ළදරියක් තරුණියක් කාන්තාවක් යනු උතුම් වස්තුවකි. ඇය සමාජයේ වගකීම් සම්භාරයකට උරුමකම් කියන්නීය. බිළිඳීයක ලෙස උපත ලැබ මල්වර නැකතින් කලඑළි බැසූ දා සිට ඇය හමුවට එන අභියෝග බොහෝය ඇතැම් කාන්තාවන්ට තරුණියන්ට උපතින්ම සැපවත් ජීවිතයක් උරුම වුවද බහුතරයකට එසේ නැත. බහුතර කාන්තා පරපුර මුහුණ දෙන ගැටලු බොහෝය. ආර්ථික ප්‍රශ්න අඹුසැමි ගැටලු දෙමාපියන් රැකබලා ගැනීම, තම දරු පවුල පෝෂණය කිරීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීම වැනි වගකීම් සම්භාරයක උරුමය ඇයට හිමිවේ. ඇයට මඳ හෝ අස්වැසිල්ලක් ලැබෙන්නේ ඈ දෙමව්පියන් සෙවණේ ඉන්නා කාලයේ පමණි. ඉන්පසු තම දිවිය සවිකර ගැනීමට කාන්තාවකට දැඩි අරගලයක පැටලෙන්නට සිදුවේ. සමාජයේ නිතර ව්‍යවහාර වන වචනයෙන්ම කියනවා නම් කුමන හෝ ගේමක් ගසා ගොඩ යා යුතුයි.
එවැනි ගේමක් ගසන අපූරු තරුණියක් සහ තරුණයෙක් අපට පසුගිය දා හමුවිය.
සති කිහිපයකට පෙර සිනමා තිරය මත දිග හැරුණු ‘දුස්රා’ තුළින් අපට හමුවුයේ අනිල් සහ රතීය. ආදායම් මාර්ගයක් සොයා ගැනීමට ඔවුන් තෝරා ගන්නේ සමාජයේ පිළිගැනීමකට ලක්නොවූ මාර්ගයකි. රතීගේ සරාගී පෙනුම එයට උපකාරී කර ගැනීමට අනිල් පෙලඹීම අපට කියා පාන්නේ ඔවුන්ගේ හීනවලට කෙසේ හෝ ළඟා වන සැටියි. අකමැත්තෙන් වුවත් රතී එයට ප්‍රතිචාර දක්වන්නීය. රතීගේ රැඟුමේ ආරම්භය එතැනය.
කුමන බාධක පැමිණියත් රතී තම ඉලක්කය, උත්සාහය අත් නොහරින්නීය.
මෙතෙක් වෙලා අප කතා කලේ ‘දුස්රා’ සිනමාපටයෙන් සදා මතකයේ රැඳෙන චරිතයක් වන රතී ගැනය. ඇයව අපට අමතක කළ නොහැකිය. මඟහැරිය නොහැකිය.
එසේ මගහැරිය නොහැකි නිසාම ආදරණීය රතීව සරසවියට කැන්දාගෙන ආවේ ඇගේ කතාව ඔබ හමුවේ තබන්නටයි. රතී අව්‍යාජ සිනාවක් පාමින් අප ඉදිරියේය. එහෙත් ඒ අප මෙතෙක් කතා කළ රතී නොව සිනමා තිරය මත රතීව ජීවමාන කළ රංගන ශිල්පිණිය තිලක්ෂණි රත්නායකයි.
මෙතැන් සිට දිගහැරෙන්නේ තිලක්ෂණී පිළිබඳ සහ ඇය රතීට ලංවූ ආකාරයයි.
මට මුලින්ම මේ සඳහා ආරාධනා කරන්නේ අපේ රටේ සිටින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන චන්න දේශප්‍රිය මහතායි. මම ඉතා ප්‍රිය කරන අධ්‍යක්ෂවරයෙක් ඔහු. ඔහුගේ නිර්මාණයක් නම් අනිවාර්යයෙන් බාරගන්නවා. මම මීට කලිනුත් චන්න දේශප්‍රිය මහතා සමඟ වැඩ කරලා තියෙනවා. මගේ පළමු චිත්‍රපටිය වන අශෝක හඳගම මහතාගේ “ඇගේ ඇස අග” සහ Talk about Luck කියන කෙටි චිත්‍රපටයේ. ඉතින් ඔහුගේ ආරාධනය මට විශේෂ වුණා. රතී චරිතයට පිවිසෙන්න මට ඔහුගේ ගුරුහරුකම් උදව්වක් වුණා.
අපිට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් එක්ක වැඩ කරන්න ලෙහෙසියි. එතකොට තමයි අපේ රංගන හැකියාවෙන් සියයට සියයක්ම නිර්මාණය වෙනුවෙන් දෙන්න පුළුවන්.”
‘චන්න අයියා මට පිටපත දුන්නා. මට ඒක කියවන විට හරි ආසාවක් ඇති වුණා. මම මේක අභියෝගය භාර ගන්නවාමයි කියලා. රතී චරිතය මා තුළ ගොඩ නගා ගන්න චන්න අයියගෙන් මට ලැබුනෙ ලොකු සහයක්.’ ‘දුස්රා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරු දෙදෙනාගෙන් කෙනෙක් ලක්ෂාන් අබේනායක ගැන ද වචනයක් කතා කිරීමට තිලක්ෂණී අමතක කලේ නැත.
ලක්ෂාන් දක්ෂ රංගන ශිල්පියෙක්. වැඩි කාලයක් ප්‍රංශයේ ජීවත් වූ කෙනෙක්. ඔහු තුළ තිබුණා පරිපුර්ණ ගුණංග, ඔහු විදේශීය රටක රංගන ශිල්පියෙක් විදිහට වැඩ කළත් මේ දුස්රා කණ්ඩායමේ ශිල්පීන්ට උපදෙස් දෙන්න ආවේ නැහැ. රඟපාන විදිහ ගැන. ඔහු හරිම නිහතමානීව අනෙක් ශිල්පීන් සමඟ වැඩ කළා. විනීත හැසිරීමක් තිබුණා. ඒක අපේ මුළු නිෂ්පාදන කණ්ඩායමේ හැම කෙනෙක් තුළම ඒ විනය තිබුණ නිසා චරිතවලට හරියාකාරව අනුගත වෙන්න පුළුවන් වටපිටාවක් අපට තිබුණා.
එම වටපිටාව ගැන අදහස් පළ වූ නිසාම ‘දුස්රා’ හි ඇතැම් දර්ශන රූගත කිරීමේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් ගැන තිලක්ෂණී මෙසේ අදහස් දැක්වුවාය.
මෙම චිත්‍රපටයේ තියෙනවා රතීව කීප වතාවක් දූෂණයට ලක්වන දර්ශන. නිර්මාණයකදී රංගන ශිල්පීන් කරන්නේ යම්කිසි කතාවක් රඟ දැක්වීම. එවැනි දර්ශන කිරීමකදී එය තාක්ෂණය උපයෝගී කරගෙන කරන්නත් පුළුවන්, රඟපෑමෙන් කරන්නත් පුළුවන්. ඒ වගේම දර්ශන වලට විශේෂ වූ ඇඳුම් ආයිත්තම් වලින් කරන්න පුළුවන්. ඒ වගේම අනුශාංගික අභිනයෙන් කරන්න පුළුවන්. අද තාක්ෂණය දියුණුයි. ඒ තුළින් බොහෝ දේ ඉදිරිපත් කරන්න පුළුවන්. මා වටා සිටි අය මට ඒ දර්ශන නිසි අයුරින් කරන්න පුළුවන් වටපිටාව සකසා දුන් නිසා ඒ රංගනය මට එතරම් අපහසු වුණේ නැහැ.
මම මුලින්ම සඳහන් කළා වගේ අපේ ටීම් එකේම තිබුණා හොඳ විනයක්. විශේෂ දර්ශන වලදී ඒ ශිල්පීන් ට ඉවත් වෙන්න කියලා අණ කරන්න ඕන වුණේ නැහැ.
එම අවස්ථාවලදී දර්ශන තලයේ සිටීම අනවශ්‍යයි කියල ඔවුන්ටම හැගී ගිය නිසා එම ශිල්පීන් එතනින් ඉවත් වුණා. ඒ තමයි අපේ කණ්ඩායමේ තිබුණ විශේෂත්වය. අපේ රඟපෑමේ උපරිමය කරන්න එම ශිල්පීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.
මීට පෙර ඔබ චිත්‍රපටයත් සමඟ මොස්කව් සංචාරයක යෙදුණා ශ්‍රී ලාංකිකයින් නොවන පිරිසගෙන් ඔබේ රංගනය සඳහා ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඔව්… අපි විශේෂ දර්ශන වාර දෙකක් සඳහා තමයි මොස්කව්වල සංචාරයේ යෙදුනේ. කියන්න සතුටුයි ඔවුන්ගේ ප්‍රතිචාර ඉහලයි. මම එදා චිත්‍රපටය බැලුවේ ශාලාවේ පිටුපස වාඩිවෙලා. මම මගේ ඇස් දෙකෙන් දැක්ක ඔවුන්ගේ ප්‍රතිචාර. අපේ රංගනයේ තිබුණ සමහර අංග චලන ඉඟි බිඟි වලට ඔවුන් ප්‍රතිචාර දැක්වූවා. ඇතැම් වෙලාවකට අපේ හුස්මකට පවා. ඒ වගේ අත්දැකීම් විදින්නට ලැබීමත් සතුටක්.
තිලක්ෂිණි විදේශකයින්ගෙන් එවැනි ප්‍රතිචාර ලැබීම අරුමයක් නොවේ. තිලක්‍ෂණිගේ රංගනය එතරම් විශිෂ්ටය. චිත්‍රපටය නරඹන විට දැනෙන්නේද මේ තිලක්ෂණී නොව සැබෑවටම රතී බවයි. ඒ තරමටම ප්‍රේක්ෂකයින් රතී කෙරෙහි බැඳ තබා ගැනීමට ඇය තම උපරිම දක්ෂතාවය ඒ වෙනුවෙන් ලබා දී ඇත.
රතීගේ සහ අනිල්ගේ කතාවේ මැද භාගයේ තිරිසන් සතුන් වැනි මිනිස් සතුන්ගෙන් රතීව දුෂණයට ලක්වේ. අතින් අතට මාරු වන රතීගේ සිරුරේ පහස විඳින මිනිසත් සතුන්ගේ ග්‍රහණයට ලක්වන මොහොත, පේ‍්‍රක්ෂකයාගේ හදවත් මොහොතකට නතර කිරීමට සමත් වේ.
පළමුවරට තිරය මත මතු වුණ දා රතීව තමන්ට දැනුණු විදිහ තිලක්ෂණි හරි අපූරුවට සරසවි හමුවේ දිග හැරියාය.
මට පිටපත හමු වූ දවසට මම ඒ තුළින් රතීව දැක්කා රතී ගේ කතාව මම දැනගෙන හිටියා. එදා ඉඳන් මම රතීට ලං වුණා. ඇය කෙසේ හෝ තමන්ගේ ජීවිතේ ගොඩදාගන්න ප්‍රයත්න දරන කෙනෙක්. ඒ උත්සාහය අතහරින්නෙත් නැහැ මොන බාධක ආවත්. ඒ තරම්ම ඇය ශක්තිවන්තයි. ඒ නිසා චිත්‍රපටිය බලනකොට මට රතීගෙන් මිදිලා සාමාන්‍ය ගැහැනියක් විදිහට රතී දිහා බලන්න අමාරුයි රතීගෙන් සම්පූර්ණයෙන් මිදෙන්න බැහැ.
මෙවැනි චරිත රඟන රංගන ශිල්පිනියන්ව වර්ගීකරණයට ලක් කරන්න ඇතැම් අය උත්සාහ ගන්නවා. චිත්‍රපටය නොබලාම එහි ප්‍රචාරක පට, දැන්වීම් ආදිය බලලා ඔවුන් විනිශ්චයකට එනවා. මේ නිළිය මේ වගේ. ඒ නිළිය ගැලපෙන්නෙ ලිංගික දර්ශන සහිත චිත්‍රපටවලට පමණයි වගේ මත ඔවුන් දරනවා. අතීතයේ එවැනි චරිත රඟපෑ සමහර චරිතාංග රංගන ශිල්පීන්ට කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවී ඇත. ඒ පිළිබඳ තිලක්ෂණය දැක්වූයේ මෙවැනි අදහසක්.
එදාට වඩා අද ප්‍රේක්ෂකයෝ වෙනස්. ඔවුන් දන්නවා මේක රඟපෑමක් පමණක් බව වර්තමානය වෙනකොට චිත්‍රපට වලටම වෙන් වූ නාලිකා තියෙනවා. බොහෝ අය ඒ තුළින් චිත්‍රපට නරඹනවා. ඒ නිසා ඒ පිළිබඳ ඔවුන්ට හොඳ දැනුමක් තියෙනවා. ඒත් නළු නිළියන් වර්ගීකරණයකට ලක් කරන්නත් සුළු පිරිසක් ඉන්නවා.
කෙසේ වෙතත් රතීව ප්‍රේක්ෂකාගාරයත් සමඟ මැද තබා ගැනීමට තරම් උසස් රංගනයක යෙදෙන තිලක්ෂණි සුරංගනා ලෝකයක සැරිසරන ශිල්පිනියක් නොවේ. ඒ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන චන්න දේශප්‍රිය එක්තරා අවස්ථාවක පුවත්පතකට මෙසේ පවසා තිබුණි.
“මට ඕන වුණේ අභියෝග බාරගන්න පුළුවන් නිළියක්. මට මේක කරන්න බෑ කියලා හුරතල් වෙන නිළියක් නෙවෙයි.” ඒ චන්න දේශප්‍රිය මහතාගේ අදහසයි.
ඇත්ත වශයෙන්ම කියතොත් ඇය අභියෝග භාරගෙන ඒවා ජයගත් ශිල්පිනියක්. ‘දුස්රා’ හි රතී කෙළිලොල් තරුණියකි. ලද විවේකයෙන් ඇය ගමේ පුංචි එවුන් පිරිවරාගෙන ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අයුරු හරි අපුරුයි. තිලක්ෂණී පළපුුරුදු ක්‍රීඩිකාවක් ගේ විලාසය විදහා පෑමට ඇප කැප වී ඇති බව කිව යුතුයි.
මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න එතරම්ම හුරු කමක් තිබුණේ නැහැ. මගේ යාලුවෝ දෙන්නෙක් මට ක්‍රිකට් ගහන්න හුරු කළා. කුමන චරිතයක් කරන්න මට ලැබුණත් ඒ සඳහා හොඳින් පෙර සූදානමක් වෙන්න මට පුරුදු වෙලා ඉන්නවා. එවිට නිර්මාණය සාර්ථකයි.
තිලක්ෂණී රත්නායක බැලූ බැල්මට මේ මහ පොළව මත පය ගසා ජීවත් වන සුන්දර තරුණියකි. ඇයට දරා ගැනීමට නොහැකි තරමේ කලා නිර්මාණ නොලැබෙන බවයි ඇය පැවසුවේ. එහෙත් ලැබෙන හොඳ නිර්මාණයකට දායක වීමට ඇය පැකිලෙන්නේද නැත. තිලක්ෂණී ගේ දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණය වන්නේ
සැබෑ ජීවිතයේ සරල චාම් දිවි පෙවෙතක් ගෙනයන චරිතයක් ලෙසයි.
එහෙත් රංගන ශිල්පිනියක් ලෙස ඇයටද නිර්මාණ පැත්තෙන් සැබෑ කරගන්නට බලාපොරොත්තු වන සිහින තිබෙන්නට පුළුවනි. කවදා හෝ මට මෙන්න මෙවැනි චරිතයක් ලැබෙනවා නම් යන හීනේ ඇගේ සිතෙත් ඇති.
මම මධ්‍යම පාන්තික එහෙත් නාගරික පරිසරයක හැදුණු වැඩුණු තරුණියක්. සිංහල දෙමළ මුස්ලිම් ජාතීන්ගෙන් සම්මිශ්‍රණය වූ පරිසරයක. ඉතින් මම කැමතියි එවැනි පරිසරයක ජීවත්වන තරුණියකගේ චරිතයක් රඟපාන්න.
ඇය කුඩා කල සිට රංගනයට ඇලුම් කළ චරිතයක් නොවේ. එහෙත් පසුකාලීනව ඇය ප්‍රවීණ වේදිකා නාට්‍ය හා සිනමා රංගවේදනී සෝමලතා සුභසිංහ මහත්මියගේ ගෝලයෙකි. පාසලේදී ඇය නාට්‍ය හා රංග කලාව විෂය හදාරා නැත. ඇය ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ප්‍රගුණ කළ තැනැත්තියක්. උසස් අධ්‍යාපනය ලද රංගන ශිල්පිනියක්. ඇගේ රංගන ජීවිතය සාර්ථක කර ගැනීමට ඇය ලද අධ්‍යාපන මට්මට ද ඉවහල් වී ඇති බව කිව යුතුයි. රැල්ලකට හසු නොවී රංගනයක් ඉදිරිපත් කිරීමට හැකි නිර්මාණ පමණක් ඇය තෝරා බේරා ගන්නේ ඒ නිසා විය යුතුයි.
පසුගිය කාලයේ තිරගත වූ “උසාවිය නිහඬයි, විෂම භාග“ වැනි චිත්‍රපට ඇගේ රංගන හැකියාව පෙන්නුම් කළ චිත්‍රපට ලෙස හැඳීන්විය හැකිය. “තණමල්විල කොල්ලෙක්” ටෙලි නාට්‍යයේ සූලෝ ගේ චරිතයටද ඇය උපරිම හැකියාව ලබාදුන් රංගන ශිල්පිනියකි.
මම පවුලේ එකම දරුවා. එහෙම වුණාට මගේ අම්මා තාත්තා මාව ගෙදරටම කොටු කර ගත්තේ නෑ. මගේ හැකියාව අඳුරගෙන රංගනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මගේ පිටුපසින් සිට මට ශක්තිය ලබා දෙන මගේ ආදරණීය හිමිකරුවා.
ඇය සරසවිය සමගින් පිළිසඳරේ යෙදෙන විට පසුපසින් සිට ඒ සියල්ල කෙරෙහි අවධානයෙන් සිටි හිමිකරුවා නලින් ලුසේනාය. ඔහුද අපට සිටින සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙකි තිලක්ෂණීට මැද විරාමයක් ලබාදී ඔහුගෙන් ඇය පිළිබඳ විමසූ විට වූ ඔහු ඔහුගේ අදහස් නොපැකිලව ඉදිරිපත් කළේය. ඔහු කතා කළේ රතී ගැනය.
“කෙසේ හෝ තම ජීවිත ජීවත් කරවන්නට උත්සාහ කරන තරුණියක් රතී කියන්නේ. කාන්තාවකට කළ නොහැක්කක් නැත. ඒත් අපේ සමාජයේ විසින් ඔවුන්ට කාවද්දලා තියෙනවා යම් දෙයක්. විශේෂයෙන් සමාජ මාධ්‍ය වගේ දේවල් වලින්. ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්න “ගේමක් ගහලා ජීවිතේ ගොඩදාගන්න මෙන්න මේ වගේ කියමන්. ඒත් නිසි මඟ පෙන්වීමක් තියෙනවා නම් තවත් රතීලා නෙවෙයි ලෝකයේම නමක් මේ චමරිලා බිහිවෙන්න ඉඩ තියෙනවා. ඒ ඔහුගේ අදහසයි.
කාන්තාව ශක්තිමත්, රතීත් එහෙම චරිතයක්. ඇය නිතරම උත්සාහ කරන්නේ ඇගේ හීන වලට යන්න. කුමන බාධක ආවත්. ඒ රතීව ඔහුට පෙනෙන දැනෙන ආකාරයයි.
සරසවිය සමඟින් තිලක්ෂණී කළ කතාබහේ අවසන් අදියරට පැමිණි ඇත.
පිරිමින් කිහිපදෙනෙකු අතින් ලිංගික හිංසනයට ලක්වන රතී අවසානයේ කෙසේ හෝ ඉන් මිදි පලා යන්නීය. අවසන ඇය කිරිකැටියෙකුට ප්‍රාණය ලබා දෙන්නීය. දුස්රා නැරඹු පේ‍්‍රක්ෂකයින්ට ඇසට කඳුලක් නොනැඟුණා නම් එය පුදුමය කරුණකි.
රතී යනු දියණියක්, සොහොයුරියක්, පෙම්වතියක්, අවසානයේ උතුම් මව් පදවිය ලැබු මවක් ඔබටත් මග යන එන විට රතීලා හමුවේවි. රතී යනු සටකපට තරුණියක් ලෙස වෙස්ගෙන තමන්ගේ හීනවලට හඹා යාමේදී අන්ත අසරණභාවයට පත්වන්නීයකි. එහෙත් ඇය ඇයව මඟ නොහරී ඔබත් ඇයව මඟහැර නොයන්න.
“දුස්රා’ හි රතී සමස්ත කාන්තා පරපුරටම හඬක් නගන්නීය. ඇගේ හඬට අප සවන් දිය යුතුයි.
රතී හීන සැබෑ කරගන්නට ගොස් අභියෝග වලට මුහුණ දෙන්නීය.
තිලක්ෂණී අභියෝග භාරගෙන රංගන ජීවිතය ජය ගන්නිය.
රතීව හඳුනාගැනීමට ‘දුස්රා’ නැරඹිය යුතුයි. තිලක්ෂණීව හඳුනා ගැනීමට රතීගේ රංගනය දැකිය යුතුයි.
මේ සියල්ලටම පිළිතුරු අවශ්‍ය නම් ‘දුස්රා’ නැරඹිය යුතුයි.
අපි සැවොම එක් වී මඟ හැරෙන්නට පෙර රතීව වැළඳ ගත යුතුයි.
රතීට ජීවය දෙන ආදරණිය තිලක්ෂණී, ඔබව සැවොම වැළඳ ගනීවි. රතීට ඉටු කළ සාධාරණය වෙනුවෙන්.
තිලක්ෂණී රත්නායක රංගන ශිල්පිණියගේ හීන සැබෑ වෙන්නට සරසවියේ සුභ පැතුම්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය