Home » උතුර දකුණ යා කරන සිහිනයේ ගිලී දෑස් පියා ගත් සුසීමා

උතුර දකුණ යා කරන සිහිනයේ ගිලී දෑස් පියා ගත් සුසීමා

by Thanushika
September 4, 2025 8:33 am 0 comment

ඒ පසුගිය ජූනි මස ආරම්භයේම වූ දිනයකි. දින කීපයක් තිස්සේ කොළඹ අත්‍යවශ්‍ය කටයුත්තක යෙදී සිට මා හා මගේ ස්වාමියා අපේ ගමේ ගෙදරට පැමිණෙන අතරේ ඉහළ පරුස්සැල්ල තුන් මං හන්දියේ සුදු කොඩි දෙක තුනක් හා සමඟ මා මීට පෙර කිසිදා දැක නොතිබූ කාන්තාවකගේ රුවක් සහිත බැනරයක් දිස්වූයේ සුසීමා දමයන්ති ද සිල්වා යන අයට නිවන් සුව පතමිනි.

මියගිය තැනැත්තිය ගැන ගමේ නෑ හිතවතුන් පැවසූ තොරතුරු අතරේ මගේ සිත ගත්ට වූ කාරණාව නම් ඇය චිත්‍රපට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූ කලාකාරිනියක බව සේම පොත්පත් ලියූ අයෙකු බව දැනගන්නට ලැබීමය. අප නිවසට යාබදවම පිහිටි ඇය විසූ නිවස ගම්මුන් විසින් හැඳින්වූයේ බංගලාව යන නමිනි. මීට දශක කිහිපයකට පෙර මේ සුන්දර ගමේ පිහිටි විසල් වතුපිටි රැසකටම උරුමකම් කියූ ඉතා ධනවත් වැවිලිකරුවකු ලෙස ප්‍රචලිත යූ.පී විලියම් ද සිල්වා මහතාගේ වැඩිමල් දියණිය ලෙස සුසීමා උපත ලබා තිබුණේ 1948 දීය. කැලණි ගඟේ සිට දිව එන වී ඔය ඉස්මත්තේ පිහිටි ඔවුන් විසූ මේ නිවස බොහෝ සැප සම්පතෙන් ආඩ්‍ය වූ ගාම්භීර තැනක් විය. එසේම නිතර නිතර කොළඹින් පැමිණි ප්‍රසිද්ධ අමුත්තන් නළු නිළියන් ගැවසුණු සතුට දෝරේ ගලා ගිය තැනක් විය. එවැනි අවස්ථා දැක බලා ගැනීමට මේ නිවස අවට එක්රොක් වී සිටි අයුරු මෙහි වෙසෙන අයට හොඳීන් මතක තිබේ.

ඇය මියගිය පුවතට දිනකට දෙකකට පසු උදාවූ සවස් වරුවක මළගමේ කටයුතුවලට අප දෙදෙනාද එහි ගියේ පාංශකූලයට හාමුදුරුවරු වඩින්නට ඔන්න මෙන්න කියා තිබියදීය. ශාන්ත දෙන තුළ සැතපෙන ඇය දුටු වනම කිසියම් වූ ගුප්ත ළෙන්ගතුකමක් හද පත්ලෙන් ඉස්මතු වූයේ ඇයි දැයි නොදනිමි. අනවශ්‍ය සැරසිලි දිගු ගුණකතා ආදියෙන් තොර වූ ඒ අවමංගල සභාව ඉතාම සරල කෙටි එකක් විය. එහි වූ අතළොස්සක් වූ පිරිස හා සමඟ යටියන්තොට හාමන්ද ආදාහනාගාරයට ගිය අප ඇයට සමුදී පැමිණියේ සිතේ බරක් ද රඳවා ගෙනය.

ඇය ගැන තොරතුරු සෙවීමට උපන් සිතිවිල්ල වඩා තීව්‍ර කරන්නට ඇය විසින් ලියන ලද ගමක් සොයා යමි වාර්තාමය නවකතාව මා අතට පත්වීමද තදින්ම බලපෑවේය. ඉහළ පැලැන්තියේ ප්‍රභූ පවුලක උත්පත්තිය ලබා තිබුණද ඇය සතු පිරී ඉතිරී තිබූ මානව දයා ගුණය ඇය මේ ගමේ ජීවත් වූ අහිංසක අසරණ ගැමියන්ගේ සිත් කියවා තිබූ ගැඹුරේ තරම අදහා ගත නොහැකි තරම් විය. එම පොතේ ගැබ්ව තිබූ ඇගේ මානව හිතවාදී අදහස් වැඩි වැඩියෙන් හඳුනා ගැනීමේ දී සුසීමා දමයන්ති ගැන තොරතුරු සොයා මා පිය නැගුයේ අසල්වැසි බංගලාවටය. සිය වැඩිමල් සහෝදරියගේ වියෝව ගැන බෙහෙවින් කනස්සල්ලට වී සිටියා වුවද විනීතා නන්දනී ද සිල්වා මා පිළිගත්තේ ඉතාම උණුසුම් වූ ළෙන්ගතුකමකිනි. දැනට සුසීමාගේ පවුලේ ඉතිරිව සිටින එකම සහෝදරිය වන නන්දනී කලක් ජාතික ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කර විශ්‍රාම ගෙන සිටින්නීය. සුසීමා හා අවසන් මොහොත දක්වාම එකට බැඳී ජීවත් වූ ඇය හඬ අවදි කළේ ඉතා හැඟීම්බරවය.

මම පවුලේ බාලයා මට අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි දැන් හැමෝම නැතිවෙලා.

අක්ක පුංචි කාලෙ ඉඳලම ලියන්න පුදුම ආසාවක් තිබුණේ. කෑගල්ල කොන්වන්ට් එකේ අපි ඉගෙන ගන්න කාලෙත් එයා පාඩම් වැඩ අතපසු කරගෙන හොරෙන් හොරෙන් පොත් ලියන එකමයි කළේ. එක පාරක් සිස්ටර් අපේ තාත්තට මේ ගැන කියලත් තිබුණා.

අක්කගෙ මුළු ජීවිතේම කැප කළේ මේ කලා කටයුතු වලට තමයි. මම තමයි මේ වැඩවලට එයාගේ පස්සෙන්ම හිටියේ. අපි දෙන්නම විවාහ වුණේ නැහැ. අන්තිම වෙනකොට මමයි අක්කයි විතරයි මේ ගෙදර ජීවත් වුණේ.

සුසීමා දමයන්තිගේ මුල්ම ළමා නවකතාව වූ “කෝ අයියා” මුද්‍රණයෙන් බිහිවී ඇත්තේ 1960 වර්ෂයේදීය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දොළහකි. ඉන් අනතුරුව කපන්න බැරි අත, අම්මා මගේ රත්තරන් ප්‍රකාශයට පත් කර තිබේ. අම්මා මගේ රත්තරන් නවකතාව 1964 ළමා හා යෞවන පොත් රචනා තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර එම පුස්තකය යුනෙස්කෝ සම්මානයක් ද හිමිකරගෙන තිබේ. සත්‍යයේ දෝංකාරය ද සුසීමාගේ කෘතියකි.

1968 දී කලාපෙළ සිනමා පාඨමාලාවට සහභාගි වී සිනමා ශිල්පය පිළිබඳ මූලික දැනුමක් ලද සුසීමා අනතුරුව 1969 දී රෝමියෝ ජුලියට් කතාවක් නමැති වෘත්තාන්ත චිත්‍රපටයේ සහාය සංස්කරණ ශිල්පිනියක ලෙසද කටයුතු කරමින් තවදුරටත් සිනමා ශිල්පය පුහුණු වී තිබේ. 1975 වසරේ ජාතික චිත්‍රපට සංස්ථාව මෙහෙය වූ කෙටි චිත්‍රපට වැඩපිළිවෙළට සම්බන්ධ වී ‘රටක් වටින ගසක්’ නමැති කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබේ. එසේම ඇය ආශා වෘත්තාන්ත චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කර තිබේ. එසේම දියමන්ති චිත්‍රපටයේ සම්බන්ධීකරණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වන කිඳුරු කුමාරි චිත්‍රපටයේ කතාව දෙබස් සහ තිර රචනය නිර්මාණය කර තිබේ.

රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වූ ඇය කෙටි චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කර තිබේ. ඔබටත් කර්මාන්තයක් (ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සඳහා) අඳුරට එළියක් (බන්ධනාගාර දෙපාර්තමේන්තුව) ඔබේ ජීවිතය දවාලන්නේ ඇයි (ශ්‍රී ලංකා පිළිකා සංගමය) අඩි පාරට අලුත් ඉරක් (දිස්ත්‍රික් සංවර්ධනය) සුවය සිහිනයක් නොවී (ශ්‍රී ලංකා පිළිකා සංගමය) කතරක උල්පතක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසඳුම ගමට එයි (රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය) විශ්වයට අත්වැලක් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය “ගිනිගත් දේශය” ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අලුත් ලොවට පිපෙන කැකුළු, ළමා අධ්‍යාපනය, ගමක වරුණ, ගාලු දිස්ත්‍රික් සංවර්ධනය ඉන් කීපයක් පමණි. මේ කෙටි චිත්‍රපට අතරින් ඔබේ ජීවිතයේ දවාලන්නේ ඇයි චිත්‍රපටය ජපානයේ පිළිකා හා සම්බන්ධ සම්මන්ත්‍රණයකදී තිරගත කොට සම්මානයක් ද හිමිකරගෙන තිබේ. එසේම විශ්වයට අත්වැලක් නැමති කෙටි චිත්‍රපටය 1999 ප්‍රථම සාක් සිනමා උලෙළේ කෙටි චිත්‍රපට අංශය නියෝජනය කර ඇත.

එසේම සුසීමා විසින් 2000 වර්ෂය වැඩිහිටි වසර ලෙස නම් කොට තිබූ තේමාව යටතේ තිර රචනය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරමින් වියපත් අඩවිය නමින් කළ ඒකාංගික ටෙලිනාට්‍ය ද ජාතික රූපවාහිනියේ විකාශය කෙරිණි. එසේම ගං තෙර අද්දර ඒකාංගික ටෙලිනාට්‍යයද ඇයගේම නිර්මාණයකි. එසේම රත් පවස සාතන්ගේ අඩවිය චිත්‍රපට තිර නාටක ද ඇයගේ නිර්මාණයන්ය. එසේම 1998 දී චිත්‍රපට සංස්ථාව මඟින් පැවැත් වූ පුනාහි සිනමා ශිල්පදායකත්වයෙන් පවැත්වන්නට යෙදුණ චිත්‍රපට පාඨමාලාවට ද ඇය සහභාගි වී ඇත. එසේම එහිදී ඇය විසින් නිපද වූ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර ඒ ගැන මහාචාර්ය සුරේෂ් චබ්රියාගේ පැසසුමටද ලක්ව තිබේ.

ඇයගේ දස්කම් ගැන කතා තව බොහෝ දිගුවට විහිදී යන සෙයකි. අවසන් කාලයේ හෘද රෝගයකට ගොදුරුව සිටියද ලිවීමේ කටයුතු නතර නොකළ බවද නන්දනී පැවසුවාය. සුසීමා සිය දිවියම නිර්මාණ කටයුතු සඳහා යෙදෙව්වා වූවද මේ ක්ෂේත්‍රය තුළ ඇය විවිධ අසාධාරණකම්වලට ලක් වූ බවද නන්දනී පැවසුවේ ඉතාම කනගාටුවෙනි. ඒ අපේ රටේ හැටිය. දක්ෂයෙකුට කිසිදු ඇගයීමක් ලැබෙන්නේ නැත. අවසන් කාලයේ හුදකලා දිවියක් ගෙවන්නට එයද හේතු වූවාදැයි මට සිතිණි. මියෙන තුරුම වගේ උතුර දකුණු යාවී සතුට සාමය රජ කරන රටක් ගැන සිහින මැවූ ඇය නිහඬවම දෑස් පියා ගත් නමුත් ඈ ඒ හා සම්බන්ධව ලියූ සමහර තිරපිටපත් තවමත් ඇයගේ සොහොයුරිය සතුව තිබේ.

ඇගේ නමට ගෞරවයක් ලබා දෙමින් කරන නිර්මාණයකට ඒවා ලබාදෙන්නට ඇය අදහස් කරන බවද මා හා පැවසුවාය. එසේම ඇයගේ වියොවින් තුන් මසක් සපිරෙන සැප්තැම්බර් මස පස්වනදා හවස ධර්ම දේශනාවක්ද හයවැනිදා දහවල් සංඝගත දක්ෂිණාවක් ද නිවසේදී සිදු කරනු ලබන බවද කියන්නට ඇය අමතක කළේ නැත. මා නන්දනීගෙන් සමුගත්තේ පැය කීපයක්ම බංගලාවේ ගත කිරීමෙන් අනතුරුවය. මා මෙහි පදිංචියට පැමිණ වසර දෙකක් පමණ ගෙවී ගොස්ය අඩි ගණනින් මිනිය හැකි දුරක ජීවත් වූ මේ වටිනා කාන්තාවගේ දෑස් පියවෙන්නට පෙර දැන හඳුනාගන්නට නොහැකි වීම ගැන සිතේ උපන් උසුලාගත නොහැකි තරම් වූ මනස්තාපයද කරපින්නාගෙන නැවත ආවෙමි.

 

[email protected]

නිර්මලා කුමාරි සේනාරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT