” මම මගේ දරු පවුල වෙනුවෙන් සියළු යුතුකම් වගකීම් ඉටුකළ ගැහැනියක් හැටියට මම ඉහළින්ම තෘප්තිමත් වෙනවා…මගෙ ජීවිතයේ පළමු තැන මගේ පවුල් ජීවිතය..කවදාවත් මම මගේ පුද්ගලික ජීවිතයයි රංගන ජීවිතයයි දෙක පටලවාගෙන නැහැ…”
” මම යහපත් බිරිඳක් ..මවක්…කියන අභිමානයක් මා තුළ තියෙන්නෙ..මං ඒ හැම අතින්ම හරිම වාසනාවන්තයි…”
ඕ තොමෝ සිනමා රිදී තිරයේද..වරෙක රූපවාහිනී තිරයේද…තව වරෙක වේදිකා නාට්‍යයේද සිය රඟ සෝභාවෙන් සහසක් රසික සමූහයාගේ ආදරය තමන් කෙරෙහි ඇදබැඳතබාගන්නට සමත් වූ රූපණවේදිණියක යැයි කිවහොත් එය වඩාත් නිවැරදි යැයි හැඟේ…
පිළියන්දල පැලැන්වත්ත ග්‍රාමයේ නිවසන මේ අපේ කතාවේ සොඳුරු කතා නායිකාව සොයා යනවිටද ටෙලි නාට්‍ය දෙකක රූගතකිරීම් අහවර කොට නිවසට පැමිණියා පමණෙකි…
සුන්දරනීය සිනාවකින් අප පිළිගත් ඕ මා සමීපයේ අසුනකට බරදුන්නේ වඩාත් සතුටු මුවින් සරසවිය පුවත්පතටද කෘතවේදි වෙමිනි..
” දැන් මගේ රංගන ජීවිතයට අවුරුදු 40කටත් ආසන්නයිනෙ..”
ඈ තවමත් කාගේත් සිත්ඇදගන්නා සුලු අව්‍යාජ සිනාවතිනි..
මහීපාල මුදියන්සේලාගේ ශ්‍රියා මල්කාන්ති ජයසිංහ ඇයගේ උප්පැන්නයේ සඳහන් නමය…රටතොට සේම කලා ලොවද මැනවින් ඇය හඳුනන්නේ මල්කාන්ති ජයසිංහ නමිනි.
කොළඹ ..කිරුලපන ප්‍රදේශයේ ආනන්ද රාජා මිල්ටන් ජොෂුවා සහ ලීලා ජයසිංහ යන ආදරණිය මවුපිය දෙපළට හිමි දියණියන් දෙදෙනා සහ පුතුන් දෙදෙනකුද අතර පවුලේ වැඩිමහල් දියණිය වූයේ අපේ සොඳුරු කතා නායිකාව වන මල්කාන්ති ජයසිංහ ය…
අපේ ආදරණිය මල්කාන්තිගේ ලොකු මල්ලි ආනන්ද ෂිහාන් රන්ජිත්ය..ඊළඟට ඇයගේ නැගණිය වූයේ ශර්මිලා නිලානිය..පොඩි මල්ලි වන රාජේශ් ශිරාන් හේමන්ත පවුලේ බාලම දරුවාය..
සිනාමුසු මුහුණින් යුතුව පසුවන අපේ කතා නායිකාවට මම සවන් දෙමි.
” මමනෙ ඉතින් පවුලේ වැඩිමලා ..බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුමට ගිහින් 6 වසර සිට 13 වසර දක්වා මම ඉගෙන ගත්තෙ හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ …”
යැයි පැවසූ ඕ හදිසියේ යමක් මතක් වූවාක් මෙන් අතකින් මුව වසා හිනැහෙන්නීය..
” මට ඒ කාලෙ මතක් වෙලා හිනාගියේ ..මොකද..මගෙ ඇස්දෙක උපතින් ම දුඹුරු ඇස්නෙ..බළල් ඇස් කියන්නෙ..ඒ වගේනෙ..ඉතින් ඉස්කෝලේ ළමයින්ගෙ වැඩේ මට හොර බැළලි..කිය කියා ඔච්චම් කරන එකමයි…මම ඒ කාලෙ කිසිම දෙයකට ඉදිරිපත් නොවී මුළුගැන්විලාම හිටපු චරිතයක් ..එතකොට මම ඉහළ පන්තිවල..ඔන්න ඒ කාලෙ තමයි බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භය වෙනුවෙන් සුසිලා ගුරුතුමිය අපෙ පාසලට ආවෙ…”
බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමී විවිධ ක්‍රියාකාරකම් සඳහා සුසිලා ගුරුතුමිය ළමුන් යොමුකරද්දී අපේ ආදරණිය මල්කාන්තිට හුරු මුළුගැන්වී සිටීම නොදැනීම අතහැරුණි..ගුරුතුමියගේ උපදෙස් අනුව යමින් ඇයද ක්ෂණික රංගනය..භාෂණය…ගායනය..ආදී විවිධ ක්‍රියාකාරකම් වලදී ළමුන් අතර කැපී පෙනෙන ශිෂ්‍යාවක බවට පත්වූවාය.
” ඇත්තමයි..අමල්..මටත් යමක් කරන්න පුළුවන් කියලා මටම අවබෝධ කරගන්නට අවස්ථාව ලැබුණෙ මේ අතරේදීයි. ගුරුතුමියට වගේම අනික් අයටත් තේරුණා මට පුළුවන් කියන දෙය..”
ඇය කියන්නීය..
පාසලේ වසර අගදී පැවතියේ සාහිත්‍යය උළෙලය..ඊට වේදිකා නාට්‍ය යක්ද ඇතුළත්ය..මෙතුවක් නිහඬව පසෙකට වී බලා සිටීමට හුරුව හුන් අපේ ආදරණිය කතා නායිකාව ඉදිරියෙනි..
” ඔව්..අමල් ..මට මතක හැටියට ඒ නාට්‍යයේ නම මනමාලයා..මම රඟපෑවේ පිරිමි චරිතයක්..අන්තිමේදි ඒ පිරිමි චරිතය රඟපෑ මට හොඳම නළුවාට හිමි සම්මානයද හිමිවුණා…මට පුළුවන් කියන අදහස තවත් මගෙ හිතේ පැලපදියම් වුණා .”
ඈ තමන් හිඳසිටි අසුනේ හරිබරි ගැසෙන්නීය.
අපේ ආදරණිය මල්කාන්ති උසස් පෙළද හමාරකොට කොළඹ..ඊ.ඒ.පී සමාගමේ රැකියාවකට පිවිසුණාය..
දිනෙක ඈ අත පත්වූ සරසවිය පුවත්පතේ පළ වී තිබූ දැන්වීමක් දැක ඕ නැවත නැවත එය කියවන්නට වූවාය..
” ආචාරිණී සෝමලතා සුබසිංහ මහත්මිය මෙහෙයවන නාට්‍යයක් නරඹා රසවිඳීන්නේ කෙසේදැයි පිළිබඳ වැඩමුළුවකට තරුණ තරුණියන් බඳවා ගැනේ .”
අපේ ආදරණිය මල්කාන්ති වහා නියමිත දිනයට එතැනට ගියාය..එහිදී ළමුන් 25 දෙනකු ඒ සඳහා තෝරාගත් අතර අපේ කතා නායිකාවට ද ඊට අවස්ථාව ලැබිණි.
” ඒ වැඩමුළුව නිසා මම දිරිමත් වුණා..ජීවිතේ විඳීන හැටි ඉගෙන ගත්තා ..”
එහිදී ආචාරිණී සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ නාට්‍යය පුහුණු වැඩසටහන්ද අතරේද ඇය සිටියා ය..
“මේ අතරේදි තමයි චිත්‍රපට අධ්‍යක්ෂ පතිරාජ එල්.එස් දයානන්ද මහත්මයා ඇවිත් මාව එයාගෙ වාර්තාමය චිත්‍රපටයකට තෝරා ගත්තෙ…ඒ වෙද්දි ම සුබසිංහ මහත්මියගෙ විකෘති නාට්‍යයටත් මාව තෝරා ගත්තා.. පස්සෙ සුබසිංහ මහත්මියගෙ නාට්‍ය ගණනාවකට මාව ගත්තා…ම්..ම් මට මතක හැටියට 83 වසරේ මුල වගේ…”
මෙලෙසින් රංගන සිරිත සිරිමත් කළ අපේ සොඳුරු කතා නායිකාවට සිරිල් වික්‍රමගේ..නිහාල් ප්‍රනාන්දු දැවැන්ත රංගවේදීන් සමඟ රඟපෑමේදී සිතට යම් චකිතයක් ඇතිවුණිද එය පසුව මගහැරී ගිය බවද කියන්නීය…
” එතකොට මං හිතන්නෙ මට වයස 25ක්වත් නැතිව ඇති..සෝමලතා සුබසිංහ මහත්මියගෙ නැන්දම්මා හැටියට වැඩිහිටි චරිතයක් රඟපෑවා..මට නම් අභියෝග කප්පරක් ලැබුණා කියලයි හිතුණෙ..ප්‍රදීපා ධර්මදාසයි මමයි එවිට ආධුනික අයයි..කොහොම හරි මට අත්දැකීම් රාශියක්ම ලැබුණා ..පස්සෙ රංජිත් ධර්මකීර්ති මහත්තයාගෙ නාට්‍ය වලටත් සම්බන්ධ වුණා..”
අපේ ආදරණිය මල්කාන්ති කියන්නීය..
කේ.බී.හේරත් ශූරීන්ගේ දෝන කතිරිනා වේදිකා නාට්‍යයෙන් ඕ හොඳම නිළිය සම්මානයට පාත්‍ර වූවාය..ටෙලි නාට්‍යය රංගනයටද පිවිසි ඇය හොඳම නිළිය සහ සහය නිළියට හිමි සම්මාන රැසකින්ද පිදුම් ලැබුවාය..
අපේ කතා නායිකාව සිනමා රංගනයට එක්වෙමින් “දොරකඩ මාරාව” තුළින් සම්මාන දෙකකට හිමිකම් කීවාය. ඕ.සී.අයි.සී සහ ජනාධිපති සම්මානද ලබමින් නැගී එන නිළියක ලෙසින් සම්මානිත වූවාය…ඇයගේ පළමු ටෙලි රංගනය සුර අසුරය…ඒ 1987 දීය.
ඕ තොමෝ ඈත බිමබලාගත්වනම පසුවන්නිය..තමන් පැමිණි ගමන් මඟට වැදී මතකයන් අතර නිමග්නව ඇතැයි මට සිතේ .ඈ වහා මදෙස බලන්නීය..
” දන්නවද අමල් ..ඇත්තටම මට රංගන ජීවිතයේ දී නානාප්‍රකාර චරිත ලැබුණා..මම ගොඩක් සතුටින්…ඇත්තටම මං හරි වාසනාවන්තයි..මගෙ දරුවන් පොඩි කාලෙදි නම් රඟපෑමෙන් හුඟක් දුරස්ව හිටියේ ..”
ඈ මුවපිරුණු සිනාවෙනි.
මේ වනවිට ඕ සිනමා සිත්තම් 12 ක පමණ රඟපා ඇත්තේය. ටෙලි නාට්‍ය රඟපෑ ගණන සියයකට එහාය..
” මම රංගන කලාව කළාට අනේ අමල් මම ඒවා ලියලා ලේඛන ගතකරලවත් නැහැ…මට එහෙම උවමනාවක් තිබුණෙත් නැහැ..ඒ මගේ හැටි .ලැබෙන චරිතයට උපරිම සාධාරණය කරන්න උත්සාහ කරනවා මිසක් මේ..මේ ඒවා කියල ලියා තියන්න ඕනා කියන අදහසක් නම් හිතට ඇවිල්ලත් නැහැ..” යැයි මා විමසූ පැනයකට පිළිතුරක් ලෙසින් එසේ පවසන්නට වූ ඇය මදෙස බලාසිට අවසන කීවේ…
” මං වෙන අය වගේ නෙවි. මං ටිකක් වෙනස් ගැහැනියක් ..මම නිළියක්..මං ජනප්‍රිය චරිතයක් කියලා ඔළුවට අරන් ජීවත් වෙන්න මට එදත් ඕනවුණේ නැහැ. අදත් ඕනවෙලා නැහැ..මගෙ ඇඳුම් පවා ගෙදරදි මමමයි මසා ගන්නෙ…ඔය එක එක මෝස්තර මට අගය නැහැ. කොටින්ම මල්කාන්ති ජයසිංහ කියන්නෙ නිළි වෘත්තියයි පුද්ගලික ජීවිතයයි කවදාවත් පටලවා නොගෙන ගමනක් යන සරල කෙනෙක්..”
ඕ තිර හඬකින් කියන්නීය.
අපේ ප්‍රකට නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ ගුරු මහත්මිය යටතේ අපේ මල්කාන්ති සමීපතම ශිෂ්‍යාවකි…එතරම් කුලුපගය…සුබසිංහ මහත්මිය සමීපයේ සිට ඇයගේ නාට්‍ය වැඩමුළු ආදියෙහිදී සිසු සිසුවියනට ශාරීරික ව්‍යායාම් පිළිබඳ උපදෙස් ලබාදෙමින් එහි පුහුණුව ලැබදෙන්නේ ලාල් චන්ද්‍රසිරි මහතාය..කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආචාර්යවරයකුද වන හෙතෙම ප්‍රකට නිර්මාණවේදී සුදත් රෝහණයන්ගේ ටෙලි නිර්මාණ වලටද එක්ව රඟපෑමෙන් දායක වූවෙකි.
ඔහු තමන් දෙස උනන්දුවෙන් බලා සිටින බව අපේ මල්කාන්ති ට හැඟී ගියද එය නොතකා ඇය සුබසිංහ මහත්මිය සමග එක්ව සිටියාය..
” මල්කාන්ති …මට වැදගත් කාරණයක් ඔයාට කියන්න තියෙනවා . “යැයි දිනෙක ඔහු ඇයට එසේ කීවේය..
” අනේ ඔව්..එයා කෙලින්ම මගෙන් ඇහැව්වා එයාව කසාද බඳීන්න කැමතිද කියලා .මම එයාගෙ දිහා බලා හිටියා ..මං මුකුත් ම කීවෙ නැතිව .”
ඇය වහා සුබසිංහ මහත්මියට ඔහු කළ යෝජනාව කිවාය…
” ආ .එහෙමද..හොඳයි..හොඳයි..එයාගෙ ගෙදරිනුත් එයාට මනාලියක් හොයනවනෙ…”
සෝමලතා සුබසිංහ මහත්මිය කීයේ ඒ ටිකය.
ඔහුට විරුද්ධ වන්නට ඇයට හේතු නැති..
” අපෝ මම එයාව හඳුනාගත්ත කියල මං කලබල වුනේ නැහැ..මං ඉඩමක් අරන් ගෙයක් හදල තමයි ලාල් ව කසාද බැන්දෙ…”
අපේ කතා නායිකාව මල්කාන්ති සහ ලාල් චන්ද්‍රසිරි දෙපළගේ විවාහය සිදුවූයේ 1992 ක්වු මැයි මස 21 වනදාය..
ඒ ආදරණිය විවාහයෙන් ඔවුනට දුවක සහ පුතෙකු තිළිණ විණි ..දැනට උසස් අධ්‍යාපනය ලබන අමන්දි නවෝද්‍යා ආදරණිය දියණියය.. මව ගත් මඟ යමින් කුඩාවියෙහිදී රංගනයටද එක්වූ හිරණ්‍ය චන්ද්‍රගුප්ත පුතු විවාහකය…
” මගෙ පුතාගෙ මෝනා නැතිවුණානෙ..ඉතින් පුතාගෙ පුතාව මාස 10 දි ඉඳන් මම තමයි රැකබලා ගන්නෙ…”
අපේ ආදරණිය මල්කාන්ති සෘජු ගුණයෙන් යුතුම බව හැඟෙන්නේ ඇයගේ අව්‍යාජ කතාබහය…ආටෝප සාටෝප බහුල ඇතැමුන් අතරේ අපේ සොඳුරු කතා නායිකාව සරල දිවිපෙවෙතකට නැඹුරුව පොළවේ පය ගසා ජීවත්වන තැනැත්තියක යැයි කීම අතිශයෝක්තියක් නොවේ..
” මම මෙතෙක් ආපු ගමන ගැන හිතනකොට මං හරි වාසනාවන්තයි. වෘත්තීය පැත්තෙන් වගේම මගේ ගෙදර ජිවිතය පැත්තෙනුත් මම බොහොම තෘප්තිමත් ගැහැනියක්..එදා පටන් පවුලේ යුතුකම් නොපිරිහෙලා මම අදත් ඉටු කරනවා …”
” මට මේ හැමදේටම වඩා වටින්නෙ මගෙ පවුල..මට කවුරුවත් තරහකාරයො නැහැ…මොකද..විශේෂයක් නැහැ..කවුරුත් මට සමීපයි. මමත් එහෙමමයි”
එකහුස්මට මෙන් ඈ එසේ කියන්නීය.
” අනේ කවදාවත් අපේ ලාල් මට කලා කටයුතු වලට යන්න එපා කියලා නැහැ ”
මා ඇසූ පැනයකදී ඈ කීවේ ඒ ටිකය..
ඇයගේ කාර්ය බහුල රංගන ජීවිතය අතර ගුවන් විදුලියේ හඬකැවීම් ශිල්පිනියක ලෙසින් ද කටයුතු කරන ඈ ස්වර්ණවාහිනී ..හිරු..සිරස ශ්‍රී එෆ්.එම් ආදී මාධ්‍ය ජාලාවල නාට්‍යය හා කාටූන් චිත්‍රපට වෙනුවෙන් සිය කටහඬ දායකත්වය ලැබදෙන්නීය..
නිසග කලා කුසලතා කිහිපයකටම සමත් අපේ ආදරණිය මල්කාන්ති ලැබූ ජනප්‍රියත්වය…ජයග්‍රාහී ගමන් මග පිළිබඳව උදම් අනන්නියකද නොවේ…බුදුදහම කෙරෙහි භක්තිවන්තියක වන ඕ තොමෝ බුදුදහම ඇසුරින් සිය අධ්‍යාත්මික සුඛාස්වාදයද ප්‍රගුණ කරන ඈ කීවේ සිත රාග ද්වේෂ මෝහ යන මලකඩ තට්ටු තුන හඳුනාගතහොත් මියෙන්නට පෙර සෝතාපන්න මගඵලයට හෝ නිසැකවම පැමිණිය හැකි බවය..
” මේ මගේ වෘත්තීය …ඒත් මේ මිහිමත සියල්ල නිස්සාර බව හොඳීන් අවබෝධයට ගෙන මම ජීවත්වන බවද ඇය කියන්නීය.
ඇයගේ ප්‍රේමණීය සැමියා ලාල් චන්ද්‍රගුප්ත මහතා රෝගාතුර වූයේය…හැමදේ අතහැර ඕ ඔහු වෙනුවෙන් වෙහෙසුණාය…අවසානයේ ඇයගේ දහිරියෙන් ඔහු සුවපත් වූයෙන් ඇය මහත් සතුටට පත්වූවාය…
ඒ සතුට ඇය සන්තකයේ රැඳී තිබුණේ තවත් කෙටි කලෙකි. ඔහු අසනීප කිහිපයකින්ම රෝගාතුර වී ගිලන් යහනටම ඇද වැටුණේය..ඔහු නැවත සුවපත් කරගැනීමේ වෙහෙසද අපතේ ගියාසේය. ඇය නෙත කඳුළින් බරවූවාය..
” අවුරුදු විස්සක් මහත්තයා එක්තැන් වී උන්නා..ගොඩගන්න හැදුවත් බැරිව ගියා . දැනට මාස තුනකට පෙරදි මහත්තයා අපට නැතිවුණා ”
ඇය ඒ ටික කීවේ බිමබලාගත්වනම ය…ඈ හඬ බිඳුණු ස්වරයකි .
මම කතාව වෙනතකට යොමු කළෙමි.
“ඔව්. අමල් ..මිනිසා සහ කලාව දෙකක් නෙවෙයිනෙ. සාහිත්‍යය කලාව තමයි සමාජයට මග පෙන්වන්නෙ..කලාව තුළින් මිනිසුන්ව හැමතින්ම දැනුම්වත් කළ හැකියි. ඊට අදාළ වෘත්තීයක මම නිරතව ඉන්නෙ..”
” මා සමග නව පරපුරේ අයත් රංගනයේ යෙදෙනවා. තරුණ පරපුරටයි අද හැමදේම අයිති .මිනිස්සු කිීවාම අමල් එකිනෙකාට වෙනස්නෙ..ඒකනෙ ස්වභාවය..විවිධ සිතුම් පැතුම් ..හැසිරීම් ..මේවා මට සාපේක්ෂව බැලුවත් කිසිවක් සමග නොගැටී තමන්ගෙ කොටස කළානම් එතැනයිනෙ තෘප්තිය..”
ඇය කියන්නීය..
” අනේ මට ඉතින් ලොකු බලාපොරොත්තු අපේක්ෂා ඔය එකක්වත් නැහැ..මම කවදාවත් ඉලක්ක හඹාගෙන යන කෙනෙකුත් නෙවි ..මගෙ දරුවන් මට එක…මගෙ අධ්‍යාත්මික සුවය…ඒ හැර මට අනාගතයට කියා කිසිම ඉලක්කයක් නැහැ..මේ දක්වාම මට ලැබුණු දේවල් මිස මම කිසිවක් පස්සෙ හඹාගෙන ගිය ගැහැනියක් නම් නෙවෙයි. මම තෘප්තිමත් ගැහැනියක්. අදටත් මම රඟපානවා..ඩබින් වලට යනවා…මං මෙහෙම කියන්නම්කො ..
” මං නීරෝගිව ඉන්නකම් මම කලාවේ රැඳී ඉන්නවා..”
අපේ සොඳුරු මල්කාන්ති ජයසිංහ නම් ජ්‍යේෂ්ඨ රූපණවේදිණියගෙන් සමුගන්නට නැගී සිටියෙමි.
” එදා වගේම සරසවිය පත්තරේට අපි අදටත් ආදරෙයි…”
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