නිවස විශේෂාංග කවදා හරි ලෝකයේ හොඳම තාත්තා වෙන්න අම්මා මට නිතර කීවා

කවදා හරි ලෝකයේ හොඳම තාත්තා වෙන්න අම්මා මට නිතර කීවා

සුමනා නෙල්ලම්පිටියගේ පුතු මහේෂ් කල්‍යාණ ගුණතිලක කියයි

by Mahesh
October 10, 2024 12:30 am 0 comment

– කෙනකුට උදව්වක් කරල ලබන සතුටට එහා ගිය සතුටක් මම කවදාවත් අපෙ අම්මාගෙන් දැකලා නැහැ
– අපෙ අම්මා ළඟ තිබුණු ගුණයහපත්කම් කියා නිමකරන්න බැරි තරම්
– අපේ අම්මා මට මෙහෙම කියනවා..ඔය විභාග අරන් ලබන සම්මාන විශිෂ්ට සම්මාන වලටත් වඩා මට හොඳටම වටින්නෙ මගෙ දරුවො හොඳ පුරවැසියන් විදිහට රටේ ජීවත් වෙනව දකින්නයි
– අපේ අක්කා කියන්නෙම අපේ දෙවැනි අම්මා .. අම්මා නැතිවුණාට පස්සෙ අනේ අපිව උස්මහත් කළේ අපව හොඳින් බලාගත්තෙ අපේ අක්කා..
-නන්දා

” අපෙ අම්මා ළඟ තිබුණු ගුණයහපත්කම් කියා නිමකරන්න බැරි තරම්. කෙනකුට උදව්වක් කරල ලබන සතුටට එහා ගිය සතුටක් මම කවදාවත් අපෙ අම්මාගෙන් දැකලා නැහැ.. දුකක් කියාගෙන ගෙදරට ආපු කිසිම කෙනෙක් හිස් අතින් නම් කවදාවත් යවලා නැහැ….ඒ උතුම් මනුස්සකම අපෙ අම්මා හැමවිටම ආදර්ශයෙන්ම අපට කියා දුන්නා…”

මෙවර ඔබට හමුවන අපේ සොඳුරු කතා නායිකාව පිළිබඳ ආදරණිය මතකයන් තවමත් එලෙසින් ම ලාංකේය ජනසිත්සතන්හි නිදන්ව ඇතැයි අවිවාදිතය.. ඒ නාමයද ඒ රුවද තවමත් හැම සිතකටම ආශක්තය…..

ඕ තොමෝ ළගන්නා සුළු මෝහණීය හඬ ස්වරයකින් රටටම ආමන්ත්‍රණය කළ සම්මානිත ප්‍රකට නිවේදිකාවකි..

නොඑසේනම් ප්‍රථමයෙන් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙසින් නමක් දිනා අනතුරුව විද්්‍යුත් නාළිකාවක ආගමනයත් සමඟින් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව ලෙසින් බුහුමනට පාත්‍රවූ ඇය සුමනා නෙල්ලම්පිටිය මහත්මියය.

ගුවන් විදුලියේ සහ රූපවාහිනියෙන් තවත් ඔබ්බට යමින් රටපුරා එකල පැවැති විවිධ ප්‍රසංග ආදියෙහි මතු නොව එතෙර රටවල් ගණනාවක ප්‍රසංග ආදී විවිධ අවස්ථාවලදී වේදිකාවේදී ඇයගේ හඬ සිරිතට හිමිවූයේද අද්විතීය ස්ථානයකි…

සරසවිය පාඨක ඔබට එතුමිය පිළිබඳ තතු විමසා කියන්නට ඇය සොයා ගිය ගමනේදී අපට හමුවූයේ ඇයගේ ආදරණිය පුත්‍රරත්නය වන ශ්‍රී ලංකා එයාර් ලංකා සමාගමේ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සේවයෙහි නියුතු මහේෂ් කල්‍යාණ ගුණතිලක මහතා ය..හෙතෙම තම ගෞරවනීය මෑණියන් පිළිබඳව තවත් බොහෝ දේ කියන්නට වූයේ හද ජනිත ආදරයද මුසුවූ බිඳුණු ස්වරයෙනි.

“අපෙ අම්මා ගැන…කියන්න නම් ගොඩාක් දේ තියෙනවා..ඒත්…..”

අපේ ආදරණිය මහේෂ් බිමබලාගත්වනම ය..කියන්නට බොහෝ දේ හිත ඇතිද එහැම කියාගන්නට තරමි සවියක් ඔහු තුළ නැතිවාක් මෙනි..

හද උපන් මතක වේදනාවන් ඊට හරස් වී ඇතැයි මට හැඟේ..

“සුමනා නෙල්ලම්පිටිය ”

එදා වේදිකාවටද නැතිවම බැරි සරල සුගම ආශ්වාදනීය බසින් සුවහසක් රසික දනන් ආමන්ත්‍රණය කළ ඒ රම්‍ය හඬ සිරිත හැම හිතකම අසිරිමත් වූ සැටි!

එදා ඇය වටකරගත් රසික දනන් ඇයට පළකළ ආදරයද මා මතක තිරයෙහි දැනුදු දිග හැරෙයි.

මම මහේෂ් දෙස බලමි…ඔහු සිය කටහඬ යළි අවදි කරන්නේය.

“මට තවමත් මතකයි..මම එතකොට උසස් පෙළ විභාගයට සූදානමින්.. අපෙ අම්මා මට මෙහෙම කියනවා..ඔය විභාග අරන් ලබන සම්මාන විශිෂ්ට සම්මානවලටත් වඩා මට හොඳටම වටින්නෙ මගෙ දරුවො හොඳ පුරවැසියන් විදිහට රටේ ජීවත් වෙනව දකින්නයි.. මයෙ පුතේ..ඔයා දවසක තාත්තෙක් වේවි. ඒ තාත්තා ලෝකේ හොඳම තාත්තා කෙනෙක් වෙලා ඉන්නවා නම් ඒක තමයි පුතේ මට තියෙන ලොකුම සතුට….”

” අපෙ අම්මා ඒ ඔවදන් මට ඒ කාලෙ නිතර කිව්වා…”

” උණුවන හිතක් අම්මා ට තිබුණෙ…තවත් කෙනෙකුගෙ දුකකදී එයාට පිහිට වෙන ඕනෑකම අම්මා ළඟ ඉහළින්ම මම දැක්කා..අපෙ අම්මා කියූ වටිනා කතා අනේ අදටත් මට ඇහෙනව ඇහෙනව වගේ…”

අපේ සොඳුරු කතා නායිකාව දෙදරු මවකි. ඇයගේ එකම දියණිය දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කල්පා යසෝදරී මහත්මිය ය..ඇයගේ ආදරණිය සැමියා උපුල් ගුණරත්න ය..මා හා ආදරණිය සංලාපයක පසුවන මහේෂ්ගේ බිරිඳ මධූ භාග්‍යා පෙරේරා මහත්මියද තම නැන්දනිය පිළිබඳ දක්වන්නේ අපරිමිත ස්නේහයකි. මේ දෙපළගේ දියණිය හෙවත් සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ ආදරණිය සිඟිති මිනිබිරිය ටියාෂා තම මිත්තණිය සිහිපත්ව තවමත් ඉකිබිඳීන්නීය.

මහේෂ් සමඟ පසුවන මේ කතාබහ අතරට සිනාමුසු මුහුණින් යුතුවම එක්වූයේ තවත් ආදරණිය මහත්මියකි. ඕ අපේ කතා නායිකාවගේ පවුලේ බාලම සහෝදරිය හෙවත් ඇගේ පුංචි නංගී වන නන්දා නෙල්ලම්පිටිය මහත්මිය ය…

තම වැඩිමහල් සහෝදරිය පිළිබඳ කතාබහේදී ඇය දෑස නැඟි කඳුළු මට රහසේ වසන් කරන්නට වෑයම් කරන්නීය.

“අපෙ පවුලේ දෙවැන්නිය තමයි මගෙ ලොකු අක්කා සුමනා කියන්නෙ..එයා තමයි අපි හැමෝගෙම දෙවැනි අම්මා වුණෙත්..”

නන්දා මහත්මිය කියන්නීය..

සුමනා උපන්නේ කොළඹ ..කළුබෝවිලය. එව්ජින් කල්දේරා සහ ගුණදාස නෙල්ලම්පිටිය දෙපළට උපන් දූ දරුවන් අටදෙනකු අතරින් දෙවැන්නිය වූයේ නෙල්ලම්පිටිය පතිරණ ආරච්චිගේ සුමනා නෙල්ලම්පිටිය නම් කතා නායිකාවය…ඇය ඉපදුණේ 1944ක්වූ මැයි මස 23 දාය.

මේ දරු පවුලේ පළමුවැන්නා සුමතිපාලය. දෙවැන්නී සුමනා වූ අතර තෙවැන්නා බන්දුලය. ඊළඟට රංජිත්ය. පස්වැන්නිය වූයේ ලලිතාය..සමරවික්‍රම සයවැන්නාය. සරත් සත්වැනියාය. පවුලේ බාලම දැරිය වන අටවැන්නිය වනුයේ සමඟ පිළිසඳරට එක්වූ නන්දා නෙල්ලම්පිටිය ය.

“අපෙ අක්කා මුලින්ම ගියෙ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට..ඉන්පස්සේ සුජාතා බාලිකාවෙත්…ගෝතමී බාලිකාවටත් ඉගෙනුමට ගියා…”

පාසලේ ඕනෑම අවස්ථාවකට පැකිළීමකින් තොරව ඉදිරිපත් වන ඇය පාසලේ විවිධ ශිෂ්‍ය කණ්ඩායම් සමඟ එක්ව තරඟාදියටද සහභාගිව දස්කම් දැක්වූවාය.. නෙට්බෝල් ශූරියකද වන ඕ තොමෝ වඩාත් කැපී පෙනුණේ කථිකත්වයටය..

“අපෙ අක්කාට ඕනම දෙයකට පුදුම උපන් හැකියාවක් තිබුණෙ…”

දැන් සුමනා උසස් පෙළ විභාගයට සූදානම් වූවාය. එහෙත්…සිදුවූයේ අවාසනාවෙකි…

“අනේ ඔව්..අපෙ අක්කාට බණ්ඩාරවෙල පාසලක කථික තරඟයකට යන්න අවස්ථාව ලැබුණා. ඉතින් තනියට ගියේ අපෙ අම්මා. එහෙ සීතල ඔරොත්තු දීල නැහැ. අසනීප වුණා. කොළඹට ආ ගමන් අමාරු වෙලා රෝහලට ඇතුළත් කළාම අනේ අපෙ අම්මා හෘදයාබාධයකින් නැතිවුණා…”

සිය බිරිඳ වයසින් අවුරුදු 44දී පමණ මියයාමත් තම ව්‍යාපාරික කටයුතු අතර හා දරුවන් අටදෙනකු රැකබලා ගන්නට සිදුවීමත් නිසා ගුණදාස තාත්තා දැඩි සිතැත්තකු තරම් වී…

” තාත්තෙ…තාත්තාගෙ වැඩ එහෙමම කරගෙන යන්න.. මං නංගිල මල්ලිලා ගැන බලා ගන්නම්. ඒ ගැන සිතන්න එපා”

තාත්තා තම ලොකු දියණියගේ එබස් අසා සන්සුන් වූවාසේය.

එතැන් සිට පවුලේ දෙවැනි අම්මා වූයේ අපේ ආදරණිය සුමනාවෝය…තමන්ට වයසින් බාල සහෝදර සහෝදරියන් දඟය..කවන්නට පොවන්නට නාවන්නට ගේ වටේ දිව යා යුතුය..මහත් වෙහෙසක් දැරිය යුතුමය..

“අනේ අපට සලකන්න අපව හදාගන්න මහන්සි වුනාට අක්කා අපට වෙනසක් කළේම නැහැ..ඒත් අනේ අපේ නොදන්නා කමට ඒ කාලෙ අපි අක්කාට දුන්න කරදරය ගැන නම් අද පපුව වාවන්නේම නැහැ..”

ඒ අන්තිම වචන ටික නන්දා කීවේ ඉකිබිඳුමකිනි. අපේ කතා නායිකාවට ගුවන් විදුලියේ කටහඬ පරීක්ෂණයකට යෑමට අවස්ථාව සැලසුණිද ඊට තාත්තා හරහට සිටියේය. ඒ අම්මා ද නැති තම ලොකු දුව මහපාරේ යවන්නට ඇති අකැමැත්ත නිසාමය. එයට ඉල්ලුම් පතක් යොමුකොට අවස්ථාව සලසා දුන්නේ පසුකලෙක ලොකු අයියා සුමතිපාල මහතා සමඟ විවාපත් ව ඇයගේ නෑනණ්ඩියක වූ ශ්‍රීමතී ය.

“තාත්තෙ මං අපෙ දරු පවුලම වෙනුවෙන් කැප වෙන්නම්. යුතුකම් කරන්නම්.. මේ රස්සාවට මට යන්න දෙන්න”

ලොකු දුවගේ එබසින් සංවේදී වූ තාත්තා වහා තම අවසරය දුන්නේය..ගුවන් විදුලියේ නිවේදිකාවක ලෙසින් සුමනා පත්වූයේ එලෙසය. දැන් ඕ ගුවන් විදුලියේ රස්සාවටද යමින් නංගිලා මල්ලිලාද රැකබලා ගනිමින් තම යුතුකම් ඉටුකරමින් කල්ගත කරන්නීය…ඇයට ඇවැසි ගුරුහරුකම් ලබාදෙන්නේ ගුවන් විදුලියේ දයා ද අල්විස් මහත්මියය. පසුකලෙක ප්‍රේමකීර්ති ද අල්විස්..තිලකා රණසිංහ..අමෝමා වත්තල්දෙනිය..නිරංජලා සරෝජිනී..ආදීහු ඇයගේ සමීපතමයන්ම වූහ…ඇයගේ නැන්දා දයා නෙල්ලම්පිටිය මහත්මිය ද එවක ගුවන් විදුලියේ විශිෂ්ට විරිදු ගායන ශිල්පිනියක වූවාය..

සිරිලක හාපුරා කියා ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භවීමත් සමඟ එහි ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වන්නට වරම් ලද්දේ ද මේ සොඳුරු කතා නායිකාවමය..

එකල මැදපෙරදිග ගල්ෆ් යුද සමය පැවැති අවධියේ එහි රටවල් රැසක වෙසෙන ලාංකිකයන් වෙනුවෙන් දියත් කළ මැදපෙරදිග ගුවන් විදුලි සේවය හරහා ඇය ඉටුකළ මෙහෙවර අගනේමය…

“අපේ අක්කා…අපට මහා ගෞරවයක් වගේම අපට ආඩම්බරයක් ”

මෙතෙක් නිහඬව පසුවූ අපේ ආදරණිය නන්දා එසේ කියන්නීය. නිවේදිකාවක හා වැඩසටහන් නිෂ්පාදකවරියක වූ සුමනා ස්වෙච්ඡා සංවිධානයක් හා එක්ව පින්සාර කටයුතුවලද නියැළෙන්නීය…මහරගම පිළිකා රෝහලේ ලොව අතහැර යන්නට ආසන්නයේ පසුවන රෝගී දරුදැරියන්ගේ සිත් සුවපත් කරන්නට වෙහෙසුණේ මෙලෙසිනි…එම දූ දරුවන් හා සමීපව පසුවෙමින් ඔවුන්ගේ කැමැත්ත විමසන්නීය…

“මට ජනාධිපති මාමා එක්ක පින්තූර ගන්න ඕනා…”යි එක් දරුවකු කියන කල අනෙක් විවිධ දෑ ඉල්ලා සිටිති.. මේ වැඩසටහනට ඇය තැබූ නම වූයේ ” ර්ක එධ්ඉඩ්” ය. ඒ අයුරින් ම ඕ මියෙන්නට දින වකවානු ඇතිවම හිඳීනා අහිංසක දූ පුතුන් වෙනුවෙන් මහා මෙහෙවරක යෙදෙන්නීය..

” අපෙ අම්මා ඒ දරුවන් වෙනුවෙන් කළ කැපවීම නිසා අසීමිත සතුටක් ලැබුවා….ඒ වගේම ඒ දරුවන් ගැන පුදුම විදිහට අම්මා කම්පා වුණා…”

ඒ ටික අපට කීවේ ද ඈ පුත් මහේෂ් ය..

මේ අතරේදීමය ඇයට ඈ දිවිමගෙහි ආදරයේ අත්වැල හමුවන්නේ..

ඔහු නමින් හේමචන්ද්‍ර ගුණතිලකය…ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරියකු වූ හේමචන්ද්‍ර මහතා සමඟ වසර කිහිපයක ප්‍රේම සබඳතාවකින් අනතුරුව සුමනා ඔහු සමඟ විවාහ දිවියට එළැඹුණාය..එම විවාහයෙන් ඔවුන්ගේ සොඳුරු කැදැල්ලට එකතු වූ දරු දෙදෙනා වන්නේ මහේෂ් කල්‍යාණ පුතු සහ කල්පා යසෝදරී දියණියය..

එවක ගුවන් විදුලියේ පිබිදෙන ගායක පරපුර..ඇතුළු එකල ජනප්‍රිය වැඩසටහන් රැසකම ප්‍රධාන නිවේදිකාව සේම වැඩ සටහන් නිෂ්පාදිකාව වූයේද ඇයමය..

” රස්සාවට යන්නට ගමනක් බිමනක් යන්නට කදිමට හැඩවැඩ වෙන සුමනා කැන්ඩියන් සාරියෙන් සැරසී කොණ්ඩය හැඩට බැඳ නංගිලා දෙසට හැරී මුවපුරා සිනාසී අසන්නේ මේ ටිකය.

“ලස්සනට ඇන්දාම මං හරි හැඩයි නේ…”

සැබැවින්ම ඕ තොමෝ රූමතියකි.

කලාභූෂණ ඇතුළු තවත් වටිනා සම්මාන රැසකින් පිදුම් ලද ඕ එකල විශිෂ්ට කාන්තාවකට පිදෙන අග්‍රගන්‍ය සම්මානයක් වන වනිතා අභිමානී සම්මානයටද පාත්‍ර වූවාය…

ඕ තොමෝ ගුවන් විදුලියේ සේවයෙන් විශ්‍රාම ලද්දාය…දැන් ඇයට ඇති ඉහළම සැනසිල්ල වන්නේ තම ආදරණිය පුතු මහේෂ්ගේ සිඟිති දියණිය ටියාෂාගේ සුරතල් දැකීමය. කතා ඇසීමය.. දියණිය කල්පා යසෝදරී සිය සැමියා හා දරු දෙදෙනාද සමඟ දුරු රටකය….ඒද කල්පා දියණිය නිතර අම්මාගේ සුවදුක් විමසන්නීය..

” අපෙ අක්කා මල් වවන්න හරිම ආසයි. දවසක්දා බැල්කනියෙදි අක්කා වැටුණානෙ..”

එයද කීවේ පුංචි නංගී නන්දාය.

ඉන් ඇයට තත්ත්වය බරපතළ වී සැත්කමකටද බඳුන් කරවූවාය.. ඉන් සුවයක් ලැබූවද එයද කෙටි කලකටය.. ඕ ගතින් දුර්වලය…..ඇවිද යන්නට හැකිවුවද නැවත තමන් වැටුණොත් යැයි බියෙන් ඈ ආධාරයකින් ගෙතුල පියමැන්නාය.

ඈ තවතවත් රෝගාතුරව පසුවන්නීය.

“අසනිපයක් කියල දෙයක් නොතිබුණත් අපෙ අක්කා අසනිප වුණානෙ..”

පුංචි නංගී නන්දා කියන්නීය..

සුමනා නෙල්ලම්පිටිය මහත්මිය නිසල වූවාය..වෙනදා මෙන් නොව නිදාගත්වනම පසුවන ආච්චි අම්මා දකිනා පුංචි දියණිය ටියාරා ඈ වටා යමින් දෑත් එකතු කොට වැඳ වැටෙන්නීය.

“ආච්චි අම්මා ඇයි නැගිටින්නේ නැත්තේ..”

ටියාරා හැමදෙනාගෙන්ම විමසන්නීය…

” මම කොහොමද ලොකු අක්කෙ කියල මං අහද්දි මට පරිස්සමින් ඉන්න කියලත් අක්කා මට කිව්වා”

නන්දා තම හැඩුම් ආයාසයෙන් මැඩගන්නීය…

සුවහසක් රසික දනන්ගේ නොමඳ ආදරයටම පාත්‍ර ව ගුවන් විදුලියෙන් රූපවාහිනී තිරයෙන් ප්‍රේමනීය කතා සිරිතෙන් රටක් මෝහනය කළ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය කිසිවකුටවත් නොකියා නොදන්වා නොඑනා ගමන් යන්නට වූයේ 2024 ක්වූ අගෝස්තු මස 08 වනදාය…

අමල් යශෝමන් ජයසිංහ සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT