උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව විසින් වනයේ කඳුකරය අසබඩ පිහිටි දියඇල්ලක ඉහත්තාව අසල නතර වෙයි. ඇගේ ගෙලෙහි ඇති ඇට මාලය ගලවා බිළින්දා ගෙලෙහි පලඳවයි. බිළින්දා නොනවත්වා හඬයි. බිළින්දාගේ හඬත්, දියඇල්ලේ ජල පහරේ හඬත් අනුනාද වෙයි. ඊළඟට රූපය ජේදනය වන්නේ එකවරම මව විසින් බිළින්දා දියඇල්ලෙන් පහළට දමන සමීප රූපයකිනි. බිළින්දා දියඇල්ලේ ගල තලාවන් දිගේ ලිස්සා ගොස් අතුරුදහන් වෙි. මව වහා දිවයන්නේ මීදුමින් වෙළාගත් මන්දිරයක් බඳු පල්ලියක් වෙතට ය. එය විසල් පල්ලියක් බව සංඥා කරන්නේ දිගු රූපයකිනි. මව විසින් පල්ලියේ ලී දොරට තට්ටු කර පවසන්නේ තමන් මනුෂ්‍ය ඝාතනයක් කළ බවයි. පල්ලියේ ඇතුළත සිටින යමෙකු ඇයව ඇතුළට පැමිණෙන්නැයි සංඥා කරයි. ඇය සිදු කළ ඝාතනය වෙත දඬුවම් ලබයි. දඬුවම වන්නේ අංග ජේදනයයි. ඇඟිලි, හිස, අත් කපා දමයි. නූතනයේ සිදු වූ සිදුවීමක පුනරූපණයක් නොවේ. 18 වැනි ශතවර්ෂයේ ඔස්ට්‍රියාවේ එක් ගම්මානයක සිදු වූ සත්‍ය ඛේදවාචකය පිළිබිඹුවක් බව ප්‍රේක්ෂකයාට අවබෝධ කරවයි. මේ The Devil’s Bath’ ඔස්ට්‍රියානු චිත්‍රපටයේ ආරමිභයයි.
The Devil’s Bath’ චිත්‍රපටය ඕස්ට්‍රියාවේ අතීත සංස්කෘතික කාරණා පෙරදැරිව කළ නිර්මාණයකි. ජර්මානු භාෂාව කතා කරන මධ්‍යම යුරෝපයේ සහ ස්කැන්ඩිනේවියාවේ 17වන සහ 18වන සියවස්හිදී සංස්කෘතික සමාජයක් පිළිබඳ චිත්‍රපටය හෙළිදරව් කරන්නට උත්සාහ ගනියි. ඕස්ට්‍රියානු ජන සමාජයේ මුල්බැසගෙන තිබූ විවාහ චාරිත්‍ර, දඬුවම් ක්‍රම, දිවි පැවැත්ම පිළිබඳ සාධක රැසක් නිරූපණය වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘ඇග්නස්’ නමි තරුණියයි. ඇය විවාහ වන්නේ ‘වුල්ෆ්’ නමැති පුද්ගලයා සමඟයි. විවාහ චාරිත්‍ර වෙනස්ය. පල්ලියේදි හෝ යමෙකු ඉදිරියේ විවාහ ගිවිස ගැනීම හෝ දිවුරුම් දීම වැනි විවාහ චාරිත්‍රමය ක්‍රියාවක් සිදු කරන්නේ නැත. ඇය පුටුවක තබා, රෙදි කඩකින් ඇගේ හිස වටා දවටයි. ඉන් අනතුරුව ඇගේ අතට ළදරුවකු සංකේතවත් කරන පුළුන්, රෙදිවලින් සැකසු ව්‍යාජ රූකඩ බිළිඳකු ලබා දෙයි. ඉන් සංකේතවත් වන්නේ විවාහයේදී සාරවත් දරුඵල ලැබේවි යැයි යන විශ්වාසයි. ඇය විවාහ වන මනාලයා වමි පසින් සිටගෙන සිටියි. මොවුන් දෙපළ ඉදිරියේ විවාහ උත්සවයට ආ ගමිවැසියන් අත්පොළසන් දෙයි.
මනාලියගේ කාර්යය අවසන්ව වෙනත් චාරිත්‍රයකට විතැන් වෙයි. ඒ මනාලයාගේ චාරිත්‍රය ඉටු කිරීමය. මනාලයාගේ දෑස් රෙදි කඩකින් බඳීයි. ඔහුව දෙවරක් තුන්වරක් කරකවා, ඔහු අතට වැනෙන පොල්ලක් වැනි ආයුධයක් ලබා දෙයි. ඉන් අනතුරුව ඔහු සිදු කළ යුතු කාර්යය වන්නේ තාම ඉදිරියේ ඇති ගැට ගැසු කුකුළාව එස ආයුධයෙන් ගසා මරා දැමිය යුතු ය. මනාලයාගේ චාරිත්‍රය එපමණ ය. මේ 18-19 සියවස්වල යුරෝපයේ තිබු මංගල චාරිත්‍රයකි. චිත්‍රපටයේ අප දකින සියලු චාරිත්‍ර වාරිත්‍ර, අභිචාර විධි ද එම යුගය සවිස්තරාත්මක කරයි. ඔවුන්ගේ ජීවිත ගෙවුණේ ධීවර කටයුතුවලිනි. ගංගා ද්‍රෝණිවල සිටින මසුන් ඇල්ලීමෙනි. මසුන් මැරීම පිරිමින් පමණක් නොව කාන්තාවන්ද සිදු කළහ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස ඇග්නස්ගේ භූමිකාව තුළින් ඇය සංඥා කරන දේවල් කිහිපයක් තිබේ. ඇග්නස්ගේ වින්දිකයකු ලෙස ඇගේ විවාහ දිවිය තුළින් ලබන අතෘප්තකර පීඩාකාරී බව සහ ආත්මය සෝදාපාළුවට ලක්වීම ඉස්මතු කරයි. දැඩි පුරුෂාධිපත්‍යයට නතු වු සමාජයක ඇග්නස් වැනි වින්දිත ස්ත්‍රීයකට සවන් දීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හඟවන අදහසකි.
The Devil’s Bath’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඔස්ට්‍රියානු සිනමාකරුවන් දෙපළක් වන ‘වෙරෝනිකා ෆ්රාන්ස්’ සහ ‘සෙවරින් ෆියාලා’ විසින්. චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත්තේද මොවුන් දෙපළ විසින්. කැතී ස්ටුවර්ට් විසින් රචනා කළ”Suicide by Proxy in Early Modern Germany: Crime, Sin and Salvation” පර්යේෂණාත්මක කෘතිය ඇසුරින් චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත. මෙවර 97 වැනි ඇකඩමි සම්මාන උළෙලේ ‘හොඳම ජාත්‍යන්තර භාෂා චිත්‍රපටය’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රියාවේ නිල ඉදිරිපත් කිරීම වන්නේ ‘The Devils Bath’ චිත්‍රපටයයි. මොවුන් දෙපළ විසින් 2014 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘Goodnight Mommy’ නමැති මනෝවිද්‍යාත්මක – හොරර් ශානරයේ චිත්‍රපටය 2015 පැවති 88 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර භාෂා චිත්‍රපටය අංශය යටතේ ඔස්ට්‍රියාව වෙනුවෙන් නියෝජනය කිරීමට සමත් විය.
ඓතිහාසික ශානරයේ චිත්‍රපටයක් නිසාවෙන් 18 වැනි ශතවර්ෂයේ පැවති ඔස්ට්‍රියාවේ පැරණි ගම්මානයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට නිෂ්පාදන කණ්ඩායමට සිදුවිය. ගම්මානයේ වෙසෙන ගම් වැසියන් නිරූපණය කිරීම සඳහා ගම්වැසියන් ලෙස අතිරේක නළුවන් 400ක් පමණ යොදාගන්නට සිදු වූ බව චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම පවසනවා.
17 වන සහ 18 වන සියවස්වල යුරෝපයේ, යමෙකුට සියදිවි නසා ගැනීමට අවශ්‍ය වූ විට ඔහු එක් පුද්ගලයකු ඝාතනය කරයි. ඝාතනය කර පල්ලිය වෙත පාපොච්චාරණය කරයි. පාපයෙන් ද පිරිසිදු වූ පසු, ඔවුන් ස්වර්ගයට ඇතුළු වීමට බලාපොරොත්තු වන අතර, සියදිවි නසාගැනීමෙි අපේක්ෂාව ඇයට ලැබේ. ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ලබා දීමෙන් පසුව ඔවුන් පාපයෙන් ගැලවීම අත්කර ගනු ඇති බව විශ්වාසයයි. සියදිවි නසාගැනීම කරවන්නේ තමන් නොව අනුන් ය. එනමි පල්ලියයි. මෙම සියදිවි නසා ගැනීමට තැත් කළ අය බහුතරයක් කාන්තාවන් වූ අතර ඔවුන්ගේ ඝාතන ගොදුරු බවට පත් වූයේ මූලික වශයෙන් දරුවන් ය. ජර්මානු භාෂාව කතා කරන කලාපවල පමණක් මෙම සියදිවි නසා ගැනීම වෙනුවෙන් සිදු කරන ලද ඝාතන නඩු 400 කට වඩා ලේඛනගත කර තිබේ.
‘The Devils Bath’ චිත්‍රපටය මෙම පීඩාකාරීවූත්, මිථ්‍යාමය පද්ධතියට එරෙහිව නඟන විරෝධී ප්‍රකාශනයක් ලෙස හැඳීන්වීම උචිතය. එය ඇග්නස් නමැති කාන්තාවගේ දෘෂ්ටිකෝණය හරහා විරෝධීබව ප්‍රකාශ කරන්නේ සියුමිවය. මානසික රෝගවලින් පීඩා විඳීන්නන්ට එකම විසඳුම ලෙස සියදිවි නසා ගැනීම වැනි තාවකාලික විසඳුමක ඇති ඵල රහිතබවත් නූතන ශිෂ්ටාචාරගත මානව ප්‍රජාවට චිත්‍රපටය විසින් යමි සංඥාවක් නිකුත් කරයි. ‘The Devils Bath’ යනු මිනිස් සිතේ ගූඨ ස්වභාවයත්, සංකීර්ණ සිතුවිලිවලින් ගහණ මනස පිළිබඳ සිනමාලංකාරයකි.
ඉමල්ක විතානගේ