Home » ආධුනික වයසේදීම මගේ වෘත්තියට ගරුත්වයක් ලබාදෙන්න මට හැකි වුණා

ආධුනික වයසේදීම මගේ වෘත්තියට ගරුත්වයක් ලබාදෙන්න මට හැකි වුණා

නිර්මාණ ශිල්පීනී රමේෂා ඕෂිනී

by Thanushika
November 7, 2024 9:51 am 0 comment

හිරුඑළිය පොළොවට පතිත වී වැඩි වෙලා ගත වී නැත. තණපත් මත වූ පිනි කැට දිලිසෙන්නේ වීදුරු කැට ඇතුරුවාක් මෙනි. කළුගල් දමා තැලූ පාරේ ඇත්තේ තෙත් බවකි. මේ වර්ෂ දෙදහස් විසිදෙකේ බිනර මාසේ උදෑසනකි. කොළඹ අනුරාධපුර පාරේ හච්චිකුච්චි මං සන්ධියයි. තුන් මං හන්දියට මඳක් මෙහායින් තිබෙන්නේ එකල තිබූ කඩයක ආකෘතියකි. එය කටු මැටි ගසා පොල් අතු සෙවිලි කළ එකකි. ඒ ඉදිරිපිට පාරේ නැවැත් වූ බර පැටවූ බර කරත්ත හත අටකි.ඇතුළ වන ලැහැබක් රහිත මාවතේ රජ කුමාරිකාවක් යන කරත්ත පෙළකි. විවිධ වස්ත්‍රාභරණයෙන් සැරසුණු පෙරහරේ එදා සිංහබාහු කතාන්දරය ගෙන එන සිනමා පුවතේ රූපගත කිරීමක් විය. එහි වස්ත්‍රාභරණ නිර්මාණය සිදුකර තිබුණේ කාන්තාවක් විසිනි.තරුණයාගේ පැහැපත් ජවි වර්ණය ,සෘජු නැහැය. පොකුටු හිස කෙස්, පිටුපසට පීරා බැඳී ලොකු කොණ්ඩය ගැටය ආදිය වෙත ඇස යොමනවා මෙන්ම ඔහු ඇඟලා සිටින වස්ත්‍රාභරණද එකල ඉතිහාසයට ප්‍රේක්ෂකයා ගෙන යන්නට ඇය සමත් වූවාය. සිංහබාහු සිනමා පටයේ රංග වස්ත්‍රාභරණයන් නිර්මාණ දායකත්වය සැපයීම වෙනුවෙන් පසුගියදා නයිජිරියාවේ බයෙල්සා අන්තර්ජාතික සම්මානය උලෙළේදී ඇය සම්මානයට පාත්‍ර වූවාය. මෙසේ අන්තර්ජාතික සම්මාන උලෙළක රංග වස්ත්‍රාභරණ නිර්මාණ වෙනුවෙන් ලංකාවේ සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය විය. එබැවින් මේ සාකච්ඡා සටහන සරසවිය සටහන තබන්නේ ඒ වෙනුවෙනි.

සිංහබාහු නිර්මාණ කාර්යයට දායක වෙන්නේ කොහොමද ?

සෝමරත්න දිසානායකයන් විසින් සිංහබාහු රංග වස්ත්‍රාභරණ නිර්මාණ කාර්යය වෙනුවෙන් මාව තෝරා ගත්තේ, පෙර රජ දවසට හරියන නිර්මාණශීලී වස්ත්‍රාභරණ කරන්න පුළුවන්, ඔහුට දැනෙන මේ වගේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් කවුද කියලා. මේ හොයන අතරතුරේදී මහේෂ් ජයවර්ධන කියන්නේ මගේ මිත්‍රයෙක්. ඒවගේම කලා අධ්‍යක්ෂ ජානක ප්‍රසාද් සෝමරත්න දිසානායකයන්ට මම ගැන කියලා තිබිලා. ඒ අනුව සෝමරත්න දිසානායකයන් දවසක් මගේ කළ වැඩ බලන්න මම කරගෙන යන මගේ පුංචි ඹධපඬඵඩධන එකට ආවා. මගේ වැඩ දැකලා එයා සතුටු වුණා. ඒ අනුව සිංහබාහු වෙනුවෙන් මේ වැඩේ කරමුද කිය ලා යෝජනා කළා. ඉන්පසු මට තිර පිටපතක් දුන්නා. චරිත ගැන කිව්වා. ඒ අනුව මම චරිත සහ නළු නිළියන් ගේ ස්වරූපයට ගැළපෙන ආකාරයට තෝරාගත්ත රංගන ශිල්පීන්ට රංග වස්ත්‍රාභරණ නිර්මාණය කළා. ජැක්සන් ඇන්තනි මහත්මයා මට ඉතිහාසය ගැනත් බොහෝ දේවල් කියා දුන්නා.

දර්ශන තලය තිබුණේ කැලෑව ඇතුළේ. අපට කිසිම අපහසුතාවයක් නොවන්න අවශ්‍ය සියලුම දේවල් සපයලා දුන්නා. ඒ වගේම අකිල, සජිත, දුශේනි, අභිලාෂි සහ යශෝධා ලොකු සහයෝගයක් දුන්නා. මේ නිර්මාණය කළ ඇඳුම් පැලඳුම් ඇඳගෙන ඉන්න එක රංගන ශිල්පීන්ට ලේසි පහසු වැඩක් නෙවෙයි. දාඩිය දානවා. අපහසුයි. මමත් සමග හතර දෙනෙක් නිදි මරාගෙන සෙට් එකේ වැඩ කළා. ඒ වගේම කැපවීමෙනුත් වැඩ කළා. මේ වගේ දැවැන්ත නිර්මාණයක් බාර දීම ගැනත් මම පුදුම උනා. ඉතිහාසයේ සිදුවෙච්ච දේවල් වෙනස් කිරීමට නොහැකි වන ලෙස නිර්මාණකරණයට අත ගහන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි, මම වගේ ක්ෂේත්‍රයට රංග වස්ත්‍රාභරණ නිර්මාණකරණයේ ආධුනික ශිල්පිනියකට. සෝමරත්න දිසානායකයන් වැනි ප්‍රවීණයකු සමඟ සහ රේණුකා බාලසූරිය වැනි නිෂ්පාදකවරියක් හා වැඩ කිරීම ගැන පොඩි චකිතයක් මට තිබුණා. වැඩ කරගෙන යද්දි ඔහු ඇතුළු සියලු දෙනා මගේ වැඩ අගය කළා. සෙට් එකේ සිටිය සියලුම දෙනා ලොකු සහයෝගයක් ලබා දුන්නා.

ලැබූ සම්මානයට වස්ත්‍රාභරණ සකසන්න කොපමණ කාලයක් ගත වුණාද, ඔබට විශේෂ කියන්න දේවල් ඇති නේද?

එකිනෙකා අතර තියෙන බැඳීම නිසා මේ කාර්යය මට පහසුවෙන් කරගන්නට හැකි වුණා. නිෂ්පාදන කාර්යයේ නියැළුණු රේණුකා බාලසූරිය සහ ගාමිණී වික්‍රමසිංහ නිර්මාණකරණයට අවශ්‍ය සියලූම පහසුකම් මට සලසා තිබුණා. ඒ සියලු දෙනාම මා අගය කළ යුතු අවස්ථාවක් වෙනවා මේ මොහොතේ. මාස හයක් වැනි දීර්ඝ කාලයක් මේ නිර්මාණය වෙනුවෙන් වස්ත්‍රාභරණ සැකසීම සිදුකළා. දිවා රාත්‍රී නොබලා මගේ කණ්ඩායම වැඩ කළා. විශේෂයෙන් මේ මොහොතේ මතක් කළ යුතුයි අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ රංගවේදි ජැක්සන් ඇන්තනි මහත්තයා ඉතිහාසය හොඳට පැහැදිලි කරලා අතීතයේ රජ දවස නිර්මාණය කරපු වස්ත්‍රාභරණ නිර්මාණ ගැන මා හට හොඳ අවබෝධයක් ලබා දුන්නා. විවිධ රටවල රජවරුන් පාවිච්චි කළ වස්ත්‍රාභරණවල දළ සටහන් ඡායාරූපවලින් පවා මට ගෙනත් පෙන්වලා මේ නිර්මාණය වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම එදා ඉඳන්ම හිතපු දේ තමයි මම කවදා හරි සම්මානයක් ලබනවා නම් ඔහුත් මේ ලබන සම්මානයේ පිටුපස නිරන්තරයෙන්ම ඉන්නවා කියන එක. විශ්ව කෝෂයක් බඳු වූ ඔහු වැනි සිනමාවේ පතාක යෝධයෙක්ගේ අවසන් නිර්මාණයේ ඔහු ඇඳගත් අවසන් වස්ත්‍රාභරණය මා අතින් නිර්මාණය වීම ගැන නිහතමානී සතුටට වැඩිය දුකයි තියෙන්නේ. ඒත් මම අද හිතනවා ඔහු වෙනුවෙන් කාටහරි කතා කරන්නට දවසක් මේ මා අතින් නිර්මාණය වූ වස්ත්‍රාභරණයේ තියෙයි කියලා. එදාට ඔහු වෙනුවෙන් කියන්න තියෙන දේවල් මට බොහෝයි.

ඔබේ දෑතින් නිර්මාණය වූ වස්ත්‍රාභරණ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන විට දැනුණේ මොකක්ද?

මුළු ලෝකයටම මගේ අතින් නිර්මාණය වූ නිමැවුම් එන දවස එනකම් මඟ බලාගෙන හිටියා. හරිම සතුටුයි. ජීවිතයේ තමන්ගේ නිර්මාණකරණයන් දැකලා සතුටු වෙච්ච දවසක් තිබුණා නම් ඒ ප්‍රේක්ෂකයන් රසවිඳපු දවස තමා. මා අතින් නිමවූ නිර්මාණවල ඉතා කුඩාම අංශු පවා පුළුල් තිරයේ දකිනකොට හොඳ අවබෝධයක් ලබාගන්නට අවස්ථාවක් එදා ආවා. නමුත් සිංහබාහු එළියට ආවට පස්සේ, සමාජ මාධ්‍යයේ, සිංහයා මොඩර්න් කළා කියලා ප්‍රචාර ගියා. ඒ ප්‍රචාර අරන් ගියේ පුළුල් තිරයේ බලලා නෙවෙයි. කොහොම වුණත් අවංකවම, බොහොම කැපවීමෙන් කළ ඒ නිර්මාණය ගැන හරි සතුටක් තියෙනවා.වස්ත්‍රාභරණ ගැන නිසි අවබෝධයක් නැති ගොඩක් දෙනෙක් ඒ කාලේ මට මඩ ගහන්නත් උත්සාහ කළා. ඒත් ඒ ගහපු මඩවලට අද මට උත්තර දෙන්නටත් අවස්ථාවක් ලැබුණා කියන එක කියන්න ඕන. අන්තර්ජාතික සම්මානය ලාංකේය පළමු වස්ත්‍රාභරණ ශිල්පිනිය ලෙස අන්තර්ජාතික සම්මානයක් ලබාගන්නට ලැබුණු එකම අවස්ථාව ඊට උදාවුණා. කුමන ප්‍රශ්න ආවත් අධ්‍යක්ෂතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලය මට දුන්න ශක්තිය මේ ලබපු සම්මානය පිටුපස නිරන්තරයෙන්ම තිබෙනවා.

සිංහබාහු වෙනුවෙන් බයෙල්සා අන්තර්ජාතික ඇගැයීමකට ලක්වුණා නේද ?

මේ ගෙවුණු කාලසීමාව තුළදී, ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ සිංහබාහුට සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. ඔක්තෝබර් 19 වෙනිදා නයිජීරියාවේ පැවැති 4 වැනි බයෙල්සා අන්තර්ජාතික සම්මාන උළෙලෙදී සිංහබාහුට තවත් සමාන 4ක් ලැබුණා. හොඳම තිර රචනය ආචාර්ය සෝමරත්න දිසානායක, හොඳම කැමරා අධ්‍යක්ෂණය විශ්වා බාලසූරිය, හොඳම සහාය නළුවා අඛිල ධනුද්දර, හොඳම රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් රමේෂා ඕෂිනී වන මමත් ඇගැයීමට ලක්වුණා. මගේ ජීවිතයේ සිනමාව වෙනුවෙන් මම ලබපු පළවෙනි සම්මානය ද මෙයයි. ශ්‍රී ලංකාවේ රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් සම්මාන ලැබිලා තියෙන්නේ හරි අඩුවෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවකට රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් අන්තර්ජාතික ඇගැයීමක් ලැබුණු පළමු අවස්ථාව ද මෙයයි. ඊට අමතරව සජිත අනුත්තර හොඳම නළුවාටත්, දුෂේනි මියුරංගි හොඳම නිළියටත්, හොඳම සහාය නිළියට යශෝධා විමලධර්මත්, හොඳම අධ්‍යක්ෂණයට ආචාර්ය සෝමරත්න දිසානායකයන්ද නිර්දේශ නාමාවලියේ සටහන් වෙලා තිබුණා. ඒ හතරත් ලැබුණා නම් සිංහබාහුට සම්මාන අටක් ලැබෙනවා. මෙම සම්මාන උළෙල සඳහා රටවල් දෙසීයකට අධිකව සහභාගි වෙලා නිර්මාණ ඉදිරිපත් කරලා තිබෙනවා. මෙවැනි සම්මානයක් ලැබිලා තියෙනවා කියලා මට පැවසුවේ සිංහබාහු සිනමා පටය දින සීයය පසු කරන දා සිනමා පටයේ නිෂ්පාදකවරිය රේණුකා බාලසූරිය මහත්මියයි. ඒ රටවල් අතරින් අපි වැනි පුංචි රටකට මෙවැනි ඇගැයීමක් ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙන්නේ.

මේ සිනමා උළෙල නියෝජනය සිදුවුණේ කොහොමද?

මේ සිනමා උළෙල නියෝජනය සඳහා සියලු දේවල් කිරීමේ පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ටයි. ඔහු මේ සිනමා උළෙල නියෝජනයට ඉදිරිපත් වී නොතිබුණා නම් අපිට සමහරවිට සම්මානයක් නොලැබෙන්න තිබුණා. ඔහු සහ නිෂ්පාදකවරුන් කළ කැපකිරීම නිසා තමයි අපිට මෙවැනි සම්මාන ගණනාවක්ම ලැබුණේ. මගේ ජීවිතයේ මම නිර්මාණකරණයේ යෙදෙන්නේ මාව තෝරා ගන්නා නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂකවරයාට සාධාරණයක් කිරීමේ අරමුණින්. ඒ සියලු දෙනාම මට නිර්මාණ භාර දෙන්නේ මාව විශ්වාස කරලා නිසයි. ඒ ගෞරවය මම තිබූ නිසා මට අද අන්තර්ජාතික සම්මානයක් හිමි වුණා. ජීවිතයේ පොඩි තැනකින් පටන්ගෙන යන මේ ගමනේදී ඔවුන් වැනි පුද්ගලයන් මට ආශිර්වාදයක් වුණා. ක්ෂේත්‍රයේ වස්ත්‍රාභරණ කියන අංශය අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කළේ ඔවුන්. ලෝකයේ විවිධ රටවල්වල වෙනම අංශයක් ලෙස යන වස්ත්‍රාභරණ කියන අංශය අපේ ක්ෂේත්‍රයේ පමණයි එකම අංශයකට ගෙන තිබෙන්නේ. කලා අධ්‍යක්ෂකවරයක්ගේ වැඩ කොටස වෙනයි, වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පියා හෝ ශිල්පිනිය වෙනම අංශයක්.

අන්තර්ජාතික සම්මානයකට ප්‍රථම තම මවි රටෙන් සම්මානයක් නේද බලාපොරොත්තු වුණේ?

සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන ඕනෑම කෙනෙකුගේ සිහිනයක් තමයි මම අහල තියෙන විදිහට සරසවිය සම්මානයක් ලැබීම. මගේ හිත ඇතුළෙන් හීනයක් තිබුණා කවදා හරි සම්මානයක් මම ලබනවා නම් මටත් හිමි විය යුත්තේ සරසවිය සම්මානයක් කියන එක. ලාංකේය සිනමා ඉතිහාසයේ සම්මාන උළෙල ගැන කතා කරනවා නම් 1964 ඇරඹී එම යුගය අද තරු බවට බබලලා තියෙන්නේ ඒ සම්මාන උළෙලයි. අද වන විට ලංකා සිනමා ක්ෂේත්‍රය තුළ නිර්මාණ අගයමින් සම්මාන උලෙළවල් ගොඩක් පැවැත්වෙනවා. මම හිතන විදිහට ඒ සම්මාන උළෙලවලදී නිර්මාණකරුවාගේ දක්ෂතාවය නිසා නිර්මාණවලට නිසි ප්‍රමිතියෙන් යුක්තව කවදාහරි සම්මානයක් ලැබෙයි කියන බලාපොරොත්තුවත් තිබෙනවා.ප්‍රමිතියෙන් තොර සම්මාන උළෙලවලදී සම්මාන ලැබිලා නිර්මාණවේදියෙක් ඇගැයීමට ලක්වෙලා වැඩක් නැහැ කියලයි මම හිතන්නේ.

රංග වස්ත්‍රාභරණ නිර්මාණකරණයෙන් ස්ත්‍රීන් ඉදිරියට පැමිණිම ගැන සමාජයේ මො වගේ මතයක්ද තිබෙන්නේ?

ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න බලාගෙන තමන් කරන කාර්යයේ නිරත විය යුතුයි. මම හිතන විදිහට රංග වස්ත්‍රාභරණ පමණක් නොවෙයි, ඕනෑම විෂයක් ඉගෙන ගන්නකොට ලොකු කැපකිරීමක් ඕනෑම පුද්ගලයකුට කරන්න වෙනවා. මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී ඉගෙන ගත්තේ විලාසිතා නිර්මාණය විෂයයි. අපේ ගෙවල් වලින් බලන්නේ සම්ප්‍රදායික කාන්තාවක් නිර්මාණය කරන්නයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ගුරු වෘත්තිය කරන්න කියලයි බොහෝ දෙමාපියන් කියන්නේ. ඒ වගේම ලංකාවේ ගෑනු ළමයි මේ අභියෝගය භාර ගන්න බයයි. එයට හේතුවෙලා තියෙන්නේ සමාජයෙන් එල්ල වන බලපෑමයි. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී වුණත්, විෂයයන් තෝරා ගැනීමේදී ත් කුමන පැත්තට යනවද කියන එක ගැන හරි වැටහීමක් අවබෝධයක් නෑ. අවබෝධයෙන් ඕනෑම ගමනක් යනවා නම් ගමන පැහැදිලියි කියලයි මම හිතුවේ. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයෙත් වැරැද්දක් තියෙනවා. එය යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. ප්‍රායෝගික විෂයයන් නෑ. උපාධියක් ලැබූ පලියට රැකියා අවස්ථාවන් විවර වෙන්නේ නෑ. ඒ වගේම උපාධිය ලැබූ පමණින් රැකියාවක් කරන්නත් බෑ. බොහෝ උපාධි අපේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියාවක් ලැබීම පමණයි. ඒත් සමාජයට බයවීමවත් සමාජයෙන් එන ගැරහුම්, ගණන් නොගත යුතුයි. තමන්ගේ ගමන තීරණය කළ යුත්තේ තමාම පමණයි. අපි ළඟ හරි අවබෝධයක් තියෙන්න ඕනෑ අපි තෝරා ගන්නා ක්ෂේත්‍රය ගැන. ඒ වගේම අපි අත්දැකීම් ලබාගත යුතුයි. බාධක එනවා. ඒ එන බාධක එන තරමට අපේ පිටුපස ජයග්‍රහණ වැඩියි කියලයි මම අහල තියෙන්නේ.ඒ වගේම තමා ජයග්‍රහණ ලැබූ පමණින් ඕනෑම කෙනෙකු පරිණත භාවයට පත් වන්නෙත් නැහැ. ජයග්‍රහණය සහ පරාජය දෙකම අපි භාරගත යුතුයි. එතකොටයි අපිට අපේ ගමනේ මාවත එළිවෙන්නේ පැවැත්මක් තියෙන්නේ. මම හැමදාම හිතෙන දෙයක් තමයි වැටුණොත් පමණයි නැගිටින්න පුළුවන් කියන එකයි. මගේ පිටුපස යෝධ ශක්තියක් තියෙනවා මගේ ස්වාමියා මහේෂ් විජයංග සහ මගේ පවුලේ අයයි. මම කවදාවත් සමාජයට බයේ නිර්මාණකරණයේ දෙන නිර්මාණ ශිල්පිනියක් නෙවෙයි.

රමේෂාගේ වෘත්තිය සිනමා රංග වස්ත්‍රාභරණ නිර්මාණකරණයද ? මෝස්තර නිර්මාණකරණය ද ?

විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ යොමු වීමටයි මම වඩාත් කැමති. මම ඉගෙනගත් විශ්ව විද්‍යාල විෂය පථයත් එක්ක මගේ ගමන් මඟ වැඩි හරියක් නැඹුරුතාවයක් තියෙන්නේ ඒ වෙනුවෙනුයි. ලෝකයේ මේ ක්ෂේත්‍රය තුළ විවිධ අංශ තියෙනවා. ඒ අංශ තුළින් වර්ගීකරණය කරගෙන අපිට බෙදා වෙන්කර වැඩ කළ හැකි. ලෝකයේ තියෙන වෘත්තිමයභාවය අතින් හොඳ පිළිගැනීමක් තියෙන විෂය පථයක් බවට වස්ත්‍රාභර්ණ හා මෝස්තර නිරූපණය අද වන විට පත්ව තිබෙනවා. ඒ අතරින් සිනමාවේ රංග වස්ත්‍රාභරණ නිර්මාණයටත් කැමතියි. බොලිවුඩ්, හොලිවුඩ් කොලිවුඩ් ලෙස හා විවිධ රටවල් වලට ආවේණික වූ පසුබිම සකසාගෙන සිනමාකරණයේත් වර්ගීකරණය කරගෙන තියෙන යුගයක් බවට අද පත්ව තිබේන්නේ. මට ලැබුණු මේ අන්තර්ජාතික සම්මානයත් එක්ක සිනමාවට තිබෙන කැමැත්ත තවත් වැඩි වුණා. ඒත් නිර්මාණකරණයේ යෙදෙන කෙනෙකු කිසිවිටෙකත් එක් රාමුවකට කොටු වෙන්න කැමති නෑ. මම ඩ්චභබඥ ඛ්ධභබභපඥ කෙනකු ලෙස තමා කටයුතු කරන්න වඩාත් රුචිකත්වයක් දක්වන්නේ. ලෝකයේ වස්ත්‍රාභරණ කියන්නේ පුළුල් පරාසයකට විහිදෙන අංශයට. ඒ තුළ සිටින දක්ෂයාට ඕනෑම මාවතක ගමන් කර තම සහජ දක්ෂතාවය එළියට දමන්න අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා එයට හොඳ වටිනාකමක් සහ ඉල්ලුමට සැපයුමක්ද සපයන්න පුළුවන්. ලෝකයේ නිමවූ නිමවුම් මතින් හොඳම මාවතකයි මා මේ ගමන් කරන්නේ කියලයි මට දැනෙන්නේ. ඒ මාවතේ ගමන් කිරීම තමයි අදත් හෙටත් මතුවටත් සිදු වෙන්නේ.

ක්ෂේත්‍රයේ ඔබට හරි වටිනාකමක් තිබෙනවාද?

වස්ත්‍රාභරණ කියන අංශය සිනමාවේ අපේ කිසිවෙකු හරියට අවබෝධ කරගෙන නැහැ. ඕනෑම නිර්මාණයක් කිරීමේදී පළමුවෙන්ම කතාබහට ලක් වෙන්නේ වස්ත්‍රාභරණයි. ඒ ගැන අවබෝධ තියෙන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් කිහිප දෙනා අතරින් ආචාර්ය සෝමරත්න දිසානායකයන් හොඳ ඇගයීමකට රමේෂා ඕෂනි කියන නමගෙන ගියා. මේ අන්තර්ජාතික සම්මානය හිමි වෙන්නෙත් ඔහු නිසයි.

2018 සනත් අබේසේකරගේ”ඉරු දේව” ටෙලි නාට්‍යයේ හා පළමු සිනමා නිර්මාණය තමයි ගුත්තිල සිනමාපටය රංග වස්ත්‍රාභරණ කාර්යයට මාව සම්බන්ධ කර ගත්තා. පූර්ව නිෂ්පාදන කාර්යයත් මාස හයක් විතර සිදු කළා. ඔහුටද ක්ෂේත්‍රයේ රංග වස්ත්‍රාභරණය කියන විෂය ගැන හොඳ අවබෝධයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. මේ ගමනට රොෂාන් විල්ලප්පුලි මට දැක්වූ සහයෝගයට මම ස්තූතිය පුදකරනවා. සිංහබාහු සිනමා පටයෙන් පසු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ නවතම සිනමාපටය වූ ගෞතම බුද්ධ මාතා මාව සම්බන්ධ කරගන්නවා. මම හිතන විදිහට සුනිල් සර් මාව සම්බන්ධ කර ගන්නේ ගුත්තිල සහ සිංහබාහු යන සිනමාපට දෙක නැරඹීමෙන් පසුවයි. සර්ද සිනමා පටයක රංගන ශිල්පීන් සඳහා අත්‍යවශ්‍යම අංගයක් බව වස්ත්‍රාභරණ නිර්මාණ පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ. ඒ නිසා මේ වෙන විට ක්ෂේත්‍රයේ වස්ත්‍රාභරණ අංශය අත්‍යවශ්‍යය කරුණක් බවට පත්වෙලයි තියෙන්නේ. මේ පිළිබඳව සිනමාවේ ගවේෂණය කරන ඕනෑම කෙනෙකුට ලෝක සිනමා ඉතිහාසය ගැන මුල සිට මේ තාක් අධ්‍යයනය කරල බැලුවොත් වස්ත්‍රාභරණ නිර්මාණය කුමන තැනකද තියෙන්නේ කියලා ස්වයං අධ්‍යයනයක් කරන්න පුළුවන් වෙනවා. සිනමාවේ කතා පුවතක් ඉදිරියට ගෙන යන්න නම් වස්ත්‍රාභරණ අත්‍යවශ්‍යම අංගයක් බව අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ නිෂ්පාදක කණ්ඩායම දැනගත යුතුයි. අධ්‍යක්ෂවරයා තිර රචනයේ දකින මවා ගත්ත රූප රාමු සැබැවින්ම දකින්න පුළුවන් වන්නේ වස්ත්‍රාභරණ නිසා කියන එක හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

සම්මානය ලැබීමත් සමඟ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මේ නිර්මාණයට දායක වුණු අධ්‍යක්ෂතුමා සහ නිෂ්පාදකතුමියගෙන් ලැබුණු ඉහළම ප්‍රතිචාර සමඟ එයට දායක වුණු සියලු දෙනාගේම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා සහ යාළු හිත මිත්‍රාදීන් සහ ප්‍රේක්ෂකයන් මට සුභ පැතුවා. ගොඩක් නිර්මාණවේදීන් ශුභ පැතීමත් සමඟ ඔවුන්ගේ ඊළඟ නිර්මාණකරණය ගැනද මට කතා කළා. ඒ පූර්ණ භාග්‍ය සිංහ බාහු සිනමා පටයට හිමි විය යුතුයි කියලා මම හිතන්නේ. මේ හැම දේකින්ම මගේ ගමන දිරිමත් කරපු එකට සියලු දෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

මේ ලබපු අන්තර්ජාතික සම්මානයත් සමඟ ඉදිරි නිර්මාණ ගැන මතක් කළොත්?

සුනිල් සර්ගේ සිනමාපටයේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු මේ වෙනකොට සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. මම ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයි. මගේ වැඩවලදී මට උදව් කරන්නේ මගේ පවුලේ අයයි. මගේ සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ මගේ පණවගේ ඉන්න ස්වාමිපුරුෂයා මහේෂ් විජයංග. මම ඕනෑම ලොකු වැඩකට අත ගහන්නේත්, බය නැතුව ඉදිරිපත් වෙන්නේත් එයා නිසයි. මාලබේ තියෙන ඹධපඬ ඵඩධන එකේයි. මට අද සතුටු වෙන්න පුළුවන් කාරණා තියෙනවා මා නිසා ජීවත්වෙන පිරිසකුත් හැදිලා ඉන්නවා. ඒක මම ලබපු මහා පුණ්‍යකර්මයක් කියලයි මම හිතන්නේ. සමාජයට වැඩදායි හොඳ නිර්මාණකරණයක යෙදෙන්න තමයි මගෙත් මතු බලාපොරොත්තුව තිබෙන්නේ.

[email protected]

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT