Home » ඉන්දියානු සිනමාවට අපේ පද යෙදූ ගීත රචකයා

ඉන්දියානු සිනමාවට අපේ පද යෙදූ ගීත රචකයා

පොතුවිල් අස්මින්

by Thanushika
May 8, 2025 10:41 am 0 comment

කෙනෙකු තමන්ගේ ගමේ නමින් හඳුන්වනවා යනු එයද එක්තරා අන්දමක අපූරු දෙයකි. පොතුවිල් අස්මින් යනුද තමන්ගේ ගමේ නම තමන් හඳුන්වන්නට යොදා ගත් කලාකරුවෙකි. මේ මොහොත වනවිට ඔහු සංගීත ක්ෂේත්‍රය හරහා මෙරට පමනක් නොව ඉන්දියාවේද අතිශයින්ම ප්‍රචලිත චරිතයක් බවට පත්වී සිටියි. අස්මින් හරහා අපේ රටේ පොතුවිල් ග්‍රාමයද මේ වනවිට ඉන්දියාව පුරාද අන්තර්ජාතික වශයෙන් සංගීත ක්ෂේත්‍රය පුරාද ප්‍රචලිත වි හමාරයි.

කෙසේ වෙතත් අද අපේ කතාබහ යොමු වනුයේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම දකුණු ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍රය පුරාද නමක් දිනා ගත් පොතුවිල් අස්මින් සමඟය.

මේ වනවිට ඇමරිකාවේ ගීත රචනා සංවිධානයේ සාමාජිකත්වය රැගෙන සිටින පොතුවිල් අස්මින් මේ වසරේ දී නිකත් කරන ලද ගිත කිහිපයක්ම ඒ මඟින් පවත්වනු ලබන සම්මාන උලෙළක ට තේරී පත් වී ඇත. ඔවුන් වසරේ හොඳම ගීත රචනය සඳහා වන රන් සම්මාන රිදි සම්මාන ආදී වශයෙන් සම්මාන පිරිනමනු ලබන අතර, මේ සම්මාන සඳහා පොතුවිල් අස්මින් විසින් රචනා කරන ලද දෙමළ ගීතයක් ද නිර්දේශ වී ඇත.

ඇත්තටම මම ඇමරිකාවල තිබෙන මේ ගීත රචනා සංවිධානයේ සාමාජිකත්වය ලබලා තිබෙනවා. 2024 වර්ෂයේ මා විසින් රචනා කරන ලද ගීතයක් ඔවුන් විසින් පවත්වනු ලබන සම්මාන උලෙළක් සඳහා නිර්දේශ වී තිබෙනවා. මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කළේ ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ශ්‍රී කාන්ත් දේවා විසින්. මේ ගීතය ගායනා කළේ ශ්‍රී ලාංකික දෙමළ එක්කෙනෙක් . එයා පදිංචි වෙලා ඉන්නේ ජර්මන්වල. එයාගේ නම මුල්ලෛයි සැසී. මේ ගීතයට නර්තන නිර්මාණය කරලා තිබෙනවා තමිල්නාඩුවේ ජනප්‍රිය නර්තන අධ්‍යක්ෂවරයෙකු වන ශ්‍රීධර් මාස්ටර්. මේ ගීතය පසුගිය වසරේ රිලීස් වුණා. මිලියන අටකට වැඩි පිරිසක් මේ ගීතය දැනට නරඹලා තිබෙනවා. ඉන්දියාවේ මේ ගීතය මේ වෙනකොට හරිම ජනප්‍රියයි. මේ ගීතය තමයි නොමිනේට් වෙලා තිබෙන්නේ හොඳම අන්තර් ජාතික විඩියෝ ගීතය වශයෙන්. මීට කලින් මම ලියපු අයියෝ සාමි ගීතයත් නොමිනේට් වෙලා තිබෙනවා හොඳම ගීත රචනය සඳහා. අගෝස්තු මාසයේදී මේ සම්මාන උලෙළ ඇමරිකාවේදි පවත්වන්නට නියමිතයි. ‘‘

අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකික ගීතරචකයෙකු මෙසේ ගීත සඳහා නිර්දේශ විමද එක්තරා අන්දමකට රටක් වශයෙන් අප ලද සුවිශේෂී භාග්‍යයකි. එම සම්මාන උලෙළ වෙනුවෙන් ඇමරිකාවට ගොස් ඊට සහභාගි විමට අස්මින් බලාපොරොත්තුවෙන් පසු වේ.

අස්මින් යනු මෙරට ගීත රචනා ක්ෂේත්‍රයේ දිගු ඉතිහාසයක් ඇත්තෙකි. ඔහු මෙරට වඩ වඩාත් ජනප්‍රිය වූයේ වින්ඩි ගුණතිලක විසින් ගායනා කරන්නට යෙදුණ අයියෝ සාමි ගීතයත් සමඟය. එහි ගීත රචකයා වශයෙන් පොතුවිල් අස්මින් ගැන කවුරුත් සොයන්නට පටන් ගත්තේය.

අස්මින් ගේ ගම පොතුවිල්ය. ඔහු පාසල් යන්නේ පොතුවිල් මධ්‍ය මහා විද්‍යාලයටය. කුඩා කල පටන්ම ඔහු ලියන්නට , පොත් කියවන්නට රුචිකත්වයක් දැක්වූයේය. ගම පොතුවිල් නිසා ඔහු තමන්ගේ නම ට මුලින් පොතුවිල් කෑල්ලක් යොදා ගත්තේය. ඒ යොදා ගැනුම අද වනවිට ස්ථිර වි අන්තර්ජාතික තලයටද ගොස් හමාරය. අස්මින්ලාගේ පරම්පරාව ආරම්භ වන්නේ ඉන්දියාවෙනි. ඔහුගේ පියා ගේ පියාගේ පියා, එනම් ඔහුගේ සීයා ගේ පියා මෙරටට පැමිනෙන්ණේ ඉන්දියාවේ රාමනාදන් පුරයෙනි. ඔවුන් ලංකාවට පැමිණ පදිංචි වන්නේ පොතුවිල් ප්‍රදේශයේය. අස්මින් ගේ සීයා, අස්මින් ගේ පියා ගෙන් පසු පරපුර ඉපදෙන්නේ ලංකාවේය.

‘‘අපි උත්පත්තිය ලබන්නේම පොතුවිල් ප්‍රදේශයේ. අපේ පළාතේ ඒ කියන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිංචි වෙලා ඉන්න බොහෝ දෙනෙක් කවි කියනවා. මෙහේ ඉන්න දෙමළ අය වගේම මුස්ලිම් අයත් හරියට කවි කියනවා. අපේ ගෙදරත් මේ කවි කියන පරිසරය ඇති වෙලා තිබුණා. අපේ තාත්තාගේ අයියා කවි කියනවා. අපේ තාත්තගේ මල්ලිත් කවි කියනවා. ආභාසයේ හැදුණ අපිත් ඉබේම කවි කියන්න පුරුදු වුණා. මේ කවි කියන්නේ මගුල් ගෙවල්වල, මළ ගෙවල්වල, මොනවහරි ප්‍රශ්නයක් ඇති වුණ අවස්ථාවල, එහෙමත් නැත්තම් අපි කුඹුරු වල වගා කටයුතු කරන අවස්ථාවල. නිකම් කොමඩි විදියට කටට එන දේවල් කියනවා. මේ කවි කවදාවත් කවුරුත් ලියන්නේ නැ. කටට එන කවිපද කියන එක විතරයි කළේ. මේ අපේ පවුලේ ආභාසයෙන් මටත් එහෙම කවි කීමේ හැකියාව ලැබුණා.

මේ කවි කීමට අමතරව මම පොඩි කාලේ ඉඳලා පත්තර කියවන්න හරි රුසියෙක්. නිතරම සින්දු අහන්නත් පෙලඹිලා හිටියා. අපේ ගෙවල්වල උදේ ඉදලා පැය 24 ට රේඩියෝ එක දාල තමයි තිබුණේ. මේවයේ යන ගීත අහල අහලාම පරණ සින්දු ඔක්කොම මට කට පාඩම් වුණා. අනිත් පැත්තෙන් මම විවිධ පොත පත කියවන්න පෙලඹිලා හිටියා. මම විශ්වාස කරනවා මගේ කවි හැකියාව වර්ධනය වෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියලා.

ඒ කාලේ මම උදේට පුස්තකාලයට ගියාම හවසට තමයි ගෙදර එන්නේ. මට දවල්ට කන්න ඕනත් නෑ. මම පුස්තකාලයට වෙලා පොත් කියවනවා. මේ නිසා මගේ දෙමළ භාෂාව හොඳ තත්වයකට ආවා. ඊට පස්සේ මම 1996 ඉදලා තමයි ලියන්න පටන් ගත්තේ.

අස්මින් කවි ලියන්නට පෙලඹෙන්නේ ඔහු නවය වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යයකු අවධියේදිය. ඒ කාලයේ බොහෝ දෙනෙක් ඔහුගේ කවි පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වුවේ නැත. බොහෝ විට මේ කවි විසින් ලියන ලද ඒවාදැයි ඔවුන් විශ්වාස කරන්නටද නැත. ඉන්දියාවේ සිටින වයිරමුත්තු නම් කවියාගේ කවි පිළිබඳ වැඩි නැඹුරුවක් එකල අස්මින්ට විය. ඔහු සිය ගුරු තනතුරේ තබා ගත්තේ වයිරමුත්තු කවියාය. සමහර අවස්ථාවල අස්මින් විසින් ලියන ලද කවි දකිනා ඔහුගේ යහළුවන් ඒ කවි වයිරමුත්තුගේ කියා සිතන තරමට මේ කවි සමාන විය. ඒ කවි හරිම ලස්සනයි කියා අස්මින් ගේ යහළුවන් කිව්වද ඒවා අස්මින් විසින් ලියන ලදැයි ඔවුන් කිසි විටෙකත් විශ්වාස නොකළේය.

මම කවි ලියන්න පටන් අරන් ලංකාවේ තිබුණ ඔක්කොම දෙමළ පත්තර වලට යැව්වා. 2001 දි අෂ්රොෆ් ඇමැතිතුමා මිය ගිය අවස්ථාවේ ඔහුගේ අනුස්මරණයක් වෙනුවෙන් කවි තරගයක් පැවැත් වූවා. මම ඒකට කවියක් ලිව්වා. ඒකට මට පළමුවැනි තැන ලැබුණා. ඒ කාලේ ඒකට මට ත්‍යාග ලැබුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අතින් ඒ සම්මානය ලබා ගත්තේ. ඒකෙන් පස්සේ මට ලොකු ආසාවක් ඇතිවුණා දිගින් දිගටම ලියන්න. ඒකතමයි මගේ පළවෙනි සම්මානය වුණෙත්. ඊට පස්සේ මම කවි පොතක් ලියලා පළකළා. දෙවැනි වරටත් කවි පොතක් කළා. ඒ අතරතුරදි මට විවිධ තරග වලදි විවිධ සහතික සම්මාන හම්බවෙන්න පටන් ගත්තා. ‘‘

අස්මින් ගීත රචනා කරන්නට පටන් ගනුයේ 2008 දි පමණය. 2007 වර්ෂයේදි ශක්ති ටිවි සංවිධානය කළ තරගයක් හරහා අස්මින්ට මේ අවස්ථාව උදා වන්නේය. මේ තරගය නිසා පළමු වතාවට අසමින්ට ඉන්දියානු සංචාරයකට මඟ පෑදෙන්නේය. අස්මින් ගේ ජිවන ගමන සම්පූර්ණයෙන් වෙනස් වන්නේ මේ ඉන්දියානු සංචාරයය. එහිදී ඔවුනට ගීත රචනා කරනුයේ කෙසේද?චිත්‍රපටයකට ගීත රචනා කරනුයේ කෙසේද? යන්න පිළිබඳ සම්පූර්ණ පුහුණුවක් ලැබෙන්නේය.

‘‘මේ පුහුණු කාල සීමාව ඇතුළත මගේ කවි වලට ලොකු ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මම සින්දු ලියන්න පටන් ගත්තේ. ඉන්දියාවේ පුහුණු කාලය ඇතුළත අපි එහේ ඉන්න ඉන්දිය සංගීත අධ්‍යක්ෂවරු, ගීත රචකයෝ මුණ ගැහුණා. අපිට වැඩිපුරම පුහුණුවක් ලබා දුන්නේ චිත්‍රපටයකට කොහොමද ගීත රචනා කරන්නේ කියන කාරණය පිළිබද. මම 2002 ඉඳලා පොතුවිල් වල අධ්‍යාපන ආයතනයක ඉගැන්නුවා. ඒ කාලේ ඒ ශිෂ්‍යයන්ට දෙමළ සින්දුවලට වෙනත් වචන දාලා ගායනා කරන්න ගැන්නුවා. මේ ගීත විවිධ තරග වලට ඉදිරිපත් කළා. මගේ ශිෂ්‍යයෝ ඒ තරග වලට සහභාගි වෙලා ත්‍යාග හිමිකරගෙන ආවා. මම හිතන විදියට මගේ පළමුවෙනි සින්දුව වුණේ අෂ්රොෆ් මැතිතුමා වෙනුවෙන් රචනා කරපු ගීතය කියලයි. ඒ කාලේ මම ගීතය ලිව්වට ඒක සංගීතය කරන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නෑ. මම මගේ අන්කල් කෙනෙකුට කිව්වා මේක සංගීතවත් කරගන්න. එයා මට දුන්න උපදෙස තමයි ඔයා සින්දු ලියලා ගුවන්විදුලි සංස්ථාවට යවන්න කියලා. ඒ විදියට මම ගුවන් විදුලියට ගීත යැව්වට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒ නිසා අපේ පොතුවිල් ගමේ හිටියා සින්දු කියන කෙනෙක් රිස්වි කියලා. එයා මගේ ගුරුවරයෙක්. ඒ මහත්මයාට මම මේ ගීතය දීලා එයා මේ ගීතය කියන්න කිව්වා. මම රෙකෝඩර් එකකුත් අරගෙන ගියා. එයා මේ ගීතය මෙසෙට තට්ටු කරමින් කියන්න ගත්තා. ඒ ගීතය මම රෙකෝඩ් කර ගත්තා. ඇත්තටම ඒක තමයි මගේ පළමුවෙනි සින්දුව වුණේ. ඒක අහනකොට මට ලොකු සතුටක් දැනුණා. මේ ගීතය මේ විදියට කරලා තියාගෙන ඉන්නකාලේ තමයි මට ශක්ති ටිවී එකේ තරගයට යන්න අවස්ථාව ලැබෙන්නේ.

ශක්ති ටිවි එකේදි අපට මාතෘකාවක් දීලා තමයි සින්දු ලියන්න කීවේ. ඒකෙන් අවස්ථාව ලැබිලා තමයි මම ඉස්සරලාම ඉන්දියාවට ගියේ. ‘‘

වසර 2009 දි පොතුවිල් අස්මින්ට ස්වාධීන රූපවාහිනි ආයතනයේ රැකියාවක් ලැබෙන්නේය. මේ කාලය ඇතුළත ඔහු ඉන්දිය සිනමාවේ ගීත රචනය කරන්නට අවස්ථා සොයමින් සිටියද ඒ සඳහා අවස්ථාවක් ඔහුට ලැබෙන්නේ නැත. මහා සිනමාවක අස්මින් වැනි කොල්ලෙකුට කුමන අවස්ථාදැයි සිතමින් ඔහු හිත හදා ගත්තද තම උත්සාහය කිසිදින අත්හලේද නැත. නොපසුබට උත්සාහයට පසු කලෙක ඔහුට වාසනාව ගෙනාවේය. ඉන්දියානු දෙමළ චිත්‍රපටයකට ගීතයක් ලිවිමේ තරගයකින් අස්මින් ප්‍රථම ස්ථානය දිනා ගන්නේය. විජය ඇන්ටනි විසින් සංගීත නිර්මාණය කරන ලද එම ගීතය තප්පලාම් තප්පඉල්ල නම් විය එම ගීතය ඒ චිත්‍රපටය (නාන්) සඳහා තෝරා ගැනිණ. ලොව පුරා ප්‍රචලිත වුණු අස්මින් ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය වූයේ එයයි.

එයින් පටන් ගත් ඔහුගේ ගමන මේ මොහොත වන ඉන්දීය චිත්‍රපට හා දෙමළ චිත්‍රපට සඳහා ගීත 40ක් ඔහු විසින් රචනා කර ඇත. ඉන්දියාවේ මෙම කර්මාන්තය තුළ සිටින එකම ශ්‍රි ලාංකික ගීත රචකයා මෙන්ම එකම මුස්ලිම් ජාතිකයා වන්නේද ඔහුයි.

ලංකාවේ පොතුවිල් අස්මින් වඩා ජනප්‍රිය වනුයේ වින්ඩි ගුණතිලකගේ අයියෝ සාමි ගීතයත් සමඟය. මේ ගිතයේ සංගීතය නිර්මාණය කරනුයේ සනුක වික්‍රමසිංහ විසිනි. මේ ගීතය ලංකාවේ මෙන්ම ඉන්දියාවේද අතිශයින්ම ජනප්‍රිය විය. එසේම ඉන්දියාවේදි සම්මානයටද පාත්‍රවිය. ඉන් පසුව දෙමළ ගීත 10 ක් පමණ මේ වනවිට සනුක වික්‍රමසිංහ සමඟ පොතුවිල් අස්මින් විසින් රචනා කර ඇත.

‘‘ඉන්දියාවේ චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතිනවා ‘බයිලා’ කියලා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක රාසයියා කන්නන්. අධ්‍යක්ෂණය කරන්නේ විර කුමාර්. මේ චිත්‍රපටයට අයියෝ සාමි ගීතයත් ඇතුළත් කරනවා. ඒ වගේම ලාංකේය නිළි මිෂෙල් දිල්හාරා මේ චිත්‍රපටයේ රගපානවා. මම තමයි ඇයව මේකට සම්බන්ධීකරණය කළේ. ඒ වගේම මේ චිත්‍රපටයට ජීවන් කුමාරතුංගත් රඟපානවා. මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරන්නේ සනුක වික්‍රමසිංහ. මෙහි පළවෙනි ෂූටින් ෂෙඩුයුල් එක ඉවරයි. ..‘‘

මම ලංකාවේ චිත්‍රපට රැසකට ගීත රචනා කර තිබෙනවා. දේවින්ද කෝන්ගහගේ ගේ ‘ ගිරිවැසිපුර‘ චිත්‍රපටයටත් ගීත රචනා කරලා තියෙනවා. බිබිලදෙනියේ හාමුදුරුවෝ තමයි සංගීත නිර්මාණය කළේ. මේ අතරම මම කියන්න ඕන මගේ ජීවිත කතාව ලියවිලා තිබෙනවා ඉංග්‍රිසියෙන්. ඒක ඔන් ලයින් ඊබුක් එකක් විදියටත් බලන්න පුළුවන්. මේක ලයිකා ප්‍රඩක්ෂන් සභාපති අල්ලිරාජා සුභාස්කරන් සහ එම මැතිනියගේ සහභාගිත්වයෙන් දොරට වැඩියා ඉන්දියාවේදී. දැන් මම බොහෝ දුරට ජිවත් වෙන්නේ ඉන්දියාවේ. පසුගිය ආර්ථික අර්බුද සමයේ මම ස්වාධින රුපවාහිනියෙන් ඉවත් වෙලා ඉන්දියාවට ආවා. ඇත්තටම මගේ නිර්මාණ කාර්යයන් බොහෝ දුරට තිබෙන්නේ ඉන්දියාවේ නිසා දැන් මම වැඩිපුර ඉන්නේ ඉන්දියාවේ.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT