Home » එදා අම්මා ගෙදර එනතුරු මල්ලියි මමයි ඇඟිලි ගනිමින් සිටියා

එදා අම්මා ගෙදර එනතුරු මල්ලියි මමයි ඇඟිලි ගනිමින් සිටියා

-ඉනෝකා අමරසේන

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

ඇය සුන්දරය. සංසාරයේ ගව් ගණනක සිට පියමැන්නත් ඇයගේ ගමනේ විඩාපත් බවක් නැත. ඒ, සිනමාවේ මුව මඩලේ වියපත් මලානික බවකුත් නැත. ඇය එදා පරිද්දෙන්ම කඩිසරය දක්ෂය. කිසිදා වියපත් නොවන ඇය මගේ මවයි. ඇය සම්මතයේ මා නොවන්නිය. යමක් යමක් තේරෙන කල සිට මමත්, මගේ මල්ලිත් ඇයව දකින්නේ හාවා හඳ දකිනවා වගෙයි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණු යුගයක් නොතිබුණු කළ ලොකුවට ඉලක්කන් ලියූ කැලැන්ඩරය දෙස බලමින් ඇඟිලි ගැන්නේ ඇය අපව තුරුල්ලට ගන්නා දවස බලමින්ය. හෙළ සිනමාවේ ඇය අති ප්‍රසිද්ධය. දක්ෂය. රංගනයට වඩා ලැබුණු සම්මාන ගොන්නෙන් ගේ පිරි ගොසිනි. ඇගේ නම නොදන්නා කෙනෙක් සොයා ගැනීම ද අපහසුය. මරදාන සහ බොරැල්ලේ ඇතුළු දිවයිනේ චිත්‍රපට කටවුට්වලත් තාප්පවලත් ඇති පෝස්ටර්වල භාගෙට භාගයක්ම එදා හිටියේ ඇයයි. බොහොම අමාරුවෙන් වෙලාවක් සොයාගෙන පාක් ව්‍යු එකේ කන්න ගියත් ඇය ළඟින් බොහෝ වෙලාවට සිටියේ ඇගේ ප්‍රේක්ෂකයෝය. ඉතින් ඒ අසම්මතයේ මවට මම බොහෝම පණ වගේ ආදරේයි. විටෙක ඇය මට සහෝදරියකි. තවත් විටක යෙහෙළියකි. අප ළඟ නිතර නොහිටියත් ඇගේ කවි පොත කියන්න අවසරයි…! කියමින් ඉනෝකා අමරසේන සරසවිය සමඟ සාකච්ඡාවට එකතු වූවාය.

අම්මා නිළියක් වීම ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම ඒ ගැන හරිම සතුටින් ඉන්නේ. මේ මිහිතලය මත එහෙම සියලු දෙනාටම නිළියක් වෙන්නත් බෑ නළුවෙක් වෙන්නත් බැහැ. හැකියාව හා දක්ෂතාවය තුළ ඇගේ ගමන හෝ ඔහුගේ ගමන තීරණය වෙනවා. අම්මා පාසල් කාලය තුළදී දැක්වූ රංග කෞශල්‍යය නිසාම අද ඇය මුළු ලෝකයක් දන්න ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගන්න නිළියක් බවට පත්වුණා. දරුවන්ට මිසක් අම්ම කෙනෙක්ගේ ආදරේ සෙනෙහස ඇයගේ ගමනේ ආඩම්බරේ දැනෙන තවත් කවුරුවත් ඉන්නවද කියලා මම නම් හිතන්නේ නැහැ. මුළු සමාජයක්ම අර යන්නේ ශ්‍රියාණි අමරසේනගේ දුවයි, පුතායි කියලා කියනකොට අපිට දැනෙන සන්තෝෂය කියලා නිම කරන්න බැහැ. ඇගේ දක්ෂතාවය නිසා සිනමා ගමන් මගේ ජයමාවත පැහැදිලි බවක් අපි දැක්කා. ඒ සුන්දර ගමන නිසා තමයි අපි පවුලක් ලෙස අද සතුටින් ජීවත් වෙන්නේ.

පොඩි කාලේ අම්මාගේ චිත්‍රපට මතකය ගැන කිව්වෝත්?

චිත්‍රපට මතකයන් ගැන කුඩා කාලයේ එතරම්ම මතකයක් නැහැ.ඒත් මගේ මතකයට නැගෙන්නේ අම්මා අපිව එක්කගෙන යනවා සිනමා පටයක මුහුරත් තුළට සහ නපඥථඪඥප ඵඩධඹ එකට. එදාට අම්මට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ සහ අම්මාගේ කාලේ හිටපු නළු නිළියන් අපිට පුදුම ආදරයක් දැක්කුවේ. සිනමා පටයේ තිරගත වෙනදාට එකම මඟුල් ගෙයක් වගේ දකින්නට ලැබුණේ. අම්මාගෙන් සමරු පොත් වල සටහන් ගන්නවා, අම්මට මල් බොකේස් දෙනවා, අම්මව සිප ගන්නවා, සිනමා පට මතක වලට වැඩිය ඒ සිදුවීම් තමයි මගේ මතකයට නැගෙන්නේ කුඩා කාලයේ.

ඇගේ කාර්යබහුලත්වයත් එක්ක හැදුනේ වැඩුණේ කොහොමද?

ඒ කාලේ සිනමා පටයක රූපගත කිරීම් කරන්න ගියාට පස්සේ මාස එකහමාරක් විතර ගෙදර එන්නේ නැහැ. මේ වගේ ථධඡඪතඥ දුරකථන පහසුකම් එදා තිබුණේ නැහැ. ඇය එනකම් මල්ලිත් මාත් මඟ බලාගෙන ඉන්නේ පුදුම සතුටින්. අපි දෙන්නගේ වැඩ කටයුතු බොහෝමයක් සිදුවුණේ ආච්චී අතිනුයි සීයා ආතිනුයි. පොත් පත්වල වැඩ කටයුතු තාත්ති තමයි හොයලා බලලා කරන්න අපි දෙන්නව උනන්දු කළේ.අම්මි නැති අඩුපාඩුව ඒ තුන්දෙනාගෙන් පිරිමැහෙන නිසා අපිට අඩුවක් දැනුණේ නැහැ. ඒත් අම්මි ගෙදර ආපුවාම අපි දෙන්නා අම්මි ළඟට වෙලා ඉන්න එක තමයි එකම සතුට උණේ. රූපගත කිරීම් කරලා ඇවිල්ලා ටික දවසක් ගෙදර ඉන්න විට අපි එළියට යනවා. ඇවිදින්න කොහේ හරි කන්න බොන්න යනවා. ඒ ගියත් අම්මීව ප්‍රේක්ෂකයන් වැළඳ ගැනීම නිසා අපිට සමහරක් වෙලාවට අම්මිගේ ආදරේ නැතිවුණ අවස්ථා තිබුණා. ඒ බව දැනුණේ අපිට පසුකාලීනව අම්මිට ආදරේ කරන මිනිස්සු වැඩි වුණාට පසුවයි. අම්මිට කොච්චර ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරේ කරනවද කියන එකයි. අම්මිගේ කාර්යබහුලත්වයත් එක්ක අපිත් එක්ක ගෙවන කෙටි කාලසීමාව අපිට හරියට මහ මෙරක් වගේ දැනුණා. අපි ඒ කාලසීමාව තුළදී හරිම සතුටින් ඒ දින ටික ගෙවා දමනවා. ආපසු ගෙදරින් ගිය විට නැවත ඇඟිලි ගැන ගැන ඉන්නවා එන දිනය මතක් කර කර.

පාසල් කාලයේදී අම්මාගේ රංගනය ගැන පාසලේ දී යාළුවන් හා ගුරුවරුන්ගෙන් මොන වගේ ප්‍රතිචාර ද ලැබුණේ?

හය, හත, ශ්‍රේණිවලදී එච්චරම දෙයක් මට තේරුණේ නැහැ. අම්මා ජනප්‍රිය නිළියක් කියන එකවත් අම්මා මොන වගේ තැනක ඉන්නවද කියන එකත් එච්චරම අවබෝධයක් නොතිබුණ නිසයි. ඒත් මම අට, නවය ශ්‍රේණිවලදී මට හොඳටම තේරුණා අම්මගේ ජනප්‍රියත්වය නිසා යාළුවන් සහ ගුරුවරුන් මම සමඟ සමීප ඇසුරක් ගොඩනැඟුවා. මල්ලි ගියේ ඩී.එස් එකට ඒත් මල්ලි කවදාවත් අම්මට ඉස්කෝලේ පැත්තටවත් එන්න එපා කියලා තිබුණේ. එයා කවදාකවත් ජනප්‍රියත්වයටවත් පින්තූරවලටවත් පෙනී හිටින්න අම්මත් සමඟ කැමති වුණේ නැහැ. මම නම් අම්මගේ ජනප්‍රියත්වයට හරිම කැමති වුණ කෙනෙක්. අම්ම් නිසා ගොඩක් දෙනෙක් අපිට ආදරය කළා ඒ කාලේ. මම හරි කැමැත්තෙන් හිටියේ මගේ පාසල ළඟට අම්ම්ව මාව බලන්න එනවට ඒ ආපු දවස්වල මගේ යාළුවොත් ගුරුවරුත් හරිම ප්‍රිය කරා ඇයත් සමඟ කතා බහා කරන්නට. දැනටත් ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා. අම්මි නිසා තමයි ගොඩක් දේවල් අපිට ලැබුණේ. ඒ නිසා අම්මා කෙනෙකුට දෙන්න පුළුවන් උපරිම ගෞරවය මගේ අම්ම්ට මම දෙනවා. ඒ පිටුපස යෝධ ශක්තියක් වුණ තාත්තත් ඉන්නවා.

ඔබ ඇගේ අඩි පාරේ යමින් සිනමාවට පැමිණෙනවා නේද ,ඒ මතකය මොන වගේද?

ඔව් ඒ කතාවට මම එකඟ වෙනවා එක පැත්තකින්. ගොළු හදවත සිනමා පටයේ විජේරත්න වරකාගොඩ අංකල්ගේ නෝනට ඉන්න දරුවට මම තමයි රඟපාන්නේ. ඒ වනවිට මට අවුරුදු තුනයිලු. මට මතක හැටියට අම්මගෙත් පළවැනි සිනමාපටය ගොළු හදවතයි. ඒ ආපු ගමන මම ගොඩක් කල් රැගෙන ආවා. ඉන්පස්සේ මට සිනමාපට කිහිපයකම රඟපාන්නටත් අවස්ථාව ලැබුණා. සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි සෝමා කියන චරිතයද හරිම විනෝදයෙන් රඟපෑවේ එතකොට මට වයස අවුරුදු දහයයි. මේ සිනමා පටය පුරාවම මගේ චරිතය දඟකාරී චරිතයක් ලෙස රංගනයේ යෙදුණේ. හැමෝම එදා කිව්වේ අම්මා වගේම දුවත් හොඳට රඟපානවානේ කියලා. රිදී තැල්ල සිනමාපටයේ රවීන්ද්‍ර රන්දෙණිය අන්කල්ගේ දුවටයි මම රඟපාන්නේ. ඉන් පස්සේ තමයි යහළු යෙහෙළි සිනමා පටයට උප ප්‍රධාන චරිතයක් ලෙස බාල දුවට රංගනයේ යෙදෙන්නේ. ගුරුවරියක් ලෙස අම්මි රඟපානවා. මේ විදියට සිනමා අපට ගණනාවකම මම රංගනයෙන් දායක වුණා. අම්මිගේ ආභාසේ තමයි මේ සියලු දේවල් පිටුපස තිබුනේ.

කලාවට ළැදි පවුලකම ඔබ ඉපදීම ගැන මොකද හිතෙන්නේ?

මම හිතනවා මම හරිම වාසනාවන්තයි එවැනි පවුලකට මම වැනි දුවෙක් ඉපදීම කියලා. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි පවුලේ වැඩිමලා දුවෙක් වෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඒ වාසනාව අම්මිට හිමිවුණා වගේම මටද හිමිවුනණා. අම්මගේ රංගනයත්, තාත්තාගේ ලේඛන කලාවත් එක්ක හරිම විනෝදෙන් ළමා කාලය ගතවුණා. මට වයස අවුරුදු දහය වන විට ගෙදර තිබුණු පුස්තකාලේ සියලූම පොත්පත් මම කියවලා ඉවර කළා. ඒ කාලේ ඉඳන්ම මම කලාවට හරි ළැදි කෙනෙක්. ඒ කාලේ පොත් මාසයට පවත්වන ප්‍රදර්ශනයේදී තාත්තගේ අතට වෙනම ලැයිස්තුවක් එනවා පොත් තියන එවා.මමත් තාත්තත් එකතු වෙලා එතන තියෙන පොත් ලැයිස්තුවෙන් පොත් සීයක් විතර ලියා ගන්නවා, මිලදීගන්නට. ඒ අතර අම්මි කැමති පොතුත් තියෙනවා. අම්මිට සහ තාත්තාට වෙනම පුස්තකාල දෙකක් තියෙනවා. මේ පුස්තකාල දෙකේම දහදාහකට වැඩිය පොත් තියෙනවා. ඒ සියලු පොත්පත් මම කියවා නිම කරලා තියෙන්නේ. මගේ අම්මි රංගනයට අමතරව පොත් ලිවීමටත්, කියවීමටත් දැඩි රුචිකත්වයක් දක්වන කෙනෙක් නිසා ඒ ආභාසය මට දිගටම ලැබුණා. ලෝක සිනමා ඉතිහාසය සම්බන්ධ පොත්පත් රාශියක් මේ පුස්තකාල තුළ තියෙනවා. එදා හිටපු නළු නිළියෝ සියලු දෙනාගේම උපන්දින ලිපිනයන් මට කටපාඩම්,ඒ සියලු දේට උරුමකම් කියන්න හම්බෙන්නේ කලාවේ උනත් කීයෙන් කී දෙනාටද? ඒ වාසනාව ලැබීම තරම් වෙනත් දෙයක් තියෙනවද?

විවාහයෙන් පසුව ඔබ සිනමාවෙන් අයින් වෙන්නේ ඇයි?

මම සාමාන්‍ය පෙළ කරන කාලය තමයි යහළු යෙහෙළි සිනමා පටයට දායක වුණේ. ඒ වනවිට මම බම්බලපිටිය සුජාතා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ. මේ කාලයේදී සිනමා පටය රූපගත කිරීම් සඳහා මාසෙකට වැඩි කාලයක් කොළඹින් පිටයි හිටියේ. මිරිගම ප්‍රදේශය තමයි එයට තෝරාගෙන තිබුණේ. සිනමා පටය රූපගත කිරීම් කරලා එන විට සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵලත් ඇවිල්ලා තිබුණා. මම කලාව හදාරන්නට කැමති නිසා සුජාතා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය තිබුණේ නැහැ. එනිසා අම්මි ගිය බොරුල්ල ගෝතමී විද්‍යාලයට මම උසස් පෙළ කරන්න ඇතුළු වුණා. එයට යන්නටත් වාසනාව ලැබුණේ අම්මි ගෝතමි විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් නිසයි. මම මේ කාලසීමාවේදීත් රඟපෑවා විවාහයෙන් පස්සෙත් රංගනයේ යෙදුණා. “තරණය “සිනමා පටය රඟපාන්නේ විවාහ වුණාට පස්සේයි. මේ කාල සීමාව තුළදී මට කිසිම කෙනෙකුගේ බලපෑමක් එල්ල වුණේ නැහැ රඟපාන්න එපා කියලා. මගේ ස්වාධීන කැමැත්ත තුළ තමයි මම එයාර් ලංකා එකේ රැකියාවකට ගියේ. රඟපානවා කියන්නේ කාලය ගොඩක් යොදවන්න ඕන එකක් නිසා මට ඒ දේට ගොඩක් කාලය කැප කරන්න බැරි වාතාවරණයක් ඒ කාලෙ තිබුණා. ඒ නිසා මම කාලය හරිම පරිස්සමින් යොදවා ගෙන මගේ ජීවිතය ගත කරන්න පුළුවන් දෙයක් තමයි මේ සොයාගෙන තියෙන්නේ.

වර්තමානයේ අම්මාගේ සිනමා දිවියට වසර 60ක් පිරීම ඔබ දකින්නේ මොන ආකාරයටද?

සිනමා දිවියටත් වසර හැටයි, විවාහ වෙලත් වසර හැටයි, අම්මිට වයස අවුරුදු අසූවයි. සිනමාව තුළ මේ වගේ දීර්ඝ ගමනක් එනවා කියන්නේ ගල් මුල්වල හැප්පිලා මල්වරුසාවලට වැඩිය ගල් වරුසාවල් වැහැපු යුගයකයි අම්මිට එන්න ලැබෙන්නේ. අවවාද අහනවාට වැඩිය අපවාද අහන යුගයක් තමයි ක්ෂේත්‍රය තුළ ඒ කාලයේ පැවතුණේ. ඒත් අම්මි පවුලේ ගෞරවයත් රැකගෙන අපිවත් ආරක්ෂා කරගෙන ක්ෂේත්‍රය තුළ දීර්ඝ ගමනක් ආවා. හොඳ නිර්මාණ තෝරා බේරා ගෙන අම්මි රඟපැවේ. මේ කිසිදු නිර්මාණයක් තෝරගත්තේ මුදල් මත නෙවෙයි. සිනමාවටත් හැටයි පවුල් ජීවිතයටත් හැටයි කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි.පවුල් සංස්ථාව තුළ තාත්තා අම්මිට හොඳ ආරක්ෂකයෙක් උණා. තාත්තා හොඳ ලේඛකයෙක් වගේම සිනමාවට සම්බන්ධ පුවත්පත් කලාවේදියෙක් නිසා හොඳ සහ සම්බන්ධතාවයක් තිබුණා.අමිමිට සහ ගෙදරට එල්ල වන හැම ප්‍රශ්නයක් දිහාම උපේක්ෂා සහගතව බැලුවා. ඔහු සිනමාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ නිසා.ඕනම ප්‍රශ්නයක් තුළ අම්මිව දැඩි ලෙස විශ්වාස කළා.එවැනි ස්වාමියෙක් ලැබීමත් අම්මි ලද පිනක් කියලයි මම හිතන්නේ.ඒ කාලේ අම්මි ගැන ගොඩක් දෙනෙක් කෝල් කර කර විවිධ කතා කිව්වා තාත්තියි අම්මි අපි ගෙදර ඉන්න තැන. ඒ දිහා හරිම උපේක්ෂා සහගතව බැලුවේ තාත්ති අම්මිට තියෙන ගෞරවය නිසයි. ඒ කාලේ අපිට එල්ල වුණු එවැනි දේවල් නිසා වෙනත් පවුලක් නම් කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා. අපි එකිනෙකාගේ හොඳ අවබෝධයත්, පවුල කියන දේ ආරක්ෂා කරගත්ත නිසා අද සතුට සමරනවා. අපිට සමාජයේ සතුට ආරක්ෂා කරගෙන ගෞරවයකින් ජීවත් වෙන්න අවස්ථාව උදා කරේ ඇගේ මාතෘ ගෞරවය නිසයි.මුල් අඩියේ සිට අම්මි ගොඩනැගූ හැම දෙයක්ම අපි අදත් භුක්ති විදින්නේ. ඒ කාලසීමාව අදටත් සතුටින් ගෙවා දමන්නේ ඇය නිසයි. කාලය ඉක්මවා ගියා කියලා එයාගේ කිසිදු දෙයක් වෙනස් වුණා කියලා මම නම් දැක්කේ නැහැ අද වෙනකන්. ඕනෑම කෙනෙකුට වයස කියන්නෙත් ඉලක්කමක් පමණයි. එය ගණනය කිරීමක් අවශ්‍ය නැහැ. තමා කරන හොඳ හා නරක ක්‍රියාවලිය පමණයි සදාකල් පවතින්නේ. එනිසා ඇගේ මේ ගමන හරිම සාර්ථක ගමනක්.

අම්මාට රංගනය වෙනුවෙන් සම්මාන හා ප්‍රතිචාර ලැබෙන විට දැනුණේ මොන වගේ හැඟීමක්ද?

ඒ කාලේ සම්මානයක් ලැබෙනවා කියන්නේ හරිම දුර්ලභ දෙයක්. ඒ කාලේ සම්මාන උළෙලකට යනවා කියන්නෙත් හරිම වාසනාවන්තයි කියලා අපි දැක්කේ. සිනමා පටයකට රංගනයෙන් දායක වෙලා සම්මානයක් ලැබෙනවා කියන්නේ හරියට ඔස්කා සම්මාන උළෙලක සම්මානයක් ලැබෙනවා වගේයි. සරසවිය, දීපශිකා, සම්මාන උළෙලේදී සම්මානය පිරිනමනු ලැබේනුයේ හරිම කෙනාට පමණයි. ඒ කාලයේ සම්මාන උළෙලකට ප්‍රේක්ෂක ජනතාව රොද බැඳගෙන සම්මාන උළෙලවල් තියෙන ස්ථානවලට පැමිණියේ.නළු නිළියන්ගෙන් සමරු සටහන් ගන්න පොර කෑවා.අම්මිගෙන්ද සමරු සටහන් ගන්න ඒ වගේම තමයි. සම්මාන උළෙලකට අපිටත් යන්න ලැබෙනවා කියන්නේ හරිම සතුටක් ගෙන දුන්නා. සමහරක් වෙලාවට මාසයක් තිස්සේ සම්මාන උලෙළට යන්න ඇඳුම් මැහුවා.හරිම ආකර්ෂණීය උළෙලත් තමයි එදා දැක්කේ. අපිත් පින් කෙරුවා ඒ කාලේ අම්මි නිසා මේ වගේ උළෙලවල් වලට යන්න. හරිම ගෞරවාන්විත සම්මානයක් පිරිනැමිමක් ඒ සතුට අපි පවුලක් ලෙසට හරිම විනෝදයෙන් භුක්ති වින්දා. අම්මි සම්මානනීය නිළියක් කියන එකත් හරිම වැදගත් උනා ඒ කාලේ.

70,80 දශකයේ අම්මගේ කාල සීමාව තුළ ක්ෂේත්‍රයේ සිටි පරපුර ගැන හා වර්තමාන පරපුර ප්‍රවීණයන් ගැන මොන වගේ ආකල්ප වල ජීවත් වෙනවා කියලද හිතෙන්නේ, ඔවුන් ප්‍රවීණයන් අඳුරනවාද ? ඔවුන්ට ගරු කරනවා කියලා හිතනවද?

හැත්තෑව අසූව දශකයේ පරම්පරාව හරිම නිහතමානී පරම්පරාවක්. ඔවුන් නව පරපුරට හැමවෙලේම අත්‍වැලක් වුණා. අම්මිගේ පරම්පරාවේ සියලු දෙනාම ක්ෂේත්‍රය තුළ ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරා. මම සිනමාවේ සිටි නිසා මම ඒක සැබවින් දුටුවා. ක්ෂේත්‍රය තුළ පවුලක් ලෙස කටයුතු කළොත් හොඳ ගමනක් යන්න පුළුවන්. අද පරම්පරාව ජේ්‍ය්ෂ්ඨත්වයට ගරු කරන්නෙ නැති බව සැබැවින්ම කිය යුතුයි. සියලු දෙනාමත් ඒ ගණයට වැටෙනවා කියලා මම කියන්නේ නැහැ. අද ගොඩක් දෙනෙක් මුදල මත පදනම් වෙච්ච කර්මාන්තයක නියැළෙන්නේ. එදා ජ්‍යේෂ්ඨත්වයට හරිම ගෞරවාන්විත ලෙස සැලකුවා. ඒ ආභාසය අදටත් අපේ අම්මි ගාව තියෙනවා. අද පරම්පරාව තරු ගුණය තියෙනවා කියන පිරිසවත් අඳුරන්නේ නැහැ. එකිනෙකාට ගෞරවාන්විත ලෙස සැලකීම හා ඔවුන්ගේ ගමනට අත්වැලක් වීම අතින් අම්මි ගැන පුදුම ආඩම්බරයක් මට තියෙන්නේ.

රංගන ශිල්පිනියක් හා ශිල්පියෙකුට ජීවත්ව සිටින විට වඩා ඔහු හෝ ඇය උපහාර පිදුමක් ලබන්නේ ක්ෂේත්‍රයෙන් සමුගත්විටයි ඒ ගැන මොකද හිතෙන්නේ?

එයට මම එකඟ නැහැ. ක්ෂේත්‍රය තුළ යමක් සිදු කළා නම් ඔහු හෝ ඇයට ජීවත් වෙන කාලය තුළ ඒ උපහාරය පිදිය යුතුයි. ඒ තුළින් ලබන සතුට ජීවිතේ කවදාකවත් කියා නිම කරන්න බැහැ. ඒ නිසා අම්මි වෙනුවෙන් යමක් කරන්න තියෙනවා නම් අපි නොපැකිළිව එයට මැදිහත් වුණේ ඒ නිසයි. අම්මිගේ කාලසීමාවේ සිටි පරම්පරාවේ දැනට ඉන්න කට්ටියත් වර්තමාන පරම්පරාවත් මෙයට ලොකු රුකුලක් වෙලා ඉන්නවා ඇය වෙනුවෙන් උපහාර පුදන්න. සමහරක් අය කියන්නටත් ප්‍රථම ඇය වෙනුවෙන් එක එක දේවල් මේ වනවිට කරමින් පවතිනවා.

මේ හැට වසර සපිරීමත් එක්ක අම්මාගේ කලා ගමන ද ඉදිරියටද එලෙසින්ම සිදුවේයි. කිසිදු දිනක කලාකරුවකු වයසට යාමවත් රඟපෑම අත්හරින්නේවත් නැතැයි කියලා මම හිතන්නේ. මගේ අම්මි ද එලෙසයි. කිසි දිනක අපෙන් බාධාවක්ද ඇයට නැහැ ඇගේ ගමන යන්න.

එදාට ඇය වෙනුවෙන් කෙරෙන කාර්ය මොනවගේද?

දසක හයක් පුරා සිනමා කලාවට දැක්වූ මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාර උළෙල “සිනමාවේ ශ්‍රියාවිය” ශ්‍රියාණි අමරසේන රංගාව තරණය ලෙස ජූලි 09 වැනි අඟහරුවාදා ප.ව.06.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙනවා.

එදා මෙදා තුර අඩ සිය වසක කළ සිනමා දිවියේ මතක සටහන් සමඟ ඇගේ සිනමා දිවියේ සොඳුරු සැමරුම් ඇතුළත් ප්‍රාසංගික ඉදිරිපත් කිරීමත් සමඟ ඇය විසින් රචිත “මතක සිත්තම්”ස්වයං ලිඛිත චරිතාපදානය එදාට දොරට වඩිනවා. එදාට චන්න විජේවර්ධන නර්තන වින්‍යාසයෙන් හා ඉඳුනිල් දිසානායක සමඟ කුමාර් ද සිල්වා ප්‍රසංගය ඉදිරිපත් කරනවා. අම්මිගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් වන විරාගයේ සරෝජනීගේ චරිතය පිළිබඳ විරාගයේ අරවින්දගේ චරිතයට රංගනයෙන් එකතු වුණ ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක විසින් එහි මුඛ්‍ය දේශනය කරනු ලබනවා.

ඒ සමඟම අම්මිගේ සිනමා දිවියේ ඇය රඟපෑ සිනමා පට ඇසුරින් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ සංකල්පයක් තුළ බන්දුල නානායක්කාරවසම් විසින් රචිත ගීතයද මෙදින දොරට වඩියි. එහි සංගීත අධ්‍යක්ෂණය විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සිදුකරන අතර දිවයිනේ ප්‍රමුඛතම ගායක ගායිකාවන් රැසක් මෙම ගීතය එදින ගායනා කරනු ලබනවා. ඒ වගේම එදිනට අම්ම්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට ඉහළ මහලේ මෙම ප්‍රසංගය නැරඹීමට අවස්ථාව තියෙනවා.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT