Home » කවියකුගේ යුතුකම යථාර්ථය පෙන්වා දීම

කවියකුගේ යුතුකම යථාර්ථය පෙන්වා දීම

- ලේඛක කීර්ති එස්.කුමාර

by Thanushika
January 2, 2025 10:21 am 0 comment

අත්දැකීම් බහුල ලේඛකයකු වන රඹුක්කන කීර්ති එස් කුමාර මේ වන විට කවියකු ලෙස වඩා ඉස්මතු වන බවක් පෙනී යන්නේ ඔහුගේ කාව්‍ය නිර්මාණ හා එවායේ යථාර්ථවාදී ගුණය විමසා බලන කල්හිය.

සිය දීර්ඝ ලේඛන දිවියේ මේ වන විට ඔහු ඉදිරිපත් කර ඇති කාව්‍ය සංග්‍රහයන් පහක් ඔස්සේ ඔහු ඉතා සියුම් ලෙස පවතින සමාජ ආර්ථික ක්‍රමයේ හැඩ රුව වියමන් කිරීම කැපී පෙනෙනසුලුය.

කීර්ති එස් කුමාර කියන ලේඛකයාට කවිය මේ තරම් විශේෂ වෙන්නෙ කොහොමද ?

මගෙ පළමුවෙනි කවි පොත නිකුත් කරද්දී මට අවුරුදු විස්සයි (1983 දී)

එතකොට මම මහනුවර බහු තාක්ෂණික ආයතනයේ වාණිජ විද්‍යා ඩිප්ලෝමා ව හදාරමින් සිටි අවධිය. අපි හතර දෙනෙක් එක්වී ‘ වේදනා’ නමින් එය නිකුත් කළේ. මේ පසුබිමට එන්න මගෙ අම්මාත් ලොකු හේතුවක් වුණා. මොකද ඇයත් කිවිඳීයක්. ඊළඟට සිංහල බස පිළිබඳ හසළ දැනුමක් ඇති ගුරුවරයකු, ප්‍රකට ලේඛකයකු මෙන්ම ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වූ පියසේන රතුවිතාන ගුරු පියාණන්. එතුමා තමයි පාසල් අවධියේ කුඩා පන්තිවලදී හමු වුණ ගුරුවරයකු විදිහට මට මේ අංශයෙන් ඉදිරියට එන්න විශාල පසුබිමක් වුණේ. ඒ ගුරුහරුකම් හා මඟ පෙන්වීම් එක්ක හතේ අටේ පන්තිවලට එද්දි මම මිහිර පත්තරේටත් ලියනවා. එක්දාස් නවසිය හැත්තෑපහේ ශිෂ්‍යත්වය සමත් වෙලා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ආවහම ඒ පාසලේදී මට මුණ ගැහුණ පන්ති බාර ගුරුතුමිය මගෙ අම්මගෙ පාසල් මිතුරියක්. එතුමිය හීන්මැණිකෙ වීරවර්ධන. එතුමිය ගේ මඟ පෙන්වීම යටතේ මට තවත් ශක්තිය ලැබුණා මගෙ කවීත්වය හා ලේඛන හැකියාව ඔප් නංවාගන්න. ඒ කාලයේ තමයි මම මිහිරට ලියන්න පටන් ගැනීම සිදු වුණේ. අටේ පන්තියේදි විතර සිඟිති කියල ළමා සඟරාවක් කළා පිටු අටක රෝනියෝ කරල. මමම ලියල චිත්‍රත් ඇඳල. ඒකට මට ගොඩක් උදවු කළේ මගෙ පාසලේම මිතුරකුගේ පියාණන්. එතුමා අදටත් මා සමඟ ළෙන්ගතුව කටයුතු කරනවා. ඉන් අනතුරුව මම වැඩිපුර ලියන්න නැඹුරු වුණේ කල්පනා නවයුගය ජනතා වැනි පුවත්පත්වලට. ඒ වගේම ශ්‍රී සඟරාවටත්. මේ විදිහට මගෙ පාසල් දිවිය හා අධ්‍යාපන කටයුතු අතරේ කවිය හා නිර්මාණකරණයත් මගෙ ජීවිතයේ කොටසක් වෙලා තිබුණේ.

යොවුන් අවධියේ ම විදෙස්ගත වීමෙන් කවියේ පෝෂණය ට වූ බලපෑම කුමනාකාර ද ?

ඇත්තෙන්ම එක්දහස් නවසිය අසූ පහේ වසරෙ මට පද්‍ය රචනා අංශයෙන් යෞවන සම්මාන හිමි වෙද්දී මට ඊට සහභාගි වෙන්න බැරි වුණා. මොකද මම විදේශගත වූ නිසා. මගෙ ප්‍රථම රැකියාව වෙනුවෙන්. කෙසේ වෙතත් පිටරට ඉද්දිත් මම ලිවීම නතර කළේ නැහැ. ඒ විදිහට එක්දහස් නවසිය අසූ හයේ මම ලියූ ගී පද රචනා වෙනුවෙන් නැවතත් යෞවන සම්මාන තුන් වැනි ස්ථානය හිමි වුණා. අසූ හතේ මම නැවතත් මව්බිමට පැමිණි අතර මනසේ දිගටම තිබුණේ ලිවීම පමණයි. එකල සෝමවීර සේනානායක, අජන්තා රණසිංහ, සුමනා සපරමාදු, ගුණදාස ලියනගේ ආදී කතුවරුන්ගෙන් විශාල සහයක් ලැබුණා. නැවත ලංකාවට පැමිණ ටික කලක් ගත වෙද්දී මට යුවති පුවත්පතට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හිමිවෙනව. ප්‍රවීණ ගීත රචකයකු නවකථාකරුවකු වන ධර්මරත්න පෙරේරා මහතා තමයි එහි ආරම්භ කර්තෘවරයා වුණේ. එතකොට පුවත්පත කළේ චන්ද්‍රා වීරසිංහ කර්තෘතුªමන්. එතනදී තමයි මට යුවති පුවත්පතේ කර්තෘ ධුරයේ වගකීම ලැබෙන්නෙ. ඒ අවස්ථාවේ එහි වගකීම බාර ගෙන මම එක්දහස් නවසිය අනූව දක්වා එහි කර්තෘ ධුරයේ කටයුතු කරනවා. ඊළඟට එතැන් සිට දෙදහස් තුන වසර දක්වා බිරිඳ රස සුවඳ පුවත්පත් සමඟත් එක්වී කටයුතු කරනවා. පසුකාලීනව දිවයින පුවත්පතටත් ඉතා සමීපව කටයුතු කළා. එහිදී ගාමිණි සුමනසේකර, චන්ද්‍රසිරි දොඩංගොඩ, අනුර සොලමන්ස් වැනි මහත්වරුන්ගෙන් ලැබුණු සහය විශාල යි

යොවුන් පහන් වැටේ ආලෝකය ඔබේ නිර්මාණ කාර්යය ඔපවත් කළා නොවේද ?

ඇත්තෙන්ම. එදා මුල් කාලයේ යොවුන් ජනතා පුවත්පතේ යොවුන් පහන් වැට විශාල ආලෝකයක් වුණා. එය මගේ නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. එවකට එහි කර්තෘ ධුරය දැරූ ධර්මසිරි ගමගේ මහතා අපේ නිර්මාණ ජීවිතය ට විශාල මඟ පෙන්වීමක් එක් කළා. ඒ ඇරැඹුම ඔස්සේ අප ගිය දුර විශාලයි.

‘පස්වෙනි බබා’ ඔබේ කාව්‍ය ප්‍රකාශනයේ හොඳ ඉසව්වක්. මෙය ඔබ පැහැදිලි කර දෙන්නේ කොහොමද ?

මේක නූතන පුරුෂයකුගෙ හරස්කඩක්. එක් පැත්තකින් කවියකුගෙ යුතුකම ඒ යථාර්ථය පෙන්වා දීම. තවත් පැත්තකින් මේ සමාජ අර්ථ ක්‍රමයේ පරිහානියේ වින්දිත කොටස්කරුවන් ඔබ පැවසූ විදිහටත්. හැබැයි මිනිසෙකු විදිහට තියෙන්න ඕන ප්‍රමිතීන් ටිකක් ගැනත් මම වෙනම හිතනවා. මම හිතනවා මිනිහකුට හොඳ ප්‍රමිතීන් ටිකක් අවශ්‍ය යි කියල ඕනෑම තත්ත්වයක් තුළ ස්වයං සංවරයක් තිබිය යුතුයි කියල මිනිසකුට. මෙතන දි මට පෙන්නන්න ඕන වුණේ ස්ත්‍රියකගෙ පැත්තෙන් ඇය මුහුණ දෙන අනාරක්ෂිතභාවය අවසානයේ ඇය තනි වෙනව. හැම කාන්තාවක්ම බිරිඳක් ම සහෝදරියක් ම උපක්‍රමශීලි වීම අවශ්‍ය යි ආරක්ෂා වීම අවශ්‍ය යි. මට මේකයි මේ බොහෝ වියමන් ඔස්සේ පැහැදිලි කරන්න ඕන වුණේ . පස්වෙනි බබා එහි නිරූපණයක්. (වරෙන් හීන්සැරේ කාව්‍ය සංග්‍රහය)

එතකොට කවියා සහ කවි බස අතර සම්බන්ධය සියුම් හා තියුණු එකක් විය යුතුයි කියා ඔබ සිතනවා ද ?

කවියේ ආත්මය අනුභූතියයි. ඒ වගෙම භාෂාව යි. එතකොට ඒ අනුභූතීන් ට ගැළපෙන භාෂාවන් විවිධයි. ඒ තෝරා ගැනීම නිවැරැදිව කළ යුතුයි. ඒක තමයි කවියකුගෙ මෙහෙවර.

නූතන කවිය ගැන ඔබේ අදහස මොකක්ද ?

සමාජය ට ඉතා ඉක්මනින් පණිවිඩයක් දෙන්න පුළුවන් හොඳම මධ්‍යයක් විදිහට අද කවිය ප්‍රබල වෙලා තියෙනවා. හරියට ප්‍රබල චිත්‍රයකින් වගෙම. ඉතින් ඒ පාර දිගේ හරි ලස්සන ට ගමන් කරන්න කවියකුට පුළුවන්. මම මගෙ කවි ඔස්සේත් වියමන් කරන්නෙ ඒ පණිවිඩ යි. ඒක සොබාදහම ද, ජීවිතය ද ආදරය ද පවතින සමාජ ආර්ථික ක්‍රමයේ ස්වරූපය ද ඕනැම එකක කතාවක් විය හැකියි. කවියකුට ඕන ඒක කියන්නයි. කියන්න පුළුවන් සියුම් ම විදිහට ඔහු එය වියමන් කරන්න උත්සාහ කරනවා.

වසර හතළිහකට පසු ඔබේ කාව්‍ය කෘති ත්‍රිත්වයක් එකවර එළිදැක්වීම සිදුවනවා නේද ?

ඔව්. ඒක විශේෂ අවස්ථාවක්. දෙදහස් විසි තුන වර්ෂයේ පොත් තුනක් නිර්මාණ විදිහට එළි දකිනවා. ‘උඹට වඩා මං රතුයි’, ‘මිනී කපන්නාගේ දියණිය’, ‘ඇඩ්‍රස් නෑ අම්මෙ අපට’ කියන ග්‍රන්ථ තුනම එකවර නිකුත් වෙන්නෙ අවුරුදු හතළිහකට පසුව වීම විශේෂ යි.

වරෙන් හීන් සැරේ, ශාර්වරී නිකුත් වුණේ මේ වසරෙ. එතනදි අපි අර කලින් කතා කරපු දේවල්, කවිය ඔස්සේ කවියකු ලෝකය ට කියන්න උත්සාහ කරන දේ මම කළේ. ඒ නිර්මාණ තුළ අපි කතා කළ හැමදේම අන්තර්ගතයි. ඒ එක් එක් අනුභූතීන් ඇතුළෙ අපේ හැමදේම අඩංගු යි.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT