Home » ඉන්දියානු සමාන්තර සිනමාවේ පුරෝගාමියකුගේ නික්ම යාම

ඉන්දියානු සමාන්තර සිනමාවේ පුරෝගාමියකුගේ නික්ම යාම

by Mahesh
January 9, 2025 12:30 am 0 comment

ඉන්දියානු ජනප්‍රිය සිනමා ධාරාවෙන් (Indian popular cinema) විතැන්ව විකල්ප සිනමාවක් ලෙස ඉන්දියානු සමාන්තර සිනමාව (Indian popular cinema) මහඟු කාර්යභාරයක් ඉටු කරන ආවේණික ලක්ෂණ සහිතව ගතිකබවින් පරිපූර්ණවූවකි. ඉන්දියානු සමාන්තර සිනමාව නොහොත් කලාත්මක ධාරාවේ සිනමාව සැමවිටම පෙනී සිටින්නේ සබුද්ධික ප්‍රේක්ෂකාගාරය වෙනුවෙනි. භාරත සිනමාව තුළ විවිධත්වයක් රැගෙන එමින් විප්ලවීය වෙනසක් ඇති කරන්නට සිය දිවියේ හොඳම අවධිය කැප කළ ඉන්දියානු සමාන්තර සිනමා ධාරාවේ පුරෝගාමියකු⁣ගේ නික්ම යාම සිදුවූයේ පසුගිය දෙසැම්බර් 23 වැනිදා ය. ඒ ශ්‍යාම් බෙනගල් ය. ශ්‍යාම් බෙනෙගල් සිනමාකරුවා මියයනවිට වයස අවුරුදු 90කි. ඔහුගේ ජීවන තොරතුරු පිළිබඳ පිරික්සූ විට ආස්වාදජනක සිනමා ජීවිතයක ප්‍රාරම්භය අපට හමුවෙයි.

ප්‍රේක්ෂකයාගේ වින්දනයට, විඥානය අවදිකරනු වස් බිහි වූ සෙලියුලොයිඩ් පටය සිය ආත්මය කරගත් ‘ශ්‍යාම් බෙනෙගල්’ සිනමාකරුවා උපත ලබන්නේ වර්ෂ 1934 දෙසැම්බර් 14 වැනිදා ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ තිරුමලගිරිහීදි ය. ශ්‍යාම්ට කලාව පිහිටන්නේ පියාගේ ආභාසයෙනි. ශ්‍යාම්ගේ පියා කලාකරුවෙකි. ඔහු⁣ගේ පියා වන ‘ශ්‍රීධර් බෙනේගල්’ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. පියා ජායාරූප ශිල්පියෙකු නිසා ම ශ්‍යාම් විසින් නිර්මාණය කරන කුලුඳුල් කෙටි චිත්‍රපටය රූගත කරන්නේ ඔහු තෑගි කළ කැමරාවකිනි. ශ්‍යාමි තම ප්‍රථම කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවිට ඔහුගේ වයස අවුරුදු 12කි. ඉන්දියානු සිනමාවේ තවත් ප්‍රකට රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වු ගුරූ දත් ශ්‍යාම්ගේ ඥාති සමාගමයකි. ඒ නමුත් ශ්‍යාම් තම සිනමා ගමන ඇරඹුවේ ස්වාධිනව ය. ඔහු ඉන්දියානු ජනප්‍රියවාදී සිනමාව වැලඳගත්තේ නැත. ශ්‍යාම්ගේ කලාත්මක සිනමාවට එන්නත් සැපයෙන්නේ ඉතාලි නව යථාර්ථවාදී සිනමා ප්‍රවාහයෙනි.

ශ්‍යාම් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමට පෙර තිරපිටපත් රචකයකු ලෙස වර්ෂ 1959 දී වසරේ මුමිබායි නගරයේ ‘ලින්ටාස්’ නමි වෙළඳ ප්‍රචාරණ ආයතනයක සේවය කළේය. පිටපත් රචකයකු ලෙස තම අත්දැකීම් එකතු පහදු කර ගනිද්දි වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ශ්‍යාම්ට ආශාව ඇති විය. ශ්‍යාම් තම සිනමා ගමන අරඹන්නේ 1962 වසරේ ගුජරාටි භාෂාවෙන් නිර්මාණය කළ ‘Gher Betha Ganga’ වාර්තාමය චිත්‍රපටය හරහායි. ඉන්පසුව ශ්‍යාම් වෙළඳ ප්‍රචාරණ ආයතනවල තම නිර්මාණාත්මක බව ප්‍රකට කරමින් වාර්තා චිත්‍රපට හා වෙළඳ ප්‍රචාරණ දැන්වීමි වීඩියෝපට 900කට අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරමින් තම නිර්මාණ ශක්තිය මුවහත් කරගත්තේය.

අවුරුදු දහයකින් අනතුරුව ශ්‍යාම් පළමු වෘත්තාන්තමය චිත්‍රපටය අධ්‍යක්ෂණ කර තිරගත කළේය. ඒ වර්ෂ1973 දී නිර්මාණය කළ ‘අංකුර්’ (The Seedling) චිත්‍රපටයයි. ‘අංකූර්’ චිත්‍රපටය ඔහුගේ උපන් ප්‍රදේශය වූ බෙනගල්හි ආර්ථිකමය සහ ගැහැනියගේ ලිංගික සූරාකෑම නිරූපිත යථාර්ථවාදී ආකෘතිය ගත් චිත්‍රපටයකි. මනුෂ්‍ය ගති ස්වභාවයන් සියුම් ලෙස නිරීක්ෂණය කළ චිත්‍රපටයකි. ඉන්දියානු සංස්කෘතිය තුළ පිහිටි කුල භේදයත්, කාන්තාවට එල්ලවන ලිංගික පීඩනය පිළිබඳ විරෝධි සිනමා ප්‍රකාශනයක් ලෙස අන්කුර් හැඳීන්විය හැකි ය. මෙම චිත්‍රපටය හරහා ප්‍රථමවරට හඳුන්වා දුන් නිළි ‘ෂබානා අස්මි’ සහ නළු ‘අනන්ත් නාග්’ කැපී පෙනෙයි. එදවස හැටියට ඉන්දියානු රුපියල් ලක්ෂ පහකින් පමණ නිර්මාණය කළ ‘අන්කුර්’ ආදායම් අතින් සාර්ථක වූයේ ඉන්දියානු රුපියල් කෝට්යක් ඉපැයිමෙනි. 1975 වසරේදී දෙවන හොඳම චිත්‍රපටය සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය දිනා ගැනීමට අන්කූර් චිත්‍රපටය සමත් වීම සහ එම වසරේදී “ෂබානා” හොඳම නිළිය සඳහා ජාතික සම්මානය දිනා ගන්නට හැකි වීම ශ්‍යාම්ගේ සිනමා දිවයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. 24 වන ජර්මනියේ වසරක් පාසා පැවැත්වෙන බර්ලින් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමෙන ‘රන් වලසා’ (Golden Bear) සම්මානයට නිර්දේශ වීමට සමත් වීම ඔහුගේ සිනමා දිවිය තුළ ලැබු පළමු ජාත්‍යන්තර ඇගයුම විය.

ශ්‍යාම්ගේ ‘අන්කුර්’ චිත්‍රපටයෙන් වසර දෙකකට පසුව 1975 වසරේදී නිර්මාණය කළ ‘නිශාන්ත්’ චිත්‍රපටය වැදගත් චිත්‍රපටයකි. එහි කතා පුවත වූයේ ගමට අලුතින් එන පාසල් ගුරුවරයකුගේ බිරිඳ වන ‘සුශිලා’ සමුහ දූෂණයට ලක්වන මිලේචිජ සහගත ක්‍රියාදාමයක් වටායි. සුෂිලා ලෙස රඟපෑවේ ‘ෂබානා අස්මි’ විසිනි. මෙම චිත්‍රපටය හින්දි භාෂාවෙන් නිර්මිත හොඳම චිත්‍රපටිය සඳහා වර්ෂ 1977දී ජාතික චිත්‍රපට සම්මානය දිනා ගැනීමට සමත් වේ. ‘නිශාන්ත්’ චිත්‍රපටය වර්ෂ 1976දී ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ ‘ර්‍ථචතථඥ ඤ’ර්‍ණප’ හෙවත් හොඳම චිත්‍රපටය සඳහා තරඟ වැදීමට ඉන්දියානු නියෝජනය ලෙස තෝරා ගන්නා ලදී. එපමණක් නොව වර්ෂ 1976දී ලන්ඩන් චිත්‍රපට උළෙල, වර්ෂ 1977දී මෙල්බර්න් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ වර්ෂ 1977දී චිකාගෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා තේරී පත් වූ අතර එහිදී එය ‘රන් ඵලකය’ ලබා ගනිමින් ඇගයුමට ලක් වීම සුවිශේෂි වෙයි.

ශ්‍යාමිගේ සිනමා දිවිය තුළ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් කැපී පෙනෙනම ජනප්‍රිය චිත්‍රපටය වන්නේ ‘මන්තන්’ චිත්‍රපටයයි. මන්තන් චිත්‍රපටය නිර්මාණය වීම පිටුපස ආස්වාදජනක කතාවක් තිබෙි. චිත්‍රපටයේ කතා තේමාව වනුයේ ගුජ්රාටයේ කිරි ගොවින් මුහුණ පාන ගැටලුවයි. මන්තන් චිත්‍රපටයේ නිෂ්පාදකයන් වූයේ ගුජ්රාටයේ ලක්ෂ පහක පමණ කිරි ගොවීන් ය. කිරි ගොවියන් විසින් රුපියල් දෙක බැගින් ලබා දුන් මුදලින් ‘මන්තන්’ චිත්‍රපටය නිෂ්පාදනය විය. කිරි ගොවියන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස මන්තන් චිත්‍රපටය ආදායමි අතින් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගන්නට හැකිවන්නේ ද කිරි ගොවියන් නිසාවෙනි. කිරි ගොවියන් සියල්ලම පාහේ මන්තන් චිත්‍රපටය නැරඹූවෙි පොර කමින් බව එදවස පුවත්පත් ලිපිවල වාර්තා වෙයි. ‘මන්තන්’ ඉතිහාසගත වන්නේ සාමුහිකව මහජන මුදලින් චිත්‍රපයක් නිෂ්පාදනය වු පළමු චිත්‍රපටය ලෙසයි.

ශ්‍යාමි විසින් වර්ෂ 1997 දී අධ්‍යක්ෂණය කළ නිළියකගේ ජීවිත කතාවක් වටා ගොඩනැගෙන ‘භූමිකා’ චිත්‍රපටය ද, වර්ෂ 1857දී ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය පාදක කර ගත් ‘බ්භදධධද’ සහ ඉන්දියානු ශ්‍රේෂ්ඨතම කාව්‍යය වන මහා භාරතයේ ආකෘතිය ගත් ‘කල්යුග්’ චිත්‍රපට කිහිපය ද කැපී පෙනෙයි. ශ්‍යාමි විසින් චිත්‍රපටවලින් නොනැවති ටෙලිකතා මාලා නිර්මණයට ද පිවිසිණි. එහිදි ‘භාරත් ඒක් ඛෝජ්’ ටෙලිකතා මාලාව වැදගත් ටෙලි නිෂ්පාදනයකි. ඉන්දියාවේ හිටපු අගමැති ජවහර්ලාල් නේරු විසින් රචිත ‘The Discovery of India’ නමැති ශාස්ත්‍රීය – ඓතිහාසික ශානරයේ කෘතිය පාදක කරගෙන කථාංග 53කින් යුත් ටෙලිකතා මාලාව ශ්‍යාමි විසින් අධ්‍යක්ෂණය කළේය. ඉන්දියානු උප මහාද්වීපයේ වසර 5,000 ක ඉතිහාසය ආවරණය කරන එම ටෙලිකතා මාලාව මහාභාරත⁣ය, රාමායණයේ සිට වර්ෂ 1947 දී බ්‍රිතාන්‍යයන්ගෙන් ඉන්දියාව නිදහස ලැබීමේ ආරම්භය දක්වා අන්තර්ගත වෙයි. මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයට අමතරව කතා රචනය සහ නිෂ්පාදනය සිදු කළේ ද ශ්‍යාම් බෙනගල් විසිනි. එය වර්ෂ 1988 දී රජය සතු ‘දූර්දර්ශන්’ නමැති රජයේ නාලිකාව හරහා විකාශනය කෙරිණ.

ශ්‍යාම් විසින් තම සිනමාපට නිර්මාණ කාර්යය හරහා ග්‍රාමීය පීඩනය පිළිබඳ ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කළහ. මිනිස් සිතේ ඇතිවන සංකීර්ණ සිතුවිලි දාමයන් ද, මනුෂ්‍ය සබඳතාවල ඇති අති සංකීර්ණ ස්වරූපය චිත්‍රපටවලට තේමා විය. ශ්‍යාම් විසින් භාරත සිනමාවට සිදු කළ අපමණ මෙහෙය වෙනුවෙන් 2005 වසරේ දී සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් පිදෙන ඉන්දියාවේ ඉහළම සම්මානය වන ‘දාදාසාහේබ් පාල්කේ’ සම්මානයෙන් පිදුම් ලැබීය. 1976 වසරේදී ඔහුට ඉන්දීය රජය විසින් සිව්වන ඉහළම සිවිල් ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබූ අතර, 1991 වසරේදී, ඔහුගේ දායකත්වය වෙනුවෙන් තුන්වන ඉහළම සිවිල් ගෞරවය වන පද්ම භූෂණ සමිමානයෙන් පිදුම් ලබන්නට සමත් වේ. පසුගිය දෙසැම්බර් 23 වැනිදා ශ්‍යාමිගේ 90 වැනි උපන්දිනයෙන් දින නවයකට පසුව ඔහුගේ දිවිසැරිය නිමාවට පත් වේ. ඒ ඔහු කලක පටන් වකුගඩු රෝගී තත්වයකින් පෙළුණු බැවිනි. වසර 90ක් ජීවත්ව සිටීම ඔහු ලැබු භාග්‍යසම්පන්නභාවය ප්‍රකට කරන්නකි. සිනමාව නමැති පුංචි කවුළුවෙන් ප්‍රේක්ෂකයාට සමාජය දෙස පුළුල් දර්ශනයක් විවර කළ ශ්‍යාමි බෙනෙගල් නමි අදියුරු සිනමාකරුවා දැමු ශක්තිමත් පදනමින් ඔහු මඟ ගිය බොහෝ අංකුර සිනමාකරුවන් සමකාලීන ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කරමින් සිටින බවත් කිව යුතුම ය.

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT