මාලිනි අක්කත් මගේ නමත් අතරේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. “සංගීතා” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මාලිනි අක්ක යි. මගේ නම “සංගීතා” චිත්‍රපටයට තාත්තා දැම්මේ මට තිබුණු ආදරේ වැඩිකමට යි. ඒ නිසා මගේ නමත් මාලිනී අක්කා රඟපෑ ජනප්‍රිය චිත්‍රපටයත් අතර පවතින සම්බන්ධතාව මගේ වයසට සමාන වෙනවා.
මං කුඩා කාලේ පාසල් යන කොට මාලිනී අක්කා මතකයට පැමිණි අවස්ථා බොහොමයක් තිබුණා. මගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේ ම චිත්‍රපට කැමරා ශිල්පියෙක් වුණු නිසා ම නිතර ම කලාකරුවන් මගේ නෙත ගැටුණා. ඒ නෙත ගැටුණු කලාකරුවන්ගෙන් මාලිනී අක්කට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇය සිංහල සිනමාවේ අගරැජින වන බව කුඩා කාලයේදී ම මට ඉවෙන් මෙන් දැනුණා.
එදා ඉඳල ම මාලිනී අක්ක ගේ නො වෙනස්වන ගතිගුණයක් තිබුණා. ඒ නිරහංකාර බව යි. ඒ නිරහංකාර බව ඇය ගේ සිනමා කෘතිවල මැනැවින් ගැබ් වී තිබුණා.
ඇය ගේ ප්‍රථම චිත්‍රපටය වූ “පුංචිබබා” චිත්‍රපටයේ සිට ඇය රඟපෑ සෑම සිනමා කෘතියක ම ඇය ගේ මේ නිරහංකාර රිද්මය දකින්න පුළුවන්.
ඒ වගේ ම ඇය ගේ ජනප්‍රියත්වයටත් මේ නිරහංකාර බව බෙහෙවින් බලපෑව. කවුරු කොහොම කිව්වත් වසර ගණනාවක් තිස්සේ වර්තමානය දක්වා ම ශ්‍රී ලංකාවේ සිටි ජනප්‍රිය ම සිනමා නිළිය මාලිනී ෆොන්සේකා යි.
අඩ සියවසක සිංහල සිනමාවේ හොඳ ම චිත්‍රපටය ලෙස විචාරක ඡන්දයෙන් තේරුණු “නිධානය චිත්‍රපටයේ කතා නායිකාව ද මාලිනී අක්කා වීම විශේෂත්වයකි. එහි ඇය යෙදෙන විශිෂ්ට රංගනයක යෙදුණු එකම නිළිය මාලිනී අක්කා බව “නිධානය” චිත්‍රපටය නරඹන විට හැඟී යනවා.
“ එයා දැන් ලොකු ළමයෙක්”, “සිරිපාල සහ රන්මැණිකා”, “සොල්දාදු උන්නැහේ”, බඹරු ඇවිත් ”, “ආරාධනා”, “ස්ත්‍රී”, “බැද්දේගම”, “මධුසමය”, “සිරි මැදුර” ඇතුළු ඇය රඟපෑ චිත්‍රපට රාශියක ඇය කළ රංගනයන් අති විශිෂ්ට යි. ලෝකයේ ඕනෑ ම නිළියකට සිය දක්ෂතා අතින් අභියෝග කළ නිළියක් බව මාලිනී අක්කා පෙන්නලා බොහෝ කාලයක් වෙනවා. ඇය රංගනයෙන් දායක වූ බොහොමයක් චරිත නිරූපණයන් සම්මානනීයත්වයට පත් වුණා. ඒ වගේ විචාරක ඇගැයිම්වලට ද ලක්වුණා. ඒ සියලුම කාරණාවලටත් වඩා වැදගත් වන්නේ ඇය ගේ චරිත නිරූපණයන් කිසිදාක සිනමා රසික රසිකාවියන් ගේ මතකයෙන් ඈත් නොවීමයි.
චරිත නිරූපණවල දී ඇය ගේ මුහුණේ ඉරියව්, අභිනය චලනයන්, කටහඬ පාලනය යන සකලවිධි අංගයන්ගෙන් ඇය එම චරිතවලට වන දායකත්වය ආධුනික ශිල්පිනියක්ව සිටි කාලයේ මට හොඳ අධ්‍යයනයක් වුණා.
සම්භාව්‍ය චිත්‍රපටවල වගේ ම ජනප්‍රිය සිනමාවේ චිත්‍රපටවලිනුත් මාලිනී අක්කා රසිකයන් අතරට පැමිණියා. “තුෂාරා”, “සංගීතා”, “ආදරේ හිතෙනව දැක්කම”, “වරදට දඬුවම්”, “ සසර චේතනා”, “යස ඉසුරු ” ඇතුළු ඇය රඟපෑ ජනප්‍රිය වර්ගයේ චිත්‍රපට රැසකින් ඒ බව මනාව පැහැදිලි වෙනවා.
ගාමිණී – මාලිනී, විජය – මාලිනී යුග ඇති වීම සිංහල සිනමා කර්මාන්තය පවත්වා ගැනීමට අතරට ගෙනයාමට අත්‍යවශ්‍ය යි. සිංහල සිනමාවේ යුග අතරින් ප්‍රධාන තැනක් හිමි වන්නේ ප්‍රබල හේතුවක් වුණා. සුපිරි නළු නිළි යුවළ බිහි වීම යහපත් සිනමා කර්මාන්තයක් රසිකයින් “ගාමිණී – මාලිනී” සහ “විජය – මාලිනි” යුග වලට යි. එ මඟිනුත් මාලිනී අක්කා සිංහල සිනමාවට කර තිබෙන දායකත්වය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
මල් ගස් වටේ දුවන පනින චරිත වුණත් චිත්‍රපටයේ කතාවට අනුව තාත්වික ව ප්‍රේක්ෂක සිත් තුළ තැන්පත් කිරිමට මාලිනී අක්කාට ඇත්තේ අසීමිත හැකියාවක්.
“සසර චේතනා”, “අහිංසා”, “ස්ති‍්‍ර” ඇතුළු චිත්‍රපට කිහිපයක් ඇය අධ්‍යක්ෂණය කිරිමෙන් සිනමා අධ්‍යක්ෂණයට ද ඇයට හැකියාව තිබෙන බව පෙන්නුම් කළා. සිනමාවෙන් පුංචි තිරයට පැමිණි මාලිනී අක්කා රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් පුංචි තිරයේ කරන පෙරළිය ද සුළුපටු නො වේ.
වචනයේ පරිසමාර්ථාර්ථයෙන් මාලිනී අක්කා දැන් සිනමා නිළියක් පමණක් නො වෙයි. ඇය දැන් බොහෝ ඇසූ පිරූ තැන් ඇතිකල ශිල්පිනියක්. ඒ වගේ ම ජාතික වස්තුවක්. අප සැම ගේ ම යුතුකම උපරිම ආකාරයෙන් ඇයගෙන් තව තවත් කලා කෘති ලබා ගැනීම යි. ඒ වගේ ම අප සියලු ම දෙනාගෙන් ඇයට විය යුතු යුතුකමුත් අප කිසිවිටක අමතක නො කළ යුතු යි.
ආධුනික නළු නිළියන්ට මාලිනී අක්කගෙන් ලැබෙන සහය ගැන මා මේ මොහොතේ සඳහන් නො කළොත් එය මාලිනී අක්කට මම කරන බලවත් අසාධාරණයක්. ඕනෑ ම ආධුනික ශිල්පියකුට නිහතමානී ව තමා දන්නා දෙය කියා දීම පිළිබඳ මාලිනී අක්ක ගේ ගතිගුණයට අප හිස නමා ආචාර කළ යුතු යි.
සම්භාව්‍ය සිනමාවත්, ජනප්‍රිය සිනමාවත් ඉවුරු දෙකක් නම් ඒ ඉවුරු දෙක යා කළ යෝධ පාලමක් වශයෙන් මට මාලිනී අක්කා හඳුන්වන්න පුළුවන්.
මාලිනීගේ දශක හතරක රංග අභිනන්දනය වෙනුවෙන් පළකළ ‘මාලිනියේ’ ග්‍රන්ථයට ලියන ලද්දකි.