ලංකාවේ කලාකරුවෙක් ප්‍රථම වතාවට මුදල් සපයාගෙන දිවයිනේ උතුරෙන් සහ දකුණෙන් සොයා ගත් ආධුනික සිංහල දෙමළ කණ්ඩායමක් එක වහලක් යටට ගෙන ඉඳුම් හිටුම් සපයා, ආහාර පාන ලබා දෙමින්, නාට්‍යය කලාව ශිල්ප ගන්වා, ගමන් පහසුකම් සපයා , මාසික ආදායමක් ද ලබා දී දිගු කාලයක් පවත්වාගෙන ගිය අයෙකු වේද ඒ නම් පරාක්‍රම නිරිඇල්ල සහ එච්. ඒ. පෙරේරා එකතුවෙන් තැනූ ජනකරළිය ව්‍යාපෘතියේ නාට්‍යය කණ්ඩායම පමණි. පසුගියදා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල ගැන විමසුමකි..
රැල්ල බිඳී ඇල්ල – නිරිඇල්ල
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් නගර මධ්‍යයේ පිහිටි විශාල එළිමහන් ක්‍රීඩාංගණයට පන්දහසකට අධික ජනකායක් රැස්ව සිටී. මේ වර්ෂ 2017, ඔවුන්ගේ වාර්ෂික මහා නාට්‍ය උත්සවයයි. ප්‍රධාන ආරාධිත අමුත්තන් රැගත් පෙරහැරක් මයිසූර් නගර මධ්‍යයේ සිට ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වෙත ළඟාවේ. ධජ පතාක සුළඟට ලෙළදේ. විශාල ජනකායක් පෙරහැර වෙත එබී බලමින් මේ සුවිශේෂී මිනිසා දැක බලා ගැනීමේ නොතිත් ආසාවෙන් පෙළ සැදී සිටියහ. පෙරහරේ මුලින්ම ගමන් ගත්තෝ නැට්ටුවෝ ය. ඉන්දියාවේ ප්‍රාන්ත නැටුම් කණ්ඩායම් නියෝජනය වන පරිදි ඒ ඒ අනන්‍යතාවයන් ඔප් නැංවෙන පරිද්දෙන් ඔවුහු නැටුම් ඉදිරිපත් කරමින් ප්‍රධාන පිඨිකාව වෙත පැමිණෙමින් සිටියහ. පෙරහරේ අග හරියට වෙන්නට මේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති උස් මිනිසා අන් අයට වඩා ඉහළින් දර්ශනය වන බව ළඟ සිටියෝ දුටුවහ. ප්‍රසන්න මුහුණින් යුතු හෙතෙම ප්‍රධාන පිඨිකාව වෙත සම්ප්‍රාප්ත වූ පසු මල් මාලා පලඳවා ඉමහත් හරසරින් පිළිගත්තෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ය., කලාකරුවන්, මැති ඇමැතීන් පිරිවරා පැමිණි ඔහු එකී ප්‍රධාන පිඨිකාවේ ඔහු වෙනුවෙන් පිළියෙල කොට තිබූ උස් ආසනය වෙත කැඳවාගෙන යෑම මයිසූර් රංගායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරන ලදී. හෙතෙම අසුන් ගත් පසු භෛරී නාද මධ්‍යයේ, සම්ප්‍රදායික ලෙස දෙවුර වැසෙන ලෙස ඉන්දියානු සළුව පොරොවා, දෝතට පලතුරු වට්ටිය පිළිගන්වා, තලප්පාව පලඳවා මෙකී උත්සවයේ ආරම්භය සනිටුහන් කරනු පිණිස මෙම නිහඬ උස මිනිසා වෙත තම හද පත්ලෙන් නැගෙන උණුසුම් ළෙන්ගතුකම පුද කරන්නට වූහ. කලාව වෙනුවෙන් තම දිවිය කැප කළ තම අසල්වැසි ශ්‍රී ලංකා රාජ්‍යයේ මහා කලාකරුවාණන් ඔහු ය. සකල ලෝක වාසීන්ටම එකසේ ප්‍රේම කරන එසේ කරන්නට අනෙක් අය පොළොඹවාලන අසංසන්දනාත්මක මහා මානවයා ඔහු ය.
අද “බහුරූපී “වාර්ෂික නාට්‍යය උත්සවයේ ප්‍රධාන ආරධිතයාණන් ලෙස සහභාගී වන එතුමන් වෙනුවෙන් වූ, පිළිගැනීමේ කතා, ගායන, වාදන නර්තන ලීලා ආදියෙන් අනතුරුව කර්ණාටක ප්‍රාන්තයේ ජ්‍යේෂ්ඨ කලාකරුවකු විසින් මේ මහා කලාකරුවාට පුද දීමට නියමිත සම්මානයේ හේතු පාඨය මෙලෙසින් සභා ගත කළේය.
“පරාක්‍රම නිරිඇල්ල වනාහී චතුර් දශකයක් පුරා සාධාරණ හා සංස්කෘතික සමාජයක් නිර්මාණය කිරීමේ දැක්ම සහ පරමාර්ථය ඇතිව කටයුතු කළ මහා පුරුෂයෙකි. වර්ෂ 1974 සිට 1978 දක්වා කණ්ඩායමේ සංවිධායක ලෙස කටයුතු කිරීමේ වගකීම භාරව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වීදි නාට්‍ය කණ්ඩායම පිහිටුවීමට දායක විය. එතැන් පටන් ඔහු නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක කටයුතුවල නිරත විය. වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම එකම උද්යෝගයකින් යුතුව කටයුතු කරමින් ඔහුගේ නිර්මාණ සඳහා ජාතික හා ජාත්‍යන්තර තලයේ බොහෝ සම්මාන ලබා ගත්තේය. මෙම ක්ෂේත්‍ර තුනෙන් පරාක්‍රම වඩාත් ප්‍රියකරනුයේ නාට්‍ය කලා ක්ෂේත්‍රයයි. නාට්‍ය කලාවේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔහු වාර්ෂික සම්මාන උළෙලවලදී වරක් දෙවරක් පමණක් නොව හත් වතාවක් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ජන වාර්ගික ගැටුමේ සන්දර්භයේදී මෙම ප්‍රවීණ කලාකරුවා ක්‍රියා කළ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ අනාගත කලාකරුවනට පූර්වාදර්ශයක් මෙන්ම අප රටේ සියලු ජනතාවට විශිෂ්ට ප්‍රතිරූපයක් ද ලබා දී තිබේ. ඔහුගේ සමාජ සංස්කෘතික දැක්ම හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල උච්ච්චතම අවස්ථාව ලෙස ජනකරළිය රංගායතනය සහ ජංගම රඟහල සැලකිය හැකිය. ජාතිවාදී ගැටුම්වලින් පිරි සමාජ සන්දර්භයක, කළ නොහැකි යැයි මෙතෙක් උපකල්පනය කළ, සංස්කෘතික සහජීවනයේ ආදර්ශමත් ආකෘතියක් ඔහු විසින් හඳුන්වා දී ඇත. ලංකාව පුරා විවිධ වාර්ගික, ආගමික හා සමාජ – සංස්කෘතික පසුබිම් වලින් පැමිණි තරුණ පිරිසක් ඒකාබද්ධ කරමින් ඔවුන් පුහුණු කිරීම, අන්තර්ග්‍රහණය කිරීම සහ ජනවාර්ගික සමගිය සඳහා නිල නොවන තානාපතිවරුන් බවට ඔවුන් පත් කිරීම මඟින් ප්‍රථම, පූර්ණ කාලීන, බහු වාර්ගික නාට්‍ය කණ්ඩායම නිර්මාණය කිරීම ඔහු විසින් ඉටුකරන ලද වටිනාම ජාතික යුතුකම වේ.
මෙම ශ්‍රී ලංකාවේ සංස්කෘතික ක්‍රියාකාරකම් හරහා අපේ ඉන්දියානු සමාජයේ සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා පරාක්‍රම දශක හතරක් පුරා සිය සේවාවන් සාර්ථකව කැප කර ඇත. මේ වනවිට ඔහු තම සමාජ ක්‍රියාකාරකම් වෙනත් ජාතික සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප කරයි. සියල් සපිරි සමාජයක් නිර්මාණය කිරීම සඳහා සංස්කෘතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය යැයි විස්වාස කරන කලාකරුවන් සමඟ ඔහු ශ්‍රී ලංකා ජාතියේ අභිවෘද්ධිය සඳහා එවැනි සංස්කෘතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සමාජ ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරමින් සිටී.
මේ සියලු සද්කාර්යයන් ඇගැයීම උදෙසා දකුණු ආසියානු කලාපයේ මුළු මහත් ජනතාව වෙනුවෙන් මෙම ගෞරවාර්භ සම්මානය, ක්‍රිෂ්ණදාස බණ්ඩාරනායක නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේලාගේ පරාක්‍රම බණ්ඩාර නිරිඇල්ල නම් වූ ඒ මහා කලාකරුවාට පුද දෙන වගයි…!”
අතුරුසිදුරු නොමැතිව පිරීතිරී ගිය මේ මහා විසල් ජන ගඟ දෙස එදා පරාක්‍රම බලා සිටියේය. තමන්ගේ දේශයට අයත් එකෙකු නොවූව ද ඔවුන් මේ පිරිනමනුයේ තම හද පිරි භක්තියයි. ඔහු තුළ පිරී තිබුණේ මානවයා වෙනුවෙන් තවත් මිනිසෙකු හද තුළ ඇතිවිය හැකිවූ අපරිමේය බවයි.
එයට පෙර දිනෙක වර්ෂ 1990 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඔලියන්ස් හි සිනමා ඇකඩමියේ දී එහි නගරාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ඇමෙරිකානු ගෞරව පුරවැසි සම්මානය ඔහු වෙත පුද කරද්දීත් ඔහු තුළ තිබුණේ එකී හැඟීම ම ය.
පසුගිය නොවැම්බර් 07 වැනිදා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය මඟින් දර්ශන සූරී ගෞරව ආචාර්ය උපාධිය මහත් හරසරින් ඔහු වෙත පිරිනැමුවේ ය. මේ ලිපිය ඒ වෙනුවෙනි.
ඡායාරූප ශිල්පය, සිනමාව, වේදිකා නාට්‍යය හා රූපවාහිනී කලාවන් හි ඔහු විසින් දක්වන ලද ප්‍රතිභාව විස්මිතය. නමුත් අද දවසේ අප ඔහු කියවා ගත යුත්තේ, එකී ජයග්‍රහණ හුදු වාසනාව නිසා උදාවූ අවස්ථාවන් ලෙස නොව අපරිමිත කැපකිරීම්, අසීමිත අපේක්ෂාවන් සහ නිර්මාණාවේශයන්ගේ ප්‍රතිඵල ලෙස අත්පත් කරගත් ඒවා ලෙසටය.
පරාක්‍රම කිසිදා තමන්ගේ මව දැක තිබුණේ නැත. ඔහු දැක තිබුණේ තම මව මිහිදන් කළ පස් ගොඩැල්ල පමණි. ඔහු මවු සෙනෙහස උපතින්ම අහිමි වුවකු විය. නමුත් ඔහු යශෝරාවය ටෙලි නාට්‍යයේ දී තම දරුවන්ගේ සියලු දුක් අනුභව කළ සුදු හාමිනේ ලොවට තිළිණ කළේය. පිය සෙනෙහෙ නොවිඳී ඔහු වීරසේකර නිර්මාණය කළේය. බලදේව වැනි චරිත ඔහුට කිසිදා සැබවින් හමුවී තිබුණේ නැත. නමුත් ඔහු බලදේව නිර්මාණය කළේය. වලව්වක ජන්ම ලාභය ලැබුව ද ඔහුගේ හදවත ඉපිලුණේ ඈත පැලක දුකින් ඉදෙන බතක් අභියසය. සිරි මැදුර චිත්‍රපටයේ මහේශාක්‍ය, අහංකාර පරවශ නිර්මලා නිර්මාණය කළ අයුරින්ම වලව්වේ ඉඳුලින් ජීවිතය ගෙතූ, තම දිවියම වලව්ව වෙනුවෙන්ම කැප කරන්නට යෙදුනු ලීලා නිර්මාණය කරන්නටත් ඔහු උගත්තේ විශ්වවිද්‍යාලයකින් නොවේ. ජීවත් වීමෙනි. විසල් සයනයක නිදි සුව විඳීන්නට පින ලැබුව ද, තමන් විසින්ම තම නාට්‍ය කණ්ඩායමේ පිරිස මධ්‍යයේ එළා ගත් පැදුරක් මත රැය පහන් කිරීම ඔහුට රුචි වූයේ ජිවිතයේ සරු නිසරු බව ඔහු හොඳීන් පසක් කොට ගෙන සිටි නිසාය.
වර්ෂ 1974 දී ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකා වට බැඳුණු පරාක්‍රම ට, ධම්ම ජාගොඩ, මහාචාර්ය සුචරිත ගම්ලත්, බන්දුල ජයවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ආචාර්ය ගාමිණි හත්තොටුවේගම වැනි ගුරුවරුන් මුණ ගැසුණි. මනමේ නව නිෂ්පාදනය සඳහා නළු වරණය මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ ධම්ම ජාගොඩ, ජයන්ත අරවින්ද වැනි අග්‍රේසරයන් සිදු කළ අතර , කණ්ඩායම අතර සිටි පරාක්‍රම කිසිදු වගකීමක් නිල වශයෙන් නො ලද්දන් අතර විය. අවම තරමේ තේ සෑදීම වත් ඔහු වෙනුවෙන් නිල නො කෙරිණි. පරාක්‍රම ලද ඉමහත් ආස්වාදය වූයේ මෙම නළුවරණයෙහි පටන් සියලු ම පුහුණු වීම් කටයුතු උදෙසා සහ නාට්‍යය ගොඩනැගීම දක්වා වූ සියලු ක්‍රියාකාරකම් සඳහා සහභාගී වන්නට අවස්ථාව ලැබීම ය. ඔහු ඒ අවස්ථාවෙන් නාට්‍ය කලාවේ සාරය උකහා ගැනුම සඳහා බෙහෙවින් ම කැප විය. සියලු දෙනාට ම පළමුව පුහුණුවීම් ශාලාවට පිවිසෙන ඔහු එයින් නික්ම යනුයේ සියලුම ශිල්පීන් පුහුණුවීම් අවසන් කොට නික්ම යෑමෙන් අනතුරුවය. කෙසේ වතුදු පරාක්‍රම, එහි මංගල දැක්ම දා රංග ශාලාවේ දොරටුවෙහි ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරමින් නිල මෙහෙයක් ඉටු කිරීමේ වරම ලද ද, මහැදුරු සරච්චන්ද්‍රයන් සහ ධම්ම ජාගොඩ සෙවණතෙහි හිඳීමින් රංග භාවිතාව පිළිබඳ වූ ප්‍රාමාණික දැනුමක් නිරායාසයෙන් පරාක්‍රම සතුකරගත් බව පමණක් අන් කිසිවෙක් නො දැන සිටියහ.
පරාක්‍රම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු විය. ඉන්පසුව හේ මිතුරු කණ්ඩායම සමග විවෘත කලා කවය නිර්මාණය කොට ගෙන නාට්‍යය නිර්මාණය සඳහා පිළිපන්නේය. ත්‍රිකුණාමලයේ නාවික මුලස්ථානයේ තම මුල්ම රැකියාවෙන් අනතුරුව පරාක්‍රම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට ද වර්ෂ 1982 ජූලි මස රූපවාහිනී සංස්ථාව වෙත ද සේවය සඳහා වාර්තා කළේ ය.
වර්ෂ 1976 සිට ජාතික සම්මාන බොහෝ ගණනක් දිනූ ,සෙක්කුව ,විනිශ්චය ,” උත්තමාවී “ සහ වර්ෂ 1983 දී සිංහල වේදිකාවට “ගැලීලියෝ “ ගෙන ඒම විශේෂිතය. මෙම නාට්‍යය උදෙසා ශිල්පීන් හැත්තෑ ගණනක් සම්බන්ධ වූ අතර ප්‍රොසීනියම් වේදිකාවේ අත්දුටු විසල් අත්දැකීමක් ද වන්නේ ය. 1995 වසරේ රාජ්‍ය නාට්‍යය උළෙලේ හොඳ ම නාට්‍යය ඇතුළු සම්මාන අටකින් පිදුම් ලබන” වරෙන්තු” වේදිකා නාට්‍යය පරාක්‍රම සහ එච්. ඒ.පෙරේරා හොඳ ම නාට්‍යය අධ්‍යක්ෂණය සඳහා වන සම සම්මානය හිමි කරගත් අතර හොඳ ම නළුවා සහ හොඳ ම සංගීතය සඳහා වන සම්මාන ද එච්.ඒ. ලබා ගත්තේ ය.
පළමුවෙනියා සහ අන්තිමයා කෙටි චිත්‍රපටයෙන් අනතුරුව “සසර සයුරෙන් “ කෙටි ටෙලි නාට්‍යය ද ජාතික රූපවාහිනී සේවය ප්‍රථම වරට නිෂ්පාදනය කළ ප්‍රාසංගික ටෙලි නාට්‍යය වන “ ළා හිරු දහසක් “ ටෙලි නාට්‍යය ද පරාක්‍රම නිර්මාණය කළේය.
“ කඩ ඉම ”ප්‍රේක්ෂකයන් අතර ඉමහත් කම්පනයක් ඇති කළ ඒකාංකික ටෙලි නාට්‍යය වර්ෂ 1987 දී ජාතික වශයෙන් සියලු සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වීමෙන් නො නැවතී ජාත්‍යන්තරය ද ජය ගනිමින් ජර්මනියෙන් ට්‍රාන්ස්ටෙල් සම්මානය ද, බල්ගේරියාවේ “ ස්වර්ණ මංජුසා ජාත්‍යන්තර රූපවාහිනී නිර්මාණ උළෙලේ දී ” නව රූපවාහිනී සේවාවකින් ඉදිරිපත් කරන ලද විශිෂ්ට නිර්මාණයට හිමි වන සම්මානය ද හිමි කර ගත්තේ ය.
වර්තමානයේ දී මෙන් රූපවාහිනී විකාශ විස්සක් තිහක් හෝ ජංගම දුරකථන නොමැති යුගයක” යශෝරාවය“ ටෙලි නාට්‍යය නිර්මාණය කරන පරාක්‍රම, එ තෙක් මෙ තෙක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ විශිෂ්ටතම ටෙලි නාට්‍යයක් බවට පත් වූ අතර ටෙලි නාට්‍ය සම්මාන උළෙල හමුවේ බොහෝ සම්මානවලට පාත්‍ර විය. ටෙලි නාට්‍යය නිර්මාණය කිරීමේ සම්මත මිනුමක් නො පැවැති ලාංකේය ටෙලි නාට්‍ය කලාව ඊට නිර්නායකයක් සොයා ගත්තේ “යශෝරාවය” ඇසුරින් යැ යි පැවසුව ද එහි අරුමයක් නොවේ.
“ මිහිමඬල ගිනි වදී “ “සුදෝ සුදු“ සහ ඒකාංක ටෙලි නාට්‍යය “රන් තෙලඹුව“ වැනි සියල්ලම ඇගයීම් ලද ටෙලි නිර්මාණයන් විය.
සිනමාව උදෙසා වන ඔහුගේ කැපවීම් ඇගැයුණේ වසරේ හොඳ ම අධ්‍යක්ෂණය, හොඳ ම නිෂ්පාදනය, හොඳ ම නළුවා, හොඳ ම නිළිය, හොඳ ම කැමරා අධ්‍යක්ෂණය, හොඳ ම ගී පද රචනය, හොඳ ම ගායනය, හොඳ ම සංගීත අධ්‍යක්ෂණය ඇතුළු සරසවි සම්මාන අටකින් “ සිරි මැදුර” චිත්‍රපටය සම්මානිත භාවයට පත්වීමෙනි. ඒ වසරේ පැවැත්වූ සියලු ම සම්මාන උළෙල වල “ සිරි මැදුර “ බොහෝ සම්මාන ප්‍රමාණයක් අත්පත් කරගත්තේ ය. “ අයෝමා” ඔහුගේ දෙවන චිත්‍රපටය විය.
පරාක්‍රම වනාහී නළුවන් තනන්නෙකි. කිසිදාක කළ නො හැකි යැ යි සම්මත දේ පවා ඔහු වෙනස් හැඩයකින් නිර්මාණය කළේ ය. වේදිකාවේ හුණුවටයේ කතාවේ සුප්‍රසිද්ධ ම අසඩක් චරිතය ඔහු දමිළ කණ්ඩායමේ ශිෂ්‍යයෙකු ලවා නිරූපණය කරවීමත්, ලෝකප්‍රකට මකරා චරිතය ඈත ගමක කෝලම් නිරුපණය සඳහා හැකියාව තිබූ තරුණයෙකු ලවා නිරූපණය කරවීමත් ලාංකේය වේදිකාවේ මානෙල් ජයසේන විසින් නිරූපිත විශිෂ්ටතම රංග වින්‍යාසය වන ගෘෂා, බොගවන්තලාවේ දමිළ තරුණියක ලවා නිරූපණය කරවීමේ ඇඟ කිළිපොලා යන ආකාරයේ තේරීම ද ඔහු ගේ මේ තීන්දු ගැනීමේ අප්‍රමාණ හැකියාව ප්‍රකට කරන්නකි. විස්මයට කරුණ වන්නේ ඔහු එකී තීන්දු ගැනීම නොව එකී ශිල්පී ශිල්පිනියන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගැනීම දක්වා ම ඔවුන් මෙහෙයවීම ය.
ජනකරළිය රංග යාත්‍රාව වෙනුවෙන් සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් ඔහු නිර්මාණය කළ සෙක්කුව, චරන්දාස් , මැටි කරත්තය, හුණුවටයේ කතාව, මකරාක්ෂයා, ඇතුළු නිර්මාණ හැටකට අධික සංඛ්‍යාවක් වේ. ඒවා දේශීය සහ ජාත්‍යන්තර රඟ මඬල අතික්‍රමණය කළ විශිෂ්ට නිර්මාණ විය.
ජපානයේ පැවැත්වූ 26th competition of films and videos on japan ජාත්‍යන්තර තරඟාවලිය ජයග්‍රහණය කළේ ලංකාවෙන් පරාක්‍රම විසින් ඉදරිපත් කළ ජපන් නෝ නාට්‍යය සහ කබුකි නාට්‍යය පිළිබඳ වාර්තා වැඩ සටහනය.
යුනෙස්කෝවේ අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ cooperetive membership සමාජ වෙනසක් සඳහා වූ රංග භාවිතාව (Theatre for social change) නමැති ව්‍යාපෘතියෙහි ලේකම්වරයා පරාක්‍රම විය. එක්සත් ජාතීන් ගේ අරමුදලින් සහය ලබන ආස්ථානයකට ජනකරළිය ව්‍යාපෘතිය ඔසොවා තිබිණි. වර්ෂ 2013 දී ලෝකයේ ම සංස්කෘතික ක්‍රියාදාමයන් පිළිබඳ ඇගැයුම් තරගයේ දී, ආසියානු පැසිපික් කලාපයේ හොඳ ම රංග කණ්ඩායම් දහය අතරට ජනකරළිය පැමිණ තිබිණි. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ ඒකාබද්ධ තාවය වෙනුවෙන් කැපවීම අගයමින් ජිවිතයට එක්වරක් පමණක් පිදෙන සම්මානය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඔහු වෙත පුද කරන ලද්දේ ය. වර්ෂ 2016 කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී මෙම සුවිශිෂ්ට සම්මානය ඔහු වෙත පුද කොට තිබිණ.
ඔහු දැන් ඒ සියලු ගෙවී ගිය ජීවිතය පිළිබඳ සිහිකරනුයේ අස්වනු රැස් කළ ගොවියෙකු මෙන් බලවත් කෘතඥතාවයෙනි. ඔහු විසින් පැළ කරන ලද බීජ හෙට දවසේ ලෝකය සුවපත් කරන මහා වනස්පතීන් වනු ඇත. උදාවන හෙට දිනයේ දී ඔහුගේ අපේක්ෂාව නාට්‍යයක්, සිනමා පටයක්, ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම විය හැක. එ නමුත් ඒ සියල්ල ජනතාව වෙනුවෙන් තම හදවත ඉහළට ඔසොවා එහි ආලෝකයෙන් ජනතාව කෙරේ පෙරමග පැහැදිලි කොට දෙනු ඇත. බලවත් වූ ඒ ආදරණීය හැඟීමෙන් යුතු ඔහු පහන් ටැඹක් ව ප්‍රේමයෙන් යුතු ව ලෝකය දෙස බලා සිටිනු ඇත.
ඔහු බොහෝ දෙයක් ලොව වෙත තිළිණ කළේය. එහෙත් එසේ දුන් බව හෙතෙම නොදැන සිටියේය. ඔහු පෙරදා ලද ආචාර්ය පදවිය මෙපමණ බර වන්නේ එ නිසාය. විශ්වවිද්‍යාලය මඟින් ඔහුගේ සද් කාර්යයන් අගයා ඇති නිසාය. ඒ ඇගයීමට නිර්නායකයන් ඇති නිසාය. වියත් සභාවක් සාක්ෂි දරන නිසාය. ඔහුට දශක හතක ඉතිහාසයක් ඇති නිසාය.
වර්තමානයෙහිදී ආචාර්ය, දේශශක්ති , දේශ හිතෛෂි, දේශභක්ති, දිරිය මාතා, දිරිය පිතා ආදී නොයෙක් නම් ඇති උපාධි සුලභය. කැමති මිලකට, ඕනෑම අගු පිලකදී, ලෝගු දමා, පොටෝ ගසා, ජයමංගල ගීත ගයා ඒවා පිරිනමන්නට අටවාගත් සංවිධාන ද ඇත. නමුත් මේ උපාධිය එයින් වෙනස් වන්නේ එනිසාම ය.
ආචාර්ය පදවි වඩාලාත් ඔප් නැංවෙන්නේ ඒවා ලබන සුධීමතුන් ජනතාව වෙත, ජනතාව තුළ, ජනතාව වෙනුවෙන් ප්‍රඥා ඇස යොද වන්නේ නම් පමණි……!
ඒ කාර්යය එදා මෙන්ම අදටත් අද මෙන් හෙටටත් ඔබ විසින් ඉටු කරනු ඇත.
චිරං ජයතු ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල….!
අමිත්ත වීරසිංහ