නිවස විශේෂාංග ඔහුට ප්‍රීතිගෙන් ලැබුණ සහාය විශාල පිටිවහලක් වුණා

ඔහුට ප්‍රීතිගෙන් ලැබුණ සහාය විශාල පිටිවහලක් වුණා

-ප්‍රවීණ රූපණවේදිනී ගීතා කුමාරසිංහ

by Thanushika
May 30, 2024 12:46 pm 0 comment

එතුමා පිළිබඳ කෙටියෙන් කතා කිරීම තමයි මට කරන්නම අමාරුම දේ. මගේ හොඳම චිත්‍රපට අතර සම්මානයට පාත්‍ර වු මල්දෙණියේ හිමියොන්ගේ සිටම රවි අයියා සමඟ තමයි මම රංගනයේ යෙදුණේ. ඔහුගේ එකකට එකක් වෙනස් රංගන හැකියාව හිතාගන්න හරි අමාරුයි. ජනේලය චිත්‍රපටයේ ඔහු එක වචනයක්වත් කරන්නෙ නැහැ. හැඟීම් ප්‍රකාශනය ඔස්සේ ඔහු ඒ මුළු නිරුපණයම කරන්නේ. ඊට පසු සිරිමැදුර, ගුරු ගෙදර, සෙයිලම, සුරබිදෙන ඒ චිත්‍රපට හතරෙ චරිත කොයි තරම් වෙනස් ද? ඒ සමහර චරිතවල ආංගික අභිනය වාචික අභිනය දෙකම නැහැ. ගුරු ගෙදර ඔහු සොඳුරුම පෙම්වතෙක්. සුරබිදෙන චිත්‍රපටයේ ඔහු තවත් විදියක්. සෙයිලම චිත්‍රපටයේ රතු මහත්තයාගේ චරිත ඔහු තුළ ඔහු සිය කෞශල්‍යය පෙන්වන විදිහ පුදුමාකාරයි. ඊළඟට දඩයම වැනි චිත්‍රපටයක අවසන් දර්ශනය කොච්චර විශිෂ්ටයිද?. අවසාන මොහොතේ ඒ චරිතයෙන් පැන නඟින පරාජිත බව, අසරණකමේ හැඟීම් ඒ විදියට පෙන්වීම ලේසි නැහැ. ඒ නිසා මම නිතරම හිතන දෙයක් තමයි රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ නැවත බිහිකරන්න බැරි විදියේ රංගන ශිල්පයෙකු කියන එක. සුන්දරම ප්‍රේමවන්තයකුගේ සිට ප්‍රේක්ෂකයන් අකමැතිම චරිත දක්වා වූ විවිධ පරාසවල විහිදුණු චරිත ඉතාම තත්වික හරිම සියුම්ව නිරූපණය කරන්න ඔහු දැක්වූ හැකියාවයි මට නැවත නැවතත් සිහිපත් වෙන්නේ රවින්ද්‍ර රන්දෙණිය කියන්නේ මිනිස්සුන්ට දරුවන්ට හරියට ආදරය කරපු කෙනෙක්. ඔහුගේ දරුවන්ට ඔහු දැඩි සෙනෙහසක් තිබුණා. ඔහුගෙ දරුවකුට අසනීපයක් වුවිට ඔහු දැඩි ලෙස මනසින් වැටී යන හැටි දැක්කා. නමුත් ඔහුගේ රංගනය කාර්යයේ දී ඒ හැඟීම් කිසිවක් ඔහු චරිතයට බාධාවක් වන්නට ඉඩ නොතැබු රංගන ශිල්පියකු විදියට මා දැක්කා. ඒක විශාල හැකියාවක්.

පුද්ගලයෙකු විදියට ඔහු හරිම වැදගත් ගති ලක්ෂණ පෙන්වු කෙනෙක් උගත් පුද්ගයෙක්. මගේ සිනමා දිවියේ මුල් යුගයේ දී මගේ ඉංග්‍රීසිී දැනුම සම්බන්ධ කාරණාවලදී ඔහු මට ඉතා හොඳ ගුරුවරයෙකු වුණා. ඉතින් මේ සියලු කාරණා සියල්ලක් නැවත ආවර්ජනය කර බැලීමේදී මම හිතනවා, මම හරිම වාසනාවන්ත නිළියක්. මගේ හොඳම චිත්‍රපටවල ඔහු හා රංගනයෙන් දායක වන්න අවස්ථාවක් ලැබීම ගැන මට තිබෙන්නේ කිව නොහැකි තරම් සතුටක්. ඉතින් එබඳු කෘතහස්ත කලාකරුවකු සුවශේෂි රංගන ශිල්පයකු වෙනුවෙන් කෙරෙන මෙබඳු උපහාර උලෙළක් මා ඉතා අගය කරනවා.

රවී අයියා එක්ක රඟපෑම මගේ වාසනාවක්

-ප්‍රවීණ රූපණවේදිනී අනෝජා වීරසිංහ

මම එතුමා සමග රඟපෑ චිත්‍රපට අතරින් ගොඩක් කැමති චිත්‍රපටියක් තමයි; ‘පොඩි මල්ලි’ චිත්‍රපටය.

මම සිනමාවට එද්දි දැක්කේ ප්‍රවීණ නළුවකු විදියට ඒ වගේම රංගන ජීවිතය තුළ තමන්ගේ කාර්යය වෙනුවෙන් පුදුමාකාර ලෙස කැපවෙන කෙනෙකු විදිහටයි මම රවි අයියව දැක්කේ. රංගන කාර්යයේදී ඔහු තමාට ලැබුණ ඕනෑම ආකාරයක චරිතයක් වෙනුවෙන් උපරිමය කරන බව අපි දුටුවා. ඒ නැඹුරුව ඔහු සමග වැඩ කරන අනෙකුත් රංගන ශිල්පියාට හෝ ශිල්පිනියටත් විශාල පහසුවක්.

ඉතින් මේ වෙලාවේ ඔහු සමඟ රඟපෑ චිත්‍රපට ගණනාවක අතීතය ගැන මම ආවර්ජනය කරන්නේ හරිම සතුටින්. විශේෂයෙන්ම මම අර මුලින් කියූ පොඩි මල්ලි චිත්‍රපටයේ කොහේ සිට ඔබ පැමිණියේදෝ කියන ගීතයට හරිම කැමතියි.

වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ඒ ගීතයේ රූගත කිරීම් අතරතුර සිදුවුණු හරි අපූරු සිදුවීම් පවා ලස්සන මතක විදිහට හදවතේ අදත් තැන්පත්ව තියෙනවා.

ඒ වගේම හිතත් හොඳයි වැඩත් හොඳයි චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදුවූ සිදුවීම් හරිම මිහිරි මතකවලට උදාහරණ විදිහට දැනුත් සිහිපත් කරන්න පුළුවන්.

කාලයක් තිබුණ එක දිගට අපි චිත්‍රපටවල රඟපෑ. ඒ හැම චිත්‍රපටයකම පාහේ ඔහුගේ පෙම්වතිය විදිහට තමයි මම රඟපෑවේ. ඉතින් කවදත් රවි අයියා කෙරේ මා තුළ ලොකු ගෞරවයක් තියෙන්නේ. ඒ වගේම පුද්ගලයෙකු ලෙස ඔහු සුන්දර චරිතයක් කීවොත් නිවැරදියි. සැබෑ ජීවිතයේත් එහෙමයි. ඔහු හරි පූර්ණ කෙනෙක්. හොඳ විවාහ ජීවිතයක් ගත කරන අතරතුර ගෙදර කටයුතු, දරුවන්ගේ කටයුතු වගේම වෘත්තීයමය රංගන ශිල්පියකු විදිහටක් ගතකළ ජීවිතය හරිම ආදර්ශවත්. ඔහුට කුමන දේවල් තිබුණත් හරිම නිහතමානීව කටයුතු කළ කෙනෙක්.

දර්ශන තලයේදී ඔහු සම්පූර්ණ අවධානය යොමු කරන්නේ චරිතයේ කටයුතු මැනවින් සම්පූර්ණ කරගන්න අවශ්‍ය කාරණාවලට අවධානය දෙන්නයි.

ඔහු වටිනා පාසලක අධ්‍යාපනය ලැබූ කෙනෙක් ඉංග්‍රීසි බස හොඳීන් කතා කරන කෙනෙක්. බැලූ බැල්මටත් ඔහු බටහිර නළුවෙකුට සමානයි. නමුත් ඔහුට ලැබෙන චරිතයක් තුළ ඔහු ගොඩක් වෙනස්. චරිතයක් තුළ අපට ඔහු රවීන්ද්‍ර රන්දෙණියව නෙවෙයි; අපට මුණගස්වන්නේ.

රවි අයියාට හොඳ බිරිඳක් ලැබී සිටිනවා. ඒක එතුමාගේ වාසනාවක්.

මට මතක විදිහට ඇයත් (ප්‍රීති) මමත් එකම යුගයක චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියේ.

ඔහුට හිමිවුණු යහපත් පවුල් ජීවිතය ඔහුගේ රංගන කාර්යට මහා ශක්තියක් වුණා කියලයි මට හිතෙන්නේ. ඔහුට ඇයගෙන් ලැබුණු සහය ඔස්සේ ලද මානසික නිදහස ඔහුගේ සිනමා ගමන සාර්ථක කරගන්න විශාල පිටිවහලක් වුණා.

ඔහු අපේ සිනමාවේ කඩවසම්ම නළුවෙක්. ඒ වගේම සිනමාවේ අමතක නොවන චරිතයක්. පිළවෙළට ලස්සනට අඳීන පලඳීන හිත හොඳ මනුස්සකම තියෙන කෙනෙක් විදිහටයි මම රවි අයියව දකින්නේ.

එකම දවසක් මම දැක්කා ඔහුට ගොඩක් තරහ ගිහින් තිබුණ අවස්ථාවක්. එදා මට මතක විදිහට අපි බණ්ඩාරවෙල පැත්තේ රූගත කිරීම්වල යෙදී සිටියේ.

අපි රූගත කිරීම් අතරතුර නැවතී සිටි හෝටලයට පැමිණෙන අවස්ථාවකදී එහි සිටි වෙනත් බාහිර පුද්ගලයෙකු කියූ කුමක් හෝ නොහොබිනා කතාවක් නිසා ගැටුමක් සිදුවන හඬ මට ඇහුණා. නමුත් ඒ අවස්ථාවේ මා එතැන සිටියේ නැහැ. හැබැයි ඒ ශබ්දය මට ඇසුණා.

එතැන සිටි අයකු සිනමාවට හා රංගන ශිල්පීන්ට අපහාස වන අයුරින් යම් දෙයක් පවසා තිබුණා රවි අයියාට එය ඉවසීමට නොහැකි වී තියෙනවා. මොකද අපි දැක්කේ ඔහු සිනමාවට ගොඩක් ආදරේ කරපු කෙනෙක් විදියට. අදටත් එහෙමයි. ඔහු රංගන ශිල්පීන්ගේ ගෞරවය පිළිබඳ ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන කෙනෙක්. එදා ඔහු ආගන්තුක පුද්ගල හා සමඟ ගැටුණේ ඒ ගෞරවය වෙනුවෙන්.

ඉතින් මෙබඳු බොහෝ කාරණා නිසා මගේ සිනමා ජීවිතයේ අමතක නොවන සමකාලීන රංගන ශිල්පියකු විදිහටයි මා ඔහුව දකින්නේ ඒ වගේම ඔහු මහත්මා ගතිගුණ සහිත රංගන ශිල්පියෙක්. සිනමා සහෘදයකු විදිහට කිසිදාක ඔහු වදනකින් හෝ මගේ සිත රිදවා නැහැ. ඉතින් මේ උපහාර උලෙළ එතුමාට කළ යුතුම ගෞරවයක් විදියටයි මම දකින්නේ.

පෙම්වතුන් වෙන්න ලැබුණු අවස්ථා අඩුයි

-ප්‍රවීණ රූපණවේදිනී ශ්‍රියාණි අමරසේන

සිනමාවේ රවීන්ද්‍රය. ඒ නමටත් මම හරිම කැමතියි. ඒක හරිම ගැළපෙන නමක්. සිනමාවටත් ඒ වගේම රවීන්ද්‍රටත්. කලාකාරියක් විදියට ක්ෂේත්‍රයේ අපේම සමකාලිනයෙක් විදියට මේ ඇගයීම ගොඩක් වටින බවයි මුලින් කියන්න ඕනේ. ඒ නිසා මේ උපහාරයට අප සියලු දෙනා කිසිම බේදයකින් තොරව එක් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. සිනමාවේ රවී ගැන මතක අවදි කරද්දී රිදී තැල්ල චිත්‍රපටය මගේ මතකයට නැ‍ෙඟන්නේ මුලින්ම. කේෂ්ත්‍රයේ ඒ මුල් සිනමා හමුවීමත් එක්ක ඉන් අනතුරුව දිගටම අපි හොඳ සහෘදයන් බවට පත් වුණා. නමුත් ටිකක් කනගාටුයි මතක් වෙද්දි රවීටත් මටත් සිනමාවේ පෙව්වතුන් විදියට රඟපාන්න ලැබුණේ හරි අඩුවෙන්.

චිත්‍රපට ලෝකයේ බිඳී ගිය පෙම්වතුන් විදයට තමයි බොහෝ විට අපට රඟපාන්න ලැබුණේ. නමුත් සිනමා ලෝකයෙන් මෙපිට අපි ගොඩක් සුහද මිතුරන්. ඔහු සිටින තැනක කිසිම පාළුවක් කම්මැළි කමක් දැනෙන්නේ නැහැ. රංගන කටයුත්තක් සඳහා අපි කොහේ ගියත් හමුවුණත් හරිම සුහදශීලි මිත්‍රශීලි කෙනෙකු ලෙසයි ඔහු කටයුතු කරන්නෙ. විශේෂයෙන් මට මතකයි අපේ ටෙලි නාට්‍යයක් කරන්න ඔහු අපත් සමඟ ඉතාලියට පැමිණි ගමන. ඒ ගමනේ දී ඔහු දැක්වු සහයෝගය මට අමතක කළ නොහැකියි. මට මතකයි ඒ අවස්ථාෙවි එහි පැවති දැඩි අසීරු කාලගුණික තත්ත්වය දැඩි සීතල අපත් සමඟ එකට විඳදරා ගනිමින් නමුත් අප සමඟ සුහදශීලිව කටයුතු කරපු කළ විදිහ.

ඉතින් රවී වෙනුවෙන් කරන උපකාර උලෙළ ගැන හරිම සතුටුයි. මොකද කලා ජිවිතේ අපට තිබෙන තෘප්තිමත්ම සැමරුමක් තමයි ඇගයීම. එය කලාකරුවෙකුට ඉතා වැදගත්. එවැනි දේ හැමෝටම අවශ්‍යයි කියා මට හැඟෙනවා. ඉතින් මේ අවස්ථාව වෙනුවෙන් රවීට මම සුබ පතනවා. විශේෂයෙන් නීරෝගි සම්පත ලැබ කලා ලොව තව තවත් ඔහුට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

අපට ගුරුවරයෙක් වුණා

-ප්‍රවීණ රූපණවේදී ජීවන් කුමාරතුංග

රවින්ද්‍ර රන්දෙණිය මහතා ගැන සටහනක් තබන්න ලැබීමත් භාග්‍යක් ලෙසයි සලකන්නේ මොකද ඔහු, හෙළ සිනමාවේ ජ්‍යෙෂ්ඨයෙකු විදියට අංශ ගණනවකින් දක්ෂතා පෙන්වු සුවිශේෂි රංග ශිල්පියෙකු නිසා එක් අතකින් එතුමා අපේ ගුරුවරයකු විදියට හැඳින්වූවොත් නිවැරැදියි. මම එතුමා සමඟ චිත්‍රපට කිහිපයක රංගනයට සම්බන්ධ වී තියනවා. ඒ අවධියේ අප නවකයන් විදියට අපට ගුරුහරුකම් දෙමින් සහය වෙමින් නිරත්තරයෙන් එතුමා කටයුතු කළ විදිය මගේ මතකයට නැගෙනවා. එකල සිනමාවේ ජ්‍යෙෂ්ඨයන් ගැන බැලු විට ගාමීණි ෆොන්සේකා, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, රොබින් ප්‍රානාන්දු වැනි රංගන ශිල්පීන් විවිධ හැඩතල ඔස්සේ තම රංගන පෞරුෂත්ව විදිහා දැක්වු රංගන ශිල්පීන් විදියටයි අපි හදුනාගන්නෙ ඉතින් ඔවුන් අතුරින් මට දිවියේ වැඩි කාලයක් ඇසුරු කරන්න ලැබුණේ රවි අයියා සමඟයි. ඔහු රංගන පෞරුෂය අතින් ඉදිරියෙන් හිටියා සේම මිනිස් වටිනකම් අතිනුත් කලාකරුවන් අතර ඉදිරියෙන් ඉන්න කෙනකු විදියට හඳුන්වා දෙන්න පුළුවන්. හැමදාම කලාකරුවන්ගේ දුකේදිත් සැපේදිත් සහය වන්නට නායකත්වය ගෙන එතුමා කටයුතු කළා.

මට මතකයි සිනෙස්ටා පදනම පිහිටුවන්න පෙර ශ්‍රී ලංකා නළු නිළි සංගමය පිහිටුවා එතුමාගේ් නායකත්වයෙන් අපට බොහෝ දේ කරන්න ලැබුණා. ඔහු සියලු දෙනා ගරු කරන චරිතයක් බවට පත්වන්නෙ නිරතුරු කලා කරුවන්ගේ ගෞරවය රකින්න කටයුතු කළ රංග පෞරුෂයක් සහිත සිනමා රංගන ශිල්පියකු වු නිසයි. ඒ නිසා ඒ සියලු කාරණා පෙරදැරිව එතුමාගේ 50 වැනි විවාහ සංවත්සරයක් යෙදෙන මේ කාලය තුළ මාගේ ප්‍රාර්ථනාව වන්නේ නිදුක් නිරෝගි සුව ලැබ ඒ වටින මෙහෙයන් තවදුරටත් කරගෙන යෑමට ශක්තිව ලැබේවා යන්නයි.

සිනමාවේ පතාක යෝධයෙක්

-ප්‍රවීණ රූපණවේදිනී සබීතා පෙරේරා

රවින්ද්‍ර රන්දෙණිය කියන සිනමා ශිල්පියා නැතිනම් රංගන ශිල්පයා මම දකින්නේ අපේ සිනමාවේ පතාක යෝධයෙක් විදියට. ඔහු අමරණිය කෙනෙක්. අපේ සිනමාවේ මතක හිටිනම කෙනෙක්. සිනමාවේ තමාගේ රංගනය ඔස්සේ ප්‍රේක්ෂකයාට සියුම්ව සමීප වීමට ඔහු සතුව තිබු විශිෂ්ට හැකියාවට ඊට හේතුවයි.

ඇත්තටම මට වාසනාවක් හිමි වුණා, මා සිනමාවට පැමිණි මුල් අවධියේදීම ඔහුත් සමඟ රංගනයේ යෙදෙන්න. ඒ තමයි මගේ පියාණන් අධ්‍යක්ෂණ කළ ‘සඳා’ චිත්‍රපටය. එය මගේ දෙවැනි චිත්‍රපටයයි. මට තාමත් මතකයි ඒ අවස්ථාවට මුහුණ දෙද්දී මට දැනුණු හැඟීම. නවක ශිල්පිනියක් විදියට මට හිතුණේ කොහොමද මම මේ වගේ ප්‍රවීණයෙක් සමඟ කැමරාවට මුහුණ දෙන්නේ කියන හැඟීමයි. නමුත් ඔහු ඉතාමත් නිහතමානීව ළෙන්ගතුව හා කාරුණික විදියට ඒ වගේම හරිම සුහද විදියට මා සමඟ කටයුතු කළ විදිහ කවදාවත් මට අමතක වන්නේ නැහැ. විශේෂයෙන් මට මතකයි මොනරතැන්න 2 චිත්‍රපටය. එයත් මගේ මුල් කාලයේ චිත්‍රපටයක් අප දෙදෙනා එහි ප්‍රධාන චරිත දෙක නිරූපණය කළේ. ඉන්පසු අවස්ථාවලදී අප දෙදනා රවි අයියත් මමත් චිත්‍රපට කිහිපයකම රංගනයේ යෙදුණා. අදත් ඒ මතක හරි සුවශේෂයි. මම එදා නවකයකු විදියට ඔහු දිහා බලලා සිනමාවේ ඉ‍ෙගනගත්ත දේවල් අපමණයි. ඇත්තටම මම සිනමාවට එන අවධියේ ඔහු බෙහෙවින් ජනප්‍රියයි. ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඔහු හිටියේ. සිනමාවේ සදා නොමැකෙන නමක් ඉතිරි කරන්න සමත් වු සුවශේෂ රංගන ශිල්පියෙක් විදියට. ඔහුගේ රංගනය දිවියේ කැපීපෙනෙන අවස්ථා බහුලයි. විශේෂයෙන් ගත්තොත් දඩයම ඇතුළු ඔහුගේ සුවශේෂි රංගන දායකත්වය ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටවල මතක එකතුව අදටත් අපේ හිත්වල රැදි පවතින්නේ ඔහුගේ සුවිශේෂි රංගන ප්‍රතිභාව නිසයි.

පිදිය යුත්තන් පිදීමක්

-ප්‍රවීණ රූපණවේදී කමල් අද්දරආරච්චි

අද අප අතර සිටින රංගන ශිල්පීන් අතර ජ්‍යෙෂ්ඨම සක්‍රීය රංගන ශිල්පියෙකු විදියට එතුමා හැඳින්විය හැකියි. රවීන්ද්‍රගේ සිනමා ආගමනය අපට තවත් විදියකින් වැදගත්. ඔහු රංග කාර්යයට යොමු වන්නේ වේදිකාව ඔස්සේ. ඒ අත්දැකීම සිනමාව තුළ ඔහුගේ දායකත්වය පුළුල් සාධකයක් විදියට අපි දකිනවා. ඒක ඔහුට වටින සුදුසුකමක් බවට පත්වෙනවා. මොකද කැමරාව ඉදිරියේදී රංගනයේ යෙදෙද්දී අපට ප්‍රේක්ෂකයාව පෙනෙන්නෙ නැහැ. නමුත් වේදිකාවක රඟපාන නළුවකුට ප්‍රේක්ෂක හදගැස්ම දැනෙනවා. ඉතින් නළුවකුට වේදිකාව තමන්ගේ තිඹිරිගෙය වුණොත් එය ඔහුගේ ඉදිරි රංගන ජිවිතයට විශාල ආලෝකයක්. ඉතින් ඒවගේ ආලෝකයක් ඇතිව තමයි රවී සිනමාවට එන්නේ. ඒ වාසනාව හා කුසලතා සමඟ සිනමාවට ආ නිසයි ඔහු අදත් කැපී පෙනෙන රංගන ශිල්පීයෙකු බවට පත් වී සිටින්නේ. එපමණක් නොවෙයි ඔහුට තිබුණේ හොඳ පෞරුෂයක් හා කඩවසම් පෙනුමත්. එය ඔහුට ආභරණයක්. ඒ වුණත් ඔහු එය තිබියේදීම දුෂ්ඨයාගේ චරිතයටත් ඉතාමත් විශිෂ්ටව පණ දුන් රංගන ශිල්පියෙකු වීමත් හරිම විශේ්ෂයි.

මොකද මෙවැනි රූපයක් සහිතව රංගන කාර්යයේ නියැළෙන නළුවකු බොහෝවිට ප්‍රේක්ෂක ආදරය නිරතුරු ලබන අවස්ථාවල ප්‍රේමවන්තයෙකුගේ චරිතයම රඟපෑමට නැඹුරුවක් ඇතිවයි කටයුතු කරන්නේ. නමුත් කතාවක නැතිනම් චිත්‍රපටයක දුෂ්ටයෙකු යනු ඒ නිර්මාණයේ සුවිශේෂිම භූමිකාවක්. කතාවක දුෂ්ටයාට ප්‍රේක්ෂකයන් අකමැතියි. ප්‍රේක්ෂකයා ආදරේ කරන්නේ අහිංසක ප්‍රේමවන්තයාටයි. නළුවෙකු විදියට සමහර විට මෙය අවාසිදායක විය හැකි දෙයක්. නමුත් රවීන්ද්‍ර මෙය ගැටලුවක් ලෙස සැලකුවේ නැහැ. ඔහු ඒ භූමිකාව ඉතා හොදින් නිරූපණය කරන්නයි සම්පුර්ණ අවධානය හා ශක්තිය යෙදුවේ. එය නිරූපණයක් පමණක් බවත් ඔහුගේ රංගන කාර්යයේ වැදගත් කොටසක් බවත් මනාව වටහාගෙන කටයුතු කළ කෙනෙක්. මේ නිසයි අදටත් අපි ඔහු ඉතා ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පයෙකු විදියට දකින්නේ. ඉතින් මෙවැනි ඇගැයීමක් ඔස්සේ අද තරුණ පරපුරටත් ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එය වැදගත් දෙයක්. ඒ වගේම පිදිය යුත්තන්ට පිදීම කළ යුතු දෙයක් අගය කළයුතු දෙයක් ඒ නිසා රවීන්ද්‍ර රන්දෙණිය කියන කෘතහස්ත කලාකරුවා අගයන්න විශේෂයෙන් ඔහු සිනමාව තුළ කළ කී දෑ යළි මතකයට නඟන්නටත් මෙය වටින අවස්ථාවක් ලෙසයි මා දකින්නේ.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT