර ප්‍රවීණයන් කීප දෙනෙක් තවදුරටත් කවිය සමඟ කවි විචාරය සමග ඉන්න බව අපි දකිනවා. නමුත් කාව්‍ය කෘති බිහිවන තරමට හා කවිය සමාජය තුළ ජනප්‍රිය වී ඇති තරමට විචාර කලාව දියුණු වී නැහැ.

එම්.එස්. ප්‍රනාන්දු සංගීත ප්‍රසංගය ගැනත් සිහිපත් කරමු.

මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පවත්වන මේරියන්ස් එම්. එස්. අන්ප්ලග්ඩ් කියන ප්‍රංසගය අගෝස්තු මස තුන් වැනිදා රාත්‍රී හතට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරනු ලබන්නේ කොළඹ මහානාම විද්‍යාලීය 2002 ආදි ශිෂ්‍යයන් විසිනුයි.

එහිදී සුසිල් ප්‍රනාන්දු, සරත් ප්‍රනාන්දු පුතුන් දෙපළත්, ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියත් මේරියන්ස් සමඟ ගීත ගායනා කරන්න නියමිතයි. ඒ සමඟ මගේ එම්. එස්. කෘතියත් එහිදී මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT