නිවස විශේෂාංග අාසාවෙන් කරන්න ඉන්න චරිතය කරලා මම මරුණත් කමක් නැහැ කියලා හිතෙනවා

අාසාවෙන් කරන්න ඉන්න චරිතය කරලා මම මරුණත් කමක් නැහැ කියලා හිතෙනවා

ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ

by Thanushika
August 8, 2024 12:49 am 0 comment

ඇය මේ දිනවල රිදී තිරයේ චිත්‍රපට ද්විත්වයකින් ප්‍රේක්ෂකයන් හමුවෙනවා. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘මන්දාරා’ චිත්‍රපටයෙන් සහ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සීරුවෙන්’ චිත්‍රපටයෙන්. මේ චිත්‍රපට ද්විත්වයේම ඇයට තිබෙන්නේ කුඩා චරිත ද්විත්වයක්. ඒත් ඒ චරිත දෙක මුළු චිත්‍රපටය පුරාම මතකයේ තිබෙන ආකාරයට, කාගේත් අවධානය දිනා ගන්නා ආකාරයට රඟපාන්නට ඇයට හැකිවෙලා තිබෙනවා. මේ හැකියාව ඇය ප්‍රකට කළේ ඇය ඉතාම ආධුනික නිළියක ලෙසින් සිනමාවට ප්‍රවිෂ්ට වන අවදියේදිමයි. චරිතය කොයිතරම් දීර්ඝද, දර්ශන කෙතරම් තිබෙනවාද යන්න ඇය ප්‍රශ්නයක් කර නොගත්තේ ඒ කාලයේ සිටමයි. ඇයට තම චරිතය වෙනුවෙන් හිමි වන්නේ එක දර්ශනයද, එය චරිතයේ නියම ගති ස්වභාවයන් ඉස්මතු වන ආකාරයෙන් නිරූපණය කිරීම ඇගේ වගකීම බව ඇය හොඳීන් අවබෝධ කොට ගෙන සිටියා. ඒ අවබෝධයම තමයි ඇය මේ සිනමා කලා මාධ්‍යය තුළ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනියක් වශයෙන් ඉස්මතු වන්නට හේතු කාරණා වූයේ.

මෙවැනි පූර්විකාවකින් හඳුන්වා දෙන ඇය, සේමිණී ඉද්දමල්ගොඩය. රංගන ශිල්පිනියක් වශයෙන් ඇය මේ මොහොත වන විට උඩුගං බලා පියාසර කර හමාරය. හොඳම නිළිය ලෙසින් සිනමාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් ඇය සම්මානයට පාත්‍ර වී හමාරය. එහෙත් ඇගේ රංගනයේ පිපාසය තවමත් හමාරවී නොමැත. ඇය විවිධ චරිත නිරූපණයට පෙරේත කමක් දක්වන නිළියකි. සැබවින්ම වෘත්තීය නිළියකට හිමිවන බලාපොරොත්තුවේ සෙවණැල්ල වනුයේ විවිධ චරිත නිරූපණයය. සේමිණිද ඒ වෙනුවෙන් බලාසිටින්නියකි. ඇයට ඒ වෙනුවෙන් ඉතා ම හොඳ ඉවසිලිවන්තභාවයක්ද ඇත.

ඒ ඉවසිලිවන්ත භාවයට සාක්ෂි දරන්නට ඇගේ චිත්‍රපට ලැයිස්තුව සූදානම්ය. එය බොහෝ කෙටි වුවක්ය. එහෙත් මේ චිත්‍රපට නාමාවලිය පිරික්සන්නෙකුට ඒ තුළ ඇගේ ප්‍රතිභාවන් කෙතෙක්දැයි හඳුනා ගත හැකිය. මගේ මතකයේ හැටියට නම් මේ ප්‍රතිභාව ඇය මුලින්ම ප්‍රකට කරනුයේ උදයකාන්ත වර්ණසූරියගේ ‘යකඩ පිහාටු’ චිත්‍රපටයෙන්ය. ඇය එහි රඟපානුයේ ඉතාම සුළු චරිතයකි. එහෙත් එවකට එය බොහෝ දෙනාගේ අවධානය දිනාගත හැකි අන්දමින් තිබුණා අපට මතකය.

මෙවරද ඇය බොහෝ දෙනාගේ අවධානය දිනා ගනුයේ ප්‍රධාන චරිතයකට එක්වෙමින් නොවේ. ඇය දක්ෂතා සපිරි රංගන ශිල්පිනියක ලෙසින් මා හඳුන්වන්නේ එහෙයිනි. දක්ෂ නිළියකට තම හැකියාවන් පෙන්වන්නට ප්‍රධාන චරිත අවශ්‍ය නොවේ. තම චරිතයට හිමිවන්නේ දර්ශන දෙකද එය නියමාකාරයෙන් නිරූපණය කිරීම ට දක්ෂයකුට හැකිය. මෙවර අප හමුවූයේ ‘මන්දාරා සහ ‘සීරුවෙන්’ ගැන කතා කිරීමටය.

‘සීරුවෙන්’ චිත්‍රපටයේ මට දර්ශන දෙකයි රඟපාන්න තිබුණේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සුදේශ් මට කතා කරලා පැහැදිලි කළා මට තිබෙන චරිතය පිළිබඳ. මට රඟපාන්නට තිබුණේ දුරාචාරයේ යෙදෙන මවකගේ චරිතයක්. තිරනාටකය බලද්දි මේ දුරාචාරයේ යෙදෙන මව නිසා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට විවිධ සිද්ධින්වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. දර්ශන දෙකක් වුණත් ඒ චරිතයේ මට කරන්න දෙයක් තිබුණා. අනෙක් පැත්තෙන් මම හැම තිස්සෙම අභියෝග බාර ගන්න කැමතියි. මට හිතුණා මේ චරිතය මට අභියෝගයක් කියලා. ඒ නිසා මම ඒ චරිතය බාර ගත්තා. මේ තරම් කාලයක් තිස්සේ මට විවිධාකාර චරිත සිනමාවේත්, ටෙලි නාට්‍යවලත් ලැබිලා තියෙනවා. මේ වගේ චරිතයක් මට මීට කලින් ලැබිලා නැහැ. ඒ නිසා මම ඒක ආසාවෙන් බාර ගත්තා. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දිහා බලන කොට මට හිතෙනවා එක් සාර්ථකයි කියලා.

ඒ වගේම මේ දිනවල තිරගත වන අනෙක් චිත්‍රපටය තමයි ‘මන්දාරා’ ඒ චිත්‍රපටයට ප්‍රියන්ත කොළඹගේ මට කතා කරත්දිත් මම බැලුවේ තිබෙන දර්ශන ගණන නොවෙයි. ඒ චරිතයේ ස්වභාවයයි. මට චරිතයක් බාර ගන්න නම් ඒක නිර්මාණය තුළ චරිතයක් වෙන්න ඕන. එහෙම නැතුව. චිත්‍රපටයට ඒ චරිතය තුළින් කිසියම් බලපෑමක් එල්ල වෙන්න ඕන.

ඉතින් මන්දාරා චිත්‍රපටයේ ‘මමි ආන්ටි’ ගේ චරිතයත් එහෙම එකක්.

සේමිණිගේ රංගන ජිවිතය පුරාම විවිධ චරිත සොයා යෑමේ පිපාසය අපි දකිනවා. වෘත්තිය රංගන ශිල්පිනියක් වූ පළියට ඇයට ලැබෙන හැම චිත්‍රපටයම හෝ හැම ටෙලි නාට්‍යයම ඇය බාරගන්නවා අපි දැක නොමැත. වෘත්තීය ජීවිතය තුළ එවැනි තෝරා බේරා ගැනීම් කළ හැකි වන්නේද එහෙමත් අයටය. මන්ද වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ ජීවනෝපාය මාර්ගය තදබල ලෙස අර්බුදයට පත්වී තිබිම නිසා. නමුත් මේ සම්බන්ධයෙන් සේමිණීට ඇත්තේ සතුටුදායක තත්ත්වයකි. එබැවින් මේ තෝරා බේරා ගැනීම කරන්නට ඇයට ඕනෑ තරම් නිදහසක් ඇගේ ජීවන මං පෙත තුළ ඇත. සමහර අවස්ථාවලදී ඇය හුස්මක් කටක් ගන්නේ නැතුව වැඩය. එහෙත් සමහර අවස්ථාවලදි ඇය සම්පූර්ණ නිදහසින් ජීවිතය විඳීන්නිය. මේ දිනවල ඇගේ චිත්‍රපට ද්විත්වයක් තිරගත වුවද ඇය වෙනත් නිර්මාණයක් වෙනුවෙන් සිය කාලය කැප කර නොමැතිය. මේ විවේකී මනසද ඇගේ නිර්මාණ කාර්යයයේ සාර්ථකත්වයට දැඩි ලෙසම බලපානු ඇති බව මගේ හැඟීමයි. කිසියම් චරිතයක් වෙනුවෙන් තම සිත කය වචනය යන තුන්දොරම කැපකිරීමෙන් පසුව යම් කාලයක් හිස් වූ මනසින් පසුවීම කෙනෙකුගේ මානසික සුව භාවයට තදින්ම බලපායි. ඒ සුවතාවය ඇය විවිධ අවස්ථාවල විවිධ ආකාරයට ලබා ගනියි.

ඇත්තටම මගේ රංගන ජීවිතයේ මට හමුවුණ චරිත දිහා බලනකොට විවිධ චරිත නිරූපණයන්ට ලැබුණු අවස්ථා වැඩියි. මේ දවස්වල මට කිසිම වැඩක් නෑ. ‘ලලයි ලිලයි’ එකේ ලොකු දෙයක් නෙවෙයිනේ මම කරන්නේ. ඒකේ පොඩි වේට් එකක් තියෙන නිසයි මම රැඳීලා ඉන්නේ. එක් නිර්මාණයකින් පසුව එහෙම නිදහසේ ඉන්නකොට මගේ මනස හරි නිදහස්. එතකොට මට තෝරා බේරා ගන්නටත් ලොකු අවස්ථාවක් තිබෙනවා. මේක මට චරිත තෝරා බේරා ගන්නට විතරක් නොවෙයි. මට චරිතයක් දෙන කෙනෙකුට වුණත්, “සේමිණිට මේ වගේ චරිතයක් දුන්නොත් නම් කරයි” කියන තැනට එන්නටත් උපකාරී වෙනවා. “තෝරා බේරාගෙන චරිත කිරීමෙන් මට විවිධත්වයකට යන්න පුළුවන්.”

පහුගිය කාලය පුරා සේමිණිගේ රංගන ජීවිතය දෙස බැලුවිට ඇයට අති විශාල වෙනසක්’ රැගෙන ආ චරිත නිරුපණය වූයේ ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයේ ඇය රඟපෑ ‘සුද්දි’ ගේ චරිතයයි. මෙරට රූපවාහිනී තිරයෙන් බොහෝ නාට්‍ය ප්‍රේක්ෂකයන් ඉවත්ව යමින් සිටි කාලයකදී යළිත් ඔවුන් රුපවාහිනි තිරයට, රුපවාහිනි මාලා නාටකයට ඇද බැද තබා ගැනීමට ‘එයා දැන් බැඳලා’ සමත් වුණා. ඊට ප්‍රධානතම හේතුව වූයේ සේමිණී එහි සිදුකළ රංග කාර්යය බව බොහෝ විචාරකයන්ගේද මතය වුණා. එය සනාථ කරමින් එම නාට්‍යය වෙනුවෙන් ඇයට රයිගම් සහ සුමති- සම්මාන උළෙලින් හොඳම නිළිය වශයෙන් සම්මානයටද පාත්‍ර වූවා.

‘‘ඇත්තටම මම ‘එයා දැන් බැඳලා‘’ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ අවුරුදු හතක නිහැඬියාවකින් පසු. නමුත් ඒ අවුරුදු හතටම හරියන්න සද්දේ දාන්න ‘සුද්දි’ට හැකි වුණා. චරිතය කියවනවිටම මට ඒ වෙනස දැනුණා. අනිත් එක මම ප්‍රසන්න ජයකොඩිත් සමඟ මීට ඉහතින් සුද්දිගේ ජීවිතේ පසු කොටස චිත්‍රපටයකින් කරලා තිබුණා. ඒ ටෙලි නාට්‍යයට කතා කරන කොට මම මීට වඩා හුඟාක් මහතට හිටියා. ඒ මගේ බාහිර රූප ස්වභාවයත් සුද්දිගේ චරිතයට හරියටම ගැළපුණා. ඇත්තටම කිව්වොත් වසර හතකට පසුව මගේ රංගන ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් විදියට ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ ‘සුද්දි’ගේ චරිතය හඳුන්වන්න පුළුවන්.

සේමිණි රංගන ජිවිතයේදි අභියෝගයන්ට බය ගැහැනියක නොවේ. චරිතය කුමක්වුවද ඇයට ඇගේ රංගන සීමාවේ සිට එය නිරූපණය කරන්නට අවැසි ශක්තිය හා ධෛර්යය කොතෙකුත් වේ. වෘත්තිය රංගන ශිල්පිනියක්ය යන කාරණාව ඇගේ පවුලේ හැම දෙනාම හොඳීන් අවබෝධකරගෙන ඇති බැවින් ඇයට මේ තුළ උඩුගං බලා පිහිනන්ට වඩා පහසුය. තමන්ගේ සීමාවේ සිට ඒ ගමන ඇය අති සාර්ථකව පිහිනා යනු වත්මනේද අපිට දැක ගත හැකිය.

සේමිණි ටෙලි නාට්‍ය නිළියක වශයෙන් සිය රංග කාර්යයයේ උපරිම තලයකට පැමිණ ඇති වග බොහෝ දෙනාගේ මතයයි. එහෙත් ඈ සිනමාව තුළ පැමිණි ගමන්මඟ තවදුරටත් අප විමසා බැලිය යුත්තේ ඇගේ හැකියාවන් ගෙන් අපේ සිනමාව වැඩ අරගෙන තිබේද යන්න පිළිබඳ නැවතත් සිතා බැලිය යුතු නිසාය. ඈ සිනමාවට පැමිණි අලුතමත් ප්‍රතිභාන්විත රංග කාර්යයක් ඉදිරිපත් කර තිබුණද, එම යුගයේ පැවති චිත්‍රපට නිර්මාණය වීමේ අවම බව නිසාම ඈ වැනි ඒ යුගයේ පැමිණි නවක නිළියන්ට සිදුවූයේ කිසියම් අසාධාරණයකි. ආරම්භයේ සිටම සිදුවු ඒ අවගමනය නිසා සිනමාව තුළ ඈට වැඩි ඉඩක් හිමි නොවිණ. එහෙත් ඈ සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘සිනහව අතරින්’ වැනි චිත්‍රපටයක කළ ප්‍රතිභාන්විත රංගනය අපට කිසිදා අමතක කළ නොහැකිය. හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර නොවුණද විවිධ සම්මාන උළෙලයන්හිදි හොඳම නිළිය නිර්දේශිත නම් අතරට එන්නට තරම් දක්ෂ අන්දමින් ඈ එම චරිතය නිරූපණය කර තිබුණි.

සිනමාවේ රඟපාන්න පෙරේත කමින් ඉන්න චරිත රඟපාන්න තව වයසට කලින් ලැබෙන්න ඕන. නැත්නම් ඉතින් වැඩක් නෑ. මම හරි ආසාවෙන් හිටියේ දඩයම චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවාරච්චි රඟපාන චරිතය වගේ චරිතයක් නිරූපණය කරන්න. රත්මලි ගේ චරිතයට මම පුදුම කෑදරකමකින් හිටියේ. කොහොම වුණත් තව වයසට යන්න කලින් විවිධ චරිත නිරූපණය කිරීමේ ආසාව මට තිබෙනවා. ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙන්නත් මට පුළුවන් කියලා මම දන්නවා.

ඉස්සරහට ප්‍රියන්ත කොළඹගේ ගේ සුරිය සුළඟ චිත්‍රපටයේ වෙනස් චරිතයකින් හමුවෙනවා. මනෝහාරි හේවාවසම් අක්කා ලස්සන පිටපතක් ලියලා තියෙනවා. ඒක හරිම ලස්සන කතාවක්. ඒකේ මම තමයි ප්‍රධාන චරිතය. නමුත් ඒක කරන්න අපට බර පැන දරන්න කෙනෙක් නෑ. එහෙම පුළුවන් කෙනෙක් මුණ ගැහෙනවා නම් මම හරිම ආසාවෙන් ඉන්නවා ඒ චිත්‍රපටය කරන්න. ඊට පස්සේ මම මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා.

 

[email protected]

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT