නිවස කළා පුවත් ‘ආපසු හැරෙන්’ ඔක්: 01 දා

‘ආපසු හැරෙන්’ ඔක්: 01 දා

by Thanushika
September 26, 2024 9:39 am 0 comment

ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සේවයේ හිටපු කාන්තා ප්‍රවීණයන්ගේ සංවිධානයක් වන “විරුලිය සෙවණ” සිය 10 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරමින්, ලෝක ළමා දිනයට සමගාමීව “ආපසු හැරෙන්” නමින් වාර්තාමය ළමා චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. ළමයින් කේන්ද්‍ර කොටගෙන නිර්මාණය කර ඇති මෙම කාලෝචිත චිත්‍රපටය, නවීන සමාජයේ දරුවන් සහ තරුණ පරපුර තාක්ෂණික මෙවලම් භාවිතය නිසා නොදැනීම ඇදීයන අහිතකර බලපෑම් සහ වර්තමාන තරුණ පරම්පරාව මුහුණ දෙන අභියෝග සියුම් ලෙස ගෙනහැර දක්වයි. එසේම වැඩිහිටි පරපුර තමන් විසින්ම විසඳුම් සෙවීමට දිරිගන්වමින්, දරුවන්ට ආරක්ෂිත සහ වඩා යහපත් පරිසරයක් නිර්මාණය කරවීමට බලගැන්වීමේ පණිවිඩයකින් කතාව අවසන් වේ.

මෙම වාර්තාමය චිත්‍රපටය “යහ ගුණ දම් වැඩුම උතුම්” යන විරුලිය සෙවණ ආදර්ශ පාඨයේ තේරුම වඩාත් ඉස්මතු වන ලෙස නිර්මාණය කර ඇති අතර එහි රංගන දායකත්වය විරුලිය සෙවණ හමුදා සාමාජිකාවන්ගේ දක්‍ෂ දරුවන් වීම විශේෂත්වයකි.

චිත්‍රපටිය සඳහා පාදක වූ වස්තුබීජය පිළිබඳව කරුණු දක්වමින්, විරුලිය සෙවණේ නිර්මාතෘ සහ සභාපති විශ්‍රාමික මේජර් රමණි බණ්ඩාර පවසා සිටියේ “මෙම වාර්තාමය ළමා චිත්‍රපටය නිර්මාණය වූයේ සමාජය ඉදිරියට යාමේ දී මුහුණ පන්නා වූ සංකීර්ණතා සමඟ සැරිසරන අපේ රටේ අනාගත පරපුරේ ගැටලුවලට විසඳුම් සෙවීමේ ගැඹුරු අභිලාෂයෙන් බවත් ඔවුන්ව දීප්තිමත් අනාගතයක් කරා යොමු කරවිම අප සැමගේ වගකීම බවත් වැඩිහිටියන් ලෙස අපි අපේ දරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව” ත් සිහිපත් කරමිනි.

මෙම චිත්‍රපටය රංජිත් ජයසේකරගේ අධ්‍යක්ෂණය යටතේ ආචාර්ය ප්‍රියන්ත නවරත්න තිර රචනයෙන් සහ මේජර් විජේසුන්දර වේරගොඩගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වී ඇත.

එසේම 2014 වසරේ ආරම්භ කරන ලද විරුලිය සෙවණ සංවිධානයේ අනුශාසිකා ලෙස කටයුතු කරන දක්ෂ ව්‍යාපාරික නායිකාවක් වන රම්‍යා හෝල්ඩිංග්ස් ආයතනයේ සභාපතිනි රම්‍යා වීරකෝන් මහත්මියගේ සහයෝගය මෙම චිත්‍රපටය සාර්ථකත්වයට හේතු වීම විරුලිය සෙවණට මහත් ගෞරවයකි.

මෙම වාර්තාමය ළමා චිත්‍රපටය 2024 ඔක්තෝබර් 01, ලෝක ළමා දිනයදා දොරට වඩින අතර, චිත්‍රපටයෙන් ගෙනගැර දක්වන පණිවිඩය ළමා සහ වැඩිහිටි සැම අතර එකසේ ජනප්‍රිය වන බව සහතික කරමින්, පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරමින් YouTube හරහා ද විකාශය වීමටද නියමිතය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT