Home » ඉරගිනි මද්දහනේ කාංචනා මට අභියෝගයක් වුණා

ඉරගිනි මද්දහනේ කාංචනා මට අභියෝගයක් වුණා

රංගන ශිල්පිනී සුබුද්ධි ලක්මාලි

by Thanushika
April 10, 2025 11:00 am 0 comment

මේ දිනවල විකාශය වන ‘ඉරගිනි මද්දහන’ ටෙලිනාට්‍යය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමුවී ඇති, කලාත්මක ගණයේ නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකියි. එහි ‘කාංචනා’ ගැන ද බොහෝ ප්‍රේක්ෂක, විචාරක කතාබහට ලක්ව තිබේ. ඉරගිනි මද්දහනේ කාංචනා වූයේ ඇයයි. වේදිකාවේ ප්‍රශස්ත රංගන ධාරිතාවකින් සිය ප්‍රතිභාව මුදාහළ ඕ නමින් සුබුද්ධි ලක්මාලිය. සුබුද්ධි, කාංචනා ගැනත් තම කලා දිවියේ ගමන්මඟ පිළිබඳත් කතාකිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.

මේ දිනවල විකාශය වන “ඉරගිනි මද්දහන” ටෙලිනාට්‍යයේ “කාංචනා” ඔබයි. එකී චරිතයට ආරාධනා ලැබුණේ කොහොමද …?

ඔව්, මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ සහාය අධ්‍යක්ෂවරයකු වන චන්දන ඉරුගල් බණ්ඩාර හරහා. ඔහුව මම හඳුනගත්තේ “තට්ටු දෙකේ ඉස්කෝලේ ” චිත්‍රපටයෙන්. ඉන්පසු අධ්‍යක්ෂ ලලිත් රෝහිත අයියාත් මට කාංචනා චරිතය වෙනුවෙන් ආරාධනා කළා. ඔහුත් කීවා මේ චරිතයට සාධාරණයක් කළ හැකි කෙනා ඔයයි කියලා. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන ගමේ ජීවත්වන ගැමි චරිතයක් කියලයි මට ආරාධනා කළේ. ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ උප සංස්කෘතියක්නේ. ඒනිසා මට ඒ චරිතයට ආසාවක් ඇතිවුණා

“කාංචනා” ඔබට දැනුණේ මොන විදිහටද….?

මේක අධ්‍යයනය කළ යුතු චරිතයක්. මේ ටෙලිනාට්‍යය කරන්නේ තරංගා දිසානායකගේ “කඳුළු කුණාටුව ‘ නවකතාව ආශ්‍රයෙන්. මම ඊට පෙර නවකතාව කියවා තිබුණේ නැහැ . කාංචනා මට අභියෝගයක් වුණා. මම කොහොමත් අභියෝග භාරගන්න කැමැති කෙනෙක්. මෙහිදී බාහිර පෙනුමෙන් පවා වෙනස් වුණා. කාංචනා කියන්නේ හොඳ වැදගත් පෙළැන්තියක චරිතයක්. පියාගේ අහිමිවීම එක්ක ඇය ඇඟලුම් රැකියාවකට යනවා. සාමාන්‍ය කෙනකුට වඩා රැකියාවේදී ඇය උඩඟු බවක් පෙන්වනවා. ඒ උඩඟු බව පවුල් පසුබිමින්ම ආ දෙයක්. එසේම ඇය දුර නොසිතන ආත්මාර්ථකාමී චරිතයකුත් වෙනවා. සුබුද්ධි ලක්මාලි චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි කාංචනා කියන්නේ . අපි කුඩා කාලයේ නැරඹූ නිර්මාණවලත් ඇඟලුම් ඛේදවාචකය කතාකළා . ඒත් දැන් ඒ ගැන කතා කරනවා අඩුයි.ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ උප

සංස්කෘතියක්නේ. ඔවුන් රටට විදෙස් විනිමය ගේන පිරිසක්. ගැමි පරිසරයකින් එන අය තමයි ඒ සංස්කෘතියේ ඉන්නේ. ඔවුන් සිල්ලර, සුන්දර දේට ආකර්ෂණය වෙනවා වැඩියි.හැඟීම , ආදරය, හුදකලාව සමඟ මෙහි එන කාංචනාත් අරගල කරනවා. එහිදී ඇය රැවටීමකට ලක්වෙනවා . ඝෘණාත්මක ගතිලක්ෂණ වැඩි චරිතයක්. ඇත්තෙන්ම කාංචනා කියන්නේ සමාජයට හොඳ පණිවිඩයක් දෙන චරිතයක්. මම පෞද්ගලිකව ඒ චරිතයට ආසා වුණා. කොණ්ඩය පීරන විදිහ, අඳීන පලඳීන විදිහ පවා හරිම වෙනස්.මම ඒවට හරි කැමැතියි. මේ චරිතය නිසා ප්‍රේක්ෂකයන් මට බණිනවා ඒ මම චරිතයට සාධාරණයක් කළ නිසානේ . චරිතයක් කරද්දි අපි අපේ චරිත ලක්ෂණ අමතක කරනවා. අපට චරිතයට අනුගත වෙන්න වෙනවා. රංගන ශිල්පියකුට තිබෙන අභියෝගය ඒකයි. අපි එහිදී සවිඥානිකව චරිතය වටහාගන්න ඕනේ. චරිතයට ආවේශවීමක් විය යුතුයි. කට්ටඬියා සහ රංගන ශිල්පියා ආවේශවීම කියන්නේ දෙකක්. කට්ටඬියා සවිඥානිකව නෙවෙයි ආවේශය ගන්නේ. එහෙත් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය චරිතයට ආරූඪ වෙන්නේ සවිඥානිකවයි. “ඉරගිනි මද්දහන” තුළ සෑමවිටම සිටින්නේ කාංචනා මිසක් සුබුද්ධි නෙවෙයි.

කාංචනා නිරූපණයේදී අධ්‍යක්ෂ ඇතුළු පිරිසෙන් ලද සහාය මොනවගේද ….?

ලොකුම සහයෝගය තමයි රංගන ශිල්පිනියක ලෙස මට ඒ චරිතය කරන්න ලබාදුන් නිදහස. අධ්‍යක්ෂ ලලිත් රෝහිත අයියා දන්නවා ඔහු වැඩකරන්නේ අවබෝධයක් සහිත පිරිසක් එක්ක කියලා . ඔහුට ඒ විශ්වාසය තිබූ නිසා ඔහුගේ ඔළුවේ තිබූ දේ කියාදීලා අපට නිදහස දෙනවා චරිතය ප්‍රතිනිර්මාණයට. කැමරාකරණය කළ බුද්ධික මංගලගෙන් ලද සහායත් බොහෝමයි. කැමරා කෝණ හදාගන්න අපට ඔහු දෙන සහාය අගය කරනවා. ඔහුත් නිතර අප සමඟ කතා කරනවා. මේ නිර්මාණය හොඳීන් කළයුතුයි කියා යන අදහස හැමෝටම තිබුණා . මෙහි රූපවල ගුණාත්මකභාවය , චරිතවල

රිද්මය පවත්වාගෙන ඉදිරියට කරගෙනයාමට හැමෝගෙම එකමුතුකම බලපෑවා.

කලා දිවියේ ආරම්භයට ගියොත් ….?

2007 දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ “අග්නි” ඔපෙරාව හරහායි මගේ කලා දිවිය ඇරඹෙන්නේ. එහිදී කේමදාසයන් යටතේ මම ප්‍රාසංගික කලාව හදාරනවා. එය ඔහුගේ අවසන් නිර්මාණය. මම එහි ප්‍රධාන චරිතයක් කළා..මහේන්ද්‍ර පෙරේරා මහතාගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වූ “Star Srilanka  හිස්තැනක් ” හරහායි ටෙලිනාට්‍ය රංගනය අරඹන්නේ. එහි මා රඟපාන්නේ රියැලිටිකරණයට හසුවූ ගමෙන් නගරයට එන තරුණියකගේ චරිතයක් .

ඔබට විශිෂ්ට ගණයේ පිරිසක් සමඟ මුල් අවධියේ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා …..?

ප්‍රාසංගික කලාව හැදෑරීමේදී රංගනවේදී කමල් අද්දරආරච්චි සමඟ වැඩකරන්න ලැබීම හරිම වටිනවා. ඔහුගෙන් බොහෝ දේ ඉගෙනගත්තා. ඒවගේම ජයන්ත චන්ද්‍රසිරි , ජැක්සන් ඇන්තනී වැනි අයගේ ඇසුර ලබන්නටත් මට අවස්ථාව ලැබුණා . එවැනි ප්‍රවීණයන්ගේ අත්දැකීම් ලබාගැනීම මට ඉතා වැදගත් වුණා. ජයන්ත, කමල්, ජැක්සන් කියන්නේ විදෙස් ජාතික නාට්‍යකරුවන්ගෙන් කලාව හදාරා ක්ෂේත්‍රයේ පැමිණි අයනේ. ඒවගේම කේමදාසයන්ගේ ඇසුර ලැබීමට මිල කළ නොහැකි අත්දැකීමක්. ඔවුන්ගේ ඇසුර ලැබීම විශ්වවිද්‍යාල මට්ටමේ දැනුමක් ලැබීම හා සමානයි. 2012දී සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ “ගිරිකුළ” ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණා. එහිදීත් දක්ෂ, ප්‍රවීණ පිරිසක් සමඟ රංගනයේ අත්දැකීම් ලබාගන්න හැකිවුණා. කමල් අද්දරආරච්චි ඇසුරේදී මානසික ඒකාග්‍රතාව පවත්වාගෙනයාමට අවශ්‍ය භෞතික -මානසික ව්‍යායාම් කමල් අයියා අපට ඉගැන්වුවා. Action _ Cut  පරතරය තුළ චරිතයට සවිඥානිකව යන්නේ කොහොමද කියලා කමල් අයියාගේ එහිදී ඉගැන්වුවා. ඇත්තෙන්ම මට ලැබුණු ගුරුවරුන් හරිම විශිෂ්ටයි.

 

වේදිකාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් …..?

ඔව්, ඉහතින් කිව්වා වගේ කේමදාස මාස්ටර්ගේ “අග්නි” ඔපෙරාවෙන් තමයි ප්‍රාසංගික කලාව හැදෑරීම අරඹන්නේ. “අග්නි”හි ප්‍රධාන චරිතය මම කළේ…චරිතයේ නම “මහිපබා”. ඉතා වටිනා චරිතයක්. එය ආසියාතික ගැහැනිය ගැන සංකේතාත්මක චරිතයක් කීවොත් හරි. පසුව “රතු හැට්ටකාරි” සඳහා එක්වුණා. එහි ජ්‍යේෂ්ඨ රංගනවේදිනී අනුලා බුලත්සිංහල කළ චරිතය ඇගේ ආශීර්වාදය සමඟ වේදිකාවේ රඟදක්වන්න ලැබුණා. “මනමේ”නාට්‍යයේ මනමේ කුමරියට ආරාධනා ලැබුණත් එයට සම්බන්ධවීමට නොහැකිවුණා. ඒවගේම කාර්යබහුලත්වය එක්ක “බක්මහ දීගේ” වේදිකා නාට්‍යයත් අතපසුවුණා. “තාරාවෝ ඉගිළෙති” හි “ලොරීටා” චරිතය තරමක්දුරට කරගෙන යනවා. 2019 දී නාට්‍යවේදී එම්. සෆීර් ආරාධනා කළා ඔහුගේ “ඒකපාත්‍ර” නාට්‍යයට. 2020දී “ප්‍රේක්ෂා” නාට්‍ය උළෙල පවත්වනවා. එහිදී ප්‍රසන්නජිත් අබේසූරිය මට ආරාධනා කළා “කුවේණිය” චරිතය රංගනයට. ප්‍රේක්ෂා නාට්‍ය උළෙලට දින 04යි මට පුහුණුවීම්වලට තිබ්බේ. අද වනතුරුත් කුවේණිය චරිතය කරනවා. ඒවගේම පරාක්‍රම නිරිඇල්ලගේ “සෙක්කුව” වේදිකා

නාට්‍යයේ පූරක චරිතය කරන්නේ මම. එය 1975දී ආරම්භ කළ නාට්‍යයක්. මෙහි පූරක චරිතය ප්‍රථමවරටයි කාන්තාවක් රඟදක්වන්නේ. මෙහි හොඳ රංගන ධාරිතාවක් සහිත චරිතයක්. මට එහි ගීත 16ක් ගායනා කරන්න තිබෙනවා. මම ඒ අභියෝගය භාරගෙන දිගටම කරගෙන යනවා..

මුලින්ම කැමරාවකට මුහුණදුන් ඒ අත්දැකීම මොනවගේද ….?

වේදිකාවේ සජීවීව රඟපෑම් කළ නිසා මුල්ම ටෙලිනාට්‍ය රංගනය පහසු වුණා.බයක් නම් තිබුණේ නැහැ . මහේන්ද්‍ර පෙරේරාගේ ටෙලිනාට්‍යයේ වැඩකරද්දි ඔහුගෙන් ලද ගුරුහරුකම් වටිනවා.

පසුගිය සමයේ විකාශය වූ “සකර්ම”හි ලොක්කි කාගේත් කතාබහට ලක්වුණා….?

“ගිරිකුළ” ටෙලිනාට්‍යයට ආරාධනා කළ ප්‍රියන්ත ප්‍රනාන්දු “ඉලන්දාරි හැන්දෑව” ට ආරාධනා කරනවා එහි මීනු චරිතයට . ඊටත් පස්සේ “සකර්ම” සඳහා කතාකළේත් ප්‍රියන්ත ප්‍රනාන්දුමයි. එහි ලොක්කි නමැති චරිතය මම රඟපෑවේ. එය වෙනස්ම ආකාරයේ චරිතයක් . ඒකත් රංගන ධාරිතාව ඉහළින්ම තිබූ හොඳ චරිතයක්. “ලොක්කි” චරිතයට ජූරියේ ඇගයීමේ සම්මානයක් හිමිවුණා . එය මා ලැබූ පළමු සම්මානයයි.

සිනමාව තුළ සුබුද්ධි ලක්මාලිගේ භූමිකාව මොනවගේද …..?

මම සිනමාවට පිවිසියේ උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ “කළුහිම” චිත්‍රපටය හරහායි. නේපාල තරුණියකගේ චරිතයක් එහි නිරූපණය කළේ. උපාලි ගම්ලත්ව හඳුනාගත්තේ කේමදාස මාස්ටර් සමඟ වැඩකරන අවධියේ. 2015දී උපාලි ගම්ලත් අපේ ගෙදර එනවා මේ සඳහා ආරාධනා කරන්න. එහි කාන්තා චරිත තුනක් තියෙනවා , කැමැති චරිතයක් තෝරාගන්නට එහිදී මට නිදහස දෙනවා කිව්වා. මම එහිදී අහන්නේ මට වැඩිපුරම වැඩකරන්න පුළුවන් අභියෝගාත්මක චරිතය මොකද්ද කියලා. “චුන්දා” චරිතය එහිදී ගොඩක් මහන්සි වී කරන්න තිබෙන චරිතයක්. දෙවරක් නොසිතා ඒ චරිතය මම භාරගත්තා. එහිදී හින්දි භාෂාවෙන් කතා කරන්න තිබ්බේ. අයිරාංගණී සේරසිංහ මැතිනිය මගේ ආච්චිගේ චරිතය නිරූපණය කළේ. නේපාලයේ රූගතකිරීම් කළේ. එහි දින 25ක් ගතකිරීම අමතක නොවන අත්දැකීමක්. ඉන්පසු මෑතකදී චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ඒ ගැන ඉදිරියේදී කතා කරමු

සිනමාවේ වත්මන් තත්ත්වය ඔබ කෙසේද දකින්නේ…..?

අද සම්පූර්ණයෙන්ම සිනමාව කඩාවැටිලා කියන්න බැහැ. අද සිනමාව ක්‍රමයෙන් නැඟිටගෙන එන බව පේනවා. එහි සුබවාදී පැත්තක් මම දකිනවා. Short film හරහා අන්තර්ජාතික තලයට යන හොඳීන් වැඩකරන පිරිසකුත් අපට ඉන්නවා. ප්‍රේක්ෂකයන්ටත් සිනමාව ගැන උනන්දුවක් තිබෙනවා . සිනමාශාලා නවීකරණය වීම් ද දැන් වෙමින් තිබෙනවා. නිර්මාණකරුවන් ද චිත්‍රපට නිර්මාණයට පෙලැඹී සිටිනවා. එහෙත් චිත්‍රපට පෝළිම් ප්‍රශ්නය තවම තියෙනවා. “ගුරු ගීතය ” චිත්‍රපටය කළේ “කළුහිම” චිත්‍රපටයටත් කලින්. එහෙත් “ගුරු ගීතය ” ප්‍රදර්ශනය කළේ මෑතකනේ. ඒක නිර්මාණකරුවන්ට කරන අසාධාරණයක්. සිනමාවේ එවැනි ගැටලු විසඳෙන්න ඕනේ. යම් හැදෑරීමකින් යුතුව ක්ෂේත්‍රයට එන පිරිසකුත් අපට ඉන්නවා

රංගන දිවියේ වඩාත් කැමැත්තක් දැක්වූ චරිතයක් තිබේද……?

මම මහා ගොඩාක් රඟපෑවේ නැහැනේ කළ සෑම චරිතයක්ම හදවතින්ම කළා. “ඉලන්දාරි හැන්දෑව” ටෙලිනාට්‍යයේ මීනු චරිතය තුළින් මගේ සම්පූර්ණ හැකියාවන් ප්‍රදර්ශනය වුණ කියා සිතෙනවා. එහිත් මම රඟපාන්නේ ඔපෙරා ගායිකාවකගේ චරිතයක්. එය සංවේදී ගැඹුරු චරිතයක්. එහෙත් එයට නිසි ඇගයුමක් ලැබුණේ නැහැ. “කළුහිම” චිත්‍රපටයේ චුන්දාටත් කැමැතියි. දරාගැනීමේ ශක්තිය තිබෙන පුරුෂයන් අභිභවා යන චරිතයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. ඒවගේම නේපාලයේ හිමේ ලොකු අත්දැකීම් ලැබුවා

රංගනය ගැන යම් හැදෑරීමක් කර තිබෙනවද…….?

දැනට ලංකාවේ එහෙම හැදෑරීමට ඇකඩමි නැහැනේ. දැනට අනෝජා වීරසිංහ මහත්මියගේ සහ මහේන්ද්‍ර පෙරේරා මහතාගේ වැඩමුළු, පන්ති පමණයි තිබෙන්නේ. මම ප්‍රාසංගික කලාව, රංගනය පිළිබඳ ගුරුහරුකම් ගත්තේ කේමදාස මාස්ටර්, කමල් අද්දරආරච්චි වැනි ගුරුවරුන් යටතේ. ක්ෂේත්‍රයේ වැඩකරද්දි තමයි හැදෑරීමක් කරන්නේ. එම්. සෆීර්ගේ නාට්‍යයත් එක්ක අන්තර්ජාතික තරග සඳහා මම විදෙස්ගතවී තිබෙනවා. එවැනි අවස්ථාවන්හි විදේශීය නාට්‍යකරුවන් සමඟ වැඩකරන්න, ඔවුන්ගේ වැඩමුළුවලට සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා. ලංකාව තුළම ඉන්නවට වඩා විදෙස්ගතවී කරන හැදෑරීම් සමඟ අපිත් ක්ෂේත්‍රය පිළිබඳ දැනුමත් සමඟ යාවත්කාලීන වෙනවා. එකී දැනුම මම මගේ නිර්මාණවලට පෙරළා භාවිත කරනවා. ඉගෙනගැනීම නවතා නැහැ . ගායිකාවක ලෙස මගේ හඬ පුහුණුව සිදුකරන්නේ බ්‍රිතාන්‍ය ජාතික ඔපෙරා ගායිකාවක් වන “බාබරා සීගල්” නමැත්තියයි. ඇයත් සෑම වසරකම විදේශීය සංගීතඥයන් ලංකාවට ගෙන්වනවා.ඔවුන් මහාචාර්යවරුන්..ඒ වැඩමුළුවලිනුත් බොහෝදේ ඉගෙනගන්න පුළුවන්. ඒවගේම ඔවුන් අපෙනුත් යම් යම් දෑ ඉගෙනගන්නවා. ඒ අනුව දැනුම හුවමාරුවීමකුත් වෙනවා.

ඔබ සම්මානිත වූ අවස්ථා සිහිපත් කළොත් ……?

සම්මාන උළෙලවල නිර්දේශිත වීම් තමයි මටනම් තිබෙන්නේ. කේමදාස මාස්ටර් සිටියදී ජයන්ත චන්ද්‍රසිරිගේ “සතරදෙනෙක් සෙන්පතියෝ ” ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්න අවස්ථාව ලැබුණා. 2009 වසරේ හොඳම ගායිකාව ලෙස රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී මගේ නම නිර්දේශ වුණා. කේමදාස මාස්ටර් හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස නිර්දේශ වෙනවා. ඒත් ඒ අවස්ථාවේ ඔහු ජීවතුන් අතර නැහැ. ඒවගේම “Star Srilanka හිස්තැනක් ” , ටෙලිනාට්‍යයේ හොඳම නැඟී එන නිළිය දෙවැනි ස්ථානයට එනවා. “ගිරිකුළ” ටෙලිනාට්‍යයේ හොඳම සහාය නිළිය ලෙස රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශ වුණා. “සකර්ම” ටෙලිනාට්‍යයේ රංගනය උදෙසා ජූරියේ ඇගයීම් සම්මානය ලැබුණා . එය තමයි මට ලැබුණු පළමු සම්මානය . 2018දී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙසත් නිර්දේශ වුණා. සිනමාවේ පළමු රංගනය වූ ” කළුහිම” චිත්‍රපටයේ නේපාල තරුණිය වූ “චුන්දා” ජනාධිපති සිනමා සම්මාන උළෙලේ සහ දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට නිර්දේශ වුණා. “Untouch (ඒකපාත්‍ර)” වේදිකා නාට්‍යය හරහා පළමුවරට අන්තර්ජාතික සම්මානයක් වේදිකාවට ලැබෙනවා හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් 50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී මම සහ “ඒකපාත්‍ර” අධ්‍යක්ෂ සුජීව පතිනිසේකර විශේෂ ඇගැයීමකට ලක්වෙනවා. සුජීව පතිනිසේකර ලාංකේය වේදිකා නාට්‍ය කලාවට වසර ගණනක සිට සිදුකරන සේවය උදෙසා එහිදී ඇගයුමට ලක්වෙනවා. ලාංකේය වේදිකාව අන්තර්ජාතික තලයට රැගෙනයාම වෙනුවෙන් එම්. සෆීර් නාට්‍යවේදියා ඇගැයීමට ලක්වෙනවා.

නිර්මාණයකට ආරාධනා ලදවිට එහිදී මූලික වශයෙන් අවධානය යොමුකරන කරුණු තිබෙනවද….?

තිර පිටපත අනිවාර්යයෙන් බලනවා. ආරාධනා ලැබුණම මුලින්ම මම ඉල්ලන්නේ තිර පිටපත. පිටපතේ තමයි නිර්මාණයේ 80%ක් තිබෙන්නේ. අද රංගන ශිල්පියා තෝරාගන්නේ අධ්‍යක්ෂවරයා රංගන ශිල්පියාට නිදහස තියෙන්න ඕන චරිතය තෝරාගන්න. පිටපත බැලුවට පසුව තමයි මට ගෙවන මුදල, කොපමණ කාලයක් වැඩකළ යුතුද කියා තීරණය කරන්නේ. අද මුදල ගැනයි මුලින්ම අහන්නේ… ඒකට මගේ විරුද්ධත්වයක් තිබෙනවා

කලාවට අවතීර්ණ වන තරුණ පිරිස ගැන නොයෙක් විවේචන තිබෙනවා ….?

අවබෝධය සහ හැදෑරීමයි ඔවුන්ට තිබිය යුත්තේ. ඒ දෙකම නැතිව වෙනත් සිල්ලර අරමුණුවලට ක්ෂේත්‍රයට ඒම හරිම අපරාධයක්. තමන් කරන චරිතය ගැනවත් කතා කරගන්න තේරුමක් නැති පිරිසක් අද ඉන්නේ. අපි ජ්‍යේෂ්ඨයන්ට ගරු කරනවා. අද ඉන්න බොහෝ අය උඩඟුකමින් ඉන්නේ. ඔවුන්ට නිසි කියවීමක්, හැදෑරීමක් නැහැ. ඒවා මෙලෝදෙයක් නැහැ. පහත් අරමුණුවලින් එන පිරිස ගැන කනගාටුයි.

අද වේදිකාවේ තත්ත්වය ගැන කතා කළොත් …..?

වේදිකාවේත් හරසුන් නිර්මාණ බහුලයි. ප්‍රේක්ෂකයාට පුහු, හරසුන් රසවින්දනයක් ලබාදී දෙපිට කැපෙන වචන කියා සිල්ලර, බාල රසයක් දීම අද වේදිකාව තුළ අනන්තවත් දකින්න පුළුවන්. ප්‍රේක්ෂක බුද්ධිය මොට කරන බාල ගණයේ නිර්මාණ අද වැඩියි. ප්‍රේක්ෂකයනුත් බුද්ධිමත් වෙන්න ඕන කුමක්ද රසවිඳීන්න තෝරාගත යුත්තේ කියලා. නිර්මාණකරණය හැමෝගේම අයිතියක්.

ලේඛන කලාවට යොමුවෙන්න අදහසක් නැද්ද….?

ලිවීම කුඩා කාලයේ සිටම මගේ ඇඟේ තිබුණා. මගේ අම්මාගේ තාත්තා සීයාටත් ලියන්න පුළුවන්. ඔහු හිටිවන කවි කියන කෙනෙක්. අම්මාටත් හොඳට ලියන්න පුළුවන්. අධ්‍යාපනය ලබන සමයේ පද්‍ය, ගද්‍ය රචනාවලට සම්බන්ධ වුණා. පාසල් සාහිත්‍ය උළෙලවලට එක්වුණා. ඒ හැදෑරීමට පාසලෙන්, දහම් පාසලෙන් ආභාසය ලැබුණා. සමාජ අත්දැකීම් හරහා මගේ සැඟවුණු හැකියාව එළියට ඇවිත් කියා මට සිතෙනවා. ප්‍රස්තුතයක් ලියාගෙන යෑමේ හැකියාව තිබෙනවා. මම ඉංග්‍රීසි බසින් ලිවීම් ද කළා. නැවත ඒ දේ ආරම්භ වෙමින් තියෙනවා. අද ලිවීම යාන්ත්‍රීකරණය වෙලා ජංගම දුරකතනය වැනි දේ නිසා. ලිවීමේ ක්‍රියාවලිය අඩුවෙලා. පෑනෙන් ලිවීමේදී අපේ මොළයෙන් ගතයුතු දේ වැඩියි. මගේ ඔළුවට එන දේ නිසදැසකින් හෝ කවියකින් එළියට දානවා . ඔයා ලියන දේවල් එකතු කර පොතක් ලෙස එළිදක්වන්න කියලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා මට කියා තිබෙනවා

ඉදිරි නිර්මාණ ගැන සඳහන් කළොත් …….?

“ඉරගිනි මද්දහන” ටෙලිනාට්‍යයේ අවසන් රූගතකිරීම් තවම කෙරෙමින් පවතිනවා . “බඹරෙක් ඇවිත්” ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අවසන් කළා. නව ඔපෙරාවක වැඩ පටන්ගත්තා . චින්ගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය ” හරහා සුමුදු පතිරාජ තමයි මෙහි පෙළ ලියා තිබෙන්නේ . පෘථිවි විජේසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. මේ දිනවල එහි රියසල්ස් කරගෙන යනවා…

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT