නිවස ලාංකිය සිනමාව ඔබ නොඇසූ නොදුටු කතාවක් රිදී තිරයට ගෙන එයි

ඔබ නොඇසූ නොදුටු කතාවක් රිදී තිරයට ගෙන එයි

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

උදාලෝකය වඩාත් දීප්තිමත්ව සියල්ල පැහැදිලි වූ අවස්ථාවේ වනයේ තුරු වදුලුවල හුන් බොහෝ කුරුල්ලෝ පියාඹන්නට වුවෝය. රැගුම ගැයුම වියැකී යාම සම්බන්ධයෙන් කිසිවෙකුට දුකක් සංවේගයක් නූපන්නේය.මේ රඟහලේ රඟන කුරුල්ලන්ගේ ස්වභාවය එය වන්නේය. හෙට දින උදාආලෝකයේදීත් ඔවුන් රඟනු ඇත. ගයනු ද ඇත. එහෙත් ඒ මේ දින ගණනාව තුළ රැඟූ ගැයූ ආකාරයට නොවිය හැකියි. දහසක් බලාපොරොත්තු තබාගෙන යන මේ ගමනේ වැසි වැටුණොත් රැගුම් ගැයුම් නැත.වැසි වටනයකදී බොහෝ කුරුල්ලෝ නොඉඟිළෙති.එමෙන්ම නොගයති. ඔවුන් එදින සියලු දෙනා මුළු ගැනෙති. එයද රැගුමේ කුරුල්ලන්ගේ ස්වභාවය වන්නේය. විශ්ව සෞන්දර්යය කවර අවස්ථාවකවත් තමන්ගේ සීලයට බාධකයක් නොකරගනි. සැබැවින්ම සමාධියේ සමාරම්භය වූයේය යන විශ්වාසයක්මේ තෙරණියන් ළඟ තිබේ. ගෙන්දගම් පොළවේ පය කෙටි කලකට දුරස් කර විශ්ව සෞන්දර්යයේ චිත්තාස්වාදයේ මේ යන රූපයට ආදරයෙන් වැලඳ ගැන්මක් අත්හැර ගැනීමේ ආශාවක් හෝ නැත. සිත සැහැල්ලුවෙයි නිවෙයි දයාවෙන් පිරෙයි. මෙහි සිටින කිසිවෙකු උස් පහත් යයි භේදයකින් තොරව නිර්මාණ කාරියෙහි නියැළෙන්නෝය. කුරුලු කුජනයන්ගේ රාවයන්ට සවන් දෙමින් මන් මාවත වැරදෙමින් විනිශ්චයේ නිවැරැදි ඉව්ව කරා

රිය සක කැරකැවිණි. මේ මොහොත වන විට අප ළඟා වූයේ තිස්සමහරාම ටෙලි සිනමා ගම්මානයේ ගෞතම බුද්ධ මාතා දර්ශන තලයේ අවසන් දිනය විශේෂ රූ සටහන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තව කෙනෙකු වෙනුවෙන් සිත්හි පහන් සිළක් සටහන් තබන්නයි.

රාජමාතාව රාජ මෙහෙසිය රාජ කුමාරිය යන නාමයන් ස්ත්‍රියන් හට දුලබ නොවෙති. නමුත් යම් ස්ත්‍රියක් හට බුද්ධ මාතා යන නාමයක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභය. ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන විත් බුදුවන සිදුහත් කුමරුන්ට සිය මව් කුසය දුන් මහමායා දේවිය හැරුණු කොට ඒ දුර්ලභ වාසනාව උදාවූයේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට පමණක්මය. ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.

සුවහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් භික්ෂුණි සස්න ආරම්භ කිරීමටද පුරෝගාමී වූ ඈ සිදුහත් කුමරා කුසින් නොවැදුවද එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරන තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වන නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතාහි පසු ගිය දින අවසන් අදියරෙහි රූපගත කිරීම් කළ තිස්සමහරාම ටෙලිසිනමා ගම්මානයේදි රූගත කිරීම් අවසන් කෙරිණ.

බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපති ගෝතමියගේ ජීවන පුවත ඇසුරින් නිෂ්පාදක තිලංග සුමතිපාලගේ සංකල්පයකට අනුව මෙහි තිර රචනය සහ දෙබස් ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. දර්ශන තලයේදී සිනමා පටය පිළිබඳ අදහස් දක්වමින්

***

සම්මානිත මහාචාර්ය සුනිල් ආරිරත්නයන් සඳහන් කළේ ගෞතම බුද්ධ මාතා යනු මේ සමයේ නිර්මාණය නොවන ආකාරයේ විශාල ආයෝජනයක් සහිත දැවැන්ත සිනමා නිර්මාණයක් බවයි. මහා ප්‍රජාපති ගෝතමිය බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රධාන චරිතයක් වුවත් එතුමිය පිළිබඳව තොරතුරු සුලබව එතුමියගේ ශ්‍රේෂ්ඨ චරිතය පදනම් කරගෙන සමාජගත වී නැහැ. එතුමියගේ ශ්‍රේෂ්ඨ චරිතය පදනම් කරගෙන මේ බදු වටිනා සිනමා නිර්මාණයක් කරන්නයි තිලංග සුමතිපාල මහතා මා හට ආරාධනා කළත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සොයා ගැනිමට විශාල වෙහෙසක් දැරීමට සිදුවුණා. ඒ සඳහා අවශ්‍ය පොත්පත් සහ ඓතිහාසික මූලාශ්‍ර රාශියක් පරිශීලනය කරන්න සිදුවුණා. එය ඉතාම අසීරු කාර්යයක් වුවත් මම එය ද ඉතා සාර්ථකව සිදුකළා, මෙතෙක් කිසිදු අයුරකින් හමු නොවූ. මහා ප්‍රජාපති ගෝතමියගේ ජීවන චරිතය මෙම චිත්‍රපටය හරහා ලෝකවාසී බෞද්ධ ජනතාවට හඳුනා ගන්නට සහ දැක ගන්නට ලැබෙනවා. ඉන්දීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟින් ප්‍රවීණ දේශීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් ද සිනමා පටය සඳහා රංගනයෙන් දායක වෙනවා. යනුවෙන් සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසීය. මේ තෝරා ගත්ත සියලු නළු නිළියන් ඉන්දියාවේ මලයාලම්, ඛණ්නඩී සහ ටෙලි නාට්‍යවල සහ වෙළඳ දැන්වීම්වල ප්‍රධාන චරිත රඟපාපු ශිල්පීන්ය. ඒවගේම තමයි සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ ජනමාධ්‍යවේදී අප අතරින් වෙන්ව ගිය ඒ.ඩී.රන්ජිත් කුමාර මහතා තිලංග සුමතිපාල මහතා මට හඳුන්වා නොදුන්නා නම් මෙවැනි තිරපිටපතක් සමාජගත නොවනු ඇතැයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කළේය. ඒ වගේම තමයි මම මෙහි පිටපත ලිව්වත් අධ්‍යක්ෂණය කරන්නේ නෑ කියන තැන සිටියා. ඒත් තිලංග සුමතිපාල මහතා නිෂ්පාදන කර්තව්‍යයට අතගහනවා කිව්වාට පස්සේ මට නොකර ඉන්න බැරි තැනට පත්වුණා. 2020 මෙම සිනමා පටය නිර්මාණය කළා නම් මේ යන වියදමෙන් තුනෙන් එකක් පමණයි වියදම් වෙන්නේ. නමුත් මේ වන විට විශාල ධනස්කන්ධයක් වැය වී හමාරයි. පාලි සංස්කෘතික ලිඛිත සටහන් වලට අනුවයි මෙම සිනමා පටයේ සියල්ල සිදුවන්නේ. මගේ අධ්‍යක්ෂණයන් නිර්මාණය වුණ සිනමාපට අතරට මේ සිනමා පටය වි⁣⁣ශේෂත්වයක් උසුලනවා මේ කතා පුවත මෙ වන විට කිසිම තැනක රුප මාධ්‍යයකින් කතා කරලා නැති නිසාය.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස දර්ශන තලයේදි විශාල කාර්යභාරයක් සිදු කරන අතර මා සමඟ කතාවට මුල පුරමින්

සුනිල් සර් සිනමා පට අතරින් මම කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන හයවෙනි සිනමා පටයයි. එක පැත්තකින් මම ගොඩක් සතුටු වෙනවා සර් සමඟ සිනමා පට හයක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්න ලැබීමත්.තිර පිටපත් රචකයාගේ කතාව මත අධ්‍යක්ෂකවරයාගේ සිතේ ඇඳෙන රූප කාචයක් මගින් ආලෝකය මත අඳීන රූප සමුදායක් හරහා කැමරාවෙන් අධ්‍යක්ෂකවරයාට ගෙන එන්නට සැම විටම කැමරා අධ්‍යක්ෂකවරයා සමත් විය යුතුයි.කැමරා අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂකවරයා අතර තියෙන අන්‍යන්න්‍ය අවබෝධය නොවෙන්නට සාර්ථක නිර්මාණයක් බිහිවෙන්නේ නෑ. ඒ සාර්ථක නිර්මාණය බිහි කරන්නට පුරෝගාමී වන සියලු දෙනාම එක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළින් තමයි මේ දක්ෂ නිර්මාණ බිහි වෙන්නේ. එවැනි නිර්මාණයක් සඳහා කැමරා අධ්‍යක්ෂකවරයාට තියෙන කාර්යභාරය සුළු පටු නෙවේ. මේ නිර්මාණයට අත පොවන්නට ප්‍රථම මාස ගණනාවක් අපි සියලු දෙනාම සාමූහිකව සාකච්ජා කර කටයුතු සූදානම් කරගත්තා.සර් සහ මම ප්‍රජාපතී ගෝතමියගේ කතා වස්තුව මුල සිට අගට හරියාකාරවම දැනගෙන සිටියේ නැහැ. සර් ළඟ තිබ්බ පොත පත සහ තවත් බොහෝ පොත් පත් පරිශීලනය කරලා ඒ මුලා ආශ්‍රයෙන් දැනගත් කරුණු මත තමයි සර්ගේ අතින් තිරපිටපත රචනා වෙන්නේ. මේ කතාවේ සියල්ල සිදුවන්නේ බුද්ධ කාලීන භාරතයේ සිදුවෙච්ච සිදුවීම්ය. ඒ සඳහා අවශ්‍ය චරිත තෝරා ගැනීමට අපි මාසයකටත් වැඩි කාලසීමාවක් ඉන්දියාවේ බොම්බෙදි සර් සහ මම හා සහාය අධ්‍යක්ෂකවරයා මෙන්ම වේශ නිරූපණ ශිල්පියාද එක්ව ප්‍රධාන චරිත හතර සඳහා තෝරාගැනීමේ පරීක්ෂණයක් පැවැත්තුවා. සීයකට වැඩි ප්‍රමාණයක් තිර පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව සිටියා. ඒ අතරින් අපට අවශ්‍ය නළු නිළියන් හතර දෙනා තෝරා ගැනීමට අවස්ථාව ලැබුණා. මේ තෝරා ගත්ත හතර දෙනාට අපි තෝරා ගත් බව සඳහන් කළාට පසු.අනිත් ශිල්පීන් දුරකථන ඇමතුම් ලබා දීලා අපිට සුළු හරි චරිතයක් දෙන්න කියලා ඉල්ලපු අවස්ථා තිබුණා. චිත්‍රපට කර්මාන්තයක් ලෙස පවතින ඉන්දියාව වගේ රටක අපේ වගේ කුඩා රටක හදන්න යන සිනමා පටයක් සඳහා කොච්චර කැප කිරීමක්ද ඔවුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තෝරා ගත්ත සියලු දෙනා ෆොටෝ ජෙනික් අතින් ඉහළම තැනක සිටින්නේ. නිර්මාණය වෙනුවෙන් ඔවුන් සෑහෙන කැප කිරීමක් කළා.

ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සූදානම් වන අතරතුරේ ඉන්දීය නිළි ප්‍රජාපති ගොතමිය ලෙස රංගනයෙන් එකතුවන

“ඵර්ල් ගුණී ඛන්නා ”

මගේ නම ඵර්ල් ගුණී ඛන්නා (ප්‍රජාපති) ගෞතම බුද්ධ මාතා සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා සහ කැමරා අධ්‍යක්ෂකවරයාත් වේශ නිරූපණ ශිල්පියාත් සමඟ සහය අධ්‍යක්ෂවරයා ඉන්දියාවේ බොම්බෙට ඇවිල්ලා අපිට සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. ඒ සඳහා සීයකට වැඩි පිරිසක් සහභාගි වුණා කියලයි මම දන්නේ. ඒ තෝරා ගත්ත අය අතරින් කිහිප දෙනෙකු මේ සිනමාපටයට සම්බන්ධ චරිත සඳහා තෝරා ගත්තා. මට මේ පිටපත හින්දි භාෂාවෙන් පරිවර්තනය කරලා දුන්නා. ඒ පිටපත කියවලා මම ගොඩක් ආසා හිතුණා. ඒ චරිතයට මාව තෝරා ගැනීම සම්බන්ධව. හැබැයි මම බුදු හාමුදුරුවෝ ගැන දැනගෙන හිටියට ප්‍රජාපතී කියන නම දැනගෙන හිටියේ නෑ ඒ කවුද කියලවත් දන්නේ නැහැ. ඒත් ලංකාවේ සියලු දෙනාම මේ චරිත ගැන හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් මට මේ චරිතය රඟපාන්න ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මගේ රටේ ඉපදිච්ච කෙනෙක් ගැන මම නොදන්නා සිටීම ගැන ඇත්තටම මට කණගාටුවක් තියෙනවා. ඒත් මගේ පළවෙනි අන්තර්ජාතික සිනමා පටයට එවැනි කෙනෙක්ගේ චරිතය ලැබීම පුදුම සතුටක් මගේ හිත ඇතුලෙ තියෙන්නේ.ඉන්දියාවේ මම වැඩි හරියම නිරූපණ ක්ෂේත්‍රයත් එක්ක තමයි ගනුදෙනු කළේ. වෙළෙද දැන්වීම් රාසියක මම නිරූපණයෙන් දායක වුණා. ථඪඵඵ ඪදඤඪච තරඟයටත් මම සහභාගි වුණා. මේ මගේ දෙවැනි සිනමාපටය මීට ප්‍රථම මම තෙළිඟු සිනමා පටයකට දායක වෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යය කිහිපයකටත් එහේ දායකත්වය දුන්නා. මේ සිනමා පටයට තෝරගන්න විට මට භාෂාවල පොඩි ප්‍රශ්නයක් තියෙයි කියල හිතුවා. ඒත් එයට සාධාරණ විසඳුමක් ලැබුණා.භාෂාව සම්බන්ධව සිනමා පටය මාව මෙහෙයවපු මහාචාර්යතුමා හරිම සරල ලෙස සිංහල භාෂාව උච්චාරණය කරන විදිය හින්දියෙන් පරිවර්තනය කළා.ඒනිසා ප්‍රජාපතිගේ චරිතයට මට පිටුවහලක් වුණා ඔහුගේ සහයෝගය. අධ්‍යක්ෂකතුමා සහ නිෂ්පාදකතුමාගේ සිට සියලූම කෲ එක රූපගත කිරීම් අවසන් වන තෙක් හොඳ සහයෝගය ලබාදුන්නා. රූපගත කිරීම් අවසන්කර අපි ඉන්දියාව බලා යනවා. සිනමා පටය තිරගත වන දිනට අපි පැමිණෙනවා. එදාට ඔබ අප හමුවෙයි කියලා හිතනවා.⁣ ඉතාම කාර්යබහුලතාවයෙන් එහෙ මේ දුවමින් සිටි.

වේශ නිරුපණ ශිල්පි “ප්‍රියන්ත දිසානායක “සිනමාපටය සමඟ අදහස් දක්වමින් පැවසුවේ වෙනස්ම අර්ථකථනයකි.

මගේ මේ 25 වැනි නිර්මාණය වෙනවා, මේ නිර්මාණය කරන්නට ප්‍රථම අපි සියලු දෙනා විශේෂ සාකච්ජා වට කිහිපයක්ම පැවැත්තුවා. ඉන් අනතුරුව තමයි නළු නිළියන් තොරා ගැනිම සදහා ඉන්දියිව බලා යන්නේ. එහිදී ප්‍රධාන නළු නිළියන් හතර දෙනකු තෝරාපත් කර කරගන්නවා. සිද්ධාර්ථ, මහමායා, ප්‍රජාපති, යශෝධරා යන චරිත හතරයි. සුනිල් සර් වැඩකට තොරා ගන්නේ හොඳට හොයලා බලා ඒ නිසා මගේ කාර්‍යය භාර්ය මම මැනවින් ඉටු කළ යුතුවෙනවා කියන හැඟීම මේ ⁣ඓතිහාසික නිර්මාණයට මම එකතු වෙන්නේ. බුද්ධ කාලීන භාරතය සමඟ භික්ෂුණි වහන්සේලාගේ චරිතවලට ගැළපෙන අයුරින් සියල්ලම හිස මුඩු කිරීම කළ යුතුය. ඒත් මේ සියලු ශිල්පින් සැබෑ ජීවිතයේදි සිවිල් පුරවැසියන් එ නිසා කෘතිම මුඩු හිසක් නිර්මාණය තරමක් අභියෝගයක් ඒත් නිර්මාණ ශිල්පියකුට අභියෝග එන තරමට තමා නිර්මාණයේ සාර්ථකත්වය රුදි තිබේන්නේ. ඉන්දියාවේදි 100 විතර පිරිසක් ඔඩිසන් එතකට පැමිණියා. එයින් අපට අවශ්‍ය 4 දෙනකු පමණයි තොරා ගැනිම සිදුකළේ. එතනදි මේ සියලු දෙනා වේශ නිරුපණයකර නිර්මාණයට හරියනවද කියලා ස්ක්‍රින් ටෙස් කරලා බලලා තමයි තොරා ගැනිම් සිදුවුණේ. මේ සිනමා පටයට මා සමඟ පස්දෙනකු කණ්ඩායමේ සහයවෙනවා. ඔවුන් හොද සහායෝගයක් ලබාදිම නිසා නිර්මාණයට මගෙන් කරන්න තිබෙන කාර්ය මැනවින් ඉටුවුණා. දිනකට ශිල්පීන් පහළොවක් විස්සක් විතර වේශ නිරූපණය කරන්න සිදුවෙනවා. කාලයත් සමඟ මේ සිනමා පටය මම කළ අභියෝගාත්මක සිනමාපටයි. තව දින ගණනාවකින් මෙහි කටයුතු නිමාවෙනවා.තිරගත වන දිනට මෙහි ආලෝක රශ්මිය බලාගන්න හැකිවේයි. එයට තරමක් දුරින් අධ්‍යක්ෂකවරයා සමඟ දර්ශන තලයේ රූපගත කරන අවසන් දර්ශන දිහා නොවැසිල්ලෙන් බලා සිටින, සුමති යුනිවර්සල් පුද්ගලික සමාගම වෙනුවෙන් තිලංග සුමතිපාල මහතා නිෂ්පාදකතුමා ලෙස ගෞතම බුද්ධ මාතාවට මුල පිරූ අයුරු පැවසුවේය.

මගේ මව දිවංගත මිලිනා සුමතිපාලයි. ඇය විසින් සිංහල සිනමාවට සම්මානනිය සිනමා පට සමුහයක් තිළිණ කළා. ගඟ අද්දර, දුවට මවක මිස, පත්තිනි, උත්පලවන්නා ඒ අතරින් විශේෂ වෙනවා. අම්මා හරියට පොත් කියවනවා.ඒ කියවපු පොත්ත ඇසුරින් තමයි.චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න පෙලඹුණේ. ඒ අනුව

බුදු හිමියන්ගේ සුළු මව වු ප්‍රජාපති ගෝතමිය ශ්‍රේෂ්ඨ කාන්තා චරිතය ඇසුරින් සිනමා පටයක් නිෂ්පාදනය කිරීමේ අශාවක් මෙන්ම බලාපොරොත්තු වක් මගේ මව තුළ තිබුණා.ඇගේ ඒ අරමුණ ඉටුකිරිමේ බලා⁣පොරත්තුව ඉටුකිරිමේ අරමුණ ඇතිවයි ගෞතම බුද්ධ මාතා කතා පුවත සිනමාවට ගෙන්න තිරණය කළේ. ඉන් පසු ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී.රන්ජිත් කුමාර මහතා සහ මම මහාචාර්ය සුනිල් ආරියරත්න සර් හමුවෙලා මේ කතා පුවත තිර නාටකයට ගේන්න සර් සමඟ එකඟතාවයකට ආවා. එහි ප්‍රතිඵලයක් ලෙස සර් මේකට මුල පිරුවා. දැන් සිනමාපටය රුපගත කිරිම් අවසන්. වාර්තාමය චිත්‍රපටයක් ලෙස දිගහැරෙන්න තියෙන කතා පුවතක් පැය දෙකහමාරක වැනි කාලයකට ගොනු කරන්නට අධ්‍යක්ෂතුමාට මගේ පූර්ණ සහයෝගය නිරන්තරවම ලැබුණා. 1975 ආරම්භයේ තිබුණු රූප රාමු දිහා බලපුවාම මෙම සිනමා පටය ඉතාම සොඳුරුද කියලා හිතෙනවා. මෙවැනි සිනමාපටයක් නිෂ්පාදනය කිරීම මම ලද භාග්‍යයක් ලෙස කියන්න පුළුවන්ද කියලා හිතුණා. ලංකාවේ විවිධ පළාත්වල මෙහි රූපගත කිරීම් සිදුකළ අතර පසු නිෂ්පාදක කටයුතු අවසන් වීමත් සමඟ මේ වසර අග සිනමා පටය තිරගත කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මේ සිනමා පටයන් පසු නිෂ්පාදකයකු ලෙස ඉදිරියේදි සමහර විට කටයුතු කරන්නත් පුළුවන් කමක් තියෙයි. ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය විශ්වයේ සුවහසක් මව්වරුන්ගේ නාමයට පිදෙන උපහාරයෙකි. ඒ සම්බන්ධව රන්මිණිතැන්නේදී අප සමඟ එකතු වූ තිලංග සුමතිපාල මහතා පැවසිය.

ප්‍රේක්ෂකයාගේ ඇස රැවටීමේ කලාව තිබෙන්නේ ඔහු සතුය ඒ කලා අධ්‍යක්ෂක මංජුල අයගමයි.

මේ සිනමාපටයට මම සම්බන්ධ වෙන්නේ අභියෝග ගොඩක් මැද. එයට හේතුව තමයි මීට අවුරුදු 2500කට පෙර අතීතයක තිබුණු ලිඛිත සටහන් සහ එහි දළ සැලැස්ම කලා අධ්‍යක්ෂකවරයා ලෙස නිර්මාණය කරන්නේ කොහොමද කියන එකයි. සර් සමඟ කරන මගේ පළමු නිර්මාණය මෙයයි. ඓතිහාසික කතා පුවතක එන සියලු දේ ප්‍රේක්ෂකයාට ඉතිහාසය පැය දෙකහමාරක පැයයි විනාඩි 45ක වැනි කෙටි කාලසීමාවක් තුළ රස විඳීන්නට දෙන්නට අධ්‍යක්ෂකවරයාගේ මගපෙන්වීම තුළ තිර පිටපතේ සඳහන් වන ආකාරයට නිර්මාණය කිරීම අභියෝගාත්මකයි. ඒත් මම ඒ අභියෝගය බාරගෙන මෙහි මුල පිරුවා.බුද්ධකාලීන භාරතයේ පසුබිම සහ ලංකා ඉතිහාසයේ දළ සටහන් ඉන්දියාවේ, අනුරාධපුරය, නුවර, රන්මිනිතැන්න වැනි ප්‍රදේශවල පසුබිම කලා අධ්‍යක්ෂකවරයා ලෙස මට ගොඩනඟන්නට ලැබුණා. චරිත වශයෙන් ගත්තාම ඔවුන්ගේ ගිහි ජීවිතයේ සහ භික්ෂු ජීවිතය චරිතයෙන් චරිතයට වෙනස් වන ආකාරය මුල සිට අගටම මතක තබා ගැනීමත් අපහසු කාර්යයක් වෙනවා. විවිධ පොත්පත් ඇසුරින් සහ ඡායාරූප සහ අතීතයේ පටිගත කළ දර්ශන අධ්‍යනය කරමින් මෙම නිර්මාණය කලා අධ්‍යක්‍ෂණයට මඟ පාදා ගත්තා. මා සමග සහයෝගයට පහළොස් දෙනකුගෙන් පමණ කණ්ඩායමක් එකා මෙන් උරදුන්නා නිර්මාණය වෙනුවෙන්. සර් සමඟ වැඩ කිරීම ඉතාම පහසු කාර්යයක් ලෙස මම දැක්කා මේ නිර්මාණය අවසන් වන විට. එවැනි පරිණත අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කිරීම අප ලද භාග්‍යයක් ලෙස දකිනවා.

මුළු සිනමාව පටේම කරපිට පැටවෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයා වෙතයි. ඔහු එහි වගකීම දැරුවේ නැත්නම් වෙන කවුරු දරන්නද, මේ

සහාය අධ්‍යක්ෂක විමල් දේශප්‍රිය

සුනිල් සර් සමඟ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන මගේ මේ දහවැනි සිනමා පටය වෙනවා. 2001 වර්ෂයේ සුදු සෙවනැළි සිනමා පටයෙන් සර් සමග සහය අධ්‍යක්ෂකවරු ලෙස එකතු වෙන මම නොකඩවා සර් සමග අද වන විට දුර ගමනක් ඇවිත් තිබෙනවා. සිනමා ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල අධ්‍යක්ෂකවරයකු ලෙස සුනිල් සර්ගේ සහය අධ්‍යක්ෂකවරයා වීම ගැන මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. සර් කළ සිනමා පට අතර බොහෝ සිනමා පට බොක්ස් ඔෆිස් වාර්තා තබපු ඒවා. සිනමා පට දහයක සහය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කිරීම නිසා හොඳ අන්‍යෝන්‍යය අවබෝධයක් තිබෙන නිසා එතුමා මාව හොඳීන් හඳුනාගෙන අවබෝධ කරගෙනයි සිටින්නේ. සිනමා පටයක ප්‍රධාන අධ්‍යක්ෂකවරයාට ගහට පොත්ත සේ හොඳ බැඳීමක් විය යුතුයි සහාය අධ්‍යක්ෂවරයා. ඒ නිසා සර්ගේ සියලු නිර්මාණවලට මාව එකතු කරගන්නවා. ඒවගේම මම ඔහුගේ නිර්මාණ තුළ රුචි අරුචිකම් හොඳීන් අවබෝධ කරගෙනයි සිටින්නේ. මෙම සිනමා පටය රූපගත කිරීම් ආරම්භ කරන්න සිටියේ මාර්තු මාසයේ. ඒත් පළමු නිෂ්පාදකවරයාගේ කාර්යයේ තිබුණු යම් යම් අපහසුතාවයන් අඩුපාඩු නිසා එය මඟ හැරී ගියා. ඉන්පසු දෙවැනි නිෂ්පාදකවරයා ලෙස තමයි තිලංග සුමතිපාල මහත්මා මෙම සිනමා පටයට මුලපිරුවේ. තිලංග සුමතිපාල මහත්මා නිෂ්පාදකවරයා ලෙස එකතු වුණාට පස්සේ තමයි අපි ඉන්දියාව බලා පිටත්ව යන්නේ. සිනමා පටයට අවශ්‍ය ප්‍රධාන නළු නිළියන් පිරිස තෝරා ගැනීමට ඒ කටයුත්ත සූදානම් වෙන්නෙත් මගේ යාළුවෙකු හරහා තමයි ඉන්දියාවේ බොම්බේ වලදි. ඒ තෝරා ගත්ත නළු නිළියන් පිරිස සමඟ එදා ඉඳන් අද සිනමාපටය අවසන් වන තුරු කිසිදු ප්‍රශ්නයක් නිෂ්පාදකවරයාගෙන් අපට ඇතිවුණේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක් හැටියට දකින්න පුළුවන් නිෂ්පාදකවරයකුගේ කාර්යභාරය තුළ. ඉන්දියාවේදි සම්මුඛ පරීක්ෂණයට පැමිණි පිරිස අතරින් තෝරා ගත්ත හතර දෙනාට අමතරව බොහෝ පිරිසක් දුරකථන ඇමතුම්වලින් අපිට සුළු හරි චරිතයක් ලබා දෙන්න කියලා ඉල්ලපුවාර අනන්තයි. ඒත් යම් ක්‍රියාදාමයක් තියෙනවා ඕනෑම නිර්මාණයක් කරන විටදී විදේශීය ශිල්පීන් සහභාගී වෙද්දී ඒ ක්‍රමවේදයන් තුළ අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා එතනින් පරිබාහිරව ක්‍රියා කරන්න අමාරුයි. නැත්නම් විශාල පිරිසක් මෙම නිර්මාණයට ඉන්දියන් ශිල්පීන් සහභාගි කරවාගන්න තිබුණා. විශේෂයෙන් කිය යුතුම කරුණක් තමයි හොඳ අධ්‍යක්ෂකවරයකුට හොඳ නිෂ්පාදකයකු එකතු වෙනවා කියන්නෙත් දුර්ලභ කටයුත්තක්. විදේශීය ශිල්පීන් සහභාගි කරගෙන ආගම් සහ සංස්කෘතීන් අතින් මෙන්ම භාෂාවලදී විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ සියලු කාර්යභාරයන් පැවරෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයාටයි. පැමිණෙන ශිල්පීන්ගේ මව් බස විවිධයි. ඒ නිසා එයට උචිත ආකාරයෙන් අපි පාවිච්චි කරන භාෂාව ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළ යුතුයි. ඒ කටයුත්ත අපිට සිදු කරලා දුන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතාන ගමගේයි. ඔහු අතින් සිදුවුණු කාර්යභාරය සුළුපටු නොවේ තිර පිටපතක් සමඟ එය මා මතක් කළ යුතුමයි සහය අධ්‍යක්ෂකවරයා ලෙස. සිංහල භාෂාවෙන් රචනා වූ පිටපත හින්දි භාෂාවෙන් සිංහල භාෂාවේ අනුසාරයෙන් ඒ චරිත වල දෙබස් ඔවුන්ට කියන්නට ඉඩ සැලසුවා මහාචාර්යතුමා විසින්. යම් යම් විවිධ ගැටලු නිසා දින හතළිහක වැනි කාල පරාසයකට සිනමා පටය රූපගත කිරීම් කරන්නට සිදුවුණා අවසාන මොහොත දක්වා. මේ සිනමා පටයට රංගනයෙන් දාකය වූ දෙස් විදෙස් සියලු දෙනාම හොඳ කැපකිරීමක් කළා. මීට අවුරුදු 2500කට ඉහත අතීතයක තොරතුරු එහි රූප රාමුවෙන් රුප රුමුවට රූපගත කර මාලයක් සේ පැය දෙකහමාරකට අමුණනවා කියන එක තිර පිටපතට අනුව අධ්‍යක්ෂකවරයාගේ මනසේ ඇඳෙන කතා මාලාව සහාය අධ්‍යක්ෂකවරයාට පවරා එය ගොඩනැගීමට අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය ලෙස සූදානම් කරනවා කියන එක බාරදූර කාර්තව්‍යයක් සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස. ඒත් මේ සිනමාපටය මම හරිම ආසාවෙන් වැඩ කටයුතු කළ සිනමාපටයක් වෙනවා.අතිරේක රංගන ශිල්පීන් 400 ක්500ක් විතර මෙයට දායකත්වය දුන්නා. මේ නිර්මාණය සඳහා මට සහාය දුන් මගේ සහය අධ්‍යක්ෂකවරුන් දෙදෙනා සමඟ සියලු රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් එකම කණ්ඩායමක් ලෙස නිර්මාණයේ අවසානය දක්වා කටයුතු කළා ඒ නිසා ගෞතම බුද්ධ මාතා සිනමාපටය රූපගත කිරීම් අවසන් කොට තව නොබෝ දිනකින් පසු නිෂ්පාදන කටයුතු සිදු කරනවා.

සිනමා පටයේ සියලු වැඩ කටයුතු නිමා වුණත් ඔහුගෙන් සිදුවන කාර්යභාරය කතා කළ යුතුම වෙනවා.

ඒ වෙන කවුරුවත් නොවේ සිනමා පටයේ “නිශ්චල ඡායාරූපී ධම්මික පතිරත්න”

මේ සිනමාපටයේ රූපගත කිරීම් ලංකාවේ විවිධ පළාත්වල දින හතළිහක් සිදු කළා. එහි අවසන් දින ගණනාව තමා දර්ශන තලයේ රූපගත කිරීම් තමයි රන්මිණිතැන්නේ මේ සිදුවෙමින් පැවතුණේ.ඒ දින හතළිය තුළම මගේ කැමරා ඇස ඒ රූප රාමු හා සම්බන්ධ වුණා. සර් සමඟ මම වැඩ කරන හතර වෙනි සිනමා පටය මෙයයි. සිනමා පටයක් රූපගත කරන විට කිසිම මොහොතකවත් ඒ රූපරාමු පිටතට නොයා යුතුයි. එහෙම පිටතට රූප රාමුවක් යනවා නම් අධ්‍යක්ෂකවරයාගේ සහ සහය අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මතයි සිදුවෙන්නේ. ගොඩක් දෙනෙක් ඒ සම්බන්ධව අවබෝධයක් නැහැ. සිනමා පටයක් රූපගත කරන විට විශාල වගකීමක් ඡායාරූප ශිල්පියාටත් පැවරෙනවා. දැනට මම සිනමාපට විසි හයක විතර නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ තිබෙන අත්දැකීම් එක්ක මාව මේ සිනමා පටයේ ඡායාරූප ශිල්පියා ලෙස තෝරා ගැනීම සර් සිදු කළා වෙන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා දකින රූපරාමුව කැමරා අධ්‍යක්ෂකවරයාගේ කැමරා කෝණයෙන් රුප ගත කරන විට එම රූප රාමුවම නිශ්චල ඡායාරූපය ලෙස මාත් රූපගත කළ යුතුයි. ඒ සියලු ඡායාරූප සිනමා පටය රූපගත කිරීමෙන් පසු ප්‍රචාරණ කටයුතු සිට පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යයට මුදාහැරීම සඳහා අධ්‍යක්ෂකවරයා තෝරා ගනු ලබන රූප රාමු පමණයි හැමවිටම මුදා හරින්නේ. සිනමා ජායාරූප ශිල්පියකු ලෙස විශාල වගකීමක් වෙනවා එවැනි කටයුත්තකදී. කිසිදු විටක අනුදැනුමකින් තොරව රූප රාමුවක් එළියට ගියහොත් එහි වගකීම පැවරෙන්නේ ඡායාරූප ශිල්පියා වෙතයි. එය සිනමා පටයට කරන ලොකු හානියක් ලෙස දකින්න පුළුවන්. ඒ නිසා එහි වගකීම බාර අරගෙන තමයි අපි ගිවිසුම් ගතවෙලා සිනමා පටයට සම්බන්ධ වෙන්නේ. නිෂ්පාදකවරයා මුදල් සිනමාපටයට යෙදෙව්වත් එහිදී අධ්‍යක්ෂකවරයාගේ අවසරයක් නැතුව කිසිදු විටක නිෂ්පාදකවරයාටද දෙන්නත් බැහැ. සිනමා පටය රූපගත කිරීමෙන් පසු සිදුවන සියලු කාර්යභාරයන් සඳහා නිශ්චල ඡායාරූප පමණයි යොදාගන්නේ. දැන් සමාජ මාධ්‍ය තුළ පවතින අක්‍රමිකතා හේතුවෙන් කිසිදු විටෙක රූප රාමු මුදාහැරීමද සිදුවන්නේ නැහැ. ඒ නිසා සිනමා පටයකට සම්බන්ධ වී ඡායාරූපගත කරන ශිල්පියාට ලොකු වගකීම් සිනමා පටය වෙනුවෙන් දරන්නට සිදුවෙනවා.

ඇයට ලැබෙන වගකීම කිසි දිනක පැහැර නොරින්නේ. ඒ නිසාම ඇයට ගෞතම බුද්ධ මාතා සිනමාපටයේ සුවිශේෂී චරිතයක් හිමි විය.

“ආශා එදිරිසිංහ (කුමාර කාශ්‍යප මහ තෙරණින්වහන්සේ)

මගේ ජීවිතේ මම ලබපු ලොකුම සතුට මේ සිනමා පටය කියලා කියන්න පුළුවන්. බුද්ධ කාලීන භාරතයේ අපේ ජීවිතයේ අපි කියවලා අහපු දේවල් හා නෂ්ටාවශේෂ පමණක් දකින්නට ලැබුණත්, භික්ෂුණී ශාසනයේ ඉතිහාසය මහා ප්‍රජාපතී ගෝතමියගේ ගිහි ගේ ජීවිතයේ සිට භික්ෂුණී දක්වා පැමිණි ගමන් මඟේ චරිතාප්‍රදානය සිනමා පටයකට එනවා කියන එකත් බුද්ධ කාලීන භාරතයේ සිටි කුමාරකාශ්‍යප මහා තෙරණින් වහන්සේගේ චරිතය මට රඟපාන්න ලැබීමත් මම ලබපු භාග්‍යයකි. සම්මාන්නිත මහාචාර්ය සුනිල් ආරියරත්න සර් ගේ අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙනවා කියන එකත් තරුණ පරම්පරාවේ නිළියක් ලෙස අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්නට ලැබුණා. අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ සහ ඉන්දියාවෙන් පැමිණ සිටි ශිල්පීන්ගේ සහයෝගය අගය කළ යුතුයි. කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේගේ චරිතය මගේ ජීවිතයේ හරිම සංවේදී චරිතයක්. මේ චරිතය කරන විට මහණදම් පුරන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලත් හිතුණා. ඒ තරම් මේ චරිතයට මම සංවේදීව එකතු වුණා. මේ සිනමා පටයට දායක වුණු සියලු දෙනාගේම හොඳ සහයෝගයක් අවසන් වන තුරු ලැබුණා. ඒ සියලු දෙනාට මේ රූපගත කිරීම් කරන අවසන් දිනයේ මම ස්තුතිය පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. දැන් තියෙන ලොකුම ආසාව තමයි සිනමා පටය තිරගත වන දිනය කවදාද කියලා බලාගෙන ඉන්න එකයි. වෙනදා දකින චරිතයට හාත්පසින්ම වෙනස් චරිත ස්වභාවයකි. නිවුණු සිත් ඇතුව සදහම් සිතින් වැලි මළුව බෝ මළුව අමදින භික්ෂුවක් ලෙසිනි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස නම් දරන ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයට

“ධනංජය සිරිවර්ධන සමවැදිමින් පැවසුවේ නිවුණු සිත් ඇතුවය.

මේ සිනමා පටයට මාව සම්බන්ධ කරගත්තා කියපුවාම මට ලොකු සතුටක් දැනුණා. රංගන ශිල්පියෙක් ලෙස සර්ගේ මම මේ එකතුවෙන තුන්වන සිනමාපටයයි. ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය මට රඟපාන්න තියෙනවා කියලා සුනිල් සර් දන්නපුවම අනිත් පැත්තට කිව්වේ කොණ්ඩේ ඔහොම්ම තියෙද්දි අපි එහෙනම් තට්ටයක් දාමු කියලයි. ඒ වෙලාවේ මම දෙපාරක් නොසිතා කිව්වේ තට්ටයක් දාන්න ඕන නැහැ මම හිස මුඩු කරන්නම් කියලයි. පළමු දිනයේ රූපගත කිරීම් වලට පැමිණෙන විට මට සිවුර දැම්මාට පස්සේ මට දැනුණේ පුදුම සැනසීමක්. මේ වන විට මම කිසිදු මත්පැනක් මාංශ අනුභවයක්වත් සිදු කරන්නේ නැහැ. ඒ තරම්ම මට ඒ ජීවිතය ප්‍රිය වුණා. ගොඩක් දෙනෙක් තාවකාලික පැවිදි බව ලබන්නෙත් මේ නිසාම වෙන්න ඇති කියලා මේ චරිතය කරන විට මට හිතුණා. මගේ අතට පිටපත ලැබුණාම මම පිටපත කියවාගෙන යන විට ප්‍රජාපතී ගෝතමිය ගැනත් එහි ජීවත් වුණු අනිත් චරිත ගැනත් ආනන්ද හාමුදුරුවොත් කළ ක්‍රියාකාරකම් වසර දෙදහස් පන්සීයකට එහා ගොස් මනසින් මම දුටුවා කියලා මට දැනුණා. කවුරු කොහොම කිව්වත් බුදු දහමේ තියෙන නිරාමිස සුවය වචනවලින් විස්තර කරන්න අමාරුයි. එයට අනුගත වෙලාම බලන්න ඕන කියලයි මට හිතෙන්නේ.මේ අවුරුද්දේ අවසානය වන විට මෙම සිනමා පටයේ තිරගත වීම ආරම්භ වෙනවා කියලා නිෂ්පාදකතුමාත් අධ්‍යක්ෂතුමාත් සඳහන් කරලා තියෙනවා. මම ඒ දිනය එනතෙක් නොවිසිල්ලෙන් ඉන්නේ. ආදරණීය ප්‍රේක්ෂකයන්ට සුනිල් සර්ගේ කදිර දිව්‍යරාජයා සිනමා පටයෙන් පසු හොඳ සිනමා පටයක් වන ගෞතම බුද්ධ මාතා ඉදිරියේදී බලාගන්න පුළුවන් කියලයි කියන්න වෙන්නේ.

ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹුණේ මේ පෙළගැස්ම ඔබ කියවන දිනට දින හතළිස් නවයකට පමණ පෙරය.එහි අවසන් රූගත කිරීම් සිදුවූයේ පසුගිය විසිතුන් වෙනිදාය. ඒ රන් මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී. මාධ්‍යයට සම්බන්ධ අපි කණ්ඩායමක් වශයෙන් ගෙන්දගම් පොළොවේ සිට රුහුණු මහගම්පත්තුව දක්වා ඒ විශේෂ දර්ශන තලය තුළ රූපගත කරන අයුරු සියැසින් දැක බලා ගැනීමේ ප්‍රබෝධය ඇතුව මගේ පෑන් තුඩත් කැමරා ඇසත් යොමුකර පාඨක ඔබ වෙත සටහනක් තබන්නටය. රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානයට පෙර ගෞතම බුද්ධ මාතා රූපගත කිරීම් සිදු කළේ බෞද්ධ ප්‍රබෝධයක් තිබෙන අනුරාධපුරය නුවරඑළිය සහ මහනුවර යන ප්‍රදේශ කේන්ද්‍රස්ථානය කර ගනිමින්. අධ්‍යක්ෂකවරයාගේ තිර පිටපතට අනුකූලව නළු වාරණය සිදු වූයේ ද සුවිශේෂී අයුරිනි. ඒ අනුව සිනමා පටයට සම්බන්ධ වන රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් ගැන සඳහන් කළොත්

තිර පිටපත සහ අධ්‍යක්ෂණය, සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය තිලංග සුමතිපාල, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, සමිත බෝධිපක්ෂ, වත්සලා සමරකෝන්, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, වස්ත්‍රාභරණ රමේෂා ඕෂනි, අංග රචනය ප්‍රියන්ත දිසානායක, දෘශ්‍ය ප්‍රයෝග සමින්ද වතවන විතානගේ,බුද්ධික විජේරත්න,නාද සැකසුම් සසිකරුවන් මාරසිංහ, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ, කේශා ලංකරණය හරුන් ෂයින්ඩින්, ගායනය කාංචනා අනුරාධි, ආදිත්‍යා වැලිවත්ත, අංජලී හේරත්, සංචලී රත්නායක, රේඛීය නිෂ්පාදනය අනුෂා ධර්මදාස, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධිරගෙනි.

ඵර්ල් ගුණි ඛන්නා, හිමංශි ජෙන්, තුෂර් චිබ්බර්, ආදිති සිං, ඉන්දිය ශිල්පින් ද නිශ්ශංක දිද්දෙණිය.දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, කැලුම් ආර්යන්, සම්පත් ජයවීර, අනුරාධ මල්ලවාරච්චි, ප්‍රියංකා සමරවීර, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංග, ආශා එදිරිසිංහ, සූර්යයා දයාරුවන්, මිෂෙල් දිල්හාරා, නිලූෂි පවන්‍යා, චානුක ප්‍රබුද්ධ, හිරාන් යට්ටෝවිට, ගෙවීන් අභිෂේක්, ඉඳුවර සූරියබණ්ඩාර රංගනයෙන් එක්වෙති.

සිදුහත් කුමරුගේ මව කුමරුන් ඉපිද දින හතකින් මෙලොව හැර යාමෙන් පසු, සුළු මව ලෙස සිදුහත් කුමරු රැකබලා ගැනීම පිණිස මහා ප්‍රජාපති ගෝතමිය කළ අසීමිත කැප කිරීම පිළිබඳ නොඇසූ කතා පුවතක් ගෞතම බුද්ධ මාතා සිනමාපටය හරහා ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබටත් දැක බලා ගැනීමට ලැබෙනු ඇත. මේ හම්බන්තොට තිස්සමහාරාම රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානේ අවසන් රූගත කිරීමේ දර්ශනතලයේ සංචාරයෙන් පසු ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය ගැන තිරගත වීමෙන් පසු කතා කිරීමේ බලාපොරොත්තුව පෙරදැරිව සටහන නිමා කරමි.

සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT