දඹදිව වංග රාජ්‍යයට ආසන්නව පිහිටි වනාන්තරයයි. වනාන්තරය පාලනය කරන්නේ තාරුණ්‍යයෙන් සපිරුණු හැදි දැඩි පුරුෂයෙකි. සිය දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් පිරිසකගේ නයුවාවය. ඔහු සිංහ රජුයි .මේ නොවැඩුණු පිරිසකි. ගෝත්‍රික ලකුණු බොහොමය. වනාන්තරය පසු කර යන ගැල් ආදිය බලහත්කාරයෙන් නවතා වස්තුව කොල්ල කමින් රජු හා පිරිස දවසරිති. සොළොස් වියැති වංග රජ කුමරියක රජු විසින් සිය භාරයට ගනු ලබන්නේ දුටු සැනින්ම ඇතිවූ ප්‍රේමණීය හැඟීමද නිසාවෙනි. කුමරියද කිසි නොඑකඟතාවකින් තොරව රජු පසුපස රජ මැදුර වන ගල්ලෙන බලා යයි.
සෝමරත්න දිසානායක ‘සිංහබාහු’ මැයෙන් මෙසේ සිනමා තිරය මත පතිත කරන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ සිරිලක වැසියන් හොඳීන්ම දන්නා සිරිලක ඉතිහාසයේ මුල් සමයට අදාළ පුවතයි. මෙහි එන විවාදාත්මක ස්ත්‍රී – පුරුෂ සම්බන්ධතා පළමු කොටම අන් මුහුණුවරකින් ප්‍රකාශ කිරීමට ඔහු උත්සුක වන්නේ සත්තකින්ම වැඩි ප්‍රේක්ෂක පිරිසක් නිරුපද්‍රිතව ඇමතීමේ චේතනාවෙන්ම නොවන බව පෙනේ. සම්මත ඉතිහාස කතා තාර්කිකව හා විද්‍යාත්මකව ව්‍යවච්ඡෙදනයට සූදානම් සහ විකල්ප කියැවීමකට මනාප පාර්ශ්ව වෙතින් නැඟිය හැකි විවේචන හා චෝදනා සේම ප්‍රශ්න කිරීම් බැහැර කිරීමේ අභිලාෂයක්ද මෙතැන තිබේ. නිර්මාණකරුවකුට මෙසේ නව අරුත් සම්පාදනයට ඇති හැකියාව හා අයිතිය උල්ලංඝනය විය යුතු නොවේ. මෙම වාසි සහගත තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිනමාකරු සෝමරත්න දැඩි ප්‍රයත්නයක් දරයි.
පුවත පැමිණෙන සමය නිසිව ප්‍රතිනිර්මාණය අසීරුය යන්න පැහැදිලිය. මෙනිසාම උපකල්පන සඳහා ඇත්තේ පුළුල් අවකාශයකි. කෙසේ වුවද මේ අතීත පුවතක්ය යන හැඟීම අත්හළ යුතු නොවේ. සිනමාකරු සෝමරත්න මෙතැනදී නව පිළිවෙතකට අවතීර්ණ වන සැටියකි. එනම් මේ සිනමාපටය – ‘සිංහබාහු’ තත්‍ය ලොවෙන් වියුක්ත කළ විචිත්‍ර තලයක නොපමාව පිහිටුවීමයි.
සිනමාකරුගේ මෙම උපක්‍රමශීලී පිළිවෙත හේතුවෙන් ‘සිංහබාහු’ හි රූප සංවිධානය සතු යථාර්ථවාදී බව අරභයා නා නා විධ අදහස් පැන නැඟීමට ඇත්තේ අඩු ඉඩකි. ප්‍රේක්ෂකයා ඉක්මනින්ම ‘සිංහබාහු’ රූප පෙළ හා අනන්‍ය වන්නේ සිනමාකරුගේ උක්ත පිළිවෙත වලංගුය යන්න තහවුරු කරමිනි. මෙතැනදී උද්ගත වන වෙළෙඳ අරමුණු සිනමාපටයේ නිෂ්පාදක පාර්ශ්වය සතුටු කරන්නක් වන බව පෙනේ.
විචිත්‍ර රූප සංවිධානය සෑම ආකාරයකින්ම සහතික කරලීම සිනමාපටය පුරාවටම දත හැකිවේ. ස්වභාවික වනාන්තරය පවා තත්‍ය ලොවෙන් වියුක්ත වූ පරිසර පද්ධතියක ලකුණු ගෙන හැර පායි. සිංහ රජු හා පිරිවර උපකල්පන හා අතීත ලකුණු මුසුවූ විලාසයකින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙති. වෙසෙසින්ම ඔවුනගේ ඇඳුම් ආයිත්තම් සිනමාපටයේ විචිත්‍ර රූප සංවිධානය විෂයෙහි කැපී පෙනේ.
මේ මොහොතේදී විද්වත් ප්‍රේක්ෂක ප්‍රජාව සිනමාකරු සෝමරත්න වෙතින් අපේක්ෂා කරන්නේ ඉපරැණි සිංහබාහු පුවතම ප්‍රතිනිර්මාණයට පියවර ගැනීමක් නොවේ. නව අරුතක් හෝ නව අරුත් සමුදායක් සිනමානුරූපීව පළ වනු දැකීමය. මෙබන්දක් අභිනව කතිකාවකට ඇවැසි පසුබිම හා පදනම සකසා ගැනීමට නියත වශයෙන්ම මහෝපකාරී වනු ඇත. සිය ආකර්ෂණීය සිනමා නිර්මාණ පිළිවෙත පවත්වා ගනිමින්ම සෝමරත්න මෙබඳු වර්ධිත අවස්ථාවක් කරා පැමිණෙන්නේදැයි යන්න විමසීම නිරනුමානවම ‘සිංහබාහු’ විමසීමක්ම වේ.
මෙහිදී ඉපැරණි පුවතේ එන විවාදාත්මක සඳහන් කිරීම් ද්විත්වය සිනමාකරු සෝමරත්නගේ පිහිටට එන්නේ යැයි සිතේ. පළමුවැන්න සිංහ රජු සැබැවින්ම සිංහයකු නොවන බවයි. දෙවැන්න ඔහුගේ පුත්‍ර සිංහබාහු හා දියණිය සිංහ සීවලී නිල සොහොයුරකු හා සොහොයුරියක නොවන බවයි. මෙනිසාම සිංහබාහු හා සිංහ සීවලී අතර කායික සම්බන්ධතා ඇතිවීමේ වරදක් නොමැති බවයි සෝමරත්න කියා සිටින්නේ. මේ කරුණු ද්විත්වය ඉක්මවා යාමෙන් අනතුරුව නව අරුතක් හෝ නව අරුත් සමුදායක් ජනනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබේ . සෝමරත්න ‘සිංහබාහු’ හිදී මුහුණ පාන පළමු හා එකම අභියෝගය වන්නේ මෙය බැව් සිහිකටයුතුය.
මේ සඳහා සිනමාපටයේ විචිත්‍ර රූප සංවිධානය ඉවහල් කොට ගන්නට සිනමාකරු සෝමරත්න උත්සුක නොවන සෙයක් පෙනී යයි. ඔහුට ප්‍රමුඛ වන්නේම පිය පුතු ගැටුම පුද්ගලික ආරවුලක් සේ ගෙන ප්‍රේක්ෂකයා සසල කිරීමය. මෙය උද්වේගකර අයුරින් නිරූපණයට ඔහු මහත් සේ වෙහෙස වෙයි. සිනමා අධ්‍යක්ෂණයෙහිලා උපයා ගත් අත්දැකීම් මෙතැනදී ඔහු වෙසෙසින් භාවිත කරන බවද පෙනේ. සිනමාපටය අලස රූප සරණියක් නොවන්නේ සෝමරත්න මෙහිදී පළ කරන වෘත්තීමය බවද නිසාවෙනි. එසේම තමා අමතන්නේ කවර මාදිලියක ප්‍රේක්ෂකයන්ටද යන වැටහීම ඔහු සරි කර ගෙන ඇති සැටියකි. මේ සම්මත පවුලේ ප්‍රේක්ෂකයන්ම නොවේ. සිනමාවෙන් ආස්වාදයක්ම ලබා ගනු රිසියෙන් පසුවන තරුණ ප්‍රේක්ෂක කණ්ඩායම්ද ඔහුගේ ඇමතීමට හසුවන බව දැක ගත හැකිය.
විචිත්‍ර රූප සංවිධානය හා අත්‍යන්තයෙන්ම ගැළපෙන බස් වහරක් උපයෝගී කොට ගැනීමෙන්ද සිනමාකරු සෝමරත්න ප්‍රේක්ෂක මනාපය දිනා ගනී. බස් දෙබස් නොඅසා සිනමාපටය නැරඹීමට ප්‍රේක්ෂකයන් කොහෙත්ම සූදානම් නොවන බව ඔහුට නොරහසකි. තරමක විමසිල්ලෙන් මේ බස් දෙබස් ශ්‍රවණය කළ යුතුය. මේ ඔස්සේ ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර සමීපතා තහවුරු කර ගැනීමද සිනමාකරු සෝමරත්නගේ වුවමනාවකි.
තත්‍ය ලොව නොවීමද නිසා තමනට ලැබෙන නිදහස රිසි සේ භාවිත කිරීමට සිනමාකරු සෝමරත්න නොපැකිළෙයි. සිනමාපටයේ මුල් අවධියේ පටන්ම මෙම නොපැකිළීම විද්‍යමාන වේ. සිංහ රජු හා පිරිවර පැමිණීමත් සමඟම වංග හමුදා ඛණ්ඩය කුමරිය හැරදා සැණෙකින් අතුරුදන් වෙයි. සටනක් ඇත්තේම නැති තරම්ය. වංග කුමරිය, සිංහ රජු හා බැඳෙන්නේ කිසිදු පමාවකින් තොරවය. මං පැහැරීම හා සතුන් දඩයම හැර අන් ආර්ථික කටයුත්තක් සිංහ රාජ්‍යයට නැත.යොවුන් සිංහබාහු හා සිංහ සීවලී වනාන්තරයේ අතරමංව ගල්ලෙනක රැයක් ගත කළද කායික ඇසුරකට යොමු නොවන හැඩකි. තමන් එකම මවකගේ හා එකම පියකුගේ දරුවන් නොවන බව ඔවුන් දැන ගන්නා බවක් නොපෙනේ. සිය රජ උරුමය සහතික වූ පසුවද එය බැහැර කළ නොහැකි කාරණයක් සේ සලකා බැලීමට ඔවුහු නොපෙළඹෙති.
අවසන සිංහබාහු තීන්දු කරන්නේ මව හා සිංහ සීවලී කැටුව ගල් ලෙන බිඳ වනාන්තර රාජ්‍යයෙන් පැන යන්නටය. මේ උණුසුම් අවස්ථාව නිරූපණයේදී සිනමාකරු සෝමරත්න හා ප්‍රේක්ෂක විශ්වාසනීයත්වය අතර බරපතළ ගැටුමක් ඇතිවන බවකි. රජු සිංහයාය. නමුත් සිංහබාහුගේ නියමයෙන් භට පිරිස අවි බිම තබා ඉවත්ව යති. තිදෙනාට නිරුපද්‍රිතව වනාන්තරයෙන් එපිට ලොවට යා හැකි පරිදිය.
කෙසේ වුවද සිංහ රජුගේ ගෝත්‍රික හමුදාව හා සිංහබාහුගේ නූතන හමුදාව අතර අවි ගැටුම ප්‍රවේගවත්ව නිරූපණයට සිනමාකරු සෝමරත්න හැකි සෑම පියවරක්ම ගනී. සිංහ රජු , සිංහබාහු විසින් මරා දමනු ලබන බව ප්‍රේක්ෂකයාට රහසක් නොවේ. එය කුතුහලය පිරි කරුණක් නොවන පරිද හසුරුවාලීමට ඔහු සූදානම් වෙයි.
‘සිංහබාහු’ හි එන මෙම පිය පුතු ගැටුම අද දවසේදීත් නන් අයුරින් දක්නට ලැබෙන්නකි. ඇත්ත වශයෙන්ම මෙය මනුෂ්‍ය ස්වභාවයේම එන එක් ලකුණක් සේ දත හැකිවීම වඩා නැණවත්ය. ඉපැරණි පුවතේ සඳහන් සිංහයකුට දාව මිනිස් දුවක දරුවන් වැදීම හා ව්‍යභිචාරය යන කරුණු බැහැර කළ පමණින් සිංහබාහු නව අරුතක් හෝ නව අරුත් සමුදායක් ගෙන එන වග පැවසීම දුෂ්කරය යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නකි.
සිය අනුශාංගික අංග වෙතින් සිනමාකරු සෝමරත්න සහයක් සේම බාධාද භුක්ති විදියි. කැමරාකරණයේදී විශ්ව බාලසූරිය සිය සුපුරුදු කුසලතා ප්‍රකට කරයි. සංස්කරණය සිනමාකරුගේ හා තිරනාටකයේ රිද්මය හඳුනා ගෙන සිටී. රූපණය විචල්‍යතා සහිතය. අකිල ධනුද්දර හා සජිත අනුත්තර රූප සංවිධානයේ විචිත්‍ර විලාසය හා අනුගත වන්නට යත්න දරති. සිය පූර්ව සිනමා රූපණ ආදියේදී පළ කළ සමත්කම් ‘සිංහබාහු’ කරා රැගෙන ඒමට යශෝධා විමලධර්ම කටයුතු නොකළේ මන්දැයි යන පැනයට පිළිතුරු සිනමාකරු වෙතින්ම ලබා ගැනීම යෝග්‍යය . නවක නිළියනට ප්‍රමුඛ චරිත නිරූපණය කිරීමේ වගකීම සිනමාකරු සෝමරත්න විසින් පවරනු ලැබ ඇත්තේ මන්දැයි යන පැනයද ‘ සිංහබාහු’ මතු කරයි. කිසිදා කිසිදු රූපණයකට නොපැමිණි කුඩා ළමුන් වෙතින් පවා ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීමට සමත් වූ සිනමාකරුවකු වශයෙන් ඔහු පළ කළ පරිචය මෙතැනදී දැකිය නොහැකි වීම අභාග්‍යයකි.
තුසිත ජයසුන්දර