නිවස කළා පුවත් ඇන්තනි පේජ් දිවිසැරියට සමුදෙයි

ඇන්තනි පේජ් දිවිසැරියට සමුදෙයි

by Thanushika
September 5, 2024 12:25 am 0 comment

මෙරට ප්‍රමුඛ පෙළ ව්‍යවාසයකුව සිටි ඇන්තනි අශෝක් කුමාර් පේජ් පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත විය. ඔහුට අශෝක්කුමාර් යැයි නම් ලැබුණේ මෙරට දෙවැනි කතානාද චිත්‍රපටය වූ අශෝකමාලා නිසා යැයි පැවසේ. එය නිපදවූයේ ඔහු පසුකලක සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින්ය. ඔහු දේශිය සිනමා ව්‍යාපාරය ගොඩ නැගූ සීමාසහිත සිලෝන් තියටර්ස් සම නිර්මාතෘ චිත්තම්පලම් ඒ්.ගාඩිනර් ගේ මුනුපුරාය.

සී.ටී.ෆිල්ම්ස් නමින් සිලෝන් තියටර්ස් අනුබද්ධිත නව නිෂ්පාදන සමාගමක් බිහිකළ ඔහු එමඟින් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළේය. එහි මුල් චිත්‍රපටය ආචාර්ය මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ස්ත්‍රි චිත්‍රපටයයි. දෙවැනුව ශ්‍රියාණි අමරසේන නිෂ්පාදනයක් වූ එ‍ච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ කුලගෙය චිත්‍රපටයයි. තෙවැන්න යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ප්‍රතිඥා ය. සිලෝන් තියටර්ස් සමාගමේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු සක්මන් මළුව නිෂ්පාදනය කරන ලද්දේ සුම්‍රිත්‍රා පීරිස් ගේ අධ්‍යක්ෂණයක් හැටියටය. කුලගෙය මෙන්ම සක්මන් මළුව ද හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය දිනා ගැන්මට සමත්විය. 2000 වසරේ දී මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය යළි පෞද්ගලික අංශයට පැවරීමේ කාර්යයේ දැවැන්ත මෙහෙයුමක් කළ අය අතර ඇන්තනි පේජ් ද එක් අයෙකි. ඒ වෙනුවෙන් මෙරට මුල්ම චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් තුන (සිලෝන් තියටර්ස්, සිනමාස්, සිලොන් එන්ටර්ටේන්ට්මන්ට්ස්) ඒ්කාබද්ධව ආරම්භ කළ සී.(සිනෙ) ඊ.(එන්ටටේන්ට්මන්ට්ස්) එල්, (ලිම්ටඩ්) ආරම්භක කලමණාකාර අධ්‍යක්ෂ ධුරය දැරුවේ ද ඔහුය.

මෙයට එකොළොස් වසරකට පෙර සිදු වූ හදිසි අනතුරකින් පසු ගෙවුණු කාලයම ඔහු ගත කළේ මරණයත් ජීවිතයත් අතර කෙස් ගසක පරතරයක් තබා ගනිම්න්ය. ඒ කාලය ඇතුළත ලෝකයේ බොහෝ දේ සිදුවුව ද ඔහු ඒ ගැන දැන සිටියේ නැත. රීගල් අලුත් සිනමාහල් ඉදිවුණ වගක් හෝ ව්‍යාපාර පරිවර්තන ද ඔහුට දැනුණේ නැත. 1948 වසරේ මාර්තු 21 වැනි දින උපත ලද ඔහු උපදින සමයේ ඔවුන්ගේ සමාගම මඟින් නිපද වූ දෙවැනි චිත්‍රපටය කපටි ආරක්ෂකයා තිර ගත වෙමින් තිබිණ. මියයන විට 76 වියේ පසුවූ අතර අවසන් කටයුතු පසුගිය දින පවුලේ ඥාතීන් හා ව්‍යාපාරික ප්‍රජාව, කලාකරුවන් සහ විශේෂ ආරාධිතයන් පිරිවරා බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT