Home » එක් නොවූ සිත්වලයි ආදරේ වැඩි ගොඩක්

එක් නොවූ සිත්වලයි ආදරේ වැඩි ගොඩක්

by Thanushika
February 27, 2025 11:57 am 0 comment

ගීතය යනු සාහිත්‍යයයේත් සංගීතයේත් සුසංයෝගයකි. සාමුහික කලා මාධ්‍යයකි.පද රචකයකු හෝ කවියකු අතින් බිහිවන ගීය සංගීතයේ චමත්කාරයෙන් පූර්ණ කරනු ලබන්නේ සංගීත නිර්මාපකයකු විසිනි. මන්ද තනුවෙන් තොර ගීතයක් නොමැති බැවිනි.එසේම එය මහා අංග දෙකක සුවිශේෂ සංයෝගයක් ලෙසද අපට මුණ ගැසේ. එනම් මියුරු තනුවක හා මිනිස් කටහඬේ මිහිරි එකතුවක් ලෙසිනි. මේ ආකාර වූ යහපත් ගතිගුණ එක්තැන් වූ යහපත් වූ ආකාරයෙන් භාවිත කළ හැකි සුභාවිත ගීතය අද ජන සමාජයේ සුපෝෂණයේලා අත්‍යවශ්‍ය කලා මාධ්‍යයක් බව අවිවාදිත ය. එසේ සෑම අතින්ම පූර්ණ ගුණාංග පෙන්නුම් කරන ගීත සමහර විට විස්මිත ලෙස අප නෙත් ගැටේ. හදවතේ නැවතුම් සොයයි. සමාජ මාධ්‍යයේ මේ දිනවල අපට හමුවන ‘ සංසාර ප්‍රේමයක් ‘ ලෙස අප නෙත ගැටෙනා ගීතය ද එබඳු ය.එය අප ඉහත කතා කළ සියලු ගුණාංගවලින් පූර්ණය.ප්‍රේමය මුල්කොට රචිත මෙහි පද මතු නොව තනුව ඒ හා බැඳී සංගීතය මෙන්ම ගායනයත් මේ අපූරු ගීය සාමුහික නිර්මාණයක ඵලයක් ලෙස විස්මිත තලයකට ඔසොවා තබයි. ගීයේ පද තනුව හා සුගායනය හදවත් මොහොතකට නතර නොකරයි නම් පුදුමය. විශේෂයෙන් මේ දිනවල යූ ටියුබය ඔස්සේ රසික හදවත් වැලඳ ගනිමින්, උත්තරීතර ප්‍රේමයේ නූතන නිර්වචනය ලෙස නම් කර ඇති ඒ අපූරු ගීයේ නිර්මාණ පාර්ශ්වකරුවන්ගේ අදහස් මෙන්ම ඒ පිළිබඳ පළ වූ විචාරක මතය ගොනු කරමින් කෙරෙන විමසුමකි මේ.

දක්ෂ කිවිඳීයක වන මාලිකා මිස්කින් මෙහි පද රචිකාවය. වචන ඉතා සියුම්ව වියමන් කිරීමේලා මනා පරිචයක් සහිත ඈ මානව ප්‍රේමයේ බරැති ම කොටස මෙබඳු ය යන්න වියමන් කර ඇති අයුරු ම විස්මිත ය. ප්‍රේමනීය ය. ඒ දෑසින් මඟ හැර ප්‍රේමයේ ලස්සන ම මානයක් අත් හැර ගැනුමට රිසි නොවේ.

සංසාර ප්‍රේමය ම ලස්සන වියමනක්.එහි ඉවත දමනු රිසි, ඉවත දැමිය හැකි එකදු කොටසක් හෝ නෑ. එහි ඔබ අහනව,

හිමිවෙන්න ඕනෙමද
හිත ගත්ත ප්‍රේමයක්
හිඳීන්නට ඕනමද
ළඟ බොහෝ කාලයක්
කියා.
ඇයි ඔබ එහෙම ප්‍රශ්න කරන්නෙ?

ප්‍රේමයේ හිමිකම ම නොවෙද අපට දැනෙන සුන්දරත්වය ? අපට එය අවැසි නොවේද ?

ඔව්. හිත ගත්ත ප්‍රේමයක් හිමිකර ගත හැකි නම් එය ජීවිතයේ ලබන ලොකු ජයග්‍රහණයක්. නමුත් ප්‍රේමය හිමිවීම සුන්දර වන්නේ ප්‍රේමයේ වටිනාකම් දන්නා අයට ප්‍රේමය මුණ ගැහුණොතින් පමණයි. අද සමාජයේ බොහෝ තැන්වලදි අපිට හමුවෙන්නේ හිමිකරගන්න තාක් පරිස්සම් කෙරුණු එහෙත් හිමි කරගෙන කාලයක් ගෙවුණු පසු වටිනාකම් අඩු වෙන ප්‍රේමයන්. එවන් බොහෝ ප්‍රේම කතා ජීවිතේම දුකක් බවට පත්ව දික්කසාදයකින් කෙළවර වෙනවා. මිනිසුන් නොයෙක් අර්ථකතන දුන්නත් සංසාරගත ප්‍රේමයක් නම් විශ්වාසය, කැපකිරීම්, පරිස්සම් කිරීම, ගෞරවය, ආරක්ෂා කිරීම යන බොහෝ වටිනාකම්වලින් අරුත් ගැන්වෙන දෙයක් විය යුතුයි. ඉතින් හදවතින්ම ප්‍රේම කරන්න නම් අයිති වෙන්නම ඕනේ නෑ කියලයී මම නම් හිතන්නේ. දුරින් ඉඳ හෝ තමන් ආදරේ කරන කෙනාගේ සතුට දැක නිවෙන්න පුළුවන් නම් එයයී මම ගීතයේ වචන අතර සඟවපු අර්ථය.

ඔබ නැවතත් ලියනවා ,
කතා කර නැති වුණත්
හැබහින්ම වචනයක්
සංසාරගත පෙමක නෑ
තිබුණෙ හිස්තැනක්
කියල.
ඇයි එහෙම ලිව්වෙ ?

දන්නවද, එක පුංචි හමුවීමක පවා හිතක ආදරයක් ඇති වෙන්න පුළුවන්. එක බැල්මකින් පවා මුළු හිතක් පුරා රූපයක් ඇඳෙන්න පුළුවන්. ඒත් සමහර විට කවදාවත් වචනෙකින්වත් ප්‍රකාශ කරලා නැති එවන් ආදර කතා හිත්වල මිය යන තුරු බොහෝ පරිස්සමට තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. හැබැහින් මුණ නොගැසුණත් ගව් ගාණක දුරින් හිටියත් එවන් ආදර කතා හරි ලස්සනට අදටත් මේ විශ්වය පුරාම ආදරණීය හදවත් ඇතුළේ පණ ගැහෙනවා ඇති. ඒකයී මං කියුවේ හැබැහින් කතා කර නැති වුණත් එවන් ප්‍රේම කතා ඇතුළේ කිසිම හිස්තැනක් නෑ කියලා.

ඔබ හරි සොඳුරු කිවිඳීයක්.

ඔබේ කවියක් මෙතරම් භාවාතිශය ගීයක් බවට හැරවුණු බව දුටුවේ කොහොමද ?

එය අහම්බයක්. පහුගිය කාලයේ බොහෝදෙනෙක් අතරෙ කතා බහට ලක්වුණු AMARAN සිනමා පටයේ එක රූප රාමුවකට තමයි මගේ අතින් මේ අපූරු වචන ටික ලියැවෙන්නේ. ඒ වෙද්දී මම චිත්‍රපටය නරඹා නොතිබුණත් ඒ රූප රාමුවේ මා දුටු සුන්දරත්වයට වගේම හිතේ තිබුණු අදහස්වලට අනුව නොදැනීම මගේ හිතට මේ අදහස් ගලාගෙන එන්න ඇති. ” මා කවි අරණ ” මගේ කවි පිටුවේ පළ වූ එම කවි පන්තියට ගීතයක් නිර්මාණය කිරීමේ මූලික අදහස යෝජනා වන්නේ ශිරාන් චාමක පෙරේරා පියතුමා අතින්. පියතුමාගේ තනු නිර්මාණයෙන් හා ළයාන්විත ගායනයෙන් හැඩ වූ සංසාර ප්‍රේමයක් ගීතයේ සංගීත නිර්මාණය බුද්ධික චතුරංග සොහොයුරාගෙන්. වසර අටක් පුරා මා ගෙවා ආ කවි ජීවිතයේ බොහෝ අත්දැකීම් සහ නෙත් දැකීම් මට මේසා සුන්දර නිර්මාණයක් කරන්න මඟ එළි කරන්න ඇති. මා ලියූ හැම කවියක් පුරාම මගේ එකම අභිප්‍රාය වූයේ සමාජයේ ඉන්නා අයට වචන කරගත නොහැකි වූ හැඟීම් වචන කොට, ඒ අයගේ හිත්වලට සතුටක් සැනසීමක් ලබා දීම පමණමයී. ගීතය එළිදැක්වීමෙන් පසුව ලැබෙන අදහස් අතරේ බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතේ තමන් විතරක් දන්නා, ලෝකෙට නොකී ආදර කතාවල සුවය විඳපු ආකාරය අහන්න දකින්න ලැබුණා. ඉතින් අහම්බයකින් හෝ නිර්මාණය වූ ‘ සංසාර ප්‍රේමයක්’ ගීතය මගේ ජීවිතයේත් අමතක නොවන අත්දැකීම් බොහෝමයක් තිළිණ කරපු මතක පොතේ උඩින්ම ලියැවුණු අපූරු නිර්මාණයක්.

ප්‍රතිභාපූර්ණ සංගීතවේදියකු හා ගායනවේදියකු වන ශිරාන් චාමක පෙරේරා පියතුමා සංසාර ප්‍රේමයක් ලෙස නම් කෙරුණු අපූරු ගීයේ ගායකයා හා තනු නිර්මාපකයා වේ. නමුත් මේ ගීතයේ අපට ශිරාන් චාමක පෙරේරා පියතුමා හමු නොවේ. SCP Creations නම් නිර්මාණශීලි ඉදිරිපත් කරන්නකු අපට ගීය පුරා මුණ ගැසේ. එනමුත් අපට උන්වහන්සේගේ අතිශය සියුම් නිර්මාණශීලීත්වයේ අලංකාරය මේ නිර්මාණය පුරා හමුවේ. ඇසේ. දැනේ.

වේදධර්මය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ශිරාන් චාමක පෙරේරා ගරු පියතුමා ගායනය පිළිබඳ විශාරද ඩිප්ලෝමාව, ඔපෙරා සංගීතය පිළිබඳ ඩිප්ලෝමාව හා සංගීත සංයෝජනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද සහිත සංගීතය පිළිබඳ මනා දැනුමක් සහිත නිර්මාණකරුවකු ලෙස හඳුනාගත හැකිය.

මේ පැදි මගෙ නෙත ගැටෙන්නෙ මම AMARAN  කියන දමිළ චිත්‍රපටය නරඹා එහි ඉතා අලංකාර කතා තේමාව ගැන සිතුවිලි අතර සිටි මොහොතක. මොකද මේ පැදි ටික හා ඒ චිත්‍රපටයේ කතා තේමාව අතරෙත් සමීප සමානකම් තිබුණා. මානව ප්‍රේමයේ වැදගත් ම කොටසක් ඒ චිත්‍රපටයෙන් නිරූපණය වෙද්දී ඒ ගැනම මාලිකා සොයුරිය හරිම සංවේදී ව ඇයගේ කවි ඔස්සේ ඉදිරිපත් කර තිබෙණු මා දැක්කා.

ප්‍රේමය කියන්නෙම උසුලා ගැනීමක්. දරාගැනීමක්. අපි අපේ ධර්මය ඔස්සේ බෙදා ගන්නේත් එයයි. AMARAN  චිත්‍රපටයේ තරුණයා හා තරුණියගේ කතාවේ ඉස්මතු කරනව දෙදෙනාගෙන් එක් අයකුට වැඩිපුර ආදරය කිරීමට සිදුවන බව. ඒ චිත්‍රපටයේ තරුණිය තමයි අපට ඒක පැහැදිලි කරන්නෙ. ඇය කියනව සිය ආදර කතාව ශක්තිමත් කරගැනීමට නම් දෙදෙනාගෙන් එක් අයකුට වැඩිපුර අනෙකාට ආදරය කිරීමට සිදුවනව කියල. ඒ කියන්නෙ දරාගැනීමට අවශ්‍ය වන බවත් එය තමා කිරීමට සූදානම් බවත් ඇය ප්‍රකාශ කරනව. කතාවේ ඉතිරිය ගලා යන්නේ ප්‍රේමයේ රළු කොටස ඇතුළෙ කරන ඇගේ දරාගැනීම් සමඟ. මේක පහසු දෙයක් නොවන බව අපට ඉතා පැහැදිලි යි. නමුත් ඇය ඒ තීරණය ගන්නව. ඒ සමඟ ජීවත් වෙනව. කටයුතු කරනව. ඒ අවස්ථාවේ අප අදහන ජීවමාන වචනය අඩංගු බයිබලයේත් එයම පැහැදිලි කර දෙන අයුරු මම සිහිපත් කළා. ඒ ප්‍රේමයේ ගැඹුර මේ චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප කරන විදියත් මම දැක්කා. චිත්‍රපටයේ කතා තේමාව ඇතුළෙ රූප රාමු ඔස්සේ එසේ පැහැදිලි කර දෙද්දි මාලිකා සොයුරියත් ඇගේ වචනවලින් ඒ ප්‍රේමය ගැන අර්ථකථනය කර තිබූ විදිය දුටු සැණින් මම විස්මිත වුණා.

ආදරයක් ඇතුළෙ ඊට නිදහස අවශ්‍යයි කියන එක මම විශ්වාස කරන දෙයක්. ආදරයට තටු දෙන්න ඕන. ප්‍රේමයේදි බැඳීම් මෙන්ම හැර යෑමත් පොදුයි. එබඳු අවස්ථාවක තමයි ප්‍රේමයේ ගුණාංග ටික මතුවෙන්න ඕනෑ. ප්‍රේමයේ ඉවසිලිමත් බව දරාගැනීම හා කැපකිරීම එක් අයකුගෙන් නොවුණොත් ඒ බැඳීම ඇදී යන්නේ ඛේදනීය දිශානතියකටයි. මම මේ පැදි ටික තෝරා ගෙන ගයන්නෙ ඒක එහෙම නොවිය යුතුයි කියන දේ ලෝකය ට කියන්නයි. විශේෂයෙන් තරුණ දරුවන්ට. ප්‍රේමයේදී හෝ අන් ඕනෑම දෙයකදී ප්‍රකෝප වීම, ආවේගශීලිව කටයුතු කිරීමෙන් බැහැරව ගැටලුවකට හොඳීන් මුහුණ දෙන්න හික්මීමක් දැනුමක් වගෙම ඒ ගැන හැඟීමක් අවශ්‍ය යි. මේ ගීය ඔවුන් ගේ හදවත්වලට ඇතුළු වුණොත් ඔවුන්ට හැකි වේවි ප්‍රේමයේ සැබෑ ස්වරූපය හඳුනාගෙන කටයුතු කරන්න. මොකද මේ වචනවල ඒ පණිවිඩය හරි පැහැදිලි ව තියෙනවා.

නිර්මාණය ගැන යළි අවධානය යොමු කරනවා නම් මේ වචන ටික බලද්දීම මගෙ මනසෙ තනුව ඇඳුණා.පෞද්ගලික ව ගත් විටත් මම ගොඩක් කැමැති සෞම්‍ය සංගීතය ට. ඒ රිද්මයට. නමුත් නිර්මාණකරණයේදි හැම විටම මා ඒ අදහසේ ම රැඳෙන්නෙ නෑ.

ඔබ මතු කළා මෙහි ගායනය ගැන. මේ පණිවිඩය නිවැරැදිව දනවන්න මම මගෙ කටහඬ මෙහෙයවූවා කියල විශ්වාස කරනවා .

ප්‍රේමය ගැන අවධානය යොමු කළොත් අපට හඳුනාගන්න පුළුවන් ආදරය බලා හිඳුමක්. එය දරාගැනීමක් බව.

නමුත් නූතනයේ අප වැඩිපුරම දකින්නෙ ආදරයට වඩා ආශාව ඉක්මන් වීමක්. විශේෂයෙන් නූතන තාක්ෂණ භාවිතාවන් හා මාධ්‍ය ඇසුරේ යොවුන් පරපුර ට්‍රෙන්ඩින් වන දෙයින් ඈත් කිරීම පහසු නෑ.

හිමි වුණත් අත්හැරෙන
කතා තිබුණත් හුඟක්
එක් නොවූ හිත්වලයි
ආදරේ වැඩි ගොඩක්

ගායනයේ අවසාන කොටසෙදි මම මේ අදහස ඉස්මතු කරනව. ගායනයේ භාවමය කලාප ඔස්සේ. මොකද ඒකත් මේ කතාවේ වැදගත් ම පණිවිඬයක් සහිත කොටසක්.

ගායනයේදී මම මේ අදහස ඉස්මතු කරන්නෙ කටහඬ, හා හැඟීම් කියන කොටස් දෙක නිර්මාණයේම කොටසක් ලෙස වෙන් නොවී පවත්වා ගනිමින්. එය අවබෝධයෙන් කළ යුතු දෙයක්. ඊට ඈඳුණු ලොකු ඩිසිප්ලින් එකක් තියෙනව මේ නිර්මාණයේ. ඔබ මතු කළ ලෙසම .මම විශ්වාස කරන දේ තමයි දෙයක් දරාගෙන දරාගෙන වින්දට පස්සෙ අපි ලොකු හික්මවීමකට යටත් වෙනව කියන එක. ඉතින් ඒ හික්මවීම තමයි මේ නිර්මාණය ඇතුළට ගෙනත් තියෙන්නේ. තවත් විදියකින් කීවොත් මේ ස්වරයෙන් ගයන්න මට මාවතක් නිර්මාණය කළේ ඒ දරාගැනීමමයි.

එක් පැත්තකින් සංගීතය හැදෑරූ අයකු විදියට මේ පණිවිඩය ඉස්මතු කරන්න මට ඕන වුණා මගේ හඬ ඔස්සේ.ඒ වගේම අපි කතා කරපු AMARAN  චිත්‍රපටයේ කතාවත් මගෙ හදවතේ තැන්පත්ව තිබූ මොහොතකයි මම මේ වචන දකින්නේ. ඒ හැඟීමත් එක්කයි මම මෙය ගයන්නේ. එතැනදි මෙහි සංගීතය මෙහෙයවූ බුද්ධික චතුරංග සොහොයුරා ඉතා මැනැවින් සංගීතය හා වාදනය මෙහෙයවූවා.

ඊළග විශේෂත්වය මේ තනුව යොදන්නේම මාව ඉස්මතු වනවාට වඩා මේ වචන ඉස්මතු කරන්න යි. මොකද ඒ වචනනෙ මාව ග්‍රහණය කරගත්තෙ.ඒක රසිකයාටත් ඒ විදියටම දීම මගෙ කැමැත්ත වුණා.

අවසාන වශයෙන් මේ සමස්ත නිර්මාණය ගැන අදහසක් පළ කළොත් මේක රටවල් තුනක එකතුවකින් ගොඩනැගූ නිර්මාණයක්. මෙහි මියුසික් විඩියෝවේ පෙනි සිටින්නෙ ට්‍රිෂාන් හා රවීනා පීරිස් එක පවුලේ සොයුරු සොයුරියන්. ඔවුන් ප්‍රංශයේ සිටින්නේ. එහි ඡායාරූපකරණය රමිඳු ප්‍රනාන්දු. මෙහි රචිකාව මාලිකා මිස්කින්. ඇයත් විදේශයක සිටින්නේ. අනිකුත් ශිල්පීන් ලංකාවේ සිට මේ නිර්මාණයේ කටයුතු සැලසුම් කළේ. අපි බොහෝ දෙනෙක් තවම එකට මුණ ගැසී නෑ. නමුත් එබඳු වටපිටාවක පවා ඈතින් හිඳ වුවත් මේ නිර්මාණය මෙපමණ ලස්සනට කරන්න හැකිවීම ලොකු සතුටක්.

 

[email protected]

 

හිමි වෙන්න ඕනෙමද
හිතගත්ත ප්‍රේමයක්
හිඳීන්නට ඕනෙමද
ළඟ බොහෝ කාලයක්
ඇහෙන්නට ඕනෙමද
අමතනා කටහඬක්
දැනෙන්නට ඕනෙමද
උණුසුමට හාදුවක්

හිමි නොවුණ මුත් සදා
නොබිඳෙනා ස්නේහයක්
ළඟ නැතත් හිත පුරා
රකින විශ්වාසයක්
කතා කර නැති වුණත්
හැබැහින්ම වචනයක්
සංසාරගත පෙමක නෑ
තිබුණෙ හිස්තැනක්

එකම එක මතකෙකට
කියා හිමි අයිතියක්
දෙතැනකට වෙලා හිඳ
දකී එක හීනයක්
හිමි වුණත් අත් හැරෙන
කතා තිබුණත් හුඟක්
එක් නොවූ හිත්වලයි
ආදරේ වැඩි ගොඩක්
හිමි වුණත් අත්හැරෙන
කතා තිබුණත් හුගක්
එක් නොවූ සිත්වලයි
ආදරේ වැඩි ගොඩක්..

මේ ගීතයේ මා දකින සුවිශේෂිතාව වනුයේ පද රචනාවෙන් ඉස්මතුකරන්නා වූ භාවමය කලාපය, තනුව සහ ගායනය මඟින් වඩා තීව්‍ර ආකාරයෙන් ඉස්මතු කරවීමයි. පද රචනාවේ අන්තර්ගත වචන වලට තනුව මඟින් භාවමය ගුණයක් ලබාදී එකී හැඟීම් සමුදාය ශ්‍රාවකයා වෙත සන්නිවේදනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම මේ ගීයේ තනු නිර්මාණය හා ගායනය කරන ලද ශිරාන් චාමක ගරු පියතුමාගේ කටහඬ හැඟුම් ගැයීමටම උපන් කටහඬක් ලෙස හඳුන්වා දිය හැකිය. ගායනවේදියකුට තනුව නිවැරැදිව ගැයීමට පුරුදු පුහුණු කළ හැකි වුවද ගායනයේදී හැඟීම් ගැයීම ඉගැන්විය නොහැකි කාර්යකි. “එක් නොවූ පෙම්වතුන් සදා පෙම්වතුන් සේ සිටී” යන ප්‍රස්තුතය යළිත් යාවත්කාලීන කොට එකී රෝමාන්තික හා විරහ රසය සමඟ මිශ්‍ර කරමින් ගොඩ නඟා ඇති මෙම ගීතය භාවමය කලාපය තීව්‍ර කිරීමට සමත් ලෙස නිර්මාණය වී ඇති අපූරු ගීයක් බව කිව යුතුමය.

 

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT