දෙව්නිකා දුර්ගා ලාංකේය නුතන නවකතා ශානරය යාවත්කාලීන කරන්නට සපැමිණි නවමු ලේඛිකාවකි. ඇය විසින් රචනා කළ ‘මෝසම් වැස්ස’ සහ ‘ගිම්හාන වැස්ස’ නවකතා ද්විත්වය පළමු සහ දෙවැන දිගහැරුම ලෙස කොටස් ද්විත්වයක් යටතේ පාඨකයා වෙත සමීප වී තිබේ. බොහෝ පාඨකයන් අතර වඩාත් අවධානයක් දිනාගත් ‘මෝසම් වැස්ස’ සහ ‘ගිම්හාන වැස්ස’ විශේෂ නවකතා කෘති ද්විත්වය රචනා කළ ලේඛිකා දෙව්නික දුර්ගා සමඟ සිදුකළ සාහිත්‍යයම සංලාපය මෙවර සරසවිය අවකාශයෙහි ඉඩ හසර වෙන්වෙනවා.
ඔබේ නවතම කෘති ද්විත්වය වන ‘ගිම්හාන වැස්ස’ සහ ‘මෝසම් වැස්ස’ පිළිබඳ කතා කරමු?
මෝසම් වැස්ස හා ගිම්හාන වැස්ස එකම නවකතාවක පළමු හා දෙවන දිගහැරුම විදියටයි පළවෙන්නේ. මහසෙන් සූරියබණ්ඩාර නම් අපනයන සමාගම් අධ්‍යක්ෂක ව්‍යාපාරික තරුණයා හා මාෂා ඉරුගල්බණ්ඩාර නම් තරුණිය අතර ව්‍යාපාරික ස්ථානයේ දී ඉතාම සෙමෙන් ගොඩනැඟෙන ආදර සම්බන්ධතාවයක් හෙවත් Slow burn romance ගණයේ කතාවක් විදියටයි මූලික හැඩය නිර්මාණය වී තිබෙන්නේ. ඒ කතාවට පසුබිමින් පෙර ආත්මයක් යැයි සැලකිය හැකි සූර්‍යශිඛා හා ස්වස්ථික අතර මහනුවරට යුගයේ අවසන්භාගයේ ඇති වූ ප්‍රේමයක් විස්තර වෙනවා. වත්මන් කතාවෙහි ව්‍යාපාරික ලෝකයේ ගනුදෙනු හා එහි කාලවර්ණ ස්වභාවය විස්තර වෙනවා. අතීත කතාවෙහි නුවර වැව ගොඩනැඟීමත් ඒ කාලය තුළ ඇතිවූ දේශපාලනික බලපෑම් හා වෙනස්කම් ආදියත් කතාවේ සිද්ධි ගොඩනැඟීමේදී පසුබිම්ව තිබෙනවා. අවශ්‍යතාවය හුදු රොමාන්තික කතාවකින් ඔබ්බට ගිය රසයක් කතාව තුළට ගෙන ඒම වගේම අනන්‍ය වූ හැඩතලයක් ඉදිරිපත් කිරීම. මෙහි ඉතාම විශේෂ වූ කාරණය නම් පිරිමි චරිතය පෞරුෂත්වයෙන් වැඩි නමුත් කළු චරිතයක් ලෙස මුලදි පාඨක සිතට ඇතුළුවීම. එහෙත් අවසානය දක්වාම ඒ චරිතයෙහි වෙනසක් නොවීම පාඨක මනසෙහි නැඹුරුතාවක් ඇති කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. කොතරම් දුරට සාර්ථකද? යන වග තීරණය කිරීම පාඨකයන් වෙත බාරයි.
ඔබට නවකතා ලිවීමේ ආශාව දැල්වුණේ කොහොමද? මොකක්ද ඊට පසුබිම…
මම ආශා කරන දේ කියවීම. ඔබ මේ කතාව සමහර විට අහලා ඇති. මාග්‍රට් මිචෙල් කියන ඇමෙරිකානු ලේඛිකාව අනතුරකට ලක්වීමෙන් පාදයේ ආබාධයකට මුහුණ පානවා. ඇගේ සැමියා යාබද පුස්තකාලයෙන් ඇයට කියවීමට හැමදාම පොත් ගෙනැවිත් දෙනවා. අවසානයේ පුස්තකාලයේ පොත් සියල්ල කියවා ඉවරවී තිබුණත් පාදය සුවවී නැහැ. එවිට ස්වාමියා කියනවා ” ඔක්කොම පොත් ඉවරයි. කියවනවනම් ඔයා එකක් ලියලා කියවගන්න.” කියලා. ඉතින් එලෙස ඈ ලියූ කෘතිය තමයි සුළඟේ ගිය දිවිය නමින් ප්‍රසිද්ධ වී පුලිට්සර් සම්මාන සඳහා පවා සුදුසුකම් ලබන්නේ. මම මේකෙන් කියන්න උත්සාහ කළේ කියවලා කියවලා කාලයක් යද්දී ඒ හැඟීම් හා රසයන් එකතු කරලා කතාවක් ගළපන්න හිතෙනවා. ඒක තමයි ඇත්තටම සිදුවුණේ.
