නිවස විශේෂාංග අර්බුදකාරි සමයක තාත්තා සිනමාව ගොඩදැම්මා

අර්බුදකාරි සමයක තාත්තා සිනමාව ගොඩදැම්මා

සුනිල් සෝම පීරිස්ගේ පුතු සුදේශ් වසන්ත පීරිස් කියයි

by Thanushika
June 13, 2024 12:25 am 0 comment

” අපෙ තාත්තා සල්ලි වලට වඩා හරි හම්බ කළේ මිනිස්සු …ගමේ හැම වැඩකදීම තාත්තා එතැනයි. ඒ වගේම ගමේ මිනිස්සු මූලිකත්වය දුන්නෙත් තාත්තාටමයි ”

හෙළ සිනමා රිදී තිරයට නව ජවයක් එකතුපහදු කරමින් රසික ආදරයටම නිබඳවම පාත්‍ර වූ …මෙවර සරසවිය පාඨක ඔබට හමුවන අපේ සොඳුරු කතා නායකයාණෝ ඔබට හොඳටම හුරුපුරුදු කලාකරුවකු යැයි කිවහොත් එය වඩාත් නිවැරදිය…සිංහල සිනමාව ගරා වැටෙන්නට ඔන්න මෙන්න කියා වටාපිටාව සැකසෙමින් තිබියදී සිනමාහල් වෙත ප්‍රේක්ෂකයා යළි කැඳවාලන්නට සමත් වූවාසේම ඔහුගේ සෑම සිනමා නිර්මාණයක්ම පාහේ දින සියය ඉක්මවමින් තිරගත කරවන්නට ද සපන්කම් පෑ මේ අපේ ආදරණීය කතා නායකයා අන් කවරකු හෝ නොව වාණිජ සිනමා රැල්ලේ කිරුළු පලන් සුනිල් සෝම පීරිස් නම් අසහාය චිත්‍රපට අධ්‍යක්ෂකවරයාය..

අපේ ආදරණීය ඔහු පිළිබඳව කතාබහ කරන්නට මා සමීපයේම දැන් පසුවන්නේ ඔහුගේ බාලම පුත්‍රරත්නය වන සුදේශ් වසන්ත පීරිස් නම් ආදරණීය කලාකරුවාණෝය…තම ස්නේහවන්ත පියාණන් ගත්මග යමින් ඔහු ද මේ වනවිට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් ඉහළම නමක් තබා හමාරය…

අපේ ආදරණීය සුදේශ් වසන්ත සිනාපිරි මුවිනි.

“අපි එදා වගේම අදටත් සරසවියට ආදරෙයි..අපේ තාත්තාත් එහෙමමයි..”

සුදේශ් සිය කටහඬ අවදි කරන්නේය..

අපේ සොඳුරු කතා නායකයාගේ උප්පැන්නයේ නාමය වන්නේ පට්ටියගේ සුනිල් සෝම පීරිස් ය..ජන්ම ලාභය ලැබූයේ මහරගම ය..ඒ 1948 ක්වූ අප්‍රේල් මස13 වනදාය.

මහරගම .. සලමන් පීරිස් හා සීතා පෙරේරා නම් ආදරණීය මවුපිය දෙපළට පිරිමි දරුවන් සිව්දෙනෙකි..ගැහැනු දරුවන්ද සිව් දෙනෙකි. මින් චන්ද්‍රසෝම පීරිස් පළමුවැන්නාය. දෙවැන්නා අපේ සුනිල් සෝම පීරිස් වූ අතර තෙවැන්නා විමලසෝම පීරිස් ය. ඊළඟට සිව්වැන්නා සිරිසෝම පිරිස්ය. පස්වැන්නිය වූයේ ගුණසීලී පීරිස් වන අතර ධම්මසීලී පීරිස් පවුලේ සයවැන්නිය වූවාය. ය. නන්දසීලි පීරිස් නමැති හත්වැන්නියට පසුව බාලම දියණිය වන ප්‍රියසීලී පිරිස් පවුලේ අටවැන්නිය වන්නීය.

අපේ සුනිල් සෝම පීරිස් ඉගෙනුමට ගියේ මහරගම බුවනෙකබා විදුහලට ය.

“අපෙ තාත්තා ළමාවියේදීත් හරිම මධ්‍යස්ථ චරිතයක් කියලයි මං අහල තියෙන්නෙ …වැඩිහිටි වුණාමත් ඒ විදිහටමයි. ගමේ මළගෙයක්.. පින්කමක් වුණාද අපෙ තාත්තා එතැන..පොදු කටයුත්තක් තිබුණා ද තාත්තා තමයි එතැන මුලටම හිටියේ. තොරණක්ද දන්සැලක්ද තාත්තා එතැනයි. කොටින්ම අමල් අපෙ තාත්තා ගමේ සමාජසේවා වැඩකටයුතු වලදී ලොකු කැපවීමකින් උන්නෙ..ගමේ හැමදේටම මූලිකත්වය ලැබුණෙත් අපේ තාත්තාටමයි. ..”

ආදරණීය සුදේශ් වසන්ත ඒ ටික කීවේ මා විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

පාසල් ගමනින් පසු තුරුණු වියට ළංවෙමින් පසුවන අපේ කතා නායක තෙමේ දැන් රැකියාවකට යන්නේය.. හිත අස්සේ තිබෙන්නේ අන් අරමුණකි. හයහතර තේරෙන වියෙහි පටන් අපෙ තාත්තාට තිබී ඇත්තේ චිත්‍රපට පිස්සුව යැයිද චිත්‍රපටවල රඟපෑමේ නොතිත් ආශාවකින් පෙළුණු තාත්තාට සීයා බැණ වැදුණු අවස්ථා තිබී ඇති බවද අපේ සුදේශ් වසන්ත කීයේ මුවපුරා නැගුණු සිනාවකිනි.

තම මෑණියන් හිමිදිරියේම අවදී වී සරිකර බෑගයක දමා අතටම දෙන බත්පත ද රැගෙන වරායේ රස්සාවට යන ඔහුට මගදී ඒ අදහස වෙනස් වෙයි. හිත යට පැතුම ඉහළට එයි. කොළඹ පිහිටි චිත්‍රපට තනන චිත්‍රාගාර සොය සොයා යමින් චිත්‍රපට රූගත කරනා සැටි පසෙකට වී ආශාවෙන් බලා හිඳීන්නේය.. බල බලා තනිවම සතුටින් ඉපිලෙන්නේය…දැන් දැන් දිනපතාම පාහේ කාලය ගතවී මෙලෙසිනි.

තම පුත්‍රයා රස්සාවට නොගොස් යන තැන දැනගත් තාත්තා දිනෙක ඔහුට ඇතිවනතුරු තරවටු කළේය..

“ගෙදරින් අම්මා බත්මුල උඹෙ අතට දෙනවා. වරායෙ රස්සාවට යන්නෙ නැතිව උඹ බයස්කෝප් හදන හැටි බලන්න යනවා. උඹට පිස්සුද මන්දා පුතේ..”

ඔහු නිහඩවමය. පසුදා කරන්නේද ඔහු එයමය..

මම අපේ ආදරණීය සුදේශ් වසන්ත දෙස බලමි.

“ඔව්..අමල් …ඉතිං අපෙ තාත්තා ඔහොම වැඩටත් නොගිහින් චිත්‍රාගාරවලට යන්න පුරුදුව ඉන්නකොට තමයි ජනප්‍රිය නළු පියදාස විජේකෝන් මහත්තයව හඳුනාගෙන තියෙන්නෙ… පියදාස විජේකෝන් මහත්තයාගෙ මාර්ගයෙන් අපෙ තාත්තා චිත්‍රපටයක පොඩි කෑල්ලක් රඟපාලා තියෙනවා..පස්සෙ පස්සෙ තව තවත් චිත්‍රපටවල පොඩි පොඩි කොටස් රඟපාල තියෙනවා..මේ අතරෙදි තාත්තා සිනමාවට සම්බන්ධ බොහෝ අයගෙ ඇසුරට පාත්‍රවෙලත් තියෙනවා”

දැන් අපේ කතා නායකයාණෝ වරායේ රස්සාවට නැවතීමේ තිත තබා..ඒ වෙනුවට චිත්‍රපටවල නිෂ්පාදන අංශයේ සහායක ලෙසින්ද තෙවැනි හා දෙවන අධ්‍යක්ෂකවරයා ලෙසින්ද කැපවී කටයුතු කරන්නට වූයේය…ප්‍රකට සිනමාකරුවන් සමඟ හෙතෙම උරෙනුර ගැටී කටයුතු කළේය…

“අපෙ තාත්තා යසපාලිත නානායක්කාර…විල්ෆ්‍රඩ් සිල්වා මහත්වරුන්ගෙ නිර්මාණවල සහාය අධ්‍යක්ෂකවරයාව කටයුතු කළා…තාත්තා යම් වැඩකදී එයට දක්වන ඉහළම කැපවීම නිසා තමයි අන් අයගෙ ආකර්ෂණයට තාත්තා ව පාත්‍ර වී තියෙන්නේ ..”

චිත්‍රපටකරණයට තව තවත් සමීපවෙමින් අපේ ආදරණීය කතානායක තෙමේ තමන්ගේම අධ්‍යක්ෂණයකින් චිත්‍රපටයක් කරන්නෙමැයි සිතපත්ලේ තබා හුන් අදිටන සැබෑ කරගනිමින් හෙතෙම ප්‍රථම වරට සිනමා ප්‍රේක්ෂකයාට පිළිගැන්වූයේ “ඔබට දිවුරා කියන්නම්” නමැති වර්ණ සිනමා සිත්තමය..ඒ 1985 දී තරමේය. එම චිත්‍රපටය දින සියයද ඉක්මවමින් අතිසාර්ථකව තිරගත කෙරිණි .. සුනිල් සෝම පීරිස් නාමයද ඉහළටම නැගිණි.

ආදරණීය ඔහු පුත් අපේ සුදේශ් වසන්ත ඒ ගැනද කීවේ මෙලෙසිනි ..

“අපෙ තාත්තා ගෙ නිර්මාණවලින් තාත්තාගෙ නමත් ඉදිරියටම ආවා කියා මට හිතෙන්නෙ .. මම මගේ දෑසින්ම දුටුවා ඒ කාලෙ අපේ සිනමාවට අත්වෙමින් තිබුණු ඛේදනීය ඉරණම ..ඉහළටම නැගී තිබූ අපේ සාඩම්බරනීය සිනමාවට නවපණක් ලැබුණා වගේ වුණා..සිනමාලෝලී රසිකයන් පිබිදුණා. කොටින්ම රසික රැල්ලක් මතු වී ආවා. සිනමාශාලා කෙරෙන් ක්‍රමයෙන් දුරස් වෙමින් සිටි සිනමාලෝලී රසික ජනතාව නැවතත් සිනමා ශාලාවලට ඇදුණා. මගෙ තාත්තා ගැන මට අදටත් ආඩම්බරයක් හිතේ තියෙනවා..”

අපේ සොඳුරු චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් සෝම පීරිස් තව තවත් චිත්‍රපට නිර්මාණය කළේය. සිනමාහලට ජනතාව වැල නොකැඩී කැඳවන්නට සමත් වූ “ජය අපටයි” “මමයි රජා” ආදී තවත් චිත්‍රපට රැසක්ම ඔහු අතින් නිමැවිණි. .එම චිත්‍රපටවල රඟපෑ අපේ විජය කුමාරණතුංගයන් ගේ ජීවන් කුමාරතුංග හා සනත් ගුණතිලකයන්ගේ ළමා අවධිය නිරූපණයට අපේ කතා නායකයා චිත්‍රපටයට එකතු කරගත්තේ මා සමඟ සුහද සංලාපයක පසුවන ඔහුගේ බාලම පුත් ආදරණීය සුදේශ් වසන්ත පීරිස් ය.

අධ්‍යක්ෂණයෙන් සේම චිත්‍රපට නිෂ්පාදනයටද අත ගැසූ අපේ සුනිල් සෝම පීරිස් කතා නායකයාණෝ “යුක්තියට වැඩ” සහ “සංසාර ප්‍රාර්ථනා” ආදී ජනප්‍රිය සිනමා නිර්මාණ ද ප්‍රේක්ෂකයාට තිළිණ කළේය. මේ වනවිට අපේ විජය කුමාරණතුංගයන් ඇතුළු නළුනිළියන් ද සිනමා ක්ෂෙත්‍රයට සම්බන්ධ බොහෝ ඇත්තන්ද ඔහුගේ කුලුපග සමීපතමයෝය…

” ඔව්..අමල් ..මට මතකයි.. අපේ ගෙදර ඉතිං ඒ කාලෙ නිතර ප්‍රියසාද…කවුරුත් අපෙ තාත්තාට ළෙන්ගතුයි. විජය අපෙ ගෙදර නිතර එනවා.. හැබැයි කවුරුන් ආවත් අපෙ තාත්තාට එයා මෙයා කියල විශේෂයක් නම් නැහැ.. ඒ අපෙ තාත්තාගෙ හැටි..හිත හොඳනෙ.. තාත්තා කාටත් ළඟයි. මේ ටිකත් මට දැන් මතක් වෙනවා…රස්සාව අතහැරල දාල චිත්‍රපට පැත්තට ගියා කියල තාත්තාගෙ තාත්තා ..ඒ කියන්නෙ අපෙ සීයා තිබුණු රස්සාව නැති කරගත්තාය කියල නොසෑහෙන්න බැණවැදිලත් තියෙනවා. අපෙ තාත්තා පුදුම විදිහට මිනිස්සුන්ට සමීපයි..ගමට..ගමේ මිනිස්සුන්ට ආදරෙයි. ඒ වගේම කොතැනදීත් හැමෝම තාත්තාට තමයි මූලිකත්වය දෙන්නෙ”

අපේ සුදේශ් කියන්නේය.

දැන් අපේ ආදරණීය කතා නායකයාණෝ තුරුණු වියේය..ඔහුගේ ජීවන සහකාරිය වූයේ මහරගම ..ඔහුගේ ගම් පියසේම වෙසෙනා ප්‍රේමණීය රුවැත්තියකි…ඕ තොමෝ තම හිමි මෙන් කලාවට සම්බන්ධ තැනැත්තියක නොවූවද තම ආදරණීය ස්වාමියාට බැඳී නොතිත් ප්‍රේමයෙන් පසුවූ මාලනී පීරිස් මහත්මිය ය..

ඔහුගේ සෑම කටයුත්තකදීම ඕ කැපවී සිටියාය.. ඒ නිසාම ඇය ඔහුට සවියක්ම විය.

“අපෙ අම්මා කලා ක්ෂෙත්‍රයේ කිසිවකට සම්බන්ධතාවයක් නම් නැහැ. තාත්තාගෙ ගමනට හැමවිටදීම අපෙ අම්මා දිරි දුන්නා. අම්මාගෙ ආශීර්වාදය දුන්නා..අපෙ තාත්තාට අපෙ අම්මාව ආගන්තුක කෙනකුත් නෙමෙයිනෙ.. මොකද.. අපෙ අම්මා ඉගෙන ගන්න ගියෙත් තාත්තා ගිය පාසලටමනෙ….ඒ දෙන්නා එදා පටන් ඉතිං බොහොම සමීප දැනහැඳුනුම්කමින් ඉඳල තියෙන්නෙ . ”

සුදේශ් සිනාමුසුව කියන්නේය…

සුනිල් සහ මාලනී විවාහ ජීවිතය තවත් පිරිපුන් වූයේ එම දෙපළ ලද දරු සම්පතෙනි. වැඩිමහල් පුතු රෝහණ කුමාර පීරිස් ය. දියණිය ප්‍රියංකා පීරිස් ය. පවුලේ බාලම පුතු වන්නේ මා හා පිළිසඳරේ පසුවන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන අපේ ආදරණීය සුදේශ් වසන්ත පීරිස් ය…

සුදේශ් තම පියාණන් පිළිබඳව කතා කරන්නේ තම හද පිරි මහත් ගෞරවයකින් යැයි මට තිරව හැඟේ. කල් යත් යත් තම බාලම පුතු සුදේශ් තමන් සේම සිනමාවට සමීපවන බව දුටු තාත්තා දිනෙක මෙසේ පුතුට කියන්නේය.

” පුතා ..මට ඔයාවත් උස්සගෙන මේ මං යන ගමනෙදි ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒත් මං නැතිකාලෙක පුතා ඔයා බිමට වැටේවි. ඒකට නම් මං කැමතිම නැහැ. ඒ නිසා හොඳ පුහුණුවකින් පුතා මේ ක්ෂෙත්‍රයේ ඉදිරියට යන්න. එතකොට මගෙ පුතා වැටෙන්නෙ නැහැ…”

තම පියාණන් වෙතින් ලද ඒ උපදේශය අකුරටම පිළිපදිමින් අපේ සුදේශ් වසන්ත ද විවිධ අයවලුන් සමඟ එක්ව සහය අධ්‍යක්ෂක ලෙසින්ද ක්ෂේත්‍රයේ නන්වැදෑරුම් කටයුතු මනාව හැදෑරුවේය .. තාත්තා මෙන් දෙවන සහ තෙවන අධ්‍යක්ෂක ලෙසින් ද සිනමා නිර්මාණවල නිරතව අනතුරුව තමන්ගේම පූර්ණ අධ්‍යක්ෂණයෙන් “රත්තරන් මිනිහෙක්” නමැති සිය කුලුඳුල් සිනමා නිර්මාණය සිනමා රසිකයාට පිළිගැන්වූයේය. මේ වනවිට අපේ සුදේශ් වසන්ත ජනප්‍රිය සිනමා සිත්තම් නිර්මාණ විසි හතරකට ඇපකැපවූ හසළ අධ්‍යක්ෂකවරයෙකි.

අපේ ආදරණීය රූපණවේදී ජැක්සන් ඇන්තනී අවසන් වරට රඟපෑ “සීරුවෙන් ” සිනමා නිර්මාණයේද අධ්‍යක්ෂකවරයා වන්නේ ද අපේ සුදේශ් වසන්ත පීරිස් ය. හෙතෙම සරසවියට පැවසුවේ “සීරුවෙන්” චිත්‍රපටය ජුනි මස 28දා තිරගත වන්නට නියමිත බවය.

ප්‍රියමනාප තැනැත්තකු වන අපේ සුදේශ් වසන්ත ආදරණීය දියණියන් දෙදෙනකුගේ පියෙකි. ගායනවේදිනියක වන ශමත්කා පීරිස් ඔහුගේ ලොකු දුවය. මේ වනවිට රංගන ශිල්පිනියක ලෙසින් ප්‍රකට දෙවැනි දියණිය ශෙනුලි පීරිස් ය. රංගනයෙහි මෙන්ම ප්‍රවීණ නර්තන ශිල්පිණියකද වන ඔහුගේ ආදරණීය බිරිඳ තුෂානී වීරක්කොඩි මහත්මිය ය.

“අපෙ තාත්තා ගෙදර ඉන්නකොට ප්‍රියසාද නම් ඉවරයක් නැහැ..මධුවිතට සමීප වුවත් හැබැයි අපෙ තාත්තා දුම්පානය නම් කළ දවසක් මං දැකලම නැහැ. ගෙදරදි අපෙ තාත්තා හරිම හොඳ චරිතයක්. තාත්තා ගෙදර වැඩිපුර ඉන්නවටත් අපි ආසයි. ඇත්තමයි අමල් ..කවදාවත් අපෙ තාත්තා අපට කිසිම දේකදි තහංචි පනවල නැහැ. ඔය නීතිරීති පනවලත් නැහැ. දිය හැකි උපරිම නිදහස එයා දරුවන් වන අපට උපරිමයෙන් ලබා දුන්නා. දරුවන් ගැන හොඳ අවබෝධයකින් හිටියේ. අපව හිරකරල හැදුවෙත් නැහැ. ඒ හින්දාම වෙන්නැති අපිත් නරක පැත්තට හැදුණේම නැහැ. අපේ ගෙදර සමගිය උතුරන්න තිබුණා. අපෙ අම්මා තාත්තා රණ්ඩු සරුවල් වුණ දවසක් අපි දැකලම නැහැ.. අපට හොරෙන් ඒ දෙන්නා රණ්ඩු වුණාද කියල නම් මං දන්නෙ නැහැ. ඒ දෙන්නා අතරෙ තිබුනෙ පුදුම සමගියක්..”

අපේ ආදරණීය සුදේශ් ඒ ටික කීවේ හැඟුම්බරවය.

දැන් දැන් අපේ සොඳුරු කතා නායකයාණෝ වරින්වර රෝගාතුර වන්නේය…

“අපෙ තාත්තා දරුණු විදිහට වකුගඩු අමාරුවකින් පෙළුණා. පස්සෙ වකුගඩු බද්ධ කරන්නත් සිද්ධ වුණා. අපේ තාත්තා ට අමල්…සීනි තත්ත්වයත් බරපතළ වුණා. තාත්තාගෙ එක කකුලක් කපන්න සිදුවුණා. එන්න එන්නම තාත්තාගෙ තත්ත්වය නරක අතටම හැරුණු නිසා අපෙ තාත්තාගෙ අනෙක් කකුළත් කපා දමන්න සිද්ද වුණානෙ.”

අපේ සුදේශ්ගේ කටහඬ බිඳුණු ස්වරයකි. ඔහු නිහඩව බිම බලාගත්වනමය …අනතුරුව හෙතෙම තම පපුව සැහැල්ලු කරගන්නට මෙන් දිගු සුසුමක් හෙළා මදෙස බලා සිටියේය…

“නැහැ..අපෙ තාත්තාට සැලෙන හිතක් තිබුණේම නැහැ..හැමදේකදිම බොහොම සැහැල්ලුවෙන් අපෙ තාත්තා හිතේ බරක් නැතිව ම දරා ගත්තා. ඒක

මටත් වෙලාවකදි පුදුමයි. කකුල් දෙකම කපන්න වුණා කියල තාත්තාගෙ හිතේ දුකක් කියල දෙයක් නම් අප දැක්කේම නැහැ…ඒකයි මං කිවෙ තාත්තාට සැලෙන හිතක් තිබුනෙම නැහැ කියලා”

“අමල් ..අපෙ තාත්තා ජිවිතයේ යථාර්ථය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව පොළවේ පය ගහල හුන් කෙනෙක්. මේකත් ඇත්තක්…කවදාවත් අපගෙන් කියල එක පැනඩෝල් පෙත්තක්වත් තාත්තා අරගෙන නැහැ.. දරුවන් වන අපටම අපෙ තාත්තා එයාගෙ හැමදේම දුන්නා…”

ඒ හඬ මලානිකය…

තම මුනුපුරු මිනිබිරියන් සමඟ කාලය ගෙවීම තරම් අපේ කතා නායකයාට තවත් සතුටක් තිබුණිදැයි කියන්නට නොදනිමි. එතරම් තම දූ දරුවන්ගේ දූ පුතුනට හෙතෙම පිරුණු සිතින් ආදරය කළේය..

මේ වනවිට අපේ ආදරණීය සුනිල් සෝම පීරිස් මහතා පසුවන්නේ තම දියණියකගේ නිවසේය.

දිනපතාම පාහේ හිමිදිරියේ පහට පමණ දියණිය තම පියා වෙත තේ කෝප්පයක් පිළිගැන්වීම සුපුරුදු සිරිතකි. එමොහොතේදී ද තම ආදරණීය දියණිය දෙස දයාබර බැල්මෙන් බලා සිටි හේ තේ පානය කොට යළි නින්දට වැටුණේය…

තවත් ටික වෙලාවක් ගතවී ගියේය..තම දුරකතනයට මේ හිමිදිරියේ පැමිණි ඇමතුම් නාදයෙන් වහා අවදි වූ අපේ සුදේශ් තම අක්කාගෙන් ලද හදිසි දුරකතන පණිවුඩය අසා නැඟි ඉකිබිඳුම අපහසුවෙන් සඟවා ගත්තේය. එහෙත් … අපේ ආදරණීය සුදේශ්ගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට වී…

2021ක්වූ දෙසැම්බර් මස 09 වනදා හිමිදිරියේ අපේ සොඳුරු කතා නායකයාණෝ කිසිවකුට හෝ නොකියා නොදන්වා නිදි යහනේ අවදි නොවනා තවත් දිගු නින්දකට වැටී සිටියේය….

ඒ වනවිට ඔහු පසුවන්නට වූයේ වයසින් 73 වන වියේය…

 

[email protected]

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT