මෙරට ගුවන් විදුලි මාධ්‍යයේත් රූපවාහිනී මාධ්‍යයේත් ශ්‍රාවක මෙන්ම පේ‍්‍රක්ෂක ආදරය දිනාගනු ලැබූ ඈ පසුගිය දා සිය රාජකාරි දිවියෙන් විශ්‍රාම ලැබුවේ පුරා වසර 38ක සේවාකාලයක් සපුරාලමිනි. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක නිවේදිකාවක ලෙසින් මෙරට පේ‍්‍රක්ෂක ශ්‍රාවක සිත් සතන්හි නිබඳ ආදරයට පාත්‍රවෙමින් බොහෝ විට පූරකගේ කර්තව්‍ය තුළ තම වගකීම මැනවින් ඉටුකළ ඈ නමින් මයුරි අබේසිංහය. රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් තුළ කලක පටන් ප්‍රවෘත්ති නිවේදිකාවගේ කර්තව්‍ය මැනවින් ඉටු කරමින් ද ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ ආදරය දිනාගනිමින් ප්‍රවෘත්ති නිවේදිකාවගේ කාර්යභාරය ඉටුකරමින් ද මාධ්‍ය මෙහෙවරේ විවිධ වූ සුවිශේෂී වැඩසටහන් වල මෙන්ම රාජ්‍ය උත්සවයන්හි පුරකගේ කාර්යභාරය ඉටුකරමින් ද ආදරය දිනාගත් මයුරි හා මෙලෙස කතාබස් කරමු.
මයුරි රාජකාරි කටයුතු වලින් විශ්‍රාම ගත්තද නැත්තම් වෘත්තීමය ජීවිතයෙන්ම සමුගත්තද?
මම රාජකාරි ජීවිතයෙන් විශ්‍රාම ගත්තා. නමුත් මගේ වෘත්තිමය ජීවිතයට එය බාධාවක් නොවෙයි. තව දුරටත් මම නිවේදන කර්තව්‍යයේ නියැළෙනවා. මට ලැබෙන ආරාධනා පරිදි.
සහන නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලියට පාතබන ඔබ පුරාවසර 38ක රාජකාරි මෙහෙවරකින් පසු එයට සමු දී යන්නේ භාරධුර වගකීම් සහිත තනතුරක් දරමින් සිට නේද?
ඔව්. මම විශ්‍රාම යනකොට දරමින් හිටියේ ගුවන් විදුලියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් හැටියට.
නිවේදිකාවක වීමේ සිහිනය ඔබ තුළ කුඩා කළ පටන් තිබුණ දෙයක්ද?
මම කුඩා කාලයේ පටන් කථිකත්වයට බොහොම දක්ෂයි. පාසලේ කථික තරඟ සඳහා මම නිතර සහභාගි වුණා පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට මම ගොඩක් සම්බන්ධ වෙලා හිටිය තැනැත්තියක්. මේ නිසාම එක්සත් ජාතින්ගේ ලෝක ආහාර දිනය නිමිති කරගෙන මාතර පැවැත්වු දකුණු පළාත් කථික තරඟය වෙනුවෙන් මට සහභාගි වෙන්න ලැබුණා. මෙන්න මේ තරඟයෙන් මම ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවා. එවක රුහුණු සේවයේ ළමා ලෝකය වැඩසටහනට මෙන්න මේ තරගය රෙකෝඩ් කරන්න ඇවිත් හිටියා. රුහුණු සේවයේ නිෂ්පාදකවරයකු වූ එස් ලියනගේ මහතා පටිගත කිරීම නිමාකරල මට පැත්තකට කතා කරල මෙහෙම දෙයක් කිව්වා. පුතේ අපේ රුහුණු සේවයේ වැඩසටහනක් තියනවා. ළමා ලෝකය කියල ඒකට එන්න පුළුවන් ද කියල මම ගෙදරින් අහල කියන්නම් කිව්වා. ගෙදරින් ඇහුවා ඒකට අවසර ලැබුණේ නෑ. මගේ දැඩි පෙරැත්ත නිසාම මගේ තාත්තා දවසක් මාව රුහුණු සේවයට එක්ක ගියා. මට ළමා ලෝකය වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න ලැබුණා. මේව කරල හුරුවක් නැති නිසා ලියනගේ මහතා වචන හසුරවන හැටි ඉදිරිපත් කරන හැටි මට කියලා දුන්නා. සමහර අවස්ථාවලදී මට එතුමා කිව්වා මෙයා බදු කෝචිචිය වගේ කියවනවා ඔහොම කියවගෙන ගිහින් බෑ. හොඳ සංයමකින් යුතුව වචන උච්චාරණය කරමින් මේදේ කරන්න ඕනෙ කියලා. කොහොම හරි මුල්ම දවසේ ගියත් හරි ඊට පස්සේ තාත්තා මේකට යන්න දුන්නේ නෑ. මම කළේ ඉස්කෝලේ ගියහම හවසට හොරෙන්ම යාළුවොත් එක්ක රුහුණු සේවයට ගිහින්. මේ වැඩසටහන සහභාගි වෙලා හොරෙන්ම ගෙදර ඒම. ඔය වැඩේ වැඩි දවසක් යන්න කලින් ගෙදරට ආරංචි වුණා. කොහොම හරි ඊට පස්සේ ගෙදරින් අවසර ලැබුණා. වැඩසටහනට යන්න. ඒ අනුව රුහුණු සේවයේ ළමා ලෝකයට අමතරව තිබුණු රෝහණ පුරාණය ඇතුළු වැඩසටහන් බොහොමයකට මම සම්බන්ධ වුණා.
නිවේදිකාවක් ලෙස ගමනක් අරඹන්නේ කොයි ආකාරයෙන් ද?
වාණිජ විෂය දහරාවෙන් මම උසස්පෙළ හැදැරුවත් මට විශ්වවිද්‍යාල වරම් ලබාගන්න බැරිවෙනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරල මම විවිධ අංශවල බාහිර වැඩවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. මගේ පවුල් පසුබිම තුළ ගොඩනැගිල තිබුණේ වාමාංශික මුහුණුවරක්. ඒ නිසාම එවක මට මේ ප්‍රශ්නය රැකියාවකට යාමටත් දැඩිව බලපෑවා. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ වැඩවලටත්. කාර්මික විද්‍යාලයේ ටෙක්මා සඟරාවටත් මම සම්බන්ධ වෙලා වැඩකරන්න ලැබුණා. මාතර මුනිදාස කුමාරතුංග පුස්තකාලයේ පාඨක සමාජයේ ඉහළ තනතුරකත් මම කටයුතු කළා. මේ හැමදෙයක්ම මම කරමින් රුහුණු සේවයේ ගුවන් විදුලි වැඩසටහන් වලටත් යාම කරගෙන ගියා.
වාමවාදී දේශපාලන පවුල් වටපිටාව නිසාම මට රැකියාවන් කිහිපයක්ම අහිමි වූ අවස්ථාත් තිබුණා. ඔය අතරේ දැනගන්න ලැබුණා රුහුණු සේවයට සහන නිවේදකයන් බදවා ගන්නවා කියලා. මමත් ඒ සඳහා ඉල්ලීමක් කළා. එවක ගුවන් විදුලියේ දෙවන ප්‍රාදේශිය නාලිකාව තමයි රුහුණු සේවය පළමු ප්‍රාදේශීය නාළිකව වුණේ. රජරට සේවය. මේවාට නිවේදකයන් හැටියට තෝරාගත්තේ සීමිත පිරිසක්. ලොකු තරගයකින් සම්මුඛ පරීක්ෂණ වාර කීපයක් පවත්වා තමයි සුදුස්සෝ තෝරගත්තේ. වට කීපයක පරීක්ෂණයන්ගෙන් අනතුරුව මමත් තේරුණා. රුහුණු සේවයේ සහන නිවේදන නතතුරට නමුත් අපිට පත්වීම ලබන්න බැරිවුණා. ඒ වෙනකොට රටේ තිබු භීෂණකාරි වටපිටාව තුළ රුහුණු සේවයට ගිනි තබා විනාශ කිරිමත් සමඟ මේ සිද්ධිය නිසාම අපේ අපේක්ෂාවන් සුන්වී ගියා. ටික කාලයක් ගතවුණාට පස්සේ අපිට කැඳවීමක් ලැබුණා. කොළඹ ගුවන් විදුලි සංස්ථාවෙන් රුහුණු සේවයට තෝරගත් සියලු අයට පුහුණුවක් සඳහා පැමිණෙන්න කියල. ඒ ආපු සියලු දෙනාටම කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් සහන නිවේදන තනතුරේ පත්වීම් ලබාදීමක් සිද්ධ කළා. 1986 දී.
රුහුණු සේවයත් සමඟ අත්වැල් බැඳ ඔබත් සමඟ සහන නිවේදනයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලය හා පුහුණුවට ආ සෙසු සාමාජිකයන් වුණේ කවුද?
කාන්ති විදානගමගේ, ස්වර්ණ ගුණවර්ධන, උදයරාණි වික්‍රමසිංහ, චන්ද්‍රිකා මානගේ එදා මාත් සමඟ කොළඹ පුහුණුවට ආවා.
කොළඹ ගුවන් විදුලියේ හා පුරා කියා ගමනක් අරඹන ඔබ එවක පැවැති භීෂණකාරී යුගයට කොයි ආකාරයෙන් ද මුහුණ දෙන්න සිද්ධ වුණේ?
එවක ගුවන්විදුලියේ සිටි ප්‍රමුඛපෙළේ අයට ජිවිත තර්ජන පැමිණියා. ඒ නිසාම සමහරු සේවයට වාර්තා නොකළ අවස්ථා තිබුණා. ඒ නිසාම අපිට අවමංගල්‍යය දැන්වීම් බාරගැනීම පිළිගැනීම් අංශය නියෝජනය කිරීම වැඩසටහන් නිවේදිනය කිරීම වගේ කටයුතු භාරවුණා. දයා ද අල්විස්, චිත්‍රා කුමාරි කළුබෝවිල, රම්‍යා ශ්‍රියාණි පතිරණ වගේ ප්‍රමුඛපෙළේ අයත් අපිට ඉහළින් හිටියා. පළපුරුදු ප්‍රවීණයන්ට තිබු ජිවිත තර්ජන නිසාම සහන නිවේදකයන් හැටියට අපිටත් අවශ්‍යතා අනුව ප්‍රමුඛ කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා.
සහන නිවේදකයෙක්ගේ භූමිකාව තුළ වේතනයකට හිමිකම් කිව්වද?
බීම් එකේ පැයක් වැඩ කලොත් රුපියල් හතරක් ගෙව්වා. පසුව මෙය රුපියල් හය දක්වා වැඩිකළා. ලේසියෙන් අපිට වාරයක් ලැබෙනවා අඩුයි. කවුරු හරි නිවාඩු ගියොත් අසනීප වුණොත් තමයි. බීම් එකේ වැඩි ඉඩක් අපිට ලැබුණේ. ස්ථිර ප්‍රධාන නිවේදකයෙක් නිවාඩු ගිය දවසක් උපරීම පැය හතරක් පහක් අපිට ලැබුණා වැඩකරන්න. ආරියසිරි මිල්ල විතානාරච්චි තමයි එවක නිවේදක කළමනාකරු හැටියට ඉදිරිපත් කිරීම් බාරව හිටියේ. ඔහු නිතර කිව්ව දෙයක් තමයි කෝ චාන්ස් එකක් දෙන්න කවුරුවත් නිවාඩුයන් නෑනේ කියලා. අපිට ඒ දවස්වල සල්ලි හොයන්න ඕනෙකමක් තිබුණේ නෑ. ඒක මෝඩකමද කියල දන්නේ නෑ. අපේ නම ගුවන්විදුලියෙන් ඇහෙන එක අපිට ලොකු දෙයක්. මොනව හරි දෙයක් ඉගෙන ගන්න තමයි අපිට ඕනෙ කළේ.
ගුවන් විදුලියේ ප්‍රවීණයන් ගොන්නකගේ ඇසුරේ ගුරුහරුකම් ලැබු තැනැත්තියක් මයුරි?
ඒ වාසනාව මට ලැබුණා. ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. එච්.එම්. ගුණසේකර, සිරිල් රාජපක්ෂ, නිව්ටන් ගුණරත්න, පාලිත පෙරේරා, සුජාතා ගුණවර්ධන, තිලක සුධර්මන්ද සිල්වා, ආරියසිරි විතානගේ, පී.කේ.ඩී.කේ ධර්මවර්ධන, ජයන්ත රෝහණ, තිලකා රණසිංහ, කුසුම් පීරිස් වගේ දැවැන්තයන් හමුවේ සිටීමට ලැබීමත් ලොකු ගෞරවයක්. බර්ටි ගලහිටියාව මහත්තයා යටතේ මාස කීපයක් පුහුණුව ලැබුවා. බීම් එකක කටයුතු කරන හැටි පිළිබඳ.
ඔබේ සේවා කාලය තුළ තානාන්තර කිපයක්ම දරනවා. නොවේද?
1986 දී මම සහන ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා. ඊට පසු 1990 දී කොන්ත්‍රාත් පදනම යටතට ඇතුළත්ව කටයුතු කරමින් සිට 1992 වසරේ ස්ථිර සේවයට ඇතුලත් වෙනවා. 2000 වසරේ පාලක කාන්තා වැඩසටහන් හැටියට මට කටයුතු කරන්න ලැබෙනවා. 2004 වසරේ වෙළෙඳ සේවා අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරන්න මට අවස්ථාව උදාවෙනවා. 2010 වසරේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් හැටියට මට කටයුතු කිරිමේ භාග්‍ය උදාවෙනවා.
ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේිදිකාවක් ලෙස ඔබට නමක් ගොඩනැගෙන්න පටන් ගත්තේ?
1987 වෙනකොට මට අතරින් පතර ප්‍රවෘත්ති කියන්න ලැබුණා. රාත්‍රී නමයට දවහල් දොලහයි හතලිස් පහට. ඊටපස්සේ භීෂණ කාලය තුළ 89 දී විතර උදෙත් දවලුත් රෑත් ප්‍රවෘත්ති කිව්වා. මේ වෙනකොට ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මට යම් පිළිගැනිමක් ඇතිවෙලා තිබුණා. මා තුළ තිබු වචන උච්චාරණය හඬ පාලනය නිසාම.
88 – 89 භීෂණ සමයේ ඔබටත් ජිවිත තර්ජන එල්ල වුණේ නැද්ද?
එහෙම නිර්නාමික තර්ජන නම් ආවා. මම දකුණේ කාන්තාවක් මම ඒ හදගැස්ම හොඳින් හඳුනපු කෙනෙක්. මට ආපු තර්ජන ගැන මට දැනුණේ. ඒවා සියල්ල මට ආවේ ආයතනය ඇතුළෙන් කියලයි. ලියුම් ආවා රතුපෑනෙන් ලියල ආවා. දවස් දෙකයි තුනයි කියලා ආවා. නමුත් මගේ හෘද සාක්ෂිය කිව්වා මේක ඇතුළෙම අයගේ වැඩක් කියලා. කොතරම් තර්ජන ආවත් මට හිතුණේ නෑ මේ වෘත්තිය අතහරින්න ඒ වෙනකොට මමත් තරුණවියේ සිටි නිසාද මම දන්නෑ. මට පවුල් බරක් තිබුණෙත් නෑ. ගෙදරින් එපයි කිව්වත් මම ඇහුවේ නෑ මම හිතුවා මේ වෙලාවේ මම මේ දේ කළ යුතුයි කියලා. අපි වැරදිදෙයක් කළේ නෑ. මිනිස්සුන්ට දැනුම විනෝදය රසඥතාව ලබාදීමක් කළේ. ඒ නිසා අපි වැරදි දෙයක් නෙමේ සිද්ධ කළේ. මගේ හෘද සාක්ෂිය අනුව මම බය නැතිව වැඩ කළා. අපිට හමුදා ආරක්ෂාව දීල තිබුණා. ගෙදරට ඇවිත් අපිව එක්ක ගියා. ගෙදර ඉඳලා එන්න බස් නැති දවස්වල මම නාවින්නේ ඉඳල ටොරින්ටන් වලට පයින් ආපු දවස් තිබුණා. දයා ද අල්විස් මහත්මියත් එහෙමයි. ඒ වගේ කැපකිරීම් ඒ දවස්වල අපි කළා. සමහරදාට අදුනන අයගේ වාහන වලින් ආපු දවසුත් තිබුණා. ඒ වගේ කැපකිරීමක් අපි කළා. තර්ජන දරුණු වෙනකොට අපිට ගෙදරින් ගෙනාවෙත් ආපහු ගෙදරට එක්ක ගියෙත් හමුදා ආරක්ෂාව ඇතුව.
ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඔබ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් බවට පත්වන්නේ කොහොමද?
ගුවන්විදුලියේ වැඩකරන අතරේ මම රූපවාහිනියේත් ඔඩිෂන් ගිහින් තිබුණා. කුමා අබේසිංහ මහතා තමයි රූපවාහිනියේ සභාපති වුණේ. ශලි පෙරේරා මහතා තමයි එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටුයතු කළේ. රූපවාහිනියේ ඔඩිෂන් ගිහින් පාස්වෙලා හිටියත් මම ඒ දවස්වල කොණ්ඩේ කපලා හිටියේ ඒ නිසා. අධ්‍යක්ෂ ජනරාල් කිව්වා ලන්සි කට්ටියට ප්‍රවෘත්ති කියන්න දෙන්නෑ කියලා. එහෙම කිව්වේ මම කොණ්ඩෙ කපල හිටිය නිසාම. සුමනා නෙල්ලම්පිටිය, අනෝමා වත්තලගේ. අශෝකා වනමලී, එහෙම තමයි ඒ දවස්වල රූපවාහිනී ප්‍රවෘත්ති කියන්නේ එයාල කොණ්ඩේ බැදල සාරිය ඇදල හරි පිළිවෙළට ඒ කාර්ය කළා. මට තේරුණා වොයිස් එක තිබිල විතරක් බෑ රූපයත් මෙතනට ඕනෙ කියලා. මම එතන ඉඳල කොණ්ඩෙ වවන්න පටන් ගත්තා. ඔය වෙනකොට රටේ භීෂණය තදින්ම පැවති කාලයක්. මට මුලින්ම රූපවාහිනයේ ප්‍රවෘත්ති කියන්න ලැබුණේ 1989 – 09- 09 වැනිදා සවස පහේ ප්‍රවෘත්ති විකාශය. එදා මුලින්ම ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තේ සවස පහට. ප්‍රවෘත්ති කියල ඉවර වෙනකොට වේලාව සටහන් වෙලා තිබුණේ 17.9 ලෙස.
1989 – 09 -09 දින පස්වරු 5ට ප්‍රවෘත්ති කියන්න පටන් අරන් පස්වරු 5.9 ට ප්‍රවෘත්ති කියා අවසන් කළ අහඹු සිද්ධිය ඔබව සුවිශේෂී වුණාද?
මේ අවස්ථාව මට ලැබෙන කොට මම එවක ගුවන්විදුලියේ ක්‍රීඩා විකාශයේ සහන නිවේදකයකු ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ අශෝක කරුණානායක හා පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගාගෙන තිබුණු කාලයක්. මම රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න යනවට ඔහු කැමැත්ත පළ කළේම නෑ. මට ඒක ගැළපෙන්නේ නෑ කියලම ඔහු තදින්ම කියා සිටියා. නමුත් මම මගේ මතයට එක පාරක් හරි කියල බලනවා කියන මතයෙන් තමයි ඒ සඳහා ඉදිරිපත් වුණේ. දයා ද අල්විස් මගේ සාරියේ රැලි තියල මට උදවු කළා. සාරිය හැඩට අදින්න මම ප්‍රවෘත්ති කියන්න ගියා. ඔය අතරේ එවක ගුවන් විදුලියේ පාලක මැදිරියේ විතරයි රූපවාහිනියක් තිබුණේ. මේ රූපවාහිනියෙන් අශෝකත් දයා අක්කත් මම ප්‍රවෘත්ති කියනවා බලන් ඉඳල තියනවා. මම ප්‍රවෘත්ති කියල නැවත ගුවන් විදුලියට ආවා. ඒ එනකොට අශෝකගේ මුණේ අවුලක් නෑ. මම යනකොට ඔහුගේ මුණේ තිබුණ තරහ නැතිවෙලා. දයා අක්කගෙන් ඇහුවා මම අප්සට් කරගත්තද කියල. ඒ පාර දයා අක්කා මගේ අත අරන් සිගරැට් පැකට් එකක ඊයම් කොලයක් හතරට පහට නමල මගේ අත තිබ්බා. “අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න ජයනියතයි කියලා.” මට ඒක හිතට කාවැදුණා. මම එතනදි හිතුවා ගැහැනියක් හැටියට මිනිස්සු දකින්න ආසා පිළිවෙළට ඉන්න කෙනෙක්ව මම සාරියෙන් කොණ්ඩයෙන් සාරි බ්ලවුස් එකෙන් ඒ පිළිවෙළ හදාගන්න උත්සාහ කළා. දකින කෙනාට පේන විධියට මිනිස්සුන්ට ආභරණ නොවෙයි වැදගත් කියලා මම තේරුම් ගත්තා. මාල කරාබු වුණත් ලොකුවට පලදින්න අවසර තිබුණේ නෑ. රූපවාහිනියේ ප්‍රවෘත්ති කියනකොට විනයක් තිබුණා. ප්‍රවෘත්ති කියනකොට ඒ විනයට මම හැඩ ගැසුණා.
රූපවාහිනියේ සාරි රැල්ලක නිර්මාතෘවරියත් ඔබ නොවෙයිද?
ප්‍රවෘත්ති කිව්ව කාන්තාවන් පාට පාට සාරි ඇන්දත් මම ඒකේ වෙනසක් කළා. සාරියේ රැලි ලස්සනට තිබ්බා. සාරියේ හැට්ටේ අත්දෙක ෆීට් එකට රැලි වැටෙන්නේ නැති විධියට ඇන්දා. ඔය වෙනස නිසාම දකින දකින අය අතරේ මගේ ඇඳුමේ වෙනස කතාබහට ලක්වුණා. ඒ කතාබහ වැඩිවෙනකොට මයුරිගේ සාරිය මයුරිගේ රැල්ල කියල කතාබහක් ඇතිවුණා. ඒ කාලේ පත්තරවල පවා ගියා මගේ සාරියේ රැල්ල ගැන මම වැඩිපුර ඇන්දේ ලංකාවේ හදපු අත්යන්ත්‍ර රෙදි වලින් හදපු සාරි සිල්ක් සාරි ඇන්දේම නෑ. ඒ වෙනසට මිනිස්සු කැමති වුණා. සමාජයෙන් මට පිළිගැනීමක් නිර්මාණය වුණා. මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය කුසුමා කරුණාරත්න මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය අනුර වික්‍රමසිංහ, පියසේන අතාවුදහෙට්ටි, මහාචාර්ය සුචරිත ගම්ලත් වගේ අය මට හමු වූ විටත් සමහරවිට කෝල් කරලත් කිව්වා මගේ උච්චාරණයේ සිදුවන වැරදි ඒවා මම ක්‍රමයෙන් හදාගත්තා. ඊට පස්සේ මගේ වචන උච්චාරණය ගැන මිනිස්සු කතා බහ කරන්න පටන් ගත්තා. මට රූපවාහිනිය තුළ ලොකු පිළිගැනීමක් නිර්මාණය වුණා.
දිගු වේලාවක් එක දිගට ප්‍රවෘත්ති කීමේ වාර්තාවත් ඔබ සතුයි ද?
ගුවන් විදුලියේ විනාඩි 15ක් වගේ එක දිගට ප්‍රවෘත්ති කිව්වා. නමුත් එක් අවස්ථාවකදී ජාතික රූපවාහිනියේ මම එක දිගට ප්‍රවෘත්ති කිව්වා. පැයකුත් විනාඩි පහක්. ඒ ප්‍රවෘත්ති විකාශයේ නිෂ්පාදකවරයා වුණේ සිසිර විජේසිංහ මහතා. ගුවන් විදුලියේ හා රූපවාහිනියේ ප්‍රවෘත්ති කීමේ ක්‍රමවේදය දෙවිධියක් ගුවන් විදුලියේ අපි හඬට ප්‍රමුඛතාවය දී චිත්‍රය මැවිය යුතු වුණා. රූපවාහිනියේ රූපය හා ශබ්දය දෙකම එකවර අවශ්‍ය නිසා ශබ්දය මනා පාලනයක් ඇතිව කරන්න සිද්ධ වුණා. මේ ආකාර දෙකේම අත්දැකිම් මට තිබුණා නිසා මගේ කටයුතු මට පහසුවක් වුණා.
ගුවන් විදුලිය අතහැර රූපවාහිනියට එන්න කියා ආරාධනා ලැබුණේ නැද්ද?
අනුව දශකයේ එවැනි ආරාධනා ලැබුණා. නමුත් මගේ සැමියා, අශෝක මට කිව්වා රූපවාහිනිය ඔයාට අලුත් තැනක් මේ පරණ තැන රැදිල ඉන්න. ඒක ඔයාට ලොකු පහසුවක්. ඔයාට මෙතන හොඳ පදනමක් අලුත් තැනකට ගියෙත් එතැනට උචිත ලෙස ගොඩනැඟෙන්න සෑහෙන කාලයක් යයි කියල පෞද්ගලික චැනල් වලින් පවා ආරාධනා ආවා. නමුත් මම මුදල කියනදේම හිතුවේ නෑ. අශෝක කිව්ව දේ තුළ ලොකු ගැඹුරක් තිබුණා. ඔහුගේ දුරදර්ශී මඟ පෙන්වීම තුළ මම ගුවන් විදුලියේම රැඳි සිටින්න තීරණය කළා.
මයුරි අබේසිංහ වඩාත් ජනපි‍්‍රයවෙන්නේ ගුවන් විදුලි ශිල්පිනියක් ලෙස ද රූපවාහිනි ශිල්පිණියක් ලෙසද?
මම හිතන්නේ මිනිස්සු මාව හඬින් ගුවන් විදුලියේදී කලින් හඳුනාගෙන තිබුණා. නමුත් රූපවාහිනියත් මෙයට බලපෑමක් එක් නොකළා නොවෙයි. අද මම කාලෙකින් ප්‍රවෘත්ති නොකිව්වත් තැනකට ගියවිට තියන පිළිගැනීම හරි ඉහළයි. රූපේ නැතත් හඬ ඒ මතකය අලුත් කරනවා. අවුරුදු තිස් පහක් විතර මම ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කිව්වා.
පරිපාලනමය වගකීම් දැරිමත් සමඟ නිවේදන කාර්යෙන් ඔබ බැහැර වුණාද?
පසුකාලිනව නම් මම ඒ පැත්තෙන් ඉවත්ව තවත් පරපුරකට ඒ ඉඩහරසර ලබාදීමක් කළා. පාලක කාන්තා වැඩසටහන් භාරව කටයුතු කරන කොට මම මේ රටේ කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් මාධ්‍ය හරහා කළා. ඔවුන් දැනුම්වත් කිරිමේ විවිධ වැඩසටහන් මාලාවක් මට කරන්න ලැබුණා. වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂවරිය ලෙස මම වැඩ බාරගන්නකොට ඒ සේවය වහල දාල තිබුණේ. එත් නැවත ආරම්භය සඳහා මම තමයි නායකත්වය දුන්නේ. ඒ සඳහා මාත් එක්ක එකට හිටිය නිවේදක නිවේදිකාවන් වැඩසටහන් නිෂ්පාදකයන් ගොඩාක් මට උදවු කළා. වෙළෙඳ සේවයේ එතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කළා. ඒ වෙනසත් සමඟ ඇරඹුමක් ලැබු වෙළෙඳ සේවය තමයි දැන් අදටත් අපිට අහන්න ලැබෙන්නේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් හැටියට ඔබේ කාර්යභාරය වුණේ?
බොහෝවිට පරිපාලනමය පැත්තෙන් මට ආයතනයේ චැනල් දහතුනක වගකීම් පැවරිලා තිබුණා. ආයතනයේ මුල්‍ය තත්ත්වය වැඩසටහන් වල ගුණාත්මක තත්ත්වය, මේ හැම දෙයක් ගැනම සොයා බැලීම මා සතු වගකීමක් වුණා. මගේ සේවා කාලය තුළ පැමිණි සුලි කුණාටු තිබුණා. ඒවා මැඩපවත්වා ගෙන එක් දිසානතියකට ගුවන් විදුලිය කියන නැව මෙහෙය වන්න මේ මයුරි කියන කප්පිත්තට හැකිවුණා කියල මම අද සතුටු වෙනවා. කෝවිඩ් කාලයේ විෂන් එෆ් එම් කියල අපි අධ්‍යපන නාලිකාවක් පවා පටන් ගත්තා. මානසිකව වැටිල හිටිය දරුවන් වෙනුවෙන්.
රාජ්‍ය උත්සවවල පවා ඔබ පුරකගේ කාර්යභාරය ඉටුකළා නොවේද?
පැවති රජයන් තුළ රාජ්‍ය නායකයන්ගේ රාජ්‍ය උත්සව වලදී පුරකගේ කාර්ය සඳහා මට දායක වෙන්න ලැබුණු අවස්ථා බොහොමයක් තිබුණා. රාජ්‍ය නායකයන්ගේ විදෙස් සංචාරවලදී රාජ්‍ය උත්සවවලදීත් පුරකගේ කාර්ය මට කරන්න ලැබුණු අවස්ථා තිබුණා. මගේ ඉදිරිපත් කිරීමේ තිබු යම් සුවිශේෂීබවක් නිසා වෙන්න ඇති මට මේ අවස්ථාව ලැබෙන්නත් ඇත්තේ. එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා ලංකාවට ආපු දවසේ මගේ ඉදිරිපත් කිරිම වෙනුවෙන් මට ප්‍රසංසා කරල ගිය අවස්ථාවක් තිබුණා.
අත්දැකීම් සම්භාරයක් ලැබු පුරකවරියක් ලෙස මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න නවකයන්ට දෙන පණිවිඩය මොකක්ද?
පළමු අඩිය හරියට තියන්න මම එහෙම කියන්නේ. භාෂාව ගැන තමන්ගේ හැකියාව ගැන ලොකු විශ්වාසයක් තියන්න ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න. මුදල ප්‍රමුඛකරගත්තොත් තමන්ට යන්න වෙන්නේ වෙනත් විසිතුරු ලෝකවලට අපේ හැකියාවෙන් අපි පෝෂණය වෙලා මේ තැනට ආවොත් අපිව කාටවත් වට්ටන්න බෑ.
දඬුවම් මාරුවීම් පවා ඔබේ රාජකාරී ජිවිතය තුළ තියනවා නොවේද?
දුක වගේම සතුටත් මගේ රාජකාරි ජිවිතයේ තිබුණ දෙයක් ජිවිතය ගැනවත් නොසිතා ගුවන් විදුලියට වැඩකළ මට දඬුවම් මාරුවක් ලෙස මාව මාරු කල මාතර රුහුණු සේවයට කොළඹ ගුවන් විදුලියේ ස්ථිර සේවයට පත්වීම් ලබා සිටි මාව දෙවන ලියුමෙන් නැවත රුහුණු සේවයට දඬුවම් මාරුවක් ලබාදෙනවා. ඒ වෙනකොට මම රූපවාහිනියේ ඉහළින්ම වැජඹෙන කාලය නමුත් මම ඒ අභියෝගවලට අභියෝග කළා. අද වගේ හයිවේ තිබුණේ නෑ. සෙල්ෆෝන් තිබුණේ නෑ. රුහුණු සේවයේ පාන්දර 4.30 සිට දහවල් 12.30 දක්වා වැඩකරල ආයතනයේ සේවය අවසන් කරල පාරේ බස් එකේ නැවත කොළඹ ඇවිත් පැය පහක විතර ගමනකින් පසු රූපවාහිනියේ ප්‍රවෘත්ති කිව්වා. කිසිම වචනයක් පැටලෙන් නැතුව වරද්දනේ නැතුව අවුරුදු දෙකක් විතර මම මේ විධියට ප්‍රවෘත්ති කිව්වා. එවක ජාතික රූපවාහිනියේ සභාපතිවරයාව සිටියේ මහාචාර්ය තිස්සකාරියවසම් මහතා එතුමාට පවා බලපෑම් කරල තිබුණා. මට නිවුස් කියන්න දෙනවට ඒකට එතුමා උත්තරක් දීලා තිබුණා. මයුරි කවද හරි නිවුස් වරද්දපු දාට මම එයාට රූපවාහිනියේ නිවුස් කියන එක නතර කරනවා. එතකන් මම ඇයට නිවුස් කියන්න දෙනවා කියලා දවස් පහක් විතර මම ඒ දවස්වල සතියට නිවුස් කිව්වා. නිවුස් කියල රෑ නමයට පිටකොටුවෙන් නැවත මාතර යන්න බස් එකට නැග්ගා ඔය වසර දෙක කාලය තුළ මම ගුවන්විදුලියේ දොරකඩටවත් පය තිබ්බේ නෑ. ඒ තරම් වේදනාවක් මට තිබුණා. පටු අරමුණු වලින් කටයුතු කරපු අයට මම සතුටක් ලබන්න ඉඩදුන්නේ නෑ. මගේ ශක්තියෙන් මම අයෝමය කතක් ලෙස නැගී සිටියා.
රාජය මාධ්‍ය ත්‍රිත්වයේම ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක් වුවා නොවේද?
ගුවන් විදුලියේ ජාතික රූපවාහිනියේ ස්වාධීන රූපවාහිනියේ මම ප්‍රවෘත්ති කිව්වා. සමහර දවස්වල උදේ දවල් රෑ එකම දවසේ මේ මාධ්‍ය ත්‍රිත්ත්වයේම ප්‍රවෘත්ති කිව්ව එකම කෙනා වුණෙත් මම.
ඔබේ ජිවන ගමනේ සහකරු ඔබට හමුවන්නෙත් ගුවන් විදුලියෙන්?
ඔව් මගේ සැමියා අශෝක කරුණානායක මට හමුවන්නේ ගුවන් විදුලියට සහන නිවේදිකාවක් ලෙස පැමිණි මුල් කාලයේ ඒ වෙනකොට අශෝක සහන නිවේදකයෙක් ලෙස ගුවන් විදුලියේ කී‍්‍රඩා විකාශයේ වැඩ කළා. එහි වැඩසටහන් නිෂ්පාදනයත් කළා මම රුහුණු සේවයෙන් කොළඹ ආවට පස්සේ මුලින්ම මට බීම් එකක වැඩකරන්න ලැබුණේ ක්‍රීඩා විකාශයේ අශෝක යටතේ මට පුහුණුවක් ලබන්න මෙහිදි සිදුවුණා. මෙහි මගේ මුල්ම අත්දැකීම වුණේ කොළඹ ආනන්ද නාලන්ද ක්‍රිකට් මැච් එක විස්තර ප්‍රචාරණය. අශෝක තමයි ගුවන් විදුලියේදී අමතන්න ඕනේ. සම්මත භාෂාව ගැන මට කියලා දුන්නේ. ක්‍රීඩා සංග්‍රහය පවා එවක ගුවන් විදුලියේ කළේ අශෝක කොහොම හරි අපි පෙම්වතුන් වුණාට පස්සේ මගේ වැඩවල නිරන්තර උපදේශකයා වුණේ අශෝක. මට දඬුවම් මාරුවක් දීලා මාව කොළඹින් රුහුණු සේවයට මාරු කරල තියනකොට මට ශක්තියක් වුණේ අශෝක රූපවාහිනියේ ප්‍රවෘත්ති කියල ඉවර වුණාම මට නැවත මාතර යන්න කොටුව බස් නැවතුමට එක්ක ගියේ අශෝක අශෝක ගුවන් විදුලියෙන් එළියට එනවා. මම රූපවාහිනියෙන් එළියට එනවා. අපි දෙන්නා බස් හෝල්ට් එකේ හමුවෙනවා. පිටකොටුවට බස් එකේම යනවා. ඔහොම දුෂ්කර කාලයක් අපි ගෙවා දැම්මා. අවසානයේ අපි දෙමාපියන්ගේ ආශිර්වාදය හමුවේ විවාහ වුණා. මම යම් දෙයක් මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ලබාගත්තනම් ඒ ගෞරවයේ සම අයිතියක් මගේ ආදරණීය අශෝක කරුණානායකටත් හිමිවිය යුතුයි.
ඔබේ මාධ්‍ය ජීවිතය දෙස ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?
මගේ පැත්තෙන් මම තෘප්තිමත් නිවේදිකාවක්. හඬකැවිම් ශිල්පිනියක් ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස මට ලොකු කාර්ය භාරයක් සිද්ධ කරන්න ලැබුණා. ආයුබෝවන්, නුගසෙවණ, රූපවාහිනි වැඩසටහන්, මෙන්ම ජනපති ජනහමු, රාජ්‍ය උත්සව සජීවීව නිවේදන කටයුතු සිදුකිරීම රාජ්‍ය තාන්ත්‍රික උත්සව අවස්ථා නිවේදන කටයුතු සිදුකිරීම ආදිය තුළින් මගේ පුරකගේ කාර්ය භාරය මැනවින් ඉෂ්ට සිද්ධ කරන්න ලැබීම ගැන මම අදත් පසුවන්නේ තෘප්තිමත්භවකින්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන