ගෙවුණු සති දෙක තුන පුරා කලා ලෝකයේ ආදරණීය හිත මිතුරන්, කලාවට අති මහත් වූ සේවයක් කළවුන් කිහිප දෙනෙකුගේම වියෝව සනිටුහන් කරන්නට අපට සිදුවිණ. ජීවිතය අනියත බව බුදු වදනින් පවසා තිබුණද මෙසේ සමිපතමයන්, හිත මිතුරන් ගේ වෙන්ව යෑම දරා ගැනීම දුහුනන් වන අපට එක්තරා අන්දමකට සංවේගයට කාරණාවකි.
පසුගිය සති කිහිපයේ අප අතරින් වියෝ වූ කලාකරුවන් අතර ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා, ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ, ප්‍රවීණ අංගරචනා ශිල්පි වසන්ත විට්ටච්චි, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්යක්ෂ සන්තුස ලියනගේ ආදින් විය. අපෙන් සදහටම සමුගෙන ගිය මේ පිරිස ඔවුන්ගේ මතක හැමදා අප අතර තබා නික්ම ගොස්ය. ඔවුන් සිටි තැන් යළි එවන් මිනිසුන්ගෙන් පුරවන්නට අපිට කෙදිනකවත් නොහැකිවනු ඇත. ඒ මන්ද ඔවුන් ඔවුන්ටම ආවේණික වූ ගමනක් නිර්මාණය කර ගනිමින් මෙරට ප්‍රේක්ෂක සිත් සතන් හි ලැගුම් ගත් නිසාවෙනි. මා එසේ කියනුයේ ඔවුන් ඒ ඒ චරිතවලට ආවේණික වු ලක්ෂණයන් සමඟින් එකී හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් අපට සිටියේ එක් අයෙකු පමණක් නිසාවෙනි.
වසන්ත විට්ටච්චි කෙනකු යළි අපට කෙදිනකවත් හමු නොවනු ඇත. එසේම අමිතා වැදිසිංහ වැනි ගායන ශිල්පිනියකගේ හඬ පෞරුෂය යළිත් කිසිදු දිනක අපට ඒ අයුරින්ම හමු නොවනු ඇත. කුමාරි පෙරේරා යනුද ඇයටම ආවේණික වූ රංගන අනන්‍යතාවයක් නිර්මාණයක් කරගත් රංගන ශිල්පිනියකි. ඇය මෙරට ප්‍රේක්ෂකයන් නැලවූ ආකාරයෙන් යළි කිසිදු දිනක කිසිවෙකුට ප්‍රේක්ෂකයන්ට සමීප විය නොහැකි වනු ඇත. එසේම මෙරට රූපවාහිනි මාධ්‍ය කලාවේ සුවිශේෂි ගමනක නියුතු වූවකු ලෙසින් අපෙන් සමුගත් සන්තුස ලියනගේද හඳුන්වාදිය හැකිය. ඔහු මෙරට රූපවාහිනි නාට්‍ය කලාව නව මානයකින් හඳුන්වා දෙමින් රුපවාහිනි ප්‍රේක්ෂක රසඥතාවය වඩවාලන්නට නිර්මාණකරණයෙහි නියුතු වූවෙකි. මෙකී සියලු දෙනාම මෙරට කලාවේ විවිධ අංශයන් නියෝජනය කළවුන්ය.
ඔවුන්ගේ සමුගැනිමේ ශෝකය තුරන් වි යන්නටද මත්තෙන්, තවත් එවන් රංග පෞරුෂයක් අපෙන් සමුගෙන ගිය වග සනිටුහන් කරනුයේ ඉමහත් කම්පාවෙන් යුක්තවය. ඇය මෙරට රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගේ අහිංසකාව ලෙසින් විරුදාවලි ලබමින් ආලින්දයේ රූප පෙට්ටිය හරහා ප්‍රේක්ෂක සිත්වලට සමීප වූ තැනැත්තියකි. ඇය සුසන්තා චන්ද්‍රමාලිය. මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ඇයටම අනන්‍ය වූ රංගන විලාසයක් ගොඩනඟාගෙන සිටි ඇය, පසුගිය සතියේ අපෙන් සමුගත්තේ කාලයක් පුරා රෝගි තත්වයකින් පෙළි සිටිමෙනි. මේ වකවානුව වනවිට සුලබව දක්නට ලැබෙන පිළිකා රෝගී තත්වයට ගොදුරු වුණු ඈ කාලයක් පුරා පිළිකා මාරයා සමඟ සටන් කරමින් ජීවත් වූවාය. අප ඉපදුණා නම් කොයි මෙටෙහාතක හෝ මේ ජීවිතය හැරපියා යායුතුය. ඒ සමුගැනිමේ මොහොත ඇය කරා පසුගිය සතියේ දිනක පැමිණ තිබිණ.
සුසන්තා චන්ද්‍රමාලි නම් වූ ඇගේ සුරූපි රුව මා නෙත මුලින්ම ගැටුණේ 1980 දශකයේ අග භාගයේදී රූපවාහිනී තිරයට පැමිණි විජය ධර්මශ්‍රී ගේ ‘ චාරුලතා’ ටෙලි නාට්‍යයෙනි. එවකට පාසල් සිසුවියකව සිටි මම ඇගේ ශෝභන මුව මඬලට බෙහෙවින් පෙම් බඳින්නට වූවාය. එක් වරක් දුටු පමණින්ම සිතේ තැන්පත් වන අවිහිංසක නෙත් යුගලක් ඈට හිමිව තිබුණි. චාරුලතා හි චාරුලතා නම් වූ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ චරිතය නිරූපණය කරමින් තිරයට පැමිණි මේ රුව එවකට රූපවාහිනි ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය විය. සුසන්තාගේ නම වෙනුවට එකල ඇය බොහෝ දෙනෙක් අමතන්නට වූයේ ‘චාරුලතා’ නමිනි.
සැබවින්ම චාරුලතා යනු සුසන්තාගේ රංගන දිවියේ කඩඉම විය. ඇය කලා ක්ෂේත්රයට පැමිණ, ප්‍රේක්ෂක ජනාදරය දිනා ගන්නා මුල්ම ටෙලි නාට්‍යය වූයේ ‘චාරුලතා’ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ සුසන්තාගේ මවුපියන් වූයේ සමරවීර අබේසිරි නාරායන වනිගරත්න සහ චන්ද්‍රා දේවේන්ද්රය. ඔවුන් දෙදෙනාට දාව එම පවුලට උපන් වැඩිමල් දියණිය වූයේ සුසන්තාය. ඇගේ මවුපියන් ඇයට උප්පැන්නයට නම දුන්නේ අබේසිරි නාරායන සුසන්තා චන්ද්‍රමාලි යනුවෙනි. සුසන්තා ඉපදුණු වලස්මුල්ල ග්‍රාමය එවකට සොබා සෞන්දර්යයෙන් අනූන සුන්දර ගම් පියසකි. මෙම ගම් පියසේ සොබා සොඳුරු පරිසරයේ ආස්වාදය ලබමින් හැදී වැඩුණු ඇය, වලස්මුල්ල මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරුවාය. අ.පො. ස උසස්පෙළට පෙනී සිටීමෙන් පසු, එවකට රට පුරා අතිශය ජනප්‍රිය වූ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත යෞවන සමාජ සමඟ එක්වන සුසන්තා එහි ක්‍රියාකාරි සාමාජිකාවක වුවාය.
පාසල් වියේ පටන්ම කලාවට දක්ෂතාවයක් දැක්වූ ඇය, පාසල් වේදිකාවටද එවකට සම්බන්ධ වූවාය. උඩරට නැටුම් කලාවද ප්‍රගුණ කර සිටි ඇය විවිධ අවස්ථාවනිහි ඒ සඳහාද දස්කම් දැක්වුවාය. සුන්දර ගම්මානයක සුපිපුණු මේ රුව ඇති පුෂ්පය මෙරට ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරලීම පිණිස ජාතික තලයට එනුයේ අහම්බයකිනි. එසේ නොමැතිව ඇය කිසිදු දිනක නිළියක වීමේ හීනයක නොසිටි තැනැත්තියක බව වරක් ඇය ප්‍රකාශ කර තිබිණ.
1986 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාවෙන් පැවති ‘යොවුන් කුමරිය’ තේරීමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නේ සුසන්තාය. ජාතික තරුණ සේවා සභාව සමඟ සම්බන්ධව සිටි යුගයේ ඇයට ශී‍්‍ර ලංකා – කැනඩා මිත්‍රත්ව හුවමාරුව යටතේ කැනඩාවට යෑමට ශිෂ්‍යත්වයක්ද හිමිවිණ. ඒ හරහා ඇය සුවිශේෂී අත්දැකිම් රාශියක්ද හිමි කර ගත්තාය. ඇගේ රංගන දිවියේ ආරම්භයට හේතුවන්නේ ඇය යොවුන් කුමරිය ලෙසින් අභිසෙස් ලැබීමය. ඒ වෙනුවෙන් පැවති රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වූ ඇය දුටු ප්‍රවීණ රංගවේදී ඩග්ලස් රණසිංහ ඔහුගේ ‘රන්මසු උයන’ ටෙලි නාට්‍යයේ රංගනය සඳහා ඇය තෝරා ගන්නේය. රන්මසු උයනට රංගන දායකත්වය ලබා දුන්නද ඇයගේ තිරයට පැමිණි ප්‍රථම නිර්මාණය වූයේ ‘චාරුලතාය’. කෙසේ වුවද පළමු නිර්මාණයෙන්ම ජනතා ආකර්ෂණය දිනා ගැනීමේ වාසනා මහිමයක් ඇය සතු විය. එතැන් සිට ඇගේ රංග කාර්ය මෙරට බොහෝ ටෙලි නාට්‍ය වෙනුවෙන් පිරිනැමිණ. මේ අතර ‘කන්දේ ගෙදර, චරිත තුනක්, කප් රුක, කුමාරයාණෙනි, ඉසුරු දිය, අපේ කාලයේ ගැහැනියක්, ඉරබටු තරුවක්, අඳුරු රැය, සංගිලි පාලම, ගංගා සහ නිශ්ශංක, වනවදුලේ වසන්තය, සිව් සිය ගව්ව, සඳ ගිනිගත් රාත්‍රිය, මැද ගෙදර, ඉසිර භවය, බිදුණු සිත් ඇතුළු දිර්ඝ ටෙලිනාට්‍ය නාමාවලියක් වේ.
මේ අතරින් ‘කන්දේ ගෙදර‘ වැනි ටෙලි නාට්‍යයක ඇගේ රංගනය අදටත් ප්‍රේක්ෂක මනසින් ගිලිහි නොමැත. කන්දේ ගෙදර බාලපුතු ලෙස රංගනයෙන් එක්වූ ජැක්සන් ඇන්තනී ගේ බිරිඳ ලෙසින් ඇය කළ රංගනය මේ මොහොතේත් මට මතක් වේ.
සුසන්තාට මුල් කාලයේ බොහෝ විට ලැබුණේ ගැමි සුන්දරත්වය විදහා දක්වමින්, අහිංසක ගැමි යුවතියකගේ භූමිකාව නිරූපණය කිරීමටය. එක් යුගයක ඇය මේ අවිහිංසක චරිතවලම සිරවී සිටියාය. එහෙත් පසුකලෙක ඇය ධනවත්, කුලවත්, සැර පරුෂ කාන්තා චරිතයන්ටද එක්විය. රංගන ශිල්පනියක වශයෙන් විවිද චරිත නිරුපණය කිරිමේ හැකියාව ඇය සතු විය. මේ හැකියාවන් සියල්ල ඇය උපතින් ලද හැකියාවන් මිස කිසිදු ආයතනයකින් හෝ පුහුණුවකින් ලද දෙයක් නොවිය.
පසුකලෙක ඇයට සිනමාවේ යම් යම් චරිත නිරූපණයන් සඳහාද දායක වන්නට අවස්ථාව හිමි විය. ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘සුදු සෙවණැලි’ ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සරෝජා’ සුදත් දේවප්‍රිය ගේ ‘උඩුගං යාමය’ වැනි චිත්‍රපට විය. මේ චිත්‍රපට හරහාද ඇය සිය රංගන ප්‍රතිභාව මොනවට විදහා දැක්වූවාය.
විජය ධර්මශ්‍රී ගේ ‘අපේ කාලයේ ගැහැනියක්’ ටෙලිනාට්‍යයේ ඇය කළ රංගනය වෙනුවෙන් 1989 වර්ෂයේදී පැවති ඕ.සී.අයි. සී සම්මාන උළෙළින් නිර්මාණාත්මක රංග කුසලතා වෙනුවෙන් සම්මානද දිනා ගත්තාය.
සුසන්තා විවාහ දිවියට එළඹෙන්නේ 1990 වර්ෂයේ දීය. ඇගේ ගම් ප්‍රදේශයේම උපන් තරුණයකු වූ ජී.එම්. ලියනගේ (කුමරුත්) සමඟ පාසල් වියේදිම ඇති වූ ප්‍රේම සබඳතාවයක් මත විවාහ දිවියට එළඹෙන ඇය දියණියකගේ ආදරණිය මවක් වූවාය. සිනමා හා ටෙලි නාට්‍ය නිළියක වන තිසුරි යුවනිකා ඇගේ ආදරණීය එකම දියණියයි.
නිළියක වශයෙන් ජනතාවගේ ආදරය, ආකර්ෂණය දිනාගෙන සිටි සුසන්තා එක්තරා කාලයක මෙරට දේශපාලනයටද සම්බන්ධ වූවාය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිටි අවධියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මුල්කිරිගල ආසනයට තරග කිරීමෙනි.
කෙසේ වුවද, පුරා දශක ගණනාවක් සිය රඟ සොබාවෙන් මෙරට ප්‍රේක්ෂක ජනතාව නැළවූ ඇය පසුගියදා සදහටම දෙනෙත් පියා ගත්තේ කලා ක්ෂේත්රය පුරා ඇය වෙනුවෙන් වෙන්වුණු ඉඩකඩට විශාල හිස් තැනක් ඉතිරි කරමිනි.
සුසන්තා ඔබට නිවන් සුව!
හේමාලි විජේරත්න