අතීතයේ කාන්තාවන්ට, තරුණියන්ට සමාජයේ ගැවසීමට එතරම් ඉඩක් තිබුණේ නැත. නිවසටම කොටුවී තම මව්පියන් යටතේ හෝ වැඩිමහල් සහෝදරයන්ගේ අණසකට යටත්ව ජීවත්වීමට සිදුවිය. ඒ හේතුවෙන් ඔවුන්ගේ නිර්මාණ හැකියාවන්, ඔවුන් සතුව තිබූ විවිධ වූ දක්ෂතාවන් සම්පූර්ණයෙන්ම යටපත් විය.
එහෙත් වර්තමානය එයට හාත්පසින් වෙනස් වී ඇත. සීමා මායිම් බිඳ සමාජයේ නොයෙක් අංශයන්ට යොමුවීමට අද කාන්තාවන්ට, තරුණියන්ට හැකිවී ඇත. රටක් රාජ්‍යයක් පාලනය කිරීමට තරම් වත්මන් කාන්තාව ශක්තිමත් වී ඇත.
තම නිර්මාණ හැකියාවන් වර්ධනය කරගනිමින් වත්මන් තරුණියන්, කාන්තාවන් දිනෙන් දින වේදිකාවට, සිනමාවට, ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වීමට පටන් ගෙන ඇත. එය අගය කළයුතු කරුණකි. සිනමාවේ කිවිඳීය ලෙස විරුඳාවලිය ලත් අන්තර්ජාතික ඇගැයුමට පවා ලක්වූ ආචාර්ය සුමිත්‍රා පීරිස්, කාන්තාවක් ලෙස හෙළ සිනමාව වෙනුවෙන් කළ මෙහෙය අති මහත්ය. සිනමා අධ්‍යක්ෂණයෙන් සම්මානනීය චරිතයක් වීමට ඇයට හැකිවූවාය. පළමු නිළි රැජින රුක්මණී දේවියගෙන් ගෙන් පසු එම කිරුළට හිමිකම් කී නිළි රැජින මාලීනී ෆොන්සේකාද අධ්‍යක්ෂවරියකි. සිනමාවට කාන්තා දායකත්වය අවශ්‍යමය.
පසුගිය දිනයක සිංහල සිනමා තිරයේ මැවුණු 69 (සික්ස්ටිනයින්) චිත්‍රපටය සමාජයේ කතාබහට ලක්වූ චිත්‍රපටයක් විය. වියපත් මිනිසෙකුගේ මානුෂීය හැඟීම් පිළිබඳ කතා කෙරෙන 69 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ වින්ද්‍යා හාරිස්පත්තුව විසිනි. ඇය අභියෝග භාර ගැනීමට කැමති චරිතයක් ලෙස ඇය විසින්ම ඇයව හඳුන්වා දුන්නාය.
මම කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරමින් තමයි සිනමාවට පිවිසියේ. ඒ කෙටි චිත්‍රපට දෙක 2020 දී An Anoetomist සහ 2023 දී Let him sleep එම කෙටි චිත්‍රපට දෙක කෑන්ස් කෙටි චිත්‍රපට උළෙල සඳහා නිර්දේශ වුණා. මම මුලින්ම අධ්‍යක්ෂණය කළ නිර්මාණ දෙකම එවැනි සිනමා උළෙලකට තිරගත වීම මගේ සිනමා ජීවිතය ඉදිරියට ගෙන යාමට රුකුලක් වුණා.
මගේ පාසැල් කාලයේ නාට්‍ය පිස්සියක්. පන්තියේ වැඩ මඟ හැරල මම රඟපෑම්, කලා කටයුතු වෙනුවෙන් කාලය ගතකළා. ඒ නිසා පංතියේ සටහන් සම්පූර්ණ කරන්න බැරිවුණා. ඒ දවස්වලට මගේ පොත් ගියේ උඩින්. මම ඉගෙන ගත්තේ බාලිකා පාසැලක නිසා නාට්‍යවලදී පිරිමි චරිත සඳහා වැඩියෙන් පෙනී සිටියේ මම. රජ චරිත, දඟකාර පිරිමි චරිත තමයි මට රඟපාන්න ලැබුණේ. වේදිකාවෙන් මම සමස්ත ලංකා මට්ටම දක්වා ගිය කෙනෙක්. ගීත රචනා, පද්‍ය රචනා, නිවේදන කටයුතුවල මම නිරත වුණා. කථික තරඟවලටත් සහභාගී වුණා. පාසැල් අධ්‍යාපනය නිමවීමත් සමඟ මට අවශ්‍ය වුණේ සිනමා අධ්‍යෂිකාවක් වෙන්න. අධ්‍යක්ෂණය තමයි සිනමාවේ තිබෙන ඉහළම තනතුර. පුංචි කාලේ මට නිතරම අවශ්‍ය වුණේ ඉහළින් ඉන්න. පිරිසක් මෙහෙයවන්න. රංගනය හොඳීන් පුළුවන් වුවත් නිළියක් නොවී අධ්‍යක්ෂිකාවක් වුණේ ඒ නිසා. අධ්‍යක්ෂණය කියන දේ මා විශේෂයෙන් අධ්‍යයනය කර නැහැ. පාසැල් වේදිකාවත් සමඟ මට ඒ සඳහා වටපිටාව සැකසුණා. අනෙක් කාරණය වෙන්නේ මගේ විනෝදාංශයත් සිනමාව සමඟ ගැවසීම. ඒ නිසාම තමයි වෙනත් වෘත්තියක් ගැන නොසිතා සිනමා අධ්‍යක්ෂණයට පෙළඹුණේ. විශේෂයෙන් සිනමාව කියන්නේ කතාබහට ලක්වන ක්ෂේත්‍රයක්. කාන්තාවන් සිනමාවට පිවිසීම කියන්නේ අභියෝගයක් භාර ගැනීමක්. මම කැමතියි අභියෝගවලට මුහුණ දෙන්න. සිනමාව පමණක් නෙවෙයි ලංකාව වගේ රටවල වෙනත් ක්ෂේත්‍රවල වුණත් කාන්තාවන්ට අභියෝග තියෙනවා. ලංකාවේ සංස්කෘතිය අනුව පුරුෂ පක්ෂය තමයි බොහෝ කාර්යයන්වල මූලිකත්වය ගන්නේ. එහෙත් හිත ශක්තිමත් කාන්තාවන්ට පුළුවන් ඉදිරියට යන්න. සිනමාව වැනි ක්ෂේත්‍රයකට පැමිණෙන්න කාන්තාවන් තරමක් අකමැති බවකුත් තිබෙනවා. සිනමාව වැනි තැනක වැඩිවශයෙන් ගැවසෙන්නේ පිරිමි පාර්ශවය. එවැනි අවස්ථාවලදී කාන්තාවන්ට සමාජයෙන් ගැරහුම්, අපහාස, උපහාස වැරදි වැටහීම් එල්ලවීම වැඩියි. එහෙත් මම ඒ සියල්ලම දරාගනිමින් අධ්‍යක්ෂිකාවක් වීම සඳහා පියවර තැබුවා.
මම මුලින් සඳහන් කළ කෙටි චිත්‍රපට දෙක ගැන විස්තර කරන්න අවශ්‍යයි. 2020 දී මම අධ්‍යක්ෂණය කළේ An Anatomist සහ 2023 දී Let him Sleep කියන කෙටි චිත්‍රපට ද්විත්වය. ඒ චිත්‍රපට දෙකම කෑන්ස් උළෙලට ඇතුළත් කරගත්තා. An Anatomist චිත්‍රපටයෙන් කියැවෙන්නේ බිරිඳ ජීවත්ව සිටිකාලයේ ඇය ගැන තැකීමක් නොකළ, ඇය වෙනුවෙන් කිසිදු යුතුකමක් ඉටු නොකළ කෙනෙක් ගැන. ඔහු මිනී එම්බාම් කරන්නෙක්. බිරිඳ මිය ගියාට පසු ඔහු බිරිඳගේ මළකඳ ළඟ තියාගෙන බලාගන්නවා. ඇය ජීවත්ව සිටියදී ඇය වෙනුවෙන් කරන්නට බැරිවූ සියල්ල මළමිනිය වෙනුවෙන් ඔහු කරනවා. තේ හදල ගෙනත් දෙනවා. කොන්ඩේ පීරනවා. ඇයට අලුතින් කරාබු ජෝඩුවක් ගෙනත් දෙනවා. ඔහු මානසිකව පීඩනයකින් පසුවෙන කෙනෙක්. එවැනි සිද්ධියක් වටා තමයි An Anatomist චිත්‍රපටය නිර්මාණය වුණේ. රිචඩ් මානමුදලි රංගන ශිල්පියා එහි ප්‍රධාන චරිතයට දායක වුණා. Let him Sleep කෙටි චිත්‍රපටයේ නයනා හෙට්ටිආරච්චි සහ සචිත්‍ර කල්‍යාණජිත් රංගනයෙන් දායක වුණා. එහි කතා තේමාවත් තරමක් වෙනස්. ලිංගික සංක්‍රාන්තිකයෙක් වූ තම පුතාව මව විසින් ඝාතනය කරනවා. ඇය එසේ කරන්නේ ඇය මිය ගිය දවසට පුතාට අන් අයගෙන් හිරිහැර වෙයි කියන සිතුවිල්ල නිසා. මෙම නිර්මාණ දෙකෙම දෙබස් වලින් තොරයි.
මම ඉහතදී සඳහන් කළා මා සිනමා අධ්‍යක්ෂණය ගැන හදාරා නැති බව. මෙම කෙටි චිත්‍රපට දෙකෙන් තමයි මම සිනමාව හැදෑරුවේ. අධ්‍යක්ෂණය පිළිබඳ තවත් ඉගෙන ගත්තේ. එම චිත්‍රපට දෙක මට දැනුණේ විශ්වවිද්‍යාලයක් වගේ. එය අධ්‍යක්ෂණය කළාට පසුව මට සිතුණා දිගු චිත්‍රපටයක් කරන්න. ඒ අනුව තමයි 69 (සික්ස්ටිනයින්) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පෙළඹුණේ. එහි කතාව නිෂ්පාදකවරයාගේ. පිටපත ලිව්වේ මම. සමාජයේ සිදුවන දෙයක් වුවත් එවැනි මාතෘකා ගැන විවෘතව කතා කිරීමට මිනිස්සු මැළිකමක් දක්වනවා. ඒත් එහි කියැවෙන්නේ මානුෂික කතාවක්. ඇතැම් මව්පියන් ජීවිතයේ සැඳෑ සමයේ තනි වෙනවා. ඔවුන්ගේ දරුවන් තම තමන්ගේ ලෝකය ගොඩනගා ගැනීමට උත්සාහ කරන නිසා. විශේෂයෙන් කාන්තාවට තනිවීම, විරහව දරාගන්න පුළුවන්. එහෙත් පිරිමියෙක්ට එය තදින් දැනෙනවා. ඔවුන් හිතින් හඬා වැටෙනවා. අවුරුදු 69 ක තාත්තා තම බිරිඳ නැතිව තනියෙන් ජීවත් වෙනවා. දියණියන් දෙදෙනා වෙන්ව ජීවත් වෙන්නේ. දැඩි ලෙස තනිකමින්, මානසිකව පීඩා විදිමින් ජීවත් වන මොහොතේ තමා වෙත සමීපවෙන තරුණියට ඔහු ලෙන්ඟතු වෙනවා. ඒ ඔස්සේ සිදුවන නොයෙකුත් හැල හැප්පීම් ගැන සික්ස්ටිනයින් චිත්‍රපටයෙන් කියැවෙනවා. ආදරය කිරීමේදී වයස අදාළ නැති බව එයින් කියැවෙනවා. මෙවැනි සිද්ධීන් අපේ සමාජයේ ඕනෑතරම් දකින්නට තිබෙනවා. ප්‍රසිද්ධ චරිත අතරේ පවා එවැනි සිදුවීම් තිබෙනවා. මේ සම්බන්ධව මට සමාජයේ ඇතැම් දෙනා දෝෂාරෝපණය කරනවා ඇති. එහෙත් එය මානුෂීය හැඟීමක් වටා ගෙතුණු කතාවක්. මේ තේමාව නිසා ඇතැම් මාධ්‍යවලට කතා කරන්න මට ඉඩක් ලබා දුන්නේ නැහැ. ප්‍රතික්ෂේප කළා චිත්‍රපටය ගැන කතා කිරීම. එහෙත් මම එයින් සැලෙන්නේ නැහැ. නිර්මාණකරණයෙන් ඈත් වෙන්නෙත් නැහැ. අභියෝග, බාධක පැමිණියත් මම ඉදිරියට තැබූ පියවර ආපස්සට ගන්නේ නැහැ.
විශේෂයෙන් කාන්තා පාර්ශ්වයෙන් මට චෝදනා එල්ල වුණා. මගේ කුලුඳුල් නිර්මාණයේදීම මෙවැනි අසම්මත කතාවකට අතගැසුවේ ඇයි කියලා. මම කැමති නිතරම වෙනස් මඟක් ගත් මාතෘකා ගැන නිර්මාණ කරන්න. ඒ සඳහා නිර්මාණකරුවාට නිදහසක් තිබිය යුතුයි. බොහෝම මෑතකදී මම ලිංගික සංක්‍රාන්තිකයෙක් සමඟ කතාබහ කළා. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබද අපි කතා කළ යුතුයි. ඔවුන් සමහර අවස්ථාවලදී හරි අසරණයි. ඔවුන්ව කොන් නොකළ යුතුයි. ඇතැම් අයට තම පවුලේ අයගෙන්ම පීඩාවට පත් වෙනවා. ප්‍රසිද්ධ ස්ථානවලදී ඔවුන්ට නින්දා අපහාස සිදුවෙනවා. ඔවුන් වෙනුවෙන් හඬක් නැඟිය යුතුයි . නිර්මාණ හරහා හෝ අපිට ඒ දේ කරන්න පුළුවන්. එවැනි චරිත සමාජය ඉදිරියට ගිය විට අපහසුතාවයට පත්වෙනවා. එවැනි මාතෘකා ගැන සිනමා නිර්මාණයක් තුළින් හෝ සමාජයේ කතාබහක් ඇති කළ යුතුයි. ලිංගික සංක්‍රාන්තියට ලක්වූ අයත් සාමාන්‍යය මින්සුන් ලෙස සැලකිය යුතුයි. එනිසා ඉදිරියේදී එවැනි මාතෘකා ගැන මම සිනමා නිර්මාණයකින් හෝ කතා කරනවා.
සික්ස්ටිනයින් චිත්‍රපටය කරද්දී එයට දායකවූ ශිල්පී ශිල්පිනියන්ගෙන් මට ලොකු සහයොගයක් ලබුණා. ප්‍රධාන චරිතය රඟපෑ ක්ලීටස් මෙන්ඩිස් ප්‍රවීණයෙක්. ඔහු හොඳ සහයක් දුන්නා මගේ අධ්‍යක්ෂණය වෙනුවෙන්. මෙම චිත්‍රපටයෙන් මම සිනමාවට ප්‍රධාන චරිතයක් සඳහා නවක නිළියක් හඳුන්වා දුන්නා. ඇය දිල්රුෆා ශානාස්. ඇය මින් පෙර රඟපාල තිබුණේ සහය චරිත පමණයි. ඇය දක්ෂයි. දිල්රුෆා නිළියක් වගේම නිරූපණ ශිල්පිණියක්. දයාන්ගේ චරිතය රඟන විරාජ් පෙරේරාත් ඉතා හොඳ රංගනයක යෙදුණා. චිත්‍රපටයේ සෑම චරිතයකටම ඉස්සරහට යන්න සෑහෙන්න රුකුලක් වුණේ විරාජ් පෙරේරා. ඔහු දක්ෂයෙක්. ඔහු හරි අපූරුවට චිත්‍රපටයට සාධාරණයක් කළා. අනෙක් සෑම ශිල්පියෙක්ම එකාමෙන් සහයෝගයෙන් වැඩකළා. ආධුනිකද නැද්ද කියා වෙනසක් නැතිව අපි එක කණ්ඩායමක් විදිහට වැඩ කළා.
ඇතැම් මාධ්‍ය වලින් අපේ චිත්‍රපටය ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කරද්දී ලංකාවේ ප්‍රමුඛතම සිනමා පුවත්පතින් අපට ඉඩක් ලබා දුන්නා. සික්ස්ටිනයින් හි ප්‍රධාන නිළිය වන දිල්රුෆාගේ රුවින් සරසවිය මුල් පිටුව සැරසුණා. ඇතමෙක් එයට අයහපත් ප්‍රතිචාර ලබාදී තිබුණා. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍යයේ විවිධ වූ අදහස් දක්වා තිබුණා. දිල්රුෆා නිරූපණ ශිල්පිනියක්. ඒක ඇගේ වෘත්තිය. ඡායාරූපකරණයත් කලාවක්. ඒ රූපය දෙස බලන කෙනාට ඕනෑම විදිහකට බලන්න පුළුවන්. ඒ ගැන විවිධවූ අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒත් ඒ ඡායාරූපයේ කලාත්මක බවක් ගැබ්වී තිබුණා. නිර්මාණයක් දිහා සුන්දර ලෙස බැලුවහොත් එය සුන්දර ලෙස දකින්න පුළුවන්. සික්ස්ටිනයින් ගැන කතා කරද්දී නිෂ්පාදනය ගැනත් කතා කළ යුතුයි. මෙහි නිෂ්පාදනය කලේ උදාර පල්ලියගුරු. චිත්‍රපටය සැලසුම් කරද්දී සාකච්ඡා මේසයේදී පොඩි පොඩි ගැටළු මතු නොවුනා නෙවෙයි. එය සාමාන්‍ය දෙයක්. නිෂ්පාදකවරයා ඔහුට ආයෝජනය කළ හැකි මුදල යොදවනවා. චිත්‍රපටය කරගෙන යාමේදී අපි ඊට වඩා මුදලක් බලාපොරොත්තු වෙනවා. එවිට ගැටළු මතුවීම සාධාරණයි. එහෙත් අපේ නිර්මාණය සිදුකිරීමේදී ඇතිවූ පුංචි පුංචි ගැටළු විසඳාගෙන අපි එකට වැඩ කළා.
ඉදිරියටත් දිගටම අධ්‍යක්ෂණයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල “ගරා ” චිත්‍රපටයේ මූලික අදියරේ නිෂ්පාදන කටයුතු පටන්ගෙන තියෙන්නේ. මේ අවුරුද්දේ තවත් අලුත් නිර්මාණයකට අතගසා තිබෙනවා. ඒ සඳහා දැනටමත් මට නිෂ්පාදකවටයෙක් හමුවෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මගෙන් විමසනවා ඇයි රංගනයට දායක වෙන්නේ නැත්තේ ඇයි කියලා. මම වේදිකාවේ රඟපාල තිබෙනවා. එහෙත් මම සිනමා රංගනයට යොමු වෙන්නේ නැහැ.
සිනමා අධ්‍යක්ෂණයට, තිරපිටපත් රචනයට කාන්තාවන් යොමු වෙනවා නම් හොඳයි. සිනමාවේ කාන්තා දායකත්වය අඩුයි. කාන්තාවන් සමූහයක් සිනමාවේ වැඩ කටයුතු කරන්න සිටිනවා නම් ප්‍රශ්ණයක් ආවත් එයට මුහුණ දෙන්න පහසුයි. එසේ වූ විට සිනමාවේදී කාන්තාව තනි වෙන්නේ නැහැ. තවත් ශක්තිමත් වෙන්න පුළුවන් කාන්තාවන් පිරිසක් වශයෙන් සිටියහම. එනිසා මම ඉල්ලා සිටිනවා සිනමාවට උනන්දුවක් දක්වන , ඒ සඳහා දැනුමක් ඇති කාන්තාවන්ට සිනමාවට පිවිසෙන්න කියලා.
මම මෙය අවස්ථාවක් කරගන්නවා මට මේ තාක් දුරක් එන්න සහයෝගය දුන් අයට ස්තූති කරන්න. විශේෂයෙන් මගේ පවුලේ අය මට දෙන සහයෝගය අගය කළ යුතුයි. ඔවුන් මට නිර්මාණ කාර්යයේ යෙදෙන්න පුර්ණ නිදහස ලබා දී තිබෙනවා. තව බොහෝ අය සිටිනවා මගේ සාර්ථකත්වය පිටුපස. එකිනෙක නම් සඳහන් කිරීමේදි අතපසුවීමක් සිදුවුණොත් එය එතරම් හොඳ නැහැ. ඒ නිසා මට සහයෝගය දෙන හැමෝටම ස්තූතියි.
වින්ද්‍යා හාරිස්පත්තුව තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයෙන්ම සමාජයේ කතාබහට ලක්වූ අධ්‍යක්ෂවරියකි. ඇය සිංහල සිනමාවේ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින්නිය. සමාජයේ එතරම් කතාබහ කිරීමට අකමැති මාතෘකා ඔස්සේ සිනමා නිර්මාණ කිරීමට ඇය නිර්භීතව ඉදිරියට පැමිණ ඇත. ඉදිරියේදී ඇයගේ අධ්‍යක්ෂණයෙන් සමාජයේ කතා බහට ලක්වන සිනමාපට දැකගත හැකිවනු ඇත.
සිංහල සිනමාවට කාන්තා දායකත්වය අවැසිම මොහොතක නිර්භීතව තම හැකියාව සිනමාවට තිළිණ කල වින්ද්‍යා හාරිස්පත්තුව අධ්‍යක්ෂකවරියට සරසවියද ශක්තියක් වනු ඇත.
සේයාරූ – තිලක් පෙරේරා
නයනාංජලි දෙහිපිටිය