– මට ඕනෑ වුණේ හොරර් තීම් එක ඇතුළේ මනෝවිද්‍යාත්මක පසුබිමක් ගේන්න
– සිනමාව හැමවිටම ප්‍රේක්ෂකයා හුෙදකලා කරලා ලබා දෙන දෙයක්
– මම විශ්වාස කරන්නේ සිනමාවෙන් කිසියම් පණිවිඩයක් වගේම විනෝදාස්වාදයකුත් ලබා දිය යුතුයි කියලා
– මගේ මුලික අරමුණ ප්‍රේක්ෂකයන් සමඟ ගනුදෙනුවක් හදා ගැනීම පමණයි
– සම්මාන බලාගෙන චිත්‍රපට කරන්නට මට අවශ්‍යතාවක් තිබුණේ නෑ
විශ්වවිද්‍යාල සිසු සිසුවියන් යනු ජිවිතයේ බොහෝ අපේක්ෂාවන් පෙරදැරි කර ගනිමින් ජිවිතය විඳීන කණ්ඩායමකි. තම අධ්‍යාපන අවස්ථාවන් සරි කර ගන්නවා සේම යොවනයේ හිණිපෙත්තේ පසුවන ඔවුන් තමන්ගේ ආදරණිය අපේක්ෂාවන්ද මෙහිදී මුදුන් පමුණුවා ගැනිම ස්වභාවිකය. මෙවන් සිසු කණ්ඩායමක් සමඟ විෂයානුබද්ධ සමික්ෂණයක් සඳහා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු ‘මල්විල ෆාම්’ නම් වනගහනයෙන් සහ දුර්ලබ ගණයේ ශාක ගහනයකින් යුතු අලංකාර පරිසරයකට පැමිණේ.
ජිවිතයේ විවිධ වු බලාපොරොත්තු සමඟ මේ ගමනට එක්වන මෙම තරුණ පිරිසට එහිදි මුහුණ දෙන්නට සිදුවන්නේ අද්භූත අත්දැකීම් සමුදායකටය.
එක්තරා හිමිදිරි පාන්දරක ඇරඹෙන ඔවුනගේ දිනය එක් රාත්‍රියක් අවසන් වනවිට සියලු දෙනාගේ ජිවිත බිලිගන්නා අදෘශ්‍යමාන හස්තයකට නතු වේ.
එසේ වීමට හේතුව කුමක්ද?
එය දැනගැනීමට නම්, මේ දිනවල ප්‍රදර්ශනය වන රොෂාන් කුරුප්පු අධ්‍යක්ෂණය කළ ‘මල්විල ෆාම්’ චිත්‍රපටය නැරඹිය යුතුය.
රොෂාන් කුරුප්පු ගේ ප්‍රථම සිනමා අත්දැකීමවන මෙය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා හතළිහක පමණ තිර ගත වේ. තම කුලුඳුල් සිනමා නිර්මාණය තිරගත වන මොහොතක සිනමාව පිළිබඳත්, මල්විල ෆාම් චිත්‍රචිත්‍රපටය පිළිබඳත් කතා බහකට පසුගිය දිනක අපි රොෂාන් හමු වුණෙමු.
ඔබේ පළමු සිනමා නිර්මාණයේ පසුබිම සැකසුණේ කොහොමද?
මේ කතාවට පාදක වෙන්නේ මනුෂ්‍යයන් තුළ ඇති වන්නාවූ මනෝ මූලික පදාර්ථයන් කේන්ද්‍ර කර ගත් සිද්ධි දාමයක් තුළින් සිදුවන අත්භූත සිදුවීම් මාලාවක්. මේ හැම සිද්ධියක්ම හැමවිටම අනපේක්ෂිතයි. කතාව මම ගොඩනඟන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වටායි. මහාචාර්ය කරලියැද්ද ඇතුළු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිස මල්විල ෆාම් වෙතට එන්නේ තෘණ වගාව පිළිබඳ පර්යේෂණයක් කිරීම සඳහායි. මේ පිරිසට මේ ෆාම් එක ඇතුළතදි සිදුවන අද්භූත ක්‍රියාදාමය තමයි මුළු චිත්‍රපටය පුරාම විහිදෙන්නේ.
මේ වස්තු බීජය ඔබ තුළ ඇති වෙන්නේ කොහොමද?
ඇත්තටම මම පාසල් යන කාලේ ඉඳලම චිත්‍රපටය පිළිබඳ ලොකු උනන්දුවකින් කටයුතු කරපු කෙනෙක්. නමුත් මම මුලින්ම පිවිසෙන්නේ සිනමා මාධ්‍යයට නොවෙයි. ටෙලිනාට්‍ය මාධ්‍යයට. ඔහොම ඉන්න අතරතුර තමයි මට නිමල් ලක්ෂපතිආරච්චිව මුණ ගැහෙන්නේ. අපි අතර බොහෝ හිතවත්කමක් තිබුණා. අපි නිතර හමුවුණා. සාකච්ඡා කළා. ඒ කාලයේ තමයි අපි චිත්‍රපටය ගැන බොහෝ දේවල් සාකච්ඡා කරන්න ගත්තේ ඒ කාලේ ඔහු අපිට නිතරම කියපු දෙයක් තමයි ඉස්සරහට ඩිජිටල් එන්නේ ඒ නිසා ඒවට සූදානම් වෙන්න කියන කාරණාව. ඩිජිටල් එකට මොනව හරි කරන්න ලෑස්ති වෙන්න කියලා ඔහු නිතරම කියපු දෙයක්. එයා කියපු අදහසට අනුව තමයි මම මේක කරන්න පටන් ගත්තේ.
මම දවසක් තණමල්විල පැත්තේ ගියා වාර්තා චිත්‍රපටයක් කරන්න. ඒ ගියාම අපිට නතර වෙන්න ලැස්ති කරලා තිබුණේ සර්වෝදය ගොවිපලේ. ඒක ඉස්සර ඉතාම සශ්‍රිකව තිබුණු ස්ථානයක්. අපි එතැනට යනකොට ඒක අතහැරලා දාලා හුදකලා වුණු තැනක් බවට පත්වෙලා තිබුණා. අපේ වැඩේ කරන්න පටන් ගත්තත් පළවෙනි දවසෙම අපේ කැමරා එක කැඩුණා. ඉතින් කොළඹින් කැමරා එකක් එනතුරු අපිට එහේ ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ වෙලාවේ මම කළේ මේ ගොවිපළේ ඇවිදලා මෙහි සුන්දරත්වය නරඹපු එක. ඒ මොහොතේ තමයි මගේ කල්පනාවට ආවේ මේක පසුබිම් කරගෙන කතාවක් කළොත් හොඳයි කියලා. මේ ගොවිපළ පදනම් කරගෙන හොරර් ෆිල්ම් එකක් කළොත් හොඳයි කියන අදහස ආවේ එතකොටයි. ඒ අනුව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.
මල්විල ෆාම් තිරරචනයක් ඔබගේමද?
මගේ කන්සෙප්ට් එකකට තමයි කළේ නමුත් තිර රචනය ලිව්වේ ප්‍රියංකර විජේසේනයි.
ත්‍රාසය භීතිය කුතුහලය සමඟ දිවෙන මෙවැනි නිර්මාණ ලාංකික සිනමාවට කෙතරම් සුදුසුද යන්න පිළිබඳ ඔබට අදහසක් තිබුණද?
ඇත්තටම හොරර් ෆිල්ම් කියන එක ලෝකයේ ජනප්‍රිය ශානරයක්. ලංකාවෙත් එවැනි චිත්‍රපට නොහැදුණාම නොවෙයි. නමුත් එයට විශේෂිත වූ තැනක් ලංකාව තුළ හැදුනෙ නෑ. අපි හිතොවොත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ ගැන. ඒකත් ටිකක් හොරර් ටයිප් චිත්‍රපටයක්නේ. නමුත් ඒවා අපි ගත්තේ වෙන විදියකට. ලෙනින් මොරායස් ගේ අතින් වුණත් මේ ගණයේ චිත්‍රපට හැදිලා තියෙනවා. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ‘මහගෙදර’ චිත්‍රපටය ගත්තත් මේ ගණයේ ලක්ෂණ තිබෙනවා. වර්තමානයේ මේ සියල්ලම එක ගොන්නක නිර්මාණ හැටියට තමයි එළි දකින්නේ. අපිට ඕන වුණේ ඒ වගේ සිනමාවක් නොවෙයි. ඉන් වෙනස් වු සිනමා නිර්මාණයක් කරන්න. ඒක නිසා තමයි මම මේ වගේ හොරර් චිත්‍රපටයක් කරන්න හිතුවේ. මිනිස්සුන්ට දනවන්න කියන කාරණාව මේ හරහා වැඩියෙන් කරන්න පුළුවන්. මේක හොරර් චිත්‍රපටයක් වුණාට මේක ඇතුළේ අපි මරන දර්ශන පෙන්වන්නේ නෑ. මට ඕන වුණේ හොරර් කියන තීම් එක ඇතුළේ මනෝවිද්‍යාත්මක පසුබිමක් ගේන්න. මට ඕන වුණේ මේ හරහා කිසියම් පණිවිඩයක් සමාජයට දෙන්න. මගේ ස්ටයිල් එක හොරර් වුණාට සමාජ විද්‍යාත්මක කාරණාවක් තමයි මේ හරහා කතා කරන්නේ.
රොෂාන් කුරුප්පු මේ රටේ ප්‍රේක්ෂක ජනතාව හඳුනා ගන්නේ ටෙලිනාට්‍ය මාධ්‍ය හරහා. අපි ඒ අතීතයට ගියොත්?
මම ඉස්කෝලෙ යන කාලේ ඉඳලම කලාවට කැමැති කෙනෙක්. සංගීතය කළා බෑන්ඩ් ගැහුවා. චිත්‍ර ඇන්දා. ඒ කාලේ මගේ හීනය වුණේ කලා අධ්‍යක්ෂවරයෙක් වෙන එක. ඒ කාලේ මම තනියම ගිහින් චිත්‍රපට බලනවා. ඔහොම ඉන්න අතරේ තමයි මම විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ ආවට පස්සේ තමයි මට නිස්කෝ වීඩියෝ ආයතනය හම්බ වෛන්නේ.
ඔබ විශ්වවිද්‍යාලයට එන්නේ කලා අපාධියක් කරන්නද?
ඔව් මම සිංහල විශේෂවේදි උපාධියක් කළේ. විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තත්, සාමාන්‍යයෙන් කලා උපාධියට ලැබෙන්නේ ගුරුවෘත්තියක් වෙන්න පුළුවන්. මට ඕන වුණේ ඉන් එහා යන ගමනක්. ඉතින් මට අහම්බෙන් හම්බවුණු නිස්කෝ වීඩියෝ එකෙන් මම ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මාධ්‍ය පැත්තට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම තමයි මේ ගමන පටන් ගන්නේ.
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙන්නේ කොහොමද?
ඉස්සරලම මට අවස්ථාව සැලසෙන්නේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරන්න. ඒ වෙනුවෙන් මට ඕසි අයි සි සම්මාන උළෙලින් හොඳම සහය අධ්‍යක්ෂක වශයෙන් සම්මානයටත් පාත්‍ර වෙනවා. මම ටෙලි නාට්‍ය තිස් ගණනකට සහාය අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂනයට පිවිසෙන්නේ. මම හිතන්නේ ඒ 2003 වර්ෂයේදී.
රූපවාහිනි මාධ්‍යය සහ සිනමා මාධ්‍යය රොෂාන් හඳුනා ගන්නේ කොහොමද? මේ මාධ්‍යය දෙක පැහැදිලිවම මාධ්‍ය දෙකක්. දෙකම විෂුවල් මාධ්‍ය දෙකක් වුණාට පැහැදිලි වෙනස් කම් දකින්නට තිබෙන මාධ්‍ය දෙකක්. සිනමාව හැමවිටම ප්‍රේක්ෂකයා හුදකලා කරලා ලබා දෙන දෙයක්. නමුත් රූපවාහිනිය පොදු ප්‍රේක්ෂක හවුලක් සමඟ නැරඹිය හැකි මාධ්‍යයක්. වස්තු විෂය වුණත් මේ මාධ්‍ය දෙක වෙනුවෙන් තෝරා ගැනිමේදි පැහැදිලි වෙනස්කම් තිබෙනවා. ටෙලිවිෂනයේ තිබෙන ඇදෙන ගතිය සිනමාවේ දකින්න නෑ.
රොෂාන් ගේ සිනමා රසිකත්වය වර්ධනය කර ගන්න හේතු සාධක කර ගත්තේ මොනවද?
විශේෂයෙන් මම නරඹපු විදේශිය චිත්‍රපට. දේශිය චිත්‍රපටත් මේ අතර තිබෙනවා. ලාංකික සිනමාවේ මම ධර්මසේන පතිරාජගේ සිනමා භාවිතයට කැමැතියි. අනිත් පැත්තෙන් බයිස්කෝප් කියන කාරණාවත් සමඟ මම ලෙනින් මොරායස් ගේ සිනමාවටත් කැමැතියි. සිනමාව කියන මාධ්‍ය තුළින් එක පැත්තකින් කිසියම් පණිවිඩයක් වගේම විනෝදාස්වාදයකුත් ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ දෙක බැලන්ස් වුණොත් විතරයි මේක ඉස්සරහට ගමන් කරන්නේ. මගේ මුලික අරමුණ වුණේ ප්‍රේක්ෂකයන් සමඟ ගනුදෙනුවක් හදා ගැනීම පමණයි. එහෙම නැතුව සම්මාන බලාගෙන චිත්‍රපට කරන්නට හෝ විදේශීය රටවල් ඉලක්ක කරගෙන චිත්‍රපට කරන්නට හෝ මට අවශ්‍යතාවක් තිබුණේ නෑ.
ඔබේ චිත්‍රපටයේ බිමල් ජයකොඩි ඇතුළු නළුනිළි පිරිස ගැන කතා කළොත් ?
ඇත්තටම බිමල් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන මහාචාර්යවරයාගේ චරිතය වෙනුවෙන් මම තෝරගත්තේ. ඒකට මනා පෙනුමක් පෞරුෂයක් තිබෙන තරුණ නළුවෙකුයි මට ඕන වුණේ. ඒකට බිමල් හොඳටම ගැළපුණා. බිමල් සමඟ මල්විල ෆාම් වෙත යන විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යයන් ටික මම තෝර ගත්තේ ඒ කාලේ රංගනය පිළිබඳ හදාරමින් සිටි පිරිස් අතරින්. එදා ඔවුන් ආධුනික නළුවන් වුණාට අද වනවිට ඔවුන් බොහොමයත් දෙනාම රංගන ක්ෂේත්‍රෙය් කිසියම් දුරක් ගමන් ගත්ත පිරිසක් බවට පත් වෙලා තිබෙනවා.
ඉස්සරහට ඔබ සිනමාවේ ඉන්නද බලාපොරොත්තුව?
ඇත්තටම ඔව්. දැන්වෙනකොට ටෙලිවිෂන් කලාව කියන එක සමාජයෙන් වියැකෙමින් යන කාලයක්. අපේ රටේ වුණත් බොහෝ දෙනා දැන් ටෙලිවිෂනයෙන් ඈත් වෙලා ඉන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්ක බොහෝ දෙනෙක් තමන්ට අවශ්‍ය දෙයක් ජංගම දුරකතනය හරහා නරඹන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මම හිතනවා තව දුරටත් රූපවාහිනි නිර්මාණ කිරීමෙන් පලක් නැතිවෙනවා. ඒ නිසා තවත් සිනමා නිර්මාණයක් කරන්න තමයි බලාපොරොත්තුව. ඉස්සරහට චිත්‍රපටයක් කරන්න මේ දවස්වල ප්ලෑන් කරමින් ඉන්නවා.
හේමාලි විජේරත්න, සේයාරූ - නිශ්ශංක විජේරත්න