කෘතියේ ආකෘතිය, හැඩය අන්තර්ගය නිරික්ෂණය කළාම පෙනෙන්නේ රොමාන්තිකරණය සෑම කලාපයකම තැවරී තිබෙන බව. ඔබ ප්‍රේමය පිළිබඳ දක්වන අදහස මොකක්ද?
ප්‍රේමය මායාකාරීයි. ප්‍රේමයට මිනිසුන් ශක්තිමත් කිරීමට හැකියාව තියෙනවා. නමුත් එකී ප්‍රේමයම වෙළාවක මිනිසුන්ගේ ප්‍රබලම දුර්වලතාවය බවටත් පත්වෙනවා. කෙසේ නමුත් ප්‍රේමය යනු ගැඹුරු හා සංකීර්ණ හැඟීමක්. එය අන්තර් පුද්ගල සෙනෙහසින් ආරම්භව සරලම සතුට දක්වා වූ පුළුල් පරාසයක ශක්තිමත් සහ ධනාත්මක හැඟීම් උපද්දන්නට සමත් වෙනවා. ඒ නිසාම සෙනෙහස අනෙක් පුද්ගලයාගේ යහපැවැත්ම හා රැකවරණය උදෙසා කැපවීමෙන් පිළිබිඹුවන අතිශය භාවාත්මක සොඳුරු හැඟීමක්.
ප්‍රේමය සමඟ මිනිස් සබඳතා පිළිබඳ සියුම් විවරණයක් ද ඔබ නවකතාව තුළ ගෙන එනවා. අනෙක් ප්‍රධාන ලක්ෂණයක් තමයි සංයමයෙන් යුතුව සමාජ නිරික්ෂණය. මහ පොළොවෙි අපට මුණ ගැහෙන අප අවට ජීවත් වෙන චරිත. මෙි සමාජ නිරික්ෂණය හරහා ඔබෙි ජීවිත අත්දැකීමි ලැබෙන පසුබිම මොන වගේද?
එදිනෙදා හමුවන චරිතවලට ප්‍රාණය පොවා වෙනසකින් තොරව නවකතාවක් තුළ රැඳවීම තමයි මම කරන්නේ. ඒ නිසා නවකතාව තුළ ඔබට හමුවන චරිත එදිනෙදා සමාජයේ හුස්ම ගන්නා සුලු චරිත. ඇත්තෙන්ම ලිවීම තුළින් හා චරිත විවරණය තුළින් එතුළ ජීවත්වීමේ හැකියාවක් රචකයා සතුවෙනවා. ඒ නිසා ම ඔවුන්ගේ සිතුම් පැතුම් හා හැසිරීම් යතුරු පුවරුවට හසු කර ගැන්මේ හැකියාවක් ලැබෙනවා. ඒ අත්දැකීම පුදුමයි. ඒ වගේම හරිම සිත්ගන්නා සුලුයි. විවිධ ප්‍රශ්න හමුවේ අදාළ චරිත කටයුතු කරන ආකාරය ඒ චරිත වල ස්වභාවයට අදාළව විශ්ලේෂණය කර සටහන් කිරීම වෙනමම අත්දැකීමක්.
ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද?
වඩාත් ප්‍රිය කරන කෘති අතරට ජෝජ් එලියට් ගේ The Mill on the Floss, , ඒවගේම චාලට් බ්‍රොන්ටේ කතුවරිය රචනා කළ ජේන් අයර් සහ මාග්‍රට් මිචෙල් කතුවරියගේ Gone with the wind හෙවත් සුළඟේ ගිය දිවිය දක්වන්න පුළුවන්. ඒ අතරිනුත් “Gone with the wind” » හෙවත් සුළඟේ ගිය දිවිය මෙතෙක් වැඩියෙන්ම සිත බැඳ ගත්ත කෘතිය ලෙස දක්වන්න පුළුවන්. අමෙරිකාවේ යුද වාතාවරණය හා එය ජීවිතවලට සිදුකරන බලපෑම පසුබිම්ව ගලා යන ප්‍රේම වෘතාන්තය සිත් ගන්නා සුලුයි.
ඔබේ කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවේණික වූ එකක්. ඔබෙි සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවද?
විශේෂයෙන් මේ යැයි දැක්විය හැකි පරාසයක් නොවෙයි. සාමාන්‍යයෙන් අතට හමුවන ඕනෑම ඉංග්‍රීසි සහ සිංහල කතාවක් මම කියවනවා. භාෂාව ඒ කියැවූ හැම කෘතියකින්ම පෝෂණය වූවක්. කුඩාම කාලයේ මඩොල් දූව, අඹයහළුවෝ, කල්ලන්දූවේ මුතු කොල්ලය වගේ කතාත් ඉන්පසු දෙස් විදෙස් නවකතාත් සාහිත්‍ය පිළිබඳ දැනුම පෝෂණය කරගැනීමෙහි ලා මට උපකාර වෙලා තියෙනවා.
ඔබ මෙම නවකතා ද්ව්ත්වය තුළ යොදාගෙන ඇති ආඛ්‍යානය වෙනස් ස්වරූපයන් ගනු ලබනවා. අතීතයත්, වර්තමානයත් යා කරන කතාවක්. කොහොමද? මේ ආඛ්‍යානය ගොඩ නැඟුවේ?
ඔබගේ මේ නිරීක්ෂණය මා ලද ඉහළම ඇගයීමක්. ඇත්තෙන්ම, මේ නවකතා ද්විත්වය රචනා කිරීමේදී මා වඩාත් වෙහෙස වී කල්පනා කළේ කාලය නමැති මේ අතිශය සංකීර්ණ මානය, රෝමාන්තික කතා වස්තුවට කෙසේ බද්ධ කරන්නේද? යන්නයි. මහනුවර පසුබිම්ව ගොඩනැඟෙන කතාවේ කිරි මුහුද හෙවත් නුවර වැව ගොඩනැඟීමේ සිද්ධිය ඇතුළත් වෙනවා. මම කතාව ලියන්න ආරම්භ කළේ කථා වස්තුව සම්පූර්ණයෙන් සැලසුම් කිරීමෙන් අනතුරුවයි. යුගයන් දෙකක් එක්තැන් කිරීමට අදහස් කළේ වර්තමාන කතාව තවත් පෝෂණය කිරීම උදෙසායි. රෝමාන්තික නවකතාවක් වූ මෙහි කතාව සැලසුම්ව තිබෙන්නේ මේසා ප්‍රබල ප්‍රේමය ඇතිවීමට හේතු පාදක අතීතයේ එක් යුගයකදී ගොඩනැඟි ලෙසිනුයි.
ආඛ්‍යානය ගොඩනැගීමේදී, අතීතය යනු වර්තමානයට පදනම දමන මූල බීජය බවත්, වර්තමානය යනු අතීතයේ ඵලයන්ගෙන් හටගත් අංකුරය බවත් මා විශ්වාස කළා. එබැවින්, එක් දහරාවක් ලෙස අතීතයේ සිදුවීම්, චරිතවල මුල් බැසගත් හැඟීම් සහ අත්දැකීම්, සෙමෙන් සෙමෙන් ගලාගෙන එන අයුරින් ගොඩනැඟුවා. අනෙක් දහරාව වූ වර්තමානය, අතීතයේ දෝංකාරය විදහාපාමින්, එහි ප්‍රතිඵල ලෙස චරිත විඳීන සිතිවිලිහි ගැටුම් සහ තීරණ ලෙස පෙළගැස්වූවා. මේ දහරාවන් දෙක එක් තැනකදී එක් කිරීම, හරියට මහ මුහුදට ගලා බසිනා ගංගා දෙකක් මෙන්, පාඨකයාට ගැඹුරු භාවාත්මක අත්දැකීමක් ලබා දෙනු ඇතැයි මා සිතුවා. ඒ සඳහා, මම සිදුවීම් අතර සංක්‍රාන්ති අවස්ථා සියුම් ලෙස නිර්මාණය කළා. සිහිනයක් ලෙසින් අතීත ගැඹුරු ප්‍රේමය වර්තමානයට ගෙන ආවා..මේ සමස්ත ආඛ්‍යාන ගොඩනැගීම, හරියට අත් දෙකක් එකිනෙක පටලවාගෙන, අතීතයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් අතීතයටත් ගමන් කිරීමක් වැනි දෙයක්. එහිදී මා බලාපොරොත්තු වූයේ, පාඨකයාට සරලව කතාව කියවගෙන යාමට ඉඩ දෙන අතරම, ඔවුන්ව ගැඹුරු චින්තනයක ගිල්වා, කාලය නමැති විස්මිත සංකල්පය තුළ සැඟවුණු ජීවිතයේ යථාර්ථය වෙත රැගෙන යාමටයි.
ඔබගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කරතව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලේට හැසිරීම මොනවගේද?
විශේෂ වෙනසක් නැහැ. මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරතයි. ඒ සමඟම අධ්‍යාපන කටයුතුත් මේ කාලයේදී සිදුවෙනවා. ඉඩ ලැබෙන වෙලාවට රචනාකරණයේ යෙදීම තමා බොහෝවෙලාවට සිදුවෙන්නේ. කතාව ලිවීමට පෙර චරිත, සිදුවීම්, පසුබිම් සහ කතාවේ ගලායාම පිළිබඳව මා සතුව පැහැදිලි දැක්මක් තිබිය යුතු වග විශ්වාස කරනවා. ඒ නිසාම මා ලියන මාතෘකාවට අදාළව පර්යේෂණ කිරීම කරනවා. මෙය, මාගේ ලේඛනවලට යථාර්ථවාදී බවක් සහ ගැඹුරක් එක් කිරීමට උපකාරී වන බව විශ්වාස කරනවා. මම ලිවීමට වාඩි වූ පසු, අවට පරිසරය හැකි තරම් නිහඬව තබා ගැනීමට උත්සාහ කරනවා. බාධා අවම කර ගැනීමෙන් සිතුවිලි එක තැනකට යොමු කර ගැනීමට පහසු වෙනවා.
මලින්ත විතානගේ