Home » ආදරය, ගෞරවය හිමිවන කාන්තා චරිතයක් වෙන්න ආසයි

ආදරය, ගෞරවය හිමිවන කාන්තා චරිතයක් වෙන්න ආසයි

රංගන, ගායන සහ හඬ කැවීම් ශිල්පිනී පූර්ණිමා විදේශිකා

by Thanushika
May 22, 2025 11:03 am 0 comment

සුන්දර රුවක් , මිහිරි හඬක් හිමිවීම යෞවනියකට ආභරණයකි. පූර්ණිමා විදේශිකා ද එවැනි ආභරණයන්ගෙන් ජීවිතය හැඩ කරගත් සුන්දර තරුණියකි. තම රූපයෙන් සහ හඬින් කලා ලොව දස්කම් පාන ඇය රැඟුමට, ගැයුමට උපන් හපන්කම් ඇති රුවැත්තියකි. ඇය දක්ෂ හඬ කැවීම් ශිල්පිනියකි. ඇය සරසවිය හමුවට පැමිණියේ ඇගේ කලා කටයුතු පිළිබද තොරතුරු ඔබ හමුවට ගෙන ඒමටයි.

පසුගිය කාලයේ තරමක් මම කාර්යබහුල වුණා. ‘ආල ලවන්’ කියන ගීතය නැවත මගේ හඬින් ගායනා කළා. ඒ ගීතයේ සැබෑ හිමිකරුවන් වන්නේ ජනප්‍රිය ගායකයන් වන සංජුල හිමාල සහ දුලාන්. ‘ආල ලවන්’ ගීතය රචනා කර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව. එහි රූප රචනය ජයනාත් හෙට්ටිආරච්චි. එම ගීතයට තිබූ ආසාව නිසාම මම සංජුලගෙන් ඉල්ලීමක් කළා මට ‘ආල ලවන්’ ගීතය ගායනා කිරීමට කැමැත්තක් ඇති බව. ඔවුන් ඒ සඳහා අවසර ලබා දුන්නා. මා නැවත ගායනා කළ එම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ ප්‍රධානම කටයුත්ත ගායනය නෙවෙයි. මම ප්‍රධාන වශයෙන් කරන්නේ හඬ කැවීම. රූපවාහිනී නාලිකා කිහිපයකම විදෙස් ටෙලිනාට්‍ය, කාටුන් සඳහා හඬ මුසු කිරීමට දායකත්වය ලබා දෙනවා. 2015 වසරේදි වගේ තමයි මම හඬ කැවීමේ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසුණේ. තවමත් මම හඬකැවීම්වල නිරත වී සිටිනවා. ප්‍රේම දඩයම, ශිවන්‍යා, කිරිල්ලියෝ, ඇන්ඩි මැජික් ළමයෝ, සසර කින්නරාවී, කන්සෙකී, අයන් මෑන්, පෙපර් යවෙස්ලූ කුමරා, කිම් භවන් කුමරිය, හවරන්, ආරෝ, බව්වා මල්ලී, හන්ඩේ, හිම තුහින, පුතානෝ සහ කොටානෝ, වැලි කතරේ කුමරිය, සුපර් මෑන් සහ රතු පැංචි මගේ හඬ මුසුකළ නිර්මාණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මම නිවේදිකාවක්. මම ළමා කාලයේ සිටම නිවේදනය සඳහා දක්ෂයි. එහි ආරම්භය සිදු වන්නේ අවුරුදු දහතුනේදී විතර. ඒ කාලයේ මම මුතුහර ළමා සමාජයේ සාමාජිකාවක්. ඒ වගේම රූපවාහිනී ළමා ගායිකාවක්. මුතුහරින් පටන් ගත් ගමන මේ දක්වා පැමිණීමට හැකිවීම ගැන සතුටුයි. හඬ කැවීමේ ශිල්පිනියක් ලෙස කුඩා ළමුන් අතර මා ඉතා ජනප්‍රියයි.

මම ළදරු පාසල් යන කාලේ ඉඳන් ගායනයට, නර්තනයට දක්ෂ වුවත් ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් තිබුණේ නැති බව මගේ අම්මා මට කියලා තියෙනවා. යමක් තේරුම් ගතහැකි වයසට පැමිණි විට නම් මම ගායන, වාදන, නර්තන මේ හැම අංශයකින්ම ජයග්‍රහණත් අත්පත් කරගෙන තියෙනවා. මට හොඳීන් ගිටාරය වාදනය කිරීමට හැකියාව තියෙනවා. මම ගිටාරය වාදනය කරන්න ඉගෙන ගත්තේ තනියම. මට පාසල් යන කාලේ මගේ තාත්තා පොඩි ජංගම දුරකතනයක් ගෙනත් දුන්නා. ඒ දුරකතනය මාර්ගයෙන් අන්තර්ජාලය ඔස්සේ මම ගිටාරය වාදනය ගැන ඉගෙන ගත්තා. ගිටාර් වාදනය ගැන තිබෙන පොතක් මිලදී ගෙන ඒ ඔස්සේ දැනුම ලබා ගත්තා. බටනළාව, පියානෝවත් හොඳීන් වාදනය කිරීමේ හැකියාව මට තියෙනවා.

මම දෙරණ නාලිකාවේ ‘රාවණා’ ටෙලි කතා මාලාවේ සටන්කාමී චරිතයකට පණ පෙව්වා. රාවණා සීසන් 3 නුදුරේදීම විකාශය වීමට නියමිතයි. ඒ චරිතය නිසා මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබුණා. කැන්ඩි ළමිස්සී, කෝලම් කුට්ට්ම, ටෙලි නාට්‍ය වලත් මම රඟපෑවා. ඉදිරියේදී තවත් කිහිපයක් විකාශය වීමට නියමිතයි. ඒ වගේම ඉදිරියේදී රඟපෑමට නියමිත චිත්‍රපටයක් පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. මට ඒ අවස්ථාව ලබා දුන්නේ යොවුන් රංගන ශිල්පී වන උදාර චින්තක රාජපක්ෂ.

රංගනයට, ගායනයට, වාදනයට වගේම මම මෝස්තර නිරූපණය පැත්තටත් යොමුවෙලා ඉන්නවා. විලාසිතා කරන්න මම ඉතාම ප්‍රියයි. තරුණියක් වුණාම විලාසිතා කළ යුතුයි. මට ගැළපෙන විලාසිතා කරන්න මම උනන්දුවක් දක්වනවා.

මේ සියලු දෑ අතරේ මම තවත් විශේෂ කටයුත්තක් සඳහා යොමුවෙලා ඉන්නවා. මම රටවටා සංචාරය කරනවා. මගේ තිබුණ ආදර සම්බන්ධතාවයක් බිඳීයාමත් සමඟ තමයි මා රටවටා සංචාරය සඳහා පෙලඹුණේ. අපේ රටේ තිබෙන සුන්දර ස්ථාන, සංචාරක හෝටල්වල විස්තර ආදිය වීඩියෝ ගත කරනවා. මට හොඳ ඇහැක් තියෙනවා සුන්දර තැන් කැමරා කාචයට ගන්න පුළුවන් විදිහේ. ඒවා එඩිට් කිරීමේ හැකියාවත් මට තියෙනවා. සංචාරක හෝටල් වලින් මට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. එක් වතාවක් ගියාට පසුව නැවත වතාවක් එන්න කියල ආරාධනා කරන අවස්ථා තිබෙනවා. සංචාරය කිරීමත් එක්තරා විදිහක කලාවක්. එයින් මගේ මනසට නිදහසක් ලැබෙනවා.

කලා කටයුතු කරන අතරේ මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් මා සතුයි. මම ඉගෙනීම් කටයුතු කරන්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ.

මට මේ සෑම දෙයක්ම හොඳීන් කරගෙන යන්න මගේ පවුලේ සාමාජිකයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මට ඉන්නේ අයියයි, මල්ලියි. ඔවුන් කලාවට සම්බන්ධ නැහැ. මගේ අම්මගේ ආසාව වුණේ මම ගීත ගයනවාට. එයාගේ කැමත්ත තිබුණේ මම ගායිකාවක් වෙනවා දකින්න. ඒ හීනය මට සැබෑ කරල දෙන්න පුළුවන් වුණා. ඉදිරියේ මගේම නිර්මාණ කිහිපයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ආ ගමනේ පිටුපස ඉන්න අයටත් ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන් මගේ හොඳම මිතුරාට. ඔහු මට මිතුරෙක් වගේම මට හොඳ සහෝදරයෙක්. මගේ ජීවිතයේ දුෂ්කර අවස්ථාවල ඔහු මට ශක්තියක් වුණා. ඉහතත් මම ඔහු ගැන සඳහන් කළා. ඔහු උදාර චින්තක. අපි ඉදිරියේදී අපි වැඩ කිහිපයක් කිරීමට සූදානමින් ඉන්නවා. මගේ ඊළඟ මියුසික් වීඩියෝ එකේ ඉන්නෙත් ඔහු. කලා කටයුතුත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන්න මම උත්සාහ කරනවා. මිනිසුන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වන කාන්තා චරිතයක් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒත් ඒ ගැන හදිසියක් නැහැ. මා විශ්වාස කරන විදිහට සෑම දේකටම වෙලාව එන්න ඕන.

පූර්ණිමා අනාගතයේදී කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට හැකි යොවුන් කලාකාරියකි. එක් අංශයකට සීමා නොවූ ඇය කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් තමාගේ හැකියාවන් වර්ධනය කරගන්නා තරුණියකි.

සේයාරූ – තිලක් පෙරේරා

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT