ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන සපථ කරමින් ඇය ශ්‍රී ලංකාවෙන් එපිටට තමා උපන් රටේ නාමය නර්තන කලාවෙන් ඔසවා තැබන්නට සමත් වූවාය. කැනඩාවේ රංගනය පිළිබඳ ඇකඩමියක් නිර්මාණය කිරීමට සමත් වූ ශ්‍රී ලාංකික ඇය රෂාන්ති හෙට්ටිආරච්චිය. මේ ඇය සමඟ අප කළ කතාබහයි.
රෂාන්තිගේ ළමා කාලය ගත වූයේ කොහොමද?
මගේ පවුලේ එකම දරුවා වන්නේ මම. සරලව සැහැල්ලුවෙන් තමයි මම ජීවත් වුණේ. ළමා කාලයේ පටන්ම මම නර්තනයට ගොඩක් ආශාවක් දැක් වූ දරුවෙක් වුණා. මම ගලහිටියාව, හේමමාලි මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පස්සේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් ද්විතික අධ්‍යාපනයට යොමු වුණා. ගුරුකළ විද්‍යාලයේම අ.පො.ස උසස් පෙළ හැදෑරුවා. ඊට පස්සේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තනවේදී විශේෂ උපාධිය ලබුවා. උපාධිය සම්පූර්ණ කළාට පස්සේ රජයේ පත්වීම් ලේඛනය තුළ මම ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ වසර තුනක පමණ කාල සිමාවක් ගුරු වෘත්තියේ නියැලුණා. ඒක මට සතුටක්. මොකද මගේ ගම්පළාතටම ගුරුවරියක් වෙලා දරුවන්ට දැනුම බෙදා දෙන්නට ලැබීම මම ලද භාග්‍යයක් ලෙසටයි මම සලකන්නේ. මේ කෙටි කාලය තුළ මම හරිම සතුටින් තමයි ගුරු වෘත්තියේ නියැළුණේ. මගේ ළමා කාලය මම සිසුවියක් ලෙස ගත කරපු ජීවිතය මට නැවත නැවත මේ බිමේදී නිතරම ආවර්ජනය කරමින් දරුවන් සමඟ කාලය ගත කළා.
ඊට පස්සේ ඔබේ ජීවන ගමන් මග යොමු වුණේ කුමන දිසාවට ද ?
වසර තුනක ගුරු වෘත්තියේ කාලසීමාවෙන් පස්සේ 2007 වර්ෂයේ දී මගේ සැමියා සහ පුතා එක්ක මම කැනඩාවේ ස්ථිර පදිංචියට ගියා. එහි පදිංචියට ගියාට පස්සේ මට තවත් පුතෙක් ලැබුණා. මගේ පවුලේ දැන් සමාජිකයන් හතර දෙනයි. අපි සිව්දෙනා හරිම සතුටින් ජීවිතය ඇරඹුවා. අපේ ශක්තියේ බැඳීම හා සරස්වතියගේත්, නටරාජා දේවියගේත් ආනුභාවයත් යහපත් චේතනාවත් දැනුම බෙදා දෙන නිසා විශ්වය අපිට යමක් කරන්නට අවස්ථාව උදා කරලා දෙනවා කියලා මම විශ්වාස කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, 2008 වර්ෂයේදී කැනඩාවේදී අචදඨචපච ර්‍ථපධනධපථචද ඒපබඵ කියලා රංගන පාසලක් ස්ථාපිත කරන්න අවස්ථාව හිමි වුණේ. මේ හැම කර්තව්‍යක්ම පිටුපස්සෙන් සිටින්නේ මගේ පවුලේ ස්වාමිපුරුෂයායි.
අද රංගාරා කලා ආයතනය කැනඩාවේ තියෙන හොඳම නර්තන පාසලයි.
මෙපමණ දුරක් එන්නට ඔබට ගුරුහරුකම් දුන්නේ කවුද ?
පාසල් කාලසීමාව තුළදී මම පාසලේ තිබුණු හැම නර්තන අංගයකටමත් සෑම සෞන්දර්ය කටයුත්තකටමත් සහභාගි වුණා. පාසලේදී පළාත්, සමස්ත ලංකා යන සියලුම තරඟ අංශ නියෝජනය කරන්නටත් මට හැකි වුණා. මේ දේවල් පිටුපස්සේ සිටියේ පාසල් අධ්‍යාපන කාල සීමාව තුළ උගන්වපු නර්තනාචාර්යවරුයි. කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ පිටිගල ජයසේන ගුරුතුමාගෙන් අධ්‍යාපනය හදාරන්නට ලැබුණා. ඔහු ඒ කාල සීමාව තුළ හිටපු හොඳම බැලේ ඩාන්සර්. ඒ වගේම ඔහු හොද මුද්‍රා නාට්‍ය ආචාර්යවරයෙක්. පාසල් අධ්‍යාපනය නිමාවෙලා විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී මහාචාර්ය මුදියන්සේ දිසානායක, රවි බන්දු විද්‍යාපති, ඇතුළු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉන්න දක්ෂතම ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය හදාරන්නට අවස්ථාව හිමි වුණා. මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ සර්ගෙන් පහතරට නර්තන සම්ප්‍රදාය ඉගෙන ගැන්න අවස්ථාව ලැබුණා. නර්තනය සම්බන්ධයෙන් වසර පහක කාල සීමාවක් තුළ විශේෂවේදී උපාධියක් හදාරනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. ඒත්, මගේ සිත ශක්තිමත්. මම කොහොම හරි ඒ කර්තව්‍යය ඉෂ්ට කර ගත්තා. වසර 25ක වගේ කාලයක් ලංකාවේදී නර්තන කලාව තුළ ජීවත් වුණා. මේ මගේ හැම රිද්මයක් තුළම මට උදව් කළ ගුරුවරු විශාල සංඛ්‍යාවක් හිටියා. ඔවුන් මම සිහිපත් කරන්නේ සිතින් වැඳ නමස්කාර කරලයි. අද මට මෙවැනි තැනකට එන්නට ඉඩ ප්‍රස්ථාව සැලසුණේත් ඔවුන් නිසයි. දෙමව්පියන් දෙදෙනාගෙන් පස්සේ දෙවැනි මව්පියවරු වන්නේ අධ්‍යාපන දෙන ගුරුවරුයි. මගේ ජීවිතයේ හැම මොහොතකම සුබ කටයුත්තකදී මල්, පහන් පූජා කරලා ඔවුන්ට මම පින් දෙනවා.
එදා සහ අද නර්තන කලාවේ ඔබ දකින්නේ මොන වගේ වෙනස්කම් ද?
එදා අපි ගොඩක් දුරට ඉගෙන ගත්තේ ගුරුවරයා අනුකරණය කරලයි. ඒ කාල සීමාව තුළ අපේ තිබුණු දක්ෂතා සහ නිර්මාණ හැකියාවන් පෙන්වන්නට තිබුණු අවස්ථාව මඟ හැරී ගියා. ගුරුවරයා මූලික කොට ගත් අධ්‍යාපන ක්‍රමවේදයක් තිබුණු නිසයි එවනි අවස්ථාවන් අපිට අහිමිවුණේ. ඒ කාලයේදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ලෙස අපිට වෙනත් දේවල් සිතීමටවත්, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදීමටවත් අවස්ථාවක් හිමිවුණේ නැහැ. ඔවුන් එවැනි දේවල් කළේ අපේ රටේ පවතින නර්තන ශෛලීන් ශිෂ්‍යයන් වෙනස් කරයි කියලා වෙන්න ඇති. අපිටම ආවේණික වුණු උඩරට, පහතරට, සබරගමු යන නර්තන සම්ප්‍රදායන්ගෙන් අපේ සංස්කෘතිය ලොවට විදහා පානවා. එවැනි පෞරාණික නර්තන සම්ප්‍රදායන් ගිලිහී ගියොත් අනාගත පරම්පරාවට ඉතිරි වන්නේ කුමක්ද කියන ප්‍රශ්නයත් ඔවුන් තුළ පැන නැගෙන්නට ඇති. එදා ගුරුවරු අපිට හරි දේ දුන්න නිසයි අද අපි අපේ අනාගතය බාරගන්න ඉන්න පරම්පරාවට හරි දේ දෙන්නේ. දැන් ඉන්න පරම්පරාවට හොඳටම අවස්ථාව ලැබිලා තිබෙනවා. ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඒ බව මට හොදින්ම වැටහෙනවා.
අද සභා නර්තනය කියන නර්තන වින්‍යාසයේදී නව නිර්මාණ ඉදිරිපත් කරන්න ළමුන්ට අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඩිජිටල් ලෝකයත් සමඟ ගනුදෙනු කරන යුගය එළඹුණාට පස්සේ අපේ පාරම්පරික නර්තන ශෛලයන් රැකගෙන නව නිර්මාණය ඉදිරිපත් කිරීම තමයි නව පරම්පරාව කළ යුත්තේ. බැලේ සාෂා, හිපොප්, ඡචතත පධධථ, ඤඪඵජධ වැනි බටහිර නර්තන සම්ප්‍රදායන් අද අපේ සංස්කෘතිය තුළ තියෙනවා. ඒත්, මේ සියලු දේවල් වලටම උඩින් තියෙන්නේ අපේ නර්තන කලාව කියන එක නර්තන ශිල්පීන් සියලු දෙනාම දැනගත යුතුයි කියලයි මම හිතන්නේ.
ඔබ උඩරට, පහතරට, සබරගමු යන නර්තන සම්ප්‍රදායන් තුළ වඩාත්ම ඇලුම් කරන්නේ කුමන අංගයටද ?
මගේ කුඩා අවදියේ සිටම මම උඩරට නර්තන සාම්ප්‍රදායික කලාවට දැඩි ලෙස ප්‍රිය කළා. ඒත්, මට පහතරට, සබරගමු යන නර්තන සම්ප්‍රදායන් වැඩිදුර අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබුණේ නෑ. ඒත්, විශ්වවිද්‍යාලය තුළදී අනු විෂයක් ලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය ඉගෙන ගැන්න අවස්ථාව ලැබුණා. එය මම ලද භාග්‍යයක්. මනුපූරි කථක්, භරත යන නර්තන සම්ප්‍රදායනුත් මට ඉගෙන ගැන්න ලැබුණා. නර්තන කලාවේදී යමේකු නර්තනයට පෙම්බදින පුවතක් ලෙස උඩරට නර්තන බෙර වාදන කලාව ගැන අදටත් කියැවෙනවා. මධුර මනෝහර තාල භාණ්ඩ ලෙස ගැට බෙරය, දවුල සහ උඩැක්කිය සියලු දුක්ඛ දෝමනස්ස දුරුකරනවා කියලා මතයකුත් තියෙනවා. ඒ ඒක නර්තන කලාවේ කන්කලු නාද රටාවන් මවන්න පුළුවන් තාල භාණ්ඩයක් නිසයි. මගේ නර්තන ශෛලීන්ද උඩරට නර්තන සම්ප්‍රදායට ඇදී ගියේ මෙවැනි දේවල් නිසා වෙන්න පුළුවන් කියලයි මම හිතන්නේ. වන්නම් සහ සවුදම්වල රිද්මයානුකූල හැඩතලයන් නිසා ඉඟ සුඟ මිට මොළවන්න පුළුවන් රූමත් කාන්තාවන් පෙර සිටි බවත් සැළලිහි නි සන්දේශය, ගුත්තිල කාව්‍ය වැනි සන්දේශ කාව්‍යයන්වල පෙන්වනවා.
සන්දේශ කාව්‍යයන්වල පවා උඩරට නර්තන සම්ප්‍රදායන්ට හිමිවන්නේ ඉහළ ස්ථානයක්. පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ද පසුකාලීනව සමාජය අතිශය වැලඳ ගන්නා තැනකට ගෙන ආවා. ඒත්, අපේ නර්තන කලාව දවසින් දවස විෂයෙන් විෂය පෝෂණය වන නිසා අන් රටවල නර්තන ශෛලීන් එක්ක බැලුවාම මුල් තැනේ තියන්නට පුළුවන්. ලෝකයේ උඩරට නර්තන සම්ප්‍රදාය සහ වෙස් නර්තන සම්ප්‍රදාය තිබෙන්නේ අපේ රටේ විතරයි. ඒ බව දැක ගන්න වසරක් පාසා ගොඩක් විදේශිකයන් රැස් වෙනවා. ඒ නිසාම කැනඩාවේදී අපේ වෙස් නර්තන සම්ප්‍රදාය අගයනවා.
අද වන විට උඩරට, පහතරට සබරගමු යන නර්තන සම්ප්‍රදායන් ගිලිහී යනවා කියලා ඔබ විශ්වාස කරනවාද ?
අද වන විට ගොඩක් උඩරට, පහතරට සහ සබරගමුව යන සම්ප්‍රදායන් තුනම ප්‍රගුණ කරන පිරිස් අඩු වෙලා. මෙයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ, ඩිජිටල්කරණයත් එක්ක සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නෝ විවිධ නර්තන ක්‍රමවේදයන් එලොවටත්, මෙලොවටත් නැති ආකාරයෙන් ගෙනහැර දක්වනවා. අපේ සාම්ප්‍රදායික නර්තන කලාවන් ගුරුවරුන්ගෙන් බැනුම් ආහලා ඉගෙන ගත්ත හින්දා අපි වෙනත් රටකටත් ගිහින් උගන්වන්නෙ අපේ සාම්ප්‍රදායික නර්තන කලාවමයි. අද වන විට ශිල්පීන් දන්නෙත් නැහැ සාම්ප්‍රදායික නර්තන කලාව කුමක්ද කියා. ඒ තරමට මික්ස් වෙලා. අද වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සංස්කෘතික හා සභ්‍යත්වය තුළ සාම්ප්‍රදායික නර්තන කලාවට මුල් තැනක් හිමි වීගෙන යන යුගයක් පෙන්නුම් කරනවා. නව ලිබරල්වාදයේ සංකල්ප එක්ක තරුණ පරම්පරාව බටහිර නර්තන සම්ප්‍රදායට යොමු වෙන ප්‍රවණතාවය වැඩියි. ගොඩක් තරුණ අය සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායට ප්‍රිය කරන්නේ නැහැ. මම දකින විදියට එය නව දිසාවකට හැර විය යුතු යුගය එළඹිලයි තියෙන්නේ. නර්තනය විශේෂය හැදෑරූ පුද්ගලයන් වැඩි කළ යුතුයි. පා, හරඹ, ගොඩ හරඹ, වන්නම්, අඩව්, කස්තිරම් එක්ක ප්‍රායෝගික හා න්‍යායාත්මකව අධ්‍යයනය කළ යුතුයි. ඉහත සඳහන් කළ දේවල් වැඩි පුර අනාගත පරම්පරාවට න්‍යායාත්මක හා ප්‍රායෝගිකව අධ්‍යයනයට ඉඩකඩ සලසා දුන්නොත්, අපේ සංස්කෘතික හා සභ්‍යත්වය තුළ අපේ නර්තන ශෛලීන් රැක ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. එහෙන්, මෙහෙන් අතපත ගාලා ඉගෙන ගන්න නර්තන කලාවක් තුළ අවබෝධ කර නොගන්නා පිරිස් ඉබේම නැති වෙලා යනවා. විශේෂයෙන් පාසල් මට්ටමෙන් නර්තනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ කම කියන එක අපිට ආවේණික වූ නර්තන ශෛලීන් රැකුණොත් පමණයි ඉදිරියට නර්තනය පවතින්නේ කියන එක අවබෝධ කළ යුතුයි.
ඩිජිටල් කරණය හා සමාජ මාධ්‍ය නිසා යම් රටක ආවේණික වූ නර්තන සම්ප්‍රදායන් හා නර්තනයන් විනාශ මුඛය කරා යනවා නේද ?
පාසල තුළදී විධිමත් අධ්‍යාපනයක් ලබා දුන්නොත්, ඉදිරි පරම්පරාව සෝෂල් මීඩියා තුළින් ඈත් වී හරි මඟකට ගමන් කරන්නට අවස්ථාව එළඹෙන්නට ඉඩ තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා අද වන විට සිතීමේ ප්‍රවණතාවය වෙනස් කරලා තිබෙනවා. නිර්මාණවේදීන්ගේ හැකියාවන් බින්දුවට බස්සලයි තිබෙන්නේ. කිසිදු නිර්මාණශීලීත්වයක් නැති පිරිස් යූටියුබ් හරහා ඇවිත්. ඔවුන් සංගීත ගුරුවරුන්, නර්තන ගුරුවරුන් වෙලා. බඪඬ බධඬ, ධ්දඵබචඨපචථ වලින් කිසිදු සදාචාරාත්මක රීතියකින් තොරව හිතුමතේට සමාජ මාධ්‍ය අවභාවිතා කරනවා. ඒ තුළින් උඩරට හා පහතරට නාට්‍ය සම්ප්‍රදායන් විනාශ මුඛයට යැම වැළැක්විය නොහැකි තැනට පත් වෙලා. අද වන විට යූටියුබ් නාලිකා නිසා සංගීත ගුරුවරුන් සහ ඩාන්සින් ගුරුවරු
කිසිදු අධ්‍යාපන මට්ටමක් නිර්මාණශීලී හැකියාවක් නොමැති නොමැති පිරිස් බිහි වෙලා තිබෙනවා. විෂය පථය කිසිදු ආකාරයකින් නොදන්න පිරිසක් තමයි අද සමාජගත වෙලා ඉන්නේ. මේ ඩිජිටල් අවකාශය තුළ ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව අමු අමුවේ විවිධ අකටයුතුකම් සිදුකරමින් නිර්මාණ කා දමනවා. අද බහුතරයක් රධභ බභඡඥ ඤචදජඥ තමයි හඳුන්වන්නේ ඩාන්සින් කියලා. ඒ සියලු දේවල් සිදු වුණේ ඩිජිටල් කරණය හා යූටියුබ් නාලිකා හරහායි. මේ හරහා නිර්මාණ මංකොල්ලය සීයට සියයක් සිදුවෙනවා. එවැනි දේවල්වලට නීතිමය පියවර ගත යුතුයි.
ඔබ නර්තන පාසලක් කැනඩාවේ ස්ථාපිත කරන්න සිතුවේ ඇයි ?
මටත් මගේ ස්වාමියාටත් ආසාවක් හිතුණා, වෙනස් විදිහේ අත්දැකීම් ටිකක් කැනඩාවේ පදිංචි අයට ලබා දෙන්න. එය කුමන හෝ රටක නර්තන පාසලක් ස්ථාපිත කරන්නත් හිතුවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි රංගාරා කලා පාසල ස්ථාපිත වන්නේ. මේ නම මට ලබා දෙන්නේ අප අතරින් වෙන්ව ගිය අරිසෙන් අහුබුදු සූරීන්. ඒ වගේම වෙනස් විදියේ අත්දැකීම් සම්භාරයක් ගන්නත් හිතුවා. කැනඩාවට ගියාට පස්සේ හිතුණා ඉගෙන ගත්ත දෙයින් අනාගත පරම්පරාවට යමක් දිය යුතුයි කියලා. ඒ අනුව එහි මූලික පියවරක් ලෙස පළමුවෙන්ම ළමයි දෙන්නෙක්ගෙන් තමයි මේ ආයතනය ආරම්භ වුණේ. වසර දාහතක කාලසීමාව තුළදී අද වන විට ළමයි පන්සියයකට අධික පිරිසක් මෙම ආයතනයේ ඉගෙනුම නිමා කරලා තියෙනවා. ඒ බෙර වාදනය සහ නර්තනය යන අංශ දෙකෙන්ම අද වන විට ළමයි හැත්ත පහක් පමණ උඩරට බෙර වාදනය සහ උඩරට පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් හදාරමින් සිටිනවා. එයට අමතරව නිර්මාණශීලී නර්තන සම්ප්‍රදායනර්තනයන් ද උගනන්වනවා.
මෙහි උගන්වන ආචාර්ය මණ්ඩල මොන වගේද ?
මේ වන විට රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සිටි තිලංග විජේසේකර, රසික කොතලාවල, ඩාන්සින් ඇකඩමිය සිට පැමිණි අයේ්ෂි අක්මිය, තිළිණ විරසිංහ, එවගේම මුල්ම ශිෂ්‍යාව ලෙස ඇතුළු වුණු දරුවා ර්‍ථ. අ සහ ඒඤථඪද පැත්ත කරනවා. මම දැැන් පාසල් අධ්‍යක්ෂිකාව ලෙසයි කටයුතු කරන්නේ. හොඳ ගුරුවරු පිරිසකගේ දැනුමයි මේ ළමයි වෙනුවෙන් මම බෙදා දෙන්නේ. මෙහි පැමිණෙන සියලූම ළමයි හරිම සතුටින් නර්තනය හදාරනවා.
රංගාරා කලායතනයේ පළමු වෙස් මංගල්‍යය හා පායින් පත් පැලඳවීම පැවැත්වුණා නේද ?
ප්‍රථම වතාවට කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙස් මංගල්ලේ සහ පායින්පත් පැලඳවීම 10 දෙනෙකු සඳහා සිදු කරනු ලැබුවා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර මිසිස් සාගා නගරයේ වෙස්ටන් බෞද්ධ මධ්‍යස්ථානයේදි සියලු චාරිත්‍ර වාරාත්‍ර කිරීමෙන් අනතුරුව මේ සියලු දේවල්ම සිදු කළා. මේ සඳහා ජිතේන්ද්‍ර විද්‍යාපති, දක්ෂ බෙර වාදන ශිල්පියෙක් වන සචින්ත ද සිල්වා, පැතුම් එදිරිසිංහ, තිලංග විජේසේකර යන හතර දෙනාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙස් මංගල්‍ය කළා. මේ සඳහා විශාල පිරිසක් සහභාගි වුණා. ඒ වගේම මෙහි ප්‍රසංගය ටොරොන්ටෝ වල කොන්සල් ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පළමු ප්‍රසංගය නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් එදා සහභාගි වුණා. එදා එය කැනඩාව වගේ රටක ශ්‍රී ලාංකීය නර්තන කලාව පෙන්වූ සුවිශේෂීම අංගයක් වුණා.
කැනඩාවේදී ලාංකික නර්තන සම්ප්‍රදායට ලැබෙන ඉඩකඩ කොහොමද ?
මේ වන විට ඉතාම ඉහළ මට්ටමේ පිළිගැනීමක් ලාංකික නර්තන සම්ප්‍රදායට හිමිවෙලා තිබෙනවා. අපේ නර්තන සම්ප්‍රදායේ ප්‍රමිතිකරණය අනුව තමයි අපි සියලුම දේවල් උගන්වන්නේ. ඒ නිසා ලාංකික නාමය කැනඩාව වගේ රටක් තුළ බබළවන්නට අපිට හැකියාව ලැබුණා. ඔවුන් සියලු දෙනාම උඩරට නර්තන සම්ප්‍රදායට හරිම කැමැතියි. ඒ රටේ රසවින්දනාත්මක පිරිසක් තමයි ජීවත් වෙන්නේ. මේ වන විට ඇමරිකාව මෙක්සිකෝවේ වැනි රාජ්‍යයන්වල පවා ප්‍රසංග පවත්වලා තිබෙනවා. මේ සියලු දේවල් අපි සිදු කරන්නේ බෞද්ධ සංකල්පය මුල් කරගෙනයි. විශේෂ උත්සව සඳහා අපේ නිර්මාණයන් ඉදිරිපත් කිරිම සඳහා කැනඩා රජයෙන් හා විවිධ ප්‍රධාන පෙළේ ආයතනවලින් ඉල්ලීමක් තියෙනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද ?
මේ ස්ථාපිත කරපු පාසලෙන් ලාංකික සංස්කෘතිය මුළු ලොවටම ගෙනයාම තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. අනාගතය භාරගන්න දරුවන් පිරිසක් ඒ වෙනුවෙන් නිර්මාණය කිරීම තමයි ඊළඟ පියවර. ඒ වගේම ලබන අවුරුද්දේ ශ්‍රී ලංකාවේ විවිධ නර්තන ශිල්පීන් සමඟ ප්‍රසංගයක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කරමින් යනවා. අම්මා, තාත්තා දෙන්නම ශ්‍රී ලංකාවේ වුණාට මෙහෙ ඉපදිලා ඉගෙන ගන්න සමහරක් දරුවෝ ලංකාව දැකලාවත් නැති පිරිසක් සිටින්නවා. ඔවුන්ට කවදා හරි දවසක ලංකාවේ සංස්කෘතික මංගල්ලයක් සහ නර්තන කලාව සහ ලංකාවේ විවිධ ස්ථාන පෙන්වීම මගේ තවත් අරමුණක්.
මට උදව් කළ සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න