දිවි ගමන් මාවතේ වසර 80ක් ගතකරනවා යනු ලේසි පහසු කාරණාවක් නොවේ. එහෙත් ඒ දෙස ආපසු හැරී බැලීමේදී ගෙවුණු වසර ගණනාව මා ගමන් කොට ඇත්තේ මල් අතුළ මාවත් දිගේ නොවේ. ඒ අතීතය ඉතාම කටුක, දුක්බර අත්දැකීම් සමුදායකින් යුක්ත වූ එකකි. එහෙත් වර්තමානයේ මා සිටින තැන සිට ඒ දෙස බලන විට මට අසීමිත තෘප්තියක් දැනේ. ජීවිතයට පැමිණි සියලු අභියෝගයන්, පැමිණි දුක් පැණිරස යැයි සිතමින් මා විඳගත් අයුරු පුදුම සහගතය.
මා හමුවට පැමිණි බාධාවන්, දුෂ්කරතාවන්, සිත් කම්පාකරවන සිදුවීම් වෙනත් අයෙකුට පැමිණියේ නම් ඒ සියල්ල කෙනෙකු විඳ දරා ගන්නේ කෙසේදැයි අද මටද විශ්වාස කළ නොහැකිය. එහෙත් ජීවිතයේ ජයගන්නවා යන්නෙන් අදහස් වන්නේ ඒ සියලු බාධා ජයගෙන යහපත් ජීවිතයක් නිර්මාණය කර ගැනීමය. අද මගේ ජිවිතය සර්ව සම්පූර්ණය. ඒ සම්පූර්ණත්වය ගැන කයිවාරු ගහන්නට මම කිසිදා කැමැති නොවෙමි. එහෙත් මගේ ජිවිතයේ සාර්ථකත්වය පසුපස ඇති බොහෝ දේ පැවසීම වර්තමානයේ ජිවිතය පටන් ගන්නා බොහෝ දෙනෙකුට ආදර්ශයක් වනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි.
ආපස්සට හැරී බලත්දි ගෙවුණු කාලය පුරා මම බොහෝ වැඩකර ඇත්තෙමි. ස්වාමිපුරුෂයෙක්, පියෙක්, සීයා කෙනෙක් විදියට ජීවිතය සතුටින් ගත කරන්නෙමි. සියලු දෙනාගේ ආදරය මැද තව දුරටත් මට ඇත්තේ වැඩ කිරීමටය.
මගේ ගම් පළාත හොරණ ගුරුගොඩ ය. තාත්තා ගුරුගොඩය. අම්මා පොකුණුවිටය. මේ දෙදෙනා පදිංචි වී සිටියේ ගුරුගොඩය. කුඩා කළ මා අධ්‍යාපනය ලබන්නට ගියේ ගමේ පාසල වූ මීවනපලාන පාසලටය. මම පළමු පංතියේ ඉගෙන ගන්නා විටදී තාත්තා ට ගෙවල් මාරුකර ගුරුගොඩින් එන්නට සිදුවිය. මට වයස අවුරුදු පහක් පමණ වත්දී මගේ මව මට අහිමිවිය. මව් සෙනෙහස අවැසිම මොහොතකදී මට මව අහිමිවනවිට පවුලේ මට බාල හෝදරයෙක් සහ සහෝදරියක්ද විණ. කිසිදු දැනුම් තේරුම් නැති අවධියක සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධියත් සමඟ අපි තිදෙනාම තාත්තා සමඟ තනිවිය. කුඩා කුඩා ව්‍යාපාර වල නිරත වූ මගේ පියා ගේ ව්‍යාපාරයන්ද එතරම් සාර්ථක වූ ඒවා නොවීය. ඔහු වරින්වර ප්‍රදේශ මාරු කරමින් ජිවත් වීම සඳහා විවිධ ව්‍යාපාර කටයුතු කළේය. එක් කලක මම බොරුපන ප්‍රාථමික විද්‍යාලයේද අධ්‍යාපනය ලැබුවෙමි. එහෙත් වසර දෙක තුනකට වඩා මට එහි අධ්‍යාපනය ලබන්නට නොහැකි විය. ඉන්පසු අපේ තාත්තා ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වේරගල ප්‍රදේශයට ගියේය. එහි පටන් ගත් ව්‍යාපාරයද අසාර්ථක වූ පසු ඔහු පාදුක්කට කිට්ටු ගමකට ගියේය. එහි වසර කිහිපයක් සිටියදී මගේ ජීවිතේ දෙවැනි අවාසනාවන්ත සිදුවීමද සිදුවිණ. ඒ මගේ පියා මට අහිමි වීමය. මේ වනවිට මගේ වයස අවුරුදු 11කි.
ජීවිතේ කිසිදු දැනුම් තේරුම් නොමැති අවධියක සිදුවු මෙම අවාසනාවන්ත සිද්ධි දෙකම මම බොහෝ අසීරුවෙන් දරා ගත්තෙමි. ඒ දරා ගැනීම කෙලෙසදැයි අදද මට විස්තර කළ නොහැකිය. මේවනවිට අපේ පියා දෙවැනි විවාහයකට එක්වී සිටිය නිසා පුංචි අම්මාද අප සමඟ විය. ඇයද අපගේ නෑදෑ වන පුංචි අම්මා කෙනෙකි. මවගේ මරණින් පසු අපි ලොකු මහත් කර, බලා කියා ගත්තේ ඇයය. එහෙත් පියාගේ මරණින් පසු අපේ පවුල සීසී කඩ විසිරුණි. අපේ නංගි හදාවඩා ගන්නට අපේ මාමා කෙනෙකු ගත්තේය. මල්ලි පුංචි අම්මා ළඟම තබා ගත් අතර, මා හදා වඩා ගැනීම සඳහා පියාගේ ළඟම මිතුරකු ඉදිරිපත්විය. මම වැඩිදුර අධ්‍යාපනය ලබනුයේ ඔහු ළඟ සිටය. ඔහුටද දරුවන් දෙදෙනෙකු සිටි බැවින් ඔවුන් දෙදෙනා සමඟ මමද හැදි වැඩුණෙමි. මගේ සුළු පියා ළඟ සිටිමින් අධ්‍යාපනය ලබද්දී මට ශිෂ්‍යත්වයක් ලැබ හංවැල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නට අවස්ථාවක් ලදිමි. මා උසස්පෙල හදාරනුයේ හංවැල්ල මධ්‍ය විද්‍යාලයෙනි. උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරු මගේ එකම බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයෙකු වීමය. එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු මදිවීම නිසා මගේ ඒ බලාපොරොත්තුවද බිදී ගියේය.
මේ වනවිට මගේ සුළු පියා සතුව පොත් සාප්පු දෙකක් විය. එකක් මහරගම සහ අනෙක පාදුක්කේ පිහිටා තිබිණ. උසස් පෙල විභාගයෙන් පසු මම සුළු පියාගේ මහරගම පොත් සාප්පුවේ වැඩට ගියෙමි. පොත් පිළිබඳ මගේ මූලික ඇසුර ලැබෙනුයේ එතැනිනි. පාසල් අවදියේ පටන්ම කියවීමට වැඩි කැමැත්තක් දැක්වූ මම පොත් සාප්පුවේ වැඩ කරන ගමන්ම එහි තිබුණ බොහෝ පත පොතද කියවන්නට පෙළඹිණ. මගේ සාහිත්‍ය රසය පෝෂණය කරන්නට, සාහිත්‍ය දැනුම වර්ධනය කරන්නට එය සුවිශේෂ හේතුවක් වූයේය. පොත් සමඟ බැදුණු මගේ ප්‍රේමය, ජීවිතය අත නොහැර අද දක්වාම මා පසුපස පැමිණෙන්නේ එය ආකාරයෙනි.
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනුයේ මම මටම කියා පොත් සාප්පුවක් දැමිමෙනි. ඒ 1973 වර්ෂයේය. සුළු පියාගේ පොත් සාප්පුව වූයේ ‘සරසවි’ නමිනි. 1973 දී නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා තිබුණු ‘ලෝටස්‘ නම් පොත් සාප්පුව විකුණන්නට ඇති බව මට දැන ගන්නට ලැබුණි. මෙම ව්‍යාපාරය කරගෙන ගියේ එච්. ඒ. ද සිල්වා නම් එවකට ඩේලි නිවුස් පුවත්පතේ සේවය කල කර්තෘවරයෙකි. මෙම පොත් සාප්පුවේ වැඩිපුරම තිබුණේ ඔහුගේ රුචිකත්වයට ගැලපෙන ඔහුට අවශ්‍ය පත පොතය. මේ නිසාම මෙම පොත් සාප්පුව ඔහුට කරගෙන යා නොහකි තත්ත්වයට පත්විය. ඒ අනුව ඔහු පොත් සාප්පුව විකුණා දැමුවේය. මම රුපියල් විසිපන්දහසක මුදලකට මෙම පොත් සාප්පුව මිලදී ගත්තෙමි. ඒ අනුව සුළු පියාගේ අනෙක් පොත් සාප්පු කරගෙන යන ගමන්ම මේ පොත් සාප්පුවද සරසවි නමින්ම කරගෙන ගියෙමි. සරසවි පොත් හල් ජාලයේ මුල් වස්තු බීජය ආරම්භ වන්නේ එලෙසිනි. වර්තමානයේ මේ පොත් හල් ජාලය දීප ව්‍යාප්ත කරමින් අද වනවිට එහි ශාඛා 33ක් බවට පරිවර්තනය වීමේ කතාවේ මූලාරම්භය සිදුවූයේ එලෙසිනි. අඩසියවසක සරසවි ඉතිහාසය ආරම්භ වන්නේ එලෙසිනි. පොත් ව්‍යාපාරයට වසර 50ක් ගතවුණාද යන්න අදටත් මට හීනයකි. මම වෙහෙස මහන්සි වී ව්‍යාපාරය ගොඩනැඟුවා විනා මෙපමණ කාලයක් ගතවී ඇත්දැයි යන්න මටවත් නොදැනිණ.
ජිවිතයේ මෙපමණ දුරක් ඇවිද යන්නට මහා අත්වැල හමුවනුයේද මේ වකවානුවේදීමය. එවකට මම මහරගම පොත් හලේ සේවය කළෙමි. අපේ සුළු පියාගේ පොත්හල පිහිටි ගොඩනැඟිල්ල හිමි වූයේ කාන්තාවකටය. පොත් හල පිහිටි භුමියේ පිටු පසට වන්නට ඇයගේ නිවෙසද පිහිටා තිබුණි. එබැවින් පොත් හල මැදින් ගොස් ඇයගේ නිවෙසට යන්නට කෙටි පාරක් ඔවුන් සාදා ගෙන තිබුණි. මේ පාරෙන් නිතර දෙවේලේ නිවෙසට යන යුවතියක් මගේ ඇස ගැටුණි. දෙනෙත් හමුවෙන් කළ කී කතාව කෙටි කලකින්ම ආදරයකට පරිවර්තනය වීමෙන් අපි පෙම්වතුන් බවට පත් වුයෙමු. කඩ පේළිය හිමිවූයේ ඇගේ ආච්චි අම්මාටය. කඩ පේළියේ අයිතිකාරියගේ මිනිපිරිය මගේ ආදරය දිනා ගත් ප්‍රේමවන්තිය වූවාය. ඇය කුමුදුනි ඩයස් හපුතන්ත්‍රිය. 1975 දී අපි දෙදෙනා විවාහ වූයෙමු. ඉදින් එදා සිට මගේ ජීවන ගමන පසුපස සිටි නොසැලෙන අත්වැල ඇයම විය. අද මේ මොහොත දක්වාත් ඇගෙන් ලැබෙන ආදරය, සෙනෙහස, රැකවරණය සේම ඇගේ ශක්තිය මගේ ගමනට අති විශාල ධෛර්යයක් සැපයුවේය.
අපේ විවාහය සිදුවනවිට ඇය විශ්වවිද්‍යාලයට තේරී පත්වු ශිෂ්‍යාවක වූවාය. කොළඹ විශ්වවිද්‍යාලයට තේරී සිටි ඇයගේ අධ්‍යාපන කටයුතුවලට මගේ ආදරය කිසිවිටෙකත් බාධාවක් නොවූයේය. ඇය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිටියදීම අප විවාහ වූයෙමු.
ඇය මගේ ජීවිතයට පහනක් වූ බිරිඳක් වූවාය. අපේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු කර ගැනීමට නිබඳව මා පසුපස සිටිමින් මා සමඟ දුක් සැප සම සිතින් වින්දාය. මේ සියල්ල මැද ඈ මට මගේ ජිවිතයේ වටිනාම වස්තු දෙක ලබා දුන්නාය. ඒ මා පිය පදවියට පත් කරමින් ආදරණීය දරුවන් දෙදෙනකු ලබා දීමය. අද වනවිට ඔවුහු උසස් අධ්‍යාපන කටයුතු නිමා කර, විවාහ වී දු දරුවන් ලබා සතුටින් ජීවත් වෙති. මා පුතු චන්දු වර්තමානයේ සරසවි පොත් ජාලයේ කළමණාකාර අධ්‍යක්ෂවරයාය.
ඔහු මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර කළමණාකරණ උපාධිය හදාරා ඉන්පසු මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කලමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියත්ද හදාරා ව්‍යාපාරය භාරගෙන සිටී. ඔහුගේ බිරියද බීජිං විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර ඔවුනට දරුවන් තිදෙනෙකි. ඔවුනගේ සුරතල් බලමින් අප දෙදෙනද ජිවත් වනුයේ මහත් වු තෘප්තියකිනි.
අපේ දියණිය චාන්දිය. ඇයද පාසල් අවධියේ සිටම හොඳ පිහිනුම් ශූරියෙකි. ඇයද මොනැෂ් විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරා වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. ඇයටද දරුවන් දෙදෙනෙකි. එසේ බලනවිට දැන් අප දෙදෙනා පස් මුනුපුරන්ගේ ආච්චි සහ සීයාය.
පොත් ප්‍රකාශනය මගේ වෘත්තීය ජීවිතය වුවද, මා දන්නා කාලයේ සිටම සිනමාවට පෙම් බැන්ඳෙක්මි. බොහෝ දුරට මා සිනමාව වෙත ඇදුණේ හංවැල්ල මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටියදිය. විද්‍යාලයේ හොස්ටල් එකේ සිටියදී පහත්ගම ‘හිමාලි’ චිත්‍රපට ශාලාවේ මම කොතෙකුත් චිත්‍රපට නරඹා ඇත්තෙමි. පාසලින් ඉවත්වී මහරගම පොත් සාප්පුවේ සේවය කරන සමයේදිත් චිත්‍රපට ලෝකය පුළුල් කර ගැනීමට මට අවස්ථාව සැලසිණ. එවකට අනූෂා, නැෂනල් වැනි සිනමා ශාලා මගේ නිරන්තර නවාතැන් බවට පත් විය. එවකට රාත්‍රිය ගත කළේ ද මහරගම පොත් සාප්පුවේ බැවින් රාත්‍රී 9.30 දර්ශනයද නරඹා පොත් සාප්පුවට එන්නට පුරුදු වී සිටියෙමි. එසේම එම කාලයේ ජි.ඩි . එල් පෙරේරා ආරම්භ කල ‘කලාපෙළ‘ වැනි සංවිධානයන්හි සාමාජික සාමාජිකාවන් සමඟ නිරන්තර කලා ගනුදෙනුවක නියුතු වීමට මට අවස්ථාව සැලසිණ මේ අය නිතරම අපේ සාප්පුවට පැමිණියහ. ඔවුන් සමඟ බැඳුණු සමිප ඇසුර සිනමාව වැනි විෂයකට මගේ සිතේ ආදරයක් ඇති කළේය. මේ ආදරය නිසාම මම චිත්‍රපට නිෂ්පාදකයකු බවට පත්වීමි.
මගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය වූයේ පරාක්‍රම සිල්වා අධ්‍යකණය කළ ‘බිත්ති හතර‘ය. තුන් ඈඳුතු ප්‍රේම කතාවක් වු මේ චිත්‍රපටයෙන් ලාබ ලැබීමට නම් මට නොහැකිවිය. ඉන්පසු මම රංජිත් කුරුප්පු සම ‘පවන රළුවිය‘ චිත්‍රපටය නිෂ්පාදනය කළෙමි. එම යුගයේ හැටියට ලක්ෂ 27ක පමණ මුදලක් ඒ සඳහා වියදම් වුණි. ඉන් පසු ටික කාලයක් යනතුරු නිෂ්පාදන ඇනහිටිව තිබුණද, නැවත වතාවක් මගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරනුයේ ප්‍රසන්න විතානගේ සමඟය. ඔහු සමඟ චිත්‍රපටයක් කරන්නට මගේ සිතේද නොමද ආසාවක් විය. එම ආසාව සාක්ෂාත් කර ගත්තේ, ඔහු සමඟ එකතුව ‘ආකාස කුසුම්’ නිෂ්පාදනය කරමිනි. මේ චිත්‍රපටය මෙරට බොහෝ දෙනාගේ මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද අවධානයට ලක්වුයේය. ඉන් පසු දිගින් දිගටම හවුල් නිෂ්පාදන වශයෙන් සහ මා තනිව නිෂ්පාදනයට එක වෙමින් චිත්‍රපට 14ට ආසන්න සංඛ්‍යාවකට මා සම්බන්ධ වී ඇත. මේ කිසිවක් මා නිර්මාණය කරලුයේ ව්‍යාපාරයක් වශයෙන් ලාබ ලැබීමේ අරමුණක් පමණක් පෙරදැරි කරගෙන නොවේ. බොහෝවිට මා තුළ සිනමාවට පැවති ආදරයට, කැමැත්තට සේම කර්මාන්තයක් වශයෙන් සිනමාව නා සිටුවීමට සහ අපේ කලාශිල්පින් වෙනුවෙන් කරන්නාවු උදව්වක් වශයෙනි. මේ මොහොත වනවිට චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින අතර එය අධ්‍යක්ෂණය කරනුයේ පරාක්‍රම නිරිඇල්ල විසිනි. මම, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රවින්ද්‍ර ගුරුගේ මේ සඳහා නිෂ්පාදන දායක්වයෙන් එකතු වේ.
සිනමා නිර්මාණ සේම ටෙලි නිර්මාණ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන්ද මගේ උනන්දුව යොමු වූයේ අහම්බයකින්. ඒ සඳහා වස්තු බීජය වූයේ අපේ ව්‍යාපාර ජාලයට එකතකු වූ හෝටල් ව්‍යාපාරයයි. මගේ මිතුරෙකු සතුවූ ‘සෙරනිටි විලේජ්‘ නම් හෝටලය රැගෙන පරිපාලනය කරමින් සිටින අතරතුර අපි ‘සෙරනිටි ක්‍රියේෂන්ස්‘ නමින් ආයතනයක් පිහිටුවා ගත්තේය. මේ සඳහා බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සහ බණ්ඩාර ඇහැළියගොඩ මා සමඟ එකතු විය. ඒ අනුව මෙම ආයතනය මඟින් අපි මුලින්ම නිෂ්පාදනය කළේ සුදත් රෝහණගේ ‘ස්වයංජාත‘ ටෙලි නාට්‍යයයි. ඉන් පසු ආනන්ද අබේනායකගේ ‘ අප්පච්චි’ , වන්වේ සහ මහපොළව යන ටෙලි නාට්‍ය මෙමඟින් නිර්මාණය කෙරිණ. මේ මොහොත වනවිටද නවතම ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙමින් පවතී.
අපේ ප්‍රධාන ව්‍යාපාර සමූහයට මේ ආකාරයෙන්ම 1980දි විතර සරසවි වර්ණ රසායනාගාරයද එක්වුයේය. එහි ප්‍රධාන ශාඛාව වර්තමානයේ කළුබෝවිල සේයා කලර්ය. හෝටල් ව්‍යාපාරයේද ඉංගිරියේ සෙරනිටි විලේජ් සේම නුවර එළියේ බ්ලැක්ෆූල් හෝටලයද වේ. මේ සියලු කලා කටයුතු අතර වේදිකා නිර්මාණ කිහිපයකට අත හිත දෙන්නටද මට අවස්ථාව හිමි විය. ඒ අතර ලුෂන් බුලත්සිංහලයන්ගේ ‘ තාරාවෝ ඉගිළෙති සහ ‘රතු හැට්ටකාරි‘ නාට්‍ය ද්විත්වයේ නව නිෂ්පාදනයට සහ ද්විත්ව නාට්‍යෙය් නව නිෂ්පාදනය ‘ දෙබිඩ්ඩෝ නමින්ද කේ. බි හේරත් ගේ ‘කළු කුමාරි ‘ නාට්‍යයන්ද නිෂ්පාදනයට දායකත්වය පිරිනැමුවේය.
කලා කටයුතු වෙනුවෙන් කෙතරම් නැඹුරු වුවද මගේ ප්‍රධාන ව්‍යාපාරය වූ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වූ මගේ අවධානය කිසිදු දිනක මගෙන් නොගිලිණ. පොත් ප්‍රකාශකයන් කුඩා ප්‍රමාණයකින් ආරම්භ කළ එම සංගමය වර්තමානයේ මහා පවුරක්ව නැඟී සිටිනු දැකීම මට මහත් සතුටක් දනවන කාරණයකි. මෙම සංගමය ආරම්භයේදි අප සතුව කිසිදු වත් කමක් නොමැති වූ අතර එය ගොඩනැඟුවේ මහත් වැර වැයමිනි. අරමුදල් එක් රැස් කර ගැනීම සඳහා පොත් ප්‍රදර්ශනයක් ඉතා සුළුවෙන් ආරම්භ කර වර්තමානයේ එය මහා අන්තර්ජාතික පොත් දැක්මක් බවට පත්ව තිබීම දැකීම එහි ආරම්භක සාමාජිකයෙකු වශයෙන් මා හට ඇත්තේ මහත් අභිමානයකි.
මේ අකාරයෙන් මගේ ජිවන මංපෙත දෙස ආපසු හැරී බැලිමේදි තවත් බොහෝ කාරණා මගේ මතකයට පැමිණේ. එහෙත් ඒ සියල්ල මේ පත්ඉරු මත ලියන්නට මේ මොහොතේ ඉඩක් නොමැති බව මම දනිමි. එහෙත් සමස්තයක් වශයෙන් මට මගේ ජිවිතය දෙස බැලීමෙන් මෙසේ සිතේ. බොහෝ ශෝකාන්තයන් සමඟ වැඩුණු ජිවිතයක් මට හිමිවි තිබුණද ආත්ම ධෛර්යයයෙන්, උත්සාහයෙන් යුතුව මා හමුවට පැමිණි ඒ අභියෝගයන් මම සන්සුන් සිතින් ජය ගත්තෙක් වූවෙමි.
හේමාලි විජේරත්න