නිරන්තරයෙන් වෙහෙසකාරී හා යාන්ත්‍රික දිවි පෙවතක් ගත කරන මිනිසාට මනස සුවපත් කර ගැනීමට මෙන්ම මොහොතක හෝ වින්දනාත්මක සහනයක් ලබා දෙන, රසාස්වාදයේ තෝතැන්නක් ලෙස සිනමාව හඳුන්වා දීමේ වරදක් නැත. “හවුස් ෆුල්” තුළින් හමුවන වීරවංශ, ධනවංශ, බ්‍රැන්ඩෝ, සුම්මා, උමේෂි, අශේන්, චමින්ද ඇතුළු පිරිස ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේද, ප්‍රේක්ෂක මනස සුවපත් කරන ආකාරයේ ආදරය, හාස්‍ය, ත්‍රාසය හා කුතුහලය පිරි මනස විඩාපත් නොකරන සරල වින්දනාත්මක කතා පුවතකි. සුන්දර සීතල කඳුකරයේ ඇල්ල නගරය ආශ්‍රිතව පිහිටි වීරවංශ මුදලාලිගේ මවුන්ටන් හෙවන් හෝටලය, එහි වටිනාකමින් අඩකට විකුණා දැමීමට ඔහු තීරණය කරන්නේ, ඒ අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන යනු ලබන සුම්මා නමැති නාහෙට නාහන මැර පුද්ගලයාගේ ක්‍රියා කලාපයන් හේතුවෙනි. සුම්මා පිළිබඳව නොතකන ධනවංශ මුදලාලි එම හෝටලය මිලදී ගන්නේ එහි සේවක පිරිසද සමඟිනි. බ්‍රැන්ඩෝ එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කරයි. මේ අතරතුර ධනවංශ මුදලාලිගේ දියණිය උමේෂි, විදේශ අධ්‍යාපනය හදාරමින් සිට ලංකාවට පැමිණෙන්නේ කෙටි විවේකයක් ගත කිරීම සඳහායි. ඇයට අශේන් නමින් පෙම්වතෙක් සිටී. කෙටි කලකින් උමේෂි සුම්මා සමඟින් හිතවත්කමක් ගොඩනගා ගනී. හොඳීන් හෝ නරකින්, බොරුකාරයකු වන අශේන්ගෙන් හා මැරයෙකු වන සුම්මාගෙන් සිය දියණිය දුරස් කරලීමට ධනවංශ මුදලාලි සියලු උත්සාහයන් ගනී. ඒ සියලුම සිදුවීම් සිදුවන්නේ ප්‍රේක්ෂකයා වෙත ඉහළම හාස්‍ය රසයක් ලබා දෙමිනි.
සහය දෙබස් රචකයෙකු හා සහය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ශ්‍රී ලාල් ප්‍රියදේව සංස්කරණ ශිල්පියෙකු, කලා අධ්‍යක්ෂවරයෙකු හා තිර පිටපත් රචකයෙකුද වෙයි. ඔහුගේ 16 වන සිනමා නිර්මාණය ලෙසින් ”හවුස් ෆුල්” තිරගත වේ. 2001 වසරේදී ”ජොලි හලෝ” තිරගත කරමින් අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්ෂේත්‍රයට එක් වූ ඔහු, “පතිනියකගේ හෝරාව” (2002), ”ජොලි හලෝ – 2” (2002), “විශ්ම රාත්‍රිය” (2003), “නොම්මර එකේ චණ්ඩියා” (2003), “අලි පැටියෝ ඔයයි මමයි” (2006), “මගෝ ඩොගෝ ඩයි” (2010), “අපේ යාළු පුංචි භූතයා” (2010), “කිව්වද නහී නොකිව්වද නහී” (2011), “මගේ යාළු මාළු” (2015), “අප්පට සිරි” (2017), “මගේ යාළු මාළු -2” (2018), “අතුරු මිතුරු හරි අපූරු” (2018), “අපට සැදුණු අපේ ලෝකය” (2021), “මේක පුදුම කතාවක්” (2023) යනුවෙන් චිත්‍රපට රැසක්ම ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇත. සියලු වැඩ කටයුතු නිම කර ඇති “නුහුරු වෑයම” නම් වූ ඔහුගේ නවතම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.
රංගන දායකත්වය
ජීවන් කුමාරතුංග, සුරංග සතරසිංහ, සමන් හේමරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චූලක්ෂි රණතුංග, තරිඳු බණ්ඩාර, මිහිර සිරිතිලක, සෙනුත් තෙවුජාන් (ළමා), කුසුම් රේණු, ටෙඩී විද්‍යාලංකාර, රයන් වැන්රෝයන්, දමිතා අබේරත්න, නිලන්ති ඩයස්, ශාලිකා එදිරිසිංහ, ලස්නි පමල්කා, ආරියසේන ගමගේ, ජීවන් හඳුන්නෙත්ති, කපිල සිගේරා, ඩී.බී. ගොංගොඩතැන්න, නිමල් පල්ලේවත්ත, දේශාන් බුද්ධික, ඉෂී පෙරේරා, ධනංජලී තරුෂිකා
කාර්මික දායකත්වය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – ශ්‍රී ලාල් ප්‍රියදේව
නිෂ්පාදනය – සුනිල් ටී. ප්‍රනාන්දු, මොහාන් පෙරේරා, ගිහානි වීරසිංහ
කැමරාකරණය – ජනිත් ගුණසේකර, මංජුල කුමාරතුංග, චන්දේව් ඉපලවත්ත
සහය අධ්‍යක්ෂණය – චමත් ඉපලවත්ත
සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග – මනේෂ් පමුදිත
නිෂ්පාදන කළමනාකරණය – දිල්මි ඉසුරිකා, සුනිල් ධර්මසිරි
අංගරචනය – චතුරිකා සඳමාලි, ජානකී වනිගතුංග
ඇඳුම් පැලඳුම් සැපයීම – කසුන් ද සිල්වා, දිනූ ප්‍රියදර්ශන
නිශ්චල ඡායාරූප – ශීතාන් ගුණවර්ධන
සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර
කලා අධ්‍යක්ෂණය – ලාල් ප්‍රියදේව
දෙබස් පටිගත කිරීම – මලිත් සංජීව
අතිරේක ශබ්ද – සුසන්ත ධර්මප්‍රිය
ශබ්ද සැලසුම්කරණය සහ මිශ්‍රණය – සශික රුවන් මාරසිංහ
වර්ණ සංයෝජනය – තනුෂ්ක කහඳවල
සංගීත අධ්‍යක්ෂණය – ඒෂන ඉන්දීවර
ගීත රචනය – චන්ද්‍රදාස ප්‍රනාන්දු, තිලක්ෂණී මධුවන්ති
ගීත ගායනය – උදේශ් ප්‍රනාන්දු, අහිංසා ප්‍රනාන්දු, තරූ ජයසිංහ, ඒෂන ඉන්දීවර, ෆර්හාන් ශාන්, රධිකා රාජවේලු, ඈන් දුලාංජලී, ශෂිකලා
ළමා රංගන ශිල්පීන් – සෙනුත් තෙවුජාන්, දනික සසංජිත් ගුණසේකර, ගීතාන් විස්මිත ගුණසේකර