Home » එදා වදයක් වූ තාත්තාගේ නීති අද මහා ආදරයක් සේ දැනෙනවා

එදා වදයක් වූ තාත්තාගේ නීති අද මහා ආදරයක් සේ දැනෙනවා

විජයරත්න රණතුංගගේ දියණිය සෙව්වන්දි රණතුංග කියයි

by Mahesh
July 18, 2024 12:30 am 0 comment

– හැමතිස්සේම මගෙ ළඟින් උන්න අපෙ තාත්තා මට ජීවිතයත් කියා දුන්නා
– කොහේ හෝ හොඳ තැනෙක ඉඳන් තාත්තා එදා වගේම මට ආශීර්වාද කරන බව මට හොඳටම විශ්වාසයි
– ඇත්තමයි තාත්ති දෙවි කෙනෙක්
– අපෙ තාත්ති කවදාවත් ගුරු මුෂ්ටියක් තබා ඉගැන්නුවේම නැහැ

” තබ්ලා වාදනය මට උගන්වන්න කීවාම එයට අපෙ තාත්තා උත්තරයක් නුදුන්නේ මම එය දිගටම කරගෙන යන එකක් නැහැ කියල ඉවෙන් වගෙ දැනුණු නිසා වෙන්නැති. අද මම හිතනවා තාත්තා හරි කියලා..අනේ…හැමතිස්සේම මගෙ ළඟින් උන්න අපෙ තාත්තා මට ජීවිතයත් කියා දුන්නා..අද මං යම් තැනෙක ඉන්නවානම් මං දිහා බලා එයා කෙතරම් සතුටුවේවිද. ..කොහේ හෝ හොඳ තැනෙක ඉඳන් තාත්තා එදා වගේම මට ආශීර්වාද කරන බව මට හොඳටම විශ්වාසයි..”

ඔහු නම ඇසූ සැණින් ඔහු පිළිබඳව නොඇසූ..නොදන්නා කෙනකු නම් නොමැති තරමි යැයි හැඟේ… හෙළ සංගීත අම්බරයේ විශිෂ්ටතම තබ්ලා වාදකයා ලෙසින් අවිවාදිත ඔහු කළ මෙහෙවරට තවත් උපමා නැති. ඔහු ඇවෑමෙන් තබ්ලා වාදනයෙහි නිපුන් තවත් සිසු පිරිසක් රටට දායාද කළ මේ සොඳුරු කලාකරුවාණන් පිළිබඳව යටගිය තතු සොයා සරසවිය වෙනුවෙන් ගිය ගමනේදී මට මුණගැසුණේ ඔහුගේ ආදරණිය එකම දියණිය සංගීත විශාරද සෙව්වන්දි රණතුංග මහත්මිය ය. ආදරණිය පියාණන් පිළිබඳව ඇ හා මා අතර පැවැති ආදරණිය සංලාපයේදී එසේ කියන්නී තවමත් සිය පියාණන් පිළිබඳව හදජනිත සෝකී ස්වරයෙනි…

කොළඹ …මරදානේ මේරි මාගරට් සහ ව්‍යාපාරිකයකු වූ පොඩි අප්පුහාමි යන දෙපළට හිමි පවුලේ දූ දරුවන් අට දෙනාගෙන් අපේ ආදරණිය කතා නායක තෙමේ ඉන් සිව්වැන්නාය. පිළිවෙළින් ඔහුගේ ලොකු අයියාගේ නම අපැහැදිලි නමුත් දෙවැන්නා කුලරත්නය රණතුංග ය. අක්කා ස්වර්ණලතා රණතුංග තෙවැන්නියය. සිව්වැන්නා වූ අපේ කතානායකයාට නැගණිය වූයේ ශ්‍රියාණිය. ඊළඟට පද්මලතාය. ඊලඟට නැගණිය රෝහිණී වූ අතර පවුලේ බාලයා වූයේ උපාලි රණතුංග ය.

1943ක්වූ අප්‍රේල් මස 05 වනදා මෙලොව එළිය දුටු රටක් නොතිත් ස්නේහයෙන් වැලඳගත් විජයරත්න රණතුංගගේ විජයරත්න අපේ කතා නායකයාගේ උප්පැන්නයේ සඳහන් නමය.

මරදානේ…මධ්‍ය මහා විද්‍යාලයේ අකුරට ගිය හෙතෙම විද්‍යාලීය පාපන්දු පිටියේ දක්ෂතම ක්‍රීඩකයකු ලෙසින් ද කැපී පෙනුණේය.

මා සමීපයේ අසුකට බරදෙමින් නිහඬව ම පසුවන දියණිය සෙව්වන්දි රණතුංග සිය කටහඬ අවදි කරන්නීය.

“ඔව්..අපෙ තාත්ති ඒ කාලෙ හොඳ ක්‍රීඩකයෙක්. කොහොම හරි තරඟයකදී සිදුවුණු යම් අසාධාරණයකින් සිත රිදිලා ක්‍රීඩාවට යාම අත්හැර දමා ගෙදරම හිටියාලු…”

දැන් හේ පාසලින් ගෙදරට පැමිණි මොහොතේ සිට ගෙන් පිටත නොයා නිවසෙහි පසුවෙමින් ට්‍රන්කා පෙට්ටියට.. මේසයකට සිය දෑඟිලි හසුරුවා තට්ටු කරමින් අපූරු තාල රටා මවන්නේය. එදෙස පොඩි අප්පුහාමි පියාණන්සේම මාගරට් මෑණියන්ද සතුටු සිතින් බලාසිට වැඩිදිනක් නොයා ඩෝල්කියක් පුතුට තෑගි කළේය…වෙනදා පාපන්දු ක්‍රීඩාවට යන වෙලාවට ඔහු නිවසේ රැඳී ඩෝල්කිය වයන්නේය. ඒ තාල වාදනයට කාගේත් ඇස යොමුවිණි.

එවක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරිය පිහිටියේ මරදානේය.

මම අපේ සෙව්වන්දි දෙස බලමි.

“සීයා තාත්තා අපෙ තාත්තිව ඒ සංගීත මංජරියෙ පන්තියට දැම්මා…කේමදාස මාස්ටර් තාත්තිට කියල තියෙනව තබ්ලාවක් ගන්න කියලා. ඉතිං.. ආච්චි අම්මා තාත්තිගෙ උපන්දිනයට තබ්ලාවක් තෑගි කළාලු..”

ඩී. ආර්. පීරිස් ..පී.වී. නන්දසිරි.. ඩී.සී.කොඩිතුවක්කු ආදී එදා ප්‍රකට සංගීතඥයන්ගෙන්ද තබ්ලා වාදනය හා ගායනය හදාරමින් හෙතෙම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට (හේවුඩ්) ඇතුළත් වූයේය..එය පසුව රජයේ සංගීත විද්‍යාලය නම් විය. එහි ආචාර්ය මණ්ඩලයේ ද හරසරට පාත්‍ර වූ අපේ සොඳුරු කතා නායකයාණෝ ප්‍රථම..මධ්‍ය..අවසාන විභාගවලින් ඉහළින්ම සමත්ව සය අවුරුදු පාඨමාලාවද හදාරා ප්‍රධාන විෂය තබ්ලාව කොට අනුවිෂය ලෙසින් ගායනයද හදාරමින් සිට ඒ අතරේදී අපේ කේමදාස මාස්ටර්ගේ අනිවාර්ය තබ්ලා වාදකයා බවටද පත්වූයේය.

මේ ගතවන්නේ 72 – 73 වසරයි. අපේ ආදරණිය වාදකයාණෝ ගුවන් විදුලියේ වාදක මඩුල්ලට පත්වීමක් ලද්දේය. ඒ වනවිට එහි ළමා මණ්ඩපයේ ගායන ශිල්පිනියන් අතර නිර්මලා රණතුංග මහත්මියද සිටියාය.

“ඉතින්..ඉන්පස්සෙ අපෙ තාත්ති එළිමහන් සංගීත ප්‍රසංග වලටත් තබ්ලා වාදනයට ගියානෙ.”

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිල්ප ප්‍රදර්ශක තනතුරකින්ද පිදුම් ලබමින් හේ පසුව එහි කථිකාචාර්යවරයකු වූයේය. දර්ශනපති උපාධියටද හිමිකම් කී අපේ සොඳුරු කතා නායකයාණෝ වැඩිකලක් නොයාම එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා බවටද පත් වූයේය.

“අපෙ තාත්තා දෙවි කෙනෙක්…ඇත්තමයි. දෙවි කෙනෙක්..අපෙ තාත්ති ළඟ තිබුණු උතුම් ගතිපැවතුම් කියා නිමාකරන්නට නම් බැහැ. තාත්ති එයාගෙ අම්මාට පුදුම විදිහට ආදරෙයි..ඒ කියන්නෙ අපෙ ආච්චි අම්මාට..ඉතින් ..අපෙ තාත්ති ඒ කාලෙ ගෙදරදි වටපිටාවටම ඇහෙන්න නූර්ති ගී ගයනවාලු. ”

අපේ ආදරණිය සෙව්වන්දියගේ කටහඬ තවමත් සෝකී ස්වරයෙනි. වරෙක ඈ නිහඬවම හිඳීන්නීය. තව වරෙක වචන ගළපන්නට මෙන් බිම බලාගත්වනම හිඳීන්නීය.

“අනේ…තාත්ති මට ආදරය කළ තරම නම් මට අදටත් හිතාගන්න බැහැ…මගෙ ආරක්ෂාව..පරිස්සම… කොතරම් කාර්ය බහුල වුණත් මාව අතහැරියේම නැහැ..අයියාවත් අම්මාවත් එහෙමයි.

මං පන්තිය ඇරිලා එළියට එද්දි පැය බාගෙකට කලින්වත් හරියටම ගේට්ටුව ළඟට වාහනය ගෙනැත් නවතාගෙන ඉන්නවා. ට්‍රිප් එකක්වත් යාළුවො එක්ක ගමන්බිමන්වත් තනිව යන්න නම් මට පුරා තහනම්. අනේ ඇත්තමයි. මට මේවා එදා පෙනුණෙ මහවදයක් වගේ..අනේ ඒත් අද මට හිතෙන්නෙ තාත්ති ඒ හැමදෙයක්ම කළේ මට තිබුණු ආදරයටම නේද කියලයි. ඒ හැමදේම හරි නේද කියල අද මම හිතනවා”

දියණිය සෙව්වන්දි කියන්නීය.

දැන් දැන් අපේ කතා නායක තෙමේ විශිෂ්ටතම තබ්ලා වාදකයකු ලෙසින් රටතොට සුපතළය. දෙස් විදෙස් ප්‍රසංග ආදියෙහි ද ඔහු ඒ හැමතැනකම සිටියේය.

“තබ්ලාව ප්‍රධාන භාණ්ඩය වුණාට අපෙ තාත්තිට සෑම සංගීත භාණ්ඩයක් ගැනම හොඳ අවබෝධයක් තිබුණා. තාත්ති තබ්ලා වාදනය ගැන විවිධ ආකාරයට පර්යේෂණ කරමින් තව තවත් තබ්ලා තාල පද එකතු කළා..තාත්තිගෙ තබ්ලා වාදනයෙහි අසමසම බවක් කාටත් පෙනුණේ ඒ නිසාම වෙන්නැති කියල මට හිතෙන්නෙ”

නුගේගොඩ පැවැති සංගීත ප්‍රසංගයකි. තබ්ලා වාදනයට ප්‍රකට ඔහුගේ තාල වාද්‍යයෙහි සුරුවිරුකම් දකින්නට ආ මහපිරිස මැද සංගීතයට භක්තිමත් පවුලක රූමත් තරුණියක්ද සොහොයුරියන් සමඟින් එහි පැමිණ සිටියාය.. ඒ ඔහුගේ තාල වාදනයටද ලොබිනි. ඈ ඔහුගේ තාල වාදනයට වශීකෘතව ගිය තරම කොතෙක්ද යත් ඕ සොහොයුරියන් සමගම ඔහු සමීපයට ගොස් වචනයක් දෙකක් කතා කළාය..ඉන්පසුව ඔහු ඇයට දකින්නට ලැබුණේ ළමා මණ්ඩපයට ගුවන් විදුලියට ගිය අවස්ථාවකදීය.. දැකීමෙන් සුහදතාවට පත්ව ජනිත වූ ප්‍රියමනාප බව පසුව ආදරයකට හැරුණු මේ දෙදෙනාගේ ප්‍රේමණීය කතාව තවත් වැඩී එය සම්පූර්ණ වූයේ ඇය හා ඔහු හා අතිනත ගැනීමෙනි..

“අපෙ අම්මාත් සංගීතයට ළැදි පවුලක කෙනෙක්නෙ. තාත්ති බුද්ධාගමේ. අම්මා කතෝලික …ඒවා බාධක වුණේ නැහැ. අම්මාගෙ කැමැත්තට දෙන්නා විවාහ වුණේත් දේවස්ථානයේදී…”

ඒ 1973 වසරේදීය ..

අපේ සොඳුරු කතා නායකයාගේ ජීවන සහකාරිය වූයේ නර්තනයට…ගායනයට සමත් අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය නිර්මලා රණතුංග මෙනවියය.. නර්තනයට වඩා තමන්ගේ ගායන දිවියට සිය හිමි වඩාත් කැමති බව අවබෝධ කරගත් ඕ තොමෝ නර්තනය පසෙකලා ගායනයටම කැපවූවා පමණක්ම නොව රසික රසිකාවියන්ගේ නොමඳ ආදරයටම බඳුන් වූවාය…

කැලණිය ප්‍රදේශයේ විසූ ඔවුහු පසුව මිරිහානේ පදිංචියට ආහ. රටතොට පරසිදු ගායක ගායිකාවන් මහපිරිසක් ඔහුගේද ඇයගේද ලඟම නෑයන් මෙනි.

හෙතෙම දැන් අතිශයින් කාර්ය බහුල ය. එහෙත් දවසින් එක් පැයක් හමාරක් ඉඳුරාම වෙන්කරගන්නේ තම ප්‍රේමණීය තබ්ලා විෂයෙහි පුහුණුව පිණිසය. තම නිවස හා ගෙවත්තද ලස්සනටම තිබිය යුතුමය. විවේකී අවස්ථාවල ගෙදොර අමැද ඉන් නොනැවතී ගෙදරට එන මාවතද හේ අතුපතු ගා දමන්නේය. මඟ යනෙනවුන් සමඟද කතාබහේ පසුවන්නේය…ඒ ඔහුගේ හැටිය.. තම ආදරණිය නුවන් පුතුද දියණිය ද ඔහුගේ ඇස්දෙක මෙනි. සිය හිමිගේ එදිනෙදා කටයුතු මැනවින් දන්නා බිරිඳ නිර්මලා මහත්මිය ඔහු අත තේ කෝප්පය තබන්නේද නිසි වේලාවටය.

පවුලේ සමගිය..සමාදානය..ගෞරවය ඉහළින්ම සලකා සිටි හේ දැනමුතුකම් දෙන්නේය.

“තාත්තිගෙ හැම කටයුත්තකදීම අපෙ අම්මා උපරිමයෙන් කැපවුණා. මං හොඳටම දන්නවා අම්මා අම්මාගෙ කටයුතු පවා අතහැරදාල අයියයි මමයි වෙනුවෙන් වගේම තාත්ති වෙනුවෙන් ද කැපවුණා…”

අපේ ආදරණිය විශිෂ්ට තාල වාදකයාණෝ තම දෑඟිලි දෙස බලමින් අතගගා පිරිමදින්නේය…

“මේ අත් දෙකින් මම කොච්චර තබ්ලාව වයල ඇතිද. අපි සල්ලි හම්බ කරන්න ඕන මහන්සි වෙලා. නැතිනම් ඒවා යා දෙන්නේම නැහැ. දුකකදී මිනිසුන් ට උදව් කරන්න ඕනා. ” හේ තම බිරිඳ නිර්මලාට කියන්නේය.

අනුනගේ දුකකදී වහා උණුවන සිතකින් හෙබි හෙතෙම අනුනට කළ උපකාර ප්‍රසිද්ධියේ නොකළ බවද බොහෝ දෙනකු දන්නා කරුණකි. ඔහු දකුණතින් දුන්නේද එය ඔහුගේ වම් අත පවා නොදන්නා සෙයකි. සංගීත ප්‍රසංගයකට රැගෙන ගිය තබ්ලාව ආපසු එලෙසින් ම නිවසට රැගෙන ආ දවසක්ද නැති. “විජයරත්න මහත්තයා වයපු තබ්ලාවයි මට වටින්නේම කියමින් ඔහුගේ තබ්ලාව අඩු මුදලකට බොහෝ අය මිලදීගත් අවස්ථාද එමටය.

“අපෙ තාත්ති කවදාවත් එයාගෙ පන්තිවල අයට ගුරු මුෂ්ටියක් තබා ඉගැන්නුවේම නැහැ. ශාස්ත්‍රය එහෙමම කියා දුන්නා.. පන්තියට කෙනෙක් අවාම මුලින්ම පවුලේ වත්කම් එහෙම කතාවෙන් අහල දැනගන්නවා.. ආර්ථික අමාරුකම් තියෙන බවක් පෙනුණොත් මුදල් අය නොකරම උගන්වනවා.. රටපුරා තාත්ති බිහිකරපු අති දක්ෂයන් ඉන්නවා. ඒ ගෝලයින්ගෙ දරුවොත් අද ඉහළින්ම කැපී පෙනෙනවා.”

සිය පියාණන් පිළිබඳ ගෞරවය මුසු කෘතවේදි බව දියණිය සෙව්වන්දියගෙන් මට පසක් වෙයි…

අපේ නිර්මලා රණතුංග මහත්මිය මේ වනවිට ප්‍රකට ප්‍රවීණ ගායිකාවකි. මා හා සංලාපයේ පසුවන අපේ ආදරණිය සෙව්වන්දි දියණිය ද මවුපිය ගත්මග යමින් සංගීත විශාරද උපාධියද ලැබ සංගීත ක්ෂෙත්‍රයේ කාගේත් ගෞරවයට බඳුන් ව පසුවන ගායන ශිල්පිණියකි…

” අම්මා ගායනා කළ ගීතවලට තනු හා වාදනයෙන් මුල් වූයේ අපෙ තාත්ති…”

ආදරණිය අම්මා සමඟ අපේ සෙව්වන්දි එක්ව ගැයූ

“සිනා මල් ගොඩක්..පාර දෙපැත්තේ…” යන ගීතයෙන් සේම තවත් ගීත කිහිපයකින්ද සෙව්වන්දි වඩාත් ජනප්‍රියත්වයට පාත්‍ර ව සිටින්නීය.

සෙව්වන්දි තම ආදරණිය මෑණියන් ගැනද කියන්නීය.

” සාමාන්‍යයෙන් පවුලක අම්මා පුතාට ආදරෙයි. ..තාත්තා ආදරේ දුවකටනේ. ඉතින් මේ දෙන්නාටම අයියාවයි මාවයි වටිනවා. තාත්තිගෙ මහා ආදරයක් මට ලැබුණෙ මං ගෑනු ළමයෙක් හින්දා වෙන්නැති. ඔන්න ඉතින් ..අයියයි මමයි පොඩි දවස්වල ගෙදර රණ්ඩු වෙනවානෙ.. අම්මා ඉන්නෙ අයියගෙ පැත්තෙ.. තාත්ති මගෙ පැත්තෙ .. අන්තිමට තාත්ති අම්මාට තරහින් කියනවා අපේ චූටි දුව තාම පොඩියිනේ කියලා..මම අපෙ නැන්දලගෙ ආදරය..මවුපිය ආදරය මැද්දෙ තමයි මං හැදුණේ වැඩුණෙ. මගෙ හිත මොනම දේකදිවත් රිදෙනවට තාත්ති කැමතිම නැහැ.. ඉස්කොලේට ගිහිල්ලාත් ගුරුතුමිලට දොස් කියනව මගෙ දුවගෙ හිත රිදවන්න එපා කියලා..අපිව හැම සිකුරාදා ම කෑමකට ගෙදරින් පිටතට එක්ක යනවා. තාත්ති ගෙදර ඉන්නකොට හරි විමෝදයි. ඒත් කේන්ති ගියාම ආ..පෝ. හරි ම වසයි. ඒත් ඉතින් කටින් තමයි…”

සෙව්වන්දි කුඩා දැරියකමෙන් එසේ කියා උස්හඬින් සිනාසෙන්නීය.

අපේ මානව හිතවාදී සොඳුරු කතා නායකයාණෝ විවේකී දිනෙක බරාඳයේ අසුනකට බරදී වෙහෙසකර වදනකින් බිරිඳට කීවේ. “මතු උපදින ආත්මයකදී නම් කවදාවත් මට මෙහෙම බරක් පැටවෙන්නට එපා “කියාය. එම කතාවට හේතුව මැනවින් දන්නා බිරිඳ නිහඬවම ඔහු දෙස බලා සිටින්නීය.. එහි ඇතුළාන්තය සැබෑවක් යැයි ඇයට හැඟේ.

ඔහුගේ පවුලේ අය වත්කම් අතින් හීනව ගොසිනි. බොහෝ ගැටලු මධ්‍යයේ ය..දිවා රෑ වෙහෙසව හරිහමිබ කරනා ඔහුට තම අය පිළිබඳව ඇතිවන්නේ දුකෙකි. අහක බලා සිටින්නටද බැරිය. ඔහු තම එම පවුලේ සියලු බර තම කරට ගත්තේය. සොහොයුරු සොහොයුරියන් ආවාහ විවාහ කර දුන්නේය. ආර්ථික හා වෙනත් පහසුකම් අතින් තැනකට ගෙන ආවේය. හැමතින්ම ඔහු ඒ බැරිබර ඔසවා යමින් යුතුකම් අඩුවක් නෑර ඉටුකළේය.

ඔහුගේ එක් සොහොයුරකු හට ඉන්නට තැනක් නැතිවී ගිය තැන අපේ ආදරණිය විජයරත්න රණතුංග සොඳුරු කලාකරුවාණෝ ඉඩම් කැබැල්ලක් සොයමින් කොළඹට එපිට ප්‍රදේශවලට යමින් මිලට රැගෙන දීමට සොයා බැලුවේය. තවත් බාධක හේතුවෙන් එය මඟ හැරී ගියේය…එදින තම දියණියගේ ගෙදරට පැමිණි හේ අසුනකට බරදී දෑතින් තම හිස අතගාමින් පහත් හඬින් කීයේ ” මට ඒ දේ විතරයි කරල දෙන්න බැරිවුණේ කියා ය.

“ඔව්..අපෙ තාත්ති එයාගෙ පවුලේ අය වෙනුවෙන් මහබරක් ඇද්දා. ඉන්පස්සේ මම තාත්ති වෙනුවෙන් ඒ බර මගෙ කරට ගත්තා. අදටත් එහෙමයි. තාත්ති අනුන් වෙනුවෙන් කළ දේවල් ගැන නොවෙයි කම්පා වුණේ. අනුන් වෙනුවෙන් කරගන්න බැරිව ගිය දේවලටයි ..තාත්ති එයාගෙ අයට වගේම පිටස්තර අයටත් කොච්චර උදව් උපකාර කරල තියෙනවද කියලා. අම්මවත් දන්නෙ නැහැ. පස්සෙ කාලෙක තමයි අපි දැනගත්තෙ..ඇත්තමයි. තාත්ති දෙවි කෙනෙක්”

මම අපේ ආදරණිය සෙව්වන්දියගෙන් පළමුවරට ඇස කඳුළු දුටුවෙමි. ඒ කඳුළු දෑස වසන් කරන්නට ඕ උත්සාහයක යෙදෙන්නීය. මඳක් නිහඬව ම පසුවූ ඕ තොමෝ යළි කටහඩ අවදිකළද ඒ බිඳුණු ස්වරයෙනි.

මම කතාව වෙනතකට හරවා පසුව යළි මාතෘකාවට ආයෙමි.

“අපේ පුංචි (නිරංජලා සරෝජිනී) ගයන්නෙ නැති නිසා එතුමියගේ ගීත මට ගයන්න අවසරය දුන්නා. අපෙ අම්මාගෙ ගායන ශෛලිය නම් වෙනත් කෙනකුට ගයන්න අසීරුයි. අම්මාගෙ පවුලේ අයගෙන් අම්මා තමයි ගොඩක් දුරට ඉගෙන ගත්තෙ. ඇත්තමයි. අපෙ අම්මා නම් අපෙ තාත්ති වෙනුවෙන් එයාගෙ බොහෝ දේ කැපකළා. අපි හැමදෙනාගෙම සතුට අම්මාගෙ සතුට වුණා..අපේ මේ ක්ෂෙත්‍රය හරි අමුතුයි. අපි රැකගෙන ආ හොඳ නමක් තියෙනවා… තමන්ගේ නම කැත කරගන්නෙ නැතිව හොඳට ඉන්න කියල තාත්ති නිතර කී කතාවක්. අපි ඉදිරියටත් කාගෙන්වත් කතන්දරයක් අහගන්නෙ නැතිව හොඳීන් ඉන්න ඕන කියලත් තාත්ති කිව්වා..අනේ..මට මගෙ තාත්ති ජිවිතය කියාදුන්න තරම්..”

ඕ බිමබලාගත්වනම ය.

ලැබෙන හැටියට ජීවත්විය යුතු මිස රටට ණය වී ජීවත්වීම පිළිකුල් කළ හෙතෙම කිසිදිනෙක කුමන අවශ්‍යතාවකදී වුව ද ණය ගැනීම් තරයේ ප්‍රතික්ෂේප කළේය.

“අපෙ තාත්ති අපට කියල ඉතිරි කළා. නැති නාස්ති කළේම නැහැ.. හැමවිටම දුරදිග බලා වැඩකළේ.. තාත්තිගෙ පැත්තෙ අයට කළ යුතුකම් ..ගැන කියලා තබ්ලාවට තට්ටු කර කර කියනව ඒ තරම් සේවයක් මම කළා කියලා..”

සකසුරුවම් ජීවිතයම තවත් හැඩකළ අපේ ආදරණිය කතා නායක තෙමේ ජීවිතයේ කිසිදිනෙක දුම්වැටියක..මත් දියරක රස බලා නැති. ප්‍රසංග ආදියට විදෙස් ගතවුවද හවුලේ පසුවෙමින් සෙසු අය මත්පැනට එකතුවද්දී ඒ වෙනුවට ඔහු කොකාකෝලා උගුරකින් සෑහී පිරුණු සල්ලාපයේ පසුවන්නේය.

විදෙස් ප්‍රසංගයනට සහභාගි වී පෙරළා නිවසට පැමිණි එක් දිනෙකදී ඔහු බිරිඳ නිර්මලා බලා සිටින්නීය. ඒ බැල්ම ඇයට නුහුරුය.

“මං ආයෙ කවදාකවත් රට යන්නේ නැහැ. ” යි කී හේ ලේ වමනය කළේය. කිසිත් අදහාගත නොහැකිව ගිය බිරිඳ දරු දෙදෙනා සමඟ කම්පිතව යද්දී ඒ සමීපයේම සිටියේ විධායක ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය නම් දියණිය සෙව්වන්දිගේ ආදරණිය සැමියා ය.

රෝහලට කැඳවා යාමට පෙරැත්ත කළද අපේ කතා නායකයාණෝ බැහැ යැයි ගත්කටටම කීයේය. දියණිය කන්නලව් කළාය. ඊට සවන්දුන් හේ වහා රෝහලට ඇතුළත් කෙරිණි. එහිදී කළයුතු සෑම ප්‍රතිකාරයක්ම සිදුකෙරිණි. රෝහල් වාට්ටුවේ ගිලන් යහනේදී ඒ මහරාත්‍රියේ ඔහු “චූටි දුවේ “කියමින් දියණියට අඬ ගැසුවේය. සාත්තුවට ළඟ හුන් අය ඔහු අස්වැසුවේය.

පසුදා දියණිය සහ පවුලේ සැම ඔහු අසලමය. ඔහු තද නින්දේය..එහෙත් එය නින්දක නම් නොවී යැයි සිතූ දියණිය දෑතින් සොලවමින් තාත්තී නැගිටින්නකෝ කියා හඬ තැලුවාය. මැලවුණු දෙයක් යළි පුබුදු වන සෙයක් ඒ මුහුණින් පළවනු දුටු සැවොම එම දසුන අදහාගත නොහී පුදුමව බලා සිටියහ.

ඔහු සන්සුන් ව කතා කරන්නේය.

” මං ලස්සන තැනකට ගිහින් හිටියේ..ඔයාල මට නොකීවාට මට බෝධි පූජා තිබ්බ හැටිත් මට පෙනුණා චූටි දුවේ. මගෙ ගෝලයො මා නමින් සෙත්පතන හැටිත් මම දැක්කා…මට ඔයා කතා කළ නිසා මේ දැන් මං ආපහු ආවේ…”

ඒ ඔහු කතාවෙන් ඒ වනවිටත් පුදුමයට පත්ව ඔහු දෙසම බලාහුන් වෛද්‍යවරුන් ගත්කටටම සෙමින් දියණියට කීවේ “ඔයාලා පව් වැඩක් කරන්නේ. එයාට යන්න දෙන්න…”කියාය. කිසිවක් සිතාගත නොහී පවුලේ සැම නිරුත්තර ව බලා සිටියහ.

අවසන අපේ ආදරණිය සොඳුරු කතා නායකයාණෝ මෙසේ සෙමින් කියන්නට වූයේය. හැම දෑසකම කඳුළු උතුර උතුරා බිම වැටිණි.

“මං දැක්කා. මං දැක්කා…මං යන්නෙ හොඳ තැනකට…මට ඔයාලා යන්න දෙන්න. ”

ඒ හඬ දයාබර ඉල්ලීමක් වැන්න.

ඔහු යළි නිවසට රැගෙන ආවේය..සිය බිරිඳගේ උපන්දිනයද යෙදුණු එදින ඒ වෙනුවෙන් කැපූ කේක් ගෙඩියේ කෑල්ලකද රස බැලූ හේ ආදරණිය බිරිඳට හදවතින් ම සුභ පැතුවේය…පසුව දියණියගේ නිවසට කැඳවා ආයේය.

“මගෙ ඇඟපත රිදෙනවා..”

වෙනිවැල්ගැට කෝප්පයක් පානයට දුනි. කිසිත් අහරක් නම් ඔහුට ප්‍රිය නැති.

“අපේ චූටි දුව හරියට කොල්ලෙක් වගෙ නේද”

බෙහෙතක් රැගෙන එන්නට කඩිමුඩියේ පිටව යන දියණිය සෙව්වන්දි දෙස බලා ඔහු සිනාසෙමින් තම බිරිඳ ට කීවේය.

නිවසේ පිරිත් සජ්ඣායනා අසන විටද ඔහු ඉතා අපහසුවෙනි. දියණිය සෙව්වන්දි තම දියණිය පද්‍යා පාරින්දා සමඟ පසුවූ සැමියා නිහාල් වික්‍රම දෙස බැලුවේ කිසිත් අදහාගත නොහැකිවමය. කළයුතු කිසිවක් සිතාගනු බැරි සැලෙන හදිනි.

ගිලන් රිය වහා කැඳවිණි. යළි ඔහු රෝහලට ඇතුළත් කෙරිණි.

හිමිදිරියේදී නිවසේ පසුවූ සැමගේ දෑස් උඩ ගියේය. ලද ශෝකාකූල ආරංචියද සමඟින් ඔහුගේ කාමරයට පේනාදුරින් තිබූ ඔරලෝසුවද එම වේලාවටම ගමන නවතා තිබිණි. ඔහු දෑස පියැවුණු වේලාව සටහන් වූයේ පෙරවරුවේ 6.50ටද..එමොහොතේම ඔරලෝසුවද තම ගමන නවතා තිබිණි.

පසුව එය සෝදිසි කළද ඔරලෝසුව පෙරසේ හොඳීන් ක්‍රියාත්මක ය…

” අපි තවමත් අපේ තාත්තිට පින්කම් කරනවා..”

දියණිය සෙව්වන්දි හැඬුම් නතර කරගත නොහැකිව මෙන් අපහසුවෙන් ඉකිබිඳුමින් කියන්නීය.

සිය දෑඟිලි තුඩු මතින් රටක් ලොවක් සනහාලූ මානවහිතවාදී ගුණින් පිරිපුන් අපේ සොඳුරු විශිෂ්ට වාදකයාණෝ නොඑනා ගමන් නික්ම ගියේ 2011 ක්වූ සැප්තැම්බර් මස 17 වනදාය.

ඒ වනවිට එතුමා 73 වන වියෙහි පසුවූයේය.

අමල් යශෝමන් ජයසිංහ, සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT