Home » ඔහු කවුද? මොනවද කරන්නේ ?

ඔහු කවුද? මොනවද කරන්නේ ?

රෙහාන් අමරතුංග ගැනයි මේ

by Thanushika
February 13, 2025 11:04 am 0 comment

1958 මාර්තු 18 දා අපූරු පුත් රුවනක් මෙලොව එළිය දුටුවේය. රිචඩ් ද සොයිසා නම් ලද මේ පුංචි පුතු තරුණ වියට පා තබා රටේ ප්‍රකට දක්ෂ මාධ්‍යවේදියෙකු බවට පත්විය. ආකර්ෂණීය රුවකට හිමිකම් කී රිචඩ්ගේ හඬද එකල බොහෝ තරුණියන්ගේ ආකර්ෂණයට ලක්විය.

ඔහු මාධ්‍යවේදියෙකු මෙන්ම වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නළුවෙකු ලෙස ප්‍රකටය. එකල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ අතිශය ජනප්‍රිය සහ ගුණාත්මක බවින් පිරි යශෝරාවය ටෙලි නාට්‍යයේ රිංස්ලිගේ චරිතයට පණ පෙව්වේ රිචඩ් ද සොයිසාය. 1983 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තය චිත්‍රපටයටද ඔහුගේ රංගනය ඇතුළත් විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද රිචඩ් ද සොයිසා පාසැල් සමයේ සිටම දක්ෂ චරිතයක් බව කියැවේ. ඉතාමත් දක්ෂ ලෙස ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවූ මේ අපූරු චරිතය 1990 දී ඝාතනයට ලක්වූයේ ප්‍රශ්න රැසක් ඉතිරි කරමින්ය.

නැවතත් රිචඩ් ද සොයිසා නාමය කරළියට පැමිණ ඇත. පසුගියදා සිංහල සිනමා තිරය මත නැවතත් රිචඩ් ජීවමාන විය.ඒ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ ‘ රානි’ චිත්‍රපටය හරහාය. එහෙත් එය රිචඩ් ද සොයිසාගේ ජීවිත කතාව නොව ඔහුගේ ආදරණීය මව වන වෛද්‍ය මනෝරානී සරවනමුත්තු වටා සිදුවූ සිද්ධි දාමයකින් සැඳුම් ලත් කතා පුවතකි.

තම එකම පුතු තම දෑස් වලින් ඈත් කොට රැගෙන ගොස් ඝාතනය කිරීමට ලක්කිරීම එදා ඇය කෙසේ දරා ඉන්නට ඇත්ද? මේ සිදුවීම් සියල්ල පිළිබඳ කතා පුවත පසුගියදා සිනමා තිරය ඔස්සේ දැකබලා ගැනීමට අශෝක හඳගමයන් ඉඩහසර ලබා දුන්නේය.

අද සරසවිය පිළිසඳරින් කතා කරන්නට යන්නේ ඒ ලොවම කම්පා කළ සිදුවීම නොවේ. ඒ සිද්ධියට පසුබිම සකස් කළ රිචඩ් ද සොයිසා ගැනද නොවේ. මෙවර සරසවිය තුළින් කතාබහ කරන්නට යන්නේ රිචඩ්ගේ චරිතයට නැවතත් ජීවය දෙන අපූරු තරුණයා ගැනය.

ඔහු කවුද?

මොනවද කරන්නේ?

ඔහු මින් පෙර සිනමා තිරයේ හෝ ටෙලි තිරයෙන් ඇසට හසු නොවූ මුහුණකි. ඔහු දක්ෂ, ඉංග්‍රීසි වේදිකා රංගන ශිල්පියෙකි. ඔහු රෙහාන් අමරතුංගය. රිචඩ් ගේ නම කරළියට පැමිණියාක් මෙන් රෙහාන් ගේ නමද කරළියට එන්නෙ ‘රානි’ චිත්‍රපටයෙනි. රිචඩ් ද සොයිසාගේ රුවට සමානකම් දක්වන ඔහු රංගනයට දක්ෂයෙක් මෙන්ම ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුර වන්නෙකි.

නළුවකු යන භූමිකාවෙන් බැහැර වී සාමාන්‍ය තරුණයෙක් ලෙස ඔහු පසුගිය දිනෙක සරසවිය හමුවට පැමිණියේ පළමු වතාවටය. ඔහු නළුවෙකු කියන හැඟීම ඔහුගේ සිත තුළ නැති බව ඔහුගේ හැසිරීම් විලාසයෙන් පෙන්නුම් කළේය. ඔහුගේ කතාව සරලය. ඇඳු පැලඳුම සරලය. සැබැවින්ම ඔහු පොළොවේ පය ගසා ජීවත්වන නිහතමානී චරිතයකි.

මෑත කාලයේ තම කුලුඳුල් සිනමා රංගනයෙන්ම වැඩි කතාබහට ලක්වූ චරිතය ලෙස රෙහාන් අමරතුංග හඳුන්වා දිය හැකිය. ‘රානි’ නැරඹූ බොහෝ දෙනා රිචඩ් ගැන දැන සිටියෝය. ඔහු ගැන නොදත් වත්මන් තරුණ පිරිස ඔහු ගැන පොතපතින්, අන්තර්ජාලය ඔස්සේ ඔහු ගැන සොයන්නට පෙලඹී ඇත. , තම මව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් තොරතුරු විමසන්නට උත්සුක වී ඇත. ඒ අයුරින්ම රෙහාන් අමරතුංග නම් සුවිශේෂ තරුණයා ගැනද අද වනවිට බොහෝ දෙනා කතා කරන්නට, සොයන්නට පටන්ගෙන ඇත.

සිනමාවට පා තබන නවකයන් පිළිබඳ ප්‍රේක්ෂකයන්ට, පාඨකයන්ට සහ සමස්ත ජනතාවට තොරතුරු ගෙනහැර දක්වන එකම සිනමා පුවත්පත වන සරසවියෙන් මෙවර රෙහාන් අමරතුංග පිළිබඳ තොරතුරු මෙසේ දිගහැරෙනු ඇත.

මම පාසැල් ගියේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට. පුංචි කාලේ ඉඳන්ම මම රඟපාන්න ආසාවෙන් හිටියා. අවුරුදු දොළහ දහතුනේ කාලෙදී විතර මම ඇක්ටින් ඉගෙන ගන්න පටන් ගත්තා. එහෙම ඉගෙන ගන්නා අතරේ ශේක්ස්පියර් නාට්‍ය තරඟාවලිය සඳහා කිහිප වතාවක් සහභාගී වුණා. පාසැලෙන් කරපු නිෂ්පාදන කිහිපයකටත් මම රංගනයෙන් දායක වුණා. ඒ නිසා රඟපාන්න තිබුණ ආසාව තවත් වැඩිවුණා. පාසැල් අධ්‍යාපනයෙන් පසුව ජෙරොම් ද සිල්වාගේ නාට්‍ය කණ්ඩායම සමඟ එක්වීමට අවස්ථාව ලැබුණා. ඒ මඟින් රංගනය ගැන හොඳ පුහුණුවක්, අත්දැකීම් රාශියක් ලබා ගත්තා. 2016 දී ජෙරොම් ද සිල්වාගේ නාට්‍ය කණ්ඩායම සමඟ Oberon in A Midsummer nights dream – Shakespeare in the park 2016, Macbeth in Macbeth Shakespeare in the park 2017, Rudolpho in veiw from the bridge – Athur Miller  කියන නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණා.

2017 දී ඉන්දු ධර්මසේන නාට්‍යවේදියාගේ නිර්මාණවලටත් සම්බන්ධ වුණා.

රෙහාන් තම රංගනය වැඩි දියුණු කරගන්නේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය හරහාය. රිචඩ් ද සොයිසා තම රංගනය ඔපමට්ටම් කරගන්නේද පාසල් වේදිකාව තුළින්ය. ඔහු 1972 දී අන්තර් පාසැල් ශේක්ෂ්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියෙන් හොඳම නළුවා ලෙස ජයග්‍රහණය ලබා ඇති බව සඳහන්.

මම ටික කාලයකට වේදිකාවෙන් විරාමයක් ලබා ගත්තා. මගේ උසස් අධ්‍යාපන කටයුතුවලට ප්‍රමුඛස්ථානය දියයුතු නිසා. මගේ උපාධිය ලබා ගන්න මම විදෙස්ගත වුණා. මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කළේ මලයාසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ. අවුරුදු දෙකහමාරක් පමණ මම මගේ උපාධිය ලබා ගැනීම සඳහා කාලය යෙදෙව්වා. ඒ සියල්ල නිම කරල ලංකාවට එනවිට කොවිඩ් වසංගතය මුළු ලෝකයම ගොදුරු වෙලා තිබුණා. ඒ නිසා නැවතත් වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉන්පසු මම නැවතත් රඟපෑම් කටයුතු පටන් ගත්තේ ගිය අවුරුද්දෙ.

අශෝක හඳගමයන්ගේ ලිවීමෙන් සහ හැසිරවීමෙන් තැනුණු රානි හී රිචඩ්ගේ චරිතයට නවකයෙක් වූ රෙහාන් සැබැවින්ම දක්ෂයෙක් බව කිව හැකිය.

අශෝක හඳගමයන් රානි චිත්‍රපටය තැනීමේදී ඔහුගේ සිතෙත් මේ රුව මැවී තිබෙන්නට ඇත. ඔහු ඒ රුවට සමාන රුවක් සෙවීමට උත්සුක වන්නට ඇත. එසේ සොයා යාමේදී හඳගමයන්ගේ ඇසට රෙහාන්ගේ රුව හමුවීම ගැන අදහස් දැක්වීමට සරසවිය ඉදිරියේ රෙහාන් තම හඬ අවදි කළේය.

මට අශෝක හඳගමයන්ගෙන් ආරාධනා ලැබෙන්නෙත් වේදිකාව නිසා. ඔහු රානි චිත්‍රපටය සඳහා රිචඩ්ට සමාන රූපයක් සොයමින් ඉඳල තියෙනවා. ඒ නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මගේ මිතුරන් කිහිපදෙනෙක් සහ අධ්‍යක්ෂවරයෙක් මඟින්. ඔවුන් මා ගැන විස්තර සහ මගේ සේයාරුවක් අශෝක හඳගමයන්ට යොමු කරල තියෙනවා. ඒ අනුව තමයි මට මේ චරිතය ලැබුණේ. මුලින්ම මට අශෝක අයියව මුණගැසුණු වෙලාවේ ඔහු කිව්වේ මම ටිකක් කෙට්ටුයි කියලා. ඒ නිසා මම ටිකක් මගේ ශරීර ප්‍රමණය වැඩි කරගත්තා. දෙවෙනි වතාවේ අපි නැවතත් මුණගැසුණාම තමයි චරිතය ගැනත් මගෙන් ඒ සඳහා වියයුතු දේ ගැනත් සාකච්ඡා කළේ.

මට සිනමාවේ නිරූපණය කරන්න චරිතයක් ලැබුණ නිසා ටිකක් හිතේ චකිතයක් ඇතිවුණා. වේදිකාවට පමණක් සීමා වෙලා හිටපු මට සිනමාව නුහුරු නුපුරුදු බවක් දැනුණා. එය අභියෝගයක් කියල දැනුණා. වේදිකාවේ හැසිරෙනවා වගේ නෙවෙයි සිනමා කැමරාව ඉදිරියේ හැසිරෙන විදිහ. අපේ ඇසිපිල්ලමක් ගහන වෙනස වුවත් හොඳීන් පෙනෙනවා. ඉතින් වේදිකාවෙන් සිනමාවට පා තැබීම ගැන වෙනසක් දැනුණා හිතට. ඒත් ඒ දේවල් අශෝක අයියා නිසා මඟහැරුණා. ඔහු මට ගෙදරදී කරන්න අභ්‍යාස පවා දුන්නා. සිනමාවේ කොහොමද මගේ රංගනය හැඩගසා ගත යුත්තේ කියන කාරණය ගැන උපදෙස් ලබාදුන්නා. රූගත කිරීම්වලදී නිදහස ලබා දුන්නා මගේ රංගනය නිදහසේ කරගෙන යෑමට.

මම රිචඩ් ද සොයිසා ගැන අහල තිබුණා. මම වේදිකාවේ රඟපාන කොට බලන්න ආපු වැඩිහිටි උදවිය මා ගාවට ඇවිත් කියල තියෙනවා ” ඔයා රිචඩ් වගේ” කියලා. වේදිකාවේදී මම ඔහු ගැන විස්තර අහල තිබුණා අධ්‍යක්ෂකවරු මඟින්. මමත් රිචඩ් කියන්නේ කොයි වගේ කෙනෙක් ද කියල හොයන්න උනන්දු වුණා. ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන පවා. රිචඩ්ගේ චරිතය මට ලැබීම අභියෝගයක් කියල මම මීට කලිනුත් සඳහන් කළා. රිචඩ් කියන්නේ රටක්, ලෝකයක් දන්න මාධ්‍යවේදියෙක්. ඔහුට ආදරය කළා බොහෝ දෙනෙක්. මේක සිනමාපටයක් වුවත් ප්‍රේක්ෂකයන් බලන්නේ ඇත්ත රිචඩ් දෙස බලනවා වගේ. ඒ නිසා ඒ ආදරණීය චරිතයට හානියක් නොවෙන විදිහට රඟපාන්න මම වගබලා ගත්තා. ඒ වගේම තමයි ඔහු ඔහුගේ මවට ඉතා සමීපයි. විටෙක මිතුරියක් වගේ. ඒ නිසා වෛද්‍ය මනෝරානි චරිතය රඟපාන සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනියක් වන ස්වර්ණ මල්ලවාරච්චි මහත්මිය සමඟ රංගනයේ යෙදීමත් මට අභියෝගයක් වගේ දැනුණා. මට තේරුම් ගියා එවැනි කෙනෙක් සමඟ එවැනි චරිතයක් රඟපාද්දී තිරයෙන් පිටුපසදීත් සමීප බවක් තිබිය යුතුයි කියලා. ඇයව මට ඊට පෙර හමුවෙලා තිබුණේ නැහැ. එහෙත් ඇයගෙන් හොඳ සහයෝගයක් ලැබුණා මට. ස්වර්ණා මල්ලවාරච්චි කියන රංගනවේදිනිය සමඟ රඟපාන්න ලැබීමම මගේ ජීවිතයේ මට ලැබුණ භාග්‍යයක්. ඇය රංගනයෙන් කෙතරම් පරිනත වුවත් ඇය ඒ බව නොපෙන්වා අපි සමඟ ඉතාමත් සුහදව කටයුතු කළා.

රානි චිත්‍රපටයෙන් කියන්නේ රිචඩ්ගේ කතාව නෙවෙයි. රිචඩ්ගේ වියෝවෙන් මවගේ ජීවිතයේ ඇතුළාන්තය පෙන්වීම තමයි කෙරෙන්නේ. ඒ නිසා රිචඩ්ගේ චරිතය දිගහැරෙන ප්‍රමාණය අඩුයි. ඒත් බොහෝ අය බලාපොරොත්තු වෙලා තියෙනවා රානි තුළින් රිචඩ්ව වැඩිපුර දකින්න. මට හිතෙනවා ඒ රිචඩ්ට තිබුණ ජනතා ආදරය.

රානි චිත්‍රපටයේ මගේ මිතුරාට රඟපාන්නේ සජිත ඇන්තනී. ඔහුට සිනමාව හුරුයි. චිත්‍රපටයේ හැටියට අපි සමීප යාළුවො. ඒ හැඟීම අපි ප්‍රේක්ෂකයන්ට දිය යුතුයි. අපි රූගත කිරීම්වලට පෙර කිහිපවතාවක් හමුවුණා. ඒ හමුවීම අපි තරුණයන් විදිහට රසවත් බවට පෙරළාගෙන කතාබහක යෙදුණා. අපේ චරිත කොහොමද ගොඩ නගාගන්නේ කියල අපි සාකච්ඡා කළා.

මට හිතෙනවා මම රිචඩ්ගේ චරිතයට සාධාරණයක් කළා කියලා. සතුටක් දැනුණා සිනමා තිරයේ මාව දුටුවාම. ඒත් මගේ රංගනය ගැන කතා කිරීමට මම උත්සාහ ගන්නේ නැහැ. ඒ ගැන නරඹන ප්‍රේක්ෂකයන් තීරණය කළ යුතුයි.

කෙසේ වෙතත් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. බොහෝ අයට මගේ රංගනය දැනිලා තිබුණා. ඒ බව දැනුණේ මට ලැබෙන ප්‍රතිචාර වලින්. වයස් භේදයකින් තොරව රානි නරඹන්න යනවා. එය සතුටක්. තරුණ පරපුරත් රානි බලන්න උනන්දුවක් දක්වනවා.

තම පුතුගේ වියෝව නිසා ඇසින් කඳුළු සඟවා සිතින් හඬන මනෝරානිය, ලොවටම කියා පාන්නේ මවකගේ ඇති ශක්තිමත් භාවයයි. සෑම මවකටම තම පුතු රජෙකි.

රෙහාන්ගේ මවටද තම පුතු රජෙකි. පුංචි සන්දියේ සිටම රඟපෑමට උපන් හපන් රෙහාන් පිළිබඳ ඔහුගේ මවටද ආඩම්බරයක් දැනෙන්නට ඇත. මව්පියන්ගෙන් තමාට ලැබුණ ප්‍රතිචාර ගැනද රෙහාන් සරසවියට හෙළි කළේය.

මගේ මව්පියන්ගෙන් මට පොඩි කාලේ ඉඳන් ලොකු සහයෝගයක් ලැබුණා. තවමත් එහෙමයි. ඔවුන්ගේ කැපවීම, දිරිමත් කිරීම නිසා තමයි අද මම මේ තත්වයෙ සිටින්නේ. රානි බලපු මගේ අම්මා ඇඬුවා. ඇයට ආඩම්බරයක් වගේම සතුටක් දැනෙන්න ඇති.

ඇත්තටම කියනවානම් මේ දවස්වල මට මගේ ජීවිතයේත් වෙනසක් දැන්නෙනවා.

සිනමාවේදී විවිධ චරිත කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඉදිරියේදී සිනමාව වෙනුවෙන් මට කළහැකි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ ‘රානි’ හි රිචඩ්ගේ භූමිකාවට පණදුන් රෙහාන් අමරතුංග රංගනයට ආධුනිකයෙක් නොවේ. මෙය ඔහුගේ මුල්ම සිනමා රංගනය වුවත් වේදිකාවත්, සිනමාවත් කුමක්ද යන්න මැනවින් අවබෝධ කරගෙන තිබූ බව ඔහුගේ රංගන විලාසයෙන් තහවුරු කරගත හැකිය.

රානි චිත්‍රපටය පිළිබඳ විවිධ ප්‍රතිචාර , විචාර මේ දිනවල සමාජයේ පැතිර යමින් පවතී. එහෙත් රෙහාන්ට ලැබෙන යහපත් ප්‍රතිචාරවලින් පෙනී යන්නේ ඔහුට සිනමාවේ දිගු ගමනක් යා හැකි බවයි.

සිංහල සිනමාවට තිළිණ වූ මේ අපූරු තරුණයා එකම තලයේ චරිත වලට කොටු නොකළ යුතුය. ඔහුට ඕනෑම මාදිලියක චරිත මැවීමට හැකියාව ඇත. ඔහු තුළ තිබෙන රංග පෞරුෂය හොඳීන් හඳුනාගෙන එහි සාරය සිනමාව වෙනුවෙන් යොදා ගැනීම සිනමා නිර්මාණකරුවන්ගේ වගකීමය.

ඉතාමත් සුහදශීලී ලෙස කතාබහක යෙදුණ සිනමාවට නවකයෙක් වුවත් රංගනයට නවකයෙක් නොවූ රෙහාන්………..

ඔබට පැහැබර අනාගතයකට සරසවිය පුවත්පතින් සුබ පැතුම් !

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT